Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

සති දෙකකට පෙර මෙසේ සිදු විය

$
0
0
මැයි 24, 2022 01:00

2022 මැයි මස නව වැනිදා අප රට තුළ ගිනි තැබීම්, පුද්ගල පහර දීම් මෙන්ම ජීවිත හානි ද බහුලව සිදු වූ දිනයකි. තවද ප්‍රජාතන්ත්‍රවාදය නැති වී අප රට පිළිබඳ කළු පැල්ලමක් ඉතිරි කළ දිනයක් ලෙස ද හැඳින්විය හැකිය. එසේම ගාලුමුවදොරින් ඇරඹි ප්‍රචණ්ඩකාරී සිදු වීම් එදින රාත්‍රිය වන විට රට පුරා පැතිර යමින් ජීවිත හානි ද සිදු විය. ඒ අඳුරු මතකයට අදට (24) සති දෙකක් ඉක්ම ගොස් තිබේ. ඉන් සිදු වූ දේපොළ හානිය තවම ගණනය කර ගැනීමටත් නොහැකි තරම්ය.

මම නිවෙස හැදුවෙ දේශපාලනයට එන්නත් කලින්

ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල

"මම නිවෙස හැදුවෙ දේශපාලනයට එන්නත් කලින්. 76 උපාධිය ගත්තට පස්සේ මම 78 වෙද්දී ලංකාවේ ළාබාලතම චිත්‍රපට නිෂ්පාදකයා. අදටත් මම තමයි ළාබාලතම චිත්‍රපට නිෂ්පාදකයා. ඒ නිසා මම අලුතෙන් දෙයක් මේ දේශපාලනයෙන් හම්බකරල නෑ. මෙවැනි තත්ත්වයක් ඇති වුණේ ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය නිසා.

"මේ මොන දේ කළත් මම ලේසියෙන් වැටෙන කෙනෙක් නෙමෙයි. එක කණ්ඩායමක් විදිහට අපට ඉදිරියට යන්න බෑ. අපි සියලු දෙනා එක් වී මේ රට ගොඩනැඟිය යුතුයි. 71 බැරි වුණ දේ 88 - 89 බැරි වුණ දේ 86 ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරපු වෙලාවෙ ජවිපෙ තහනම් සංවිධානයක් කරපු වෙලාවෙ මං කනගාටු වුණ කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මං ගොඩක් විශ්වාස කරන කෙනෙක්."

ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර අනිවත්තේ පිහිටි නිවෙස ගිනි තබා විනාශ කර තිබූ අයුරුයි මේ.

ඡායාරූප - ජානක සම්පත් බණ්ඩාර - කුණ්ඩසාලේ විශේෂ


සා/පෙළ ලියන මගේ දුවට පාඩම් කරන්න පොතක්වත් නැතුව ගියා

හිටපු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත

"පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට හා නොයෙක් තරාතිරම්වල අයට පහරදී ඔවුන්ගේ දේපොළ විනාශ කර ඒ සාහසික ක්‍රියාකාරකම්වලට ලක් වූ සියලු දෙනා වෙත සංවේගය පිරිනමනවා. වහාම ඔවුන්ට සාධාරණය සිද්ධ කරන්න කියලා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

"මගේ ලොකු පුතා විශ්වවිද්‍යාලයට සමු දීලා අද ඒවි. ඔහුට ඉගෙනගන්න දෙයක් ඉතුරු කර නැහැ. මගේ දුව සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙන්න හිටියේ. නමුත් දුවට පාඩම් කරන්න කොළයක්වත් ඉතිරි වෙලා නැහැ. මේ වගේ දේවල් සිදු වීමට ඉදිරි කාලවලදී ඉඩ නොතැබිය යුතුයි.

"ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ පසුගිය නව වැනිදා නොවෙයි. මිරිහානේ සිද්ධිය ඇති වෙන්නත් කලින් අප්‍රේල් මාසයේ ඉඳලම මා ඇතුළු අපේ මන්ත්‍රීවරුන්ට හිංසා පීඩා සිදු වුණා. සාමකාමිව නිර්පාක්ෂිකව පටන් ගත්ත ඒ අරගලය සම්බන්ධයෙන් අපේ කිසිම විවාදයක් නැහැ. නමුත් මෙයට යටින් රටේ දැවැන්ත කුමන්ත්‍රණයක් කවුරුන් විසින් හෝ කුමන කණ්ඩායමක් විසින් හෝ සංවිධානය කළා."

පුත්තලම දිස්ත්‍රික් හිටපු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතාගේ මරදවැල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙසට හා එහි නවතා තිබූ වාහන දෙකකට, යතුරුපැදියකට පහර දී දැඩි ලෙස අලාභ හානි කර ඇති අතර නාත්තණ්ඩිය පිහිටි ඔහුගේ දෙමහල් නිවෙසට හා එහි තිබූ සුඛෝපභෝගි වාහනයකට දැඩි ලෙස හානි කර තිබූ අයුරුයි මේ.

ඡායාරූප - මිහිර විජේසේකර - මාරවිල සමූහ


අප ළඟ ප්‍රචණ්ඩත්වය නැහැ

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන

"අපේ දේශපාලන දර්ශනය මොකක්ද? අපගේ පරමාදර්ශය මොකක්ද? අපේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා. එතුමා අද අගමැතිවරයා නොවෙයි. නමුත් අපි එතුමා සමඟ ඉන්නවා. ජය පරාජය අපට පුරුදුයි. නමුත් අපි ළඟ ප්‍රචණ්ඩත්වය නැහැ. එක පොලිස් පොතකවත් අපේ නම් නැහැ. 2014දී අපි පරාජයට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ගෙදර ගියා. අපි නැවත එතුමා ළඟට ගියා. නැවත එන ලෙස එතුමාට අපි ආරාධනා කළා. අපි සමඟ සිටි කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම අනෙකුත් ජනතාව වෙනුවෙන් අපි පිහිට වෙනවා. අහිංසක මිනිස්සු අමාරුවෙන් හදා ගත්ත දේවල් ටික කොහොම හරි ලබා දිය යුතුයි."

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ කාර්යාලයට හා නිවෙසට හානි කර තිබූ අයුරුයි මේ.

ඡායාරූප - කළුතර මධ්‍යම සමූහ


මගෙ පුතාගෙ නිවෙසත් විනාශ කරලා

හිටපු ඇමැති විමලවීර දිසානායක

"මම අවුරුදු 22ක් තිස්සේ හිඟුරාන ගල් ඔය වැවිලි සමාගමට අයත් නිවෙසක තමයි ජීවත් වුණේ. ඒ නිවෙස මට අයිති නෑ. අවුරුදු 75ක් විතර පරණ ඒ නිවෙස අලුත්වැඩියා කරල තමයි මං පදිංචි වෙලා ඉන්නේ. ඒ රජයට අයත් දේපොළකට තමයි මේ පහර දීම් කර විනාශ කර දැම්මේ.

"මං මන්ත්‍රීකම්, ඇමැතිකම් කරල තියෙනවා. ඒත් මං මහජන සේවකයෙක් නිසා මටම කියල ගෙයක් හදාගන්න මෙච්චර කාලෙකට උනන්දු වෙලා නෑ. හැබැයි මම රැකියා දහස් ගණනක් දීල, ගම්වල පාරවල් හදල දීල, වැව් හදල මිනිස්සුන්ට වතුර දීල වගේම පන්සල්, ඉස්කෝල හදල දීල තියෙනවා. ඉතිං අපි මෙච්චර සේවයක් කරලත් අපට අවසානයේ උරුම වුණේ මෙවැනි තත්ත්වයක්. මම කිසිම දෙයක් හොරකම් කරල නෑ. ඒ නිසා අදටත් මටම කියා යන්න එන්න වාහනයක්වත් මං අරන් නෑ. දැන් ගොඩක් අය කියන්නෙ ඔක්කොම හොරු කියලනෙ. අපි හොරු නම් ඇයි මේ වගේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එහෙම අපිට තමයි මිනිස්සු මේ විදිහට සැලකුවේ.

"88 - 89 කාලෙත් මේ වගේ සිදු වීම් වුණා. 71 කැරැල්ලෙත් මේ වගේම සිදු වීම් වුණා. නැවතත් මේ පටන් අරන් තිබෙන්නේ එවැනි කාලයක්. වෛරය ක්‍රෝධය විතරයි තියෙන්නේ. මගෙ පුතාගෙ නිවෙසටත් හානි සිදු කළා. පුතා ඒ ගේ හැදුවෙ ණය වෙලා. මගේ මිනිපිරියට ඉන්න රටක් නැති වෙලා තියෙනවා."

ඡායාරූප - අම්පාර මධ්‍යම සමූහ


රටේ පවතින අර්බුද ළමයින්ට බලපාන්නේ කොහොම ද?

$
0
0
මැයි 25, 2022 01:00

මේ ලෝකය අයිති දරුවන්ටය. ඔවුන්ගේ සිතිවිලිවලට ලෝකයක් පුබුදුවාලීමට ශක්තිය ඇත. එහෙත් ඒ සිත් හා සිතිවිලි දූෂණය වීමට ගත වන්නේ නිමේෂයකි. වැඩිහිටියන් සිදු කරන සුළු දෙයකින් පවා දරුවන් සුමඟටත්, නොමඟටත් යොමු වීමට මඟ පාදන බව කිව යුතුය. අප දරුවන්ගේ සිත් මල් වැනි යැයි කියන්නේ ඒ නිසාය. මේ මල් වැනි පුංචි දරු පැටවුන්, නව යොවුන් වියේ සිටින දරුවන් මෙන්ම යොවුන් වියේ සිටින තරුණයන්ටද මානසික සුවය සඳහා බලපාන ප්‍රධාන කාරණයක් වන්නේ, තමන් ජීවත් වන පරිසරය හා ජීවත් වන සමාජය අනුව ඔවුන්ට මුහුණ පෑමට සිදු වන දෑය. ලෝකයක් අප දෙස අවධානයෙන් බලා සිටින මේ මොහොතේ රටේ සිදු වන යම් යම් දෑ හේතුවෙන් අපේ රටේ දූ දරුවන්ගේ මානසික තත්ත්වය කුමනාකාර වේදැයි යන්න සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දරුවන්ගේ මෙන්ම රටේ අනාගතයටද යහපතකි. රටේ වත්මන් තත්ත්වය ළමා මානසිකත්වයට සිදු කරන බලපෑම සම්බන්ධයෙන් මනෝවිද්‍යා උපදේශන නිලධාරී, නීතිඥ ප්‍රභාත් කළුබෝවිල මහතා සමඟ කළ සාකච්ඡා‍වක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය මෙන්ම ගෙවුණු තෙවසරක කාලයක් පුරා රටට මුහුණ පෑමට සිදු වූ ඇතැම් අයහපත් දේ හේතුවෙන් අපේ රටේ දරුවන්ගේ ළමා මනසට මෙන්ම ළමා චර්යාවලට ගැටලු හා බාධක රාශියක් පැන නැඟී ඇත. වත්මන් ආර්ථික මෙන්ම දේශපාලන ගැටලුවලට අමතරව කොවිඩ් තත්ත්වයත්, පාස්කු ප්‍රහාරයත් හේතුවෙන් සමාජයට කළ බලපෑම නිසාද පසුගිය කාලය පුරා කායිකව, මානසිකව හා ආධ්‍යාත්මික වශයෙන් දරුවෝ පීඩාවට පත්ව සිටියහ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑ කාරණාවක් වන්නේ දරුවන්ට පාසල් අධ්‍යාපනයෙන් දුරස් වීමට සිදු වීමය. දරුවන් පන්ති කාමරයක් තුළ ගුරුවරයකු, ගුරුවරියක සමඟ ගැටෙමින්, යහළුවන් සමඟ මුහු වෙමින් ලබන අධ්‍යාපනයට වඩා තාක්ෂණික උපකරණ සමඟ, තාක්ෂණයත් සමඟ මුහු වෙමින් ලබන ඔන්ලයින් අධ්‍යාපනයේ ඇත්තේ කෘත්‍රිම බවකි.

අප මෙතෙක් අත්විඳි පාසල් අධ්‍යාපනය තුළ දරුවන් පාසල් කාලයේදී වෙනස්ම ආකාරයේ හික්මවීමකින් කටයුතු කරන ආකාරයක් පෙනෙන්න තිබිණි. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනයට දරුවන් යොමු වීමෙන් ඒ හික්මීම සම්පූර්ණයෙන්ම වෙනතකට යොමු වී, ඔවුන් යන්ත්‍රසූත්‍ර මෙන් කටයුතු කරන්න පුරුදු වී තිබේ. දිනපතා පාසලට යමින් අධ්‍යාපන කටයුතු කිරීමේදී දක්ෂ, අදක්ෂ සියලු දරුවෝ අඩු තරමින් විෂය ආවරණ කාලයේවත් පාඩම් කටයුතුවලට අවධානයකින් යුතුව එක්ව සිටිති. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේදී ඇතැම් දරුවන් නියමිත වේලාවට නියමිත පරිදි එම අධ්‍යාපන කාර්යයන්ගේ නිරත වුවත්, ඇතැමුන් කැමැති වේලාවට පමණක් ඊට යොමු වන ආකාරයක් දැක ගත හැකිය. මේ මඟින් දරුවන් අධ්‍යාපනය ග්‍රහණය කර ගන්නා ආකාරයේ වැඩි පරතරයක් ඇති විය. මේ ක්‍රමය නිසා අවශ්‍ය නම් එම පාඩමට සම්බන්ධ වීමටත්, අනවශ්‍ය යැයි ‍හැඟුණොත් ඊට සම්බන්ධ නොවී සිටීමටත් දරුවන්ට හැකියාව තිබේ. එයින් සිදු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමකි.

ළමා මානසිකත්වය

මේ සියලු කාරණාවලට වඩා වත්මනේ පවතින ගැටලුකාරී තත්ත්වය වැඩියෙන්ම බලපෑම් කරන්නේ ළමා මානසිකත්වයටය. අපට නොදැනුවත්වම ඒ පුංචි මනසට ‍මේ අර්බුද සිදු කරන බලපෑම අතිමහත්ය. පැවැති සාම්ප්‍රදායික ක්‍රමයෙන් තාක්ෂණික ලෝකයට එක්වර ඇතුළු වීමට දරුවන්ට සිදු වීමෙන් ළමා මානසිකත්වය ඉතා ඉක්මනින්ම ව්‍යාකූලත්වයට පත්වූ ආකාරය මනෝවිද්‍යා‍ උපදේශනවලට යොමු වූ දරුවන් දෙස නිරීක්ෂණයේදී අපට හඳුනාගත හැකි විය. දිගින් දිගටම පවත්වන උද්ඝෝෂණ, වැඩවර්ජන නිසාත්, ඇඳිරිනීති ආදිය නිසාත්, කාලයක් පැවැති වසංගත තත්ත්වය නිසාත් ළමා මනසට සිදු වූ හානිය මෙතෙකැයි කියා ගණන් බැලිය නොහැකිය. බොහෝ දරුවන් මුහුණපා තිබුණේ අවශ්‍ය ආකාරයට අදාළ තාක්ෂණික උපකරණ සපයා ගත නොහැකි වූ තැන සිදු වන ඉච්ඡාභංගත්වයටය. ඒ හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයකට පත් වූ දරුවන් බොහෝය. යහළුවන්ට අවශ්‍ය ආකාරයෙන් තාක්ෂණික උපකරණ සපයා ගනිමින් අධ්‍යාපනය ලැබීමට වාතාවරණය තිබියදී තම මව්පියන්ගේ ආර්ථික තත්ත්වය මත තමන්ට එම පහසුකම් සපයා ගත නොහැකි වූ තැන, මානසික ව්‍යාකූලත්වයට හා ලජ්ජාවට පත් වූ දරුවන් බොහොමයක් සමාජයෙන් හඳුනාගත හැකි විය. ඔවුහු විටෙක පාසල් තුළ අධ්‍යාපනය ලැබූ කාලයේදී ඉතා දක්ෂ අන්දමින් අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට මේ සමාජයේ ගැටලුකාරී කාලවකවානුවලදී මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපනයෙන් පසුබෑමකට ලක් වූවෝය. තවත් සමහරු පැවැති නිදහස් පරිසරයට සමු දී කාමරයක් තුළ පරිගණකයට යොමු වී සිටීම නිසා, මානසික පීඩාවලට ගොදුරුව සිටියහ. ඔන්ලයින් අධ්‍යාපනයට මව්පියන් විසින් වටිනා ජංගම දුරකතන මිල දී ගෙන දීම හේතුවෙන් අධ්‍යාපනය පසෙකලා දරුවන් නොමඟට යොමු වූ අවස්ථාද මේ කාලයේ බහුල වශයෙන් දක්නට ලැබිණි. බොහෝ ‍මව්පියන් තම දරුවා තාක්ෂණයත් සමඟ, පරිගණකයත් සමඟ කාලය ගත කිරීම විශාල නම්බුවක් වශයෙන් සලකයි.

අනාගත පරම්පරාව

එහෙත් වර්තමානයේ පවතින තත්ත්වය හේතුවෙන් එසේ හුදෙකලාව පරිගණක හා ජංගම දුරකතනවලට ඇබ්බැහි වූ දරුවන් විශාල ලෙස මානසික කඩාවැටීමකට ලක් වන බව මව්පියන් අවධාරණය කර ගත යුතුය. ඇතැම් විට මේ දරුවන් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරෙන ආකාරය දැක ගත හැකිය. තාක්ෂණය නිසාම නොමඟට යොමු වූ දරුවන් සේම, ඒ ඔස්සේ සියලු දේ කඩාකප්පල් කර ගනිමින් ජීවිතය විනාශ කර ගත් දරුවන්ද මේ කාලයේ බොහෝ වශයෙන් හඳුනා ගත හැකිය.

වර්තමානයේ ළමා මානසිකත්වයට බෙහෙවින්ම බලපාන තවත් කාරණාවක් වන්නේ ක්‍රීඩාවකට යොමු වීමට පවා අවකාශය නොමැති වීමය. කාලයක් කොවිඩ් හේතුවෙන් අසල්වැසි දරුවකු සමඟවත් දරුවකුට ක්‍රීඩාවක යෙදීමට හැකියාවක් ලැබුණේ නැත. එයින් තරමක් මිදෙද්දී යළිත් ඇඳිරිනීති සමයකි. ඒ කාලයේ දරුවන් නිවෙස්වලින් පිට කිරීම පවා අවදානමකි. තවත් අයුරකින් වෙනදාට පාසල් කාලයෙන් පසු හෝ පාසලේදී ක්‍රීඩාවට යොමු වීමේ අවකාශය ලැබුණද දැන් පවතින ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය රැයක්-දවාලක් නොතකා ක්‍රියාත්මක වීම තුළ ක්‍රීඩාවකට කාලය සොයා ගැනීම අසීරුය. මේ හේතුවෙන් දරුවන් පරිගණක ක්‍රීඩාවලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක්ද දක්නට ලැබිණි. එයින් දරුවන්ගේ තාක්ෂණික දැනුමේ වර්ධනයක් සිදු වුවද, දරුවන්ගේ මානසිකත්වයට නම් ඉන් සිදු වූ යහපතක් නැති තරම්ය. මක්නිසාදයත් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ ඇතැම් දරුවන් ඒවායේ පරතෙරට ගොස් මුදලට ක්‍රීඩා කරන තත්ත්වයට පත්ව ඇත. ඒ මඟින් යම් යම් අයගේ ග්‍රහණයට, තර්ජනවලට මුහුණ දී, දරුවන් එම පීඩනය දරාගත නොහැකිව ජීවිතයෙන් පවා වන්දි ගෙවූ අවස්ථාද, මානසික රෝගීන් බවට පත්ව දීර්ඝකාලීනව ප්‍රතිකාරවලට යොමු වූ අවස්ථා රැසක්ද මේ කාලයේ වාර්තා විය. එමෙන්ම දරුවන් ‍දුරකතන සමඟම කාලය ගත කිරීම හේතුවෙන් විවිධ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹීමට යොමුව මනස විකෘති කර ගත් අවස්ථාද මේ වකවානුවේ වෙනදාට වඩා වැඩියෙන් වාර්තා විය. සියලු දේ අත්හදා බැලීමට කුතුහලයක් පවතින තාරුණ්‍යයට එවැනි දේ මඟින් සිදු වන්නේ විශාල හානියකි. ළමා මනස දූෂණය නොවන ලිංගික අධ්‍යාපනයක් සියුම් හා ක්‍රමවත් ලෙස පාසල් අධ්‍යාපනයත් සමඟම දීමෙන් දරුවන් නොමඟ ගොස් මානසිකව දුර්වල වීම යම් තරමකින් වළක්වා ගැනීමට හැකිය. වැඩිහිටියන්ගේ යම් යම් තීරණ හේතුවෙන් හිතුමනාපයට පාසල් වසා දමමින් සිදු කරන ඇතැම් ක්‍රියා, අප නොසිතූ පැතිකඩ ඔස්සේ දරුවන්ගේ මානසිකත්වයට හානි කරන්නේ මේ අයුරිනි. එය මඟහරවා ගැනීම කිසි සේත්ම දරුවන්ට තනිවම කළ හැක්කක් නොවේ. මේ තත්ත්වයට මව්පියන්, සමාජයේ සිටින සෑම සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. දේශපාලන අධිකාරියද සෘජුවම එහි වගකිව යුත්තෙකි. මේ සියලු දෙනාගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් මේ විනාශයට ලක් වන්නේ අපේ අනාගත පරම්පරාවය.

තව දුරටත් මෙය පැහැදිලි කළොත්, දිගින් දිගටම විභාග කල් යෑමද ළමා මානසිකත්වයට සිදු කරන්නේ දැඩි බලපෑමකි. විභාගයකට මුහුණ දීම තුළද එක්තරා මනෝවිද්‍යාත්මක පැතිකඩක් පවතී. එහෙත් දිනෙන් දින විවිධ හේතු නිසා විභාග කල් යෑමෙන් දරුවන් මානසික පසුබෑමකට ලක්ව විභාග සඳහා මුහුණ දීමට කම්මැළි වන බවක් දක්නට ලැබේ. අප උසස් පෙළ අවසන් කරන්නේ කවරදා ද? විශ්වවිද්‍යාලයකට ඇතුළත් වන්නේ කවරදා ද? ඉන් ඉවත්ව වෘත්තීය අධ්‍යාපනයක් ලබන්නේ කවරදා ද? රැකියාවක් කර ජීවිතය ගොඩනඟා ගන්නේ කවදා ද? යන ගැටලු මනස තුළ කැකෑරෙන විට, නව යොවුන් දරුවෝ මෙන්ම තරුණ තරුණියෝද ඉච්ඡාභංගත්වයට පත් වෙති. එමෙන්ම තරුණ වයසට එළැඹෙන දරුවන් අධ්‍යාපනය අවසන් කර ගත නොහැකිව නිවෙස් තුළ කාලය ගත කරන විට, ඔවුන්ට පවුල් පරිසරයෙන්ම බාධා එල්ල වන අවස්ථාද බොහෝ විට දැකිය හැකිය. මෙය දැඩි ලෙස බලපෑම් කරන්නේ ඉහළ ආර්ථික තත්ත්වයක් නැති, අඩු ආදායම් තත්ත්වයක් පවතින පවුල්වල දරුවන්ටය. මක් නිසාද යත් දිනෙන් දින විභාග කල් යන විට අධ්‍යාපනයට වැය කරන්න සිදු වන වියදමද වැඩි වේ. මව්පියන්ගේ ක්‍රය ශක්තිය හීන වීම මත මෙය අප බාහිරින් දකිනවාට වඩා ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබේ. ඇතැම් විට මව්පියන් තමන්ගේ ආර්ථික අපහසුතා මත ඇති වන පීඩනය, අධ්‍යාපනය ලබන තම දරුවන් පිටින් යැවීමට දරන උත්සාහ නිසාද හානියට පත් වන්නේ දරුවන්ගේ මානසිකත්වයය.

මානසික උපදේශනය

මේ තත්ත්වය පාලනය කිරීම සියයට සියයකින් නොහැකි වුවත්, රාජ්‍ය පාලනය හා පාසල්වල වගකිව යුත්තෝද මේ තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට පෙරමුණ ගත යුතුය. වෘත්තීය සටන් දිනිය යුතු වුවත්, එම සටන්වලට දරුවන්ගේ අධ්‍යාපනය හෝ දරුවන්ගේ අනාගතයවත්, ළමා මානසික තත්ත්වයත් පාවා දීම කිසි විටෙක සිදු නොකළ යුතුය. මේ තත්ත්වයට යමකුට විසඳුමක් දීමට අවශ්‍යතාව තිබුණද, එය තනිව කිරීමේ හැකියාවක් ‍නැති නම්, හැකියාව ඇත්තන් ඊට එක් කර ගත යුතුය. විදෙස් ආධාර ගෙන හෝ කෙටි කාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වශයෙන් මේවාට විසඳුම් ඉදිරිපත් කළ යුතුය. අධ්‍යාපන විශේෂඥයන්, ආර්ථික විශේෂඥයන් එක්ව මීට විසඳුම් සෙවිය යුතුය. එපමණක් නොව, වෙනත් කාලවලට වඩා මේ කාලයේ දරුවන් පිළිබඳ සොයා බැලීම මව්පිය, වැඩිහිටි පාර්ශ්වයේද වගකීමකි. ළමා මනස යනු මල් පෙත්තක් සේ සියුම් වූවකි. එය දූෂණය වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. මෙවැනි දරුවන් හඳුනා ගැනීමද වැඩිහිටියන් සතු වගකීමකි. 

