Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

හම්බන්තොටින් මුල් තැනට ආ දිවා රෑ නැති රාජ්‍ය සේවකයා

$
0
0
දෙසැ 5, 2018 01:00
ජනපති අතින් සහතික ලබා

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් නිර්මාණශීලී හා ඵලදායී කාර්යාලයක් සකස් කිරීම හා මහජන සේවාවක් සැපයීම උදෙසා ආර්ථික සංවර්ධන නිලධාරීන් අතර දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන ලද 2018 වර්ෂයේ කාර්යාල ඇගයීමේ තරඟාවලියෙන් මුළු ලකුණු 95ක් ලබා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැලිපටන්විල ග්‍රාම නිලධාරි වසමේ දැනට සේවය කරන එම්.කේ. සුරේෂ් සංජීවන් චන්ද්‍රසිරි මහතා සමත්වී තිබේ.

වැලිපටන්විල ග්‍රාම නිලධාරි වසමේ මහජනතාවට මේ වනවිට ඔහු නැතුවම බැරි හිතවතකු වී ඇති අතර ඔහු දවසේ වැඩි කාලයක් ගත කරන්නේද වැලිපටන්විල ගම තුළය. ගමේ මගුලක්, මරණයක් වුවහොත් කාටත් පෙර ඔහු එතනය. ඒ ඔහුගේ හැටිය. එක වචනයකින් මුළු ගමම එකම තැනකට කැඳවන්නට ඔහුට පුළුවන්කම තිබේ. ඒ තරමටම ගැමියන්ට ඔහු ලෙංගතුය. රාජ්‍ය නිලධාරියකු වුවත් ඔහුගේ ලොකුකම් නොමැත. අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ඔහුගෙන් ලබා ගතහැකි ආදර්ශ බොහෝය.

ඒ නිසාම සේවයට කැපවී තම රාජකාරී කටයුතු නිසි ලෙස ඉටු කරනු ලබන මේ තරුණ රාජ්‍ය නිලධාරියා සොයා ගොස් ඔහුගේ විස්තර රට හමුවේ තබන්නට පසු ගියදා ඔහු හමුවීමට අප ගියෙමු.

එහිදී අදහස් දැක්වූ සුරේෂ් සංජීවන් මහතා

"මම මුලින්ම සේවයට එක් වෙන්නෙ 2013 වර්ෂයේ, එදා ඉඳල අද දක්වාම මම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැලිපටන්විල ග්‍රාම නිලධාරී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී ලෙස සේවය කරනවා. 2013 වර්ෂයේ මගේ මුල්ම පත්වීම ගත්ත දවසෙ ඉඳලා මේ 2018 වර්ෂයේ මේ දක්වාම මම නිවාඩු අරගෙන තියෙන්නෙ දවස් 05ක් විතරයි. අනෙක් හැම දවසකම මම මගේ රාජකාරී කටයුතුවල නිරත වෙලා තියෙනවා.

2016 වර්ෂයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද හොඳම ආර්ථික සංවර්ධන නිලධාරියා තේරීමේ තරගයේ ජයග්‍රහණයද මට ලබා ගැනීමට පුළුවන් වුණා. ඊට පස්සෙ තමයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද නිර්මාණශීලී හා ඵලදායී කාර්යාලයක් සකස් කිරීම හා මහජන සේවාවක් සැපයීම උදෙසා 2018 වර්ෂයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් අතර දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන ලද කාර්යාල ඇගයීමේ තරගයෙන් මුළු ලකුණු 95ක් ලබා ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඊට හිමි සහතික පත්‍රය අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති උත්සවයකදී ජනාධිපතිතුමා අතින්ම මට ලබා ගන්න පුළුවන් වුණා.

ඇත්තටම මම මගේ රාජකාරී කටයුතු කරන කොට දවල්ද රෑද කියලා බලන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට ගෙදරටම ගිහිල්ලා ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙනවා."

මේ සම්බන්ධව අදහස් දැක්වූ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එච්. තිලකවර්ධන මහතා

"මේ නිලධාරී මහතා හරිම අවංකව තමන්ට පැවරී ඇති රාජකාරී කටයුතු ඉටු කරනවා. රාජකාරී කටයුතුවල නිරත වෙනකොට ඔහු දවල්ද රෑද කියලා බලන්නෙ නෑ. ඔහුගේ සේවා කාලය තුළ දින 05කට වැඩිය ඔහු නිවාඩු ලබාගෙන නැහැ. තවමත් තරුණ වියේ පසුවන ඔහුට ලොකු ඉදිරි ගමනක් තියෙනවා. ඔහුගේ ආදර්ශවත් වැඩපිළිවෙළ පිළිබඳව මගේ වසමේ අනෙක් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් සහ ඔහු පිළිබඳව ඇගයීමක් කරන්නත් මම බලාපොරොත්තුවෙන් සිටිනවා."

රෝහණ ආරියරත්න
හම්බන්තොට විශේෂ


පේරාදෙණියේ කාගෙත් හිතවතා

$
0
0
දෙසැ 5, 2018 01:00
අසේල කුරුළුවංශ

පසුගිය ඉරුදින පෙරවරුවේ මාධ්‍යවේදී නදීක දුරකතනයෙන් මා අමතා අයියා ගොඩමුන්න මහත්තයා මැරිලා කියලා ෆේස් බුක් එකේ දාලා ඇත්තද දන්නෑයි පැවසුවේය. ඊට පෙරදින ගොඩමුන්න මහතා දුරකතන ඇමතුමක් ලබාදී තිබුණද එය ලබා ගැනීමට මාහට නොහැකි වූයේ කොළඹ සිට බස් රථයෙන් මහනුවර බලා එමින් සිටින විට එහි හඬ නෑසුණ නිසාය. මියගිය බවට ලද තොරතුරත් සමඟ එම දුරකතන ඇමැතුමට පසුව හෝ ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව මගේ හදවත පුරා වේදනාවක් පැතිර ගියේය. පවුලේ ළඟම ඥාතියකු අහිමිවූවා වැනි හැඟීමක් සිත තුළ උපන්නේ සැබවින්ම ගොඩමුන්න හොඳ මිනිහෙක් නිසාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ ශිෂ්‍ය ක්‍රියාකාරියකු වූ ගොඩමුන්න මහතා මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයද හොබවා තිබේ. මේ නිසාම ශිෂ්‍යයන්ගේ සිතුම් පැතුම් පිළිබඳ මනා අවබෝධයක් ඔහු සතු විය. වර්ෂ 1995 දී උප ශාලාධිපතිවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක්වූ ගොඩමුන්න මහතා එහි මහජන සම්බන්ධතා නිලධාරී තනතුරට පත්වන්නේ 2009 වසරේදීය. අධ්‍යයන, අනධ්‍යයන හා සිසුන් යන පාර්ශ්ව තුනම විශ්වවිද්‍යාල සිසුන්ගේ භාෂාවෙන් කියන ආකාරයට බැලන්ස් කිරීමට ගොඩමුන්න මහතා සෑමවිටම සමත් විය. මාධ්‍යවේදීන් සමඟ ගොඩමුන්න මහතා සෑමවිටම ඉතා සුහදව කටයුතු කළේය. විශ්වවිද්‍යාලයේ කුමන හෝ කටයුත්තක් වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරණයක් ලබා ගන්නට ඔහු කරන ඉල්ලීම් කෙතරම් කාර්ය බහුල වුවත් මාධ්‍යවේදීන් ඉවත නොදැමූවේ ගොඩමුන්න මහතාට බැහැ කියන්න නොහැකි නිසාය. ගොඩමුන්න මහතා සහ මාධ්‍යවේදීන් අතර පැවතියේ නොබිඳිය හැකි බැඳීමකි. ඔහු මෙම බැඳීම දිනෙන් දින ඉහළට ගෙන යෑමට කටයුතු කළේය. විශ්වවිද්‍යාලය හා ජනමාධ්‍ය අතර ගොඩනැඟී තිබූණු දුරස්ත බව නැති කර දැමීමට ගොඩමුන්න මහතාගේ මෙම ක්‍රියාකලාපය බෙහෙවින් බලපෑ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහචාර්ය අතුල සේනාරත්න මහතාට පසු එම ධුරයට පත්වූයේ මහචාර්ය උපුල් දිසානායක මහතාය. උපුල් දිසානයක මහතා අදාළ තනතුරට පත්වන අවස්ථාව වනවිට ගොඩමුන්න මහතා පිළිබඳ වැරදි චිත්‍රයක් ලබා දීමට ඔහුට එරෙහි විශ්වවිද්‍යාලය තුළ කිහිප දෙනකු කටයුතු කර තිබුණි. ගොඩමුන්න මහතා මෙය දැන සිටියේය. ඔහු වරක් මා සමඟ පැවසුවේ, "මම රාජකාරිය හරියට කරනවා ඉන් එහාට දෙයක් මගේ නෑ". උපුල් දිසානායක මහතා නව උපකුලපති ලෙස පත්ව කෙටි කාලයක් යන්නට මත්තෙන් ගොඩමුන්න මහතා කවුදැයි හඳුනා ගත්තේය. සේවයට අවංක, කැපවීම ඉහළින්ම ඇති මහජන සම්බන්ධතාව ගොඩනඟා ගැනීමට සහජ කුසලතාවක් ඇති ගොඩමුන්න මහතා උපකුලපතිවරයාට නැතිවම බැරි චරිතයක් බවට පත්විය. ගොඩමුන්න මහතා මේ සියල්ල කළේ කිසිදු ආයාසයකින් තොරවය. නිතර ඔහුගේ මුවඟ රැඳී තිබුණේ සිනහවකි. කෙතරම් බැරෑරුම් ප්‍රශ්නයකදී වුව එම සිනහව ඔහුගේ මුවින් ගිලිහී නොගියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෑම ආචාර්යවරයකුගේම දේශපාලන පසුබිම පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තිබුණි. පක්ෂ වශයෙන් ඔවුන් සහයෝගය ලබා දෙන්නේ කාටද, මධ්‍යස්ථ පුද්ගලයින් කවුද යන්න සම්බන්ධව ගොඩමුන්න මහතා හොඳින් දැන සිටියේය. රජයට පක්ෂව ලිපියක් අවශ්‍ය වූ විට කතා කළ යුත්තේ කාටද, විපක්ෂව අදහස් ලබා ගැනීමට කතා කළ යුත්තේ කාටද, මධ්‍යස්ථ අදහසක් ලබා ගැනීමට කතා කළ යුත්තේ කාටද යන්න දැන සිටි ගොඩමුන්න මහතා එවැනි අවශ්‍යතාවක් සඳහා කතා කළ විට නියම සුදුස්සා තෝරා දෙන්නේ නිමේෂයකිනි. විශ්වවිද්‍යාලය විෂයට පරිභාහිරව ලියන ලිපි පිළිබඳවද නිරන්තර අවදානයෙන් පසුවන ගොඩමුන්න මහතා එවැනි ලිපියක් දුටු විට එය ලියූ මාධ්‍යවේදීයාට කතා කර එය අගයන්නට තරම් නිහතමානි පුද්ගලයකු විය. ගොඩමුන්න මහතා අප අතහැර ගියේ අප කිසිවකුත් නොසිතූ මොහොතකය. මෙයට වසර දෙක තුනකට පෙර හදවත් සැත්කමකට ලක්ව සිටි ඔහු මරණය වැලඳගන්නට මොහොතකට පෙරද ව්‍යායාමවල නිරතව ඇත්තේ වෛද්‍ය උපදෙස් මතය. නැහැ, බැහැ, පස්සේ කියන වචන ගොඩමුන්න මහතාගේ ශබ්ද කෝෂයේ නොවීය. සේවා කාලය තුළ ඔහු විශ්වවිද්‍යාලයට ගෞරවයක් ගෙන ආවේය. ඔහුගේ වියෝවෙන් පුරප්පාඩු වූ විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරට පත්වන පුද්ගලයා හමුවේ අති විශාල අභියෝගයක් තිබේ. ඒ නම් ගොඩමුන්න මහතා හා සමානව එහි කටයුතු සිදු කිරීමය. ගොඩමුන්න මහතාට වඩා හොඳින් එහි කටයුතු කරන්නට කිසිවකුටත් නොහැකිය. ඒ ඔහු උපරිමයෙන් අදාළ ධුරයේ කටයුතු කළ නිසාය. සහෘද මිතුර ඔබට නිවන් සුව!

ප්‍රශ්නයට උත්තරය ජනමතය

$
0
0
දෙසැ 5, 2018 01:00
ඉන්දික පොල්කො­ටුව

අධිකරණය ලබා දුන් නියෝගය වැරැදි අයුරින් අර්ථකථනය කිරීමේ උත්සාහයක් ද අද දක්නට ලැබේ. මැතිවරණය පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගය, තීන්දුවක් ලබා දෙන තෙක් ප්‍රමාද කරන ලෙස අධිකරණය පෙන්වා දුන්නා මිස මැතිවරණය පැවැත්වීම වැරැදියි කියා තීන්දුවක් ලබා දී නැත.

ලොව දරුණුතම ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාවට එහි අවසානය සිහිනයක පමණක්ව තිබියදී 2009 මැයි 18 ලොව කුරිරුතම ත්‍රස්තවාදය නිමාකිරීමට සේනාධිනායකයා ලෙස නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ චරිතය කෙරෙහි ලෝකයේම අවධානය යොමුවිය. එහි උණුසුමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා 2010 පැවැති ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් ජය ගනු ලබන්නේ ඉතා විශිෂ්ඨ අයුරිනි. 1978 ව්‍යවස්ථාවාව හරහා වැඩිම මන්ත්‍රී පිරිසක් එකම දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේද මෙම මැතිවරණයේදීය. ඒ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ය. අනතුරුව පිහිටුවනු ලැබූ සන්ධාන රජය තුනෙන් දෙකක බලයක් ඉක්මවා ශක්තිමත්ම ආණ්ඩුවක් ලෙසින් ක්‍රියාත්මක විය.

එමෙන්ම දෙස් විදෙස් විවිධ බලවේගයන්හි ක්‍රියාත්මකවීම් ඇතුළු විවිධ හේතු නිසා 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන විටත් පාර්ලිමේන්තු බලය තුනෙන් දෙකක බලය හිමිව තිබුණේ සන්ධානයටය. එක්සත් ජාතික පක්ෂයට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන හතළිස් හයකි. ඒ මොහොතේ ආණ්ඩු මාරුවක් සඳහා මහා මැතිවරණයක් නොතිබුණද ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයකු මෙන්ම නව කැබිනට මණ්ඩලයක්ද පත්වූයේ හතළිස් හයක බලයකටය. එය සම්ප්‍රදායට හා සදාචාරයට පයින් ගැසීමක් ලෙස බැලූ බැල්මට පෙනුණි. එසේම ඒ මොහොතේ ජනමතය තිබුණේ ද සන්ධාන ආණ්ඩුවට එරෙහිවය. මේ අනුව එක් අතකින් ජනමතයත් විධායක ජනාධිපති බලයත් යන දෙකම ඉදිරියේ සන්ධාන ආණ්ඩුවේ බලය බිද වැටී අලුත් ආණ්ඩුවක් බිහිවිය. එය යහපාලන ආණුඩුව ලෙස හැදින්වූයේ මෙරට දේශපාලනයටද අලුත් වෙනසක් ඇති කරන බවද පෙන්වා දෙමිනි. පාර්ලිමේන්තුවේ ඔළු හතළිස් හයක් තිබියදී ආණ්ඩුවක් සැකසූ එ.ජා.ප.ය ප්‍රමුඛ කණ්ඩායමට එක් අතකින් දොස් පැවරිය නොහැක්කේ එය ජනමතයේ වෙනස සහ ජනාධිපති බලය ඔස්සේ සැකසුණු ආණ්ඩුවක් නිසාවෙනි.

විවිධ තර්ක විතර්ක එල්ල වුවද 2018 ඔක්තෝබර් ආණ්ඩු වෙනසද එලෙසම සිදු වූ දෙයකි. ඒ සඳහා එදාට වඩා එහා බරපතළ කරණාද බලපෑවේය. දිගින් දිගටම මැතිවරණ කල් තැබීමෙන් පසු පැවැති 2018 මාර්තු පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට එරෙහි විශාල ජනමතයක් තිබෙන බැව් පැහැදිලි විණි. ඒ තුළින් ජනතාව, පාලනයේ වෙනසක අපේක්ෂා කළ බැව් පෙනේ. එක් අතකින් ජනතාව මින් අපේක්ෂා කළේද උනන්දු වූයේද මැතිවරණයක් දිනාගැනීමය. යම් කලක් ගත වුවද පසුගියදා සිදු වූ ආණ්ඩු වෙනස ජනතා අපේක්ෂා ඉටුවීමක් මෙන්ම ජනමතයට යම් ඉඩක් ලැබීමක් ලෙස පෙනේ.

2015 දී මහා මැතිවරණයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත් වූ අයුරින්ම මෙවරද මහා මැතිවරණයක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත් විය. එදා ජනාධිපතිවරණය හරහා ලද ප්‍රතිඵල ඔස්සේ නව ජනමතයක් පෙන්නුම් කළ අතර මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ඔස්සේ නව ජන මතයක් ප්‍රදර්ශනය විණි. ඒ අනූව බැලූ බැල්මට සිදුව ඇත්තේ එකම දෙයක්ය. නමුත් එදාට වඩා දෙගුණයකටත් වැඩි මන්ත්‍රී පිරිසක් මෙවර පත්කළ අගමැතිවරයා වටා සිටිති. ඒ වගේම එදාට වඩා රටෙහි අර්බුද රැසක් ගොඩ ගැසුණු මොහොතකය මේ වෙනස සිදු වූයේ.

විකෘති පාර්ලිමේන්තුව

විකෘති පාර්ලිමේන්තුවක් ලෙසින් මෙය ඇතමුන් හදුන්වාදීමට උත්සාහ දැරුවද 2015 පාර්ලිමේන්තුව මෙයට එහා ගිය විකෘති තත්ත්වයකි. අද පවතින මෙම විකෘතිය එකිනෙකා පාලනය කිරීමට යන බවක් පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම් මෙහිදී කළ යුත්තේ මෙය තව දුරටත් ඔඩු දිවීමට ඉඩ නොදී, විධායකය පත් කළ කැබිනට් මණ්ඩලයට සහාය දීමය. එසේ නොහැකි නම් මහා මැතිවරණයකට යා යුතුය. මේ දෙකම නොකර පාර්ලිමේන්තුවේ සිටින සාමාජික ප්‍රමාණය පාවිච්චි කර බලහත්කාරකමක් ජනතාව මත පැටවීමට කුමන හෝ කණ්ඩායමක් ප්‍රයත්න දරන්නේ නම් එය බරපතළ ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය සෑම මොහොතකම පෙන්වා දීමට උත්සාහ දරන්නේ ජනතාව කැමති පාලකයන් පිරිසක් විසින් ජනතාව පාලනය කිරීමයි. ජනතාවගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදීය. එසේ නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් කොතැනක හෝ නොමැත.

අධිකරණය ලබා දුන් නියෝගය වැරැදි අයුරින් අර්ථකථනය කිරීමට යාමක්ද අද දක්නට ලැබේ. මැතිවරණය පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගය, තීන්දුවක් ලබා දෙන තෙක් ප්‍රමාද කරන ලෙස අධිකරණය පෙන්වා දුන්නා මිස මැතිවරණය පැවැත්වීම වැරැදියි කියා තීන්දුවක් ලබා දී නොමැත. පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපතිවරණයකට යාම නීත්‍යානුකුල යැයි අධිකරණ තීන්දුවක් ලැබුණහොත්, පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ ගනු ලැබූ තීන්දු තීරණ සියල්ල අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇත. එනිසා ගත යුතු වඩාත් වැදගත් ක්‍රියාමාර්ගය වන්නේ අධිකරණ තීන්දුව ලැබෙන තාක් නිහඩව බලා සිටීමය. අධිකරණය කිසිවිටෙකත් ජනතා පරමාධිපත්‍යට එහා තීන්දුවකට එළඹෙන්නේ නැත.

ජනපතිතුමා සර්ව පාක්ෂික සමුළුව හරහා පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගනිමින් පාර්ලිමේන්තුව යහපත් අයුරින් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වුවද පාර්ලිමේන්තුව තුළ එවැනි තත්ත්වයක් තවමත් දක්නට නොමැත. වත්මන් පාර්ලිමේන්තුව මේ වන විට සැම අතින්ම කුරුවල් වී ඇත. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය ගෙන ආ ආකාරයම නීත්‍යානුකූල නැති බව පැහැදිලිය. අනෙක් අතින් එය සම්මත කිරීම සිදු කළේ සදාචාරයටද මුඵමනින්ම එරෙහි වෙමින්ය.

ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක, මරණාධාර සමිතියක නිලධාරීන් ඉවත් කිරීම පවා මෙයට වඩා සදාචාරව, නීත්‍යානුකූලව සිදුවේ. එවැනි කටයුත්තකදී දින දහ හතරකට පෙර සාමාජිකයන්ට ලිඛිතව දැනුම් දෙන ක්‍රමවේදයක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ එවැනි ක්‍රියාමාර්ගයකට යන්නේ නම්, ඉවත් කිරීමට හේතු සාමාජිකයන්ට දැනුම් දිය යුතුය. ඒ හේතු දැන ගැනීමට සාමාජිකයන්ට අයිතියක් තිබේ. හේතු දැක්වීමකින් හෝ කරුණු දැක්වීමකින් තොරව ගමේ සමිතියක නිලධාරීන් හෝ ඉවත් කිරීමට හැකියාවක් නොමැත. යෝජනාව ඉදිරිපත් කරන සාමාජිකයා ඒ සඳහා වන හේතු යෝජනාවෙන් දැක්විය යුතුය. මේ සඳහා වන ක්‍රමවේද මෙන්ම අතීත අත්දැකීම් අධ්‍යයනය කිරීම වඩාත් යෝග්‍යය.

යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන වාද විවාද අදහස් සඳහා සාමාජිකයන්ට අවස්ථාව ලබා දිය යුතුය. එමෙන්ම එහිදී අදාළ නිලධාරීන්ටද අදහස් සහ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දිය යුතුය. යුක්ති ධර්මතාවය අනුවද චෝදනා එල්ලවන පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාව සැලසීම ප්‍රජාතන්ත්‍රවාදයයි. එසේ නොමැතිව ඔහු යම් දේශපාලන පක්ෂයක සිටී නම් එම දේශපාලන පක්ෂයට තමන් අකමැති බව පෙන්වා තම දේශපාලන පක්ෂයේ හිතවතුන්ගේම අදහස් මත යමකු ඉවත් කරන්නේ නම් ඒ තුළ යුක්ති ධර්මතාවය, සදාචාරය ඇත්තේ කොතනදැයි බරපතළ ප්‍රශ්නයක් මතුවේ.

ගමේ මරණාධාර සමිතියක නිලධාරියකු ඉවත් කරන්නට පවා සදාචාරාත්මක ක්‍රියාවලියක් තිබියදී රටේ උත්තරීතර ආයතනයෙන් එය අමු අමුවේ උල්ලංඝනය වන්නේ නම් ඉන් රටටත් රටේ ජනතාවටත් ලබා දෙන පණිවුඩය කුමක්ද? රටේ උත්තරීතර ආයතනය රටට ආදර්ශවත් වියුයුතු නොවන්නේද? එලෙස ආදර්ශවත් නොවන්නේ නම් ඉන් පැන නගින ගැටලු, අර්බුද ලෙහෙසියෙන් විසදා ගැනීමද අසීරුවනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය

පාර්ලිමේන්තුව නමැති උත්තරීතර ආයතනයෙන් ජනතාව අපේක්ෂා කෙරෙනුයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයයි. ගමේ මරණාධාර සමිතියකින් එහා ගිය සිය දහස් ගුණයක ආදර්ශයක් ප්‍රජාතන්ත්‍රවාදීත්වයක් ඒ තුළින් අපේක්ෂා කෙරේ. එක දවසක මන්ත්‍රීන් රැස්ව, එක් අයකු යෝජනාවක් ගෙන එමින්, මිනිත්තු කිහිපයකින් අගමැතිවරයා ඉවත් කිරීම ලෝකයේ කිසිදු රටක නොමැති ක්‍රමවේදයකි. ඒකාධිපති රටවල වුවද මෙවැනි තත්ත්වයක් දක්නට නොමැත. මෙවැනි ක්‍රියා අවිචාරවත්ය. මින් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව කෙලෙසී යාමය. පාර්ලිමේන්තුවට යම් දැනුම් දීමකින් තොරව මෙවැනි යෝජනා ගෙන එමින් එකම දිනයක මිනිත්තු කිහිපයකින් ක්‍රියාවලියම අවසන් වන විට එදින රැස්වීමට සහභාගි නොවන, සහභාගි වීමට යම් හැකියාවක් නොමැති මන්ත්‍රීවරුන්ට සිදුවන්නේ බරපතළ අසාධාරණයක් බැව් එම ක්‍රියාවලිය සිදු කරන්නා වූ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම තේරුම් නොගැනීම බරපතළ ඛේදවාචකයකි. එමෙන්ම බරපතළ අර්බුදයකට අත වැනීමකි. මෙවැනි තත්ත්වයන්හිදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය ප්‍රබල අයුරින් බලපානු ලැබේ. පාර්ලිමේන්තුවේ ස්වාධීන පුද්ගලයකු වන කථානායකවරයා කුමන පක්ෂයක සාමාජිකයකු, නායකයකු, තනතුරු දරන්නකු වුවද ඒ කිසිවක් තනතුරට වලංගු නොකරගත යුතුය.

වලංගුවන්නේ ස්වාධීනව පාර්ලිමේන්තුව මෙහෙයවමින් එහි ගෞරවය ආරක්ෂා කිරීම පමණි.

රටක් ඉදිරියට පවත්වාගෙන යාමේදී රාජ්‍ය තන්ත්‍රයට ක්‍රියාත්මක වීම උදෙසා ව්‍යවස්ථාවක් පවතින අතර ලොව බොහෝ රටවල් විවිධ අයුරින් එය පවත්වගෙන යනු ලැබේ. එක් රටක ලිඛිතව පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාව ඇතැම් රටක් අලිඛිතව පවත්වගෙන යයි. ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සදහා ස්ථාවර නියෝගද පවතින අතර යහපත් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුව තුළ පවත්වගෙන යාමට මෙම නියෝග නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුය. ඒ තුළින් පාර්ලිමේන්තුව ස්ථාවරව පවත්වගෙන යාමට අපේක්ෂා කෙරෙනු ඇත. ස්ථාවර නියෝග අත් හිටුවා යම් යම් ක්‍රියාමාර්ගයන්ට එළඹීමේ හැකියාව පවතින අවස්ථාද ඒ තුළ පෙන්වා දෙයි. හදිසි අවස්ථාවන්හිදී එය කළ හැකි හැකිය. රටේ මුදල් මහ දවල් මංකොල්ල කෑ අවස්ථාවන්හි රටට මහ විපත් සිදු කළ අය සම්බන්ධයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනා මාස ගණන් විවාදයට විවාදයට නොගත් පසුබිමක අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙනවිත් මිනිත්තු කිහිපයකින් සම්මත කෙරේ නම් එය කොතරම් අවිචාරවත් තත්ත්වයක්ද?

මෙතෙක් විවාදයට නොගැනුණ විශ්වාසභංග පාර්ලිමේන්තුවේ හමස් පෙට්ටියේ තිබියදී මෙය හදිසියේ ගෙන ඒම තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබෙන බැව් පැහැදිලිව පෙන්නුම් කෙරේ. න්‍යාය පත්‍රය සැඟවුවද ඒ තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ මනාව පැහැදිලිව එළියට විත් ඇත. දේශීය න්‍යාය පත්‍රය ඉක්ම වූ විදෙස් න්‍යාය පත්‍රයක් මේ තුළ පවතින බව අවබෝධ වනු ඇත. රට විකුණනු ලැබු සිද්ධීන් වෙනුවෙන් ගෙන එනු ලැබු විශ්වාසභංග විසි කර දමා මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒමේ අරමුණ ලඝු කොට සැලකිය නොහැක. මෙම විශ්වාස භංගය ගෙන එනු ලැබුවේ මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන චරිතයට නොවේ.

ඒ පිළිබඳ විමසා බැලීමේදී 2009 මැයි 18ට පෙර යුගයට යා යුතුය. මෙරට තිස් වසරක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය ලොව දරුණුතම ත්‍රස්තවාදයකි. ලොව ම්ලේච්ඡතම මෙන්ම බිහිසුණුතම ත්‍රස්තවාදියකු සැගවී ක්‍රියාත්මක කළ අමානුෂික ක්‍රියාවලිය මුඵමනින්ම අවසන් කළ රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ චරිතය මෙරට ඉතිහාසයකට එක්ව ඇත. රටට ඔහු වීරයකු වුවද ලොව බොහෝ රටවල න්‍යාය පත්‍රයේ ඔහුට ඉඩක් නොමැත්තේ විදෙස් න්‍යය පත්‍ර හමුවෙහි කොන්ද නොනැමූ නිසාවෙනි. විදෙස් බලපෑම් හමුවෙහි රූකඩයක් නොවු නිසාවෙනි. ඒ නිසා ඉකුත්දා පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ගෙන ආ විශ්වාසභංගය තුළ සැගවුණු න්‍යාය පත්‍රය පැහැදිළිව රට අවබෝධ කරගත යුතුය. මේ න්‍යාය පත්‍රය මහින්ද රාජපක්ෂ චරිතය ඉස්මතු වන සෑම අවස්ථාවකම ඉස්මතු වේ. ඒ සඳහා වන බලවේග එකදු රාමුවක න්‍යාය පත්‍ර විවිධ අයුරින් සකස් කැර ගෙන ඇත.

ජනතා පරමාධිපත්‍යය

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගත් කල ඒ සියල්ල පවතින්නේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම වෙනුවෙනි. රටෙහි ව්‍යවස්ථාව ඒ සඳහා වන උපකරණයක් සේ ගත හැකිය. උදාහරණයක් ලෙස මාර්ග නීති සංග්‍රහය මාර්ගයේ යන එන අයට ව්‍යවස්ථාවක් වැනිය. එය පවතින්නේම මාර්ගයේ යන එන අයගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙනි. එම නීති ඔස්සේ පෙන්වා දෙන එක් කරුණක් වන්නේ මාර්ගය මධ්‍යයේ වාහනයක් නවතා ඉන් බැසීම වරදක් බවය. එහෙත් එක්වරම වාහනය යන විට මාර්ගය මත වැටෙන පුද්ගලයකු දුටුවිට මාර්ගය අයිනෙහි නැවතුම් ස්ථාන සොයමින් සිටිය නොහැකිය. හැකි ඉක්මනින් වැටුණු අයට පිහිට විය යුතුය. එතැනදී මාර්ග නීති උල්ලංඝණය කිරීමට සිදු වේ. නමුත් එය උල්ලංඝණය කිරීමට සිදු වන්නේ යහපත් අරමුණක් වෙනුවෙනි. ඒ ආකාරයට ජනතා පරමාධිපත්‍යට තර්ජනයක් එන මොහොතක කුමන නීති ආරක්ෂා කළද ක්‍රියාත්මක කළද ඵලක් නොවේ. ව්‍යවස්ථාව සකසා ඇත්තේ ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමටය. ජනතා පරමාධිපත්‍යට ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවක ව්‍යවස්ථාව පාවිච්චි කර එය නවතාලීමට කටයුතු යෙදිය යුතුය.

රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයට ලක්වූ විට කළ හැකි හොඳම ක්‍රියාව වන්නේ ජනතා පරමාධිපත්‍යට ඉඩ විවර කර දීමයි. ඒ සඳහා මහජන මතයට ඉඩ සැකසිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මැතිවරණ පැවැත්වීම යනු ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. යම් රාජ්‍යයක මැතිවරණ නොපවත්වන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාර එල්ල කිරීමක්ය; ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ ඝාතනය කිරීමක්ය. මෙවැනි අවස්ථාවන්හි ඇතැම් රටවල් මහ මඟට බැස උද්ඝෝෂණ, විරෝධතා කළද මැතිවරණ පවැත්වීම නතර කරන ලෙස කිසිදු රටක් ක්‍රියාමාර්ගයන්ට එළඹෙන්නේ නැත. පාර්ලිමේන්තුවේ අර්බුද පැන නැගුණු විට ජනතා පරමාධිපත්‍ය කොතැනක හෝ නියෝජනය නොවේ. සෑම තැනම දක්නට ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි. මේ ගැටලුවලට පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි දෙසිය විසි පහෙන් තීරණ ගැනීම වෙනුවට ගැටලුව සමස්ත පරමාධිපත්‍ය නියෝජනය කරන්නා වු ජනතාවට භාර කළ යුතු වේ.

බෙල්ල ගහල යන සන්නිවේදන දුර්වලතාව

$
0
0
දෙසැ 6, 2018 01:00

ෆුලර් වෙතත්, මැකාති දෙසත් ප්‍රශ්නාර්ථය හඟවන බැල්මක් හෙළූ වෙයින්බර්ග්, උරහිස් ගස්සා යළිත් කාමරයෙන් පිටවූයේ තවත් සුට්කේස් දෙකක් රැගෙන ඒමටය. වටපිට බැලූවිට ක්වීන්ස් කාර්යාලයේ නිලධාරීන් කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැති නිසා හේ සූට්කේස් දෙක රැගෙන යළිත් කාමරයට වැදුණි. ෆුලර් යළිත් වරක් මැජික් වචන තෙපලුවත් කිසිම වෙනසක් සිදුවූයේ නැත.