දරුවන්ගේ චර්යාවල විෂමාකාර ගති පවතී නම්, එය දරුවන්ගේ මානසිකත්වය ව්‍යාකූලත්වයට පත් වීමේ ආරම්භයක් විය හැකිය. දරුවන් වෙනදා නොමැති නපුරු ගති හෝ ඔතෑනි ගති ලක්ෂණ පෙන්නුම් කරයි නම්, එයද ළමා මනස හානිවී ඇති බවට වූ ඉඟියකි. වෙනදාට වඩා දරුවන් තනි වී හෝ පරිගණකවලට, දුරකතනයට ඇබ්බැහි වී සිටී නම්, දරුවන් මානසිකව යම් ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පෙන්නුම් කරයි. එය ඉතා සංවේදීව හඳුනා ගත හැක්කේ පවුලේ සාමාජිකයන්ට හා ගුරුවරුන්ටය. ඒ නිසාම ඔවුන් දරුවන් වෙනුවෙන් තම වගකීම මීට වඩා වගකීමෙන් ඉටු කරයි නම්, මේ වත්මන් සමාජයේ පවතින අර්බුදවලට ළමා මනස ගොදුරු කර ගැනීමට ඇති හැකියාව හීන වී යනු නොඅනුමානය. එවැනි දරුවන් හඳුනා ගතහොත්, වහාම මානසික උපදේශනවලට යොමු කිරීම සිදු කළ යුතුය. දිවයින පුරා මේ වන විට නොමිලේ මානසික උපදේශන සේවා සපයන මධ්‍යස්ථාන මෙන්ම නිලධාරීහුද සිටිති. තම දරුවාගේ මානසික ව්‍යාකූලත්වය හෝ පුංචි වෙනස මුලදීම හඳුනාගෙන, විවිධ අදෘශ්‍යමාන, අවිද්‍යාත්මක ක්‍රමවේදවලට නොගොස්, විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන්, දරුවන් මානසික රෝගීන් වීම වළක්වා ගත හැකිය. මානසික උපදේශන මෙන්ම ඒවාටම වෙන් වූ මධ්‍යස්ථාන, සායන ඇත්තේ ඒ සඳහාය. ඒ සියලු දෙයින් උපරිම ප්‍රයෝජන ගෙන, වෙනස් වන සමාජ ගැටලුවලට ළමා මනස පළුදු කිරීමට ඉඩ නොතැබීමට අප සියලු දෙනා වග බලා ගත යුතුය.

චාමිකා මුණසිංහ

පිටවල පතනේ හැඩකාරී

$
0
0
මැයි 25, 2022 01:00

දිය ඇල්ලක වතුර වැටෙන සුන්දරත්වය දිය ඇල්ලේ ඇතුළත පැත්තේ ගල්ගුහාවක සිට නොතෙමි විඳගන්නට නම් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අසල ස්ථානයක් වන පොත්තටවෙල ගම්මානය කරා පැමිණිය යුතුය. එය සේර ඇල්ලය.

සේර ඇල්ල යනු දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අප රටේ සොබාදහමේ අමිල සම්පතකි. ශ්‍රී ලංකාවේ ඇති පළල් දිය ඇලිවලින් එකක් වන සේර ඇල්ල සෑදී ඇත්තේ දියුතු ඔය, කිතුල් ඇල්ල හා කුණුමඩල ඔයෙන් පෝෂණය වෙමින් ගලා විත් මානිගල කන්ද කෙළවරින් කඩා හැලීමෙනි. මීටර් 25 ක් පළලකින් යුතු සේර ඇල්ල, උසින් මීටර් 10 ක් පමණ යුක්ත වේ. මානසික සුවය විඳින්නට එන සංචාරකයන්ට මෙම දිය ඇල්ල ආකර්ෂණීය ස්ථානයකි.

රිවර්ස්ටන් හා පිටවල පතන සංචාරය කිරීමේදී ඒ ගමන්මඟ අසලින් පිහිටි සේර ඇල්ල ද ඔබේ සංචාරයේ කොටසක් කර ගැනීම වටී.

මාතලේ සිට රත්තොට හරහා රිවර්ස්ටන් හා පිටවලපතන පසු කර යන විට සේර ඇල්ල වෙත යන මාර්ගයේ හන්දිය හමුවේ. එම හන්දියෙන් වම්පස මාර්ගය ඔස්සේ ගමන් කළ විට හමුවන්නේ පොත්තටවෙල ගම්මානයයි. එම ගම්මානයේ සේර ඇල්ල පිහිටා ඇත. දුම්බර මිටියාවතේ සුන්දරත්වය දැක ගැනීමට යන ගමනේදී, මේ දිය ඇල්ල පිහිටි පරිසරයේ ගල් තලාවකට බර දී ඇස් පියා ගත් විට දිය ඇල්ලේ දිය දහරාවේ සංගීතය ඇසීමට හැකි වනු ඇත. අවුරුද්දේ වැඩි කාලයක් ඒකාකාරි නිසංසල

ජල දහරාවක් ගලා හැලෙන සේර ඇල්ල කොමලිය, වර්ෂාව අධික කාලයන්වලදී නම් නිසංසල නැත. එක් වර ඇල්ලේ දිය පහර වැඩි වන නිසා එවැනි අවස්ථාවල ඇල්ල නරඹන්නට යන පිරිස් පරිස්සම්සහගත විය යුතුය. සේර ඇල්ලේ සුවිශේෂිතාවයක් වනුයේ, දිය ඇල්ලට පිටුපසින් ඇති ගල් ගුහාවට යෑමට හැකි වීමය.

දිය ඇල්ලේ පහළ ගල් තලාවේ සිට මෙම ගල් ගුහාව තුළට පිවිසීමට ලීවලින්, යකඩ අත් ඇඳි සහිත පිය ගැට පෙළක් සාදා ඇත. එහෙත් එම ගමන පරිස්සමින් යා යුතුය. ගල් ගුහාවේ සිට දිය ඇල්ල සහ පරිසරය දර්ශනය වන අපූරුව ඔබට කදිම අත්දැකීමක් වනු ඇත. කෙසේ වුවද සේර ඇල්ල නැරඹීමට සුදුසුම කාලය වන්නේ, වර්ෂා කාලයයි. වර්ෂාව අඩු කාලයට දිය ඇල්ල කඩා හැලෙන ගල මුදුණට ගොස් දියඇල්ල නැරඹීමට හැකියාව ඇත.

මෙම අපූරු දිය ඇල්ලට සේර ඇල්ල යන නාමය ලැබී ඇති ආකාරය ද සිත් ගන්නා සුලුය. සේර ඇට මිටක් අත්ලට ගෙන අත්ල දිග හැර සුළැඟිල්ල ඇති පැත්තෙන් අත ඇල කළ විට සීරුවට සේර ඇට වැටෙන රිද්මයට මෙම දිය ඇල්ල කඩා හැලෙන නිසා මෙම නාමය ලැබී ඇති බව සඳහන් වේ. එසේම මෙම දිය ඇල්ලට සේර ඇල්ල යන නාමය ලැබීම පිළිබඳව ඇති ජනප්‍රවාද අතුරින් එකක් වන්නේ, දිය ඇල්ල ආශ්‍රිතව අතීතයේ දක්නට ලැබුණු සේර නම් මත්ස්‍ය වර්ගයක් නිසා මෙම නාමය ලැබී ඇති බවය. ඇල්ල ආසන්නයේ දිය නෑමට හැකිමුත්, දිය ඇල්ලේ ජල දහරාව කඩා හැලෙන ස්ථානය ගැඹුරු බැවින් එම ස්ථානයේ දිය නෑම නොකිරීමට වගබලා ගත යුතු අතර එම ස්ථානය අනතුරුදායකය. ඇතැමුන් එසේ දිය නෑමට ගොස් දිවි අහිමි කර ගත් අවාසනාවන්ත සිදුවීම් ද අසන්නට ලැබී ඇති බව සඳහන් කළ යුතුය. කෙසේ වුව ද යෝධ කුඹුක් ගස් රැසකින් වටවූ දිය දහර කඩා හැලෙන විසල් ජල තටාකය ඉතාමත් අලංකාරය. එහි කාල වර්ණ පැහැයෙන් දැක ගත හැකි වන්නේ, ජල තටාකයේ ගැඹුරු බවය. ගල් තලාවේ පහළ කොටසේ ආරක්ෂිතව දිය නෑම සිදු කළ හැකි ස්ථානයන් ගණනාවක් ඇත. එම ස්ථානවල දිය

නෑමෙන් සේර ඇල්ලේ සුන්දරත්වය විඳිමින් සිසිල් ජලයේ පහස විඳීමට හැකියාව ඇත.

සේර ඇල්ලේ ඉහළ කොටසෙහි තවත් තට්ටුවකි. එය ද පසු කර ඉහළට නැංග විට තෙල්ගමු ඔය කොමලිය ද මනාවට දිස් වේ. ඊසාන දිග මෝසම් වර්ෂාව සමයන්හි තෙල්ගමු ඔය ජලයෙන් පිරී ගලා යනු ඇත. ඒ සමඟම අවට දිය උල්පත් හේතුවෙන් කුඩා පොකුණු සෑදි තිබෙනු ද දැක ගත හැකිය. නකල්ස් කඳු පන්තියෙන් වට වී ඇති සේර ඇල්ල දිය ඇල්ලේ සීතල දේශගුණය සහිත මෙම පරිසරයේ ටෙලි නාට්‍ය රූ ගත කිරීම් සඳහා ද යොදා ගෙන ඇති බව සඳහන් කළ යුතුය. මෙම පරිසරයේ ඔබ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ නොකිරීමට වගබලා ගන්න. එසේම ඔබ රැගෙන යන පොලිතීන් ප්ලාස්ටික් වැනි දේ නැවත රැගෙන ඒමට ද කටයුතු කරන්න. එය අප මතු පරපුර ද අද අප මෙන් මෙම සේර ඇල්ලේ සහ එහි පරිසර පද්ධතියේ සුන්දරත්වය අත්විඳිනු ඇත. සේර ඇල්ල පිහිටි සුන්දර පොත්තටවෙල ගම්මානයේ

පවුල් තිහ හතළිහක් පමණ වෙසෙන අතර කෑමට අවැසි දේ ගැමියන් ගමේම වගා කර ගෙන ඇත. ඒ අනුව ගම්මානයේ මග දෙපස නිවෙසක් දෙකක් දැක ගත හැකි මුත් වැඩිපුර ඇස ගැටෙන්නේ තුරුලතාය. එසේම තැනින් තැන හෙල්මළු ක්‍රමයට සැකසූ කුඹුරු කීපයක් ද දැක ගැනීමට හැකිය. මෙහි සංචාරය කිරීමේදී ගම්මානයේ පුංචි කඩයකින්, ගතේ මහන්සිය නිවා ගැනීමට කිතුල් හකුරු සමඟ බෙලි මල් පානයක රස බැලීමට ද අමතක නොකරන්න.

 සටහන සහ ඡායාරූප

එම්. තාරික්

යෝධයා පයින් ගහලා කඩපු අමුණ බලන්න යමු

$
0
0
මැයි 25, 2022 01:00

ඇවිදින්න දුර යන්න කැමති නම්, කූඩාරමක් ගහගෙන රැයක් ගත කරන්න කැමති නම් එහෙම පිරිසකට යන්න හොඳම තැනක් ගැන තමයි අද අපි කියන්නේ. මේ සොඳුරු ඉසව්ව හොයා ගෙන පයින් කිලෝමීටර් දෙක තුනක් විතර යන්න ඕනෑ. එහෙම ගියාම තමයි හිතෙන්නේ මොන තරම් සුන්දර තැනක් ද මේ තැන කියලා. "ඇවිද්ද පය දහස්වටි"කියලා අපි ඒ ගමන පිටත් වුණා .

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද ගම්පහ කියන ප්‍රදේශයේ තමයි මේ අපූරු සුන්දර තැන තියෙන්නේ. වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ ගම්පහ ඉස්කෝලේ හන්දියෙන් බැහැලා එතැන ඉදිරිපිට තියෙන කොලොන්ගස්තැන්න ගමට යන තාර පාර දිගේ කිලෝමීටර් තුනක් විතර යන්න ඕනෑ. එවිට කොලොන්ගස්තැන්න පාසල හම්බවෙනවා. ඒකත් පහුකරලා මීටර් දෙසීයක් විතර යන්න ඕනෑ. එතැනින් ඇළක් තියෙනවා, ඇළ හරහා උඩට යන්න තියෙන කුඩා අඩි පාර දිගේ තමයි උඩවෙල ප්‍රදේශයේ තියෙන මේ අමුණ හොයාගෙන යන්න අපි පිටත් වුණේ.

ගමන ආරම්භ වෙන කොටම තියෙන්නේ හෙල්මළු ක්‍රමයට වගා කරපු පීදුණු ගොයම තියෙන කෙත් යායක්. හරිම ලස්සනයි. වම් පැත්තෙන් යෝධ අමුණෙන් එන වතුර පාරක් තියනවා. ඒක දිගේම ඉදිරියට යන්න තමයි තියෙනන්නේ. කිලෝමීටරයක් විතර යනකොට ඕනෑ නම් කුඹුරු දිගේ පහළට බැහැලා දියලුම ඔය දිගේ උඩට එන්නත් පුළුවන්. නැත්නම් තවත් මීටර් පන්සීයක් විතර ගිහිල්ලා 1970 විතර හදපු ඇළ දිගේ අපි කියන ඉසව්වට යන්නත් පුළුවන්.

ගමන සුන්දර ඒ විදිහට ගියොත් තමයි මොකද ඔය දිගේ උඩට එනවට වඩා උඩ ඉඳලා පහළට යන එක තමයි පහසු.කාලෙක ඉඳලා මාත් එක්ක මේ ගමන් යන්න එන ඩිලාන් දැන් එන්නේ යන තැන ගැන අතීත තොරතුරු නැත්නම් විස්තර ටිකක් කොහොම හරි හොයාගෙන ඉතිං මේ අමුණ හා බැඳුණු තොරතුරු රැසක් යන ගමන අතරතුර මාත් එක්ක කිව්වා.

මීට අවුරුදු දාහකට විතර කලින් මේ අමුණ හරහා තිබුණු ඇළ වතුර බැස්ම අඩි 1000ට අඟලක බැස්මකින් තමයි එදා නිර්මාණය කරලා තියෙන්නේ. කිලෝමීටර් දෙකහමාරක් විතර දුරකින් පිහිටි බඹරපොකුණට යනකං මේ ඇළ මාර්ගය විහිදිලා තියෙනවා. ගම්පහ, දෙහිලන්ද ,කොලොන්ගස්තැන්න බඹරපොකුණ, මහලන්ද යන ගම්මානවල කුඹුර අස්වද්දලා තියෙන්නේ මේ වතුරෙන්.

හැත්තෑව දශකයේ විතර මේ ඇළ මාර්ග සකස් කරන්න ආපු ඉංඡිනේරුවො පවා විස්මයට පත් වෙලා තියෙනවා එදා මේ ජලය ගෙන ගිය ආකාරය දැකලා. මේ තොරතුරු ඩිලාන්ට කියලා තිබුණේ සේන කුලතුංග කියලා මේ අමුණේ 1978දි විතර වැඩ පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරපු අසල්වැසි මාමා කෙනෙක්.

ඔය අතර එන පාර කිට්ටුව හිටපු වයසක සීයා කෙනෙකුත් අපිට හම්බ වුණා. අපි එයාගෙනුත් මේ අමුණ ගැන තොරතුරු ටිකක් ඇහුවා. එයා කිව්වේ වෙනස්ම කතාවක්. ඒ කලේ මේ අමුණෙන් කුඹුරු අස්වද්දපු වී ගොඩ උඩට යෝධයාගේ පුතා යවලා කියලා තියෙනවා කිරිවෙහෙර චෛත්‍යය පේනවද බලන්න. පේනවා නම් සද්ද නැතිව බැහැපන් කියලා. වී ගොඩ උඩට නැඟපු පුතාට තාත්තා කියපු මේක අමතක වෙලා. ඉතිං ගොඩ උඩ ඉඳගෙනම තාත්තේ වෙහෙර පේනවා කියලා කියලා කෑ ගහලා කියලා තියෙනවා. . යෝධයාට ආපු කේන්තියට එක සැරේම ඇවිල්ලා මේ අමුණට පයින් ගහලා කඩලා දාලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ තියෙනවා කියලා උන්දෑ කිව්වා. එතකොට හිතාගන්න පුළුවන් කොහොම කුඹුරක් අස්වද්දන්න ඇතිද කියලා නේ ද? වී ගොඩත්, මහා කන්දත් තරම් විශාල වෙනකම් ඇති ඒ කාලේ කියලා ඩිලාන් කිව්වා.

අමුණ එක්ක බැඳුණ අතීත කතා අහගෙන අපි කොහොම හරි අමුණ තිබුණා කියන තැනට ආවා. වටාපිටාවේ තියෙන සුන්දරත්වය කියන්න බැරි තරම්. තවමත් නොඉඳුල් පරිසරයක සුවඳ දැනෙනවා. ඇහෙන්නේ කුරුල්ලන්ගේ හා රැහැයියන්ගේ සද්දේ විතරයි. ඉඳලා හිටලා ඇහෙන්නේ ගහෙන් ගහට පනින රිළවුන්ගේ සද්දය. මේ ඔය හරහා අමුණක් බැඳලා වතුර පැති දෙකකට ගන්නවා ඒ වතුර ගන්නෙත් බොහොම පරිස්සමට. ඔයට කිසිම හානියක් වෙලා නෑ. යෝධ පුස් වැල්, වේවැල් පඳුරු වැටකෙයියා හැමතැනම.

අපි තව ටිකක් ගඟ ඉහැත්තෑවට යන්න පිටත් වුණේ තවත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා කියලා ඩිලාන් කියපු නිසා. ඇත්ත තමයි වතුර පාර එන ගල් තලාව පුරා වළවල් හැදිලා අවුරුදු සිය දහස් ගණනක් ආපු වතුර පාරේ සැරට ද, කොහේද හැදුණු ගල් කුහර විශාල ප්‍රමාණයක් එක පුදේශයක් පුරා තියෙනවා. ඒක අමුතුයි.

නිදහසේ රැයක් ගත කරන්න නම් කියාපු තැන. නිදහසේ කුරුල්ලන් බලන්න කියාපු වටපිටාවක්. කූඩාරමක් ගහගෙන ඉන්න අපූරු ඉසව්වක්.

දැන් ටිකක් හවස් වෙලා වටේම අහසත් අඳුරුයි. ගමන සුන්දර වුණත් අපි නතර වෙන්න සුදානමෙන් ආවේ නැහැ. තැන බලලා යන්න විතරයි ආවේ. වැස්සට කලින් ආපහු යමු කියලා ඩිලාන් යෝජනා කළා. කට්ටියත් එක්ක රැයක් ගත කරන්න දිනයක් දාගෙන ආයෙත් එන්න ඕනෑ කියලා මමත් ඒක අනුමත කළේ එක පයින්.

අපි එනකොට ආවේ උඩින්. ඒ නිසා දැන් අපි ගඟ දිගේ පහළට යමු කියලා මම කිව්වා. පොද එක දෙක වැටෙන කොට අපේ කකුල් දෙක දන්නෙම නැතුව ඉක්මන් වුණේ කිලෝමීටර් දෙක තුනක් තෙමෙන්න බැරි හින්දමයි.

ජී.අයි.ආර්. ගරුසිංහ

පරිසර හිතකාමී විදියට ආභරණ තනන්නී

$
0
0
මැයි 25, 2022 01:00
චතුමී පිටිපන

නව නිපැයුම්වලට අද සමාජයේ හිමි වී තිබෙන්නේ හොඳ තැනක්. අපතේ යන දේවල් යොදා ගෙන පරිසර හිතකාමී විදිහට කාන්තාවන් වෙනුවෙන් විසිතුරු පලඳනා හදන්න හපනියෙක් තමයි කුරුණෑගල සඳගල පදිංචි නිරෝෂිණී දිසානායක. ඇය මේ දේවල් කරන්න පටන් අරගෙන වැඩි කාලයක් නැති වුණත් ඇයගේ බලාපොරොත්තුව මේ හරහා දිගු ගමනක් යෑමට. අපි නිරෝෂිණිගෙන්ම අහමු ඇය නිෂ්පාදනය කරන නව නිපැයුම් ගැන.

නව නිපැයුම් විදිහට ඔබ මොනවද හදන්නේ?

මම හදන්නේ මාල, වළලු, කරාබු වගේ දේවල්. මේවා අතින් හදන්නේ. 3R සංකල්පයට අනුව මම පරිසර හිතකාමී විදිහට තමයි මේවා මම නිෂ්පාදනය කරන්නේ.

කොහොමද මේ දේවල් පරිසර හිතකාමී විදිහට හදනවා කියන්නේ?

මම මේ විසිතුරු පලඳනා හදන්නේ රෙදි උපයෝගි කර ගෙන. රෙදි මහන අය මහලා ඉවත් කරන රෙදි කැබලිවලින් මම බීඩ් එකක් හදනවා. ඒ කියන්නේ ඇතුළට පැඩිං දාලා රෙදිවලින් හදන බීඩ් එකෙන් තමයි මම මාල, වළලු වගේම කරාබු හදන්නෙත්. පරිසර හිතකාමී විදිහට හදනවා කියන්නේ මම මේ රෙදි බීඩ් පලඳනාවලදී භාවිතා කරන්නේ ලී සහ ෆැබ්රික් විතරයි. තවත් වර්ගයක් හදනවා. ඒවා හදන්නේ පබළු මාල, වළලු දාලා සමහරු ඒවා පරණ වුණාම අයින් කරනවා. මම ඒවා අරගෙන ඒවායින් තවත් විදියට විසිතුරු පලඳනා හදනවා. එතකොට මේවා නැවත භාවිතයට ගැනීමක් සිදු වෙනවා.

මේ වගේ දෙයක් කරන්න සිතුවේ ඇයි?

මම හෑන්ඩ් මේඩ් භාණ්ඩ හදන ආයතනයක නිර්මාණ ශිල්පිනියක ලෙස වැඩ කළා. මම කිසිම ඩිප්ලෝමාවක් කරලාවත් සහතික අරගෙනවත් නැහැ. ඒත් මට ඒ සඳහා දක්ෂතාවය තිබෙනවා. මේ වගේ දේවල් කරන්න මම ගොඩක් කැමතියි. ඒ වගේම මෙහෙම පොඩි ව්‍යාපාරයක් කළාම අමතර ආදායමක් ලැබෙනවා. තව කාට හරි රැකියාවක් දෙන්නත් පුළුවනි. ඒ නිසා මේ දේ කරන්න මම පටන් ගත්තා.

මේ සඳහා දැනුම ලබා ගත්තේ කොහොම ද?

මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණයේ කථිකාචාර්යවරියක්. අනෙක් කෙනා බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ. මේ දෙන්නා තමයි මාව උනන්දු කරලා මේ වගේ දෙයක් කරන්න මාව යොමු කළේ.

ඔබ මේ නිර්මාණකරණයේ යෙදුණේ කුමන කාලවකවානුවක ද?

2016 ඉඳලා 2020 වෙනකම් මම පෙර කියූ ආයතනයේ වැඩ කළා. මේ කාලය තුළත් මේ දේ කරන්න මගේ හිතේ තිබුණත් මට කර ගන්න බැරි වුණා. දැනට මාස තුනකට පෙර තමයි මම මේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තේ. දැනට කොළඹ ප්‍රදේශයේ වෙළෙඳසලකට මගේ විසිතුරු පලඳනා මම සපයනවා. ඒ හැරුණාම ඔන් ලයින් පේජ් එකක් හරහා මගේ යාළුවන්ගේ අවශ්‍යතා සපුරලා දෙනවා.

ඔබගේ නව නිපැයුම් විදෙස් වෙළෙඳපොළට යවන්නත් බලාපොරොත්තු වෙනවා ද?

ඔව්. මගේ ප්‍රධාන ඉලක්කය විදෙස් වෙළෙඳපොළ. ශ්‍රී ලංකාවේ තොරා ගත් වෙළෙඳසල් කිහිපයකට හැරුණාම සාමාන්‍ය වෙළෙඳපොළට මේ දේවල් යවන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒකට හේතුව තමයි අතින් හදන භාණ්ඩවලට ලොකු ඉල්ලුමක් තියෙන්නේ විදේශිකයන්ගෙන්. ඒ අය මේ දේවල්වලට ගොඩක් කැමතියි.

මේ සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහොම ද?

අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු මේ වෙනකොට මට තිබෙනවා. බීඩ්ස් වර්ග මම හොයා ගන්නේ පිටකොටුවෙන්. ඒත් මට ඕන විදියට දේවල් මට ලැබෙන්නේ නෑ. මැටිවලින් හදන බීඩ්ස් මම හොයනවා. මේවාට යන වියදම වැඩි නිසා කවුරුත් මේවා හදන්න කැමති නැහැ. පොල්කටු බීඩ්ස් එහෙමත් මම සොයනවා. ඇඳුම් මහන තැන්වලින් මම අපතේ යන රෙදි කැබලි ඉල්ලා ගන්නවා. අනෙක් දේවල් මුදල් දී ගන්නවා.

ඔබත් සමඟ වැඩ කරන පිරිසක් සිටිනව ද?

කාන්තාවන් දෙදෙනෙක් ඉන්නවා. මම ඒ අයට මූලික දැනුම දීලා මේ විදියට හදන්න කියලා මම අමුද්‍රව්‍ය දෙනවා. ඒ වගේම ඩිසයින් එකත් ඒ අයට දෙනවා. ඒ අය තමන්ගේ නිවෙසේ කටයුතු කර ගෙන යන ගමන් අතටත් මුදලක් උපයා ගන්නවා. මම එයාලට සාධාරණ මුදලක් දෙනවා. තව කෙනකුට මේ ව්‍යාපාරයෙන් නැඟිටින්න අත දෙන්න පුළුවන් නම් මම ඒකට ගොඩක් කැමතියි.

ඔබගේ මේ විසිතුරු නිෂ්පාදනවලට තිබෙන ඉල්ලුම කොහොම ද?

අවුරුදු කාලෙට නම් හොඳ ඉල්ලුමක් තිබෙනවා. වැඩියෙන්ම මේවා ඉල්ලන්නේ විදේශිකයන්. පරිසර හිතකාමී අතින් හදන නිෂ්පාදනවලට වැඩියෙන්ම කැමති යුරෝපීයයන්.

නිරෝෂිණීගෙන් කිසියම් උපදෙසක් ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනකුට niroshinidisanayake20@gmail.comඊ මේල් ලිපිනය ඔස්සේ ඇය හා සම්බන්ධ විය හැකියි. 