නියම කරගත් පරිදි පසුදිනයේ වෙයින්බර්ග්, ෆුලර් හා මැකාති ව්‍යාජ මුදල් මිටි ඇසිරූ, කුණු කොල්ලයට මිලදී ගත් සූට්කේස් පහක් අතැතිව ලාගාඩියා ගුවන් තොටුපොළේ සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියහ. ෆුලර් ඇඳුමට යටින් ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේශකයක් පැලඳගෙන සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට ඒ අසලම රැඳී සිටින නිලධාරීන් පිරිස හා සන්නිවේදනය පවත්වා ගැනීමටය. ගිනිඅවි සෙල්ලම්බඩු මෙන් වගවිභාගයක් නැතිව හැසිරවීමට සද්දන්ත බෙල් තුළ වූ නැඹුරුව නිසා කවුරුත් සිටියේ තැතිගැන්මෙනි. වටලන්නට සූදාමින් සිටි ක්වීන්ස් කාර්යාලයේ නිලධාරීන් පිරිසට උපදෙස් ලැබී තිබුණේ ෆුලර් තැන්පතු සහතික සියල්ල නිවැරදි බව ප්‍රකාශ කළ විගස දොරවල් බිඳගෙන ශාලාවට කඩාවැදෙන්නටය.

බෙල්ගේ පිරිස පැමිණීමත් සමඟ ගනුදෙනුව ඇරඹුණි. වෙයින්බර්ග් සමඟ ෆුලර් සහ මැකාතිද ඊට සහභාගි වූහ. අක්වෙරළ බැංකුවෙන් ලබාදුන් ව්‍යාජ තැන්පතු සහතික පරීක්ෂා කිරීමට ඉල්ලා සිටි වෙයින්බර්ග් සහතික තුන්සීයයම එකින් එක පරීක්ෂා කොට ඒවා අත්සන් කර ඇති බවට සැක හැර ගත්තේය මෙවැනි කටයුතු සම්බන්ධයෙන් පළපුරුදුකම් ඇත්තකුගේ ලීලාව කාටත් පාමින් සියල්ල නිවැරදි බව තහවුරු කරගැනීමෙන් පසු හේ කාමරයෙන් පිටතට ගොස් මුදල් ඇසිරූ සූට්කේස් දෙකක් රැගෙන ආවේය. ගෙනා සැණින් විවෘත කොට ඒවා පරීක්ෂා කිරීමට සද්දන්තයාට ඕනෑ වුවත්, ඔහුටත් වඩා කෛරාටික වෙයින්බර්ග් එය වැළක්වූයේ සූට්කේස් පහම ඇතුළට ගෙනැවිත් තබන තුරු ඒවා විවෘත කිරීමට නොහැකි බව කියමිනි. හේ නැවත කාමරයෙන් පිටවූයේ තවත් මුදල් මලු දෙකක් රැගෙන ඒමටය.

එහා මෙහා ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂක සමඟ වැඩකර අත්දැකීම් ඇති කවුරුත් දන්නා පරිදි එවැනි උපාංග යනු අනවශ්‍ය වෙලාවට ටක්කෙට වැඩ කරන, අවශ්‍ය අවස්ථාවේදි මොන විදිහකින්වත් වැඩ කරවීමට නොහැකි කරදරකාරී බඩුය. අත්හදා බැලීමට පරික්ෂා කරන වෙලාවට ඒවා තිතට වැඩ කරන නමුත්, ක්ෂේත්‍ර මෙහෙයුම්වල තීරණාත්මකම අවස්ථාවලදී කුමන හෝ අවුලක් සිදුව සියල්ල කණපිට හරවයි. එක්කෝ සන්නිවේදනය මුළුමනින්ම නවතියි. නැතිනම් කුරු කුරු හඬ නගමින් ඇහෙන වචනය හෝ දෙකත් නෑසෙන තත්වයට පත්කරයි. එදා ලාගාඩියා ගුවන් තොටුපළේදි හොර කල්ලිය සමඟ පැවති හමුවේදී සිදුවූයේද ඊට වැඩි දෙයක් නොවේ. වැටලීමට එළියේ රැක සිටි පිරිස ඇතුළට කැඳවන මැජික් වචන කිහිපය ෆුලර් වරක් නොව දෙවරක්ම කියූවද කිසිදු වෙනසක් සිදු නොවුණේ පෙරදා රාත්‍රියේ නිදි වරාගෙන නැවත නැවත පරීක්ෂා කළ ඉලෙක්ට්‍රොනික උපාංගවල තරම කියාපාමිනි.

ෆුලර් වෙතත්, මැකාති දෙසත් ප්‍රශ්නාර්ථය හඟවන බැල්මක් හෙළූ වෙයින්බර්ග්, උරහිස් ගස්සා යළිත් කාමරයෙන් පිටවූයේ තවත් සුට්කේස් දෙකක් රැගෙන ඒමටය. වටපිට බැලූවිට ක්වීන්ස් කාර්යාලයේ නිලධාරීන් කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැති නිසා හේ සූට්කේස් දෙක රැගෙන යළිත් කාමරයට වැදුණි. ෆුලර් යළිත් වරක් මැජික් වචන තෙපලුවත් කිසිම වෙනසක් සිදුවූයේ නැත. වෙයින්බර්ග්ට තරු පෙණිනි. හේ දහදිය වගුරවමින් අවසාන සූට්කේසය රැගෙන ඒමට පිටතට ගියේ කරන්නට දෙයක් නැති නිසාය. දැන් සූට්කේස් සියල්ල සූදානම්ය. ඒවා විවෘත කළ සැණින් සද්දන්තයාගේ වෙඩි උණ්ඩයට ගොදුරුවීම නිසැක බව මැකාති හා ෆුලර් කෙසේ වෙතත් වෙයින්බර්ග් දැන හුන්නේය.

“දැන් අරිනවා ඔක්කොම එකට.“ බෙල් ගිගිරුවේ ඒ වන විටත් ඔහුගේ ඉවසීමේ රතු ඉර පැන තිබුණු බැවිනි.

සිත තුළ තෙරපෙන බිය මැඬලමින්, වෙව්ලන දෑතින් යතුරු කැරැල්ල සොයද්දීත් වෙයින්බර්ග්ගේ ඇස් යොමුව තිබුණේ කබා සාක්කුවේ රුවාගෙන සිටි බෙල්ගේ දෑත් වෙතය. ශාලාවේ දොර බිඳගත් පොලිස් භට පිරිස ඇතුළට කඩා පැන්නේ කොයි මොහොතේ මැෂින් තුවක්කුවක් පත්තුවේද කියා වෙයින්බර්ග් බියෙන් සැලෙමින් සිටියදීය. පසුව දැනගන්නට ලැබුණු පරිදි ඔවුන්ගේ ප්‍රමාදයට හේතුව විවෘත කිරීමට නොහැකි පරිදි දොර නොසිතූ ලෙස සිරවීමය. වෙයින්බර්ග්, ෆුලර් හා මැකාති ඇතුළුව කාමරයේ සිටි සියලුදෙනාම වැඩි දැඟලිල්ලක් නැතිව අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරීමට පියවර ගැනිණි.

තමාට පැවරුණු වගකීම ජෝන් ජේකබ්ස් අකුරටම ඉටු කළේය. ඊට දෙවැනි නොවන්නට වෙයින්බර්ග්ද තමාගේ කොටස දුරකතනය හරහා කෙතරම් සාර්ථකව ඉටු කළාද යත් ඇමරිකානු රජයට එරෙහිව සද්දන්තයාගේ කල්ලිය නඩුවක් ගොනු කළහ. අබ්දුල්ගේ අවංකභාවය ගැන බෙල්ගේ හොර කල්ලියට සුළු හෝ සැකයක් තිබුණා නම් එයද පහව ගියේ වෙයින්බර්ගේ සටකපටකම් නිසාය. අබ්දුල් තමන්ට ලබාදීමෙන් පසු, එෆ්.බී.අයි. ආයතනය භාරයට ගත් ඩොලර් මිලියන දාහතක් අසුරා තිබූ සූට්කේස් නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් බෙල් කල්ලිය ෆෙඩරල් අධිකරණයේ නඩුවක් පැවරුවේ වෙයින්බර්ග්ගේ අවංකභාවයට ගරු කරන්නටය. 1978 දෙසැම්බර් 4දා ගොනු කළ එම නඩුවෙන් "ඉන්ටර්නැෂනල් බෑන්ක් ඇන්ඩ් ට්‍රස්ට් කොම්පැනි ඔෆ් ද සිටි ඔෆ් ලන්ඩන් ලිමිටඩ්"නමැති අක් වෙරළ බැංකුව චෝදනා කර සිටියේ තමාට හිමි මුදල් අත්අඩංගුවට ගැනීම මඟින් ඇමරිකානු රජය බැංකුවේ සංශෝධිත හතරවන හා පස්වන අයිතීන් උල්ලංඝනය කෙරූ බවයි.

ගහෙන් වැටී සිටි එෆ්.බී.අයි. ඒජන්තවරුනට ගොනා අනින්නට පටන් ගත්තේ, ඇමරිකානු නීතිපතිගේ සහායකයකු විසින් අධිකරණයට කළ හෙළි කිරීමක් හේතුවෙනි. එම වැටලීම අබ්දුල් එන්ටර්ප්‍රයිසස් හා බෙල් කල්ලිය අත්අඩංගුවට ගැනීමට රජය කරමින් සිටි මහා මෙහෙයුමක එක් අදියරක් බවට කළ එම අනාවරණයත් සමඟ එෆ්.බී.අයි. ආයතනයට කරන්න ඉතිරිව තිබුණේ එක් දෙයක් පමණි. ෆෙඩරල් විනිසුරු ජේකබ් මිෂ්ලර්ව පුද්ගලිකවම හමුවූ තෝමස් පූචියෝ හා ඔහුගේ සහායක ජෝන් ජේකබ් ඇත්ත හෙළි කරමින් රහසිගත නීත්‍යානූකූල ලියවිල්ලක් භාර දුන්හ. මේ වන විට ඇබ්ස්කැම් මෙහෙයුම නිව් ජර්සි හා ඇට්ලන්ටා නගරවල දේශපාලනික වශයෙන් සිදුවන දූෂණ අපවාදවල ගැඹුරටම කිමිදී ඒවා අනාවරණය කරගැනීමේ සටනක නිරතව සිටින හෙයින්, තවදුරටත් තමන්ට කාලය ලබාදෙන ලෙසට ඔවුහු විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියහ.

පූචියෝගේ සහ ජේකබ්ගේ ඉල්ලීම් ඵල දැරුවේය. විනිසුරු මිෂ්ලර් චූදිතයින්ට එරෙහි චෝදනා විභාග කිරීම තාවකාලිකව අත්සිටවූවා පමණක් නොව රාජසන්තක කළ ව්‍යාජ මුදල් නෝට්ටු මිටි ආරක්ෂිතව රජය භාරයේ තබාගැනීමටද පියවර ගත්තේය. ඇබ්ස්කැම් මගඩිය ප්‍රසිද්ධියට පත්වන්නට නොදී යන්තම් ජාමේ රැකගත්තේ විනිසුරු මිෂ්ලර්ට පින්සිදු වන්නටය. නමුත් ඒ හේතුවෙන් ඔහුට ඊට පසුව ඇබ්ස්කැම් සම්බන්ධ සියලුම නඩු විභාග කිරීමෙන් වැළකී සිටින්නට සිදුවිය.

මේ සියලු අකරතැබ්බ මැද ඇබ්ස්කැම් මෙහෙයුම දිනෙන් දින වඩාත් පුළුල් වෙමින් එහි උත්කෘෂ්ඨත්වය ළඟා වෙමින් තිබුණි. එහි දැලට අසුවන්නට මදි නොකියන්නට තෝරු මෝරු නිව්යෝක් හා ෆ්ලොරිඩා නුවරවල ගැවසෙමින් සිටීමත්, වාසනාවක් විය. ඇබ්ස්කැම් යනු රජය ප්‍රාර්ථනා කළ ආකාරයටම මුදල් වංචා නීතියේ රැහැනට හසුකර ගැනීමට ඇරඹුණු දෙබිඩි මෙහෙයුමක් බව ඒ සියල්ලෙන් තහවුරු විය. දූෂිත කොන්ග්‍රස් සාමාජිකයින් පවා නීතිය හමුවට ගෙනෙමින් එය එෆ්.බී.අයි. ඉතිහාසයේ දැවැන්තම ඇමරිකාවම හෙල්ලු, දෙබිඩි මෙහෙයුම බවට පත්කළේ ජෝන් ගුඩ් හා මෙල් වෙයින්බර්ග්ගේ අපූර්ව උපායශීලී දක්ෂතාවයය.

“හොර මගඩිකාරයෙක් වුණාම තියෙන්න ඕනේ ලොකුම දක්ෂකම තමයි එයාගේ ඇමට අහුවෙච්ච ‘සලකුණු‘ නියම වෙලාව එනකම් කල් ඇර ඇර කොක්කෙ එල්ලගෙන තියාගන්න එක. ඒ කියන්නේ එයාගේ සල්ලි ආපහු දෙන එක කල් දාන්න මොන ගේමක් ගහලා හරි පිළිගන්න පුළුවන් හේතු දෙන එක. මට ඒ කාලේ ඔය වගේ කල් දාන උත්තර දෙන්න වෙන දුරකතන ඇමතුම් දවසකට දහයක් පහළොවක් ඉවසන්න සිද්ධ වුණා. ඒ වගේ වෙලාව ගොත ගගහා ඇදෙන පැදෙන උත්තර දිදී ඉන්න පුළුවන්කමක් නැහැ. මුණටම කෙළින් උත්තර දෙන්න ඕනා, ආවොත් ආවා, ගියොත් ගියා. ඒත් කවුරුත් මාව දාලා ගියේ නැහැ. මොකද මගෙන් සල්ලි ඉල්ලගෙන එන අය සතුටු කරන උත්තර හැම තිස්සෙම මං ගාව තිබුණා.

එක පාරක් මම දුන්නු හේතුව ඒ දවස්වල ඉරානෙත් එක්ක තිබ්බ අර්බුදය. ඒ වගේ කාටත් බොරු කරන්න බැරි හොඳ පදනමක් තිබ්බ හේතුවලින් තමයි මම කරදරකාරයන්ව මේච්චල් කර ගත්තේ. වාසනාවකට ඒ කවුරුත් කවදාවත් මගේ බොරු අල්ලගන්න තරම් නුවණක්කාර වුණේ නැහැ. සමහර අය සල්ලි නැතිව වුණත් මට හොර තැන්පතු සහතික දෙන්න ඉදිරිපත් වුණා. අන්තිමේදි එෆ්.බී.අයි එකටම එපා වෙලා නවත්තන්න වෙන තරමට මගේ මේ ‘අද නෙවෙයි හෙට‘ සිස්ටම් එක නැඟලා ගියා. “

වෙයින්බර්ග් අදටද තම දක්ෂතා ගැන කතා කරන්නේ ආඩම්බරයකින් හා හැඟීම්බරවය.

ඇබ්ස්කැම් යනු වේදිකා නාට්‍යයක් නම් එහි චරිත නිරූපණයට ඉදිරිපත් වූ වංචාකරුවන් බොහෝ දෙනෙක් අතරමගදී හැලී ගියේ එහි අවසානයට ඔවුන්ගෙන් එතරම් දායකත්වයක් ලැබුණේ නැති නිසාය. එම ඔක්තෝබර් මාසයේ අවසාන කාලයේදි පමණ අබ්දුල්ගේ ලෝන්ග් අයිලන්ඩ්හි පිහිටි ප්‍රධාන මූලස්ථානයට ගොඩවැදුණු එක්තරා පුද්ගලයකු නිසා ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම අපවාදයක් වෙනස්ම මාර්ගයකට යොමු විය. එම පුද්ගලයා වූයේ බිල් රොසෙන්බර්ග්ය.

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

හෙට - ලාස්වේගාස් ගිය යාළුවන් දෙන්නා

 

කඩදාසි රැකීමද රටේ අභිවෘද්ධියද

$
0
0
දෙසැ 6, 2018 01:00

තරුණ නීතීඥ සංගමයේ සභාපති,ආචාර්ය කාංචන සිල්වා

''ව්‍යවස්ථාවෙන් මෙන්ම නීතිමය අංශයෙන් නොයෙක් බාධා තිබුණත් රාජ්‍ය ප්‍රතිපත්ති බාධාවකින් තොරව ඉදිරියට යා යුතුය.ව්‍යවස්ථාවේ යම් ගැටලු පැවතුණත් ඒ සියල්ල පසෙක තබා රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම පිණිස ජනපති ගත් තීන්දු තීරණ දැන් අභියෝගයට ලක්කර තිබේ''

විධායකය,ව්‍යවස්ථාදාකය හා අධිකරණය යන මෙරට ප්‍රධාන බල කේන්ද්‍ර තුනෙන් ප්‍රධාන වශයෙන් ප්‍රවෘත්ති මවනු ලබන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසිනි.මේ නිසාම මාධ්‍යය මගින් දෛනිකව විධායකය හා ව්‍යවස්ථාදායක ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධ තොරතුරු, ප්‍රවෘත්ති ජනතාව හමුවට ගෙන එනු ලබයි.ජනපති සහ මැති ඇමැතිවරුන් කියන කරන දේ සහ ඔවුන් කරනු ලබන ප්‍රකාශ කෙරෙහි මාධ්‍ය වැඩි අවධානයක් යොමු කරත්දී අධිකරණය හා සම්බන්ධ තොරතුරු වලට ලැබුණේ තරමක් අඩු අවධානයකි.දේශපාලනඥයන්ට හෝ රජයේ ඉහළ නිලධාරියකුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධ තොරතුරු හැරෙන්නට ජනතාවද අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහ.එහෙත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර එයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පත් කිරීමත් සමඟ ගෙවුණු සති හයකට ආසන්න කාලය තුළ මෙරට ජනතාවගේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ අධිකරණ තීණ්දු කෙරෙහිය.රටේ ඉදිරි ගමන සඳහා ඍජුව බලපාන තීන්දු අධිකරණය ඔස්සේ නිකුත් වීමට නියමිතය.ජනපති ගත් තීන්දු තීරණ අභියෝගයට ලක් කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබෙන අතර ඒවාහි තීන්දු ලබා දෙන තෙක් අතුරු තහනම් නියෝගද පනවා තිබේ.

අධිකරණ නියෝග

ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනපති ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ කිහිපයක් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද,දෙමළ සන්ධානයද අධිකරණයට ගියේය.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන්න පිළිබඳ එළඹෙන 07 දින අධිකරණය මගින් තීන්දුවක් ලබා දීමට නියමිතය.ජනපති පත්කළ අගමැති වරයා ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති බැවින් ඔවුන්ට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවට අභියාචනා අධිකරණයට පෙත්සම් දෙකක් මගින් ඉදිරිපත් කර තිබුණේ කතානායකවරයා හා මහාචාර්ය සරත් විජේසූරිය මහතාය.පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තිබියදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ කටයුතු කරන බව පෙත්සම්කාර පාර්ශ්ව පෙන්වා දී තිබූ අතර එය සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයේත් කැබිනට් අමාත්‍ය,රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූරවල කටයුතු කරන හතළිස් නව දෙනකුට එම ධූර දැරීමත් තාවකාලිකව වලක්වාලමින් අභියාචනා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.අභියාචනා අධිකරණය ලබාදුන් එම තීන්දුවට එකඟ නොවන බව දක්වා ආණ්ඩු පක්ෂය මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබේ.සියල්ල විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ පසුගිය මාසයක කාලය රටේ අවධානය යොමුවූ මෙන්ම රටට බලපාන්නාවූ තීන්දු තීරණ ගනු ලැබුවේ අධිකරණය විසින් බවයි.අධිකරණය මගින් ලබාදුන් මෙම තීන්දු හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වනවිට රටේ ආණ්ඩුවක් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මෙරට ප්‍රධාන බල කණු තුන අතර දැන් බරපතළ අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බවක් පෙනේ.අගමැති හා ඇමැති මණ්ඩලය පත් කිරීමේ බලධාරියා වන්නේ ජනපතිවරයාය.අධිකරණය ලබාදුන් මෙම තීන්දු ඔස්සේ දැන් ප්‍රශ්න කෙරෙමින් පවතින්නේ ජනපති ගත් තීණ්දු තීරණ හරිද වැරදිද යන්නය.ඒ අනුව විධායකය හා අධිකරණය අතර මතවාදී ගැටුමක් සඳහා අවශ්‍ය පසුබිම දැන් නිර්මාණය වී තිබේ.යම් කාරණයක් සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් ලබා දීමට ප්‍රථම එම තීණ්දුව හේතුවෙන් සමාජ අර්බුදයක් ඇති විය හැකිද යන්න සලකා බැලිය යුතුය.අර්බුදයක් සමනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාවට වඩා අර්බුදයක් තව තවත් වැඩි වීමට අධිකරණ තීණ්දුවක් බලපාන්නේ නම් එය යහපත් තත්ත්වයක් නොවේ.රටට යහපතක් ආණ්ඩුකරණයට බාධාවක් නොවන තීන්දු අධිකරණය මගින් අපේක්ෂා කරන්නේ ඊට එරෙහි තීන්දු තීරණවලින් රටත් ජනතාවත් අපහසුතාවට පත්වන බැවිනි.

බස් ජනසතු කිරීම සඳහා රජය ගත් තීන්දුවට අභියෝග කරමින් මහනුවර ඔමිනි බස් සමාගම අධිකරණයට ගියේය.එහිදී අදාළ බස් සමාගමට එදිරිව නීතිපති නඩු තීන්දුව මෙම අවස්ථාවේ සැලකිල්ලට ගැනීම සුදුසුය.රජය ගනු ලබන ප්‍රගතිශීලි තීරණය සැලකිල්ලට ගනිමින් එහිදී අධිකරණය තීණ්දුව ලබා දුන්නේ පොදු ජනතා සුබ සිද්ධිය මුල් කරගෙනය.ව්‍යවස්ථාවෙන් මෙන්ම නීතිමය අංශයෙන් නොයෙක් බාධා තිබුණත් රාජ්‍ය ප්‍රතිපත්ති බාධාවකින් තොරව ඉදිරියට යායුතුය.ව්‍යවස්ථාවේ යම් ගැටලු පැවතුණත් ඒ සියල්ල පසෙක තබා රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම පිණිස ජනපති ගත් තීන්දු තීරණ දැන් අභියෝගයට ලක්කර තිබේ.මේ සියල්ල තුළ අද සිදුව තිබෙන්නේ රට අරාජික තත්ත්වයක් වෙත තල්ලුවී යාමය.

ආණ්ඩුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් සලකා බලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අධිකරණය එහි තීන්දුව ලබා දීමට ගෙන තිබෙන කාලය වැඩිය.අදාළ කාල සීමාව දිගු වීම නිසා අද ඊට පක්ෂ හා විපක්ෂ පිරිස් මහපාරට බැස විවිධ විරෝධතා පැවැත්වීමට පටන් ගෙන ඇත.පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් බවට පත් වෙමින් මහජන මුදල් කාබසිනියා කරන තැනක් බවට පත්ව තිබේ.ආරවුලක් පවතින ඉඩමක එක් පාර්ශ්වයක් මාඉම යැයි සිතන කොටසක තාප්පයක් ඉදිකරන අවස්ථාවක අනෙක් පාර්ශ්වයට අධිකරණයේ පිහිට පැතිය හැකිය.එහිදී අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලබන්නේ දෙපාර්ශ්වය අතර අර්බුදයක් ඇති වීම වළක්වනු පිණිසය.එවැනි අවස්ථාවක තාප්පය ඉදිකළ පාර්ශ්වයට තව දුරටත් තාප්පය බැඳීමට අවසර නොලැබෙයි.

මහජන මුදල්

එලෙසින්ම අනෙක් පාර්ශ්වයට තාප්පය කඩා බිඳ දැමීමටද අවකාශ නොලැබෙන බව ද අප තේරුම් ගත යුතුය.තාවකාලිකව ලබා දෙන අතුරු තහනම් නියෝගයක් මගින් නඩුවේ වාසිය කාටද යන්න තීරණය නොවේ.අද සිදුවන බොහෝ දේ වලින් පෙනෙන්ට තිබෙන්නේ මෙම තත්ත්වය ඇතැමුන් නිවැරැදිව වටහාගෙන නොමැති බවය.

කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුව රැස්කර විශ්වාස භංග සම්මත කිරීමට අවකාශ සලසද්දී ආණ්ඩු පක්ෂය දිගින් දිගටම කතානායක තීන්දු තීරණ වර්ජනය කරමින් පාර්ලිමේන්තුවට නොයා සිටියි.මෙම කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා වැයවන මහජන මුදල ලක්ෂ දහස ඉක්මවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය නිවැරදි යැයි අධිකරණය මගින් තීන්දුවක් ලබාදුන හොත් සිදුවන්නේ කුමක්ද?.මෙම කාලය තුළ වැයකළ මහජන මුදල්වලට වග කියන්නේ කවුද?.අධිකරණය මෙම තීණ්දුව ලබාදීම පිණිස මෙතරම් කාලයක් නොගෙන එක දිගට අදාළ පෙත්සම් විභාග කර තීන්දුවක් කඩිනමින් ලබා දුන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නට තිබිණි.අධිකරණය මෙම තත්ත්වය පිළිබඳව සලකා බැලිය යුතුව තිබිණි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට ගොස් රට ආරාජිකවී අර්බුද රැසක් මැදට රට තල්ලුවී යන්නේ නම් ඉන් පලක් නැත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන්නේ රටේ හා ජනතාවගේ සුබ සිද්ධියය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නට ගොස් එම අපේක්ෂා භංග වන්නේ නම් එය යළි යළිත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

ව්‍යාකූලත්වයක් ඇති වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට පරමාධිපත්‍ය බලය හිමි වන්නේ ජනතාවට මිස පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට නොවේ.විධායකය තීරණය කර තිබෙන්නේ ජනතා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට එය උරගා බැලීම සඳහා අවකාශ ලබා දීමටය.අද වනවිට විධායකය තරමක ව්‍යාකූලත්වයකට පත්ව ඇත.ව්‍යවස්ථාදායකය මුළුමනින්ම මේ ඔස්සේ ව්‍යාකූලත්වය පත්ව තිබේ.අධිකරණයද මෙම ගැටලුව හේතුවෙන් දැන් ව්‍යාකූලත්වට පත් වෙමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්ට තිබේ.ලෝකයේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භවූ මුල් වකවානුවේ තීන්දු ලබා දීමේදී ප්‍රාථමික රීති අනුගමනය කළේය.නීති පොත්වල තද කළු අකුරින් දක්වා ඇති වගන්ති ප්‍රකාරව තීන්දු ලබා දීම එහිදී සිදු කෙරුණි.

පසුකාලීනව ස්වර්ණමය රීතිය හඳුන්වා දෙනු ලැබුණේ, පෙර රීතිය අනුගමනය කිරීම තුළින් සිදුවන වැරදි තවත් අවම කර ගැනීමටය.එහිදී පොත්වල පැවැති වගන්තිවලින් ඔබ්බට ගොස් පෙනෙන්ට තිබෙන කාරනාද සැලකිල්ලට ගෙන තීන්දු ලබා දුන්නේය.එයින්ද ඔබ්බට ගොස් අද ලෝකය පුරා පිළිගනු ලබන්නේ අනර්ථ රීතියයි.එහිදී යම් තීන්දුවක් මගින් සිදුවන අනර්ථයද සැලකිල්ලට ගෙන එයද වැලැක්වීම කෙරෙහි අවධානය යොමුකර තීන්දු ලබා දීම සිදු කෙරෙයි.මෙය ලෝකයම පිළිගන්නා තත්ත්වයකි.පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවූ කැළඹීම් ස්වභාවයත් සමඟ අධිකරණය මගින් ලබාදුන් තීන්දුවලදී අනර්ථ රීතිය සැලකිල්ට ගත්තේද යන ප්‍රශ්නය දැන් මතුව තිබේ.එම තීන්දුවලින් පසු සමාජය තුළ අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලිව දක්නට ලැබෙන තත්ත්වයකි.

පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් මතුව තිබේ. ලබන වසර සඳහා අයවැය සකස් කිරීම ගැටලුවක් බවට පත්ව ඇත.අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් නොමැත.මේ නිසාම රාජ්‍ය අංශයද අකර්මණ්‍ය වී තිබේ.රට ආර්ථික අතින් පහළට ඇද වැටෙත්දී රුපියල අගය ඩොලරය හමුවේ තව තවත් කඩා වැටෙමින් ඇත.සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබේ.රටේ ඉදිරි ගමන් මඟ පිළිබඳව අවිනිශ්චිත වාතාවරණයක් ගොඩ නැගෙමින් ඇත.මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීම පිණිස විධායකයට ව්‍යවස්ථාදායකට මෙන්ම අධිකරණයටද බරපතළ වගකීමක් පැවරී ඇත.කඩදාසි රැකීමට වඩා කළ යුතුව තිබෙන්නේ රටේ යහපැවැත්ම හා අභිවෘද්ධිය පිණිස තීන්දු තීරණ ගැනීමය.

සටහන අසේල කුරුළුවංශ

පස ජීවිතයේම කොටසක්

$
0
0
දෙසැ 6, 2018 01:00

l දෙසැම්බර් 05 ලෝක පාංශු දිනයයි

තමන්ගේ පස විනාශ කර­ගන්නා ජාතිය තමාගේ විනාශය ද ළඟා කර ගනී - ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්

පස් මඟින් සපයන ප්‍රධාන පරිසර පද්ධති සේවා පාංශු දූෂණය හේතුවෙන් බරපතළ ලෙස හානියට පත් කරනු ඇති බව විද්‍යාත්මක සොයා ගැනීම් මඟින් තහවුරු වී ඇත. පාංශු දූෂණයෙන් ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල වන අතර විෂ රසායන මඟින් දූෂණය වූ පසෙහි පලදාව අඩුවීම නිසාත් දූෂණයට ලක්වූ පසෙහි වැවෙන භෝග මිනිස් හෝ සත්ව ආහාරයට නුසුදුසු වීම නිසාත් මෙම අනතුර ඇති කරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් වාර්ෂිකව ලෝක පාංශු දිනය ලොව පුරා සමරනු ලබයි. එදිනට පාංශු සංරක්ෂණය සහ තිරසාර ඉඩම් භාවිතයට අදාළ තේමා යටතේ විවිධ වැඩසටහන් ද ක්‍රියාවට නංවයි. මෙවර ලෝක පාංශු දින තේමාව වන්නේ “පාංශු දූෂණයට විසඳුමක් වෙමු!”යන්නයි. ලෝක පාංශු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ප්‍රධාන වැඩසටහන වැලිමඩ දඹුගස්සාගල දී පැවැත්විණ.

කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු නිමල් ගුණසේන පවසන්නේ ඉඩම් හායනයට ලක්වීම ශ්‍රී ලංකාවේ ද ඉතා බරපතළ ගැටලුවක්ව ඇති බවයි. ඇස්තමේන්තුවලට අනුව ලංකාවේ ඉඩම්වලින් 1/3ක් පස් සෝදා පාලුවට ලක්වීමේ අනතුරකට මුහුණ දී ඇත. පාංශු ඛාදනය සහ පසේ පෝෂක ක්ෂය වීම මඟින් පස නිසරු වීම මධ්‍ය කඳුකරයේ ඉඩම් හායනයේ දක්නට ලැබෙන ප්‍රධානතම තර්ජන දෙකයි. මධ්‍ය කඳුකරයේ කෘෂිකාර්මික ඉඩම්වලින් 50% ක් මේ වන විටත් හායනය වී ඇත. පාංශු හායනය පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයට අනුව මධ්‍ය කඳුකරයේ මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක වඩාත්ම බරපතළ ලෙස පාංශු හායනයට ලක් වූ දිස්ත්‍රික්ක බවට හඳුනාගෙන ඇති බව ඔහු පවසයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරන ලද “පාංශු දූෂණය සැඟවුණු යථාර්ථයක්” (Soil Pollution a Hidden Reality) වාර්තාවට අනුව පාංශු දූෂණය යන්නෙන් අදහස් කරන්නේ පස තුළ රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් සංඝටක ආගන්තුක ලෙස අඩංගු වීම හෝ නියමිත සාන්ද්‍රණයට වඩා වැඩියෙන් අඩංගු වීමත් එමඟින් ඉලක්කගත නොවන යම් ජීවීන් වෙත අහිතකර බලපෑම් ඇති කිරීමයි. පාංශු දූෂණය ඍජු ලෙස තක්සේරු කිරීමට හෝ ඇසින් දැක ගැනීමට නොහැකි බැවින් එය සැඟවුණු අනතුරකි.

ලෝකයේ පාංශු සම්පත්වල තත්ත්වය පිළිබඳ මෑත දී එළිදැක්වුණු වාර්තාවකට අනුව පාංශු දූෂණය ලෝකයේ පාංශු සම්පත්වලට සහ ඒවා විසින් සපයනු ලබන පරිසර පද්ධති සේවාවලට බලපාන ප්‍රධානතම තර්ජනයකි. පාංශු දූෂණය පිළිබඳ ලෝකයේ සියලුම කලාපවල දැඩි අවධානය යොමු වෙමින් පවතී.

මෑතදී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව විසින් සම්මත කළ යෝජනාවක් මඟින් පාංශු දූෂණය වැළැක්වීමට සහ කළමනාකරණයට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සඳහා සහයෝගයෙන් ක්‍රියාකරන ලෙසත් සියලු රටවලින් ඉල්ලා සිටිනු ලැබීය. මේ සඳහා ලෝකයේ රටවල් 170 කට අධික සංඛ්‍යාවක් එකඟතාවය පළ කරන ලදී. එමඟින් පාංශු දූෂණය ලෝකයේ රටවල්වලට අදාළ වන ආකාරයත්, මෙම අනතුර වැලක්වීමටත්, ඒ සඳහා හේතු, එමඟින් ඇතිවන බලපෑම් අවම කර ගැනීමටත් ඇති අභිලාෂය පැහැදිලිව පෙන්නුම් වේ.