තමන්ගේ ජීවිතේ හදාගන්න පුළුවන් තමන්ටමයි

$
0
0
මැයි 25, 2022 01:00

"මං අන්තිම ගෑස් එක ගත්තෙ රු. 1350ට. ඊට පස්සෙ ගණන් යනවා කියලා දැනගත්තම මං මහා මොරසූරණ වැස්සක කැලේට ගිහින් පොඩි කුස්සියක් හදාගන්න ලී කපාගෙන ආවා. වැස්සෙම මැටි කුස්සිය හැදුවා. පරණ උළු වගයක් තිබුණ හින්දා කැලෙන් පරාල කපලා උළු වැහුවා. අර 1350ට ගෙනා ගෑස් එක ඉවර වුණ දාම දර ළිපක් ගෙනත් මම ඉව්වා. සතයක් වත් වැඩියෙන් දීලා ගෑස් ගන්න නම් මම ආයේ ගියෙ නැහැ. ඉන් පස්සේ වෙළඳපොළේ පතෝල රුපියල් 500ට ගියා. මල් හිටවන්න ඕන මිදුලේ අඩියක් අඩියක් ගානේ මම එළවළු හිටෙව්වා. උදේට මිදුල වටේම වටයක් ගියාම වේල් දෙකක් කන්න එළවළු හොයා ගන්න මට පුළුවන්. ගොටුකොළ පවා මම හිටෙව්වා. ලංකාවේ ජනතාව එකම ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක, ඒ කියන්නේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, එළවළු පෝලිම් මේ කිසිම පෝලිමක මම හිටියෙ නැහැ, ඉන්නෙත් නැහැ, ඒ වෙනුවට මම කළේ පෙට්‍රල් ගණන් යනවා කියලා දැන ගත්ත ගමන් කාලෙකට ඇති වෙන්න තෙල් ටික මම මට ගෙනැත් තියාගත්තා, ඒ නිසා තෙල් පෝලිම්වල හිටියේ නැහැ, ගෑස් ගණන් ගියා හිඟ වුණා. ඒ අවදානම දැනෙද්දීම මම පෝරණුවක් එක්ක මැටි කුස්සියක් හදාගත්තා. එළවළු පෝලිම්වල හිටියේ නැහැ. වත්ත කොටලා වගා කර ගත්තා. අද මම දිනුම්."

මෙහෙම කිව්වේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දන්ඕවිට ග්‍රාමයේ පදිංචි 28 හැවිරිදි ඩි.පී ධනුෂ්ක දර්ශන විජේසිංහ. ඔහු මේ වනවිට ඉතා සාර්ථක ගෙවතු වගාවක් පවත්වාගෙන යන අතර දුර දක්නා තීක්‍ෂණ දැක්මක් හිමි සාර්ථක ව්‍යවසායකයෙක්. ඔහු කරන තවත් දේවල් ගැන කියන්න හඬ අවදි කළේ මේ විදියට.

"මම එක්තරා ආයතනයක ඔපරේටර් කෙනෙක් විධියට කාලයක් වැඩ කරගෙන යද්දී දෙතුන් පාරක්ම මැරෙන්න ගිහින් 99න් බේරුණේ. මම වැඩ කළේ රුපියල් 150 දවස් පඩියට. කාගේවත් බහකට අවනත වෙලා දුක් විඳගෙන රැකියාව කළත් හිතේ තියන බලාපොරොත්තු, හීනවලට යන්න මේ විදියට පුළුවනිද කියන ප්‍රශ්නය හිතට වද දෙන්න වුණා. කාගේවත් කීමකට වහල් නොවී තමන්ගේම කියල දෙයක් පටන් ගන්න ඕනෑ කියන සිතුවිල්ල මගේ හිතේ ඇති වුණා. ඊට පස්සේ පය තිබ්බේ හෝටල් ක්ෂේත්‍රයට. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පසුබට වුණේ නැහැ මම. වගාවට අමතරව මම ඕනෑම උත්සව අවස්ථාවකට ආහාර සකස්කර දෙනවා. සම්බෝලයක් හදාගන්න නොදැන හිටිය මම අද වෙන කොට ගමේ සියලුම උත්සවවලට ආහාර සකස් කර දීමට ඇරයුම් ලැබෙනවා.

මගේ එළවළු වගාවේ මාළු මිරිස්, කැකිරි, මෑකරල්, බෝංචි, දඹල, අමුමිරිස්, තක්කාලි, කංකුන්, තම්පලා, වට්ටක්කා, බණ්ඩක්කා, එළබටු, වම්බටු, ගොටුකොළ, කොච්චි, පතෝල, වැටකොළු, ගස්ලබු, ලබු, මයියොක්කා, රටල, නිවිති වගේම පළා වර්ග රාශියක් වගාකරලා තියෙනවා. පලදාව තුළින්ම සාර්ථක බීජ ලබා ගනිමින් වගාව සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා.

මේ ප්‍රදේශයේ ඉත්තෑවන්, ඌරන්, රිලවුන් හැමදාම එනවා වගාවට. සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගන්න එකක ලොකු අභියෝගයක්. සුදු ඉටිකොළ වගාව වටේ ආවරණය වන විදියට යොදාගත්තම ආරක්ෂාව සාර්ථකයි. පායන කාලෙට වතුර නැහැ ඒ නිසා බට අඩි 1000ක් දාලා කඳු දෙකකට එහායින් වතුර අරන් එන්න සිද්ධ වුණා. මොනම ඉඩෝරයක වුණත් බොන්න වතුර ටිකක් නොතිබුණත් පැළ ටිකට දවස ගානේ වතුර දානවා.

සාර්ථක එළවළු වගාවක් කරගෙන යන්න මගේ ළඟම ඥාතීන් වුණ දේවිකා දියණිය, එයාගේ සොයුරු සඳුන් වගේම මගේ අම්මා, තාත්තා එහෙමත් සහාය දෙනවා.

මේ රටේ ජීවත්වෙන හැම කෙනෙක්ටම අවසාන වශයෙන් දෙන්න තියන ආදර්ශය තමයි ''ඔබ ඔබම වෙන්න. ඉදිරියක් දකින්න. ඔබ ඔබගේම ආකල්ප හදාගන්න. අන් අයට නායකයෙක් වෙන්න මත්තෙන් ඔබ ඔබට නායකයෙක් වෙන්න". උතුම් ශ්‍රී ලංකාව වැටි තිබෙන ප්‍රපාතයෙන් ගොඩට ගන්න. අද ලංකාවේ ඇතිවෙලා තියන ආහාර අර්බුදයට තියන එකම විසඳුම වෙළෙඳපොළෙන් මිල දී ගැනීම් සීමා කර මල් පෝච්චියක හරි බණ්ඩක්කා පැළයක්, මිරිස් පැළයක් හිටවගන්න පුරුදු වෙන්න. "

වර්තමාන තරුණ පරපුරට ධනුෂ්ක දර්ශන සපයන්නේ යහපත් ආදර්ශයක්. හැම කෙනෙක්ම ඔහු වගේ සිතන්න පුරුදු වුණොත් අපේ රටේත් හෙට දිනයේ සෞභාග්‍යයේ අරුණලු වැටෙන්න පටන් ගනීවි.

ප්‍රියංගි ජයසිංහ

කාලයත් මුදලත් ඉතිරි කර තක්කාලි රිකිලි පැළ වවමු

$
0
0
මැයි 25, 2022 01:00

මුල් වගාවේ රිකිලි පැළ භාවිත කරමින් එළවළු වගාවක් සිදු කිරිමට හැකි නම් වගාකරුට බීජ සඳහ වැය වන මුදල මෙන්ම බීජ තවාන් කිරීම ඇතුළු වගාවට වැය වන කාලය ද ඉතිරි කර ගත හැකි විම අතිරේක වාසියකි.

මෙසේ හරිතාගාර තුළ තක්කාලි රිකිලි පැළ යොදා ගෙන සාර්ථකව වගා කළ හැකි බව බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

මේ වන විට හරිතාගාර වගා ක්‍රමය ගොවීන් අතර ජනප්‍රියය. හරිතාගාර (දැල් නිවාස) තුළ වගා කිරීම සඳහා පමණක් භෝග වර්ග ඇති අතර මෙහි වගා කිරීමට පමණක් බීජ වර්ග ද ඇත. මෙම බීජ ඇට වර්ග විදෙස් රටවලින් ගෙන්වීමට සිදුවීම මත ඊට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. එසේම විදෙස් විනිමය ද වැය වේ. මෙසේ දෙමුහුන් බීජ වර්ගවල මිල අධික වීම නිසා ලැබෙන ලාභය ද අඩුය. ඇතැම් ආනයනය කළ දෙමුහුන් තක්කාලි බීජ ඇටයක් රුපියල් 10ට වඩා වැඩිය. ඒ අනුව දෙමුහුන් තක්කාලි බීජ ඇට ග්‍රෑම් 01ක් රුපියල් දහස් ගණනක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙසේ ගොවියාට දෙමුහුන් විදෙස් බීජවලට වැය වන මුදල අවම කර ගත හැකි ක්‍රමවේදයක් බණ්ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය ක්‍රම 02ට අත්හදා බලන ලදී. එනම් මව් ශාකයෙන් ගත් රිකිල්ල සෘජුවම වගා මාධ්‍යයක සිටුවිම හා ලබා ගත් රිකිල්ල වගා බඳුනක සිටුවා මුල් ඇද්දවිමෙන් පසු සුදුසු වගා මාධ්‍යයක ස්ථිරවම සිටුවිම. මෙම වගා ක්‍රම දෙකෙන්ම තක්කාලි මව් ශාකයේ අස්වැන්නම ගුණාත්මක අගයකින් යුක්තව ලබා ගැනීමට හැකි විම විශේෂ කරුණකි. එනිසා හරිතාගාර තුළ තක්කාලි රිකිලි පැළ වගාවේ නියැලෙන ගොවීන්ට බීජ සදහා වැය වන මුදල ඉතිරි කර ගත හැකිය. එසේම වැඩි භුමි ප්‍රදේශයක වගා කිරිමට ද හැකි වේ.

එමගින් ආර්ථිකය ශක්තිමත් වන අතර අනෙක් අතින් දෙමුහුන් බීජ ආනයනය කිරිමට වැය වන විදෙස් මුදල ඉතිරි කර ගත හැකිය. මෙය ජාතික ආර්ථිකයට ද විශාල ශක්තියකි. දෙමුහුන් මව් ශාකයෙන් සෘජුව ගන්නා තක්කාලි රිකිල්ල හරිතාගාර තුළ සුදුසු වගා ක්‍රමයකට සිටුවා ගැනිමේ හැකියාව ගොවියාට තිබේ. මේ සඳහා සාමාන්‍ය වගා ක්‍රමය සෑහේ. මෙහි ඇති අනෙක් වාසිය නම් බිජ තවාන් කර සිටුවා වගා අස්වනු ගන්නට වැය වන කාලයට වඩා දින 15ට පෙර රිකිලි පැළ සිටුවා අස්වනු ගත හැකි වීමය. .

එමඟින් තක්කාලි ගසට වැයවන මුදල හා ශ්‍රමය ඉතිරි කර ගැනිමට වගාකරුට හැකි වේ. දෙමුහුන් තක්කාලි මවි ගසේ රිකිලි මුල් ඇද්දවිමෙන් පසු සිටුවන වගා ක්‍රමය පහත සඳහන් පරිදි කළ හැකිය. රිකිලි මුල්

ඇද්දවිම සඳහා තමන් කැමති මාධ්‍යයක ඊට කොහු බත් කොටස් දෙකක් කොම්පෝස්ට් කොටස් එකක් හා වැලි කොටස් එකක් උපයෝගි කර ගත් මිශ්‍රණයක් සකස් කර තක්කාලි රිකිල්ල සිටුවිය යුතුය. මෙසේ සිටුවන ලද රිකිල්ල දින 21ක් එම වගා මාධ්‍යයේ තිබිමට ඉඩ හැරිය යුතුය. එසේම මෙහි මුල් සාර්ථකව ඇද්දවිමට හෝමෝන ප්‍රතිකාරය ලබා දිමෙන් 100% රිකිලිවල මුල් අදින බව පර්යේෂණවලින් හා සිදුකර ඇති වගා භුමි අත්හදා බැලිම්වලින් ද තහවුරු වි ඇත. රිකිලි තක්කාලි ගසක කඩිනමින් මල් හට ගනී. එසේ කඩිනමින් හටගන්නා තක්කාලි මල් කඩා ඉවත් කළ යුතුය. එසේ නොකළ හොත් ගසේ වර්ධනයට තදින් බලපායි. එසේ වර්ධනය බාල විමෙන් අපේක්ෂිත අස්වනු ගත නොහැකිව මුදල්මය පාඩුවක් සිදු වේ. මෙම රිකිලි තක්කාලි ගස ප්‍රමිතියෙන් ඉහළ හා ගුණාත්මක බවින් යුක්ත විම නිසා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පැවතීමෙන් වගාකරුගේ අතමිට සරුවිම හා බීජවලට වැය වන මුදල ඉතිරි විමෙන් සහනයක් ද අත්වෙයි.

කේ.ආර්.ආර්.රාජමන්ත්‍රී

සති දෙකකට පෙර මෙසේ සිදු විය

$
0
0
මැයි 25, 2022 01:00

2022 මැයි මස නව වැනිදා අප රට තුළ ගිනි තැබීම්, පුද්ගල පහර දීම් මෙන්ම ජීවිත හානි ද බහුලව සිදු වූ දිනයකි. තවද ප්‍රජාතන්ත්‍රවාදය නැති වී අප රට පිළිබඳ කළු පැල්ලමක් ඉතිරි කළ දිනයක් ලෙස ද හැඳින්විය හැකිය. එසේම ගාලුමුවදොරින් ඇරඹි ප්‍රචණ්ඩකාරී සිදු වීම් එදින රාත්‍රිය වන විට රට පුරා පැතිර යමින් ජීවිත හානි ද සිදු විය. ඒ අඳුරු මතකයට අදට (25) සති දෙකක් ඉක්ම ගොස් තිබේ. ඉන් සිදු වූ දේපොළ හානිය තවම ගණනය කර ගැනීමටත් නොහැකි තරම්ය.

ටියුෂන් කරලා හදපු ගේ ප්‍රචණ්ඩකාරීන් ගිනිබත් කළා
- ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන

උගුර ලේ රහ වෙන තෙක්, බැනියමට දහඩිය උනන කල් තමන් ලක්ෂ තුනකට අධික දරු පිරිසකට බුද්ධිමය දේපළ බෙදාදෙමින් දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් ඉදි කළ මගේ නි‍ෙවසත් ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් ගිනිබත් කළා.

දීර්ඝ කාලයක් පැවැති ත්‍රස්තවාදය අවසන් කිරීමට එදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. එතුමාටත් යුද විරුවන්ටත් අද දින මගේ ප්‍රණාමය පුද කරනවා. උත්තරීතර සභාව නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරලා, ඒ සභාව නියෝජනය කරන මැති ඇමැතිවරුන් 80කගේ පමණ නිවෙස් ගිනි තබා උන්හිටි තැන් අහිමි කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඛේදවාචකයක් පසුගියදා වාර්තා වුණා. එය ලෝක ඉතිහාසයේ වාර්තාගත වන සිද්ධියක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෝකයේ අන්තර් පාර්ලිමේන්තු සංගමය, සාර්ක් පාර්ලිමේන්තු සම්මේලනය යනාදිය පෙනී සිටිනවා. මහජන නියෝජිතයන්ට තිබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටිනවා.


මා දේශපාලනයෙන් සල්ලි හම්බ කරපු කෙනෙක් නෙමෙයි
- හිටපු ඇමැති කනක හේරත්

"මහජනතාවට සිදු වූ හානි සහ ජනතා නියෝජිතයන්ට වූ හානි සියල්ල හෙළා දකිනවා. මගේ දේශපාලන ජීවිතයේ කිසිම අවස්ථාවක ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට කිසිදු සම්බන්ධයක් නොදැක්වූ දේශපාලකයෙකු ලෙස මගේ නිවෙසට එල්ල වුණු ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිනවා. මේ සියල්ල පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. 

"මේ කිසිදු දෙයක් නිසා අප කිසිවකුත් ජනතා සේවයෙන් ඉවත් වෙන්නේ නෑ. මේ මොහොතේ පෞද්ගලික දේශපාලන අරමුණු සියල්ල ඉවත ලා රට වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්. මේ වර්තමාන ආර්ථික අභියෝග ජය ගන්න අපි සියලු දෙනා කැප කිරීම් කළ යුතුයි. මේ වෙලාව පක්ෂ දේශපාලනය අමතක කර රට වෙනුවෙන් කටයුතු කළ යුතු මොහොතක්. මා කිසිදු අවස්ථාවක දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි මේ ප්‍රහාරය පිළිබඳ ලොකු කනගාටුවක් තියෙන්නේ."

හිටපු ඇමැති කනක හේරත් මහතාගේ කෑගල්ලේ පිහිටි නිවෙසට ගිනි තබා විනාශ කොට තිබූ අයුරුයි මේ.


සංවිධානාත්මක පිරිසක් තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා
- හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

ප්‍රචණ්ඩත්වයෙන් හා වෛරයෙන් මිදී වැටී ඇති රට ගොඩ ගැනීමට මිලියන 22ක ජනතාව එකා මෙන් එකතු විය යුතු බව හිටපු රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලාන්සා මහතා මෙසේ අදහස් පළ කර සිටියේ ගිනි තබා විනාශ කර දමා තිබූ මීගමුව පිහිටි සිය නිවෙසට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා මෙසේ ද පැවසීය.

"යම්කිසි පිරිසක් සංවිධානාත්මකව තරුණ මනස ප්‍රචණ්ඩත්වයට යොමු කරලා සිද්ධ වුණ දෙයක්. මෙවැනි විනාශයක් වෙන්න නම් පෙට්‍රල් බෝම්බ ගහන්න ඕනෑ. පෙට්‍රල් බෝම්බ ගහන්න බැහැ සාමාන්‍ය අයට. එවැනි දෙයක් කරන්න කලින් සැලසුම් කරලා තියෙන්න ඕනෑ.

"නිවෙසක් ගිනි තියෙනවා කියන්නේ බිත්ති හතරකට ගිනි තියනවා විතරක් නෙමේ. පැල්පතක් වේවා, ඕනෑම නිවෙසක් ඉදි කරන්නේ පවුලේ අය එකතු වෙලා ආදරයෙන් ජීවත් වෙන්නයි. ඒ නිවෙස තුළ ආදරය, බැඳීම්, සිහිවටන ජීවිත කාලයම උපයපු දේවල් මේ හැම දෙයක්ම එක රැයින් විනාශ කරලා තියෙන්නේ.

"මීගමුව විතරක් නෙමෙයි, ලංකාව පුරා හැම වෙලාවෙම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපු කෙනෙක් හැටියට, ජනතාව එක්ක හිටපු කෙනෙක් විදියට මේ විනාශය දැක්කම හිතට විශාල දුකක් ඇති වුණා. නමුත් ඒ දුක වේදනාව අවම කර ගන්න ඕනෑ. මොකද අපි ඉපදෙන කොට මුකුත් අරන් එන්නෙත් නැහැ, මැරෙන කොට මුකුත් අරන් යන්නෙත් නැහැ. ඒ සත්‍යය අපි දන්නවා. සියලු දේවල් විනාශ වෙලා ඉවරයි. මේ සිද්ධිය වුණ දවසේ ඉඳන් විශාල පිරිසක් ලංකාවේ වගේම, ලංකාවෙන් බැහැර පිරිස කතා කරලා ශක්තිය, ධෛර්යය දීම පිළිබඳ ඒ සියලු දෙනාට ස්තූති කරනවා.

"කාට හරි වෛරයක් තිබුණ නම් අපේ දේවල් විනාශ කරන්න මේ සිද්ධියෙන් පසු ඒ වෛරය අවසන් කර ගත්තොත් හොඳයි. මොකද මේ වෛරය තවත් කෙනෙක්ගේ ජීවිත හානි කරන්න, දේපළ විනාශ කරන්න, කොල්ලකන්න මේක යොදා ගන්න එපා. මේ වෛරය මෙතනින් අවසන් කරන්න. වෛරයෙන් සිදු වන්නේ රටක් විනාශ වෙන එක. ජනතාවගේ ජීවිත, දේපළ විනාශ වෙන එක."


ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කොට අලාභ හානි සිදු කර තිබූ අයුරුයි මේ.


දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැතිවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ නිවෙස් ගිනි තබා විනාශ කොට තිබූ අයුරුයි මේ.

ඡායාරූප - ඔස්වල්ඩ් ගොඩකුඹුර
රඹුක්කන විශේෂ
ඡායාරූප - සීගිරිය විශේෂ
ඡායාරූප - සුමිත්‍රා කුමාරිහාමි - කන්තලේ සමූහ


මෙය ජාතික ආර්ථික මොඩලයකට හොඳම අවස්ථාවයි

$
0
0
මැයි 25, 2022 01:00
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ ජන මාධ්‍ය අධ්‍යයන අංශය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය

වර්තමානය වන විට රට තුළ විවිධ අර්බුද නිර්මාණය වී තිබේ. මිනිසුන් ජීවත් වීමේ අරගලයක නිරතව ඇත. මහමඟ නිරතුරුවම ඇස ගැටෙන්නේ ගෑස් පෝලිම් සහ තෙල් පෝළිම්ය. අනෙක් අතට විදුලි කප්පාදු කිරීම්ය. මේ වන විට ඖෂධ හිඟයක් පිළිබඳ කතාවේ. අගෝස්තු මාසය වන විට ආහාර අර්බුදයක් ඇති විය හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පවත්නා සමහර කර්මාන්ත ශාලා වැසී යමින් පවතී. ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට, ළදරුවන්ට පෝෂණය සපයන ත්‍රිපෝෂ කම්හල ඒ අතර වේ. සමහරු නීති විරෝධී ක්‍රම මඟින් වෙනත් රටවලට යෑමට කටයුතු කරමින් සිටිති. මේ අර්බුද අපට පමණක් උරුම වූ ඒවාද? නැත් නම් වෙනත් රටවල තත්ත්වය කෙබඳුද? මේ ගැටලු විසඳා ගැනීමට ගත යුතු පියවර මොනවා ද? මේ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයේ, ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ටියුඩර් වීරසිංහ සමඟ කළ කතාබහක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

මේ වන විට ශ්‍රී ලංකා සමාජය තුළ නිර්මාණය වී තිබෙන ගැටලු අප රටට පමණක් පොදු වූ ඒවා නොවේ. මෙය ගෝලීය වශයෙන්ම බලපා තිබෙන ගැටලුවකි. මේ මොහොත වන විට මානවයා තීරණාත්මක අවධියකට ප්‍රවිෂ්ටවී සිටී. බොහෝ රටවල මෙතෙක් කල් පැවති පාලන ක්‍රම වගේම, සමාජ ආර්ථික දේශපාලන ක්‍රම යම්කිසි ආකාරයක පරිවර්තනයකට, අර්බුදයකට ලක් වෙමින් පවතී. ඇතැම් රටවල ඒවා යම් කිසි ආකාරයකින් පරිණාමීය වශයෙන් සිදු වෙමින් පවතී. ඇතැම් රටවල ගැටුම්කාරී ස්වභාවයක් උසුලයි. තවත් සමහර රටවල ප්‍රවර්ධනාත්මක ආකාරයට මෙය සිදු වෙමින් පවතී. මෙය මානව සමාජය එක්තරා අවස්ථාවක අවිනිශ්චිත, සංක්‍රාන්තික මොහොතකට පත්ව තිබීමකි. සමාජයේ තිබෙන පාලන ක්‍රමය, ආර්ථික සංවිධාන ක්‍රමය, මිනිසුන්ගේ ජීවන මාදිලිය, චර්යා වගේම මනෝභාව යනාදී මේ සියල්ලම යම් පරිවර්තික ක්‍රියාවලියකට පත් වෙමින් ඇත.

ක්‍රි.ව.1800 ගණන්වල නැපෝලියන් යුද්ධය පැවතුණු කාලයේ යුරෝපා සමාජයේම එතෙක් පැවැති සාම්ප්‍රදායික ආකෘතිය වෙනස්වී, අලුත් ආකෘතියකට ගමන් කළේය. කාලාන්තරයක් පුරා එය පැවතී ලෝක යුද්ධ වන විට ඒ ප්‍රතිවිරෝධ මෝදු වී පුපුරා ගියේය.

ගෝලීය මූල්‍ය යාන්ත්‍රණය

එතැනින් පසු වෙනත් ආකාරයකට මතු වුණු සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය. එයද ටික කාලයක් පැවතී, පසුව දෙවැනි ලෝක යුද්ධය ඇති වූයේය. මේ වන විට ලෝකය පුරාම පවතින්නේ ඉන් පසුව ඇති වුණු සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයය.

මේ ක්‍රමයට දැන් ලෝකය පුරාම විරෝධතා, පරස්පරතා, ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සමාජ අර්බුද වශයෙන් මතුවී තිබේ. එය ක්‍රමානුකූලව තව දුරටත් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මේ වන විට ලෝක මූල්‍ය හා ආර්ථික අර්බුදය ආරම්භ වී ඇත. එහි බලපෑම ලෝකය පුරාම තවමත් පැතිරෙමින් පවතී. අනතුරුව කොවිඩ් අර්බුදය ඇති විය. මේ අවස්ථාවේ රුසියාව සහ නේටෝ සංවිධානය ඒකාබද්ධ බටහිර හා රුසියාව අතර පටන් ගත් යුද්ධයත් සමඟම මේ ක්‍රමයේ අවසානය ආරම්භ විය. මේ වන විට මුළු ලෝකයම අලුත් සමාජ, ආර්ථික, දේශපාලන මොඩලයකට අවතීර්ණ වෙමින් පවතී. මේ ගෙවී යන්නේ සංක්‍රාන්තික අවධියකි. එසේම, පැවැති තාක්ෂණික මූල්‍ය මොඩලය බිඳ වැටී තිබේ. එය, පැවතුණු නව ලිබරල්වාදී, ධනවාදී ගෝලීය ක්‍රමයේ බිඳවැටීමය. වර්තමානයේ රුසියාව සහ ඒකාබද්ධ බටහිර රටවල් අතර සිදු වන යුද්ධයත් සමඟ තුන්වැනි මහා ලෝක යුද්ධයේ පළමු අදියර පසු කරමින් සිටී. මේ සමඟ පසු ගිය සමාජ, ආර්ථික සංවිධානය, ලෝකයේ බල තුලනය බිඳ වැටී ඇත.