පාංශු දූෂණයට ඉවහල් වන ප්‍රධාන කාරක වන්නේ භාවිත කරන හෝ කර්මාන්තවල අතුරු පල ලෙස නිපදවන රසායනික ද්‍රව්‍ය, ගෘහාශ්‍රිත, සත්ව ගොවිපළවල හා නාගරිකව ඇති කරන අපද්‍රව්‍ය (අපජලය ඇතුළු), කෘෂි රසායන ද්‍රව්‍ය සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයි.

මෙම රසායනික ද්‍රව්‍ය පරිසරයට නිදහස් වීම අනපේක්ෂිතව සිදුවිය හැකි අතර ඛනිජ තෙල් කාන්දු වීම් හෝ ඉඩම් ගොඩකිරීම් සඳහා යොදාගත් ද්‍රව්‍යවලින් නිසාරණය වී කාන්දුවීම් උදාහරන වේ. එමෙන්ම හිතාමතා පාංශු දූෂක එක්කරන අවස්ථා ඇත. රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම, පිරිපහදු නොකරන ලද අප ජලය, වාරි ජලය ලෙස යොදා ගැනීම සහ මළ අපද්‍රව්‍ය සහිත රොන්මඩ බිම් සැකසීම් සඳහා යොදාගැනීම උදාහරණ වේ. වායුගෝලීය තෙරපුම නිසා අවක්ෂේපණය වීමෙන්, කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේ දී සුළඟට ගසාගෙන යාමෙන්, ආයුධ අත්හදා බැලීම්වල දී හෝ න්‍යෂ්ටික අනතුරු ආදිය නිසා ද පාංශු දූෂණ ඇති වේ.

ඖෂධ, අන්තරාසර්ඝ විභේදක, හෝමෝන සහ විෂ වැනි නව පාංශු දූෂක රසායන පිළිබඳ ද ජීව විද්‍යාත්මක පාංශු දූෂක වන බැක්ටීරියා සහ වෛරස් පිළිබඳ අලුතින් අවධානය යොමු වී ඇත. පස් මඟින් සපයන ප්‍රධාන පරිසර පද්ධති සේවා පාංශු දූෂණය හේතුවෙන් බරපතළ ලෙස හානියට පත් කරනු ඇති බව විද්‍යාත්මක සොයා ගැනීම් මඟින් තහවුරු වී ඇත. පාංශු දූෂණයෙන් ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල වන අතර විෂ රසායන මඟින් දූෂණය වූ පසෙහි පලදාව අඩුවීම නිසාත් දූෂණයට ලක්වූ පසෙහි වැවෙන භෝග මිනිස් හෝ සත්ව ආහාරයට නුසුදුසු වීම නිසාත් මෙම අනතුර ඇති කරයි.

නයිට්‍රජන් සහ පොස්පරස් වැනි පෝෂක ඇතුළත්ව බොහෝ පාංශු දූෂක පසේ සිට මතුපිට සහ භූගත ජලයට මුසු වන අතර එමඟින් විශාල පරිසර හානි ඇති වේ. මෙම පෝෂක අධික ලෙස ජලයේ සාන්ද්‍රණය වීම හේතුවෙන් ඇල්ගී වර්ධනය වීම සහ ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවීමත් දූෂිත ජලය පානයට ගැනීම හේතුවෙන් මිනිසුන්ට විවිධ රෝග ඇති වීමත් සිදුවේ.

එමෙන්ම පාංශු දූෂක ඍජුවම පසෙහි අති ක්ෂුද්‍ර ජීවීන්ට සහ පසෙහි සිටින අනෙකුත් ජීවීන්ට හානි කරන අතර එමඟින් පාංශු ජෛව විවිධත්වය හානියට පත්වන අතර එම ජීවීන් විසින් සපයන සේවාවලට බලපෑම් ඇති කරයි.

විද්‍යාත්මක සොයාගැනීම්වලට අනුව පාංශු දූෂණය ඍජුවම මිනිසාගේ සෞඛ්‍යට බලපෑම් ඇති කරයි. ඍජුවම මිනිස් සෞඛ්‍යට බලපෑම් එල්ල කරන්නේ ආසනික්, ඊයම්, කැඩ්මියම්, කාබනික රසායනික ද්‍රව්‍ය වන පොලික්ලොරිනේටඩ් බ්යිපිනයිල්, පොලිසයික්ලික් ඇරෝමටික් හයිඩ්‍රොකාබන් සහ ප්‍රතිජීවක වැනි ඔසුයි.

1986 වසරේ දී රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර ව්‍යසනයේ දී විකිරණශීලී ද්‍රව්‍ය මඟින් සිදු වූ මහා පරිමාන පාංශු දූෂණය බොහෝ ජනතාවට දිගු කාලීන මතක ඉතිරි කර ඇත. දූෂණය වූ පස්වලට ප්‍රතිකර්ම කිරීම අත්‍යවශ්‍ය වන අතර නව විද්‍යාත්මක ප්‍රතිකර්ම සොයා ගැනීම සඳහා පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ.

පාංශු දූෂණය වැළැක්වීම සඳහා අවදානම් තක්සේරුව අනුව සිදු කරන ප්‍රවේශය ලොව පුරා ක්‍රියාවට නැ‍ඟෙන අතර එහි දී පාංශු දූෂණයට බලපාන ස්වභාවික ද්‍රව්‍ය හෝ මිනිසුන් විසින් නිපදවන ද්‍රව්‍ය හඳුනා ගැනීම හා ඒවායේ දූෂණ පරිමාණය, පරිසරයට සහ මනුෂ්‍ය සෞඛ්‍යයට ඇති කරන අවදානම පිළිබඳ තක්සේරු කෙරේ. හානිකර රසායනික ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම සහ ගොඩකරන ලද ඉඩම්වල රසායනික ද්‍රව්‍ය වෙන් කිරීම වැනි මිල අධික භෞතික ප්‍රතිකර්ම වෙනුවට වැඩි දියුණු කරන ලද ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක හායනයන් සහ ශාක යොදා ගනිමින් පසෙහි ඇති හානිකර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම වැනි ජීව විද්‍යාත්මක ක්‍රම වැඩි වැඩියෙන් යොදා ගනිමින් තිබේ.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සංශෝධිත “ලෝක පාංශු ප්‍රඥප්තිය”මඟින් නිර්දේශ කරන පරිදි පාංශු දූෂණය වැළැක්වීමට නීති ක්‍රියාත්මක කරන සහ පිළිගත් සම්මත ප්‍රමාණයට වඩා පාංශු දූෂක සාන්ද්‍රණය වීම වැළැක්වීමට කටයුතු කරන රාජ්‍ය එම රටවල ජනතාවගේ ඉහළ සොඛ්‍ය තත්ත්වය සහ යහපත් ජීවිතයත්, සොඛ්‍ය සම්පන්න පරිසරයත් ජනතාවට සුරක්ෂිත ආහාර ලබා දීමත් සහතික කිරීමට සමත් වන බව පවසයි. ප්‍රඥප්තිය මඟින් සම්මත ප්‍රමාණයට වඩා දූෂණයට ලක්වූ පස් ප්‍රතිකර්ම මඟින් යථා තත්ත්වයට පත්කර ජනතාවගේ සෞඛ්‍යය සහ පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද රජයන්ට අවධාරණය කරයි. එමෙන්ම ගෝලීය වශයෙන් තිරසාර පාංශු කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාවට නගමින් කෘෂිකාර්මික මූල මඟින් සිදුවන පාංශු දූෂණයන් සීමා කිරීම ද අත්‍යවශ්‍යව ඇති බව ප්‍රඥප්තියෙන් අවධාරණය කරයි.

ගාමිණී වරුෂමාන

ගතවන මොහොතේ රාජ්‍ය සේවය

$
0
0
දෙසැ 6, 2018 01:00

ආණ්ඩුවේ කිනම් අර්බුද තිබුණද ජනතාව වෙනුවෙන් සිය වගකීම් නොපිරිහෙළා ඉටු කරන ලෙසද ඒ සම්බන්ධයෙන් තමා සියලු වගකීම් බාර ගන්නා බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දුන්නේය. රාජ්‍ය සේවය යනු මහජන සේවයය. එබැවින් කුමන තත්ත්වයත් යටතේ වුවද, මහජන සේවය ඉටු විය යුතුය. අර්බුද අවස්ථාවක රාජ්‍ය සේවකයන්ට පැවරෙන වගකීම හා යුතුකම කුමක්ද යන්න පිළිබඳ විද්වතුන් දක්වන අදහස් වෙනුවෙන් මෙවර දේශපාලන කොලෝසිමේ ඉඩ වෙන්වේ.


සුපුරුදු විදියට රාජකාරි කරන්න

මහාචාර්ය ගාමිණී සමරනායක

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කරන ලද අතුරු තහනම් නියෝගය නිසා ආණ්ඩුව අක්‍රීයභාවයට පත්වුණා. අභියාචනාධිකරණ තීන්දුව ලැබෙන තුරු යම්කිසි අස්ථාවරභාවයක් පවතිනවා. නමුත් පැහැදිලිවම සඳහන් කළ යුතු කාරණාව වන්නේ මෙහිදී අස්ථාවර වී ඇත්තේ ආණ්ඩුව පමණයි. රජය ස්ථාවරව පවතිනවා. ආණ්ඩුව ලෙසින් අප හඳුන්වන්නේ මහජනයා විසින් ඔවුන්ගේ මතයට අනුව පත්කරගන්නා ආයතනයක්. එය රටෙහි භූමිය, ප්‍රජාව, ස්වාධිපත්‍ය ඇතුළත්ව ස්ථාවරව පවතින රජයේ එක කොටසක් පමණයි. සියලු අන්තර්ජාතික සබඳතා පවතින්නේ ආණ්ඩුව සමඟ නොවේ රජය සමඟ. ඒ නිසා මේ තිබෙන තත්ත්වය යටතේ සියලු අමාත්‍යාංශ තමන් භාරයට ගනිමින් ඒවායේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට ජනාධිපතිතුමාට වගකීමක් බලයක් තිබෙනවා.

රජයේ සේවකයන්ගේත් අමාත්‍යාංශවලත් ප්‍රධානියා විධායකය. 1958 හදිසි අවස්ථාව ක්‍රියාත්මක කළ අවස්ථාවේදීත් රජයේ විධායකය බවට පත්වූ ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක යටතේ සියලු දිසාපතිවරුන් සහ පරිපාලන නිලධාරින් ක්‍රියාත්මක වුණා. මේකත් එවැනි අවස්ථාවක්. මෙතැනදී විධායකයේ නියෝගවලට අනුව කිසිදු බේදයකින් තොරව සිය කාර්යභාරය අඛණ්ඩව සුපුරුදු ආකාරයෙන් පවත්වාගෙන යාම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය සේවකයන්ගේ කාර්යභාරයක්. අධිකරණ තීන්දුව හෝ ආණ්ඩුවෙහි ව්‍යාකූල බව නිසා රාජ්‍ය කටයුතු බිඳවැටීම හෝ අකර්මණ්‍ය වීම සිදුවිය නොහැකියි. එයින් මහජනතාවට අහිතකර බලපෑමක් සිදුවිය යුතු නැහැ. ආණ්ඩුවේ කටයුතු යථා තත්ත්වයට පත්වන තුරු බලාසිටීම කළ හැකි හෝ කළ යුතු ක්‍රියාවක් නොවෙයි. ඒ නිසා සිය වගකීම් පිළිබඳ අවධානය යොමුකරමින් විධායකයට අනුව ක්‍රියාත්මක වීම සිදුකළ යුතුයි. විශේෂයෙන්ම ආරක්ෂක ‍සේවාවන්ට මෙහිදී විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. රටේ නීතිය සහ සාමය ආරක්ෂාකිරීම කෙරෙහි සිදුවී ඇති යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිසා රටේ සියලු කටයුතුවලට බලපෑම් සිදුනොවන ආකාරයෙන් එම කටයුතු ඉදිරියට කරගෙන යාම රාජ්‍ය අංශයේ සියල්ලන්ගේම වගකීමක්.

දිල්රු ජයසේකර


ජනතා සුබසාධනය මඟහැරිය නොහැකියි

 ආචාර්ය මාලක රණතිලක

මේ වන විට ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය සුවිශේෂීම එකකි. මෙවැන්නක් මීට පෙර අප රටේ සිදු වී නැත. මෙවන් මොහොතක පූර්ණ වශයෙන්ම රට පාලනය කිරීමේ බලය ව්‍යවස්ථානුකූලවම විධායක ජනාධිපතිවරයා වෙත පැවැරී තිබේ.

‍රටේ මූල්‍ය පාලනයේ බලය හා අනුමැතිය පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ සිදු කළ යුතුය. මේ වන විට පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ජාතික අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් හෝ ඉදිරිපත් කිරීමට කටයුතු කළ නොහැකි ස්වභාවයක් නිර්මාණය වී තිබේ. වසර 2018 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ මූල්‍ය පාලනය මීට කිසිසේත්ම බලපාන්නේ නැත. මේ වසර නිමාවන තෙක් රජයේ වියදම් කිසිදු ගැටලුවකින් තොරව කළ හැකිය. හේතුව 2018 අයවැය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන නිසාය.

මේ වන විට රටේ මතුව ඇති දේශපාලන අර්බුදය නිසා ප්‍රශ්නයක් වන්නේ නම් ඒ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉදිරියට රජයේ වියදම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමයි. නමුත්! ඒ සඳහා අනුමැතිය ලබාගන්නට අවස්ථාවක් නොමැති නම් ජනාධිපතිවරයාට මාස හතරකට රටේ මූල්‍ය පාලනය කිරීමට විසර්ජන පනත් කෙටුම්පතක්, අතුරු සම්මත අයවැයක් තුළින් අවකාශ සලසා ඇත. පාර්ලිමේන්තුව අක්‍රීය වී තිබෙන මොහොතක ඉදිරියට කළ හැකි කාර්යය එයයි.

ලෝකයේ ඕනෑම රටක ප්‍රධාන වශයෙන් රජය සහ රාජ්‍ය අංශය කියා දෙපාර්ශ්වයක් ක්‍රියාත්මක වේ. මින් රජය යනු කිසියම් නිශ්චිත කාලපරිච්ඡේදයකට ජනතා පරමාධිපත්‍ය බලය වන ඡන්ද බලයෙන් ජනතා කැමැත්තෙන් රට කරවීමට ආණ්ඩුවක් පත්කර ගැනීමය. ජනතා කැමැත්තෙන් පත්වන රජය, රටේ සංවර්ධනය, ජනතා සුබසාධනය සඳහා වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති, නීතිරීති සම්පාදනය කිරීමෙහිලා කටයුතු කරයි.

රාජ්‍ය අංශය යනු, රජය ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කරන ව්‍යුහාත්මක කොටසයි. ජනතාවගේ රාජ්‍ය සේවා අවශ්‍යතා කිසිම ප්‍රමාදයකින්, අපහසුතාවයකින් තොරව කඩිනමින් සුහදශීලීව ඉටුකරලීම මේ ව්‍යුහාත්මක කොටසේ නැතිනම් රාජ්‍ය පරිපාලන නිලධාරි කණ්ඩායමේ වගකීමය. ඒ අනුව චිරාත් කාලයක් මුළුල්ලේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සෙසු රාජ්‍ය සේවකයන් අඛණ්ඩව මේ සේවාවන් ඉටුකොට ඇත. අදටත්, හෙටටත් එය එලෙසම ඉටුකළ යුතුව ඇත.

මේ වන විට රටේ පත්ව ඇති සුවිශේෂී අර්බුදකාරී තත්ත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව පිළිබඳව අධිකරණයේ පෙත්සමක් විභාග වෙමින් පවතියි. එහි තීන්දුව කුමක්දැයි ‍තවමත් ප්‍රකාශ වී නැත. කෙසේ නමුත්! ඕනෑම රටකට ආර්ථික හා සාමාජික ස්ථාවරභාවය ඇතිකරලීමට දේශපාලන ස්ථාවරභාවය පැවැතිය යුතුය. ඒ අනුව අප රටේ ද දේශපාලන ස්ථාවරභාවය ඉක්මනින් ඇතිකර ගැනීමට දේශපාලන පක්ෂ නායකයන් කටයුතු කළ යුතුය. මතුව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රටේ පොදු මහජනතාවට සිදුවන පීඩා අවමකොට, එතෙක් රටේ සාමාන්‍ය පරිපාලනය ඉදිරියට ගෙන යා යුතුව ඇත. ඒ සඳහා ක්‍රියාත්මක වීමේ පූර්ණ ‍බලය ජනාධිපතිවරයා ‍සතුය.

ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය සේවය යහපත්ව ක්‍රියාත්මක කිරීමට කැපවන්නැයි සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටීම සහ ඒවා සම්බන්ධ පූර්ණ වගකීම හා වගවීම තමා දරන බව පැවැසීම පැසසිය යුතු කරුණකි.

රාජ්‍ය සේවකයන්ට අතීතයේ පටන් සිදුකිරීමට පැවැරී ඇති පොදු ජනතාවගේත්, රටේත් අභිවෘද්ධිය, තිරසාර බව උදෙසා වූ සේවා සැපැයීම මෙවන් අර්බුදකාරී මොහොතක නොපිරිහෙළා ඉටුකිරීමට දිරියක්, බලගැන්වීමක් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම මඟින් සිදු වී තිබේ. එය, මේ අර්බුදකාරි තත්ත්වයන් කෙමෙන් පහව යන තෙක් රාජ්‍ය සේවය බිඳ නොවැටී හෝ ජනතාව අපහසුතාවයට පත්නොකොට හෝ රටක් ලෙස අපට ඉදිරියට යා හැකි සුදුසුම මඟය.

ජයසිරි මුණසිංහ


අර්බුදයේ බලපෑමෙන් ජනතාව මුදවන්න

 ආචාර්ය සුදත් ගුණසේකර

අගමැති හා ඇමැති මණ්ඩලය සඳහා අතුරු තහනම් නියෝගයක් පැනවූ පසු රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටීමට නොදී ඉදිරියට පවත්වා ගෙන යෑමේ කාර්ය භාරයේ වැඩි වගකීම පැවරෙන්නේ අමාත්‍යංශ ලේකම්වරු හා දෙපාර්තුමේන්තු ප්‍රධානීන්ටය. අගමැති, ඇමැතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලධාරීයා වන්නේ ජනපතියි. රටේ විධායක ජනපති ලෙස තේරී පත්වන පුද්ගලයාගේ පරම යුතුකම වන්නේ මහජන සුබසෙත සඳහා වැඩ කිරීමය. පවතින අර්බුදකාරී වාතාවරණය මගින් රටේ ආණ්ඩුවක් නොමැති තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මේ හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයද කඩා වැටීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් සිදුවන්නේ සාමාන්‍ය ජන ජීවිතය පවා අඩාල වීමය.

රාජ්‍ය සේවකයා යනු බලයේ සිටින දේශපාලන පක්ෂයේ ගෘහ සේවකයෙකු නොවේ. ඉංග්‍රීසීන් විසින් මෙය පබ්ලික් සර්විස් ලෙස නම් කළේ එබැවිනි. සුද්දා මහජන සේවය ලෙස නම් කළ වෘත්තිය අපේ පාලකයන් රාජ්‍ය සේවය ලෙස වෙනස් කළේය. නීති තිබෙන්නේ මිනිස්සු වෙනුවෙන් මිස මිනිස්සු ඉන්න ඕන නීති වෙනුවෙන් නොවෙයි. ජන ජීවිතය අඩාල වී රට අර්බුදයකට ලක් වෙනවා නම් නීතිවලින් පිටින් ගොස් බහුජන හිතසුව පිණිස කටයුතු කිරීම වරදක් නොවෙයි. ජනපති දැන් ගෙන තිබෙන්නේ එවැනි තීරණයක්. මේ මොහොතේ ආණ්ඩුවක් නොමැති අවස්ථාවක නීති මත තවදුරටත් යැපෙමින් ජන ජීවිතය තව තවත් අවුල් කිරීමට කවුරුන් හෝ උපදෙස් දෙන්නේ නම් එය පිළිගත හැකි තත්ත්වයක් නොවේ.

අමාත්‍යංශ ලේකම්වරුන්ට පැවරෙන ප්‍රධාන රාජකාරී දෙකක් තිබේ. එකක් නම් අමාත්‍යංශයේ ඇමැතිවරයාට අවශ්‍ය මඟ පෙන්වීම හා උපදෙස් ලබා දීමය. දෙවැන්න අමාත්‍යාංශයට ලැබෙන මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමය. ඇමැති මණ්ඩලයට වාරණයක් පනවා තිබෙන බැවින් දැන් ලේකම්වරුන්ගේ පළමු කාර්යය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවත් මූල්‍ය කළමනාකරණය සිදු කිරීමට ඔවුනට බාධාවක් නොමැත. මේ වනවිට ජනපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හැරීමක් සිදුකර තිබුණත් එම තීන්දුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා තිබෙන බැවින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම පිණිස කිසිදු බාධාවක් නොමැත. මේ අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ද දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් පිළිබඳ නොසිතා ජනතා සේවයට කැපවිය යුතුය. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයාගේ පරම යුතුකම වන්නේ මේ පවතින දේශපාලන අර්බුදවල බලපෑම ජනතාවට දැනෙන්නට ඉඩ නොදී හැකි තරම් තමන්ගේ වගකීම් කොටස ඉටු කරන්නට වෙහෙස වීමය.

අසේල කුරුළුවංශ


ජනපති කළේ වැදගත් ඉල්ලීමක්

 ආචාර්ය අජිත් දිසානායක

මේ වන විට අප රටේ මතුව ඇති තත්ත්වය හමුවේ ආර්ථික, සාමාජික ක්ෂේත්‍රවල පවා පීඩා මතුව තිබේ. මේ පීඩා ඇතිවීමට හේතුව රටේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කඩිමුඩියේ සිදුකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. මේ ව්‍යවස්ථා සංශෝධනයට පෙර විධායක ජනාධිපති, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ව්‍යුහයන් තුන ගැටලුවකින් තොරව ක්‍රියාත්මක විය. එනමුත් 2015 ජනවාරි 08 න් පසුව කඩිමුඩියේ සිදුකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් වර්තමානය වන විට මේ ආයතන තුන තුළ බලය පිළිබඳ විවාදයක්, කතිකාවක් ඇරඹී තිබේ. එය මේ වන විට අධිකරණමය ක්‍රියාදාමයක් තුළින් විසඳාගන්නා තත්ත්වයට පැමිණ ඇත.

මෙවන් වටාපිටාවක රටේ සාමාන්‍ය ජනතාවට රාජ්‍ය සේවා කිසිදු අපහසුතාවකින් අවහිරයකින් තොරව ලබාගැනීමට බාධා වන්නේ නම් එය වැළැක්වීම ජනාධිපතිවරයා සතු යුතුකමකි. වගකීමකි. ඒ සඳහා වූ පූර්ණ ව්‍යවස්ථානුකූල බලය ජනාධිපතිවරයාට හිමි වී තිබේ.

ඒ අනුව යමින් ර‍ටේ රාජ්‍ය සේවය බිඳ නොවැටී පවත්වා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රධාන ‍රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීම අගය කළ යුතුය. එසේ නොවුණා නම් රාජ්‍ය සේවයේ පිහිට පතන සාමාන්‍ය ජනතාවට පීඩාවලට ලක්වීමට ඉඩකඩ ලැබෙනු ඇත.

සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොකොට රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නිලධාරීන්ට උපදෙස් දීමට ජනාධිපතිවරයාට නොහැකි යැයි විපක්ෂයේ ඇතැම්හු පවසති. එය අමු මුළාවකි. ජනාධිපතිවරයා රටේ ජනතාවගේ නායකයාය. සේනාධි නායකයාය. ජාතික ආරක්ෂාව, රටේ ජනතාවගේ සුබසාධනය, සංවර්ධනය පිළිබඳ වගකීම් දරන පුද්ගලයාය. රටේ ජනතාවගේ දුක, කඳුළ පිසදාලීමට රාජ්‍ය සේවය නිසි ලෙස යොදාගන්නට උපදෙස් දීම, මඟපෙන්වීම ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාමය අයිතියකි.

කරුණු එසේ හෙයින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන්ගෙන් කළ ඉල්ලීම ඉතාම සාධාරණය. එවන් ඉල්ලීමක් සිදු නොවන්නට රාජ්‍ය නිලධාරීන් විවිධ කටකතා, විවිධ වැරදි මත, අදහස් අනුව සේවය කරන පිරිසක් බවට පත්වීමට පවා ඉඩ තිබුණි. මේ සියලු දෝෂ නිවැරැදි කිරීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම හේතු විය.

රටේ ජනතාවගේ සැබෑ ජනනායකයා ලෙස මේ අවස්ථාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමේ වටිනාකමේ අගය වැඩි බව කිව යුතුය.

ජයසිරි මුණසිංහ


වැඩිපුර වැඩ කරන්න ඕන වෙලාවක්

 මහාචාර්ය චන්දන පී. උඩවත්ත

විධායකයේ ප්‍රධානියා රටේ ජනාධිපතිවරයායි. අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නෙ ජනාධිපතිවරයා විසින්. අමාත්‍යංශ ලේකම්වරුන්ට රාජකාරි පවරන්න සහ ඕනම අවස්ථාවක උපදෙස් ලබා දෙන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඇමතිවරු නැතිවීම එතනදි ගැටලුවක් නෙවෙයි. අපිට ඉහළින් ඉන්න නිලධාරියට වගේම ඊට ඉහළින් ඉන්න නිලධාරීන්ටත් අපිට රාජකාරි පවරන්න පුළුවන්. රටේ අගමැතිවරයෙක් හෝ අමාත්‍ය මණ්ඩලයක් නැති අවස්ථාවක තීන්දු තීරණ ගන්නත්, නිලධාරීන් මෙහෙයවන්නත් ජනාධිපතිතුමාට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනපතිට තියෙන බලය අභියෝගයට ලක් කරන්න බෑ. අපිට ඉන්නෙ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක්.

අමාත්‍යංශ ලේකම්වරුන්ට වගකීම් හා රාජකාරි පැවරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. පවත්නා දේශපාලන අර්බුදය හමුවේ රට අරාජික වෙන්න නොදී ජනපති ගත්ත මේ තීන්දුව කාලෝචිතයි. මේ වෙද්දි රජයේ ඉහළම තනතුරක් දරන නිලධාරියකු විදිහට රටට ඉන්නෙ ජනාධිපතිවරයා.

රටේ සහ රජයේ කටයුතු, මහජනතාවගේ කටයුතු, සුබසාධන කටයුතු නොපිරිහෙළා පවත්වාගෙන යෑමට එතුමට සම්පූර්ණ වගකීමක් පැවරෙනවා. මේ පවත්නා තත්ත්වය යහපත් අතට හැරෙන තුරු එදිනෙදා කටයුතු කරගෙන යා යුතුයි. ඒ හේතුව නිසා තමයි ජනාධිපතිතුමා, අමාත්‍යංශ ලේකම්වරුන්ට ඒ විදිහට උපදෙස් දීලා තියෙන්නෙ.

පවතින තත්ත්වය කුමක් වුවත් යම්කිසි රාජකාරියක් සහ වගකීම් සමුදායක් අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු ඒ සියලුම නිලධාරීන්ට පැවරිලා තියෙනවා. තමන්ගේ තනතුර ඇතුළෙ පැවරිලා තියෙන රාජකාරිය අකුරට ඉටු කිරීමට තමන්ගෙ ඉහළ නිලධාරියා පුටුවෙ ඉන්නවාද නැද්ද කියන එක අදාළ නෑ.

රාජ්‍ය සේවය වෙනුවෙන් ඔවුන් මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබනවා වගේම තම තමන්ගේ රාජකාරීය නොපිරිහෙලා ඉටු කිරීමටත් බැඳී සිටිය යුතුයි. පත්වීමේ ලිපිය අනුව රාජකාරී සමුදායක් පැවරිලා තියෙනවා. මාසේ අන්තිමට වැටුප ගන්නවා නම් රාජකාරිය ඉටු කිරීමටත් බැඳිලා ඉන්නවා.

ඇමතිවරුන් නෑ කියලා මේ වෙලාවේ අමාත්‍යංශ ලේකම්වරු, නිලධාරින් සහ සේවකයන් තමන්ගේ රාජකාරියෙන් කර ඇරිය යුතු නෑ. මේ ඔවුන් රට වෙනුවෙන් තව තවත් කැප වෙලා වැඩ කළ යුතු කාල වකවානුවක්. තමන්ගේ වැටුපට සරිලන සේවයක් රටට සහ ජනතාවට සැපයිය යුතුයි. මහජනතාව වෙනුවෙන් යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතුයි.

මේ අවස්ථාවේ අපි හැමෝම අත්විඳින්නේ වෙනස් අත්දැකීමක්. උදාවෙලා තියෙන්නේ අනපේක්ෂිත තත්ත්වයක්. නමුත් මෙවැනි අවස්ථාවලදී තමයි වඩාත්ම කල්පනාකාරීව සහ වගකීමෙන් යුතුව සියල්ලන් රට වෙනුනේ වැඩ කළ යුත්තේ.

කාංචනා සිරිවර්ධන

බැතිමතුනි ගවලෙනට පිදුරු නැත

$
0
0
දෙසැ 6, 2018 01:00

සිංහල ව්‍යවහාරයට අනුව උඳුවප් මාසය නමින් හඳුන්වනු ලබන දෙසැම්බර් මාසය මෙරට පමණක් නොව පිටරටවලද කිතුනු භක්තිකයනට විශේෂිත මාසයක් ලෙස නම් කළ හොත් නිවැරදිය.

දෙසැම්බර් මාසයේ දී උදාවන නත්තල ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට කතෝලික බැතිමතුන් මහත් ආසාවෙන් බලා සිටින්නේ උත්තරීතර වූ ජේසු බිලිඳාගේ උත්පත්තිය සිහිකිරීමටය. ජේසු බිලිඳාගේ උපත සැමරීම වෙනුවෙන් සමහරු කැරොල් ගී ගායනා කරති. තවත් සමහරු නත්තල් ගසේ තෑගි භෝග එල්ලමින් විවිධ සැරසිලි කරති. සෑම නිවෙසක් ඉදිරිපිටම ගවලෙන් තනති.

ගවලෙන් තැනීමේ අර්ථය ලෙස දක්වා ඇත්තේ, ජේසු බිලිඳා මෙලොව එළිය දැක ඇත්තේ උඳුවප් මාසයේ දී ඊශායලයේ බෙත්ලෙහෙම්පුරේ ගව ලෙනකදී උපන් බව සිහිගැන්වීමය. එම ඉපදීම සංකේතවත් කිරීම පිණිස කතෝලික බැතිමත්තු පුරුද්දක් ලෙස අදටත් ගවලෙන් සෑදීමට පුරුදුව සිටිති.

ජේසු බිලිඳාගේ උත්පත්තිය සිදුවන මොහොතේ එකී ගවලෙන තුළ ජීවමානව සිටි බැටළුවන්, අහසේ දිස්වූ වල්ගාතරු, දේව දූතිකාවන්, මරියතුමිය, ජුසේතුමා, වර්තමානයේ නිරූපනය කිරීම සදහා අඹන ලද ප්‍රතිමා තැබීමට ද ගව‍ලෙන් තනන්නෝ අමතක නොකරති. ඒ ගවලෙන ජීවමාන කරනු පිණිසය.

මේ ගවලෙන වර්තමානයේ විවිධ මාදිලි ඔස්සේ සැකසේ. ගවලෙන් නිර්මාණකරුවෝ ඒ සඳහා විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිති. විවිධ අලංකාර නිර්මාණ කරති.

මෙම උත්තරීතර වූ ගවලෙන කතෝලික භක්තිකයින්ගේ මහත් වූ ආදරයටත්, ගෞරවයටත් පාත්‍රව තිබීම නිසා සෑම නත්තල් උත්සවයක් පාසාම මේ අපූර්වතම ගවලෙන සෑම නිවෙසකම තිබිය යුතු මූලිකාංගයක් ලෙස කතෝලික බැතිමත්තු සලකති.

මෙම ගවලෙන් නිර්මාණය කරන්නන් සොයා අපි පුත්තලම, තිල්අඩිය ප්‍රදේශය වෙත ගමන් ඇරඹුවෙමු.

දැක්මෙන් පිදුරු කඳු ගොඩ ගසාගෙන කාඩ්බෝඩ් වලින් වටවී කුඩා ලී පතුරු උපයෝගි කරගෙන විසිතුරු ලී මඩු තනනු අපගේ ඇස ගැටිණි. ගවලෙන් නිර්මාණ කර්මාන්තයේ යෙදෙන මොවුහු ගව ලෙනක් අංග සම්පූර්ණව නිමා කිරීම සඳහා පැයකට අධික කාලයක් වැය කරති.

ඉතා මටසිලිටු සියුම් උපකරණ ආධාරයෙන් නිර්මාණය ඔපමට්ටම් කිරීමට මේ පිරිස අපරිමිත වෙහෙසක් දරන බවක් පෙනෙන්නට තිබේ.

මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් සපයා ගන්නේ ඉතා අපහසුවෙනි. අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ගවලෙනේ වහලය සඳහා අවශ්‍ය පිදුරු සොයා මොවුහු සැතපුම් ගණනාවක් කුඹුරු බහුල ගම්මාන කරා පිය නඟති. කාඩ්බෝඩ් සොයා ගැනීමේදී ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ඔවුහු කියති.