මේ අවස්ථාව වන විට ලෝකයේ කිසිම රටකට පැහැදිලි, නිශ්චිත අරමුණක් නැත. ඉදිරියට ගමන් කරන්නේ කොහොමද? රටේ ආර්ථික මොඩලය මොකක්ද? රටේ දේශපාලන මොඩලය මොකක් ද? පමණක් නොව, මෙතෙක් පැවතුණු තාක්ෂණික මූල්‍ය පද්ධතිය හා ගනුදෙනු සියල්ල අර්බුදයකට ගොස් තිබේ. මේ වන විට ඩොලරය කේන්ද්‍ර කර ගත් ගෝලීය මූල්‍ය යාන්ත්‍රණය සහ ගනුදෙනු කරන තාක්ෂණික මාදිලියද අර්බුදයකට ගොස් තිබේ. උතුරු අමෙරිකාව, චීනය, ඉන්දියාව වැනි රටවල් අතර වෙනම මුදල් ඒකක වර්ධනය වෙමින් පවතී. පොදු මූල්‍ය ඒකකය වශයෙන් පැවැති ඩොලරය නොසලකා, ඒ ඒ කලාපයට ආවේණික මූල්‍ය ඒකක භාවිතයට ගැනීමට සූදානමින් සිටී. ආසියා කලාපයේ යුවාන් ඒකකය ප්‍රබල වෙමින් පවතී. ඩොලරය, උතුරු අමෙරිකාවට සීමා වෙමින් තිබේ. යුරෝ, රූබලය පෙරදිග රටවල ගොඩනැගෙමින් පවතී. මෙතෙක් කල් පැවතුණු ගෝලීය ස්වරූපය බිඳවැටී, පශ්චාත් ගෝලීය තත්ත්වයකට පිය නගමින් සිටී. මේ පශ්චාත් ගෝලීය තත්ත්වය තුළ ප්‍රධාන කාරණා දෙකක් මතු වී තිබේ. ඉන් එකක් වන්නේ කලාපීයකරණය වීමය. ඒ තුළම ජාතිකකරණය වීමේ ප්‍රවණතාව උත්සන්න වී තිබේ. එහෙත් තවමත් අලුත් සමාජ, ආර්ථික, දේශපාලනික මොඩලයක් ගොඩනැගී නැත. මේ සියල්ලම අතරතුර පරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී, එහි තිබෙන නෂ්ටාවශේෂ; ගතික ක්‍රියාත්මක වෙමින් පවතී. අප ජීවත් වන්නේ මෙවැනි තත්ත්වයකය.‘අර්බුදය’ කියා කියන්නේ මෙයටය. මෙය අප රටට පමණක් නොව; මුළු මනුෂ්‍ය සංහතියටම බලපාන්නකි. මෙතෙක් කලක් දේශපාලනය, සංස්කෘතික වශයෙන් කටයුතු සිදු වී ඇති ආකාරය, ගමන් බිමන් ආදි සියලු කාර්යය ඉටු කළ ආකාරය අද වන විට වෙනස් වී තිබේ. පැවැති ක්‍රමය වර්තමානය වන විට පිට පැන තිබේ. අර්බුදය යනු මෙයය.

අභියෝග ජය ගැනීම

මෙහිදී සමස්ත මනුෂ්‍ය වර්ගයාම මෙතෙක් කලක් සිදු කර ගෙන ආ සුපුරුදු කටයුතු තව දුරටත් කරගෙන යෑමට නොහැකි වී තිබේ. මේ අනුව බලන කල මෙය ව්‍යුහාත්මක අර්බුදයකි; සමස්ත පද්ධතියම අර්බුදයක් බවට පත්ව තිබේ. මේ තත්ත්වය අස්වාභාවික තත්ත්වයක්ද නොවේ; අස්වාභාවික දෙයක්ද නොවේ. ඕනෑම යුගයක් තුළ, ඕනෑම පද්ධතියක් තුළ සිදු වෙන දෙයකි. ගොඩනැඟී තිබෙන ප්‍රශ්නවලට අලුත් මාවතක් නිර්මාණය වන්නේ මේ අර්බුදයෙන්මය. අලුත් විභව, අලුත් ශක්‍යතා මතු වන්නේ මෙවැනි ආකාරයේ අර්බුදත් එක්කමය. මෙහි අයහපත් පැත්තක් පමණක් නොව, සෑම අර්බුදයකම සාධනීය පැත්තක්ද තිබේ. එයින්ම ඉදිරියට යෑමක් සිදුවේ.

පවත්නා ශක්‍යතා, විභවතා සමස්ත සමාජයේ වුවමනා සහ අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත විදියකට ක්‍රියාවේ යොදවන්නේ කෙසේ ද? යන්න මේ අවස්ථාවේ දේශපාලනය බවට පත් විය යුතුය. එක් පැත්තකින් ගෝලීය, කලාපීය, පශ්චාත් ගෝලීය මට්ටමෙනුත්, රටවල් මට්ටමෙනුත්, රාජ්‍ය මට්ටමෙනුත් මහ ජනයාට මතුව තිබෙන ප්‍රශ්න විසඳා ගන්නෙ කොහොමද? කියන ගැටලුව පැන නැඟී ඇත.

මෙය එක් පැත්තකින් ඉතාම හොඳ ස්වර්ණමය අවස්ථාවකි. ශ්‍රී ලංකාව යනු දීර්ඝ ඉතිහාසයක් තිබෙන, අපටම ආවේණික ශ්‍රී ලාංකික සමාජයක් තිබෙන රටකි. මේ සමාජය කවදාවත් සංවෘතව තිබුණේ නැත. එය බාහිර සමාජයත් සමඟ විවෘතව පැවතුණි. එසේම, කාලයෙන් කාලයට විවිධ පරිමාණයෙන් ගනුදෙනු කර තිබේ. අපටම ආවේණික, දේශීය - ස්වදේශීය ගති ලක්ෂණ අපි ආරක්ෂා කරගෙන ඇත්තෙමු. විශේෂයෙන්ම පසු ගිය අවුරුදු 500 ඇතුළත සිදු වුණු යුරෝපීය ආක්‍රමණත් සමඟ අපි ඒ වෙනුවෙන් සටන් වැදී ඇත්තෙමු. පසු ගිය වසර 500 ඇතුළත පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි යුරෝපීය ආක්‍රමණ හේතුවෙන් අපේ සාම්ප්‍රදායික සමාජ ක්‍රමය, ආර්ථිකය, පාලන ක්‍රමය, සංස්කෘතිය, භාෂාව, මිනිසුන්ගේ සියලු ගති ලක්ෂණ යනාදිය යම්කිසි ආකාරයකට නවීකරණය වීමට පටන් ගත්තේය. විසි වැනි සියවසේදී ඒ ක්‍රියාවලිය තවත් වේගවත් විය. එහෙත් අපේ සාම්ප්‍රදායික; පෞරාණික, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, තාක්ෂණික ආදි සියල්ල ආරක්ෂා කර ගනිමින් අපි කටයුතු කළෙමු. අනතුරුව අපි විසි වැනි සියවස මැද භාගයේදී නිදහස ලබා ගතිමු. ඉන් පසුව ස්වෛරී ආර්ථික මොඩලයක් සකසා ගත්තෙමු. දේශපාලනික සමාජ ක්‍රමයක් ඔස්සේ සංවර්ධන වීමට සෑහෙන උත්සාහයක් ගතිමු. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිදහසෙන් පසු බිහි වුණු ආණ්ඩු, ජාතික හා අන්තර්ජාතික තත්ත්වවලට අනුව රට තුළ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික අභියෝග ජය ගැනීමට ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති අනුගමනය කළෙමු.

රාජ්‍ය ව්‍යුහයක් සකසා ගැනීම

ඒ අතර නිදහසෙන් පසුව අපට ප්‍රධාන ප්‍රශ්න තුනක් විසඳා ගත යුතුව තිබිණි. පළමු කරුණ අපට ගැළපෙන රාජ්‍ය ව්‍යුහයක් සකසා ගැනීමය. එහෙත් නිදහසින් පසු බිහි වුණු ආණ්ඩු මේ සඳහා යම් යම් උත්සාහ ගත්තත්, එය තවමත් සියයට සියයක් විසඳා ගත නොහැකි දෙයක් බවට පත්ව ඇත. අපේ රටේ සිටින බහු ආර්ථික, බහු වාර්ගික, බහු ජාතික වශයෙන් විවිධ ජාති පාලනයට සම්බන්ධ කර ගැනීමට හැකි ආකාරයට මූලික නීතියක්, රාජ්‍ය ව්‍යුහයක් සකසා ගැනීම පිළිබඳ ගැටලුව තවමත් නොවිසඳී තිබෙන ප්‍රශ්නයකි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අපි අද කතා කරමු. මෙයද මේ අර්බුදයේ එක් පැත්තක් බවට පත්ව ඇත. විවෘතවම මෙය තවමත් නොවිසඳුණු ප්‍රශ්නයකි. මේ මොහොතෙදිත් අප 21වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්නෙත් මේ ප්‍රශ්නයේම කොටසක් ලෙසටය.

නිදහසින් පසුව අපට විසඳාගත නොහැකි වූ දෙවැනි ප්‍රශ්නය, ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතියේ ස්වභාවයට, අපේ මනුෂ්‍යයන්ගේ ශක්තියේ ස්වභාවයට, ජාතික ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා දායක කර ගන්නේ කුමන විදියටද? යන කාරණයය. අපට ජාතියක් හැටියට ගැළපෙන සමාජ, ආර්ථික, සංවර්ධන මොඩලයක් ගොඩනගා ගැනීමට අපට නොහැකිව තිබේ. මෙයට විවිධ ආණ්ඩු මඟින් විවිධ ක්‍රම අනුගමනය කර තිබේ. එහි ප්‍රතිඵලද ලැබී තිබේ. එසේම මෙහි අයහපත් ප්‍රතිඵලද අපට ලැබී තිබේ. එහෙත් සමස්තයක් විධියට ස්ථිරසාර සහ පැහැදිලි, හරියටම අපට ගැළපෙන ආර්ථික මොඩලයක් සකසා ගැනීමට අපට නොහැකි වී තිබේ. එසේම අපේ රට තුළ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍යම ප්‍රමාණ, මහා පරිමාණ ආර්ථික ව්‍යවසායක, සමස්ත ජාතික ආර්ථිකයට ඉතා කාර්යක්ෂමව දායක කර ගැනීමටත් නොහැකිව තිබේ. මේ මොහොතෙත් එය ඒ විදියටම බලපා ඇත. එය විවෘතව තිබෙන ප්‍රශ්නයකි. එයත් වර්තමානයේ පවතින අර්බුදයට හේතුවකි.

තුන්වැනි කාරණාව වන්නේ, අප ජාතියක් හැටියට වර්ධනය වුණත්, විවිධ ආගමික හා විවිධ සංස්කෘතික කොටස් ජීවත් වෙන සමාජයක් තුළ ශ්‍රී ලාංකේය සංකල්පය, පුරවැසියා නමැති අදහස වර්ධනය කර ගැනීමට නොහැකි වී තිබීමය. පොදු ශ්‍රී ලාංකේය දෘෂ්ටිවාදයක් ගොඩනඟා ගත නොහැකි වීමය.

මේ ප්‍රශ්න එසේම තිබියදී, අලුතින් ඇතිව තිබෙන ගෝලීය අර්බුද හමුවේ පවත්නා ගැටලු අප කුමනාකාරයකට විසඳා ගන්නවා ද? මෙය මේ මොහොතේ පවතින ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයකි. පරස්පර ප්‍රති විරෝධතා උත්සන්න වීමේ ප්‍රතිඵලයක් විදියට අද වන විට පැවැති ගැටලු වේගයෙන් තල්ලු වී, පසු ගිය මාස කිහිපය තුළ සංකීර්ණ තත්ත්වයකට පත් වුණි. ජන ජීවිතයට අත්‍යාවශ්‍ය විදුලිය, ගෑස්, ඛනිජ තෙල්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම, විශේෂයෙන්ම ඩොලර් හිඟකම වැනි ප්‍රශ්න මතු වෙන විට, මිනිසුන්ට තමන්ගේ පන්තිය, තරාතිරම, වෘත්තිය, අධ්‍යාපනය මේ සියල්ල පසෙකලා වීදි බහින්න සිදුව ඇත. යම්කිසි ස්ථානයකට එකතු වී, විරෝධතා දැක්වීමටද කටයුතු කෙරිණි. මෙය ගෝලීය දේශපාලනික, බහු ආර්ථික හා සංග්‍රාමික කොටසක් බවට පරිවර්තනය වී තිබේ. එමඟින් මේ ප්‍රශ්නය තව දුරටත් සංකීර්ණ වී ඇත. මේ තුළ අපේ රටේ දේශපාලනික වෙනස්කම් සිදුවී තිබේ. බොහෝ අය පවසන්නේ ගෝල්ෆේස් සාධකය එක කඳවුරකට රඳවා ගැනීමේ උපාය මාර්ගයක් වී තිබෙන බවකි. ගෝලීය ආර්ථිකයේ උපරි ව්‍යුහයට අමෙරිකාව ඇතුළු බටහිරට මේ ප්‍රශ්නය දිගටම තබාගෙන, චීනය හා රුසියාවත් සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීමට ඉතාමත් අවශ්‍යය. මේ අවස්ථාවේදී යුරෝපය තුළ රුසියාව තනි කිරීමේ අදහසක් දියත් වෙමින් පවතී. සම්බාධක හා විවිධ ක්‍රම මඟින් රුසියාව තනි කර, අන්තර්ජාතික සම්බන්ධතා දුර්වල කර යුද්ධය ජයග්‍රහණය කිරීමේ උපාය මාර්ගයක් විදියට කටයුතු කිරීමට බටහිර රටවල් උත්සාහ කරමින් සිටී. ඉදිරියේදී චීනය, රුසියාව පැත්තට සම්බන්ධ වීමේ හැකියාවක්ද ඇත. එය බටහිර ගෝලීය උපරි සමාජයේ එකම අරමුණද වේ. මේ අරමුණ මුදුන්පත් කර ගැනීමට අප වැනි රටවල ප්‍රශ්න හා අර්බුද තව දුරටත් උත්සන්න කිරීමට ඒ අය උපරිම අයුරින් කටයුතු කරයි. මෙය ඉතා සංකීර්ණ තත්ත්වයකි. ජාතික වශයෙන් අපි මේ අවස්ථාවෙදි අප මෙය ඉතා ගැඹුරින් තේරුම් ගැත යුතුය. අපේ සංවර්ධන උපායමාර්ගය විය යුත්තේ මේ අර්බුදයෙන් අප ගොඩ එන්නේ කොහොමද? කියන දෙයය. ඒ නිසා අප මතුව තිබෙන අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට ක්‍රියා කළ යුතුය. පවත්නා ප්‍රශ්න මතු වුණේ, නව ලිබරල් ගෝලීය සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රතිඵල ලෙසටය. එය, ඒ තුළ සිටම විසඳා ගත යුතුය. පවත්නා ඩොලර් හිඟය විසඳා ගැනීමට සහයෝගයක් හෝ ආධාරයක් හෝ ලබා ගැනීමේ හැකියාව හා බලාපොරොත්තුව තුළ, නව අගමැතිවරයා පත්ව තිබේ. මේ අවස්ථාවේ කටයුතු කරන්නෙත් ඒ බලාපොරොත්තුව ඇතිවය. එය, පවත්නා ප්‍රශ්නවලට කෙටි කාලීන විසැඳුමක් වුවද, දිගු කාලීන විසඳුම නොවේ. එය දිගු කාලීනව ඉතා අයහපත් ආකාරයකට බලපෑ හැකිය.

නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය

ඒත්, කෙටි කාලීන වශයෙන් අපට එතැනට යෑමට අවශ්‍යය. මතු වී තිබෙන ගැටලු විසඳා ගැනීමට අවශ්‍යය. අනතුරුව අපට, සමකාලීන ගෝලීය සන්දර්භය තුළ, නිදහසෙන් පසු මෙතෙක් අනුගමනය කළ අපේ විදේශ ප්‍රතිපත්තිය යනාදිය සකස් කර ගැනීමේ අවශ්‍යතාව පවතී. මෙහිදී අප, එක රටකට හෝ එක කඳවුරකට ප්‍රමුඛත්වය නොදී, පශ්චාත් ගෝලීය තත්ත්වය තුළ මතුව තිබෙන විවිධ කලාපීය ව්‍යුහ සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම අවශ්‍යය. විශේෂයෙන් චීනය, රුසියාව, අමෙරිකාව ආදි යුරෝපා කලාප සමඟ සමාජ, ආර්ථික, දේශපාලන සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍යය. එහිදී අප නව විදේශ ප්‍රතිපත්තියක්ද සකසා ගත යුතුය. ඒ නව විදේශ ප්‍රතිපත්තිය අප මෙතෙක් කල් පවත්වා ගෙන ආ ප්‍රතිපත්තියට වඩා වෙනස් එකක් විය යුතුය. මෙහිදී අපට එක ආදර්ශයක් තිබේ. ඒ, 1960 දසකයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියය. එදා ලෝකයේ ප්‍රධාන කඳවුරු දෙකක් තිබිණි. එයින් එකක් වූයේ සමාජවාදී කඳවුරය. අනෙක ලිබරල් කඳවුරය. ඒ දෙකටම අපි සම්බන්ධ නොවී, ස්වාධීනව, නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමු. එය එදා ඉතා වැදගත් ප්‍රතිපත්තියක් වූවා පමණක් නොව, විශාල වශයෙන් ජයග්‍රහණද අත් කර ගත්තෙමු. අපේ රටේ ප්‍රතිරූපය, රාජ්‍ය පාලනය, පාලකයන් ගැන අන්තර්ජාතික වශයෙන් ප්‍රතිරූපයක් ඇති විණි. මේ මොහොතේදී අලුත් තත්ත්වයක් මතුව තිබේ. එක පැත්තකින් ගෝලීය ගතික හා ප්‍රවණතා වෙනස් වෙමින්, ඒවා බිඳ වැටෙමින් පවතී. අනෙක් පැත්තෙන් පශ්චාත් ගෝලීය තත්ත්ව, කලාපීයකරණය, ස්වදේශීයකරණය වර්ධනය වෙමින් පවතී. මේ සියල්ලත් සමඟ අප අලුත් බලවේග සමඟ ගනුදෙනු කරන්නේ කොහොම ද? යන්න පිළිබඳ අලුත් කතිකාවක් ගොඩනඟා ගැනීම අවශ්‍යය; අලුත් ප්‍රතිපත්තියක් අවශ්‍යය. මේ අවස්ථාවේ අපගේ දේශපාලනය විය යුත්තේ, අලුතෙන් මතුව ඇති පශ්චාත් ගෝලීය විභවතා, මේ මොහොතේදී අප කුමන ආකාරයකට යොදා ගන්නවා ද? කියන දේ පිළිබඳවය. අපේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ විය යුත්තේද මෙයය. එහෙම නැතුව කෙටි කාලීනව ගොඩ ගියත්, දීර්ඝ කාලීනව ගොඩ යෑමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. මෙය, අන්තර්ජාතික වශයෙන් පවත්නා පැතිකඩය.

මෙතෙක් කලක් අප අනුගමනය කළ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය වශයෙන් බිඳවැටී තිබෙන තත්ත්වයක් තුළ, තව දුරටත් එයට පණ දීමට කටයුතු කිරීමට උත්සාහ කිරීම, කිසි විටෙකත් අපට සුගතියක් හෝ යහපතක් හෝ සිදු කරන්නේ නැත. එයින් සිදු වෙන්නේ අර්බුදය තව දුරටත් උත්සන්න වීමය. ඒ නිසා අප අපේ රටේ ආර්ථිකය, ජාතික ආර්ථිකය විදේශීය රටවල් සමඟ ගනුදෙනු කරන ආනයන - අපනයන ක්‍රමයකට ප්‍රමුඛත්වය නොදී, ආනයන ආදේශන ප්‍රතිපත්තියක් රට තුළ අනුගමනය කිරීම අවශ්‍යය. රට තුළ තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ශක්තිය ජාතික ආර්ථිකයකට ගත හැකි ආකාරයකට ආර්ථික මොඩලයක් සාදා ගත යුතුය. එය ඒකීය ජනතා ආර්ථික සංකේතයක් විය යුතුය. අපේ කෘෂිකාර්මික, ධීවර, මේ ආදි ආකාරයට අපේ සියලු නිෂ්පාදන එකිනෙකා අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කරන, ඊට ප්‍රමුඛත්වය දෙන එකක් විය යුතුය. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම අප නිෂ්පාදනය කළ යුතුය. වැඩි නිෂ්පාදන පිට රටට යැවිය යුතුය. සාපේක්ෂ ස්වයංපෝෂිත භාවයක් ඇති කර ගත යුතුය. අපේ රට තුළ නිෂ්පාදනය කරන ආර්ථික මොඩලයකට අප පැමිණිය යුතුය. මේ අර්බුදකාරී අවස්ථාව තුළ බොහෝ රටවල් එය මේ වන විටත් ආරම්භ කර තිබීමද විශේෂත්වයකි.

ශ්‍යාමා සමරසිංහ

කළු සඳුදාවේ අමිහිරි මතක

$
0
0
මැයි 25, 2022 01:00
ඉන්දික පොල්කො­ටුව

දිනෙන් දින උග්‍ර වූ ආර්ථික අර්බුද ඔස්සේ පැන නැගුණු දේශපාලනික අර්බුදය ඔඩු දිව යෑමෙන් නිර්මාණය වූ ජන අරගල හරහා රටේ ජනයා හා නීතිය අතර බරපතළ ඛේදජනක තත්ත්වයක් මේ වන විට ගොඩ නැ‍ඟෙමින් තිබේ.

මේ පසුබිම තුළ ජනතාව නීතිය අතට ගනිමින්, නීතිය මායිම් නොකරන තත්ත්වයට පත්ව තිබේ. එය රටෙහි ගමන් මඟ තුළ මේ වන විට නිර්මාණය වෙමින් පවතින බරපතළ ඛේදජනක තත්ත්වයකි.

මැයි 09 දා දිනය අපේ රටේ මෑතකාලීන ඉතිහාසයේ කළු පැල්ලමකි. එය කළු සඳුදාවකි. ලෙයින්, ගින්දරෙන්,කඳුළෙන්, වෙළී ගිය කළු සදුදාව ත්‍රස්තවාදයද, ප්‍රචණ්ඩත්වයද, අමානුෂිකත්වයද, ඉන් එහා යමින් කැලෑ නීතියද රජ කළ දිනයකි. ඒ ඔස්සේ දිගින් දිගටම ඇතමුන් රටේ නීතිය සියතට ගැනීම රටෙහි ගමන් මඟට එල්ල කළ මරු පහරකි.

ගෝල්ෆේස් අරගලයට මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගල භූමියට පහර දීම කිසි ලෙසකින් අනුමත කළ නොහැක්කකි. එහෙත් ඒ ඔස්සේ නිර්මාණය වූ අනෙක් සියලු ප්‍රචණ්ඩත්වයන්ද කිසිවකුට කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැකිය. ගමකට පිටස්තරයන් පැමිණ පහර දුන් විට ගම්මුන් ඔවුන්ට පෙරළා පහර දීම සාමාන්‍ය දෙයකි. ඒ තුළ තුවාලකරුවෝ රෝහල්ගත වෙති. දෙපාර්ශ්වයේම සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. එවැනි සිදුවීම් රටේ කොනින් කොන, විටින් විට අපට අහන්නට දකින්නට ලැබේ. එහෙත් 09 දා ඛේදවාචකය ඉන් එහා ගිය තත්ත්වයකි. එම ඛේදවාචකය හරහා නිර්මාණය වූ පසුබිම මේ වන විට රටේ ගමන් මඟට විවිධ පූර්වාදර්ශ එක් කරමින් සිටී.

ඒ තුළ කැලෑ නීතිය අතට ගැනීමත්, ප්‍රචණ්ඩත්වයට අත්පොළසන් දීමත්,කැලෑ නීතිය මෙන්ම ප්‍රචණ්ඩත්වය අනුමත කිරීමත් රටෙහි ගමන්මඟට බරපතළ වැ‍රැදි පූර්වාදර්ශ සපයමින් සිටී.

රථවාහන රාජකාරි කිරීම පොලීසියේ රාජකාරියකි. වාහනවල ගමන් කරන පිරිස බස්සවා ඒවා සෝදිසි කිරීම හෝ රථවාහන රාජකාරි කිරීම සිවිල් ජනයාට පැවරෙන්නක් නොවේ. එය බරපතළ ලෙස නීතිය අතට ගැනීමක් මෙන්ම කැලෑ නීතිය රජය කරවීමකි.

බරපතළ ආර්ථික අර්බුද හමුවේ ජනතාව ඉවසුම් නැති පීඩනයකට මුහුණ දෙමින් සිටී. තෙල් පෝලිම්වල සිටින පිරිස මෙන්ම පෝලිම්වල නොසිටින පිරිස්ද, අනෙක් පැත්තට මහ මඟ හරස් කරන ජනතාවත් මහ මඟ ගමන් කරන පිරිසත් මේ ඉවසුම් නැති පීඩනයේ කොටස්කරුවන්ය. මහමඟ හරස් කරන පිරිසට දැනෙන පීඩනයම එහි ගමන් කරන පිරිසටද දැනේ. එහෙත් මේ පසුබිම තුළ නීතිය අතට ගැනීම කිසිවකුට කළ නොහැක්කකි. ඒත් අද වන විට රටේ විවිධ පෙදෙස්වලින් ඇසෙන දකින ප්‍රවෘත්තිවලින් කියවෙනුයේ නීතිය අතට ගත් පිරිස ගැනය.

රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කෙරෙනුයේ ශ්‍රී ලංකා පොලිසිය විසිනි. ඒත් මේ වන විට පොලිසිය පිළිබඳ කියැවෙන කතා මෙන්ම එයට එල්ල වී ඇති දේශපාලනික හා අනෙකුත් බලපෑම නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පසුගාමීත්වයකට හේතුවක්ව තිබේ.

කුමන පසුබිමක් තුළ වුවද නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩක් තැබිය යුතු නැත. එය රටේ පොදු මහජනතාවට මෙන්ම දේශපාලනඥයන්ටද එක සේ අදාළය. පොලිසිය බලා සිටියදී නිරායුධ අරගලකරුවනට පහරදීමට දේශපාලනඥයන්ට කිසිදු අයිතියක් නැත. එමෙන්ම පොලිසිය බලා සිටියදී දේපළ හානි කරමින්, ගෙවල් ගිනිබත් කරමින් ජනයා සිදුකරන ප්‍රචණ්ඩත්වයද කිසි ලෙසකින් අනුමත කළ නොහැක. එයට කිසිවකුට අත්පොළසන් දිය නොහැක. සාධාරණීකරණයද කළ නොහැකිය. රටේ දේශපාලඥයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් සේම සාමාන්‍ය ජනයාගේ ප්‍රචණ්ඩත්වයද වෙන් කර දැක්විය නොහැක. ඒ සියල්ල තුළ ඇත්තේ ප්‍රචණ්ඩත්වය පමණි.

මේ ප්‍රචණ්ඩත්වය සේම එයට උඩගෙඩි දෙන්නෝද එම අශිෂ්ට ක්‍රියාවලියේ හවුල් කරුවෝ වෙති. ප්‍රචණ්ඩත්වය උසි ගන්වමින් ඇතැම් මාධ්‍ය ගෙනයන සජීව රූපරාමු එයට පාර කැපීමකි. ඇතැම් සමාජ මාධ්‍යකරුවන් මේ ව්‍යසනයේ බරපතළ හවුල්කරුවෝ වෙති.

අරගලයට සති ගණන් ගෙවුණද, කළු සදුදා ගෙවී දින ගණන් ගත වුවද තවමත් ඇතැම් පිරිස නීතිය අතට ගනිමින් ක්‍රියා කෙරේ. ත්‍රස්තවාදී අර්බුදය හමුවේ එල්.ටී.ටී.ඊ.ය උතුරු නැ‍ඟෙනහිර පාලන ප්‍රදේශයන්හි නීතිය අතට ගත්තේය. ත්‍රස්තවාදය නිමා කර දහතුන් වසරක් ගෙවුණද තවමත් එහි පිරිස නීතිය අතට ගනිමින් ක්‍රියා කරනු අසන්නට දකින්නට ලැබේ. කාත්තන්කුඩි වැනි ප්‍රදේශවල ජනයාට තවමත් රථවාහන නීතියක් නැත. හෙල්මට් නැතිව යතුරුපැදිවල ගමන් කරන තරුණ පිරිස ඕනෑ තරම් කාත්තන්කුඩියේදී දැකගත හැකිය.

88/89 දකුණේ පිරිස්ද නීතිය අතට ගත්තේ පොලිසිය හෝ හමුදාව තඹයකට මායිම් නොකරමිනි. අදද තැන් තැන්වල පිරිස නීතිය අතට ගෙන තිබේ. රටක ජනයා නීතිය අතට ගන්නා විට රටක් ගමන් කරනුයේ අරාජිකත්වයටය. ඒ තුළ කියවෙනුයේ රට ගමන් කෙරෙන අාගාධය ගැනය. දිනෙන් දින උග්‍ර වන අර්බුද හමුවේ රටේ අරාජිකත්වය රට තුළ බරපතළ ඛේදවාචකයක් නිර්මාණය කෙරේ. එවැනි ඛේදවාචකයක නිර්මාණය රටේ අනාගතයට එල්ල කරන මරු පහරකට වඩා අනාගතය කුඩුපට්ටම් කිරීමකි. අද අපට අවශ්‍ය රටේ අනාගතය අාගාධයට යෑමට, කුඩුපට්ටම් කිරීමට හෝ එයට මරු පහරක් එල්ල කිරීමට නොවේ. රට ජයගත හැකි අනාගතයක් නිර්මාණය කිරීමකි. ඒ තුළ නීතිය සුරැකෙන රටක ජනයාගේ වගකීම ප්‍රමුඛ කාර්යභාරයකි.

සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ කොතැන ද?

$
0
0
මැයි 26, 2022 01:00
රාජාංගණයේ පිහිටි හත්ථිකුච්ඡි විහාරය

සිරිසඟබෝ රජතුමා රාජ්‍ය පාලනය අතහැර වනගත වූ බව වංශකතාව සඳහන් කරයි. ඔහු පලාගිය ස්ථානය හා හිස දන් දුන් ස්ථානය ගැන පොදු ජනයාගේ ඒකායන විශ්වාසය වූයේ අත්තනගල්ල ය. නමුත් පසුගිය සියවසෙහි මැද භාගය වන විට මේ ගැන පුරාතත්ව විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් අතර කිසියම් මතභේදයක් ඇති විය. ඒ හත්ථිකුච්ඡි වෙහෙර සහ අත්තනගල්ල වෙහෙර පිළිබඳවය. හත්ථිකුච්ජි වෙහෙර පිහිටියේ ගල්ගමුවට නුදුරු රාජාංගණයේය. එය හත්ථිකුච්ඡි නම් වූ පැරණි සංඝාරාමයකි. මෙහි ඇති ශිලාලේඛන ප්‍රමාණය පනහකට වැඩිය. පැරණි බ්‍රාහ්මී ලෙන් ලිපි දෙකක් ද පර්වත ලිපි පනස් හයක් ද පියගැට හා පනාබැමි ලිපි තුනක් ද සලපතළ ලිපි දෙකක් ද ටැම් ලිපියක් ද එහි වෙයි. මේ ලිපිය තවමත් නිරාකරණය නොවූ අත්තනගල්ල-හත්ථිකුච්ඡි දෙවෙහෙරෙහි මතවාද පිළිබඳවය.

‘අතිකුචි‘ වෙහෙර භාවනායෝගීන්ට සුදුසු බව විශුද්ධි මග්ගයෙහි සඳහන්ව ඇත. මෙය මුල දී භාවනායෝගී භික්ෂූන් වැඩවාසය කර පසුව පුළුල් වූවකි. හත්ථිකුච්ජි වෙහෙර නමින් හැඳින්වෙන මෙහි ලෙන් 38ක් ඇති බව මහාචාර්ය නොච්චියේ සෝමානන්ද හිමියෝ පවසති. මෙම වෙහෙරෙහි ක්‍රි. ව. දෙවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා සංවර්ධිතව පැවති බවත් විශාල භික්ෂු ගණයක් වැඩසිටි බවත් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

මෙහි ඇති ලෙන්ලිපිවලින් වැඩි සංඛ්‍යාවක් ‘වහරල‘ ලිපි වන්නේය. මෙම වහරල ලිපි මඟින් ‘විහාර සලාක‘ හඳුන්වන බවත්, වහල් සේවය හඳුන්වන බවත්, විහාර කුටි හඳුන්වන බවත් පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් සඳහන් කර ඇත. මෙහි විශාල ජනතාවක් රැස් වූ බව බුද්ධඝෝෂ හිමියන් සඳහන් කර ඇත.

හත්ථිකුච්ඡි වෙහෙර පිළිබඳ මහාවංශයේ දෙපළක සඳහන් වේ. එනම් (ක්‍රි. ව. 772-777) සත්වන අග්‍රබෝධි රජ ඇත්කුස් වෙහෙරෙහි ප්‍රසාද කර වූ බව සඳහන් කර ඇත. එසේම ක්‍රි. ව. 815-831 රාජ්‍ය විචාර දෙවන දප්පුල රජතුමා දිරාගිය ප්‍රාසාදයක් අලුත්වැඩියා කළ බව සඳහන් කර ඇත.

ඉන්පසුව හත්ථිකුච්ඡි වෙහෙර සාමාන්‍ය ජනතාව අතර, පූජනීය ස්ථානයක් ලෙස වන්දනාවට පාත්‍ර වී පැවතියේය. නමුත් නැවත වැඩි වශයෙන් එය කතාබහට ලක්වූයේ 1971 වසරේ දී සිදු කළ මත ප්‍රකාශයකිනි.

ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා 1965 සාහිත්‍ය විශේෂ කලාපයට ‘සත් කෝරලයේ ශිල්ප ශාස්ත්‍ර‘ නමින් සැපයූ ලිපියක මෙබඳු අදහසක් පළකර ඇත. (මෙය පසුව ඔහු ‘ශාස්ත්‍රීය ලිපි හා කතා‘ යනුවෙන් පළකළ කෘතියෙහි සඳහන් කර ඇත.)

‘වන්නි හත්පත්තුවෙහි මී ඔයෙන් එගොඩ කෝරලයේ ගල්කඩවර නම් ගමට නුදුරු රාජාංගණයේ උස්මාලයක බැඳි පෙර වටදාගෙයකින් වසා තිබුණු දාගැබක් ඇත. මෙම දාගැබ ද අමුතු නිර්මාණයකින් කැපූ ගලින් වටේට බැඳ තිබූ එකකි. මෙම වටදාගේ සිරිසඟබෝ රජු හිස දන් දුන් තැන ගොළු අබා රජ විසින් කළ දාගෙයයි සිතීමට වංශකතා අටුවාවෙන් සාක්ෂි ලැබේ.‘

මෙම පාඨයෙන් අදහස් කරන්නේ සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් තැන සිහිවීම පිණිස ගෝඨාභය රජු එම ස්ථානයේ කළ දාගැබ හස්තිකුච්ඡියේ පිහිටා ඇති බවය. මේ සඳහා මහාවංශයට ලියූ පරිකතාව ඒ සඳහා හේතු සපයන බව ඔහු පවසන්නේය. මෙම මහාවංශ ටීකාව මහාවංශයේ මහානාම හිමියන් පමණක් ලියූ කොටසට ලියූ ටීකාවකි. මෙය මහානාම හිමියන් විසින්ම ලියන්නට ඇතැයි ගෛගර් පවසා ඇත. මෙම ටීකාවට මහාවංශයට නොගත් කොටස් ඇතුළත් කර තිබේ. මහාවංශ ටීකාව මහානාම හිමියන් විසින්ම ලියූවක් නොවන බව පොල්වත්තේ බුද්ධදත්ත මහානාහිමියෝ පවසති. මහාවංශ ටීකාවේ සඳහන් පාඨයක් මුල්කර ගනිමින් චාල්ස් ගොඩකුඹුරේ මහතා අදහස් දක්වා ඇත. එම පාඨය මෙසේය.

‘ගොඨකාභයො තං භවත්තිංසුක්මා අතීත විමහිතමානසො හුත්වා තස්ස පුරිසස්ස ධනං දත්වා රඤ්ඤෝ සිරිසංඝබෝධිනො සරීරස්ස සාධු සක්කච්චං ආළාහනසක්කාරංකාරයිති. අත්ථෝ තස්ස පන ඣාපිකට්ඨානෙ තං නාමිකං ඉස්සර සමණවිහාරතො දක්ඛිණදිසාභගෙ විහාරකූචකාරයිත් දට්ටබ්බො‘

මෙම මහාවංශ ටීකා පාඨයෙහි සඳහන් ‘සරීරස්ස‘ යන වචනය අනුව සිරිසඟබෝ රජතුමාගේ ශරීරය ඉසුරුමුණියට දකුණු දිසාවෙහි ආදාහනය කළ බව සඳහන් වෙයි.

මගියා සිරිසඟබෝ රජතුමාගේ හිස පුවක් කොළයක ඔතා මල්වලින් සරසාගෙන ආ බවත් එය ගෝඨාභය රජතුමාට පිළිගැන්වූ බවත් රජතුමාට එය හඳුනා ගැනීමට නොහැකි වූ බවත් අත්තනගලු වංශය සඳහන් කර ඇත. එයින් පෙනී යන්නේ ඒ වන විට හිස හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බවය. ඒ අනුව නරක් වෙමින් තිබූ හිස ඉසුරුමුණියෙහි දකුණු දෙසින් ආදාහනය කළ බවය.

ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා මහාවංශය ටීකාවේ සඳහන් ඉහත සඳහන් පාඨයෙහි ඇති ‘සරීරස්ස‘ යන වචනය පදනම් කරගෙන 1965 සාහිත්‍ය සඟරාවට ලියූ ලිපියෙහි ඉහත අදහස ඉදිරිපත් කර ඇත. මෙම අදහස මතයක් ලෙස පවතිද්දී මහාචාර්ය නොච්චියේ සෝමානන්ද හිමියන් සාධක ගෙන හැර දක්වමින් එය රාජාංගණයේ හත්ථිකුච්ඡි වෙහෙර බිමෙහි ආදාහනය කළ බව සනාථ කිරීමට හත්ථිකුච්ඡි විහාරවංශය නමැති කෘතියක් 1995දී ලියා එළිදැක්වීය. මේ අනුව සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය වර්තමානය අත්තනගල්ල නොව හත්ථිකුච්ඡි වෙහෙර බව සනාථ කිරීම සඳහා නොච්චියාගම සෝමානන්ද හිමි කෘතියක් ලියද්දී අනිකුත් අය ඒ ගැන අනුමාන කළහ. මහාවංශ ටීකා පාඨයේ සඳහන් ‘සරීරස්ස‘ යන වචනයට පාදක වී සැක සහිත මත ඉදිරිපත් කළහ. මොවුන් අතර, සෙනරත් පරණවිතාන මහතා, සී. ඩබ්. නිකලස් මහතා ප්‍රධාන වන්නේය. සෙනරත් පරණවිතාන මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමු කාණ්ඩයෙහි 185 පිටෙහි මෙසේ පවසන්නේය.

‘මේ උදාරතර ආත්ම පූජාව කරන ලද්දේ අත්තනගල්ලේ යයි කියනු ලැබේ. එය සිහිපත් කරවීම සඳහා අත්තනගල්ලේ කරවන ලද විහාරය අදත් විශිෂ්ට පුණ්‍යතීර්ථයකි‘

එසේ සඳහන් කරන අතරම ඔහු මෙසේ සඳහන් කරයි. එම ඡේදයට පා සටහනක් තබන්නේ 26 අංකය යටතේය. එම සටහනෙහි මෙසේ සඳහන් වන්නේය.

‘දහතුන්වැනි ශතවර්ෂයට අයත් හත්ථවනගල්ල විහාරවංශය ලිවීමේ දී මහාවංශය xxxvi පරිච්ඡේදයෙහි 73-97 ගාථාවල සඳහන් විස්තර තවත් දුර හැඩගස්සාගන්නා ලද්දේය. මහාවංශ විස්තරයේ අත්තනගල්ල ගැන සඳහන් නොවේ. මහාවංශ ටීකාවේ 671 පිටේ සඳහන් පරිදි සිරිසංඝබෝධි රජු ආදාහනය කළ තැන ගොඩනංවන ලද විහාරය පිහිටා තිබුණේ අනුරාධපුරයේ ඉස්සර සමණ විහාරයට දකුණු පැත්තේය.‘

මෙහිද නිශ්චිත ස්ථානයක් ගැන සඳහන් නොවේ. ඉසුරුමුණියට දකුණු පැත්තේය. මෙය තහවුරු කරන විද්වතුන් අතරට ආචාර්ය සී. ඩබ්. නිකලස් මහතා ද එක්වෙයි. ඔහුගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික විස්තරය යන කෘතියෙහි මෙසේ දක්වයි.

‘වර්තමාන අත්තනගල්ල සිරිසංඝබෝධි රජු (247-249) හිස දන් දුන් තැන හැටියට ප්‍රසිද්ධ විය. මීට ඓතිහාසික සාධක නැත. මේ කතාව වෙනස්කම් සහිතව සෑම වංශකතාවකම වාගේ දක්වා තිබේ. ගෝඨාභය සිරිසංඝබෝධි දැවූ තැන වටදාගෙයක් තැනවීය. දෙවන උපතිස්ස මේ ස්ථානයෙහි පස්මහල් පහයක් කරවා රන් ආලේප කළ උළු සෙවිලි කරවීය. දෙවන පරාක්‍රමබාහු වටදාගේ පිළිසකර කරවා තුන්මහල් කරවා විහාර භූමියෙහි තම පියා දැවූ තැන පත්තිරිප්පු හැඩයේ පිළිම ගෙයක් හා සෑයක් ද කරවීය. අත්තනගල්ල වටදාගෙය සිරිසංඝබෝධි රජතුමා දැවූ තැන දැක්වීමට සාදන ලද්දක්ය යන විශ්වාසය බොහෝ මෑතක දී ඇති වූවකි. කලින් සිට රැස්කරන ලද තොරතුරු අනුව රචනා කරන ලද මහාවංශ ටීකාව අනුව සිරිසඟබෝ රජතුමා දැවූ තැන සාදන ලද විහාරය තිබුණේ අනුරාධපුර ඉස්සර සමණ විහාරයට දකුණිනි.‘

ඉහත සඳහන් සිව්දෙනාගේම මූලික අදහස ගොඩනඟා ඇත්තේ මහාවංශ ටීකාවේ ඇති ඉහත සඳහන් කර ඇති ඡේදයේ පාලි ‘සරීරස්ස‘ යන වචනය පදනම් කරගෙනය. .

මෙම තිදෙනාගේම අදහසට වඩා වෙනත් අදහසක් එම්. ඩබ්. විමල් විජේරත්න මහතා මෙසේ සඳහන් කරයි.

‘මහාවංශ ටීකාවේ 671 පිටේ සඳහන් සිරිසඟබෝ රජු ආදාහනය කළ තැන ගොඩනඟන ලද විහාරය පිහිටා තිබුණේ අනුරාධපුරයේ ඉස්සර සමණ විහාරයට දකුණු පැත්තේය යන අදහස සාධක කොට ඇත්තේ යථෝක්ත මහාවංශ ටීකා පාඨයම වෙයි. මහාචාර්ය පරණවිතාන මහතාත් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතාත් යටකී මත පළකිරීම සඳහා උපයෝගී කොටගත් මහාචාර්ය මලලසේකර මහතා විසින් සංස්කරණය කරනු ලැබූ මහාවංශ ටීකාවේ යථෝක්ත පාඨය මලලසේකර මහතා විසින්ම යළි වෙනස්කොට සංස්කරණය කොට එම මහාවංශ ටීකා සංස්කරණයේම ප්‍රස්තාවනාවේ සඳහන් කර තිබේ.‘

එම සංශෝධනය ගැන එම විද්වතුන් දෙදෙනා කතා නොකරන අතර, නොච්චියේ සෝමානන්ද හිමියන් ඒ ගැන සඳහන් කර තිබේ. හත්ථිකුච්ඡි විහාරවංශයේ මෙසේ සඳහන් වෙයි.

‘මහාවංශ ටීකාවේ පැවති ඡේදයේ සරීරස්ස යන පැරණි ශුද්ධ පාඨය අයින්කොට ඒ වෙනුවට සරීරස්ස යනුවෙන් වෙනස් කළ පසු අර්ථකථනයේදී හා කරුණු වටහාගැනීමේදී ඇතිවන ව්‍යාකූලභාවය පිළිබඳ නොසිතීම අවාසනාවකි. එහෙත් ශෝධනය කළ විද්වතාණන් සඳහන් කර ඇත්තේ තමාට දකින්නට ලැබුණු හැම පිටපතකම සරීරස්ස යන වචනය සඳහන්ව තිබුණ නිසා සරීරස්ස යන වචනය තිබූ තැනට සරීරස්ස යන පාඨය යෙදූ බවයි.‘

නැවත මලලසේකර මහතාගේ සංශෝධන ගැන සඳහන් කරන්නේ නම් ඒ මෙසේය.

‘මහාවංශ ටීකාව සංස්කරණය කිරීම සඳහා මහාචාර්ය මලලසේකර මහතා ආශ්‍රය කරනු ලැබූ පුස්කොළ පොත් අතරින් A.J.N. යනුවෙන් හැඳින්වූ මහාවංශ ටීකා පුස්කොළ පොත් තුනේම අදාළ ස්ථානයේ තිබී ඇත්තේ ‘සිරිසංඝබෝධිනො සරීරස්ස‘ යන පාඨය වේ. A.J.N. යනුවෙන් හැඳින්වූ මහාවංශ ටීකා පොත් තුන පිළිවෙළින්, A - බලපිටියේ වැලිතර අභයරුක්ඛාරාමය

J - කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය

N - පැරීසියේ ජාතික පුස්තකාලය

මේ අනුව මහාචාර්ය මලලසේකර මහතා මහාවංශ ටීකාවේ 671 පිටුවෙහි 6 ඡේදය යටතේ පළ කළ අදහස එතුමා විසින්ම එම කෘතියේම ප්‍රස්තාවනාවේදී ම සංශෝධනය කර තිබේ. මෙම සංශෝධනය ගැන පරණවිතාන මහතාත්, චාල්ස් ගොඩකුඹුර මහතාත් අවධානය දක්වා නොමැත. මේ අනුව මහාවංශ ටීකාව ද සිරිසඟබෝ රජතුමාගේ හිස ඉසුරුමුණිය විහාරය දකුණු දෙසින් ආදාහනය කළ බව සඳහන් කරයි. තවද එතන චෛත්‍යයක් ගොඩනැඟූ බව ද සඳහන් වේ. එළු අත්තනගලු වංශය ද මෙම සිද්ධිය සඳහන් කරයි.

මේ අනුව අපට පෙනී යන්නේ ඉසුරුමුණියේ දකුණුපසින් සිරිසඟබෝ රජතුමාගේ හිස ආදාහනය කර චෛත්‍යයක් ගොඩනැඟූ බවය. මෙම ස්ථානය වර්තමාන අත්තනගල්ල නොව වෙස්සගිරියේ සිට කි. මී. 45 පමණ දුරින් පිහිටි හත්ථිකුච්ඡි වෙහෙර ලෙස සමහරු පවසති. කෙසේ නමුත් ක්‍රි. පූ. යුගයේ පටන් ආරම්භ වූ සිද්ධස්ථානයක් ලෙස හත්ථිකුච්ඡිය හඳුන්වා දිය හැක. මෙය සිරිසඟබෝ රජතුමාගේ රාජ්‍ය කාලය වන විටත් පෞරාණික විහාරයක් විය. මෙය ලෙන් විහාරයක් ලෙස විශුද්ධි මග්ගය සඳහන් කරයි. එසේම මෙය විතර්ක චරිතයාට භාවනාවට සුදුසු ස්ථානයක් ලෙස ද හඳුන්වයි.

අත්තනගලු වංශය අනුව, ‘සිරිසඟබෝ රජතුමා දකුණු වාසල් දොරින් නික්ම මායා රටට යන්නේ ක්‍රමයෙන් ගොස් අත්තනගලු නම් මහත් ආරණ්‍ය ස්ථානයට වන්නේය.‘

ඉහත පාඨය අනුව සිරිසඟබෝ රජතුමා පලා ගියේ මලය දේශයේ මායා රටේ අත්තනගලු නම් ආරණ්‍යයටය. මෙම සිද්ධිය දහතුන්වැනි සියවසේ ලියවුණ පූජාවලියේ 33-34 පරිච්ඡේදවල සඳහන් වෙයි.

‘ගොළුඅබාරජහු ඇවිත් රජය ගත් කල ඔහුගේ භයින් රජය හැර වල්වැද මහණ වෙසින් මායාරට කැලණි මහ වෙහෙරට ඓශනි දිග් භාගයෙහි අත්වනගලු නම් වෙහෙර වටදාගෙය පිහිටි ස්ථානයෙහි වල සැඟවී ගත.‘

මෙම පූජාවලී පාඨය අනුව අත්තනගල්ල කැලණි මහ වෙහෙරට ඊශාන දෙසින් පිහිටි බව විශ්වාස කළ හැක. වර්තමාන කැලණි රජමහ වෙහෙරින් හමුවූ ක්‍රි. ව. දසවැනි සියවසට අයත් සෙල්ලිපියකින් එම විහාරය ‘කැලණි රජමහ වෙහෙර‘ යන පාඨයෙන් හඳුන්වා දී තිබීම නිසා පූජාවලිය සඳහන් කරන කැලණිය එය බවත් එයට ඊශාන දෙසින් අත්තනගල්ල පිහිටා ඇති බැවිනුත් අත්තනගල්ල ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැක. රාජාවලිය ද අත්තනගල්ල කැලණි වෙහෙරට ඊශාන දෙසින් පිහිටි බව සඳහන් කරයි.

මෙම කාලසීමාව වන විට අත්තනගල්ල වෙහෙර බොහෝ සේ ප්‍රසිද්ධ වන්නට ඇත. එහි තිබූ වටදාගෙය සහ අටැස් පිළිමගෙය වන්දනාකරුවන්ගේ පූජාවන්ට ලක්වන්නට ඇත. තිසර සදසෙහි ද අත්තනගල්ල ගැන සඳහන් වන බව පෙන්වා දිය හැක. සැවුලා දෙවිනුවර සිට දැදිගම දක්වා ගමන් කිරීමේදී අත්තනගල්ලේ ඕපත් ඇල්ලේ නැවතී සිට ඒ අසල පිහිටි වටදාගෙය සහ අටැස් පිළිමගෙය වන්දනා කර එහි නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටී. මෙහි සඳහන් වන වටදාගෙය සහ අටැස් පිළිමගෙය අත්තනගල්ල බව පැහැදිලිය.

තුන්වන විජයබාහු (ක්‍රි. ව. 1232-1236) රජතුමාගේ ආදාහනය ගැන කතා කරන සෙනරත් පරණවිතාන මහතා 1958 දඹදෙණියේ විජයසුන්දරාරාමයේදී පැවති සාහිත්‍ය දේශනයේදී මෙසේ කීවේය.