මහා පරිමාණ ලී මඩුවලින් ඉරා ඉවත දමන ලී පටි රැගෙන එන ඔවුහු පසුව ඒවා නැවත අවශ්‍ය ප්‍රමාණ වලට කපා ගනිති. ඒ හා සමානව අනෙක් අඩුම කුඩුම සොයා ගන්නා මේ නිර්මාණකරුවන් සිය නිපැයුම් ඉතා උසස්ම ප්‍රමිතියෙන් සකස් කිරීමට ගන්නා උත්සාහය පුදුමය දනවන සුළුය.

ඉතාමත් සියුම් මෙන්ම කලාත්මක නිර්මාණයක් වන මේ අපූර්වතම ගවලෙන් නිර්මාණය කිරීමේදී ඔවුහු අභියෝග රැසකට මුහුණ දෙති. ඇතැම් විටෙක නිර්මාණය අතරතුරදී කැඩී බිඳීයාම් ද සිදුවේ. එවිට ඒ සඳහා වැය කළ ශ්‍රමයත් ධනයත් කාලයත් අපතේ යයි. තමන්ට එහි පාඩුව ද විඳදරා ගැනීමට සිදුවන බව ද ඔවුහු කියති.

පෙනුමෙන් ඉතා අලංකාර වූ මේ ගවලෙන් වෙළෙඳපොළේ අලෙවි වන්නේ ඉතාමත් ඉහළ මිළ ගණන් යටතේ වුවද, කර්මාන්තකරුවා මේ තුළින් උපයා ගන්නේ ඉතාමත් සොච්චම් මුදලකි.

මොවුන්ගේ මේ නිර්මාණ රුපියල් 450 සිට 1500 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බව කියති. පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල මේ අගනා ගවලෙන් ඉතා පහසුවෙන් අලෙවි වන බව නිර්මාණකරුවෝ කියති. ඒ අනුව පුත්තලම, හලාවත, කල්පිටිය වැනි බහුතරයක් කතෝලික බැතිමතුන් සිටින ප්‍රදේශයන් මොවුන්ගේ ඉලක්ක බවට පත්ව තිබීම නිසා සිය නිපැයුම් එවැනි ප්‍රදේශයන් වෙත රැගෙන යාමට නිෂ්පාදකයෝ කටයුතු කරති.

මෙසේ නිම කරන ලද නිපැයුම් රැගෙන මොවුන් පුත්තලම දිස්ත්‍රික්කයේ ගමක් නගරයක් පාසා රැගෙන යති. මේ ගවලෙන් අලෙවි නොවන අවස්ථා ද තිබේ. එවැනි විටෙක තමන්ට එදින ගමන් වියදම් සහ අනෙකුත් වියහියදම් දරා ගැනීමට සිදුවන බව කියති.

සැබැවින්ම නත්තලේ අගය ලොවට කියාපෑමට අපමණ වෙහෙසක් දරන මොවුන්ට රජයෙන් හෝ වෙනත් ආයතනයකින් කිසිදු පිළිසරණක් නොලැබේ. එපමණක් නොව ධනවත් පන්තියේ බහුතරයක් අද වන විට නත්තල් සමයේදී දේශීය ගවලෙන් වෙනුවට පොලීතින් වලින් කරන ලද සැරසිලි මිලදී ගැනීම පුරුද්දක් කරගෙන සිටීම ද ඔවුන්ගේ කර්මාන්තයට පාඩුවක් බව කියති.

එහි අතුරුපලය වන්නේ නත්තල් දිනයට පසු දින ලෙනට යොදා ඇති පොලිතීන් නිවෙස පුරාම දැකිය හැකි වීමය. එක් නිවෙසක පමණක් නොව බහුතරයක් කතෝලික පිරිස ඉන්නා නගරයක මෙසේ කෘත්‍රීම පොලිතින් භාවිතයෙන් කෙසේ අපිරිසුදු වන්නේදැයි ප්‍රශ්නාර්ථයක්ව තිබේ.

දුප්පත් අතකින් ඔපමට්ටම් වන දේශීය අමුද්‍රව්‍ය යොදා සකසන මෙවැනි නිර්මාණයක් පවුලේ නත්තල වෙනුවෙන් රැගෙන යන්නේ නම් ඒ තුළින් මේ දුප්පතුන්ගේ නත්තල සරුවනවා පමණක් නොව පරිසරය ද අලංකාර වනු නොඅනුමානය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී අදහස් දැක්වූ පාරම්පරික ගවලෙන් නිර්මාණකරණයේ නියැලෙන සුනිල් ෆොන්සේකා මහතා - "මම අවුරුදු 8ක, 10ක විතර ඉඳලා මේ කර්මාන්තය කරගෙන යනවා. සමහර කාලවලදී ලොකු ලාභයක් ලබනවා. සමහර කාලවලදී විශාල පාඩුවක් ලබනවා. අපිට මේ කර්මාන්තයේ තියෙන ලොකුම ගැටලුව තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගන්න එක. මේ නිර්මාණවලට අවශ්‍ය පිදුරු මේ දවස්වල සොයා ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. මේ දවස්වල වැස්ස නිසා පිදුරු තෙමෙනවා. තෙමුණු පිදුරු මේවාට යොදා ගන්න බැහැ.

ඉස්සර වගේ නෙමෙයි දැන් ගොවියන් කාර්යක්ෂම මැෂින් උපයෝගී කරගෙන ගොයම් කපන්නෙ. එතකොට අවසානයේ පිදුරු නෙමෙයි ඉවත් වෙන්නෙ කාටු. කාටු අරගෙන අපිට මේ නිර්මාණය කරන්න අපහසුයි.

දැන් පිදුරු අලෙවි වෙන්නෙ ඉහළ මිළ ගණන් යටතේ. ඒකත් අපිට ලොකු ගැටලුවක්. මේ ගවලෙනක් හදන්න මට පැයක් දෙකක් ගත වෙනවා. එහෙම මහන්සි වෙලා හදන මේ ගවලෙන් වෙළෙඳ පොළට ගෙනියන්න ඊට වඩා මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. එක සැරේකට ගවලෙන් 8ක් විතර තමයි ගෙනියන්න පුළුවන්. ලොකු ඒවා නම් එකයි ගෙනියන්න පුළුවන්. ඒ අවස්ථාවලදී අපි පාඩු ලබනවා. අනෙක දැන් මේ ගවලෙන් අලෙවිය අඩු වෙලා තියෙන්නෙ. මොකද කඩේ විකුණන්න තියෙන ප්ලාස්ටික් වලට තමයි සල්ලි තියෙන අය ප්‍රමුඛතාවය දෙන්නේ. එයාලා කැමති නැහැ අපේ මේ නිෂ්පාදන මිලදි ගෙන වාහනයේ රැගෙන යද්දි වාහනය ඇතුළෙ පිදුරු හැලිලා වාහනය අපිරිසුදු වෙන නිසා.

එවැනි ගැටලු ගොඩාක් එක්ක තමයි මේ කර්මාන්තය කරගෙන යන්න වෙලා තියෙන්නෙ."

නිලන්ති අපොන්සු මහත්මිය - "අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ ගවලෙන් නිර්මාණයේ යෙදෙනවා. නමුත් අද වන විට අපි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මහන්සිවෙන තරමට ලැබෙන ප්‍රතිඵලය අඩුයි. නමුත් ජීවිත තෘප්තිය අපිට මේ තුලින් ලැබෙනවා. ඒ සතුට අපට ජීවිත කාලයටම වටිනවා. අන්න ඒ නිසා තමයි අපි මේ කර්මාන්තය අතනොහැර දිගටම කරගෙන යන්නෙ.

 

සටහන සහ ඡායාරූප කේ.ප්‍රියංකර කළුපහන වනාතවිල්ලුව සමූහ


ඉන්දියාවෙන් ලකට ආවා ගලෙන් කළමුත් රනුත් ගෑවා

$
0
0
දෙසැ 6, 2018 01:00

මේ වන විට එගම හඳුන්වන්නේ දොඩන්දූව කියන නාමයෙනි. අද මෙම ප්‍රදේශය එසේ හැඳින්වුවද, එදා උඩුගල්පිටිය නමින් ප්‍රසිද්ධ වී තිබුණි. තිසර, පරෙවි, කෝකිළ සංදේශවල කාව්‍යවලත් එගම ලියැවී තිබේ. මෙම ප්‍රදේශයටත්, විහාරස්ථානයටත් ඇත්තේ දිගු ඉතිහාසයකි. අද ශෛලබිම්බාරාමය ලෙස හැඳින්වෙන මෙගම විහාරය අතීතයේ දෙගල්ලේ විහාරය ලෙස හඳුන්වා ඇත.

වර්ෂ 1837දී දකුණු ඉන්දියාවේ කාවේරී ප්‍රදේශයේ සිට නැව් මගින් දොඩන්දූවට වැඩම කරවූ බුද්ධ ප්‍රතිමාවක් එතැනින් මුහුදේ සිට දොඩන්දූව කැලේ මැදින් ඇළක් කපා දොඩන්දූව ශෛලබිම්බාරාම විහාරස්ථානයට වඩම්මවා බුද්ධ ප්‍රතිමාව තනි ගලින් නිර්මාණය කළ එකකි.

එකල මෙම විහාරස්ථානයේ වැඩ සිටි කොග්ගල ධම්මසාර හාමුදුරුවෝ ප්‍රදේශයේ සිටි යාත්‍රිකයා සමඟ රුවල් නැවක ආධාරයෙන් බුරුමය බලා පිටත්ව ගොස් ඇත. ඒ යන අතරතුර දකුණු ඉන්දියාවේ කාවේරිපට්ටනයට ගොඩබැස ඇත්තේ ගිමන් නිවා ගැනීම සඳහාය. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ඉන්දියන් ජාතීකයන්, මෙම ධම්මසාර හාමුදුරුවන්ට ඔබ වැනි තාපසයෙක් මෙම කැලේ ඇතුළේ සිටින බව පවසා ඇත. ජනප්‍රවාදයේ සඳහන් ආකාරයට ඉන්පසු ධම්මසාර හාමුදුරුවෝ එම ස්ථානය පරීක්ෂා කරන විට පස් වලින් භාගයක් පමණ යට වු අතී විශාල ශෛලමය පිළිම වහන්සේ නමක් දැක ඇත. උන්වහන්සේ මෙම බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ කළ ද, එම ප්‍රදේශවල ජනතාව ඊට විරුද්ධ වීම නිසාවෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අවසර ලබාගෙන විශාල කැපවීමක් කර ලංකාවට වැඩමවා ගෙන ඒමට කටයුතු කළහ. දෙගල්ලේ විහාරය ශෛලබිම්බාරාමය බවට පත්වූයේ ඉන්පසුව බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

මෙසේ වඩම්මවාගෙන ආ බුද්ධ ප්‍රතිමාව මේ වන විට මේ විහාරස්ථානයේ ප්‍රධාන විහාර ගෙයි ඇතුළත ගර්භයේ තැන්පත් කර ඇත. මුඵමණින්ම ගලින් නිර්මාණය කර තිබුණ ද, ප්‍රතිමාව වඩම්මවා අවුරුදු 1000ක් පිරීම සැමරීම සංවිධානය කළ පින්කම් දිනවල මෙම ප්‍රතිමාව මැටි වලින් ආවරණය කර රන් පාටට ආලේප කර ඇත. අද දැක ගැනීමට හැකි වන්නේ මෙසේ රන් ආලේපිත ප්‍රතිමා වහන්සේ නමය.

මෙම ප්‍රතිමාව තැන්පත් කර ඇති විහාර ගෙය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඕලන්ද යුගයේ ඉදිවුවකි. එසේම විහාර ගෙය පිවිසුම් මාර්ගයේ ඉදිකර ඇති තොරණ මුදුනේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංජනය අපූරුවට නිර්මාණ කර ඇති බව දැක ගන්නට හැකිය. මෙම ලාංඡනය සහ ගාල්ල කොටුවට ඇතුළුවන පරණ කොටු දොරටුව උඩින් ඇති ලාංඡනය එක හා සමාන වේ. සිංහයෙකු සහ කඟවේනකු ඔටුන්නක් ඔසවාගෙන සිටින දර්ශනයක් ලෙස පෙනේ.

මෙම චිත්‍ර මේ වන විට මුඵමණින්ම වාගේ විනාශ වෙමින් පවතින අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය රැක ගැනීමට ඉමහත් උත්සාහයක් දරන බවත් පෙනෙන්නට ඇත.

එසේම මෙම විහාරස්ථානයට වසර 200කට වඩා පැරණි සීමාමාලකයක් ද ඇත. එය විහාරස්ථානයට අනෙක් පැත්තට වෙන්නට ඇති පඩිපෙළින් පහළට බැස ගිය විට පිහිටා ඇත. එය දිය මත ඇති විශාල ගල් කණු මත ලී වලින් අපුර්ව ලෙස නිර්මාණය කර තිබේ.

මේ පිළිබඳව දොඩන්දුව ශෛලබිම්බාරාම විහාරාධිපති, පරිවේනාධිපති, දෙවුරම්වෙහෙර මේධාලංකාර හිමියන් මෙසේ පැවසූහ,

"එදා ලංකාවේ තිබුණු ප්‍රසිද්ධ වරායක් තමයි දොඩන්දූව වරාය. එම වරායෙන් දොඩන්දුව ධම්මසාර හාමුදුරුවෝ ගිහින් තියෙන්නේ පිළිම වහන්සේ වැඩමවීමට. මේ ප්‍රදේශයේ රුවල් නැව් 17ක් සම්බන්ධ කරගෙන ලුණුමිදෙල්ල කොට තියලා එ මත තමයි පිළිම වහන්නේ තැන්පත් කරලා තියෙන්නේ. ඒ ආකාරයට දොඩන්දූව වරායට වැඩම කරගෙන විත් ඒ වරායේ ඉඳලා මේ ස්ථානයට ගේන්න කළපුව හරහා මුහුදට ඇළක් කැපුවා. මේ වන විට මෙම ඇළ පස් වලින් ගොඩවෙලා ගිහිල්ලා. ඒත් එහෙම ඇළක් තිබුණාය කියලා දැක ගන්න පුඵවන්. ඒ ප්‍රධාන පිළිමය සහ ඒ වගේම ඊට වඩා තරමක් පොඩි පිළිමයකුත් වැඩම කරලා තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. එදා ඉන්දියාවේදී මේ පිළිමය ලංකාවට වඩම්මන්න හදනකොට හින්දු අය විරුද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ අය විශ්වාස කරන්නේ පිළිමය ඔවුන්ගේ දස අවතාරවලින් එකක් කියල නිසයි. පසුව ධම්මසාර හාමුදුරුවෝ ඉංග්‍රීසී ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කරලා නඩු අහලා මෙය අයිති බෞද්ධයන්ට කියලා තීරණය කරල තියෙනවා. ඒ අනුව තමයි මෙම පිළිමය වැඩම වීමට කටයුතු කරලා තියෙන්නේ. ප්‍රධාන පිළිමය වඩම්මල මාසයක් විතර ගියාම මම අර ඉස්සෙල්ලා කිව්ව පොඩි පිළිමය අරගෙන ලංකාවට ඇවිල්ලා තියෙනවා.

පිළිමය වඩම්මවලා තියෙන්නේ 1836 අවුරුද්දේ දී. ඒ වෙනකොට විහාරය හුඟක් පොඩියි. පසුව පිළිම වහන්සේලා දෙනමම තැන්පත් කරලා විහාරගෙය ලොකු කරලා හදලා තියෙනවා. 1836 දී හරුමල්ගොඩ සුමංගල හාමුදුරුවන්ගේ කාලේ ඒ කියන්නේ පිළිමය වඩම්මලා අවුරුදු 100ක් ගියාට පස්සේ, 1936 දී තමයි ගල් පිළිමය රත්තරන් ආලේප කරලා තියෙන්නේ."

දීර්ඝ ඉතිහාසයක් ඇති දොඩන්දූව ශෛලබිම්බාරාමය දැක බලා ගැනීමට, වැදුම් පිදුම් කිරීමට එදිනෙදා දෙස් විදෙස් සංචාරකයින් පැමිණිය ද, මේ වන විට මෙම පන්සලේ මහනුවර සම්ප්‍රදායට අයත් චිත්‍ර විනා‍ශ වෙමින් පවතී. එසේම මෙහි ඉතාම පැරණි ඝණ්ටාර කුලුන කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ. එසේම අපගේ මෙම උරුමයන් රැක බලා ගැනීමට මීට වඩා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම අදාළ බලධාරීන්ගේ අවධානය නිතැතින්ම යොමු විය යුතු වන්නේය.

සටහන සහ ඡායාරූප ප්‍රභාත් විතානානාච්චි දකුණු පළාත් විශේෂ

ප්‍රශ්නයෙ මුල දහනවය

$
0
0
දෙසැ 7, 2018 01:00
දුමින්ද සම්පත්
සුදන්ත ලියනගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට වාරණ නියෝගයක් අධිකරණය විසින් පැනවීමත් සමග එතෙක් රටේ පැවැති දේශපාලන අර්බුදය අලුත් මාවතකට යොමු වී තිබේ. ඊට බලපෑ දේශපාලන ගැටුමට හේතුව, ඉන් රටට ඇතිවන බලපෑම එය විසඳාගන්නා ආකාරය පිළිබඳ කෙරෙන අදහස් දැක්වීමකි.

අග්‍රාමාත්‍යවරයාටත් අමාත්‍ය මණ්ඩලයටත් අධිකරණයෙන් අතුරු තහනමක් ගෙන ඒම ගැන ඔබ මොකද කියන්නෙ?

ජේ.ආර්.ජයවර්ධන මහත්තයගෙ ව්‍යවස්ථාවට කටයුතු කළා නම් මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නෙ නැහැ. මොකක් හරි හේතුවක් නිසා ඒ ව්‍යවස්ථාවට විවිධ සංශෝධන ගෙනාවා. අපේ රටේ මොන තීන්දුව ගත්තත් ක්‍රියාත්මක කරන්න යද්දි ගැටලු මතුවෙනවා. බහුතරයෙන් අහල අපේ රටේ හුඟක් දේවල් කරන්න අමාරුයි. 19 වැනි සංශෝධනය ගෙනාවෙ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. රට මේ අර්බුදයට තල්ලු කළේත් 19 වෙනි සංශෝධනය. මේ අර්බුදය ඇති කරගත්තෙ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දෙනාමයි. ඒ නිසා මේක ලිහාගන්න වෙන්නෙත් පාර්ලිමේන්තුව හරහාමයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් ක්‍රම දෙකකට විතරයි. ඒ අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇති බවට චෝදනා නැගෙනවා.

ව්‍යවස්ථාව ගෝල්ඩන් රූල් එකක් නෙවෙයි. නීතිය ප්‍රායෝගික නැත්නම් වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕන. 19 වැනි සංශෝධනයත් පාර්ලිමේන්තුවෙ කීප දෙනෙක් එකතුවෙලා හදපු අශිෂ්ට සම්පන්න එකක්. ඔබ ඔය කියන වගන්තිය නිසා තමයි අද මේ අර්බුදය ඇති වුණේ. 19 වැනි ව්‍යවස්ථාවෙ පළමු ලියවිල්ලෙ තියෙන්නෙ අවුරුදු තුනකට පස්සෙ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියල. මේ වසර තුන වසර 4 ½ ට වැඩි වුණේ කොහොමද කියලා පාර්ලිමේන්තුවෙ ඉන්න අයවත් දන්නෙ නැහැ. ආංශික කාරක සභාවෙදි ගොඩක් පනත් එක්සත් ජාතික පෙරමුණට ඕන විදියට වෙනස් කර ගන්නවා. ව්‍යවස්ථාව හරියට බැලුවොත් ජනාධිපතිවරයා ඍජුව ජනතාවට වගකියන කෙනෙක්. ඒ නිසා ජනතා පරමාධිපත්‍ය රැකීම ජනාධිපතිගෙ වගකීමක්. අධිකරණයට විතරයි ව්‍යවස්ථාව අර්ථ දක්වන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නෙ කියල.

පාර්ලිමේන්තුවෙන් මේ ප්‍රශ්නය විසඳාගන්න ඕන කියල ඔබ කිව්වට එක කණ්ඩායමක් දැනටමත් පාර්ලිමේන්තු යන්නෙ නැහැ.

කතානායකවරයා මේ ප්‍රශ්නයට ඍජුව වගකියන්න ඕන. එතුමාගෙ ක්‍රියාකලාපය ගැන අපිට ගැටලු තියෙනවා. පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දයෙන් පස්සෙ විපක්ෂනායක ධුරය වෙනස් විය යුතුයි කියල මම කිව්වා. කතානායක ප්‍රජාතන්ත්‍රවාදී නම් ඒකාබද්ධයට විපක්ෂ නායකකම දෙන්න තිබුණා. ඒත් තාක්ෂණික ගැටලු ගැන කියමින් ඒ අවස්ථාව දුන්නේ නැහැ. අගමැතිටයි අමාත්‍ය මණ්ඩලයටයි අතුරු තහනමක් දුන්න නම්, සක්‍රීය පාර්ලිමේන්තුවක් තියෙන්න බැරි වුණත්, පාර්ලිමේන්තුව රැස් වුණා. ඒක ව්‍යවස්ථාවටත් , නීතියටත් විරුද්ධයි.

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර මේ ගැටුම රටට කොහොමද බලපාන්නෙ?

අධිකරණය කොයි තීන්දුව දුන්නත් රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඉතාම නරකයි. අපි යමක් හිතේ තියාගෙන ලියවිල්ලක් ලියනවා. හැබැයි ඒ ලියවිල්ලෙ අපේ හිතේ තියෙන දේ නෙවෙයි ලියවිල තියෙන්නෙ. 19 වෙනි සංශෝධනයට වුණෙත් ඒකයි. 19 වෙනි සංශෝධනය තියාගෙන ඉදිරියට යන්න බැහැ. සමහරු කියනවා කෙටිකාලීන විසඳුම මහ මැතිවරණයක් කියලා. ඒකෙන් පමණක් මේ ගැටලු විස‍ඳෙන්නෙ නැහැ. 19 තියෙන ගැටලු හදාගෙන මහ මැතිවරණයකට යනවනම් තමයි හොඳ.නැත්නම් මහ මැතිවරණයකින් හදාගන්න අලුත් පාර්ලිමේන්තුවෙත් මේ ගැටලුවම හැදෙන්න පුළුවන්. මේ වෙලාවෙ බලය නෙවෙයි රට ගැන හිතල සියලු පාර්ශ්ව එකතුවෙලා මේ ගැටලුව විසඳගන්න අවශ්‍යයි.

අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැතිව රටක් ගෙනියන්න පුළුවන් ද?

ජනාධිපතිතුමයි අමාත්‍යංශ ලේකම්වරුයි හිටියනම් මේ රටට ඇති. පාර්ලිමේන්තුවෙ 225 දෙනාම නාඩගමක් නටන්නෙ. මේ තත්ත්වය ගැන හරියට කතා කරන්නෙ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විතරයි. මඩ ගහගන්නව ඇරෙන්න අර්බුදයෙන් රට ගොඩගන්නෙ කොහොමද කියල උගතුන් වැඩිම ප්‍රමාණයක් ඉන්න ජනතා විමුක්ති පෙරමුණ් පවා හරි විසඳුමක් නැහැ.

දැන් මිනිස්සු කියන්නෙ පාර්ලිමේන්තුවට කරන වියදම නාස්තියක් කියල?

සම්පූර්ණ ඇත්ත! මේ රටට පළාත් සභා අවශ්‍යත් නැහැ. පළාත් පාලන ආයතන ටිකයි ජනාධිපතිතුමයි හිටියම ඇතියි කියන තත්ත්වයට ජනතාව පත්වෙලා. මේ අය හරියට යුද්ධයක් කරනව වගේ කවුරුවත් නම්‍යශීලි නැහැ. රටකට මෙහෙම යන්න බැහැ.

දේශපාලන අර්බුදය විසඳන්න ‍ඔබේ යෝජනා මොනවද?

කථානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා පොදු‍ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එක මේසයකට එන්න ඕන. රට ගැන හිතල වෙනස්කම් කරගෙන එක මතයක් හදාගන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න පාර්ලිමේන්තුවෙ 225 දෙනාම හවුල්. මේ අය මේ ගැන සාකච්ඡා කරන්න ඕන. රට අරාජික වෙලා තියෙන වෙලාවක ආගමික නායකයන් වහාම මැදිහත් වෙන්න ඕන. පන්සලට ආවම පිරිත් නූල් බඳින එක නවත්තල සියලුම ආගමික නායකයන්ගෙ මතය රටට කියන්න ඕන. විද්වතුන් ඔවුන්ගෙ පාර්ශ්වය වෙනුවෙන් කරුණු කියනව විතරයි. නීති විශාරදයො පවා එහෙමයි. මේ ගැටුම ඇතිවෙන්නෙ 2015 ජනවාරිවලින් පස්සෙ. 19 වෙනි සංශෝධනයත් එක්ක ආපු ගැටලුවට එකම විසඳුම 20 වැනි සංශෝධනය කරල හරි 19 යෙ වැරදි හදන එකයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න ගෙනාපු 19න් ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණා.


ජනපතිවරණයකට යන්න ඕන
- ටෙරන්ස් පුරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අගමැති හා ඇමැති මණ්ඩලයට අභියාචනාධිකරණය මඟින් අතුරු තහනම් නියෝගයක් පැනවීම නිසා රටේ ඇතිවිය හැකි තත්ත්වය ගැන ඔබ මොකද කියන්නෙ?

මේ නියෝගයත් සමඟම අගමැති හා කැබිනට් මණ්ඩලය පත්කිරීම නීතිවිරෝධී බව තහවුරු වුණා. ඒ අයට උසාවිය හමුවේ වගඋත්තර දෙන්නත් එන්න කිව්වා. අධිකරණය ඉතාම පැහැදිලිව මේ තත්ත්වය වටහාගෙන තියෙනවා. ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී තුන්වතාවක් පැරදුනා. ඒ අයගෙ කටයුතු නීති විරෝධියි.

මේ දීල තියෙන්නෙ අතුරු තහනම් නියෝගයක් විතරයි?

අතුරු තහනමක් කියන්නෙ අත්හිටුවීමක්. පක්ෂයක ‍සාමාජිකයෙක් අයින් කළොත් අධිකරණයෙන් අතුරු තහනමක් ගත්තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න බැහැ. මෙතන වෙලා තියෙන්නෙ අගමැතිට හා කැබිනට් මණ්ඩලයෙ ධූර දැරීම නැවතීම.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරන්න බැරි වුණත් හිටපු අමාත්‍ය මණ්ඩලය නැවත පත්කළ හැකි බවට තර්කයක් තියෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ.

ඇමැති මණ්ඩලයටත් එක්කම තමයි අතුරු තහනම දුන්නෙ. වෙනත් අය ඇමැති මණ්ඩලයට පත්කරන්න පුළුවන්. හිටපු 49ටම වාරණය ක්‍රියාත්මකයි.

ඇමැති මණ්ඩලයක් නැතිව රාජ්‍යයකට යන්න පුළුවන්ද?

ජනාධිපති ක්‍රමය තුළ ඇමැති මණ්ඩලයක් නැතිව රට ගෙනියන්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධන මහත්තය මේ ක්‍රමය හැදුවෙත් ඒකටනෙ. අමාත්‍යාංශ ලේකම්වරු හරහා ජනාධිපතිවරයාට අමාත්‍යාංශ වැඩකරගෙන යන්න පුළුවන්. ඒත් දේශපාලන අර්බුදයක් තියෙන අවස්ථාවක ජනාධිපතිවරයාට එසේ කිරීම අපහසුයි. රාජ්‍ය සේවය සමබරව පවත්වා ගැනීම ගැටලුවක්. ඒත් නීතිමය බාධාවක් ජනාධිපතිට නැහැ.

ඔබ ඔය කියන කතාවට අනුව විශාල වියදමක් දරමින් මෙතරම් ලොකු කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීම අපරාධයක් නේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කියල අපි වසර ගණනාවක ඉඳල කියන්නෙ ඒක තමයි. අවශ්‍යනම් තනිපුද්ගල පාලනයක් ගෙනියන්න ජනාධිපතිට පුළුවන්. ඒක ව්‍යවස්ථානුකූල ඒකාධිපතිවාදයක්.

සමහරු කියන්නෙ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසයි මේ අර්බුද සියල්ල ඇතිවෙන්නෙ කියල.

19වැනි සංශෝධනයෙ නීතිමය හිඩැස් තියෙනවා. මේක සම්මත කළේ හදිසියේ. ජනාධිපති ධූරයේ බලතල සීමාකරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටමයි අවශ්‍ය වුණේ අවුරුදු 4 ½ ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය මට දෙන්න එපා කිව්වෙ ජනාධිපතිතුමාමයි. අගමැතිවරයව ඕනම ‍වේලාවක ඉවත්කිරීමේ බලය මට එපා. ඒක පාර්ලිමේන්තුවට දෙන්න කිව්වෙත් ජනාධිපතිතුමාමයි. ඒ කිව්වෙ පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වෙන හින්දයි.

ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ අයිතිය තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියාචනාධිකරණ තීන්දුව පිළිගන්නෙ නැහැ කියල ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමුකරල තියෙනවා?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ නඩුව ඉතා හදිසි එකක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ ඒකයි. පෙත්සම් විභාග කිරීමේ බලය අභියාචනාධිකරණයට තියෙනවා කියන පදනම මතයි අගමැතිටයි කැබිනට් මණ්ඩලයටයි විරුද්ධව අභියාචනාධිකරණයට ගියේ අවසාන බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුයි. අභියාචනාධිකරණය දෙන නඩු තීන්දුව සැලකිල්ලට අරගෙන තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා කියල අභියාචනාධිකරණ තීන්දුව වැරදියි කියල අර්ථකථන දෙන්න බැහැ.

පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ කටයුතුවලට මොකද වෙන්නෙ?

පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවනෙ. දැන් තියෙන්නෙ ජනාධිපතිගෙ ප්‍රශ්නයක්. ලංකාවට දැන් ඕන ජනාධිපතිවරණයක්. පාර්ලිමේන්තුවෙ බහුතරය නැත්නම් තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන. 123ක බහුතරයක් තියෙනවා. ඔක්තෝබර් මාසෙ 26 වෙනිදත් පනත් සම්මත වුණා. එතන අර්බුදයක් තිබුණෙ නැහැ. මේක කෘත්‍රිමව ඇතිකරපු අර්බුදයක්. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ව්‍යවස්ථාවට විරුද්ධව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අගමැති, ඇමැති මණ්ඩලය ඉවත්කළා. ජනාධිපති ගැන විශ්වාසය සම්පූර්ණයෙන් නැතිවෙලා. 2015 ජනාධිපතිගෙ විරුද්ධ වාදියා නැවත කරළියට ගෙනත් ලක්ෂ 62ක ජනවරම පාවා දුන්නා. ලබන ජනවාරි 08 වෙනිදායින් පස්සෙ ජනාධිපතිවරණයකට යන්න පුළුවන්.

මේ දේශපාලන අර්බුදය විසඳගන්න ඔබේ යෝජනා මොනවද?

ජනාධිපතිවරණයකට යන්න ඕන අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන මේ පාර්ලිමේන්තුව ඉදිරියට යන්න ඕන ව්‍යවස්ථානුකූලව. මේ පාර්ලිමේන්තුවට කල්තියෙනවා. බහුතරයත් තියෙනවා. අර්බුදයකුත් නැහැ. කාලයත් තවම ඉවර නැහැ. ජනාධිපතිවරයගෙ අසමත්කමට පාර්ලිමේන්තුව පළි නැහැ.

මූඩිස් තීරණයට කළ යුත්තේ කුමක්ද

$
0
0
දෙසැ 7, 2018 01:00
ජයසිරි මුණසිංහ

බැංකු හරහා මුල්‍ය වෙළෙද පොළේ ආයෝජකයන්ගෙන් ණය ලබා ගැනීම ආරම්භ කළේ 2007 වර්ෂයේ මහබැංකුව විසිනි. මෙම ක්‍රමය යටතේ මේ වනවිට ඩොලර් මිලියන 13,150 ක ඩොලර් බැඳුම්කර නිකුත් කොට ඇත. ඉන් දැනට ගෙවා ඇත්තේ මිලියන 1,000 ක් පමණි. ඊට පෙර අනුගමනය කළේ ව්‍යාපෘති ණය සහ ඍජු ද්විපාර්ශ්විය ණයයි. නව ක්‍රමය මගින් රාජ්‍ය ණය සදහා දේශීය වෙළෙඳ පොළට අමතරව විදේශ වෙළෙඳ පොළක්ද දියුණු කිරීමට අපේක්ෂා කෙරිණ.

පසුගිය 20 වෙනි දින මූඩිස් (Moody’s) ණය ශ්‍රේණි ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය B1 සිට B2 දක්වා පහත හෙළන ලදී. එසේම, අනෙක් ණය ශ්‍රේණි ආයතන දෙක වන ෆිච් සහ එස් ඇන්ඩ් පී ද (Fitch, S&P) දෙසැම්බර් 3 සහ 4 දින තම ණය ශ්‍රේණිද B+ සිට B දක්වා පහත හෙළන ලදී. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි සදහා මූඩීස් වෙතින් 2010 සිටද ෆිච් සහ එස් ඇන්ඩ් පී වෙතින් 2007 සිටද සේවය ලබාගෙන ඇත. මිට පෙර කිහිප වතාවක් මෙම ණය ශ්‍රේණි ඉහළ පහළ හෙළා ඇත. 2016 දී ද ණය ශ්‍රේණි තුනම පහළ හෙළීය. එබැවින්, මෙම පහළ හෙළීම පිළිබදව වගකීම අදාළ බලධාරීන් බාර ගත යුතුය යුතුය.