‘අවුරුදු හතරක් රජ හැටියට ඉඳලා අපවත් වුණාට පස්සේ රජ්ජුරුවෝ ආදාහනය කළාය කියලා කියන්නේ අත්තනගල්ලෙ. එතන චෛත්‍යයක් හදල තියනව. රජවරුන් ආදාහනය කළ තැන චෛත්‍යයක් හැදීම ඒ කාලෙ සිරිතක්. ඒ උනත් අත්තනගල්ලේ ආදාහනය කළ නිසා සිරිසඟබෝ කියන නාමය ගැළපෙන්න ඇති. ඉතින් ඒ රජ්ජුරුවන්ගේ කාලයේ දී මායාරට තරමක් දුරට දියුණු උනා කලින් තිබුණට වැඩිය. ඒ උනත් එතුමාගේ අධිපතිකම තිබුණේ මායා රටේ විතරයි.‘

මේ අනුව තුන්වන විජයබාහු රජතුමා අත්තනගල්ලේ දී ආදාහනය කළ බවත් එය මායා රටේ තිබුණු බවත් පරණවිතාන මහතා විශ්වාස කරන බව පැහැදිලි කළ හැකිය. එසේම,

‘අත්තනගල්ලේ දී ආදාහනය කළ නිසා සිරිසඟබෝ කියන නාමය ගැළපෙන්න ඇති‘

මෙම අදහස ඉතා වැදගත් වූවකි. එතුමා එහිදී සිරිසඟබෝ රජු අත්තනගල්ලේ දී ආදාහනය කළ බව පිළිගෙන ඇති බැවින් සිරිසඟබෝ රජතුමා අත්තනගල්ලේ දී ආදාහනය කළ බව ඔහු ද විශ්වාස කළ බව පෙනේ. වර්තමානයේ අත්තනගල්ලේ දඹදෙණි චෛත්‍යය යනුවෙන් හඳුන්වනු ලබන චෛත්‍යය එම තුන්වන විජයබාහු රජතුමා ආදාහනය කළ ස්ථානයෙහි ගොඩනැඟූ චෛත්‍යය ලෙස සඳහන් කළ හැක. මෙයින් අපට පෙනී යන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමු කාණ්ඩය පළ කිරීම 1957දී සිදු වූ බව අප පිළිගන්නා විට සෙනරත් පරණවිතාන මහතා එහි 185 පිටුවෙහි සිරිසඟබෝ රජතුමා අත්තනගල්ලෙහි ආදාහනය කළ බව සැක සහිත යයි පාදක සටහනකින් කළ ප්‍රකාශය 1958 දඹදෙණි සාහිත්‍ය උත්සව දේශනයේදී වෙනස් වූ බවකි.

‘තුන්වැනි විජයබාහු රජතුමාට පසුව රජ බවට පත් දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1236-1270) රජතුමා අත්තනගල්ල වටදාගෙය තුන්මහල් කොට කරවා තම පියා ආදාහනය කළ තැන මහා සෑයක් ද බැඳවීය. එහි අටැස් පිළිමගෙයක් ද කරවීය.‘

යනුවෙන් මැන්දිස් රෝහණදීර මහතා ඔහුගේ ‘බුදුසමය නිරිත දිග‘ යන කෘතියෙහි සඳහන් කර ඇත. මයුර සංදේශකරු සහ සැවුල් සංදේශකරු තම දූතයාට අත්තනගල්ලේ දී වන්දනා මාන කිරීමට පවසනුයේ මෙම අටැස් පිළිම ගෙයයි. ක්‍රි. ව. 1258 වන විට එතුමා අංශභාග රෝගයෙන් ඔත්පල විය. එවිට දේවප්‍රතිරාජ ඇමැති කැඳවා තමා ඇරඹි ආගමික කටයුතු තවත් ඉදිරියට ගෙන යන ලෙස සඳහන් කළ බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර පවසයි. එම රජතුමාගේ අනුග්‍රහය ඇතිව පතිරාජ පිරිවෙන එහි ගොඩනඟා එවකට මහාසාමි තනතුර දැරූ අනෝමදස්සී ස්වාමීන් වහන්සේට එය පවරාදීය.

තවද 1415දී දැදිගම රජ බවට පත්වූ හතරවැනි පරාක්‍රමබාහු සමයේදී එතුමා විසින් කළ කාර්යයන් සඳහන් කරන සද්ධර්මරත්නාකරය මෙසේ කියයි.

‘තවද අත්තනගලු වෙහෙරෙහි දෙමහල් සාංඝික සංඝාරාමයක් ද දාගැබ් ද ගල්ලෙනක් ද ප්‍රථමාරම්භයෙහි පටන් කරවා සමෘද්ධ කොට කලක් පවත්නා ලෙස ලාභ සත්කාර පවත්වා‘

පළමුවන විමලධර්මසූරිය රජතුමා ලංකාතිලකය, ගඩලාදෙණිය සහ අත්තනගල්ල විහාරය ප්‍රතිසංස්කරණය කරන ලද බව කොටගම වාචිස්සර හිමිපාණන්ගේ ‘සරණංකර සංඝරාජ සමය‘ නම් කෘතියෙහි සඳහන් කර ඇත.

ඉහත කරුණු මැනවින් සලකා බැලීමේදී සිරිසඟබෝ රජතුමාගේ හිසසුන් සිරුර අත්තනගල්ලේ දී ආදාහනය කළ බවත්, එතුමාගේ හිස ඉසුරුමුණිය අසල ස්ථානයක ආදාහනය කළ බවත් සඳහන් කළ හැකිය. ඉසංක මල්සිරි මහතා ඔහුගේ ‘ඉසුරුමුණිය හා වෙනත් ලිපි‘ යන කෘතියෙහි,

‘සංඝබෝධි රජුගේ අභාවයෙන් පසුව ගෝඨාභය විසින් ආදාහන කෘත්‍ය සිදු කළ තැන ඉසුරුමුණි විහාරයෙන් දකුණු දෙස ඔහුගේ නමින් විහාරයක් කරවීයයි මහාවංශ ටීකාව දක්වන පුවත ද ... එම විහාරය කුමක්දැයි ස්ථිර නැත.‘

යනුවෙන් පවසමින් සංඝබෝධි විහාරය අද දකින්නට නැති බව පවසයි.

අත්තනගල්ල හත්ථිකුච්ඡි මතවාද ගැන සඳහන් කිරීම අවසන් කිරීමට උපුටනයන් දෙකක් ඉදිරිපත් කිරීම සුදුසුය. ‘හත්ථිකුච්ඡි විහාර වංශය‘ නමැති කෘතිය ලියූ ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමිපාණන්ගේ කෘතියේ මෙසේ සඳහන් වේ.

‘... සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් තැන කොතනද යන කරුණ නිරාකරණය කරලීම සඳහා අවංක චේතනාවෙන් ක්‍රියා කළ දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඒ සඳහා ඓතිහාසික තොරතුරු සෙවීමේ කොමිටියක් පත් කරන ලදි. මාසිකව රැස්වීම් පවත්වමින් දෙවසරක් පමණ පැවති එම කොමිටි රැස්වීම්වලට මා හා එක්ව සහභාගි වූ...‘

එසේ සඳහන් කළ ද එම කොමිටියේ වාර්තාවේ සටහනක් හෝ නිගමනය හෝ එහි සඳහන් කර නොමැත.

‘හත්ථිකුච්ඡි විහාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික තොරතුරු සෙවීමේ කොමිටිය වෙත මා විසින් ඉදිරිපත් කළ වාර්තාව නැවත සකස් කිරීමෙන් මේ පොත ලියන ලදි.‘

ඒ අනුව හත්ථිකුච්ඡි විහාරවංශය කොමිටියේ නිගමනයක් හෝ අදහසක් නොව ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමියන්ගේ අදහස් බව සැලකිය හැකිය.

මෙම කොමිටිය අවුරුදු දෙකක් රැස්වුවද නිගමනයකට ඒමට නොහැකි වූ බව සඳහන් කරන ඩබ්. පී. විජයපාල වීරවර්ධන මහතා සඟබෝ පුවත හා හත්ථිකුච්ඡි නමින් ලිපියක් ලියමින්,

‘එම විද්වත් කමිටුව විසින් වසර දෙකක් තිස්සේ කරන ලද විමර්ශනවලින් හත්ථිකුච්ඡිය සඟබෝ පුවතට සම්බන්ධ ස්ථානයක් ලෙස නිගමනය නොවීය යනුවෙන් සඳහන් කරයි.

මේ අනුව පෙනී යන්නෙ අත්තනගල්ල හත්ථිකුච්ඡි මතවාදය ප්‍රමාණාත්මක උගතුන් අතර, සිදුවන මතවාදයක් මිස පටලැවිල්ලක නිරාකරණයක් නොවන බවය. අත්තනගල්ල තවමත් විරාජමානව පටලැවිල්ලකට හසු නොවී මතවාදය දෙස උපේක්ෂා සහගතව මුහුණදෙමින් සියනෑ කෝරලයේ ප්‍රමුඛ වෙහෙරක් ලෙස දෙස් විදෙස්හි පතළ භික්ෂු ගණයක් සහිතව වැජඹෙන්නේය.

ආර්. ඇම්. පී. විජේසෝම

 

ගෝවේ තිබෙන්නේ සිරි රහල් හිමි දේහය ද?

$
0
0
මැයි 26, 2022 01:00

සිංහල - සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන කෝට්ටේ යුගයේ විසූ සබස් පරම ඉසුරු සිරි රහල් මාහිමියන්ගේ දේහය පිළිබඳ නොයෙක් මති මතාන්තර බොහෝ කලක් තිස්සේ පැවතගෙන එයි. කෝට්ටේ රජ කළ සිරි පැරකුම්බා රජුගේ පුත් තනතුරේ වැඩුණු දෙමටාන කුමරු හෙවත් වීරසුන්දර ජයබාහු කුමරු උපන්නේ ක්‍රි.ව. 1408 දීය. පියා වීරබාහු නම් විය. සීලවතී හෙවත් ස්වර්ණාවතී, වැලිතොට කීරවැල්ලේ කුමරිය මව වූවාය.

“කුලග මිණි පිවිතුරු

දෙමටාන ගම කඳවුරු

තොටගමු වැසි සොඳුරු

උතුරුමුල මහ තෙරිඳු මුණුබුරු”

(කාව්‍යශේඛරය)

ක්‍රි.ව. 1491 දී අම්බන ඉඳුරුගිරි ලෙනේදී අපවත්වූ රාහුල මාහිමි දේහය බොහෝ කාලයක් නරක් නොවී තිබී ඇත. මෙයට හේතුව ගුරුහිමියන් වන මහ වීදාගම මාහිමියන් කෙන්දකට ගෙන වැළඳූ සිද්ධාලෝක රසය නම් තෙල් වර්ගය ගුරුහිමි විහාරයේ නොමැති විටක රහල් හිමියන් එක වර වැළඳීම බව පතපොතේ සඳහන් වේ. මෙම තෙල් වැළඳීමෙන් සිහිසුන්වූ හිමියන්ගේ දේහය දින 7ක් කිරි ඔරුවක බහා තැබීමෙන් සිහිය ලැබී ඇති බවත් මේ තෙල්වල බලයෙන් රහල් හිමිට ප්‍රබල මතක ශක්තියක් සමඟ සරසවි වරම් හිමිවූ බව ද කියැවේ. එහෙත් එය පරෙවි සංදේශයේ සඳහන් වන්නේ කඳ කුමරුගේ වරම වශයෙනි.

“කඳ කුමරිඳු වර ලද පසළොස් වයස

වදහල රහල් වැඩි තැන් කළ රැව් සදෙස”

(පරෙවි සඳෙස)

ගණේගොඩැල්ලේ පතිරාජ පිරිවෙනේ උතුරු මුල මහ තෙරිඳු ළඟ මහණ වූ මේ හිමියන්ගේ පැවිදි නම වූයේ වාචිස්සර ය. උතුරු මුල මහ තෙරුන්ගේ පැවිදි නම වූයේ රාහුලය. තම මුත්තනුවන්ගේ පැවිදි නම මේ හිමියන් ගෞරව වශයෙන් භාවිත කළ බව පෙනේ. ජනවහරේ මහ වීදාගම මා හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් සඳහන් වේ.

තොටගමු විජයබා පිරුවනේ සිටිමින් ශාස්ත්‍රීය පොතපත ලියමින් මහත් කීර්තියට පත් වාවිචිස්සර රාහුල හිමි මාදු ගඟේ පෝය ගෙයක් තැනූ බව කෝකිල - සංදේශයේ කවියකින් කියැවේ.

“තොටගමු පාය රැඳි මහ තෙරිඳු ගුණ හිමී

සත සැපසේය යන ලෙස රැක තමන් දිවී

කළ සලමේය තරකර කරවූ බැහැවී

වැලිතොට පෝය සිරි දැක වැඩිනේ මැනවී”

(කෝකිල සංදේශය 85 කවිය)

සවැනි සිරි පැරකුම්බා රජු සමයේ මහත් කීර්තිමත්ව වැජඹුණු රහල් හිමියන්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව උන්වහන්සේගේම කාව්‍යශේඛර මහා කාව්‍යයේ මෙසේ දක්වා ඇත.

“සව්සත කෙළ පැමිණි

ගුරුවක් දෙරණ සපැමිණි

පිරිසිදු සිල් ගිහිණි

සියල්ලෝ වියතුනට සිළුමිණි”

“තෙවලා දැන හෙයෙන

දස අත යෙහෙන් වැජඹෙන

විජයබා පිරුවන

කියන මේ බණ අසමි සතොසින”

සවැනි සිරි පැරකුම්බා රජුට පක්ෂපාතීව කටයුතු කළ නිසා හය වැනි බුවනෙකබා රජු රාහුල මාහිමියන් කෙරේ එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැත.

මේ හේතුව කරන කොටගෙන සිරි රහල් හිමි වසර 30ක් පමණ අප්‍රසිද්ධව වැඩ වාසය කළ බව සඳහන්ය. අම්බන ඉඳුරු ගිරි ලෙනේ නරක් නොවී තිබුණු රහල් හිමියන් දේහය ගැන දැනගත් පෘතුගීසි දේවගැතිවරයකු වූ ප්‍රැන්සිස් ෂාවියර් 1552 දී රහල් හිමියන්ගේ දේහය, ඉන්දියාවේ ‘ගෝව‘ ට ගෙන ගොස් ඇත. මේ බව ප්‍රාදේශීය ජන වහරේ ඇති මේ කවි දෙකින් පැහැදිලි වේ.

සොඳුරු රාහුල අපත් වී සත දහස සිව්සත තෙළෙස වේ

ඉඳුරු නරනිදු සවැනි බුවනෙක බාහු සපුමල් රෝස වේ

සතුරුකම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසාවේ

ඇදුරුගේ කුණු ලෙනෙන් ගත්දින දනෝ යුදකළෙ ඒ නිසාවේ

සතුරු ප්‍රතිකල් ෂාවියර් සෙන්පතිහු මෙලකට පත් වතාවේ

ඉඳුරු ගල ගල් ලෙනෙහි යක්සෙන් අරක් ගනිමින් තිබු මනාවේ

උතුරු අවුරුදු දහස් ගණනක් පවතිනසේ කළ මතුරු ජීවේ

උතුරු මුල පුත් රහල් තෙරිඳුගෙ සිරුර ගෙන ගියෙ පුරට ගෝවේ

සිරි රහල් හිමියන්ගේ ජීවිතයේ අවසන් කාලයේ කෝට්ටේ රජකළ දොන් ජුවන් ධර්මපාල රජු ක්‍රිස්තියානිය වැලඳගත් හෙයින් ප්‍රැන්සිස් ෂාවියර්ට රාහුල හිමි දේහය ගෙන යන්නට අවසර ලැබෙන්නට ඇතැයි සිතිය හැකි වේ. මෙසේ රජුගේ අනුග්‍රහය ලැබුණු නිසා මේ පුවත රහසිගතව තිබෙන්නට ඇත. ෂාවියර්ට දේහය පහසුවෙන් ගෙනයන්නට අවසර ලැබී නැති බව ඉහත දැක්වූ කවි දෙකෙන්ද පැහැදිලි වේ.

ප්‍රැන්සිස් ෂාවියර් මෙහිදී මරණයට පත්වී, ඔහුගේ දේහය ගෝවට ගෙන ගියේ නම් ප්‍ර‍ෙද්ශවාසීනට ඒ සඳහා විරෝධය දක්වන්නට අවශ්‍යතාවක් නැත. එසේ නම් මේ දේහයට තුවාල සිදුවීමට ද හේතුවක් නැත.

ජනතාව රහල් හිමි දේහය ගෙනයාමට විරුද්ධව සටන් වදින විට දේහයට තුවාල සිදුවී ඇති බව පෙනේ. ජේ.ඩී.ආර්. බිරොක් මහතා 1856 දෙසැම්බර් 05 දින ලබාදුන් වාර්තාවක මේ තුවාල ගැන සඳහන් වන බව 1931 දෙසැම්බර් 01 දින “කැතලිකන් මැසෙන්ජර්” නම් පුවත්පතේ සඳහන් කර ඇත.

ක්‍රි.ව. 1552 පෙබරවාරි මස ෂාවියර්තුමා ගෝවයෙන් ලංකාවට පිටත් වූ බව ඔහුගේ ජීවිත කතාවේ සඳහන් වේ. මැයි මස මුලදී මොහු ලංකාවට පැමිණ ඇත. සිරි රහල් දේහය පැහැරගත් ෂාවියර් දේවගැති තැන එය රැගෙන මලක්කාවට ගොස් ඇති බව කියැවේ. ෂාවියර්තුමා බුදු දහම වැලඳගත් අයකු බව ද සඳහන්ය. “ආතර් ලිලී ” නමැති ඉංග්‍රීසි ජාතික විද්වතකු ලියන ලද “බුද්ධා ඇන්ඩ් බුඩිසම්” පොතේ මේ බව සඳහන්ය.

“දකුණු බුද්ධාගම කතෝලික ක්‍රිස්තියානි ආගමට වඩා ආත්මය ගලවා ගන්නට පුළුවන් සත්‍ය වූ ආගමකි. එය මට අවබෝධ වී තිබේ” යන වදන ෂාවියර්තුමා පවසා ඇති බව එම ග්‍රන්ථයේ සඳහන් වේ. 1506 අප්‍රේල් 07 උපන් ෂාවියර් දෙවගැතිවරයා මියගියේ 1555 බව සඳහන් වේ.

රහල් හිමි දේහය ගෝවට ගෙන ගියේ 1552 වර්ෂයේදීය. ප්‍රතිකාලුන්ම ලියන ලද ඔහුගේ ජීවිත කතාවේ සඳහන් පරිදි ෂාවියර්තුමා මළේ 1555 දී නම් 1552 දී ඉඳුරුගිරි ලෙනෙහි දේහය තිබිය හැකිද? ෂාවියර්තුමාගේ මළ සිරුර මලක්කාවේ සිට ලංකාවට ගෙන එද්දී එය ගෙනා නැව ගල් පරයක හිරවීමෙන් කැඩී බිඳී ගිය අතර සිරුර විනාශවී ඇටසැකිල්ල ද පොඩි වී ගිය බව වැඩිදුරටත් සඳහන් වී ඇත. මළසිරුරේ ඉතිරිය ගෙනැවිත් ජයවර්ධනපුර කෝට්ටේ පල්ලියක තැන්පත් කළ බව ද කියැවේ. මෙය මෙසේ නම් ගෝවේ තිබෙන්නේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහයම බව සනාථ වේ.

අපගේ මතකයෙන් ඈත්ව තිබූ හෙයිනුත් ක්‍රිස්තු භක්තිකයන් කලක් පටන් පුද පූජා කරන හෙයිනුත් මෙය ෂාවියර්තුමාගේ දේහය යයි පිළිගෙන ඇත. එහෙත් ගෝවේ තැන්පත්කර ඇති දේහය සිරි රහල් හිමියන් ගේ දේහයම බව ඉහත කරුණු අනුව සනාථ වනු ඇත.

 කලාභූෂණ

බන්දුල සේනානායක

 

සිහි විකල්ව මියගිය හම්බන්තොට සුදු දිසාපති

$
0
0
මැයි 26, 2022 01:00

ඉතිහාසයේ නොලියවුණු කතාවක්

රුහුණු රටට ඇත්තේ රාවණා යුගය තරම් ඈත ඉතිහාසයක් බව සඳහන්ය. වසර පන්දහසකටත් වඩා ඉපැරණි විල්ගම් වාරි කර්මාන්තයන්හි නටබුන් හා අවශේෂ එහි අදත් තැන තැන දැක ගන්නට ලැබේ. ඊටත් වඩා ඈත ඉතිහාසයක් රුහුණු පොළොව යට වැළලී සැඟවී තිබේ.

ගොවිතැනට සුදුසු පොළොවත් භූගෝලීය පිහිටීමත් නිසාම කෘෂිකාර්මික වූත්, දැහැමි වූත් ශිෂ්ටාචාරයක් එදා තිබෙන්නට ඇතැයි නිසැකවම කිව හැකි වේ. පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණිකයන් පොළොවට සමතලා කරන ලද රුහුණේ ඒ දැහැමි කෘෂි ජීවන රටාව සහිත සමාජය සියම් මහා නිකාය ඇරඹීමත් සමඟම යළි පුනර්ජීවයක් ඇති කළේය.

ඕලන්ද ආක්‍රමණිකයන් රුහුණු රටින් පලවා හැරීමට ගිහි නායකයන් සමඟ එක්ව නායකත්වය දුන්නේ රුහුණු සපරගමු දෙපළාතේ මහා සංඝරත්නයයි. සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ එකී සටන්වලට නායකත්වය දුන් ඒ දෙපිරිසටම සන්නස් මඟින් නින්දගම් පවරා දීමෙන් ඒ බව ඔප්පු වෙයි.

ඇඹිලිපිටිය, පනාමුරේ, පදලංගල, තුංකෙම, පල්ලේගම අක්කර දහස් ගණනක නින්දගම් ඊට උදාහරණය. සංඝනායක වේහැල්ලේ ධම්මදින්න මාහිමිපාණන්ගේ ගිරුවාපත්තුවේ කසාගල විහාරයට ද අක්කර දහසක නින්දගමක් රජුගෙන් ලැබිණි. සෙංකඩගල රජුගේ නියෝගය පරිදි වීරකැටියේ සීගල විහාරය කර වූ ගිරිවාපත්තුවේ දොන් හෙන්ද්‍රික් වණිග චිත්තාමණී මොහොට්ටි කොන්ස්තන් ද සිල්වාට ද විශාල දේපළක් ලැබුණේ ලන්දේසින් රුහුණෙන් පලවා හැරීමට ජනතාව එක් රැස් කිරීම හේතුවෙනි.

මෙරට මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින් යටතට පත් වූ පසු ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් රුහුණේ ගොවි ජනපද විනාශ කර දැමීමට නියෝග කළේය. ඒ අනුව හම්බන්තොට ප්‍රදේශය භාර යුද හමුදා ආඥාපති වශයෙන් කටයුතු කළ කපිතාන් චාල්ස් ඩ්‍රිබර්ග්ගේ මෙහෙය වීමෙන් විදෙස් කුලී හමුදාව ගිරුවාපත්තුවේත්, මාගම්පත්තුවේත් සියලු ගොවි බිම් වනසා දැමූහ. සියලු වැව් අමුණු කඩා දැමිණි. කෙත්වතු නිවෙස් ගිනිබත් කෙරිණි. වෙල්ලස්සේ කැරැල්ලෙන් අමු සොහොනක් බවට පත් වූ ඌවත්, රුහුණත් දෑසින් දුටු වෛද්‍ය ජෝන් ඩේවි ලියූ කෘතියක සඳහන් වන්නේ ගිනිබත් කළ ගම්මානවල අලු යටින් මිනිස් ඇටකටු මතු වී තිබෙනු දුටු බවය.

මේ වෙල්ලස්ස කැරැල්ලෙන් පසු හම්බන්තොටට පත්ව ආ මුල්ම බ්‍රිතාන්‍ය උප දිසාපතිවරයා හෙන්රි ජෝන්ස් ජෝන් ය. ඔහු හම්බන්තොටට එන විට ඉතිරිව තිබුණේ ස්වභාවිකව ලේවායේ මිදෙන මුහුදු ජලයෙන් ලැබෙන ලුණු අස්වැන්න පමණකි. එය ලන්දේසීන්ට ද, පෘතුගීසින්ට ද ධනය ලබා දුන් සම්පතක් විය. එබැවින් ජෝන්ස් ජෝන් ඒවා වැඩි දියුණු කිරීමට මුලින්ම පියවර ගත්තේය.

කෘෂිකර්මාන්තයක් නොමැති තැන දිළින්දන්ව සිටි හම්බන්තොට ගොවි ජනතාව ලුණු ලේවායේ කුලියට වැඩ කිරීමට ගියහ. වෙල්ලස්සත් රුහුණත් වනසා දැමීමට දායකත්වය දුන් හමුදා ආඥාපති කපිතාන් ඩ්‍රිබර්ග් මෙන්ම ඔහුගේ බිරිඳ ද මිය ගියේ හම්බන්තොටදීය. සිවිල් සේවකයකු වූ තරුණ ජෝන්ස් ජෝන් හම්බන්තොට උප දිසාපති ලෙස පත් කර එවීමට තෝරාගෙන ඇත්තේ උඩරට යටත් කර ගන්නට සිය කූට උපාය මෙහෙය වූ ජෝන් ඩොයිලිය.

ඔහු හම්බන්තොටට පැමිණ පදිංචි වී ඇත්තේ සුවිසල් ඕලන්ද බංගලාවකය. හම්බන්තොට පිළිබඳව තරුණ උප දිසාපතිවරයාට උපදෙස් දුන්නේ මාගම්පත්තුවේ බටහිර වලකඩ මහවිදානාරච්චිරාලය. ඔහු පදිංචි වී සිටියේ වලවේ ගංමෝදර අසල වලව, මැදගම, ගිනියංගොඩය. ඔහුගේ මීමුත්තාට ද සෙංකඩගල රජවාසලින් නින්දගමක් අයිතිව තිබිණි. යමක් කමක් තිබීම හේතුවෙන් ඔහු ද ඉංග්‍රීසින්ගේ හිතවතකු බවට පත්ව සිටියේය.

ඔහුගේ උපදෙස් මත ඉංග්‍රීසි උප දිසාපතිවරයා ලුණු ලේවායන්වල නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළේය. මිරිජ්ජවිල, හම්බන්තොට, බුන්දල වැනි ලේවායන්වල නිපැයුම වැඩි කළ පසු ඔහු පළටුපානට සිය ඉලක්කය යොමු කළේය. ඒ වනවිට හම්බන්තොට වන සතුන් බහුලව ගැවසුණේ වනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙනි. ඒ හේතුවෙන් තුවක්කු රැගත් දඩයක්කාර සුද්දන් ද වැඩිපුර ගැවසුණේ හම්බන්තොටය.

මේ වනගහනය මැද යලට ගොවිතැන් කිරීම යළි ඇරඹූ නිසා බ්‍රිතාන්‍ය යුගයේ දී එම පෙදෙස ‘යාල’ බවට පත් වූ බව ද කියවේ. පළටුපාන පිහිටියේ යාල වනාන්තරයට මායිම්ව මුහුද අසලිනි.