ණය ශ්‍රේණියක් යනු කුමක්ද?

ණය ශ්‍රේණියක් යනු ණයකරුවකුගේ අනාගත ණය ගෙවීමේ හැකියාව පිළිබදව බාහිර පාර්ශ්වයක් විසින් කරනු ලබන විනිශ්චයකි. එය සාමාන්‍යයෙන් වර්ෂයකට අදාළ වෙයි.විශේෂයෙන් කිව යුතු වන්නේ මෙය ගණිතමය,සමීකරණ පිළිතුරක් නොවේ. ණය ශ්‍රේණි ආයතනය විසින් ණයකරුගේ ව්‍යාපාරික, මුල්‍ය සහ කර්මාන්තයේ ප්‍රගතිය පිළිබද දීර්ඝ ඇගයීමකින් පසු ණය ශ්‍රේණිය නිකුත් කරනු ලැබේ. ණයකරු විසින් සපයන දත්තවලට අමතරව ආයෝජකයන්ගෙන් සහ වෙළෙදපොළ දත්තද ලබා ගනී.

රජයක්හෝ රටක් පිළිබඳ ණය ශ්‍රේණියකදී, රජයේ අයවැය ප්‍රගතිය (එනම්, අදායම, අයවැය හිගය සහ ණය ගැනීම), රටේ ණය ව්‍යුහය සහ ණය බර, රටේ සර්ව ආර්ථික ප්‍රගතිය (එනම්, ආර්ථික වර්ධනය, විදේශීය ගෙවුම් ශේෂ තුලනය සහ විදේශ සංචිතය), ආයෝජක සහ ව්‍යාපාරික විශ්වාසය සහ දේශපාලනික ස්ථායිතාවය පිළිබද ඇගයීමක් කෙරේ. ඊට හේතුව, රාජ්‍ය ණය සහ ණය ගෙවීම රදා පවතිනුයේ අයවැය විනය සහ බදු අදායම සදහා බලපාන සර්ව ආර්ථික ප්‍රගතියවන බැවිනි. එසේම, සමගාමී රටවල (peer countries) ප්‍රගති මට්ටමද මෙහිදී සැසදීමක් කෙරේ.

එබැවින්, ණය ශ්‍රේණිය ණය වෙළදාමට උදව් වීම සදහා සැපයෙන එක් සේවයකි. ණය ගන්නන්ට සහ ණය සැපයුම්කරුවන්ට පිළිගත් ණය ශ්‍රේණි අනුගමනය කිරීම තුළින් ණය අවදානම හඳුනා ගැනීම ඉතා පහසුය. ඔවුන්ට පුද්ගලිකව ණය ඇගයීම ඉතා අපහසු අතර ඒ පිළිබද තාක්ෂණික දැනුමක්ද නොමැති විය හැකිය.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි පිළිබද සියලු තොරතුරු සැපයීම සහ සම්බන්ධිකරණ කටයුතු කරනුයේ රජයේ ණය කළමනාකරු සහ නිල මුල්‍ය උපදේශක වන මහ බැංකුවයි.

ණය ශ්‍රේණි කාණ්ඩයන්

ණය ශ්‍රේණි ආයතන තුන බොහෝ සමාන ණය ශ්‍රේණි කාණ්ඩ යොදාගනී. දිගුකාලින ණය/ බැඳුම්කර සඳහා මූඩීස් විසින් ණය ශ්‍රේණි 21 ක්ද, ෆිච් සහ එස් ඇන්ඩ් පී විසින් ණය ශ්‍රේණි 24 ක්ද යොදා ගනී. මූඩීස් ණය ශ්‍රේණි ඉහළම Aaa ශ්‍රේණියේ සිට පහළම ශ්‍රේණිය වන C, එනම් ණය පහර හැරීම/බුන්වත් බව, දක්වා විහිදෙයි. ෆිච් සහ එස් ඇන්ඩ් පී ණය ශ්‍රේණි ඉහළම AAA ශ්‍රේණියේ සිට පහළම ශ්‍රේණිය වන D දක්වා විහිදෙයයි. ආයෝජන ණය ශ්‍රේණිය ලෙස සැලකෙන්නේ 10 වැනි ණය ශ්‍රේණිය වන Baa3 / BBB- සිට ඊට ඉහළ ණය ශ්‍රේණීන්ය. ඊට පහළ Ba1 / BB- සිට ණය ශ්‍රේණි සියල්ල සමපේක්ෂණ (Speculative) හෝ කසළ ණය (Junk Bonds) ලෙස දැක්වෙයි. එම ණය ආපසු ගෙවීම පිළිබද බොහෝ අස්ථායිතාවන් පවතින බව දැක්වෙයි.

B ණය ශ්‍රේණිය 14, 15 සහ 16 මට්ටම් ලෙස මූඩීස් හි B1, B 2 සහ B 3 ලෙසද, ෆිච් සහ එස් ඇන්ඩ් පී හි B+, B සහ B- ලෙසද කාණ්ඩ තුනකි. ශ්‍රී ලංකාව B හි 14 සිට 15 මට්ටමට (එනම්, B 2 සහ B ලෙස) පහත හෙළා ඇත.

සෑම ණය ශ්‍රේණියකම අගට ධන (Positive) හෝ ස්ථායි (Stable) හෝ ඍණ (Negative) ලෙස දැක්මක් (Outlook) අඩංගු වෙයි. ණය ශ්‍රේණියක් වෙනස් කිරීමකදී අදාළ සාධක මත ණය ශ්‍රේණිය හෝ දැක්ම හෝ එම දෙකම හෝ වෙනස් විය හැකිය. ශ්‍රී ලංකාවේ B1 (ඍණ) හා B+ (ස්ථායි) සිට B2 (ස්ථායි) සහ B (ස්ථායි) ලෙස ණය ශ්‍රේණිය පහත හෙළා ඇත.

B ණය ශ්‍රේණිවල අදහස ණයකරුට ණය ආපසු ගෙවීමට හැකියාවක් ඇතත් ඔහුට ඇතිවිය හැකි බොහෝ උවදුරු/අවදානම් සහ දුබල ව්‍යාපාරික, මුල්‍ය සහ ආර්ථික තත්වයන් හේතුකොට ණය ගෙවීමේ හැකියාව හෝ ණය ගෙවීමේ කැමැත්ත පලුදු විය හැකි බවයි. එබැවින්, ණය ශ්‍රේණියක් වෙනස් කිරීම යනු ණය ගුණාත්මක බව වෙනස් වීමේ පෙර නිමිත්තක් වන අතර ණය කරු විසින් එය ධනාත්මක ලෙස පිළිගෙන ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.

ණය ශ්‍රේණි පහත හෙළීම පිළිබඳ අත්දැකීම්

දුර්වල සාර්ව ආර්ථික ප්‍රගතිය, දැඩි රාජ්‍ය අයවැය අර්බුද, දේශපාලනික උවදුරු සහ මුල්‍ය අර්බුද සහ වෙළෙද භාණ්ඩ මිල කඩාවැටීම් වැනි බාහිර ආතති හේතුකොට රටවල ණය ශ්‍රේණි පහත හෙළිය හැකිය. 2016 දී ෆිච් රටවල් 16 කද, එස් ඇන්ඩ් පී රටවල් 21 කද, මූඩීස් රටවල් 25 කද නය ශ්‍රේණි මෙසේ පහළ හෙළා ඇත. දේශපාලනික හේතු මත රටවල් රාශියක ණය ශ්‍රේණි පහත හෙළා ඇත. උදාහරණ ලෙස 2015 දී බ්‍රසීලය සහ රුසියාව ද 2016 දී දකුණු අප්‍රිකාව ද දැක්විය හැකිය. බ්‍රසීලයේ දුෂණ හේතුකොට ඇතිවූ දේශපාලනික අර්බුදයක් සහ දකුණු අප්‍රිකාවේ මුදල් ඇමති කිහිපවිටක් වෙනස්කිරීම සහ ඇමති මණ්ඩලය විසුරුවා හැරීමෙන් ඇතිවූ දේශපාලනික අර්බුදයක් හේතුකොට ණය ශ්‍රේණි පහත හෙළනු ලැබිණි. බ්‍රිතාන්‍යය යුරෝපීය සංවිධානයෙන් ඉවත්වීමෙන් ඇතිවිය හැකි අපේක්ෂිත උවදුරු මත 2016 දී සහ 2017 දී බ්‍රිතාන්‍යයේ ණය ශ්‍රේණිය පහත හෙළන ලදී.

ණය ශ්‍රේණි ආයතනවලට මෙසේ රටවල ආර්ථික සහ දේශපාලනික උවදුරු පැතිරෙන ආකාරය සහ ඒ ආශ්‍රිත පෙර නිමිති පිළිබඳ හොඳ අවබෝධයක් සහ පළපුරුද්දක් ඇත. ඔවුන් රටවල ණය ශ්‍රේණි පහත හෙළනුයේ නවතම දත්ත සහ රාජ්‍ය අධිකාරීන් සහ ආයෝජකයන් සමග කරන ලද සාකච්චා පිළිබඳ පුළුල් විමර්ශනයකින් පසුවය. සාමාන්‍යයෙන් සියලු ණය ශ්‍රේණි ආයතන කෙටි කාල පරාසයකදී ණය ශ්‍රේණි පහත හෙළනු ඇත.

අනිටු විපාක

ණය ශ්‍රේණියකින් ණයකරුගේ ණය ගුණය හෝ ණය අවදානම පිළිබද දැක්වෙයි. ණයක පොලිය තීරණය කෙරෙන එක් සාධකයක් වන්නේ ණය අවදානම් මට්ටමයි. අවදානම වැඩිවන විට පොලියද වැඩිවෙයි. එම නිසා ණය ශ්‍රේණියක් පහත හෙළීමෙන් පසු නව ණය සඳහා අය කෙරන පොලිය ඉහළ යයි. එසේම, පෞද්ගලික ණයකරුවන්ගේ පොලිය තීරණය වන්නේ රාජ්‍ය ණය පොලියට විවිධ ප්‍රමාණයේ ණය අවදානම් අතිරික්තයන් (credit risk premium) එකතු කිරීමෙනි. එම නිසා සියලුම පෞද්ගලික ණය පොළී ද ඉහළයනු ඇත. එබැවින්, අරමුදල් පිරිවැය ඉහළ යාම රටේ ආර්ථිකයට බරක් වෙයි.

එම නිසා, රටේ මුල්‍ය වෙළෙද පොළ ක්‍රමයක් තුල ණය පිරිවැය අඩු කර ගැනීමට රාජ්‍ය අධිකාරීන් කැමති නම් ඔවුන් රටේ ණය ශ්‍රේණිය ඉහළ නංවා ගැනීමට ණය ශ්‍රේණි ආයතන සමග විචක්ෂණශිලිව කටයුතු කළ යුතුය.

ණය ශ්‍රේණි පහත හෙළීම පිළිබඳව රාජ්‍ය අධිකාරීන් දැක්වූ ප්‍රතිචාර වශයෙන් ඊට පසු දිනම මහ බැංකුව විසින් එය පිළිගත නොහැකි බවට එකම නිවේදනයන් ලහිලහියේ නිකුත් කරන ලදී. ඊට හේතුව ලෙස දැක්වුයේ එම නව ණය ශ්‍රේණිය තුළින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පදනම් සාධක (Macroeconomic Fundamentals) පිළිබිබු නොකරන බවයි. එහෙත්, එම සාර්ව ආර්ථික පදනම් සාධක මොනවාද සහ ඒවා ණය ශ්‍රේණිය තුළින් පිළිබිබු නොවන ආකාරය මහ බැංකුව විසින් පැහැදිලිකොට නැත.

තවද B1(ඍණ) සහ B+(ස්ථායි) ණය ශ්‍රේණිය ලබා දුන් 2018 ජූලි මස සිට ශ්‍රී ලංකා ආර්ථිකය හෝ ප්‍රතිපත්ති පිරිහීමක් සිදුවී නොමැති බවත්, 2019 ජනවාරි මස ගෙවීමට නියමිත ඩොලර් බැදුම්කර මිලියන 1,000 සහ ජූලි මස ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500 ගෙවීම සදහා නව විදේශ ණය සහ අරමුදල් රැස් කිරීමට කටයුතු සිදු කොට ඇති බවත්, එමනිසා අතීතයේ සිට පැවති ණය ආපසු ගෙවීමේ වාර්තාව ආරක්ෂා කරගත හැකි බවත් කෙටියෙන් දක්වන ලදී. ඊට පසුව, තවත් බලධාරීන් කිහිප දෙනකුම ඉදිරියේ විදේශ ණය අපසු ගෙවීම සදහා සුදානම් කරමින් සිටින නව විදේශ ණය සහ අරමුදල් පිළිබඳව පුවත් වාර්තා නිකුත් කරන ලදී.

දේශපාලන සහ ආර්ථික අස්ථායිතා මැද, දැනට තිබෙන ණය ගෙවීමට තවත් ණය ගැනීමට දරන උත්සාහය හුවා දැක්වීමෙන්, රජයට ණය ගෙවීමේ දැඩි ගැටලුවක් ඇති බව මධ්‍යස්ථව බලන කෙනකුට පෙනේ. තවද මූඩීස් ණය ශ්‍රේණිය පහළ දැමු දින සිට රටේ දේශපාලනික අස්වථාවරත්වය දිනෙන් දිනම වැඩිවිය. සිදුවීම් මාලාව දෙස බලන විට එය නුදුරු අනාගතයේ විසඳෙන බවද සිතිය නොහැකිය.

ණය ශ්‍රේණියකින් ප්‍රකාශ කෙරෙනුයේ ඉදිරියේදී ණයකරුවකුගේ ණය අපසු ගෙවීමේ හැකියාව පිළිබද මතයකි. එය සාර්ව ආර්ථික පදනම් සාධක දැක්වෙන ගණිතමය දර්ශකයක් නොවේ. ණය ශ්‍රේණි ආයතනය විසින් සාකච්ඡා සහ වාර්තා මගින් ලබා ගන්නා තොරතුරු රැසක් විමර්ශනය කිරීමෙන් පසු ණය ශ්‍රේණිය නිකුත් කරනු ලැබේ. මුල් අවස්ථාවේ මහ බැංකුව විසින් නිසි තර්කයන් සාර්ථකව ඉදිරිපත් කළා නම් ණය ශ්‍රේණිය ආරක්ෂා කරගත හැකිව තිබුණි.

මහබැංකුව නව ණය ශ්‍රේණියේ නියම අර්ථය තේරුම්ගෙන නොමැතිබව පෙනේ. B2 සහ B ණය ශ්‍රේණිය යනු ණයකරුට තම ණය ආපසු ගෙවීමට හැකියාවක් තිබෙන බවත්, අහිතකර ව්‍යාපාරික, මුල්‍ය සහ ආර්ථික සාධක හේතුකොට ඉදිරියේදී ණය ගෙවීමේ හැකියාව හෝ කැමැත්ත දුර්වල වීමේ වැඩි අවදානමකට ණය කරු ගොදුරුවිය හැකි බවත්ය. පෙර පැවතී B1 සහ B+ ණය ශ්‍රේණියේ අදහසත් එයයි. මිට පහල B3 සහ B- ණය ශ්‍රේණියේ අදහසත් එයයි.

B2/B ට ඉහළ ණය ශ්‍රේණි 14 ක් පමණ ඇත. මිට පහළ ණය ශ්‍රේණි ඇත්තේ 5-7 කි. එබැවින්, ණය ශ්‍රේණි ආයතනය සිදු කොට ඇත්තේ වත්මන් සාධක සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා බලධාරීන් වෙත අනතුරු ඇගවීමයි. දැනට රටේ පවතින දේශපාලනික සහ ආර්ථික සිදුවීම් සහ තත්වය දෙස අපක්ෂපාතිව බලන විට මෙම ඇගවීම පිළිබද පුදුමයක් නොමැත. 2016 දීද ණය ශ්‍රේණි පහත හෙළා ඇත.පෙර කී ආකාරයට මෙවැනි දේශපාලනික සහ ආර්ථික අස්ථායිතා හේතුකොට බොහෝ රටවල ණය ශ්‍රේණි පහත දැමීම අතීතයේදී සිදුකොට ඇත. ශ්‍රී ලංකාවේද මිට පෙර දෙවරක් ණය ශ්‍රේණි පහත හෙළා තිබේ.

2015 අප්‍රේල් මස ණය ශ්‍රේණි ආයතනයක් විසින් එවක රටෙහි පැවති යම් යම් අස්ථායිතා හේතුවෙන් මෙලෙස ණය ශ්‍රේණිය පහත හෙළීමට සැරසීම පිළිබඳ ඉඟියක් ලැබුණ අවස්ථාවේ ටෙලිෆෝන් සාකච්ඡා පදනම් කරගෙන

සකසන ලද ආර්ථික වශයෙන් තර්කානුකුල ලිපියක් ණය ශ්‍රේණි ආයතනය වෙත ඉදිරිපත් කිරීමෙන් එවකට පැවතී ණය ශ්‍රේණිය ආරක්ෂා කර ගැනිණි. මේවා අඬබෙර ගැසීමෙන් විසදාගත හැකි ගැටලු නොවේ.

ණය ශ්‍රේණි ආයතනයක් යනු විනිශ්චයකරුවෙකි. ඔහු තීරණයක් දුන් විට කළ යුත්තේ ඔහුට දොස් පැවරීම නොව, නව තොරතුරු සමග අභියාචනය කිරීමයි. එමගින්, ඊළග විනිශ්චය ලබා ගැනීමට උත්සාහ කළ යුතුය. එසේ නැත්නම් එම ක්‍රමයෙන් ඉවත් වී නව ණය රැස් කිරීමේ ක්‍රමයකට යා යුතුය. විවිධ කාල වකවානු සොයමින් වැඩියෙන් ණය ගත් රජයන් සහ මුදල් ඇමතිවරුන් සොයා ඔවුන්ට පරිභව කිරීමෙන් ද වැඩක් වන්නේ නැත. හේතුව, තව තවත් ණය ගැනීමක් නොමැතිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බැවිනි. බහුතර ණය ගෙවීමට නව ණය ගත යුතුය.

උගත යුතු පාඩම සහ ගතයුතු නව පියවර

පසුගිය වසර 67 ක කාලය තුළ සියලු ණය ගැනීම සහ කළමනාකරණය කිරීම කරන ලද්දේ රජයේ නිල මුල්‍ය සහ ආර්ථික උපදේශක වන ඉහළ පෙළේ ආර්ථික වියතුන්ගෙන් පිරි මහ බැංකුව විසිනි. රාජ්‍ය ණය ප්‍රශ්නයක් ඇත්නම් ණය කළමනාකරු ඊට වගකිව යුතුය. හැම කාලයකදීම කරනුයේ කෙසේ හෝ ණය ලබාගෙන, එම ණයවල ආර්ථික කළමනාකරණය සහ ප්‍රතිවිපාක ගැන නොතකා ණය උපයෝජනය කිරීමයි. ක්ෂුද්‍ර ව්‍යපාරයකට නම් ඒ ඒ වෙලාවට කෙසේ හෝ ණය ගැනීම සතුටකි. දැනට ඉදිරියේදී ගැනීමට උත්සාහ කරන ණයද එසේය. ණය කළමනාකරණය ගැන ඉහළ නිලධාරීන් අඛණ්ඩව විදේශයන්හි පුහුණු කොට ඇත. එහෙත්, රටේ ණය ගැටලුව අඛණ්ඩව උග්‍ර වන බව නොරහසකි.

රාජ්‍ය ණය පිළිබද මෙවැනි ප්‍රශ්න ඉහළ යාම යනු එම ණය කළමනාකරණ ව්‍යුහයේ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අවදානම් පිළිබද පෙර නිමිති ලෙස සැලකිය හැකිය. එය මෙම අවස්ථාවේ අධ්‍යයනය කර පිළියම් නොකොට, අපි හොඳයි කියමින් පසුගිය ආණ්ඩුවලට දොස් කියමින් සිටීමෙන් ණය පැහැර හැරෙන තත්වයට පත් නොවනු ඇති බව කිසිවකුට කිව නොහැකිය. අතීතයේ අඛණ්ඩව කෙසේ හෝ ණය ගෙවීමේ වාර්තාව යනු අනාගතයේ අනිවාර්යයෙන්ම ණය ගෙවන බවට සහතිකයක් නොවේ. එසේ වන්නේ නම්, ණය ගැනීම සදහා ණය ශ්‍රේණි ආයතනවල සේවය අවශ්‍ය නොවේ. ණය කළමනාකරණයේ දුර්වලතා නිසා දියුණු රටවල්ද ණය පැහැර හැරී අවස්ථා රැසක් වාර්තා වී ඇති බැවිනි.

ණය ශ්‍රේණි සහ විදේශීය ආයෝජන

බැංකු හරහා මුල්‍ය වෙළෙදපොළේ ආයෝජකයන්ගෙන් ණය ලබා ගැනීම ආරම්භ කළේ 2007 වර්ෂයේ මහබැංකුව විසිනි. මෙම ක්‍රමය යටතේ මේ වනවිට ඩොලර් මිලියන 13,150 ක ඩොලර් බැඳුම්කර නිකුත් කොට ඇත. ඉන් දැනට ගෙවා ඇත්තේ මිලියන 1,000 ක් පමණි. ඊට පෙර අනුගමනය කළේ ව්‍යාපෘති ණය සහ ඍජු ද්විපාර්ශ්විය ණයයි. නව ක්‍රමය මගින් රාජ්‍ය ණය සදහා දේශීය වෙළෙදපොළට අමතරව විදේශ වෙළෙඳ පොළක්ද දියුණු කිරීමට අපේක්ෂා කෙරිණ. එමගින්, ණය පිරිවැය අඩුකිරීම සහ ණය අරමුදල් සැපයුම වැඩිවීම අපේක්ෂා කෙරිණ. විශේෂයෙන්, මෙසේ විදේශ මුල්‍ය වෙළෙඳ පොළෙන් ණය ගැනීම කළේ හුදෙක් මහ බැංකුවේ විදේශ සංචිතය තර කර ගැනීමටයි. එම ණය මුදල්වල ආර්ථික උපයෝජනය පිළිබඳව කිසිම තැකීමක් හෝ පසුවිපරමක් සිදු නොකෙරිණ.

එබැවින්, රජය පමණක් නොව මහ බැංකු සංචිතය සහ විනිමය අනුපාතයද දැන් විදේශ ණය සහ ආයෝජන බැංකු උගුලට හසුවී හමාරය. විදේශ සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව කළ යුත්තේ රටේ විදේශ වෙළෙඳ අතිරික්තයක් ඇතිවන පරිදි මුල්‍ය සහ විදේශ විනිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එබැවින්, ණය ගැනීම පිලිබඳව රජයට දොස් කීම නවත්වා දැන්වත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මහ බැංකුව ආරම්භ කළ යුතුය. එසේම, දේශීය ණය වෙළෙඳ පොළද දියුණු නොවූ බවද පසුගිය සිදුවීම්වලින් පැහැදිලිය.

එබැවින්, අදාළ බලධාරින් විසින් මෙය තාවකාලික ගැටලුවක් ලෙස නොසලකා, රාජ්‍ය ණය ව්‍යුහයේ පවතින මුලික ගැටලු විසදීමට ඉක්මනින් පියවර ගත යුතුය. එසේ නැත්නම් රටේ ඉදිරි පරපුර මහත් ව්‍යසනයකට පත් වනු ඇත.

පානීය ව්‍යාපෘති‍යේ දිය යට ගින්දර

$
0
0
දෙසැ 7, 2018 01:00

පළාත් මාර්ග සංවර්ධන දෙපා ර්තමේන්තුවේ මහව කාර්යාලයේ විධායක ඉංජංනේරුවරයා පසුගිය විසි දෙවැනි දින ලිපියක් මගින් වයඹ පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂවරයා අමතමින් ජල ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාටද පිටපත් යොමු කරමින් ඉහත කී අක්‍රමිකතාවය පිළිබඳ දැනුම්දී තිබේ.

දැදුරු ඔය ජලාශය කේන්ද්‍ර කරගනිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ආරම්භ කර ඇති පානීය ජල යෝජනා ක්‍රමය දූෂණ සහ අක්‍රමිකතා වලින් පිරී පවතී. කොරියානු රජයේ ණය ආධාරයක් මත 2012 වර්ෂයේ දී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යනයකට අනුව මහව සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින වකුගඩු රෝගී තත්වයන්ට එක් පිළියමක් ලෙස මෙම පානීය ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරී ඇත. ඒ අනුව ඉහත කී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 97 ක් ආවරණය වන පරිදි පානීය ජලය නල මගින් ලබා දීමේ කටයුතු සැලසුම් කර ඇති අතර මේ වන විට එහි ජල නල එළීම සහ ජල ටැංකි ඉදි කිරීම සිදු කෙ‍රේ. මෙහි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 90700 ක් බව ව්‍යාපෘති යෝජනාවේ සදහන් වේ. ඒ අනුව නව ජල සම්බන්ධතා විසිදහසක් මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දීමට යෝජිත අතර නිකවැරටිය මහව ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය යටතේ දැනට පවතින ජල සම්බන්ධතා දෙදහසක් ද මේ යටතට ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ව්‍යාපෘතිය ආරම්භ කළ පසු ජලය සැපයෙන සම්පූර්ණ සම්බන්ධතා ගණන විසි දෙදහසකි. මේ සදහා කොරියානු රජයේ ණය ආධාරය රුපියල් මිලියන 8474 (අටදහස් හාරසිය හැත්තෑ හතරක්) වන අතර ශ්‍රී ලංකා ජන රජය රුපියල් මිලියන එක්දහස් තුන්සිය විසි හයක මුදලක් දැරිය යුතුය. ව්‍යාපෘතියේ මුළු වටිනාකම රුපියල් මිලියන 10227 කි. යම් කාලයක් ඇතුලත රජය විසින් ආපසු ගෙවිය යුතුය. ඒ සදහා පොලියත් සමග පොදු මහජනතාවගේ බදු මුදල්වලින් ය. තත්වය එසේ තිබිය දී මෙම ව්‍යාපෘතිය ආරම්භයේ පටන් ම අක්‍රමිකතාවයන් ගෙන් පිරී පවතී.

අත යට ගනුදෙනු

කොරියාවෙන් ලබා දුන් ණය මුදලට අනුව කොරියානු සමාගමකට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භා උපදේශන සැපයීමත් ගැටලු මතු වන්නේ උපදේශන ආයතනයේ ඉංජිනේරුවරයා බදවා ගැනීමේ පටන්ම සමාගම ගිවිසුම්ගත නීති රීති එකඟතා උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇති ආකාරය හේතුවෙනි. සමාගම සහ ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විධිමත් ගිවිසුමක් මගින් එකග වී ඇති කරැණු ඉදිකිරීම් සමාගම විසින් හිතුමතේ උල්ලංඝනය කරමින් පවතී. ගිවිසුම අනුව උපදේශන සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයාට වසර 15 ක පළපුරුද්දක් තිබිය සහ ජල නල එළීම සම්බන්ධව අවම වසර අටක පළපුරුද්දක් තිබිය යුතුය. එහෙත් වත්මන් ඉංජිනේරුවරයාට ජලනල එළීම සම්බන්ධව කිසිදු පළපුරුද්දක් නැති තත්වයක් තුළ පුද්ගලයින් අනූ දහසකට පානීය ජලය සැපයීමේ ව්‍යපෘතිය පුස්සක් බවට පත් නොවන්නේ ද ? කොන්ත්‍රාත්කාර සමාගම සහ උපදේශන සමාගම අනෙකුත් තනතුර සදහා නිලධාරීන් බදවා ගැනීමේ දී ද ගිවිසුම්ගත කරුණු උල්ලංඝනය කරමින් සුදුසුකම් අඩු පුද්ගලයින් බදවාගෙන ඇත්තේ වියදම් ඉතිරි කර ගැනීමේ අරමුණින් විය යුතුය. ඉහළ සුදුසුකම් සහිත තනතුරකට සුදුසුකම් සපුරා සිටින පුද්ගලයින් බඳවා නොගැනීම තුළ ජල සම්පාදන මණ්ඩලයේ ඉහළ නිලධාරින් සහ මෙම සමාගම් අතර යම් අතයට ගනුදෙනුවක් පවතින සැකයක් මතු වේ. හේතුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ දා පටන් ජල සම්පාදන මණ්ඩලයේ ඉහළ නිලධාරින් කටයුතු කර ඇත්තේ රටත් ජනතාවත් ගැන අංශු මාත්‍ර හැගීමක් නොමැතිව බව පැහැදිලිව පෙනෙන බැවිනි. මහව, නාගොල්ලාගම, පොල්පිතිගම ප්‍රදේශවල ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සඳහා වාරියපොල නගරයේ ව්‍යාපෘති කාර්යාලය පිහිටුවී‍මෙන්ද මේ බව පැහැදිලි වේ. ව්‍යාපෘති කාර්යාලයට ආසන්නවම ඇති පොම්පාගාරයට එම කාර්යාලයේ සිට ඇති දුර කිලෝමීටර් විස්සකට අධික වන අතර ව්‍යාපෘතියේ සියයට අසූවක්ම ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති කාර්යාලයට කිලෝමීටර් තිහකට වැඩි දුරකිනි. උපරිම දුර ව්‍යාපෘති කාර්යාලයට කිලෝමීටර් හැත්තෑවකි. ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය මගින් පත්කර ඇති අධීක්ෂණ නිලධාරින්ට වැඩබිම්වලට යාමට විශාල කාලයක් ගත වේ. බොහෝ විට ඔවුන් වැඩබිම්වලට යන විට පෙරවරු දහය පසුවන අතර ඒ අතර කාලය ප්‍රයෝජනයට ගනිමින් උප කොන්ත්‍රාකරුවෝ ජලනල එලිමේ කටයුතු ප්‍රමිතියෙන් බැහැරව සිදු කරති. මෙම උප කොන්ත්‍රාත්කරුවන් බදවා ගැනීමද ගිවිසුම් උල්ලංඝනය කරමින් සිදුකර තිබේ. ජල නල එළිමේ දී එම නල වලට හානි විය හැකි බැවින් හලන ලද පස් දමා නලය දෙපස යම් ආරක්ෂිත තත්වයක් ඇති කළ යුතු බවට ගිවිසුමේ දැක්වෙන නමුත් කොන්ත්‍රාත්කරු‍වෝද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එළන ලද නල මතට පස් තල්ලු කරන ආකාරය සාදක සහිතව අප සතුව තිබේ. පස් හැලීම සදහා භාවිතා කිරීමට ඇති අඟල කොටු සහිත දැල් කම්කරුවන්ගේ නිවාස වලට වාහන ගෙන යාමට කාණු හරහා ආධාරක ලෙස යොදා තිබේ. වැඩ බිම වෙත අධීක්ෂණ නිලධාරින් පැමිනෙන වෙලාව වන විට නිවෙස් අසල ඇති දැල් ගෙන වැඩි පස් හලා නල දෙපස ආරක්ෂිතව අසුරති. එහෙත් ඕනෑම මොහොතක භාවිතයට ගැනීමට යන්ත්‍ර සූත්‍ර වැඩබිම අසල සූදානමින් තබා තිබේ. මෙම යන්ත්‍ර නැවත වැඩට බහින්නේ හවස හතරෙන් පසුවයි. ඒ අධීක්ෂණ නිලධාරින් වැඩබිමෙන් බැහැර වන වෙලාවයි.

එමෙන්ම මේ රටේ පාසල් දරැවන් පවා දන්නා කරැණක් වන්නේ බෝක්කු සහිත ස්ථානවලින් ජල නල එළිමේ දී ඒ සදහා ලෝහ බට යොදා ගන්නා බවත් පොළව මතුපිටින් එම බට ගමන් කරන බවත් ය. නඩත්තු කටයුතු පහසු කිරීම සදහා මෙලෙස බෝක්කු අසල මතු පිටින් ලෝහ බට යොදා ඇති ආකාරය මේ රටේ ඕනෑම පුරවැසියෙක් දැක ඇතුවාට සැක නැත. එහෙත් මෙම ව්‍යාපාතියේ එලෙස ලෝහ නල භාවිත කර ඇති ආකාරයක් දක්නට නොලැබෙනවා සේම සුපුරුදු පරිදි බෝක්කු අසලින් ද පොළොව යටින් නල එළීම සිදුකර තිබේ. එහෙත් බෝක්කු අසල ලෝහ බට යෙදිය යුතු බවට ගිවිසුමේ සදහන් වන්නේ ඒ සදහා වෙනම මුදලක් ද වෙන් කරමිනි. කොන්ත්‍රාත්කරැවන් එම නීති උල්ලංඝනය කරන අතර මණ්ඩලය ලෝහ බට යෙදීම වෙනුවෙන් අදාළ මුදල් කොන්ත්‍රාත් සමාගම වෙත නිදහස් කරමින් පවතී. ඒ අනුව ලෝහ නල වෙනුවට ප්ලාස්ටික් නල යෙදීමෙන් ඉතිරිවන මුදල ජනතාව වෙනුවෙන් කොන්ත්‍රාත් සමාගමේ අතිරේක ලාභයක් බවට පත්ව තිබේ.

මෙම අක්‍රමිකතා කොන්ත්‍රාත් සමාගමේ උවමනාව මත පමණක් සිදුවන්නක් නොවන බව පැහැදිලි වන්නේ ජලසම්පාදන මණ්ඩලයද උවමනාවෙන්ම යම් වගකීම් පැහැරහැර ඇති බව පැහැදිලි වන බැවිනි. ඉදිකිරීම්වල තත්ත්ව පරීක්ෂාවන් සඳහා රසායනික පරීක්ෂණ වෙනුවෙන් ජලසම්පාදන මණ්ඩලය මගින් පළපුරුදු කාර්මික නිලධාරීන් යෙදවියයුතු වුවත් ඒ සඳහා පුහුණුවන නිලධාරීන් පමණක් යෙදවීම කොන්ත්‍රාත් සමාගමේ වංචනික ක්‍රියාවන්ට වඩාත් පහසුවක් වී ඇත.

මහජන මුදල් වල වටිනාකම කජු ඇට කොස් ඇට ගනනට දමා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරන බවට ඇති තවත් සාධකයක් වන්නේ වාරියපොළ ව්‍යාපෘති කාර්යාලය සඳහා කුළියට ගෙන ඇති ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් ගෙවීමය. රුපියල් පනස් දහසක පමණ මුදලකට අවශ්‍ය පහසුකම් සහිත ගොඩනැගිල්ලක් වැඩබිම් පිහිටි මහව, පොල්පිතිගම ප්‍රදේශ වලින් ලබා ගත හැකිව තිබියදී මෙවැනි විශාල මුදලක් ඒ සඳහා ගෙවීම තවත් එක් මිත්‍ර සංග්‍රහයක් බව පෙනෙන්නට ඇති බව කියති. එම සැකය තවත් තහවුරු වන්නේ මෙම ගොඩනැගිල්ල සඳහා ගෙවන මුදල කොපමනද යන්න තමා නොදන්නා බවට ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ වරිය පුකාශ කිරීම හේතුවෙනි.

බලධාරීන්ට දැනුම් දීම

මේ අතර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහව කාර්යාලයේ විධායක ඉංජංනේරුවරයා පසුගිය විසි දෙවැනි දින වයඹ පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂවරයා අමතමින් ජල ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාටද පිටපත් යොමු කරමින් ලිපියක් මගින් ඉහත කී අක්‍රමිකතාවය පිළිබඳ දැනුම්දී තිබේ. එහිදී ඉංජිනේරුවරයා දක්වා ඇත්තේ, මාර්ග රක්ෂිතයේ පැති කාණුවට පිටතින් කැණීම් කටයුතු සිදුකළයුතු වුවත් මාර්ග උරහිස සහ ඒ ආසන්නයේ ජලනළ එලමින් පැවතීම, අවසර නොමැතිව මාර්ග හරහා කැණීම් සිදුකිරීම, බර වාහන ධාවනය නිසා මාර්ග වලට හානි සිදුවීම, උප කොන්ත්‍රාත්කරුවන් විසින් මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම එකඟ වූ කරුණු නොතකා හැරීම ආදී කරුණු වේ. එමෙන්ම ජලනල එළීමේ දී මාර්ග වලට සිදුවන හානි ප්‍රතිපූරණය කිරීම වෙනුවෙන් තැන්පත් කළයුතු මුදල්ද මේ වනතෙක් තැන්පත් කර නොමැති බව එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර ඇතැම් ප්‍රදේශ වල පෞද්ගලික ඉඩම්වලින් බලහත්කාර‍යෙන් ජලනල එලීම සිදුවන බවද වාර්තා වේ. අදාළ නීති රීති පිළිබඳව අවබෝධයක් නොමැති ග්‍රාමීය ජනතාව උප කොන්ත්‍රාත් කරුවන් තම ඉඩම් තුළින් ඉවක් බවක් නොමැතිව ජලනලඑලමින් සිටියදී අසරණව බලා සිටින්නේ රජයේ සංවර්ධන ව්‍යාපෘතියකට බාධා කිරීමට තමන්ට අයිතියක් නොමැති බව සිතමින් විය හැකිය. එහෙත් ඇතැම් පෞද්ගලික ඉඩම් හිමියන් ජලනල එලීමෙන් පසු ඉඩම වටා තාප්ප ඉදිකර ඇති නිසා ජලනල වල ඉදිරි නඩත්තු කටයුතු වලට බාධා ඇතිවිය හැකි බවද දකින්නට තිබේ. මෙම කටයුතු වලදී පළාත්පාලන ආයතන වල අවසරය ලබාගෙන නොමැති බවද වාර්තා වූ අතර ඒ පිළිබඳව පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය සඳහා එම පළාත් පාලන ආයතනය අනුමැතිය ලබා දී ඇති බවත් මූලික එකඟතාවයන්ට අනුව ගැටලුවකින් තොරව එම ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකරන බවත් ය. මහව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා ප්‍රකාශ කළේ තම ආයතනයෙන් අදාල නීත්‍යානුකූල අවසරය ලබා දී ඇති බවත් එහෙත් ප්‍රාදේශීය සභාවට අයත් පාරවල්වල ඉදිකිරීම් ප්‍රමාණය ඉතා අඩු වන අතර මෙම ව්‍යාපෘතියේ වැඩි කොටසක් සිදු කෙරෙන්නේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගෙවල බවයි.

. පසුගිය අටවැනි දින එම කාර්යාලයේ පැවති සමාලෝචන වැඩසටහනේ දී කොන්ත්‍රාත් සමාගම අතිශයින් පාඩු ලබන බැවින් මෙම ව්‍යාපෘතිය අතහැර දැමීමට සිදුව ඇති බව ප්‍රකාශ කර තිබේ.ව්‍යාපෘති අධ්‍යක්ෂ වරිය ප්‍රකාශ කරන්නේ මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි. ‍මේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කර ඇති අමුද්‍රව්‍ය සහ උපකරණ විශාල ප්‍රමාණයක් රේගුවේ රඳවාගෙන මාස ගනනක් ගතව ඇත්තේ ඒවා නිදහස් කර ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙනි.

චෝදනාවලට පිළිතුරු

මෙම සියලු කරුණු සහ චෝදනා පිළිබඳ පානීය ජල ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරිය ‍මෙ‍සේ පවසයි.

මෙම ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත් සමාගම කොරියන් සමාගමක්. කොලොන් ග්ලෝබල් තමයි එම සමාගමේ නම. උපදේශන සමාගමත් කොරියානු සමාගමක්. එය හඳුන්වන්නේ සමන් ඇන්ඩ් කේ ඊ සී සී නමින්. ඕනෑම ව්‍යාපෘතියක විවිධ ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ අවස්ථාවල අපි මැදිහත් වෙලා එම අඩුපාඩු නිවැරදි කරනවා. සමහර අවස්ථාවල ඉදිකිරීම් කඩා ඉවත් කර නැවත ඉදිකරන්න වුනත් අපිට නියෝග කරන්න වෙනවා. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ හැම අඟලක්ම කලින් සැලසුම් කරල නොවෙයි. විවිධ පාරිසරික තත්වයන් යටතේ ඉදිකිරීම් වල ස්වභාවය වෙනස් කරන්න වෙනවා. එවිට කොන්ත්‍රාත් සමාගම අපට විවිධ යෝජනා ගේනවා. ඒ පිළිබඳව සලකා බලා වඩාත් සුදුසු විදියට ඉදිකිරීම් කරන්න අපි අවසරය ලබා දෙනවා. අපි නිරන්තරයෙන් ඒවා අධීක්ෂණය කරනවා. සාම්පල් පරීක්ෂව සඳහා පුහුණුවන නිලධාරීන් යන කතාව ඇත්ත. නමුත් ඒ සමග පළපුරුදු නිලධාරීන් අනිවාර්යයෙන්ම යනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් අධීක්ෂණයට ඉංජිනේරුවරයෙකුත් යනවා. මෙහි වගකීම තියෙන්නේ උපදේශන සමාගමටයි. කවුරු ගිහින් පරීක්ෂණ සිදු කළත් ඉංජිනේරු වරයා ඊට වගකිවයුතුයි. කොන්ත්‍රාත් සමාගමට හිතුමතේ උප කොන්ත්‍රාත්කරුවන් බඳවාගැණීමට නොහැකියි. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලියාපදිංචි අය පමණයි ගන්න පුළුවන්. දැනට අප ළඟ ලියාපදිංචි වී ඇත්තේ ‍ආයතන දෙකක් පමණයි. ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත් කරුවන් ලෙස වෙනත් ආයතන වැඩ කරන්නේ නැහැ. නමුත් කම්කරුවන් බඳවාගැණීමේ දී විවිධ ආයතන තියෙන්න පුළුවන්. නල එළීමේදී විවිධ ස්ථානවල අක්‍රමිකතා සිදුවන බවට අපට තොරතුරු ලැබුණා ඒ හැම විටම අපේ නිලධාරීන් එම ස්ථාන පරීක්ෂා කර ඒවා නැවත සැකසීමට කටයුතු කළා. අපේ ව්‍යාපෘති කාර්යාලය වාරියපොළ තිබුණට පොල්පිතිගම, නාගොල්ලාගම සහ පොතුවැව ප්‍රදේශවල ව්‍යාපෘති කාර්යාල තියෙනවා. කොහොම වුනත් මෙම ව්‍යාපෘතිය දෙදහස් දොලහ වර්ෂයේ සිට සැලසුම් කළ එකක් නිසා මේ වනවිට ඉදිකිරීම්වලට යන වියදම්වල විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වුන පවුල් 90700ට ම නිවෙස් වලට ජල සැපයුම් ලබා දීම ගැටලුවක්. නමුත් අවශ්‍ය ජල ප්‍රමාණය සියඹලන්ගමුව දක්වා රැගෙන යනවා. අතුරු මාර්ග වලට ජල සැපයුම පිළිබඳව තීරණය කරන්න වෙන්නේ ඉදිරියේ දී වෙනත් ව්‍යාපෘතියකින් හෝ මෙම ව්‍යාපෘතියටම නැවත මුදල් වෙන් කිරීමක් කර ගැණීමෙන් පමණයි. ඉංජිනේරුවරුන් බඳවා ගැණීමේ දී මුලින් ඉල්ලාසිටි සුදුසුකම් සහිත පුද්ගලයින් ඉදිරිපත් නොවූ නිසා එම ප්‍රමිතීන් ලිහිල් කරන්නට සිදුවුණා. ඒ අනුව ඉදිරිපත් වූ අයගෙන් වඩාත් සුදුසු අය තමයි බඳවාගෙන තියෙන්නේ. මෙම කාර්යය නියාමනයට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය මදි නිසා මම තවත් නිලධාරීන් ඉල්ලුම් කළා.

අ‍ශෝක චන්ද්‍රසේකර
වාරිය‍පොල සමුහ

පැරණි රසාංග රස විඳීමට ති‍බේ

$
0
0
දෙසැ 7, 2018 01:00
මානෙල් පුෂ්ප කුමාරි
චන්ද්‍රිකා පෙරේරා

සිංහල ගීතවලට අමතරව පැරණි හින්දි හා දෙමළ ගීත එකතුවක් සහිත සංයුක්ත තැටි මෙහි සංරක්ෂිතය. මෙරට කණ්ඩායම් ගීත මෙහි සංරක්ෂණය වන තවත් අභෞතික කලා සම්පතකි. පැරණි ගායක ගායිකාවන්ගේ හඬ හා සංයෝජනය වූ පැරණි සංගීත නාද රටා ද ඒ අයුරින්ම සංරක්ෂණය කර තිබීම මුල් යුගයේ වූ සංගීත නාද රටා හඳුනා ගැනීමට වර්මාන කලාකරුවාට උපකාර වෙයි.

“ඕළු පිපීලා විල ලෙළ දෙනවා සුදට සුදේ නංගෝ

ඕළු නෙළාලා මාල ගොතාලා පලඳිමු අපි නංගෝ“ සුනිල් ශාන්තයන්ගේ මියුරු හඬින් ගැයෙන ගීතය පැරණි නාද මාලව සමඟ දෙසවන වැකෙන විට ග්‍රාමීය ජන ජීවිතයේ රසාත්මිකතාව මායිමේ සිතුවම් වෙයි.

හෙළ කලා කෙත පෝෂණය කළ මහගම සේකරයන්ගේ ගීත සරළ සංගීතය සමඟ තවමත් අපට අසන්නට ලැබේ නම් වර්තමාන ජන සමාජයට එය නවමු අත්දැකීමක් වනවා නොඅනුමානය.

රුක්මණී දේවි, එඩී ජයමාන්න වැනි හෙළ සිනමා‍වේ මුල් යුග‍යේ ගායන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ ගීත ඒ කලාකරුවන්ගේම හඬින් අසන්නට වර්තමායේ ප්‍රිය නැත්‍‍‍තෝ කවරහුද?

හාස්‍ය, ශෘංගාරය, විරහව, මෙන්ම පරිසර අලංකාරය මේ ගීතවල මෙන්ම සංගීතයේ ද මනාව ගැබ්ව පවතී. විටෙක සිසිල් මඳ නල ද විටෙක සෙමෙන් ගලා යන ජල ධාරාවන්ද , කුරුළු නඳ ද මේ සංගීතයේ ඉතා මනරම්ව විද්‍යාමාන ‍වේ. ඒ තුළින් කෙරෙන්නේ කිසිදා නෙතින් දැක ගත නොහැකි විචිත්‍ර වූ මනෝමය චිත්‍රනයන්ය.

“හෙළ දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්“ “රත්නදීප ජන්ම භූමි ලංකදීප විජය භූමි මේ අපේ මාතෘ භූමියයි.“ වැනි ගීත සවන් වැකෙන විට දේශාභිමානය කුළු ගැන්වෙයි. මේ හැඟීම් වත්මන් දරුවන්ට දායාද කරන්නට නම් එදා සංගීත නාද රටා අනුව එවැනි නිවුනා වූ මනෝ භාවයන් උපදවන ගීත, කට හඬ, නාද රටාද දායද කළ යුතුය.

එදා ගීත හා සංගීත නාද ජනතාව අතරට ආවේ සංගීත තැටි හරහාය. මුල් යුගයේ එම තැටි වාදනය වූයේ ග්‍රැමෆෝනය මගිනි. මුදල් හදල් යහමින් තිබූ ප්‍රධානියාගේ නිවසේ පමණක් ඒවා එදා වාදනය වූයේ ගැමියාට ඒවා මිලදී ගැනීමට මුදල් යහමින් නොතිබීම නිසා ‍මෙන්ම එවැනි යන්ත්‍ර පිළිබඳ දැනුම හා අවබෝධය අල්ප වීම නිසාත් ඒවා බහුල නොවීමත් නිසා විය හැකිය. එදා ඒවා ශ්‍රවණය කරන්නට ගැමියෝ එක්තැනකට එක් රොක් වූහ.

අතීතත‍යෙන් අප වෙත දායාද කළ කලාත්මක සංස්කෘතික වටිනාකම් බොහෝ ය. මෑත ඉතිහාසයෙන් එක් වූ ග්‍රැමෆෝන තැටි හා යන්ත්‍ර කලා ලෝකයට මා හැඟි දායාදයකි.

මෙරට ගීත හා සංගීත ක්ෂේත්‍රයට එක් වූ එවැනි ගීත ගායනා හා සංගීත සහිත සංයුත්ත තැටි සංරක්ෂණය කර හෙළ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සලසන කණ්ඩායමක් පිළිබඳ පසුගිය දා දිනමිණට තොරතුරු ලැබිණි.

දිනමිණ එම ස්ථානය ‍සොයා ගියේ පැරණි සංගීත නාද රටා පිළිබඳ අධ්‍යාපනය හදාරන දූ දරුවන් හා ඒවා රස විඳීමට කැමති සහෘදයන් වෙනුවෙන් යුතුකමක් ඉටු කිරීමටය.

ඒවා සංරක්ෂණය කරමින් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට නොමිලේ දැනුම ලබාදීමේ මෙහෙවරට උරදී සිටිනු‍යේ සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් වර්තමානයේ උරදෙමින් සිටී. සිය පෞද්ගලික ධනය හා ශ්‍රමය වැය කර මේ කාර්යය සිදුකරන්නන් නිවසන තැන වනු‍යේ අපි නුගේගොඩ පළමු පටුමඟ, රූපසිංහ මාවතේ අංක 12/11 පිහිටි “සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස්“( Society of SriLankan record collectors) ය.

ඉතිහාසයට එක්ව ඇති සාක්ෂි වැනි ග්‍රැමෆෝන් තැටි, long play,extended play, මනා ලෙස ගබඩාකර සංරක්ෂණය කර ඇති අයුරු එහිදී අපට දැක ගැනීමට හැකි විය. මේ ගබඩාවේ ගී තැටි (magnatic tapes), සංගීත ගබඩා කරන භෞතික මාධ්‍ය (tangible media), සංගීතය ප්‍රතිවාදනය කිරීමේ යන්ත්‍ර ආදී සියල්ල එක් රැස් කර සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු වන ආකාරය ඇගයිය යුතුය.

ඒවා සංරක්ෂණය කිරීම තුළින් මෙරට අභෞතික සංස්කෘතික උරුමයේ කොටසක් වූ පැරණි සංයුක්ත තැටි වල ඇතුළත් ගීත සහ සංගීත ඛණ්ඩ මනා ලෙස පැවති අයුරින්ම නැවත ශ්‍රවණය කිරීමට වර්තමානයට ද හැකියාව ලැබෙයි. එදා සර්පිනාව , වීණාව, බටනලාව, තබ්ලාව, ඩොලැක්කය මෙන්ම පහතරට උඩැක්කිය, දවුල, තම්මැට්ටම, තාලම්පට වැනි සරල සංගීත භාණ්ඩ තුළින් වාදනය වූ වාද්‍ය වෘන්ද සහිත සංගීත ඛණ්ඩ ඒ ආකාර‍යෙන් රස විඳින්නට ඔබට පුළුවන.

“සිනිඳු සුදුමුදු තලාවේ//

පිපෙන පෙණ පිඩු සිනාසේ//

ෙසැලෙන රළ මත ගිලී ඉපිලී//

ගලන සිතිවිලි මුලාවේ....“ ගීත රාවය කන්කළුය.

සත්සමුදුර චිත්‍රපටයේ ගැයෙන මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ සෝමදාස ඇල්විටිගල ශූරීන් ය. අමරදේව ශූරීන්ගේ ගැඹුරු හඬින් එය ගීතවත් වෙයි. එවැනි ගීත රැසක් එහි සංරක්ෂණය වෙයි.

“රටකින් රටකට පාර අසාගෙන...“ බිනරමලී චිත්‍රපටය අමරදේවයන් ගේ හඬින් ගැයෙන මේ ගීතය ද සංගීතවත් කර ඇත්තේ ඇල්විටිගලයන්ය. මේ ගීත මෙන්ම සුනිල් ශාන්තයන්, ආනන්ද සමරකෝන්, එඩී. ජූනියර් , රුක්මණී දේවී, කරුණාදේවී සිරිවර්ධන, මහගම සේකරයන්, පණ්ඩිත් අමරදේවයන්, එඩී.ජයමාන්න, මොහිදින් බෙග්, ජී.එස්.බී රාණි, සුජාතා අත්තනායක, ජික්කි, පී.සුසිලා, මිල්ටන් මල්ලවාරච්චි, ඩෙස්මන් ද සිල්වා, වර්ණන් වර්ණකුලසූරිය, ඉන්ද්‍රානි පෙරේරා, සිසිර ඉන්ද්‍රානි සේනාරත්න යුවල, වික්ටර් රත්නායක , එම්.එස් ප්‍රනාන්දු, සී.ටී ප්‍රනාන්දු, ආදී පැරණි, මධ්‍ය කාලීන හා වර්මනා ගීත තැටි හා පටි සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් හි සංරක්ෂණය වෙයි.

සිංහල ගීතවලට අමතරව පැරණි හින්දි හා දෙමළ ගීත එකතුවක් සහිත සංයුක්ත තැටි මෙහි . මෙරට කණ්ඩායම් ගීත මෙහි සංරක්ෂණය වන තවත් අභෞතික කලා සම්පතකි.

පැරණි ගායක ගායිකාවන්ගේ හඬ හා සංයෝජනය වූ පැරණි සංගීත නාද රටා ද ඒ අයුරින්ම සංරක්ෂණය කර තිබීම මුල් යුගයේ වූ සංගීත නාද රටා හඳුනා ගැනීමට වර්මාන කලාකරුවාට උපකාර වෙයි. පැරණි ශිල්පීන්ගේ ගීත සාහිත්‍ය මුල් කෘතීන් වර්තමාන සහ අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂා කිරීම, දැනුම ප්‍රවර්ධනය, රස වින්දනය පෙරදැරි කරගෙන ශ්‍රී ලංකා තැටි එකතු කරන්නන්ගේ සංගමය හැටියට ඉදිරියට කටයුතු කරන බව සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් හි ලේකම් ප්‍රදීප් වික්‍රමසිංහ මහතා අප සමඟ පැවසුවේය.

ලෝකයේ ප්‍රථමයෙන්ම හඬ ගබඩා කිරීම සහ ප්‍රතිවාදනය කිරීම උදෙසා වූ යන්ත්‍රය සහ ඒ හා බැදුණු මාධ්‍ය ලොවට බිහි කළේ වර්ෂ 1887 දී ඇමරිකන් ජාතික විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ය. එය ෆොනෝග්‍රාෆ් සහ සිලින්ඩර් මාධ්‍යයයි. ඉන් ඉක්බිතව වර්ෂ 1897 දී ජර්මනියේ උපත ලද ඇමරිකන් පුරවැසියෙකු වූ ‘එමිල් බර්ලිනර්‘ ග්‍රැමෆෝන් තැටිය සහ යන්ත්‍රය ලෝකයට හඳුන්වා දුන්නේ ය. එහි පේටන්ට් අයිතිය ද ලියාපදිංචි කෙළේ ය. එදා ග්‍රැමෆෝනය ලෝකයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විණි.

නුගේගොඩ නගරය ආසන්නයේ පිහිටි ප්‍රදීප් වික්‍රමසිංහ මහතාගේ නිවසේ ඇති තැටි ගබඩාවේදී එම පැරණි ගී තැටි වාදනය කරන ආකාරය අපට දැකීමටත් ඇසීමටත් හැකි විය. එයින් නිකුත් වූ හඬ අතීත සංගීතය හා ගීත කෙතරම් නිර්මාණශීලීද යන්න වර්තමානයට කියා දෙන පාඩමක් වැනි.

මේ අගනා ගී තැටි මනා ලෙස සංරක්ෂණය කරමින් වික්‍රමසිංහ මහතා ඇතුළු සංගමය වැදගත් මෙහෙයක් ඉටුකර තිබීම අනාගතයට කරන ඉතිරියක් මෙන්ම මහඟු දායාදයකි. මෙය සංගමයක් ලෙස ක්‍රියාත්මක වුවද රජයේ ලියාපදිංචිය තවමත් ලබා ගෙන නැති අතර නුදුරේදී එය සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් නමින් ලියාපදිංචිය සඳහා කටයුතු සම්පාදනය කරනු ඇත. කලක සිට තම ආයතන‍යේ ‍සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවද ලබා ගෙන තිබෙන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ආඩම්බරයකින්ද යුතුවය.

ඒ අනුව සිංහල ස්වදේශීය සේවයට අවශ්‍ය කණ්ඩායම් ගීතද සපයන්නට කටයුතු කර තිබිණි. මේ සංගමය සමඟ ඇනලොග් මියුසික් ස්ටුඩියෝ ද එක්ව කටයුතු කරයි. එහි රටපුරා සාමාජිකයන් 200ක් පමණ සිටියි. ඒ අයද මෙවැනි සංගීත කලාත්මක එකතුවන්ගෙන් සමන්විත වූවො වෙති. කෙසේ වුවද සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් වර්තමානයේ මෙන්ම අනාගතයේ දීද මෙරට පැරණි සංගීත කලාව පිළිබඳ හදාරන්නන්ට සංරක්ෂණය කර ඇති ගී එකතුව මහඟු පිටිවහලක් වෙයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් “කණ්ඩාම් සංගීතය“ ගීත පොතට කරුණු සොයා යෑමේ දී ඒ සඳහා එක් වැදගත් තෝතැන්නක් වූයේ ද ඇනලොග් මියුසික් ස්ටුඩියෝ හි සංරක්ෂිත කරුණුය. ආරියරත්නයන් ‍ගේ කෘතිය සඳහා වැදගත් තොරතුරු රැසක් සැපයීමට තම සංගමයට හැකි වූ බව ප්‍රදීප් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

ඔවුන‍ගේ එකතුවේ ඇති “තේ පැන් දින දින වැඩි වැඩියේ“,මෙහි ඇතුළත් රුක්මණී දේවි ගායනය කර ඇති “ “ගීතය ඉන්දියාවේ නිපදවන ලද HMV ග්‍රැමෆෝනයට තැටි ගත කළ එකකි. එහි මංග නෝනාගේ තේ කෝප්පය විකට සංවාද ජවනිකාවට ගායනයෙන් එක් වී ඇත්තේ Don Benedict & Party සංගීත සංයෝජනය සමඟ එදා ඇල්බට් පෙරේරා ලෙස හැඳින් වූ මෙදා ඩබ්.ඩී.අමරදේව නමින් හඳුන්වන ප්‍රතිභාපූර්ණ ගාන්ධර්වයාණන් ය. එහි ‘දොන් බෙනඩික් ඇන්ඩ් පාටි‘ හාස්‍යයෙන් පිරුණු ගී එකතුවකි.

පැරණි ගීත හා සංගීත සංරක්ෂණය කෙරෙන මේ කණ්ඩායම සිය සාමාජිකත්වය පුළුල් කිරීමටද කටයුතු කරමින් සිටින අතර අධ්‍යාපනික ප්‍රදර්ශන, පැරණි ගීත ප්‍රසංග, වැඩමුළු පැවැත්වීමට පියවර ගනිමින් සිටී.

සොසයිටි ඔෆ් ශ්‍රීලංකන් රෙකෝඩ් කලෙක්ටර්ස් හි නිලධාරි මඩුල්ල සභාපති රොෂාන් වෙදගමගේ,ලේකම් ප්‍රදීප් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාරික සමන් පුෂ්ප කුමාර යන මහත්වරුන්‍‍ගෙන් සමන්විත වෙති.

‍මෙරට සංගීත‍යේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන්,විද්‍යාර්ථීන්,පාසල් ළමුන් ඇතුළු ගීතය සහ සංගීතය පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ පිරිස් සිය අධ්‍යාපනික පර්යේෂණ මෙන්ම රස වින්දනය සඳහා තමන් සමඟ අත්වැල් බැඳගත හැකි බව ඔවුහු පවසති.

ඉපැරණි නාඩගම්,නූර්ති,චිත්‍රපට ගීත,සංවාද,ඒක පුද්ගල ගීත ඇතුළත් ග්‍රැමෆෝන් තැටි, විවිධ ගීත ඇතුළත් LP,EP තැටි සහ කැසට් පට විශාල ප්‍රමාණයක් ‍මෙම ස්ථාන‍යේ සුරක්ෂිතව පවතී.

අන්තර් ජාතික භාෂා වලින් පළවූ ගීත තැටි පටි විශාල එකතුවක් ද විවිධ සංස්කෘතීන්වලට අයත් ගීත තැටි පටි විශාල එකතුවක් ද ඊට අයත්ය.

ඡායාරූප - සිරිපාල හල්වල

උත්සව දීමනා අපටත් දෙන්න

$
0
0
දෙසැ 7, 2018 01:00

ජනපතිතුමනි, දැන් රාජ්‍ය සේවකයාත් විශ්‍රාමිකයාත් දැඩි ආර්ථික අහේනියකින් සිටිනා බව ඔබතුමා නොදන්නවා නොවේ. මොවුන්ගේ ඇඟට දැනෙන ආර්ථික වාසියක් මෙතෙක් මොවුනට ලබාදීමට මෙය ස්වර්ණමය අවස්ථාවක් වන බැවින් ළඟ එන නත්තල් උත්සවය ඇතුළු වෙනත් අනුමත උත්සව සඳහා දෙනු ලබන රුපියල් ‍දහදාහේ උත්සව අත්තිකාරම් දීමනාව දැනට පවතින ජීවන රටාව අනුව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන හෙයින් මෙම උත්සව දීමනාව රුපියල් විසිදහස දක්වා වැඩිකර එම මුදල මාස 11 කින් සුළු පොලියක් සමඟ අයකර ගැනීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එයින් රජයට වාසියක් මිස අවාසියක් නොවන බව දන්වා සිටිමි.

ඒ සමඟම සියලුම ආණ්ඩු අවලංගු කාසියක් ලෙස සලකා හමස් පෙට්ටියට යවා ඇති විශ්‍රාමිකයන් ද මේ වනවිට දැඩි ආර්ථික අමාරුකම් මැද ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින හෙයින් විශ්‍රාමිකයින්ටද මෙම උත්සව අත්තිකාරම් දීමනාව බැංකුවට පිළිගත හැකි සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ පවුලේ සාමාජිකයින් දෙදෙනකුගේ ඇප මත ලබාදීමට හැකිනම් එය මා හැඟි පුණ්‍යකර්මයක් ලෙස මම මතක් කර සිටිමි. විශ්‍රාමිකයින් යනු ලෙඩ ඇ‍ඳේ වැතිර මරුවාට අතවනමින් සිටින පිරිසක් ලෙස සෑම රජයක්ම හංවඩු ගසා සිටින හෙයින් වත්මන් රජයෙන් මෙම සහනය දී විශ්‍රාමිකයාගේ ඡන්දය දිනාගැනීමට මෙය ආයුධයක් කරගන්නා මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ බිඳ වැටුන නව විශ්‍රාම වැටුප ගැනද ඔබතුමාගේ අවධානය යොමුකරවනු කැමැත්තෙමි. ඔබතුමාගේ දස අවුරුදු පාලන සමය තුළ එදා රණවිරුවන්ට දුන් සිත්ගන්නා පොරොන්දුවක් වූයේ සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා දැනට ලබන 70% විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 85% දක්වා ඉහළ නංවන බවකි. කඩවුන පොරොන්දුවක් වූ මෙය දැන්වත් ඉටුකරදීමට ක්‍රියා කරන්නේ නම් එය රණවිරුවන්ට කරන ගෞරවයක් ලෙස මම සලකමි.

කාලාන්තරයක් තිස්සේ පුවත්පත් හරහා නොනවතින සටනක යෙදුන මා අවසානයේදී අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ අතිගරු ජනාධිපතිතුමාට කළ අභියාචනය මල්ඵල ගැන්වී ඇතත් මේ ආණ්ඩු පෙරළිය එයට හරස් වේදැයි මට ඇත්තේ සැකයකි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කැබිනට් අනුමැතිය ලැබ මුදල් ඇමැතිතුමා විසින් මේ සඳහා නව නීති රීති සකස්කර ගැසට් පත්‍රය යැවීමට නීති දෙපාර්තමේන්තුව වෙත යවා ඇති හෙයින් මෙය කුණු කූඩයට නොදැමීමට වගබලා ගන්නා මෙන්ද ඉල්ලා සිටිමි.

දොඩන්දූවේ දයා රූපසිරි
(විශ්‍රාමික)
ශ්‍රී ලංකා පාබල හමුදාව

රේල්ලුවේ වැරැද්දක්

$
0
0
දෙසැ 7, 2018 01:00

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවට අයත් පොල්ගහවෙල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් ඉංජිනේරු (මධ්‍යම/උතුර) දුම්රිය කාර්යාලය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ සෘජු මැදිහත්වීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර ඇත. ඒ අනුව උතුරු දිස්ත්‍රික්කය මෙම කාර්යාලයෙන් ඉවත්කර මෙම කාර්යාලය මරදාන පිහිටි දිස්ත්‍රික් ඉංජිනේරු මධ්‍යම කාර්යාලයේ උප කාර්යාලයක් බවට පත්කිරීමට අභිනව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සිය අභිමතය පරිදි කටයුතු කර ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මෙම තීන්දුවත් සමඟම මෙකී කාර්යාලය මඟින් සේවය ලබාගත් මාර්ග හා ගොඩනැගිලි අංශ 07 ක දහස් සංඛ්‍යාත සේවක මහත්ම මහත්මීන් රැසකටම අතිශය බරපතළ අසාධාරණයක් සිදුවී ඇත.

දැනට වසර කිහිපයකට පෙර මෙම දුම්රිය කාර්යාලය දිස්ත්‍රික් කාර්යාලයක් බවට පත්කිරීමට එවකට පැවති රජය මඟින් තීරණය කරන ලද්දේ පරිපාලනමය පහසුව සඳහා වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂමව දුම්රිය සේවාවක් සැපයීමේ අරමුණෙනි. මෙම කාර්යාලයේ වැඩ ඒකකය මරදාන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එම වැඩ ඒකකය මධ්‍යම කාර්යාලයේ ස්ථාපනය කර තිබීමෙන් පරිපාලනමය ගැටලු රැසක් නිර්මාණය වී තිබේ. මරදාන ස්ථාපිත කර ඇති මෙම වැඩ ඒකකය ‍ෙපාල්ගහවෙල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම වෙනුවට මෙම දිස්ත්‍රික් කාර්යාලය ඉවත්කිරීමට කටයුතු කිරීම කැකිල්ලේ තීන්දුවක් බව දුම්රිය සේවකයන්ගේද අදහස වී ති‍ෙබ්.

දැනට මිලියන ගණනක මුදල් වියදම් කර මෙම පොල්ගහවෙල කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් පවා අලුත්වැඩියා කරමින් පවත්නා තත්ත්වයක මෙම දිස්ත්‍රික් කාර්යාලය ඉවත්කිරීම සැලසුම් සහගත ක්‍රියාවලියක් යැයි සැක පහළ වී තිබේ.