ජනශූන්‍ය පෙදෙසක් වූ බැවින් හම්බන්තොට පාරවල් දක්නට නොවීය. තිබුණේ අඩි පාරවල් පමණකි. එබැවින් හම්බන්තොටින් රුවල් ඔරුවක නැගී බුන්දල පතිරාජයට ගොස් එහි ගම්භාරගෙදර ලැගුම් ගෙන බුන්දල ගැමියන් සමඟ පළටුපාන ලේවායට යාම උප දිසාපති ජෝන්ස් ජෝන්ගේ අරමුණ වී තිබිණි.

මේ වනවිට ඉංග්‍රීසින් උඩරට රාජධානිය ආක්‍රමණය කර රජු ඉන්දියාවට පිටමං කර වසර හයක් ගත වී තිබිණි. ජෝන්ස් ජෝන් සමඟ බුන්දල ගම්වාසීන් ද වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා තුවක්කු රැගත් ආරක්ෂකයන් පිරිසක් ද වූහ.

ඔවුහු උස් පලුගස් මත දඬු මැසි ඉදිකළහ. අඳුර පැතිරෙත්ම වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගිනිමැල දැල් වූහ. සති කිහිපයකට පසු පළටුපානේ නිෂ්පාදිත ලුණු රුවල් ඔරුවලින් හම්බන්තොට ගුදම් වෙතට රැගෙන යාම ඇරඹිණි. 1821 අගෝස්තු මාසයේදී යාල වනාන්තරය ද දැඩි හිරු රැසින් හෙම්බත්ව තිබිණ.

උප දිසාපති ජෝන්ස් ජෝන් ද පළටුපාන ලේවාය සමීපයේ දඬු මැස්සක නිදා සිටිනු දක්නට ලැබිණි. එදින පස්වරුවේ හදිසියේම උප දිසාපතිවරයා දඬුමැස්සේ සිටියදී මරු විකල්ලෙන් මෙන් ‘හූ’ හඬ කිහිපයක් තැබුවේය. ඇඳ සිටි ඇඳුම් ඉරා දමමින් අස්වාභාවික ලෙස මරහඬ තලන්නට වූයෙන් ගැමියෝ ද ඔහුගේ අතවැසියෝ ද බියට පත් වූහ.

ඔහුගේ ස්වරූපය කෙතරම් බියකරුවීද යත් අන් අය ඔහු අසලට ළංවීමටත් බිය වූහ.

ඔහු අසලට ආ මහ විදානාරච්චිරාළගේ අදහස වූයේ ඔහුට විෂඝෝර සර්පයකු දෂ්ට කරන්නට ඇති බවය. එබැවින් ඔහු දන්නා මන්තර මතුරමින් තරුණ උප දිසාපතිවරයා සන්සුන් කිරීමට උත්සාහ ගත්ත ද ඔහුගේ මරලතෝනියේ අඩුවක් නොවීය.

සමහරකුගේ අදහස වූයේ ඔහුට යක්ෂ උවදුරක් සිදුවී ඇති බවය. තවත් අයකුගේ අදහස වූයේ යාල වනයේ සිටින විස දිවිමකුළුවකුගේ ප්‍රහාරයකට ඔහු ලක්වන්නට ඇති බවය. තවත් සමහරුන් කීවේ ඔහුට උණ රෝගයක් වැලඳී එය උත්සන්න වීම නිසා සිහිවිකල්ව ඇති බවය.

එදින මහ රෑ ඔහු පළටුපාන කළපුවට පැන දිය නෑවේය. පසු දින පහන් වනතුරුම නන් දොඩවමින් කෑ ගසමින් සිටි උප දිසාපතිවරයාගේ සිරුර පසුදා කහපැහැ ගැන් වී තිබිණි. එදින ඔහු ලතෝනි නඟමින්ම පළටුපානේ දඬුමැස්ස මත අවසන් හුස්ම හෙළුවේය. ඒ 1821 අගෝස්තු 07 වැනිදාය.

ඒ වනවිට 23 හැවිරිදි වියේ පසු වූ උප දිසාපති ජෝන්ස් ජෝන්ගේ මළසිරුර රුවල් ඔරුවක බහා ඔහු විසූ නිල නිවෙස ඉදිරිපිට වළ දැමීමට මහ විදානාරච්චිරාල ඇතුළු පිරිස කටයුතු කර තිබේ. ඔහුගේ නිල නිවෙස ඉදිරිපිට මිහිදන් කළ තැන ඔහු වෙනුවෙන් ඔහුගේ මිතුරන් ඉදිකළ ස්මාරකය අදත් හම්බන්තොටදී දැක ගත හැකි වේ.

 බන්ධුල ගුණරත්න

පෝලිම් නැති යුගයකට නොවරදින මාවතක්

$
0
0
මැයි 26, 2022 01:00

රටකට බලශක්තිය අත්‍යවශ්‍ය සාධකයකි. ඛනිජ තෙල් භාවිතය ඉතා ඉහළ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එහි බලපෑම දැඩිය. එහෙත් මෙරටට සක්‍රීය මට්ටමේ ඛනිජ තෙල් නිධි නැත. මන්නාරම් ද්‍රෝණිය ආදී ප්‍රදේශවලින් ඒ පිළිබඳ ඉඟි පළ වී ඇතත් තවම ඒ පිළිබඳ සුබදායක පණිවුඩ ලැබී නැත. ඒ අනුව රටේ මුළු බලශක්ති අවශ්‍යතාවම ආනයනය කළ යුතුය. එමෙන්ම, ඒ වෙනුවෙන් කළ යුතු ගෙවීම් මෙරට මුදලින් කළ නොහැකිය. අමෙරිකානු ඩොලරයෙන් නොඑසේ නම් විදෙස් රටවල් පිළිගන්නා වෙනත් මුදල් ඒකකයකින් එම ගෙවීම් කළ යුතුය. ඒ අනුව මෙරටට විදේශ විනිමය ඉතා වැදගත්ය. එහෙත් මෑතකාලීනව විදෙස් ආදායම් ඉතා අඩු මට්ටමකට පහත වැටිණ. ඒ හැරෙන්නට අපනයනය තවත් වැදගත් විදෙස් මුදල් උපයා ගන්නා ක්‍රමයකි. කොරෝනා වසංගතය හමුවේ ඊටත් දැඩි බාධා ඇති විය. විදෙස්ගත ප්‍රජාව විශාල වශයෙන් මෙරටට පැමිණුනි. අමුද්‍රව්‍ය ආනයනය දුෂ්කර වුණ අතර නිෂ්පාදනය ද පහත වැටිණ. රැකී රක්ෂාවලට ද ඉන් අත්වූයේ අහිතකර බාධාවකි.

ජල විදුලි බලාගාරවලට බාධා

මේ අනුව මෙරටට විදේශ විනිමය අතින් ඇත්තේ අයහපත් තත්ත්වයකි. එය එසේ තිබියදී කාලගුණ විපර්යාස හමුවේ මෙතෙක් මෙරට බලශක්තියෙන් වැඩිමනක් සපයා ගනු ලැබූ ජල විදුලි බලාගාරවලට බාධා පැමිණුනි. ඊට විකල්පයක් ලෙස ඩීසල් හා ගල් අඟුරු දහනය ආදී මිල අධික ප්‍රභව ඔස්සේ රටට බලශක්තිය සපයා ගැනීමට සිදු විය. මෙරටට ගල් අඟුරු ගොඩබෑම වර්ෂයේ එක් කාල සීමාවකදී පමණක් පුළුවන. ඒ අනුව ඉතා කෙටි කලෙකදී වර්ෂයටම සෑහෙන අයුරින් එම තොග ගෙන්වා ගැනීමේ අභියෝගයටත් මෙකල මෙරටට මුහුණ දීමට සිදුව ඇත. එය එසේ තිබියදීත් ඉකුත් කාල සීමාවේදී එම අභියෝගයට මුහුණ දීමට මෙරටට හැකිවීම විද්වතුන්ගේ ඇගයීමට ලක් වන්නකි. එපමණක් නොවේ, අධික වශයෙන් රජය පාඩු ලබමින් ඉකුත් සමයේදී මහජන සුබසෙත පිණිස ඛනිජ තෙල් සැපයූව ද මේ වන විට ගෝලීය හා දේශීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුද හමුවේ එය තවදුරටත් අපහසු වග රජයේ පෙන්වා දීමය.

ඒ කෙසේ වුව ද ඉකුත් කාලයේදී මෙරට විදෙස් සංචිත කෙමෙන් අඩු විය. විදේශ විනිමය ඉපයීම්වලින් සෑහෙන ප්‍රමාණයක් විදෙස් ණය වාරික හා පොලී ගෙවීම් ආදියට වෙන් කෙරිණ. කොරෝනා වයිරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමට එන්නත්, පරික්ෂණ කට්ටල, වෛද්‍ය උපකරණ හා එම ඖෂධ ආනයනය වෙනුවෙන් රජය අතිවිශාල වියදමක් දැරීය. එය රටක් වශයෙන් කරන ආයෝජනයක් මෙන්ම ගෝලීය වසංගතයකදී රටක් ප්‍රමුඛතාව දිය යුතු වැඩපිළිවෙළක් වශයෙන් ජනතාවගේ ඇගයීමට ලක් විය. එය එසේ වුව ද මෙම වියදම් කෙමෙන් මෙරට විදෙස් මුදල් සංචිත අවම වන්නට එය හේතු විය. විදෙස් ණය ඛනිජ තෙල් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ද අවශ්‍ය වන තැනට එය දුර දිග ගියේය. ඒ වෙනුවෙන් ඉන්දියාව ඇතුළු රටවලින් ණය මාර්ගික වශයෙන් ඛනිජ තෙල් ලැබිණ. මේ වන විට ඒ අනුව දැනට මෙරටට මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. තවදුරටත් මෙරටට මිත්‍රත්වයේ දෑත් දිගු කරන ඉන්දියාව මෙතෙක් කිසිම රටකට මෙතරම් සහන සහ උදවු උපකාර කර නැති බවත් ඉකුත් දා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දියානු මහජනතාවගේ පරිත්‍යාග තොගයක් බාර ගනිමින් කොළඹ වරායේදී පැවසීය.

ණය පදනම

තවද, මෙරට ණය පදනම යටතේ ගෙන්වා ගන්නා ඉන්ධනවලින් බලශක්ති උත්පාදනයට ඉන් සැලකිය යුතු කොටසක් වැය කෙරිණ. ඉදිරියටත් ජල විදුලි උත්පාදනයේ අඩු වැඩිකම අනුව එම ප්‍රමාණය තීරණය වනු ඇත. එසේම, ජාතික ප්‍රවාහන පද්ධතිය සක්‍රියව පවත්වා ගැනීමට ඉන් කොටසක් වෙන් කළ යුතු වේ. මේ අතර නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ බලාගාර පිහිටි ප්‍රදේශවලට ද වැසි ලැබිණ. ඉන් බලශක්ති උත්පාදනයට ඛනිජ තෙල් අති විශාල වශයෙන් යොදා ගැනීම අඩු විණි. එය මෙරටට සහනයකි. එහෙත් මුළුමනින්ම ජල විදුලියෙන්ම මෙරට බලශක්ති අවශ්‍යතාව පිරිමැසිය නොහැකි බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති.

එපමණක් නොව, සැබැවින්ම පුනර්ජනනීය බලශක්තියෙන් ජාතික අවශ්‍යතාවෙන් 70%කට වඩා පිරිමසා ගැනීම රජයේ අපේක්ෂාව වේ. මේ වන විට ද 20%කට වඩා ඉන් ලබා ගැනේ. කුඩා ජල විදුලි බලාගාර, සූර්ය පැනල, සුළං විදුලි බලාගාර ආදි අඩු වියදම් මූලාශ්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය යන්න සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වා දේ. කෙමෙන් එම ධාරිතාව ඉහළ නංවා ගැනීමෙන් මෙරට ජාතික ධනය බලශක්තිය වෙනුවෙන් වැය කරනු වෙනුවට වෙනත් ඵලදායී ආයෝජන කෙරෙහි යොමු කළ හැකි වෙතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එය එසේ තිබියදී මේ වන විට මෙරට ඉන්ධන හල් අසල පෝලිම් දක්නට ඇත. එහෙත් මෑත කාලීනව ඛනිජ තෙල් තොග වැඩිපුර ලැබීමත් බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම හරහා ප්‍රගතියක් දක්නට ලැබෙතැයි ජනතාව කියති. එහෙත් වැඩි කළ මිලට හෝ ඛනිජ තෙල් මිලට ගැනීමට නැතැයි මැසිවිලි නඟන ඇතැමුන් ද තවමත් දක්නට ඇත. එමෙන්ම දිවයින පුරා ඉන්ධන හල් 40ක් පමණ කඩාකප්පල්කාරීන්ගේ තර්ජනවලට බියෙන් වසා ඇතැයි මාධ්‍ය වාර්තා පළ වේ. එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුත්තක් වශයෙන් ජනතාව පෙන්වා දෙති.

අධික ඉල්ලුම

එසේම, මෙවැනි අධික ඉල්ලුමක් ඛනිජ තෙල් කෙරෙහි අන් කවරදාකවත් දක්නට නොලැබුණු තරම් යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඇතුළු එම ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල තැනැත්තන්ගෙන් ඇසේ. එය කෙතරම් ද කිව හොත් මින් පෙර තෙදිනක් පමණ බෙදා දුන් ඛනිජ තෙල් තොග අද වන විට ද වරුවකින් හමාර වන තත්ත්වයක් දක්නට ලැබේ. එය එසේ වනුයේ ඇතැම් පිරිස් අනවශ්‍ය ආකාරයෙන් ඛනිජ තෙල් තොග එක්රැස් කිරීමට පෙලඹීමය. ඇතැමුන් ඉන්ධන හල අසලදීම රථ වාහන ටැංකිවලට පුරවා ගන්නා ඉන්ධන බට ආධාරයෙන් ඉවත් කරමින් නැවත නැවතත් ඉන්ධන පෝලිමට එක්වීම දිවයින පුරා දක්නට ලැබුණකි. එවිට සීමිත ප්‍රමාණවලින් බෙදා දීමට පවතින සීමිත ඛනිජ තෙල් සම්පත සාධාරණව බෙදා දීමට නොහැකි වේ.

ඒ සමඟම ඇතැම් පිරිස් බලහත්කාරයෙන් වෙනත් ප්‍රදේශවලට වෙන් කෙරුණු ඉන්ධන රැගත් බවුසර් රථ හරවාගෙන එහි ඉන්ධන බාගත කිරීමට උත්සාහ දැරීම් පිළිබඳව ද වාර්තා විය. ඉන්ධනහල්වල දේපළට හානි කිරීම හා එම සේවකයන්ට පහරදීම් ද වාර්තා විය. ඇතැම් පිරවුම්හල් හිමියන්ගේ නිවාස ගිනි තැබීම් දක්වා එම බලහත්කාරකම් ඔඩුදුවා තිබිණ. එමෙන්ම, පෙට්‍රල් හා ඩීසල් දෙකම එකවර ඉල්ලා සිටීම ද එය එසේ නොවූ විට ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන බවුසර් හරවා යැවීමට තරම් නීතිය අතට ගැනීමට උත්සාහ දැරීමත් ඛනිජ තෙල් බෙදාහැරීම අතින් මෙරටට කළු පැල්ලම් එල්ල වූ අවස්ථාවලට උදාහරණය.

මේ අනුව තමන්ට ආරක්ෂාව සපයන්නැයි ඛනිජ තෙල් ප්‍රවාහන ටැංකිකරුවෝ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. එසේම, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉන්ධනහල් නිරික්ෂණය කරමින් කාර්යක්ෂමව හා කාටත් සාධාරණ අයුරින් ඉන්ධන බෙදා දීමේ වැඩපිළිවෙළ නිරික්ෂණය කරනු ඉකුත් දා දක්නට ලැබිණ. එසේම, කලහකාරි සිද්ධි වාර්තා වන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා නොදීමට සිදු වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

ඉන්ධනවල ප්‍රමිතිය

ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණයෙන් කියා සිටින්නේ යම් හෙයකින් කිසියම් ඉන්ධනහලකින් නිකුත් කරන ඛනිජ තෙල් පිළිබඳ ගැටලු වේ නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙසටය. එවිට ඉතා කෙටි කාලයකදී ඒ පිළිබඳ ස්ථානීය පරික්ෂණයක් ඇතුළු නීති රාමුව අනුව කටයුතු කරන බවත් එම ආයතනය සහතික වෙයි.

ඇතැමුන් ඉන්ධනවලට වෙනත් ද්‍රව කළවම් කරමින් අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි පිළිබඳ විමර්ශන කරන බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාර්තා කරයි. ඒ සම්බන්ධ පරික්ෂණවලදී වරදකරුවන් වන තැනැත්තන්ට එරෙහිව තදින් කටයුතු කිරීමටත් තීරණය කර ඇත. එසේම, පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ද මහජනතාවට ප්‍රමිතිගතව සහ විනිවිද පෙනෙන ආකාරයේ පැහැදිලි බවකින් තොරව භාණ්ඩ හා සේවා සපයන ආයතන කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවෙයි. එල්. පී ගෑස් බෙදාහැරීම් ඇතුළු කටයුතු විධිමත්ව කිරීමට පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහාය ඉතා අගය කරන බව ද ජනතාව පවසති. නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් ද ඉන්ධනහල් හා එල්. පී ගෑස් අලෙවිහල් ඇතුළු ජනාකීර්ණ ස්ථානවල මහජන සාමය ආරක්ෂා කිරීමට යෙදවීමට රජය කටයුතු කර ඇත. ත්‍රිවිධ හමුදාව ද පොලීසියේ සහායට එම ස්ථානවල රාජකාරි සඳහා යොදවා තිබේ. මේ අනුව කිසිවකු කඩාකප්පල්කාරි ක්‍රියාවල නිරත වීමට උත්සාහ කළ හොත් නොපමාව නීතිය ක්‍රියාත්මක කෙරේ. ඊට උදාහරණ බොහෝ ප්‍රදේශවලින් ජනමාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණි.

පුනර්ජනනීය බලශක්තිය

සැබැවින්ම මෙරට කුඩා රටක් වශයෙන් පුනර්ජනනීය බලශක්තියෙන් හැකි උපරිමය සපයා ගන්නා අතරතුර පොසිල ඉන්ධන දහනය ආදියෙන් අඩුපාඩු කොටස සපුරා ගත හොත් බලශක්තිය පිළිබඳ ගැටලු මතු නොවනු ඇත. එසේම, අපද්‍රව්‍ය, ජීව වායුව, මුහුදු රළ ආදිය උපයෝගි කොටගෙන බලශක්තිය උත්පාදනය කෙරෙහි මෙරට අවධානය යොමු වී තිබීමත් මෙරටට ඉතා කාලෝචිත වශයෙන් විද්වත්හු පෙන්වා දෙති.

එසේම, ඉතා අගනා සම්පත් බලශක්ති ක්ෂේත්‍රය අතින් මෙරට පවතියි. ඒ කෙරෙන් වැඩිපුර වැඩ ගන්නා තැනට මඟ පාදා ගැනීමත් ඉතා වැදගත් වනු ඇත.

ක්‍රි.ව 1969 දී ආරම්භ කළ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව මෙරට ඉන්ධන කර්මාන්තයේ අතිශය වැදගත් සම්පත් අතුරෙන් එකක් වශයෙන් බලශක්ති විශලේෂකයෝ හඳුන්වති. මාස 6ක් වැනි කාලයක් තුළදී එම පිරිපහදුව නවීකරණය කිරීම ආරම්භ කිරීමත්, ඊට අත්‍යවශ්‍යව තිබූ නව බොයිලේරුව සවි කිරීමටත්, බෙදාහැරීමේ පර්යන්තය ස්වයංක්‍රීයකරණය අවසන් කිරීමටත් රජය කටයුතු කිරීම ඉතා වැදගත් කාර්යයන් වශයෙන් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම නවීකරණ ක්‍රියාවලියේ තවත් අදියරක් වශයෙන් නව පිරිපහදුවක් ඉදිකිරීමේ දිගුකාලින ඉලක්කය ද ප්‍රශංසනීය වේ. පිරිපහදු කළ තෙල් වෙනුවට බොර තෙල් ගෙන්වා දේශීය වහයෙන් පිරිපහදු කිරීමෙන් වසරකට රුපියල් බිලියන 60 කටත් වඩා ඉතිරි කර ගැනීමට මෙරටට හැකියාව ඇතැයි එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කලෙක පටන් පෙන්වා දෙති. කොළඹ වරායේ සිට කොළොන්නාව පර්යන්තය දක්වා ඉන්ධන ගෙනියන නල පද්ධතිය නවීකරණය ඉතා දිගු කලක් තිස්සේ නවීකරණය නොකෙරුණි. එහෙත් ඒ කෙරෙහි අවධානය යොමු කිරීම රජය ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් වශයෙන් ජනතා ඇගයීමට ලක් වේ. ඉන් කාන්දුවීම්වලින් තොරව තෙල් ගොඩබෑම වෙගවත් වීමෙන් වසරකට මෙරටට රුපියල් මිලියන 600 ක පමණ මුදලක් ඉතිරි වන බවත් බලශක්ති විශ්ලේෂකයන් පෙන්වා දේ.

අන්තර්ජාතික ප්‍රමිති නිර්දේශය අනුව ගුවන්යානා ඉන්ධන සඳහා අවශ්‍ය වන්නා වූ පෙරහන් පද්ධතියක් කොළොන්නාව සීමාව තුළ ස්ථාපිත කිරීම ද මෙරටට දිගු කලක් අතපසු වූවකි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවන්ගේ දැනුම හා ශ්‍රම දායකත්වයෙන් එය මාස 4ක් තුළ නිමකොට විවෘත කිරීම ද එවැනි වැදගත් පියවරකි. එමඟින් රටට වසරකට රු. මිලියන 500 ක පමණ ඉතිරියක් අපේක්ෂිතය.

කටුනායකට නව පර්යන්තයක්

කටුනායක ගුවන් තොටුපළට නව පර්යන්තයක් එක් කිරීමේ සැලසුම අනුව සහ ඉහළ යන ගුවන්යානා ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම ද තවත් එවැනි වැදගත් පියවරකි. තවද, 2013 වර්ෂයේ සිටම ගුවන්තොටුපළ ඉන්ධන සැපයුම් පද්ධතියේ කොන්ත්‍රාත්තුව විවිධ හේතු මත ප්‍රමාද වුව ද වර්ෂ 2017 දී අන්තර්ජාතික තරඟකාරී ටෙන්ඩර් කැඳවීම් මඟින් දින 45 ක් වැනි කෙටි කාලයක් තුළ විදේශ ආයෝජන සමඟ සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට පියවර ගැනීම ද තවත් කාලෝචිත පියවරක් වශයෙන් ඇගයීමට ලක් වේ. එම ටෙන්ඩරය මඟින් රටට ඉතිරි වූ මුදල රු. මිලියන 480 කට අධික බවටත් වාර්තා වේ.

මේ අනුව රටක් වශයෙන් නොවෙනස් ප්‍රතිපත්ති යටතේ පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගනිමින් ඉදිරි වැඩ ලෝකය ජය ගැනීම මෙරටට අපහසු නොවේ. වර්ෂයේ වැඩි කාලයක් සූර්යාලෝකය හොඳින් ලැබෙන සමකාසන්න රටක් වශයෙන් මෙරටට අන් බොහෝ රටවලට වඩා ඉදිරියට පැනීමට හැකියාව ඇතැයි අන්තර්ජාතික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මිල සූත්‍රයකට අනුව ඉදිරියේදී තෙල් මිල තීරණය වන බව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා අවධාරණය කොට තිබේ. මෙම සියලු ඉලක්ක ජයගැනීමේදී රටක් වශයෙන් මහජනතාව අතර සාමය, සමගිය මෙන්ම උපායමාර්ගික වශයෙන් මෙරට ආදායම් ඉහළ නංවා ගැනීමේ විධික්‍රම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම වැදගත්ය. එසේ වුව හොත් එය කාගේත් පිළිගැනීමට ලක් වනු ඇත.

නුවන් මහේෂ් ජයවික්‍රම

දහනවයෙන් විසිඑකට

$
0
0
මැයි 26, 2022 01:00

ව්‍යවස්ථා සංශෝධනය හා වර්තමානයේ පැන නැඟී ඇති ප්‍රශ්නය අතර ඍජු සම්බන්ධයක් නැත. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් අරගලයට පිළිතුරක් හෝ ඒ සඳහා බලපෑ හේතුවලට උත්තරයක් ලැබේ යැයි විශ්වාස කළ නොහැකිය. අරගලය වර්තමානය වන විට ගාලුමුවදොරට සීමාව තිබුණ ද විදුලිය, ගෑස් වැනි දේවල් හිඟ වීම නිසා මහ පාරට ද ව්‍යාප්ත වී තිබේ. මුළුතැන්ගෙයි අරගලයට ව්‍යවස්ථා සංශෝධනයෙන් පිළිතුරු ලැබෙන්නේ නැත. එම නිසා මේ කරුණු දෙක පටලවා ගත යුතු නැත.

අරගලයට හේතු වූ ආර්ථික ප්‍රශ්න මෙන්ම දේශපාලන ප්‍රශ්න ද තිබේ. ඒවාට පිළියම් සෙවිය යුතුය. පවතින දේශපාලන ප්‍රශ්නයට ව්‍යවස්ථා සංශෝධනයකින් මුළුමනින්ම පිළිතුරු සෙවිය නොහැකිය. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයේ මුඛ්‍ය අරමුණ අරගලය සංසිඳවීමට විතැන්වීමට ඉඩ දිය යුතු නොවේ.

බ්‍රිතාන්‍ය කීරීටයෙන් නිදහස්ව බිහි කළ 72 පළමු ජනරජ ව්‍යවස්ථාවට ජනතා ආශිර්වාදය ලැබිණ. අප ඒ ජනරජය ආරක්ෂා කළ ද, එසේ නැත්නම් දේශපාලන වුවමනා අනුව වරින් වර ව්‍යවස්ථා සංශෝධන කළේ ද යන ගැටලුව අප ඉදිරියේ තිබේ.