සේවක මහතුන්ගේ විශ්‍රාම ලිපිගොනු සැකසීම, පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම්, මාර්ග හා ගොඩනැගිලි අංශයන්හි සේවා කටයුතු අධීක්ෂණය වැනි කාර්යයන් මෙම කාර්යාලය මඟින් ඉටුකරමින් පැවති අතර පාලනාධිකාරිය මෙම හිතුවක්කාරී ක්‍රියාව හේතුවෙන් මහව, ගනේවත්ත, හිරිපිටිය, නාගොල්ලාගම, කුරුණෑගල වැනි ප්‍රදේශ රැසක සේවක මහතුන්ට තම රාජකාරි අවශ්‍යතාවයන් සඳහා කොළඹ ප්‍රදේශය දක්වා පැමිණීමට සිදුවීමත්, මෙම ප්‍රදේශවල මහජනතාවටද කොළඹ ප්‍රදේශය දක්වා පැමිණීමට සිදුවීමත් සමඟ ඔවුන්ටද දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුව ඇත.

රාජ්‍ය සේවය දියකරහැරීම වෙනුවට වඩාත් කාර්යක්ෂම ගුණාත්මක රාජ්‍ය සේවාවක් මහජනතාවට සැලසීම උදෙසා දුම්රිය සේවය සතු මෙම දිස්ත්‍රික් කාර්යාලය නැවතත් දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාම කෙරෙහි ජනාධිපතිතුමාගේත් ප්‍රවාහන බලධාරින්ගේ කඩිනම් සහ කාරුණික අවධානය ‍වහා යොමුවිය යුතුව ඇත.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාර්ග හා කර්මාන්ත
දුම්රිය නිලධාරින් පිරිසක්


සීනිවලින් මිදෙන මඟක්

$
0
0
දෙසැ 7, 2018 01:00

අප ගන්නා ආහාර නිසා දියවැඩියා රෝගී තත්ත්වය ඇති විය හැකි අතර මෙය අපට වළක්වා ගත හැකිය. ආහාර ආමාශය තුළදී ජීර්ණය වීමෙන් පසුව ග්ලුකෝස් සහ නොයෙකුත් පදාර්ථ බවට පත්වේ. ග්ලුකෝස් බවට පත්වන කොටස ශරීරයේ සෛල පෝෂණය කිරීම සඳහා අවශ්‍ය වන කොටසයි. එම ග්ලුකෝස් රුධිරය හරහා සෛල ආසන්නයටම ගමන් කළද ඒවා සෛල තුළට ඇතුළත් කිරීමේ කාර්යය පැවරී ඇත්තේ ඉන්සියුලින් නම් ‍හෝමෝනයටයි. ඉන්සියුලින් නොමැති වුවහොත් ග්ලුකෝස් අනුවලට කිසිසේත්ම කිසිදු ශෛලයකට ඇතුළත් විය නොහැකිය. උදාහරණයකින් පවසනවා නම් හෝටලයක කාමරයක යතුර හිමි පුද්ගලයා අමුත්තාගේ කාමරයට රැගෙන ගොස් ඇතුල්කිරීම හා සමානය. මෙහිදී ඉන්සියුලින් යතුර හිමි පුද්ගලයාටත් ග්ලුකෝස් අමුත්තාටත් සෛල කාමරයටත් සමාන කළ හැකිය. හෝටලයේ කිසිදු කාමරයක යතුරු භාර පුද්ගලයා නොමැති විටදී අමුත්තන්ට කිසිසේත්ම කාමරවලට ඇතුළු විය නොහැකි සේ ආමාශය තුළින් රුධිරයට කොතරම් ග්ලුකෝස් එකතු වුවත් ඒවා සෛලගත කිරීමට ඉන්සියුලින් නොමැතිවීමෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යයි. එම අවස්ථාව සාමාන්‍ය ජීවිතයේදී දියවැඩියාව ලෙසත් සිංහල වෙදකමේදී ‘මධුමේහය’ ලෙසත් හඳුන්වයි.

මෙම ඉන්සියුලින් නිපදවීමට කටයුතු කරන්නේ ශරීරයේ ආමාශය ආසන්නයේම ඇති අග්න්‍යාසය නම් අවයවයයි. දියවැඩියාව වැලඳුනු අයෙකුට ක්‍රමයෙන් කාලය ගෙවී යනවිට ඇස් පෙනීමේ දුර්වලතාවය, යටිපතුල් හිරිය, බෙලහීනතාවය, රාත්‍රියේදී අධික ලෙස වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීම හා පිපාසය ආදී රෝග ලක්ෂණ ඇති වේ. තවත් බොහෝ අයට අධික ලෙස ශරීරය කෙට්ටුවීම සිදුවේ. මේ සියලු රෝග ලක්ෂණයන්ට හේතුව වන්නේ සෛල තුළට ග්ලුකෝස් ඇතුළු කර සෛල පෝෂණය කිරීම ශරීරයේ ඉන්සියුලින් නොමැතිවීමයි.

ඇතැම් පුද්ගලයන් මෙය හඳුන්වන්නේ අග්න්‍යාසය මැරී යාමක් ලෙසයි. එහෙත් කිව යුතු විශේෂ කාරණය නම් මෙහිදී සිදුවන්නේ අග්න්‍යාසය අක්‍රීයවීමක් පමණක් බවයි.

දැනට පරම්පරා කිහිපයකට පෙර ජීවත් වූ උදවියට දියවැඩියාව හෝ වෙනත් කිසිදු රෝගයක් නොවැළඳීමට හේතුව වන්නේ ඔවුන් ක්ෂණික කෑම, පිටිකෑම, රසකාරක ආදී ආහාර පරිභෝජනය නොකළ නිසයි. අද රටේ ජිවත්වන මිනිසුන්ට දියවැඩියාව බහුලවීමට ක්ෂණික කෑම හා රසකාරක පරිභෝජනය ප්‍රධාන හේතුවක් වී ඇත.

නිසි ආහාර රටාවකට හුරුපුරුදු වීමෙන් මෙම බෝනොවන රෝග තත්ත්වයන් වඩාත් පහසුවෙන් පාලනය කළ හැකිය.

දේශීය වෛද්‍ය
සොනාල් සෞභාග්‍ය
මීරිගම

අලින්ට හිතවත් යෝජනාවක්

$
0
0
දෙසැ 7, 2018 01:00
සකුන්තලා ජයසිංහ

කාලාන්තරයක් තිස්සේ එක තැන පල්වුණු ඇතැම් ප්‍රශ්නවල හානිකර ප්‍රතිඵල එළියට එන්නේ අපි නොසිතන පැතිවලිනි.ඉකුත් කාලවකවානුව තුළ වල් අලි දුම්රියේ ගැටී අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධි කිහිපයක් දිගින් දිගටම වාර්තා වීම මීට ලබා දිය හැකි කදිම සහ ආසන්නතම උදාහරණයක් යැයි සිතමු. වසර විසි හතරක් පමණ තිස්සේ පවතින අලි මිනිස් ගැටුම ඉතා දරණු අතට පත්වී තිබේ.වසර ගණනාවක් ගෙවි ගියත් ප්‍රශ්නය එසේම වුවා විනා විසැඳුමක් නොලැබිණි. සිදු ව ඇත්තේ ඔඩු දුවා ගිය ප්‍රශ්නය විවිධ මුහුණුවලින් මතු වීම ය. අලි දුම්රිය ගැටුම එහි පැතිකඩකි.

මේ වන විට ස්ථීර නිජබිම්වලින් මිදි ගම්මානවලට වැදී ඇති වල් අලි සීසිකඩ යති. මෙයින් වටිනා මිනිස් ජීවිතවලට මෙන්ම හව් හරණක් නැති අලියාට ද සිදු කර ඇති අගතිය මහත් ඛේදනිය ජනකය.මෙය අඩු වැඩි කොට ගණනය කළ නොහේ. ජීවිත හා වගා බිම් ආරක්ෂා කර ගැනීමට මිනිස්සු සටන් කරති. එසේම අලියා ද කුසගිනි නිවා ගැනීමේ සටනටත් මරණ බියටත් මැදි වී සිටී. මේ මහා අවුලත් සමඟ ඉබාගාතේ දිවා රෑ ගම් ගෙවල් මැදින් යන මේ සත්තුන් ට සිදු වන අනතුරු බොහෝය .ඒ අතරින් වල් අලි දුම්රියේ වැදිම අද නිතර ඇසෙන ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත

අලි මිනිස් ගැටුමේ තීව්‍ර මර්මස්ථානයන්ට තවමත් විසැඳුම් නොමැති මුත් අලි දුම්රිය ගැටුම ට විසැඳුම් සෙවිමේ වැඩපිළිවෙළකට හෝ අවතිර්ණ වු බවට ඉකුත්දා ඇසුණු පුවත අපි බොහෝ සෙයින් අගය කළ යුතුය . මක් නිසා ද යත් සද්ධන්තයින් දුම්රියේ වැදී වැනසෙන තුරු නිද්‍රා ශීලිව සිටීම සත්ව කරුණාව දක්වන ජාතියක ට තරම් නොවන හෙයිනි.

වනජීවි සංරක්ෂණ දොපර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ වල් අලි ගහණය 5879ක් පමණ වෙයි. සතුන්ට වෙන්වුණු ආරක්ෂිත වාස භූමි ය මුළු භුමියෙන් සියයට22ක් පමණ ය . නමුත් මේ භූමිය ද ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආක්‍රමණයට නතු වීමත් ආහාර ඇතුළු මුලික වුවමනාවන් මේ රක්ෂිතවල නොමැති කමත් නිසා දැන් දැන් වල් අලි ගම්වලට කොටු වුණු පුංචි ලඳු කැළෑ සිය ස්ථීර වාසස්ථාන බවට පත් කර ගෙන සිටිති. මේ වන විට වනජීවි රක්ෂිතවල අලි 1000ක් පමණ සිටින අතර ඉතිරි 4000 ම සිටින්නේ ජනාවාස සහිත අනාරක්ෂිත ප්‍රදේශවලය. 2010 සිට මේ දක්වා අලි 80ක් පමණ දුම්රියේ වැදී මිය ගොස් තිබේ. 2017 සිට මේ දක්වා මරණ 12කි.

දුම්රියේ වැදී මිය යාම වන අලිනට ජිවිත අවදානම මතු කරන සෙසු කාරණයන්ට සාපේක්ෂව අඩු අගයක් ගත්ත තාක්ෂණික පිළියම් ද අතැතිව මේ ගැටලුව විසැඳීමට යම් ප්‍රවේශයක් ගැනීමේ හැකියාව තිබේ. වනජීවිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ කමිටුවක් හරහා දුම්රියෙන් වල් අලින්ට සිදුවන හානිය වැළැක්විම ට ක්ෂේත්‍ර නිරීක්ෂණ වාර්තාවක් ඔස්සේ විසැඳුම් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවය.

ඒ සඳහා ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව ට ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් සහභාගි වුහ මේ සම්බන්ධයෙන් කරණු අනාවරණය කළේ අලි සංරක්ෂණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එච් සුමනදාස මහතා යි.

වල් අලි දුම්රියේ වැදීමට යන සමපාත පරිදි මහව දුම්රිය සන්ධියේ සිට ම විහිදී ඇති කි.මි 660ක ගමන් කළ අපි සෑම කිලෝමිටරයක් තුළ ම පවතින විශේෂත්වයන් සටහන් කර ගත්තා. මහව සිට උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොල , ගල්ගමුව ,මැදවච්චිය. මාන්නාරම . යාපනය ,නැගෙනහිර දුම්රිය මාර්ගයේ මඩකළපුව දක්වා අධි අවදානම් කලාප කිලෝමිටර් 142ක් සහ සාමාන්‍ය අවදනාම් කලාප 188ක් හඳුනා ගත්තා .උක්ත කලාපවල ජනාවාස පිහිටීම ,ප්‍රදේශයේ වල් අලින්ගේ ක්‍රියාකාරිත්වය , අලි කොරිඩෝ වැටී ඇති ස්ථාන ,දුම්රිය මාර්ගයේ පිහිටිම , මාර්ගය දෙපස ලක්ෂණ , වන සතුන් පරිහරණය කරන වැව් සහ වනාන්තරවල පිහිටීම , පාලම් සහ බෝක්කුවල පිහිටිම අපේ විමර්ෂණයට ලක් වුණා.

අලියකු දුම්රියේ ගැටීම ට හේතු සහ රියැදුරාට අනතුරක් වළක්වා ගැනිමට නොහැකි වන හේතුත් අපි සොයා බැලුවා දුම්රිය මාර්ගයේ වංගුවලදි අලියා දර්ශනය නොවීම, දුමිරිය පැමිණෙන ශබ්දයත් සමඟ අලියා මාර්ගයට පැමිණීම , අලියා දර්ශන වුවත් තිරිංග තද කළත් දුම්රි‍යේ බර සමග නවත්වා ගැනීම දුෂ්කර වීම , දුම්රිය මාර්ග දෙපස ළඳු කැලෑ ගහනවිම, දුම්රියවල දැනට සවි කර ඇති ලාම්පුවල තිව්‍රතාව අඩු වීම ,මාර්ගයේ කඳු පල්ලම් සහිත ස්ථානවල දී අඩු වේගයකින් ධාවනය අපහසු වීම , පවතින කාලගුණ තත්ත්වය , දුම්රිය මාර්ගයේ ඇතැම් තැන් පොළොවට ඉහළින් පැවතීම නිසා අලියාට මාර්ගයෙන් ඉවතට යාම අපහසු වීම ,අලියාට මාර්ගය හරහා යාමට අපහසු වන පරිදි සිල්පර අතර හිඩැස් පැවතීම , විදුලි වැට , අවිධිමිත් සංවර්ධන ව්‍යාපෘති , මිනිසුන් යොදා ඇත බාධක නිසා සතුන්ගේ සංචරණ මාර්ග අවහිර වී තිබිම ,ඇතැම් අලි ප්‍රචණ්ඩකාරි ප්‍රතිචාර දක්වමින් දුම්රිය ඉදිරියට පැමිණීම , දුම්රියවලින් විසි කරන ආහාරවලට පුරුදු වී සිටීම ආදී හේතු ගණනාවක් අපි අනාවරණය කරගත්තා . මෙම තොරතුරු ලබා ගත්‍තේ දුම්රිය රියැදුරන් , රේල් ගේට්ටු කරුවන්, ධාවන අධිකාරිවරුන් ,දිස්ත්‍රික් ධාවන පරක්ෂක හා යාන්ත්‍රික පරික්ෂකවරුන් ගේ විමර්ෂණ වාර්තා අනුව සහ ප්‍රාදේශීය වනජිවි නිලධාරින්ගේ අත්දැකීම් අනුවයි.

ප්‍රශ්නයට හේතු හඳුනා ගැනීමත් ඊට ලබා දිය හැකි වඩාත් ප්‍රශස්ථ විසඳුම් යෝජනාත් තිරසාර විසැඳුමක් කරා ළඟා වීම ට ඉඳුරාම බලපායි. මෙම විසැඳුම් යෝජනා සකස් කිරිමේ දි සක්‍රිය දායකත්වයක් දැක්වු විද්වත් කාණ්ඩායම අතර තරුණ ගුවන් යානා ඉංජිනේරුවකු වන ඉරෝෂ් පෙරේරා මහතාගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී විය ඉරෝෂ් පෙරේරා මහතා තම යොජනාවලිය මෙසේ ගෙන හැර දක්වන ලදි.

අපි වන අලි දුම්රි‍යේ ගැටීමට ‍හේතු වුණු කාරණා වඩාත් ගැඹුරින් විමර්ශනය කළා. ඒ අනුව කඩිනමින් ක්‍රියාවට නැංවිය හැකි සහ වැඩි දියුණු කළ යුතු විසැඳුම් සහිත වාර්තාවක් සකස් කළා. පහසුවෙන් ම කළ හැකි දේවල් අතරට දුම්රිය මාර්ගයේ මධ්‍ය ලක්ෂයේ සිටි මිටර් 15 බැගින් දෙපස ළඳු කැලෑ ඉවත් කිරිම කඩිනමින් කළ යුතු බවයි අපි අවධාරණය කළේ. මෙය මිනිස් ශ්‍රමයෙන් කරන්න බැරි නම් වැඩි දියුණු කළ යන්ත්‍ර සුත්‍ර යොදා ගන්න පුළුවන් .එමෙන්ම අලි මාරුවන බෝක්කු සහ පාලම් (under pass) පළල් කිරීමටත් , මාර්ගයේ කඳු සහිත ස්ථානවලදී මාර්ගය ට ඉහළින් (over pass) අලින්ට ගමන් කළ හැකි ගුවන් ප්‍රවිශ්ට ඇති කිරිමටත් අපි වාර්තාවට ඇතුළත් කළා.එවැනි දුමිරිය යටින් අලින්ට ගමන් කළ හැකි පරිදි සකස් කළ හැකි ස්ථාන 21ක් සහ දුම්රියට ඉහළින් ගමන් කළ හැකි තැන් 22ක් හඳුනා ගත්තා.

මේ පිළියම්වලින් අලින්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි ස්ථානවලදි රියැදුරන් ට පුර්ව අනතුරු ඇඟවිමේ සංඥා නිකුත් කළ හැකි ක්‍රමයක් තමයි අපි යෝජනා කළේ. මෙම සංඥා පද්ධතිය මගින් අවදානම් කලාපයක් තුළ ට දුම්රියක් ඇතුළු වන බව, මාර්ගයේ අලියකු සිටින බව, ඒ සේ නොමැති නම් අලි පළවා හරිමින් සිටින අවස්ථාවක බව, අලියා තවදුරටත් මාර්ගයෙන් ඉවතට ගොස් නැති බව,මාර්ගය දෙපස අඩි 300ක වපසරිය තුළ අලියකු ගැවසෙයි නම් ඒ බව ඒ බව දැනුම් දෙන්න පුළුවන්.එමෙන්ම අලියා මාර්ගයෙන් ඉවත් වි ඇත්නම් පද්ධතිය ස්වයංක්‍රියව ක්‍රියාවිරිහිත විම සකස් කළ හැකියි.

මේ විසැඳුම්වලදී දී වඩාත් විශ්වසනියත්වයක් ඇත්තේ දුම්රිය එන්ජින් සහ රියැදුරන් සඳහා තාක්ෂණික ‍මෙවලම ලබා දීම බව අපේ හැඟිමයි. එන්ජිමේ ප්‍රධාන ලාම්පුවට අමතරව අතිරේකව දෙපසට විහිදෙන අධි බලැති ලාම්පු සවි කරන්නේ නම් රියැදුරන්ගේ දෘශ්‍ය පථය පුළුල් වෙනවා වගේම අලින්ට මාර්ගයෙන් ඉවත් විමට සහායක් වෙනවා.

අපි තවත් ප්‍රායෝගික විසැඳුමක් වාර්තාවට ඇතුළත් කළා.එන්ජිමේ දෙපස Thermal night vertion කැමරා සවිකිරීම තුළින් මීටර් 750ක් තුළ සජීවි දර්ශන ලබා ගන්න පුළුවන්.මෙයට ම සම්බන්ධ කර මාර්ගය තුළ හෝ ආසන්නයේ අලියකු සිටි නම් ඒ බැව් හඳුනා ගැනීමට මාර්ගයේ විශේෂ තාක්ෂණික පද්ධතියක් සවි කිරීමටත් අපි යෝජනා කළා. රියැදුරු කුටියේ සවි කරන කුඩා වර්ණ එල්.සී.ඩී පුවරුවක් හා අනතුරු ඇඟවිමේ සංඥා සහ දුම්රිය අවදානම් කලාපයට ඇතුළුවීමට කිලෝමීටරයකට පෙර වර්ණ සංඥ සහ ඩිජිටල් පුවරු මගින් එම පණිවුඩය රියැදුරාට ලබා දෙන්න පුළුවන් .......

කමිටු වාර්තාවට ඇතුළත් කර ඇති යෝජනාවලිය තුළ නිරන්තරයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය හරහා වැටී ඇති අනාරක්ෂිත පිවිසුම් මාර්ග හෙවත් කොරිඩෝ සහ සතුන්ගේ සංචරණ රටාව සැක හැර හඳුනාගැනීමටත් තාක්ෂණික ක්‍රම විධියක් ඊට ඇතුළත් කර තිබේ.ඒ සඳහා දුම්රිය මාර්ගයේ දැනට අතහැර දමා ඇති පැරැණි දුරකතන කණු සහ තාවකාලිකව සවි කරන කණු මගින් ස්වයංක්‍රියව අලි ගණනය කිරිමේ කුඩා උපකරණයක් සවි කිරීමයි.දිනකට මාරුවන අලි ප්‍රමාණය ,වේලාව , වර්ෂා තත්ත්වය , උෂ්ණත්වය සහා අර්ද්‍රතාව යන දත්ත එහි සටහන් වෙයි.

කමිටු වාර්තාවේ අතුළත් වන කරුණු බොහොමයක් තාක්ෂණික විසැඳුම් වන අතර මේ සියල්ල අවසන් විසැඳුම සඳහා පාදක කර ගැනීමට දුම්රිය රියැදුරන් , වනජීවි නිලධාරින් පමණක් නොව සිවිල් පුරවැසියන්ට ද කාර්යභාරයක් පැවරී තිබේ. මිනිස් ජීවිත හා දේපළ විනාශ කළ ද අනතුරක් මගහරවා ගැනීමට තරම් දියුණු මනසක් නැති මේ අහිංසක වන සතුන් ට කෙරෙහි මැදහත් සිතින් බැලීම දියුණු ජන සමාජයක ට පුළුවන. තම සබ්බ සකලමනාව විනාශ කරදී වුව අලින් ට එරෙහිව අවි නොගත්තෝ බොහෝය .අලියකු අනතුරට පත්වුණු මොහොතක වැළ නොකැඩී ඇදෙන දෙනෝ දාහක් අතර නෙතට කඳුළක් නුපදින්නෝ නැති තරම්ය. මේ නිසා අනතුරක් වළක්වා ගැනීමට මහ ජනතාවට දායක විය හැකි ක්‍රමයක් ද වාර්තාවට ඇතුළත් කළ බවත් එය ඉදිරියේ දි ක්‍රියාත්මක කරන බවත් ඉරෝෂ් පෙරේරා මහතා අනාවරණය කළේය.

මේ අදහස ඉතාමත් ප්‍රායෝගික යි කියලා අපි හිතනවා.වල් අලියකු මාර්ගයේ හෝ ආසන්නයේ ඉන්නවා නම් ජංගම දුරකතනයකින් කෙටි පණිවුඩයක් මගින් ඕනෑම කෙනකුට දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට හැකි ක්‍රමයක් ඉදිරියේ දි හඳුන්වා දෙනවා. එම පණිවුඩය ලැබුණු සැනින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මගින් රියැදුරන් ට දැනුම් දිමටත් පුළුවන් . අපි මේ දුරකතන අංකය ඉදිරියේ දී ප්‍රසිද්ධියට පත් කරනවා.

අලි දුම්රියේ ගැටිම වැළැක්විම සඳහා ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග හා සවිකරන තාක්ෂණික පද්ධති දුරස්ථ නිරීක්ෂණය හා පරිපාලනයට මධ්‍යම පරිපාලන හා නිරීක්ෂණ ඒකකයක් පිහිටුවීම අවසන් වැඩසටහනයි.

එමෙන්ම යෝජනාවලියේ ඇතැම් තාක්ෂණික කටයුතු දැනටමත් ක්‍රියාකාරි මට්ටමක පවතින බවත් සමස්ත යෝජනාවලිය ඉදිරියේ දී සියලු දෙනාගේ දැන ගැනිම සඳහා ප්‍රසිද්ධ කරන බවත් ඕනෑම පාර්ශ්වයකට යෝජනා චෝදනා ඉදිරිපත් කළ හැකි බවත් ඉරෝෂ පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තාක්ෂණය දියුණු වීමත් සමඟ වන සතුන්ට මුහුණ පෑමට සිදු වන ස්වභාවික විපත් හැරෙන්නට සෙසු අනතුරු අවම කර ගැනීම සඳහා සෑම රටක් ම පාහේ ක්‍රියාමාර්ග ගෙන තිබේ. අපට සමීප ඉන්දියාව මේ කාරණයේ දී බො‍හෝ ඉදිරියෙන් සිටි.මේ ගමනේදී බාධක නැතුවා ම නොවේ. දැන ට අප සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවලට නවීන තාක්ෂණික උපකරණ සවි කිරීමේ දී යම් යම් බාධාවන් මතුවිමට ඉඩ තිබේ. නමුත් ඒ අභියෝගවලට සඳහා තාක්ෂණයෙන් පිළිතුරු සැපයිමට අසමත් වනු ඇතැයි කිසිසේත්ම සිතිය යුතු නැත. ඒ කාරණය කෙසේ හෝ විසඳීමට ගන්නා වෑයමින් අලි මිනිස් ගැටුම ට නිමා කිරීමට කිසිම සාධාරණයක් ‍නො‍වේ. ප්‍රශ්නයේ කොඳුනාරටිය වන අලි මිනිස් ගැටුම මුළුමනින්ම ව්‍යර්ථ නොකර එහි අතුරු ඵලයකට පමණක් විසැඳුම් දීම ඔඩු දිවූ පිළිලයක පුංචි තැනක් සිඳ සියල්ල අහවර යැයි සිතීම ඵලක් නොවන බැවිනි.

ලාස්වේගාස් ගිය යහළුවෝ

$
0
0
දෙසැ 7, 2018 01:00

ඇමරිකන් හස්ල් 

මැකාතිගේ මසුරුකම දන්නා නිසාම වෙයින්බර්ග් ගමනට සරිලන ඇඳුම් කට්ටලයක් මිලදී ගන්නා ලෙස මැකාතිට කරදර කළේ සති ගණනාවකைසිටය. ලාස් වේගාස් යන්නට නියමිත දිනට පෙරදා රාත්‍රියේ මැකාති අලුත්ම ඇඳුම් කට්ටලයෙන් සැරසී වෙයින්බර්ග් හමුවට පැමිණියේ, ඒ ගැන ඔහුගේ අදහස් විමසීමටය. පෙනුමින් අලුත් වුවත්, එය ලාබෙට මිලදී ගත් බාල ඇඳුම් කට්ටලයක් බව වරක් බැලූ පමණින් වෙයින්බර්ග්ට කිව හැකි විය.

හොල්බෘක් හි "අබ්දුල් එන්ටර්ප්‍රයිසස්"කාර්යාලයේ තමාට වෙන්වූ ඇබිති කාමරයේ මේසයක් අසල නිකටට අතගසා ගෙන වෙයින්බර්ග් කල්පනා සාගරයක නිමග්නව සිටියේ ය. විලියම් රොසෙන්බර්ග්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි වෙයින්බර්ග් සිත නිරවුල්ව තබා ගැනීමට උත්සාහ ගත්තත් සාර්ථක වූයේ නැත. ජනේලයෙන් එපිට බලාගෙන සිටි ඔහුගේ නෙතට හසුවුණේ යාබද මැක්ආතර් ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ඉහළට නඟින ඇලිගනි ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. ගුවනට නැඟී වේගයෙන් ඈතට පියාසර කරන ගුවන් යානය හඹායන්නට උත්සාහ කරන පාත්තයන් රැළ දෙස වෙයින්බර්ග් බලාගත්වනම බලා සිටියේ තමාටම සාප කර ගනිමිනි.

“පාත්තයොත් දන්නවා උන් යන්නේ කොහේද කියලා. මම තමයි අන්ධයෙක් වගේ ඔහේ අතපත ගගා ඉන්නේ.“

ඇමරිකානු රජය වෙනුවෙන් වැඩ කරන්නට පටන්ගෙන මේ වන විට වසරකට ආසන්නව තිබුණත් සතුටුවීමට තරම් දෙයක් තමාට ලැබී නැති බව වෙයින්බර්ග් සිහි කළේ කෝපයෙනි. හේ සිටියේ කුඩුකේඩුකාරයකුවූ ජැක් මැකාතිගේ කෙණෙහිළිකම් ඉවසා සිටීමෙන් හෙම්බත්වය. දැන් ඔහුට මාසයකට ඩොලර් එක්දහස් පන්සියයක නියත ආදායමක් ලැබෙන නමුත් ඒ වෙනුවෙන් මැකාතිගේ සපත්තු ලෙවකෑමට වෙයින්බර්ග් කැමැති වුයේ නැත. වසර දෙකකට පෙර තමා වසරකට ඩොලර් පන්ලක්ෂයක් උපයද්දී කාගේවත් අණසකට යටත්ව සිටියේ නැති බව ඔහු සිහිකළේය. කොටින්ම ඔහු මැකාති පිළිකුල් කළේය. මැකාති කුණු ලෝභයකු පමණක් නොව නිතරම සැකයෙන් පිරුණු නීරස පුද්ගලයකු ද විය.

ඔහු දක්ෂ එෆ්.බී.අයි. නිලධාරියකු විය හැක. නමුත් මැකාති කිසිසේත්ම දෙබිඩ්ඩකුගේ චරිතයට ගැලපෙන අයකු නොවීය. අබ්දුල්ගේ කාර්ය මණ්ඩලයේ සභාපති ලෙස පෙනී සිටින්නට සිදුවූ හැමවිටකම ඔහු රඟපෑවේ බියසුළු ලෙසය. එක්කෝ ඔහු පමණ ඉක්මවා ව්‍යාජ රංගනයක යෙදුණේය. එසේත් නැතිනම් බලා සිටින කාට වුවත් සැක සිතෙන අන්දමට රතුකර ගත් මුහුණින් බේගල් ඇදබෑවේය. ඒ සියල්ලටමත් වඩා වෙයින්බර්ග් අප්‍රිය කළේ මැකාතිගේ තුට්ටු දෙකේ ඇඳුම් පැලඳුම්ය. තොග අවසන් කිරීමේ සේල් එකකින් කුණු කොල්ලෙට මිලදී ගත් බව බලා සිටින කාට වුවත් සැක සිතෙන අන්දමට පෙනුණු ඒවා සභාපතිවරයකුගේ තත්වයට ගැලපුණේ නැත. තමා හැඳ සිටි ඩොලර් තුන්සියයක් වටිනා ස්පෝර්ට්ස් කබාය දෙස බැල්මක් හෙළූ වෙයින්බර්ග් හිස සැලුවේ අවඥාවෙනි.

“මෙහෙම තුට්ටු දෙකේ ඇඳුම් අඳින සභාපතිවරු ඉන්නවා ඇත්තේ ආණ්ඩුවේ විතරක් වෙන්න ඇති.“

තමා මැදිව සිටින පුද්ගලයන් ගැන සිතූ කල, වෙයින්බර්ග්ට සුසුමක් හෙළුණේ නොදැනුවත්මය. මැකාති හා ෆුලර් පාතාල ලෝකයේ දැනුමින් සන්නද්ධ කරවීමට තමා කෙතරම් උත්සාහ දැරුවද ඒ සියල්ල ගඟට කැපූ ඉණි මෙන් වූ බව හේ සිහිකළේ කලකිරීමෙනි. පාතාල මැරයන් හා කෙරුම්කාරයන් අතරට යන්නට සිදුවූ හැමවිටකම ෆුලර් හා මැකාති හුන්නේ අබිසරු ලියන් අතරට මැදිවූ ළාමක ශිෂ්‍ය භටයන් දෙදෙනකු ලෙස බව සිහි කරද්දී වෙයින්බර්ග්ට සිනා පහළ විය.

“ එකක්, එයාලා පාතාලේ බාසාව දන්නේ නැහැ. පාතාල වචන, ඉඟි තේරුම්ගන්න මේ බලුකුක්කෝ දෙන්නට බැහැ. කියලා දුන්නට තේරුම් ගන්නෙත් නැහැ. පාතාලෙත් එක්ක ගනුදෙනු කරන ඕනෑම කෙනෙක් එයාලගේ අතේ නිතර ගැවසෙන මුදල් ගණිකාවෝ කියලා දන්නවා. ගොඩක් වෙලාවට එයාලා ගෙවීම් කරන්නෙත් ගෑනු පරාණවලින්. ඒත් මේ කිරි සප්පයෝ දෙන්නම ගෑනු පෙන්නුවමත් බයේ වෙව්ලනවා. “

මෑතකදී ෆුලර් හා මැකාති සමඟ ලාස් වේගාස් අවන්හලකට ගොස් යම්තම් ජාමේ බේරාගත් අවස්ථාව සිහිකළ වෙයින්බර්ග් වෙව්ලා ගියේය. ලාස් වේගාස්හි පිහිටි ඇලඩින් අවන්හල විකිණීමට යන කල්ලියක් වෙත අබ්දුල් කණ්ඩායම යොමු කෙරුණේ හොර මගඩිකරුවකු වන ජෝ මෙල්ට්සර්ගේ සගයකු හර්මන් වෙයිස් විසින් ව්‍යාජ තැන්පතු සහතික සම්බන්ධයෙන් කළ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙසිණි. පාතාල සාමාජිකයින් ගනුදෙනු කරන අවන්හලක් ලෙස නම ගිය ඇලඩින් අවන්හල සම්බන්ධයෙන් ලැබී තිබුණු තොරතුරු තහවුරු කරගැනීමට බියුරෝවටද කලක සිට ඕනෑකමක් තිබුණද මේ වන තෙක් ඊට අවස්ථාවක් ලැබී තිබුණේ නැත. මේ නිසා හෝටලයේ හිමිකරුවන් හමුවීමටත්, එහිවූ කැසිනෝව දැකබලා ගැනීමටත් වෙයිස් කළ ආරාධනය මැකාති හා ෆුලර් පිළිගත්තේ ඉත සිතිනි.

මැකාති ගමනට එක්වන ලෙසට වෙයින්බර්ග්ට ඇරයුම් කළේ, වියදම් දරාගැනීමට කැමති නම් පමණක් ගමනට එක්වන ලෙස කියමිනි. මැකාතිට අතුල් පහරක් දීමට තරම් කෝපයක් සිතට ආවත් වෙයින්බර්ග් එය මැඬ පවත්වා ගත්තේ නිහඬවම ඇරයුම ප්‍රතික්ෂේප කිරීමෙනි. තමාට කළ මදිපුංචිකම වෙයින්බර්ග්ට ඉහිලුම් නුදුන්නේ ලාස් වේගාස් ගමන සූදානම් කෙරුණේ ඔහුගේම සැලැස්මක් අනුව වීම නිසයි. පාතාලයේ සිරිත් විරිත් ගැන මෙලෝ හසරක් නොදන්න මැකාතිට හා ෆුලර්ට මෘදු ලෙස සලකන අන්දමට වෙයිස්ට උපදෙස් දී තිබුණේද වෙයින්බර්ග් විසින්මය. එහෙයින් තමාට කළ අරියාදුව ගැන කෝප ගැනීමට ඔහුට සාධාරණ හේතු තිබුණි.

මැකාති ගේ හා ෆුලර්ගේ සැබෑ තත්වය කල් ඇතිව වෙයින්බර්ග් වෙයිස්ට පැහැදිලි කළේ තනිවම ලාස් වේගාස් ගොස් දෙදෙනා අමාරුවේ වැටීමෙන් ‍බේරාගැනීම සඳහාය.

“ඔය ගමන එන්නේ කෝඩුකාරයෝ දෙන්නෙක්. එයාලට ඔයාලගේ වැඩ ගැන කොහොමටවත් තේරුමක් නැහැ. ඒක ඔයාගේ ඇලඩින් හෝටල්කාරයටත් කියලා තියන්න. ඒ දෙන්නා බැංකු නිලධාරින් දෙන්නෙක් විතරයි. ලාස් වේගාස් කියන්නේ මොකක්ද කියලවත් දන්නවා ඇති කියලා මම හිතන්නේ නැහැ. “

“ ඒ ගැන කරදර වෙන්න එපා මෙල්. මම ඒ දෙන්නව බලාගන්නම්. මගේ යාළුවටත් කියලා තියන්නම්.“ වෙයිස් එසේ පැවසුවද මෙල් සෑහීමට පත්වුණේ නැත.

“මම අදහස් කරපු දේ ඔයාට ඇත්තටම තේරුණාද?“

“ ඕන කරන හැම දෙයක්ම එයාලට ලැබේවි. ගෑනු නම් ගෑනු. විස්කි නම් විස්කි. කැසිනෝ නම් කැසිනෝ. එයාලා කියන ඕන දෙයක්. මම ලාස් වේගාස් නගරෙම වුණත් එයාලට ගෙනත් දෙන්නම්. “ වෙයිස් මෙල් අස්වැසුවේ අවංකවමය.

“ වෙයිස් ඒ දෙන්නා වියදම් කරන්න කැමති නැහැ. එයාලා ලාස් වේගාස්වලට පය ගහලවත් ඇති කියලා මම හිතන්නේ නැහැ.“ වෙයින්බර්ග්ගේ කේවල් කිරීම හමුවේ වෙයිස් කළේ කොක් හඬලා සිනාසීමයි.

“ ඔයා කියන්නේ ඒ දෙන්නා මේ වගේ දේවල්වලදී නොදරුවෝ විදිහට හැසිරෙයි කියලද ?

“ මම මෙච්චර වෙලා කියන්න හැදුවේ ඒක තමයි. එයාලා මෝඩම මෝඩ ප්‍රශ්න අහයි. ඒ එයාලට මේ වගේ දේවල් ගැන තේරුමක් නැති හින්දා කියලා ඔයාගේ කට්ටියට කියලා තියන්න.“ වෙයින්බර්ග් වෙයිස්ට එලෙස අනතුරු අඟවා නොතිබුණේ නම් මැකාතිගේ සහ ෆුලර්ගේ ලාස් වේගාස් ගමන අතේ පත්තු වන්නට හොඳටම ඉඩ තිබුණි.

මැකාතිගේ මසුරුකම දන්නා නිසාම වෙයින්බර්ග් ගමනට සරිලන ඇඳුම් කට්ටලයක් මිලදී ගන්නා ලෙස මැකාතිට කරදර කළේ සති ගණනාවක සිටය. ලාස් වේගාස් යන්නට නියමිත දිනට පෙරදා රාත්‍රියේ මැකාති අලුත්ම ඇඳුම් කට්ටලයෙන් සැරසී වෙයින්බර්ග් හමුවට පැමිණියේ, ඒ ගැන ඔහුගේ අදහස් විමසීමටය. පෙනුමින් අලුත් වුවත්, එය ලාබෙට මිලදීගත් බාල ඇදුම් කට්ටලයක් බව වරක් බැලූ පමණින් වෙයින්බර්ග්ට කිව හැකි විය.

“ මොනවද හිතන්නේ මගේ ඇඳුම ගැන ? “ මැකාති විමසුවේ මහත් විශ්වාසකිනි.

“ අපොයි .........“ වෙයින්බර්ග්ගේ හඬේ ගැබ්ව තිබුණේ හැඬුම් ස්වරයකි. “ ඕක හොඳයි මගේ අවමගුලට අඳින්න."

“ ඇයි ? මොකද්ද මේකේ වරද ?!“ මැකාති ගුගුරන්නට ගත් විට නිහඬවීම වඩාත් හොඳ බව වෙයින්බර්ග් අත්දැකීමෙන් දැන සිටි නිසා ඔහු කළේ උරහිස් ගස්සා කතාව වෙනතකට හැරවීමයි.

වෙයින්බර්ග් සිතූ පරිදිම ලාස් වේගාස් ගමනින් සිදුවු සෙතක් නැත. රොසෙන්බර්ග් අපේක්ෂාවෙන් කල් මරමින් සිටි වෙයින්බර්ග්ට මැකාතිගේ මෙන්ම ඔහු නියෝජනය කළ රජයේද මසුරුකම ගැන සිහිවන විට ඇඟේ මාළු නටන්නට පටන් ගත්තේය.

“ඇත්තටම මම මොකක්ද මේ ජීවිතෙත් එක්ක නටන නාඩගම ? ආණ්ඩුවත් එක්ක කරන මේ වගේ ගේම්වලින් මට ඇත්තටම ලැබෙන දෙයක් තියෙනවාද ? මම මේ කෙහෙම්මල් ගනුදෙනුවකට එකඟවෙලා එයාලා වෙනුවෙන් කරන කැපවීම ගැන කාටවත් තැකීමක් තියෙනවාද ? හැම තිස්සෙම මගේ දිහා බලන්නෙත් මහා එපා කරපු විදිහට සැකෙන් වගේ “

මිනිත්තු කිහිපයකින් විලියම් රොසෙන්බර්ග් තමා හමුවීමට එනු ඇත. ඒ වෙයිස් විසින් එවූ තෑගි භෝග රැසක්ද සමඟය. සැකයක් නැතිවම මේ පටන් ගන්නට යන්නේ තවත් හොර තැන්පතු සහතික මගඩියකි. මැකාතිත් වෙනත් වැඩකට පටලැවී සිටි නිසා රොසෙන්බර්ග් මෙල්ල කරගන්න වෙන්නේ තනිවම බව සිහි කළ විට වෙයින්බර්ග්ට යළිත් ඇතිවූයේ නොරිස්සුමකි. මේ සියලු දෑ රජය තමන් ලවා කරගන්නට හදන්නේ ඩොලර් එක්දහස් පන්සියයක් වැනි සොච්චමකටද ? පැන්සලක් ගත් වෙයින්බර්ග් ඒ වන විට අබ්දුල් එන්ටර්ප්‍රයිසස් හසුරවමින් සිටි හොර මගඩිවල ලැයිස්තුවක් හදන්නට පටන් ගත්තේය.

1. එඩ්වර්ඩ්ස් - ජර්මන් යුද බැඳුම්කර ඩොලර් 220,000,000 ක තැන්පතු සහතික

2. බිග් ජෝර්ජ් කැනන් - අපරදිග කලාකෘති, විසිතුරු පලස්, ගිනි අවි හා හොර බඩු

3. ස්පෙන්සර් - ඩොලර් 25,000,000 ක තැන්පතු සහතික

4. සෙට්ලර් - මත්ද්‍රව්‍ය හා ගිනිඅවි

5. රිවෙයිරා අවන්හල - ලාස් වේගාස්

6. කැම්ප්බෙල් - තැන්පතු සහතික

7. ජෝන් ස්ටෝවේ - රිච්මන්ඩ් - ඩොලර් 300,000,000 අක් වෙරළ බැංකු

ඒ සියලු ගනුදෙනු කේන්ද්‍රගතව තිබුණේ නිව්යෝක් සහ ෆ්ලෝරිඩාවලය. ලැයිස්තුව දෙස බලා සිටි වෙයින්බර්ග් හිත නතරව තිබුණේ බිග් ජෝර්ජ් කැනන්ගේ නම වෙතය. බිග් ජෝර්ජ් තම මෙට්ටයට වෙඩි තබා ගිනි අවියේ බලය ප්‍රදර්ශනය කළ විලියම් බෙල්ට බොහෝදුරට සමාන අයෙකි. ඒ කියන්නේ කොහෙත්ම සෙල්ලමකට නොගත යුතු අන්දමේ භයානක පුද්ගලයකුය. මියාමි නුවරදී හාපුරා කියා පළමුවරට බිග් ජෝර්ජ්ව හමුවූ මොහොත සිහි කළ වෙයින්බර්ග්ට යළිත් හීන් දාඩිය දැම්මේ එදිනද තමා නූලෙන් ගැලවුණු බව මතක්වීමෙනි.

සඳුදා- අලුත් දෙදෙනකුට ලීරා ලණුවක්

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

දඟමල්ලක් ගී රැල්ලක්

$
0
0
දෙසැ 7, 2018 01:00
ෆවුස් මොහොමඩ්
පවරී අමරසා

‘සංස්කෘතික බැඳීම්වලින් කොටුවෙලා, විවාහයෙන් පස්සේ ගෙදර බිත්ති හතරට කොටුවුණු ජීවිතයක් ගත කරනවා නම් හැකියාවන් තියෙන ගැහැනු ළමයින්ට ඒක ඉදිරියට යන්න තියෙන අවස්ථා මඟ හැරී යාමක්. එවැනි අවස්ථා ගිලිහී යනවානම් ඒක ලොකු අපරාධයක් විදිහටයි මම නම් දකින්නේ.’

අපෝ මං ඉස්කෝලේ හිටපු දඟම දඟ මල්ලක්. දැන් නම් මගේ ඉස්කෝලේ යාළුවන්ටත් පුදුමයි මං ගැන. ඇත්තටම මේ හැම දෙයක්ම අම්මා තාත්තා නිසා. එයාලා මාවයි මල්ලිවයි ලොකු මිනිස්සු කරන්න නෙවෙයි හොඳ මිනිස්සු කරන්නයි හැමදාම බැලුවේ’

‘කාටවත් වැරැදි කරන්නෙ නැති මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ...ජීවිතය වරද්දාගන්නෙ නැතිව යන්න පුළුවන් නම් ගැහැනු ළමයකුට වුණත් ඕනම දෙයක් කරන්න පුළුවනි. ඕනෑම ක්ෂේත්‍රයකින් මුදුනටම යන්න පුළුවනි..වැරැද්දක් නොවන ඕනම දෙයක් කමක් නෑ. මං සතුටින් බාර ගන්නවා. මගේ අනාගතය ගැන එහෙමයි මං හිතන්නේ. ’

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ‘සරස’ නවතම ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ යුග ගී ගායනයට එක්වෙමින් කාගෙත් අවධානය දිනාගත් 28 හැවිරිදි පවරි අමරසා ජිවිතය දකින්නේ සම්ප්‍රදායික ගැහැනු ළමයින්ට වඩා වෙනස් ආකාරයකිනි.

අහස උසට සිහින මවන...ආදරය වෙනුවෙන් ජීවිතය වුවත් පූජා කරන...ගැහැනු ළමුන් අතර පවරීලා ඇත්තේ අතලොස්සකි. හිතට ළංවුණු පෙම්වතා සමග ඉක්මනින් විවාහ වී දරු සුරතල් බලන්නට සිහින මවන ගැහැනු ළමුන් අතර නම් පවරිලා නැති තරම්ය.

ජීවිතය දිනන්න ඇයට කිසි කළබලයක් නැත. ඇරත් දිනනවාට වඩා ඇය කියන්නේ ජීවිතය සරළව විඳින්නට උවමනා බවය. ඇය අනාගතය ගැන එතරම් ලොකුවට සිහින එකතු කරන්නට ඉක්මන් වන්නේ ද නැත. ඇයට තවම විවාහ වීමේ අදහසක් ද නැත.

‘මම මෙතැනට එන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඉස්සරහට කොහොම වේවිද කියලා හිතන්න බෑ.’ ඇය කියන්නේ එසේය.

‘මම කාටවත් වරදක් නොකරන තාක්කල් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතන කෙනෙක්. කවදාහරි දවසක සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ඕන කියලා කවදාවත්ම හිතුවේ නැ. ඒත් දැන් මම පුංචි ගායිකාවක්. මාව දන්න, මගේ කටහඬට ආසා කරන රසික රසිකාවියන් අතලොස්සක් මට ඉන්නවා කියලා හිතෙන කොටත් පුංචි සතුටක් හිතට දැනෙනවා. ’

‘හිත හිතා බලාපොරොත්තු පොදි බඳින කෙනෙක් නෙවෙයි මං...මම කාටවත් වරදක් කරන කෙනෙකුත් නෙවෙයි. හැම පෝයටම පන්සල් ගිහින් මල් පූජා කරලා කරුණාව, මෛත්‍රීය වඩවා ගත්තත් සමහර මිනිස්සුන්ගේ හිත්වල කොයිතරම් නරක දේවල් තියෙනවද...කොයිතරම් එකිනෙකාට වෛර කරගන්නවද..?’

අප කුඩා වියේදී ඇති තරම් සිහින දකිමු. සැබැවින්ම එසේ දකින සිහින සැබෑ වන්නේ එහෙමත් අවස්ථාවකදීය. කුඩා වියේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ගුවන්යානා නියමුවන් වන්නට සිහින දකින බොහෝ දරුවන් වැඩිහිටියන් වෙද්දී වෙනත් ක්ෂේත්‍රයන් ඔස්සේ රැකියාවේ නිරතවෙති. සැබැවින්ම පවරී කියන්නේ සිහින නොදුටුවත් තම ජීවිතයත් සංගිතයට ඇදී ගියේ අහම්බයක් බවය. එසේ වුවත් සංගීතය දැන් ඇගේ ජීවිතයට අනපේක්ෂිත පැහැයක් ගෙන දී හමාරය.

එය සිදුවූයේ මීට වසර කිහිපයකට පෙර පැවැති සරසවි සිසු සිසුවියන්ගේ ‘කවිතා’ නිර්මාණ තරගාවලියෙනි. ඇය මේ තරගාවලියට එක්වූයේ මාතර ඉසදීන් නගරයේ උපන් අමරසා සුජාතා විදුහලෙන් අධ්‍යාපනය ලබා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත්වී සංගීතය හදාරමින් සිටියදීය.

‘අම්මා තමයි ඒ වැඩසටහනට යන්න මාව උනන්දු කළේ. අන්තිමට හිතපු නැති විදිහට මම කවිතා දෙවැනි අදියරේ ජයග්‍රාහිකාව වුණා. ඒ අත්දැකීම් මට ජයග්‍රහණයෙන් ලැබුණු භෞතික දේවල්වලට වඩා වටිනවා. මාස 7ක විතර කාලයක් රෝහණ වීරසිංහයන් වැනි විශිෂ්ට සංගීතවේදින් හමුවේ ලැබු අත්දැකීම් මිල කරන්න බෑ.’

‘මම ඉස්කෝලේ යන කාලේ සංගීතය කළා. මුතුහර ළමා සමාජයටත් එකතුවෙලා හිටියා. ඒ ලෙවල් වලටත් මියුසික් කළා. ඒත් සංගීත ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න ඕන කියලා, අනාගතයේ ගායිකාවක් වෙන්න ඕන කියලා හීනයක් නම් තිබුණේ නෑ.’

‘සංස්කෘතික බැඳීම්වලින් කොටුවෙලා, විවාහයෙන් පස්සේ ගෙදර බිත්ති හතරට කොටුවුණු ජීවිතයක් ගත කරනවා නම් හැකියාවන් තියෙන ගැහැනු ළමයින්ට ඒක ඉදිරියට යන්න තියෙන අවස්ථා මඟ හැරී යාමක්. එවැනි අවස්ථා ගිලිහී යනවානම් ඒක ලොකු අපරාධයක් විදිහටයි මම නම් දකින්නේ.’

පවරී අමරසාගේ ජීවිතය නම් එවැනි සම්ප්‍රදායික මගක් ගත් එකක් නොවිය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව අනාගතය ගොඩනගා ගත යුත්තේ මෙබඳු ආකාරයෙන් යැයි ඇයට බලාපොරොත්තු පොදියක් නොතිබිණි. සිහින කන්දරාවක් තිබුණේම නැත.

මං මුලින්ම වික්ටර් සර්ගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් කළ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක්වුණා. ඒ අවස්ථාව මට උදා කරලා දුන්නේ මගේ කැම්පස් එකේ සර් කෙනෙක්. නිහාල් කළුබෝවිල කියලා. ඒ සර් මගෙන් ඇහුවා වික්ටර් සර් අලුත් ළමයෙක් හොයනවා පවරී කැමතිද කියලා. මං අපේ බැජ් ටොප් වුණෙත් ඒ අවුරුද්දෙමයි. එහෙමයි මං වික්ටර් සර් එක්ක එකතු වුණේ. ඊළඟට සර්ගේ 76 වැනි උපන්දිනයට කළ ‘මගේ නොවන මගේම ගී‘ ප්‍රසංගයට එකතු වුණා. ‘සරස’ට එකතු වුණේ ඊට පස්සෙයි.’

මේ වනවිට ගීත 15කට පමණ හිමිකම් කියන පවරී මුතුකුඩ ටෙලි නාට්‍ය යේ තේමා ගීතය ගයමින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද පා තබා සිටීන්නීය. බන්දුල නානායක්කාරවසම් මහතාගේ මහෝඝය ගී මියැසියට එක්වෙමින් ප්‍රවීණ ගායිකාවන්ගේ ගී නැවත ආවර්ජනය කළ ඇය ජීවිතය ගැන, විවාහය ගැන, අනාගතය ගැන සිහින මැවීම පසෙකලා තවමත් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින්නීය.

‘ලබන මාසයේ 10 වැනිදා මං ඉන්දියාවට යනවා. මගේ සංගීත නිපුන් අවසන් විභාගයට පෙනී සිටින්න. ඒ අතරම මාස්ටර්ස් උපාධීයට සූදානම් වෙනවා.’

දන්නා තරමට තැන්පත් දිවි පෙවෙතක් ගතකරමින් සිටියත් පවරී කියන්නේ කුඩා වියේ එහෙම පිටින්ම දඟ මල්ලකි.

‘අපෝ මං ඉස්කෝලේ හිටපු දඟම දඟ මල්ලක්. දැන් නම් මගේ ඉස්කෝලේ යාළුවන්ටත් පුදුමයි මං ගැන. ඇත්තටම මේ හැම දෙයක්ම අම්මා තාත්තා නිසා. එයාලා මාවයි මල්ලිවයි ලොකු මිනිස්සු කරන්න නෙවෙයි හොඳ මිනිස්සු කරන්නයි හැමදාම බැලුවේ’

ගැහැනු ළමයින්ගේ ජීවිත වෙනස් වන්නේ හිටිහැටියේමය. මාපියන්ගේ අවවාද, උපදෙස් පිළිපදිමින් අධ්‍යාපන කටයුතුවල නිරතවන බොහෝ ගැහැනු ළමයින්ගේ අනාගත‍ය කෙබඳු ස්වරූපයක් ගත යුතුදැයි තීරණය කෙරෙන්නේ පවතින සංස්කෘතික හා සමාජයීය පරිසරයට අනුගතවන ආකාරය අනුවය. බොහෝ ගැහැනු ළමයින්ගේ අනාගතය හැඩ ගැසෙන්නේ මාපියන්ට අවශ්‍ය ආකාරයටය. තම අභිමතය පරිදි අනාගතය හැඩගස්වා ගන්නා ගැහැනු ළමුන් සිටින්නේ අතලොස්සකි. පවරී ඒ අතරින් කැපී පෙනෙන්නේ එනිසාය. අනපේක්ෂිත ලෙසින් ජීවිතයට පැහැයක් එක්වන්නේ නම් එය කවර ක්ෂේත්‍රයකින් වුවත් කම් නැත. අවශ්‍ය වන්නේ පැහැය පමණි.

මෙන්න බුෂ්

$
0
0
දෙසැ 8, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

ඛනිජතෙල් ව්‍යාපාරිකයකු වූ ජෝර්ජ් බුෂ්, අවුරුදු 40 වනවිට කෝටිපතියකු වී සිටියේය. දෙවන ලෝක සංග්‍රාමයේ දී යුද සේවයට එක්ව රාජකාරි කළ අතර 1964දී දේශපාලනයට අවතීර්ණ විය. අමෙරිකා ජනාධිපතිවරුන් අතරින් වැඩිම ජීවිත කාලයක් ගතකළ ජනාධිපතිවරයා ද ජෝර්ජ් බුෂ්ය.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ අභාවයත් සමඟ සීතල යුද සමයේ ලොව බලවතුන්ව සිටි නායකයන් සියල්ල පාහේ ජීවිත වේදනාවෙන් නික්ම ගොස් ඇති බව දිස්වේ. එම මුල් පෙළේ චරිත අතරින් දැනට ජීවතුන් අතර සිටින්නේ සෝවියට් සංගමයේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචොප් පමණි. 87 හැවිරිදි ඔහුට බුෂ්ගේ අවමඟුලට සහභාගි වීමට හැකිවූයේ නැත. මේ දේශපාලන පරපුරටම අයත්වන හිටපු ජර්මන් චාන්සලර් හෙල්මුට් කෝල් ඉකුත් වසරේදී ජීවිතයෙන් සමුගත්තේය. බුෂ් ජනාධිපතිවරයා සීතල යුද්ධයේ පමණක් නොව තවත් කැපීපෙනෙන ලෝක සිදුවීම් ගණනාවක පාර්ශ්වකරුවකු මෙන්ම සාක්ෂිකරුවකු ද වේ. සීතල යුද්ධය නිමාකරමින් සෝවියට් සංගමයේ අවසානය සනිටුහන් කිරීමට නායකත්වය දුන්නාට අමතරව බර්ලින් පවුරින් වට වූ නැ‍ඟෙනහිර හා බටහිර ජර්මනිය යළි එක් කිරීම සඳහා ද ඔහු විශාල කාර්යභාරයක් ඉටුකළේය.

ජෝර්ජ් බුෂ් අමෙරිකාවේ 41 වෙනි ජනාධිපතිවරයාය. ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි නිවසේදී ජීවිතයෙන් සමුගන්නාවිට ඔහු 94 හැවිරිදි වියේ පසුවිණි. 1989 – 1993 අතර කාලයේදී සීතල යුද්ධය නිමාකරමින් ලෝක රටාවේ ගමන්මග වෙනස් කිරීමට මුල්වූ බුෂ් ඉරාකයේ සදාම් හුසේන් පාලනයට එරෙහිව පළමු ඉරාක යුද්ධය සඳහා අණ දුන්නේය. මෑත වසර කිහිපය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහිණු නමුත් අවසාන කාලයේදී පවා ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

මීට සත්මසකට ඉහතදී ඔහුගේ බිරිය බාබරා බුෂ් ද ජීවිතයෙන් සමුගත්තාය. සිය පියාගේ අභාවය පිළිබඳ ලෝකයට දැනුම් දුන්නේ අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා වූ ‍ජෝර්ජ් ඩබ්. බුෂ් විසිනි. ජෙබ්, නීල්, මාවින් සහ ඩෝරෝ යන සිය සහෝදර සහෝදරියන් සමඟ එක්ව මේ පණිවිඩය කනගාටුවෙන් දන්වන බව ඔහු පැවසීය. හිටපු ජනාධිපති බුෂ්ගේ අවසන් කටයුතු සිදුකළ ඉකුත් බදාදා එරට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබිණි.

සදාම්ට විරුද්ධ සන්ධානයක්

ඔහුගේ ධුර කාලය එක්වරකට පමණක් සීමාවිය. 1990දී සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කරනවිට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූයේ ඔහුය. සදාම් බලයෙන් නෙරපීම සඳහා රටවල් කිහිපයක් එක්කර ගනිමින් සන්ධානයක් නිර්මාණය කිරීමට ද ඔහු මුල්විය. ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ දෙවරක්ම උප ජනාධිපති ධූරය ඉසිලූ බුෂ්ට ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට ලැබුණේ එක්වරක් පමණි. හේතුව 1992 පැවැති ජනාධිපතිවරණයේදී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා විසින් ඔහු පරාජයට පත්කිරීමය. ඒ වනවිට අමෙරිකා ආර්ථිකය දුර්වල මට්ටමකට වැටී තිබීම, ඊට බලපෑ ප්‍රමුඛ සාධකය වූ බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය.

ඛනිජතෙල් ව්‍යාපාරිකයකු වූ ජෝර්ජ් බුෂ්, අවුරුදු 40 වනවිට කෝටිපතියකුවී සිටියේය. දෙවන ලෝක සංග්‍රාමයේදී යුද සේවයට එක්ව රාජකාරි කළ අතර 1964දී දේශපාලනයට අවතීර්ණ විය. අමෙරිකා ජනාධිපතිවරුන් අතරින් වැඩිම ජීවිත කාලයක් ගතකළ ජනාධිපතිවරයා ද ජෝර්ජ් බුෂ්ය. බුෂ්ගේ ජීවිත කතාව ලියමින් ඉතිහාසඥ ජෝන් මෙකට් සඳහන් කරන්නේ, රාජ්‍ය තාන්ත්‍රිකයකු බවට පත්වූ, දෙවන ලෝක සංග්‍රාමයට සහභාගිවූ අවසන් සොල්දාදුවා බුෂ් බවය. ජෝන් ඇඩම්ස් ජනාධිපතිවරයාගෙන් පසු සිය පුතකු ජනාධිපති ධුරයට පත්වනු දුටු පළමු ජනාධිපතිවරයා ද බුෂ්ය.

බුෂ් ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් නිකුත් කළ රාජ්‍ය නායක ශෝක පණිවිඩ අතර බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ, සීතල යුද්ධය සාමකාමීව නිමාකිරීමට හා ලෝකය වඩා ආරක්ෂිත තැනක් කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග අගය කරන බවය. දෙවන එළිසබෙත් රැජිණ පවසා තිබුණේ ඔහු එක්සත් රාජධානියේ සමීප මිතුරකු වූ බවය. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ජෝන් මේජර්ගේ පණිවිඩයේ සඳහන් වූයේ ඔහු වැනි නායකයකු සමඟ වැඩකිරීමට හැකිවීම තමා ලද වරප්‍රසාදයක් වූ බවය. ඔහු සමඟ ගත කිරීමට ලැබුණු සෑම නිමේෂයක් වෙනුවෙන්ම තමා ස්තූතිවන්ත වන බව බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා පවසා තිබුණේ හිලරි ද තමන් සමඟ එක්වන බව කියමිනි. ඔවුන් අතර පැවැති මිත්‍රත්වය සිය ජීවිතයේ ලද වටිනාම ත්‍යාග අතර ඇති බවද ක්ලින්ටන් කියා තිබිණි. බුෂ්ගේ සමකාලීන සෝවියට් සගයා වූ මිහායිල් ගොර්බචොව්, සීතල යුද්ධය නිමා කිරීමට හා න්‍යෂ්ටික ආයුධ අඩුකිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග හා කැපකිරීම අගය කර තිබිණි. 1991 දී පළමු Start සම්මුතියට අත්සන් තැබුවේ මේ නායක දෙපළය. බුෂ් යනු අවංක සගයකු වූ බව ගොර්බචොව්ගේ අදහස විය. බුෂ් ජනාධිපතිවරයාගේ අභාවය වාර්තා කරමින් ඇතැම් අමෙරිකා මාධ්‍යද ඔහුගේ පාලන සමය පිළිබඳ මධ්‍යස්ථ කරුණු දක්වා තිබිණි. එහිදී වඩාත් අවධානයට ලක්ව තිබුණේ ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමත් සමඟ බුෂ් පාලනය ක්‍රියාකළ ආකාරයය. ඊට වසර ගණනාවකට පසු ජනාධිපති බුෂ්ගේ පුතු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් සිය පියාට වඩා බොහෝ දුරට ගිය අතර ඔහු කළ ආක්‍රමණ දැඩි ආන්දෝලනයන්ට හා විවේචනයට තුඩුදුන්නේය.

ට්‍රම්ප්ගේ ප්‍රතිචාර

පළමු ගල්ෆ් යුද්ධයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ බුෂ් ඉරාක හමුදා කුවේටයෙන් ඉවත් කිරීම සඳහා රටවල් ගණනාවක් සහාය කරමින් හමුදා බලය ගොඩනැඟීය. අමෙරිකා සෙබළු 400,000 ක් ඒ අතර විය. වරෙක අමෙරිකා හමුදාවට අණදෙමින් පැනමාව ආක්‍රමණය කිරීමට ද ඔහු නියෝග ක‍ෙළ්ය. ආඥාදායක මැනුවෙල් නොරිගාගේ සෙබළු මැරයින් භටයකු මරාදැමීම ඊට හේතුවිණි. නොරිගා බලයෙන් පහකරන ලද අතර මත්ද්‍රව්‍ය චෝදනා යටතේ 40 වසරක සිර දඬුවමක් නියමව අමෙරිකාවේ සිරගත කෙරිණි. ඉකුත් බදාදා බුෂ් ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු සිදුවූ අවස්ථාවේදී අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්; ජනාධිපති බිරිය වෙලනියා ට්‍රම්ප් ද සමඟ එම අවස්ථාවට සහභාගි වී සිටියේය. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඒ මොහොතේ ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙතින් අසාමාන්‍ය සන්සුන් බවක් පළවූ බවය. ජනාධිපති ට්‍රම්ප්ට යාබදව අසුන්ගෙන සිටියේ බැරක් ඔබාමාය. එම ඉදිරි පෙළ ‍බිල් ක්ලින්ටන් සමඟ හිලරි ක්ලින්ටන් ද දැකිය හැකි විය. ජනාධිපති ට්‍රම්ප්, ක්ලින්ටන් සමඟ ආචාර කර කතාබහ කළ බවක් දිස්නොවූයේ යැයි මාධ්‍ය වාර්තා කළේය. ට්‍රම්ප් තුළ බුෂ් පවුල පිළිබඳ වූ අවිශ්වාසය එම සංවේගදායක අවස්ථාවේ පහවී තිබෙන්නට ඇත. එසේවුවද ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා පිළිබඳ ගුණකථනය කිරීමට ජනාධිපති ට්‍රම්ප්ට ආරාධනා ලැබුණේ නැත. සම්ප්‍රදායිකව හිටපු ජනාධිපතිවරයකුගේ අවමංගල්‍ය අවස්ථාවකදී කෙරෙන ගුණකථනය සිදුකරන්නේ බලයේ සිටින ජනාධිපතිවරයා වුවද අමෙරිකා ඉතිහාසයේ පළමුවරට එම සම්ප්‍රදාය උල්ලංඝනය විය. ඒ වෙනුවට එම ගුණකථනය සිදුකළේ ජෝර්ජ් බුෂ්ගේ පුත් හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ් බුෂ්ය. කතාව අතරතුර ඔහු සංවේදී වූ අවස්ථා තිබිණි. අමෙරිකානු මාධ්‍ය ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ අවසන් වදන් ගැනද වාර්තා කළේය. ජෝර්ජ් ඩබ් බුෂ් සිය පියා අමතා ඔහු ඉතා ආදරණීය තාත්තා කෙනකු වූ බව පවසා තිබේ. එවිට ජෝර්ජ් බුෂ් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මම ඔබට ආදරෙයි!’ යනුවෙනි. ඒ; ඔහුගේ අවසන් වචනය අවසන් නිමේෂයේ ඔහුගේ සයනය අසළ පවුලේ සාමාජිකයන් සිට ඇත.

තනි බලවතෙක්

අමෙරිකා දේශපාලන ඉතිහාසයේ ජෝර්ජ් බුෂ් පාලන සමය දීර්ඝ එකක් නොවේ. එහෙත්; වසර 4ක එම කාලසීමාව ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් සුවිශේෂී බලපෑම් ඇතිකළ වකවානුවකි. සීතල යුද්ධයේ නිමාව සළකුණු වීම ඒ අතරින් ප්‍රධානය සෝවියට් සංගමය බිඳී විසිරීයාමද ඒ සමඟ සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාව තනි ලෝක බලවතා ලෙස මතුවූයේ ද ජෝර්ජ් බුෂ් සමයේදීය. ඔහු සිය දිගු ජීවිත ගමන කෙළවර කරනවිට අමෙරිකාවට තනි ලෝක බලවතා ලෙස පැවැතීමට හැකිවී නැත. ඒ වෙනුවට බලකේන්ද්‍ර ගණනාවක් විසින් හසුරුවන ලෝක රටාවන් නිර්මාණයවී තිබේ. එමෙන්ම, බුෂ්ගේ ප්‍රතිපත්තිවලට වඩා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන ජනාධිපතිවරයකු ‍අමෙරිකාවේ බලයට පත්ව සිටී.

අමෙරිකා ජනාධිපතිවරුන්ගේ භූමිකා අනුව ඔවුන් ලස්සන හෝ අවලස්සන අයද යන්න දේශපාලනිකව වර්ගීකරණය කෙරේ. මේ වර්ගීකරණයේදී ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාට හිමි තැන ඔහුගේ භාවිතාව අනුව නිශ්චය කෙරෙනු ඇත.

Viewing all 10762 articles
Browse latest View live


Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>