78 ව්‍යවස්ථාව ගෙන ඒමේදී ජනාධිපති ජයවර්ධනට සාධාරණ හේතු තිබෙන්නට ඇත. එක් එක් දේශපාලන කෝණ අනුව ඒවා විග්‍රහ කරන ආකාරය වෙනස් විය හැකිය. අපගේ විධායක ජනාධිපති ක්‍රමය ඩිගෝල්ගේ ප්‍රංශ ව්‍යවස්ථාව හා අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව සකස් කළ බව දැක්වුවත් ඒ දෙකේම නොමැති උත්තරීතර බලයක් එක් ආයතනයකට කේන්ද්‍රගත කර ඇත.

අනෙක් රටවල විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන අතර බල තුලනයකිනි. එහෙත් අපේ රටේ විධායකයට සෑම ව්‍යුහයකටම අත පෙවීම් කිරීමට ඉඩකඩ සකස් කර තිබේ. ඉන් පසු සිදු වූයේ බොහෝ සංශෝධන මඟින් එම බලය තවදුරටත් මුවහත් කිරීමය. විශේෂයෙන්ම 18 හා 20 වැනි සංශෝධන විධායකයේ බලතල තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිමතාර්ථයෙන් කළ සංශෝධන බව පැහැදිලිය. අප ජනරජයක් පිහිටුවා ගත්ත ද එය නියමාකාරයෙන් පවත්වාගෙන ගොස් නැත.

ජනරජයේ වැදගත්කම ගැන අමෙරිකානු ව්‍යවස්ථාව සම්පාදනය කළ වෛද්‍ය බෙන්ජමින් ප්‍රෑන්ක්ලීන් පැවසූ අදහසකින් මෙය පැහැදිලි කළ හැකිය. බෙන්ජමින් ප්‍රෑන්ක්ලීන් ව්‍යවස්ථාව කෙටුම්පත් කරමින් සිටින විට තේ පැන් සාදයකදී ඔහුට මුණ ගැසුණු කාන්තාවක් ‘ඔබලා නිර්මාණය කරන්නේ මොන විදිහේ ව්‍යවස්ථාවක් ද? තවත් කීරීටයක් ද’ යනුවෙන් අසන ලදී. එයට පිළිතුරු දෙමින් ප්‍රෑන්ක්ලීන් ‘අපි අපට ජනරජයක් හදා ගත්තා. ඔබලාට එය තියා ගන්න පුළුවන් නම්...’ යනුවෙන් පිළිතුරු දී ඇත.

ඔවුන් අමෙරිකානු ජනරජය ආරක්ෂා කර ගන්නා ලදී. එරට පුරවැසියන් සෑම දෙයක්ම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ නැත. පුරවැසි ක්‍රියාකාරිත්වය තුළින් ආයතන හා ක්‍රමවේද ශක්තිමත් කිරීමට ඔවුන් කැපව ඇත. ඔවුන්ගේ ජනරජ ව්‍යවස්ථාව වර්තමානය දක්වා ක්‍රියාත්මක වූයේ ඒ නිසාය. අප අපගේ ව්‍යවස්ථාව දේශපාලනික හේතු මත වරින් වර සංශෝධන කර තිබේ.

78 ව්‍යවස්ථාව

78 ව්‍යවස්ථාව සකස් කිරීමේදි ප්‍රංශයේ හා අමෙරිකාවේ තිබෙන ආණ්ඩුක්‍රම ගැන අවධානය යොමු කර ඇති බවක් නොපෙනේ. අමෙරිකාවේ පාර්ලිමේන්තුව වන්නේ කොංග්‍රසයයි. එයට ඉහළින් සෙනෙට් සභාවක් ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය (රාජ්‍ය ලේකම්වරු) කොංග්‍රසයේ හෝ සෙනෙට් සභාවේ සාමාජිකයන් නොවේ. ඔවුන්ගෙන් විධායකය සහ ව්‍යවස්ථාදායක කාර්යභාරයන් ඈත් කර තිබේ. ඒ අනුව නීති සකස් කරන තැන හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තැන වෙන් කර ඇත.

ප්‍රංශයේ ව්‍යවස්ථාවේ තත්ත්වය ද එසේය. එරට අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ කොටසක් නොවේ. කිසියම් හේතුවක් මත ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් කැබිනට් මණ්ඩලයට තෝරා ගනු ලැබුව හොත් ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතුය.

78 ව්‍යවස්ථාව අමෙරිකාව හා ප්‍රංශ ව්‍යවස්ථාවට අනුව සකස් කළ බව කියතත්, සිදුව ඇත්තේ එම ද්විත්වය සමඟ මිශ්‍ර කර ක්‍රමයක් සකස් කිරීමය. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම කරනුයේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අනුවය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිය. එහෙත් මෙරට අගමැතිට බලයක් නැත.

අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙනම ඡන්දයකින් පත් වන අතර ඔහුට ව්‍යවස්ථාදාකයෙන් කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට පවරා තිබේ. එවිට ඔහුට කැබිනට් ඇමැති නමැති කැරට් අලය පෙන්වා මන්ත්‍රීන් දිනා ගැනීමට අවස්ථාව ව්‍යවස්ථාවෙන් දී ඇත. මෙම තත්ත්වය ව්‍යවස්ථා සංශෝධනයේදී නිවැරැදි කර විධායකය ව්‍යවස්ථාදායකයෙන් ඈත් කළ යුතුය.

විධායක බලය ව්‍යවස්ථාදායකය තුළින් තෝරා ගැනීමෙන් දූෂණයට හේතු වේ. මේ සඳහා ගත යුතු එක් පියවරක් වන්නේ ඇමැති වරප්‍රසාද ඉවත් කිරීමය. අනෙක වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එම රාජකාරිය පමණක් පැවරීමය. පාර්ලිමේන්තුවට පැවරී තිබෙන්නේ කාර්යභාර තුනක් පමණි. ඒවා නම් ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම, මූල්‍ය පරිපාලනය හා නීති සම්පාදනය කිරීමය.

වරප්‍රසාද ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මෙම කාර්යය පමණක් සීමා කළ විට මිලියන ගණන් මැතිවරණවලට වියදම් කරන ක්‍රමය ඉබේම නවතී. දූෂණයට මඟ පාදන ක්‍රමය ඉවත් වේ.

සංශෝධන මානසිකත්වය

19 වැනි සංශෝධනයේ කෙටුම්පත් කිරීමේ ආරම්භක සාකච්ඡාවලදී එහි සාධනීය ලක්ෂණ ඇති බව පෙනෙන්නට තිබිණි. ආරම්භයේ තිබුණු ඇතැම් සාධනීය ලක්ෂණ කෙටුම්පත ඉදිරිපත් කරන විට අත්හැරී තිබිණ. පක්ෂ මාරු කරන මන්ත්‍රීන්ගේ ආසන අහිමි වන යෝජනාවක් ද 19 වැනි සංශෝධනයේ ආරම්භක කෙටුම්පතේ තිබිණි. ඉදිරි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දී එම තත්ත්වය තමන්ට අවාසි විය හැකිය යන පදනම මත ඒවා හැලී ගියා විය යුතුය. ඒ ආකාරයට දේශපාලන අවශ්‍යතා අනුව ව්‍යවස්ථා සකස් කළ යුතු නොවේ. ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ රටට වුවමනා කෙරෙන ව්‍යූහ සකස් කර ගැනීම සඳහාය.

20 වැනි සංශෝධනයේදී අපට අධිකරණය ඉදිරියට යෑමට සිදු විය. එය අපගේ බලතල බෙදීමේ න්‍යායට පටහැනිව ගෙන එන ලද සංශෝධනයකි. මුල් කෙටුම්පතේ තිබුණු බොහෝ හානිකර දේ ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත්වීමෙන් සංශෝධනය කර ගත හැකි විය. එහෙත් 19 කපන ලද විධායකයේ තටු නැවත 20න් සවි කිරීමක් සිදු විය. එයට අත ඔසවා සහාය දුන් පිරිසම තමන් වැරැද්දක් කළ බව පිළිගෙන තිබේ. ඒ සඳහා අපට විශාල මිලක් ගෙවීමට සිදු විය.

එවකට සිටි ජනපති හා අගමැති 19 වැනි සංශෝධනයේ පරමාර්ථ අවබෝධ කර ගෙන වැඩ කටයුතු කළේ නම් ඔවුනට පාලනය ගෙන යෑමට ඉඩ තිබිණි. එම ඉඩ භාවිත කර අගමැති ජනපතිගේ බලතල ගැනීමට යෑම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණි. අගමැතිගේ අදහස් විමසිය යුතු අවස්ථාවල ඒ සඳහා ජනපති කටයුතු කළේ ද නැත. ව්‍යවස්ථා සංශෝධනයක් සාර්ථක වීමට ප්‍රජාතාන්ත්‍රික ව්‍යවස්ථා සංශෝධනවාදී මානසිකත්වයක් තිබිය යුතුය. 19 තිබුණු යම් යම් දුර්වලතා පෙර සඳහන් කළ ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන මානසිකත්වකින් මේ ගැටලුව දෙස බැලුවේ නම් විසඳා ගත හැකිව තිබිණි.

21 වැනි සංශෝධන

21 වැනි සංශෝධනයේදී 19 වැනි සංශෝධනයේ තිබුණු ධනාත්මක දේවල් ආරක්ෂා කර ගන්නා අතරම එහි තිබුණු ඇතැම් අනවශ්‍ය දේවල් ඉවත්කර තිබේ. එය ප්‍රශස්තය. මෙතැනින් අපට තවත් ඉදිරියට යා හැකිය. නීතිඥ සංගමය ඉදිරිපත් කළ සාධනීය කරුණු පිළිබඳව අපට එකඟ විය හැකිය. ක්‍රමවේද සකස් කිරීම සඳහා ඔවුන් කරන යෝජනාව නීති මඟින් සකස් කළ හැකිය.

අල්ලස් හා දූෂණ කොමිසමේ පනත සංශෝධනය කරන තෙක් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට බලය පවරමින් 21 වැනි සංශෝධනයේ බලය පවරන යෝජනාව තවත් ඉදිරි පියවරකි. මේ අනුව ඔවුනට පැමිණිල්ලකින් තොරව පරීක්ෂණ කිරීමට හැකියාව ලැබේ. ව්‍යවස්ථා සභා නිර්මාණය කිරීම සුදුසුය. එතැනදී පුරවැසියන් දෙදෙනකු පමණක් සම්බන්ධ කර ගැනීම වෙනුවට තරුණයන්ගේ හඬට ද අවස්ථාවක් දිය යුතුය. සමස්තයක් ලෙස ගත් විට ගාලුමුවදොර අරගලකරුවන්ගේ ඉල්ලීම්වලින් කියැවෙන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඔවුන් ද දායක කර ගත යුතුය යන්නය. සිවිල් සමාජයෙන් දෙදෙනකු ව්‍යවස්ථා සභාවට පත් කර එය කළ නොහැකිය. ජන මණ්ඩලයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් තිබේ.

සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ජන සභාවක් පත් කර එහි නියෝජනයක් ව්‍යවස්ථා සභාවට පත් කර මේ ක්‍රමය තවත් ශක්තිමත් කළ හැකියි. ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත් කිරීමේදී පැරදුණු අය පත් කිරීම වෙනුවට උගතුන් පත් කළ හැකි නම් ප්‍රජාතන්ත්‍රවාදය තවත් අර්ථවත් කළ හැකිය.

අධිකරණ ඇමැතිවරයා මේ සංශෝධනයේදී උත්සාහ කර තිබෙන්නේ ජනමත විචාරණයකින් මෙපිට කළ හැකි සංශෝධන කිරීමටය. 19 තිබුණු තත්ත්වය යෑමට ජනමත විචාරණයක් වුවමනා නැති බවට මතයක් තිබේ. ඒ පරිසරය තුළ බොහෝ සාධනීය කරුණු 21 වැනි සංශෝධනයේ තිබේ. විශේෂයෙන්ම කොමිසම් සභා පත් කිරීම සහ ඒවා මඟින් නීතිපති, විගණකාධිපති, මහ බැංකු අධිපති පත් කිරීම ඉතාම හොඳ දෙයකි.

පළාත් සභා

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම ඉවත් කරන්නේ නම් එය පළාත් සභා ක්‍රමයට කෙසේ බලපාන්නේ ද යන්න ගැන ද කල්පනා කළ යුත්තකි. පළාත් සභා ක්‍රමය යටතේ රටේ ඒකීයභාවය රැකී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මඟිනි. එම ප්‍රශ්නය වෙනම සාකච්ඡා කළ යුතු එකක් වන අතර එයට ජනමත විචාරණයකින් මෙපිට විසඳුමක් සෙවිය නොහැකිය.

පළාත් සභා ගැන සැලකිල්ලට ගැනීමේදී එම ක්‍රමය ඇති කිරීමට බලපෑ දේශපාලන හේතු ද සැලකිල්ලට ගත යුතුය. මෙවැනි ක්‍රමයක් ඇති කිරීමට මූලික වශයෙන්ම බලපෑවේ උතුරු නැඟෙනහිර ප්‍රශ්නයයි. එම ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවේ සාධාරණ නියෝජනයක් දී ඔවුන් සමඟ සාකච්ඡා කර පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න තීරණය කළ හැකිය.

21 වැනි සංශෝධනයේ දී අප හැකි තාක් දුරට විධායකය හා ව්‍යවස්ථාදායකය වෙන් කරන ක්‍රමවේද සෙවිය යුතුය. විවිධ වරප්‍රසාද දී මන්ත්‍රීන් දිනා ගැනීමට ව්‍යවස්ථාවෙන් විධායකයට දී ඇති ඉඩ අවහිර නොකරන තාක් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කර ගත නොහැකිය. ඒ නිසා එය අත්‍යවශය දෙයකි.

මෙයට අමතරව ඡන්දයට ඉදිරිපත් වන ක්‍රමය, පක්ෂවලින් නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් වන ක්‍රමවේද, මන්ත්‍රීන්ගේ වත්කම් විගණනය සොයා බලන ස්වාධීන ආයතනයක් ඇති කළ යුතුය. මෙම ක්‍රමය වෙනස් කර ගන්නා තෙක් දූෂණයට ඇති ඉඩ වැසීම කළ නොහැකිය. මේ ආකාරයේ සංශෝධන ඇති කිරීමෙන් ක්‍රමයේ විශාල වෙනසක් කළ හැකිය.

අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී අගවිනිසුරුවරයාගේ අදහස විමසා ව්‍යවස්ථාදායක සභාව මඟින් කළ යුතු බවට 19 වැනි ව්‍යවස්ථාව මඟින් ඇති කළ තත්ත්වය 21 මඟින් නැවත තහවුරු කර ඇත. එය යහපත් පියවරකි.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගතයුතු තවත් පියවරක් ඇත. එනම් විශ්‍රාමික විනිසුරුවරු රජයේ තනතුරුවලට පත් කිරීම වළකන නියමයක් 21ට එක් කිරීමය. එය 19 වැනි ව්‍යවස්ථා කෙටුම්පතේ මුල් පියවරේ තිබී පසුව හැලී ගිය අදහසකි.

ඉහළ අධිකරණවල සිටින විනිසුරුවරුන්ට ආණ්ඩුව විසින් අනවශ්‍ය බලපෑමක් කිරීමේ හැකියාව එමඟින් වැළකී යයි. අමෙරිකානු ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාවක් නැත. ඔවුන් ස්වයංව විශ්‍රාම යන තෙක් ඉවත් කළ නොහැකිය. එහෙත් මෙරට විනිසුරුවරුන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාව බලපායි. විශ්‍රාමික අධිකරණ නිලධාරීන් ඉන්පසු තානාපති සේවය හෝ වෙනත් රාජ්‍ය තනතුරුවලට පත් කරන තත්ත්වයක් ඇත. එය වැළැක්වීම මඟින් අධිකරණයේ ස්වාධීනත්වය තවත් වැඩි වේ. මෙම පියවර මඟින් අධිකරණය ගැන වූ ජනතා විශ්වාසය තවදුරටත් වර්ධනය වේ.

චන්දන ජයවීර


අග්‍රාණ්ඩුකාර ඔලිවර් ඉවත් කරන්නට බ්‍රැඩ්මන් එංගලන්තයට ගිය ගමන

$
0
0
මැයි 27, 2022 01:00

1949 සිට 1954 දක්වා මෙරට අග්‍රාණ්ඩුකාර ධුරය දැරුවේ සෝල්බරි සාමිවරයාය. මෙරට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සඳහා පත් කළ කොමිසමේ සභාපතිත්වය දැරුවේ ඔහුය. එම කොමිසමේ අනෙකුත් සාමාජිකයන් වූයේ ෆ්‍රෙඩ්රික් රීස් සහ ෆ්‍රෙඩ්රික් බරෝස් යන දෙදෙනාය. ඔවුන් මෙරටට පැමිණියේ 1944 දෙසැම්බර් මාසයේ දිනෙකය. එම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත් වූයේ 1945 සැප්තැම්බරයේය. ඒ අනුව මෙරට පාලන තන්ත්‍රයේ ඉහළම ධුරය වූයේ අග්‍රාණ්ඩුකාර ධුරයයි. එම ධුරයට සෝල්බරි සාමි පත් වූයේ 1949 දීය. ඔහු 1954 දක්වා එම තනතුර දරා ඉල්ලා අස්වී 1954 ජූලි 17 වැනිදා කොළඹ වරායේ නවතා තිබූ ‘ඔරෙන්සෝ’ නම් නෞකාවේ නැඟී සිය රට බලා ගියේය. අනතුරුව එම ධුරය පිරිනැමුණේ සර් ඔලිවර් ගුණතිලක මහතාටය. හෙතෙම එදිනම සවස අගවිනිසුරු ඇලන් රෝස් ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය. අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක සිය ධුරයේ සිටියදී 1962 සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය ගැනත් ඔහුගෙන් පසු විලියම් ගොපල්ලව මහතා ධුරයට පත් කරගත් අයුරුත් මේ ලිපියෙන් කියැවෙයි.

අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතාගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ඉගෙනීමේ කටයුතු නිමා කළ පසු හෙතෙම ලේක්හවුස් ආයතනයට බැඳුණේය. පසුව රාජ්‍ය සේවයට බැඳී වයස අවුරුදු 39 දී මෙරට පළමු ලාංකික විගණකාධිපතිවරයා බවට පත් විය.

1942 දී ආරක්ෂක කොමසාරිස් ලෙස පත් වූ ඔහු පසුව ආහාර කොමසාරිස් ලෙසද, සිවිල් ආරක්ෂක කොමසාරිස් ලෙසද, මුදල් ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. අගමැති ඩී.එස්.සේනානායක මහතාගේ ඇමැති මණ්ඩලයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ හෙතෙම පසුව මහා බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ලෙස ද පත්වූයේය.

1953 දී ඔහු යළි මෙරටට පැමිණියේය. ඉන්පසුව මුදල් ඇමැති තනතුරේ ද කටයුතු කළේය. එකල මැති ඇමැතිවරුන් අතර ජනප්‍රසාදයක් දිනා පහළ සිට ඉහළටම නැඟි පුද්ගලයකු වූ සර් ඔලිවර් ගුණතිලක මහතා අග්‍රාණ්ඩුකාර තනතුරට පත් වූ පසු දේශපාලන කුමන්ත්‍රණයක් සිදු විය. ඒ 1962 ජනවාරි 27 වැනිදාය.

එදින රාත්‍රියේ රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.දිසානායක මහතාට ලැබුණු පණිවිඩයකින් කියවුණේ රජය පෙරළීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය. හෙතෙම පොලිස්පති එම්.ඩබ්ලිව්.එෆ්.අබේකෝන් මහතා හමුවට ගියේය. ඒ වනවිට පොලිස්පතිවරයාගේ කනට ද මේ කුමන්ත්‍රණය ගැන අසන්නට ලැබී තිබිණි. එදා සති අන්ත සෙනසුරාදා දිනයකි

අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිනිය පසු දින කතරගම යාමට යොදාගෙන සිටි බව බොහෝ දෙනකුට රහසක් නොවීය. කෙසේ වුවත් පොලිස්පති ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයට යන විට අගමැතිනිය විසින් අධිකරණ හා ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාත් ඉඩම් ඇමැති සී.පී.ද සිල්වා මහතාත් අගමැති නිල නිවෙසට කැඳවා තිබිණි.

එදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළේ සී.සී. දිසානායක මහතාය. ඔහුගේ බාල සොහොයුරා රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාය. ඔහුට ලැබුණු ආරංචියට අනුව මේ කුමන්ත්‍රණයේ නායකයා ඔහුගේ සොහොයුරාය.

මේ කතාබහ අරලියගහ මැඳුරේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබියදී අගමැතිනිය නියෝග කළේ බම්බලපිටියේ පිහිටි යුද්ධෝපකරණ ගබඩාව සීල් තැබීමටය. අනතුරුව පොලිස් මූලස්ථානයේ කාමර කිහිපයකට ද සීල් තැබිණි. හමුදා, පොලිස්, ගුවන් සහ නාවික හමුදා ප්‍රධානීන් අරලියගහ මන්දිරයට කැඳවිණි.

ඒ අනුව යුද හමුදාපති මේජර් ජෙනරාල් විජේකෝන්, ගුවන් හමුදා ප්‍රධානී බාර්කර්, පොලිස්පති අබේකෝන්, නාවික හමුදා ප්‍රධානී රාජන් කදිරගාමර් වැන්නන්ද අගමැති නිල නිවෙස කරා ආහ.

පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායක, පී.ද එස්.කුලරත්න ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටියහ. එදා අගමැති ලේකම්වරයා ලෙස කටයුතු කළේ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාය. හෙතෙම මෙසේ කියා තිබිණි.

“සෙනසුරාදා සවසයි මේ කුමන්ත්‍රණය ගැන දැන ගන්නට ලැබුණේ. එදාම රාත්‍රි දොළහට විතර පරීක්ෂණ ඇරඹුවා. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා දවස් තුනක් තිස්සේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළේ තනිවමයි. කිසිම කෙනෙකුට මාංචු දැම්මේ නෑ...”

62 කුමන්ත්‍රණය සම්බන්ධයෙන් 29 දෙනෙක් අත්අඩංගුවට ගැනිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.සී.දිසානායක, උප පොලිස් අධිකාරි ජෝන් පුල්ලේ, උප පොලිස් අධිකාරි එල්.සී.එස්.වීරසිංහ, කර්නල් එෆ්.සී. ද සේරම්, කර්නල් රොයිස් ද මැල්, කර්නල් ඒ.ආර්.ජේසුදාසන්, කර්නල් ඩබ්ලිව්.ඒබ්‍රහම්, කර්නල් ජේ.ඒ.අල්විස්, කර්නල් එන්.මැතිව්ස්,මේජර් බී.අයි.ලොයලා, මේජර් ඩබ්ලිව්.ජී.වයිට්, මේජර් එල්.පී.ජෝසප්, මේජර් වී.ජේ.එච්.ගුණසේකර, පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, උප පොලිස් අධිකාරි කොලින් වැන්ඩන්ඩ්‍රියන්, පොලිස් අධිකාරි ඩී.තම්බයියා, පොලිස් අධිකාරි වී.ඊ.පෙරේරා, උප පොලිස් අධිකාරි ටී.වී. විජේසිංහ, කැප්ටන් ජේ.ආර්.ෆීලික්ස්, කැප්ටන් ඒ.ජේ.බී.අන්ගි, කැප්ටන් ඩී.ඊ.වීරසිංහ, කපිතාන් නිමල් ජයකොඩි, අධිකාරි, ජෙබනේසන්, උප පොලිස්පති ඕ.සිරිචන්ද්‍ර, විශ්‍රාමලත් පොලිස් අධිකාරි ආර්.ඊ.කිටෝ, අනුර ද සිල්වා, සිඩ්නි ද සොයිසා සහ ඔසී කොරයා මෙලෙස අත්අඩංගුවට ගත් අය වූහ.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතාගේ නම ද ඇතැමුන්ගෙන් කියැවිණි. මෙම හේතුව නිසා ගුණතිලක මහතා ද තමන්ගෙන් ප්‍රශ්න කළාට කමක් නැතැයි සඳහන් කළේය. එහෙත් එංගලන්ත මහරැජින විසින් පත් කළ අග්‍රාණ්ඩුකාරවරයකු ගෙන් ප්‍රශ්න කිරීම මතභේදයට තුඩු දෙන කරුණක් වූ හෙයින් ඔහුගෙන් ප්‍රශ්න නොකෙරිණි.

එහෙත් ඔහු තනතුරින් ඉල්ලා අස්විය යුතු බව මාධ්‍යවලින් පැවසිණි. නඩු විභාගයේදී අනාවරණය වූයේ ඔලිවර් ගුණතිලක මහතාට සැකකරුවන් සමඟ සමීප සම්බන්ධයක් තිබුණු බවය.

එදා නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී මේ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් කතා කළ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මෙසේ පැවසුවේය.

“...සී.සී.දිසානායකත්, රොයිස් ද මෙල් සහ හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකුත් මේ රජය පෙරළීමට කුමන්ත්‍රණය සැලසුම් කළ බවත්, අග්‍රාණ්ඩුකාරවරයා ප්‍රධානියා වශයෙන් රජය භාර ගැනීමට කැමැත්තෙන් සිටි බවත් සිඩ්නි සොයිසා පවසා තිබෙනවා. ඔහුගේ සැලසුමට අනුව පාර්ලිමේන්තුව බලෙන් විසුරුවා හැර අග්‍රාණ්ඩුකාරවරයා ලවා හිස් ලියවිල්ලකට අත්සන් කරවාගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීමටත් ඔවුන් අරමුණු කරගෙන තිබුණා...”

මේ කුමන්ත්‍රණය සිදුවන විට මැතිනිය අගමැතිනිය වී ගතව තිබුණේ වසර එක හමාරක පමණ කාලයකි.

මේ අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු සිදු වූ ප්‍රධානතම දේශපාලන සිදුවීම වූයේ රටේ අග්‍රාණ්ඩුකාරවරයා ඉවත් කොට වෙනත් අයකු පත් කිරීමේ කටයුත්තය. එය බැරෑරුම් කටයුත්තක් වූයේ එම ධුරයට පත් කර ඇත්තේ එංගලන්ත මහරැජින විසින් වීමය.

ඊළඟ අභියෝගය වූයේ එවක අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් වෙනුවට පත් කළ යුතු අනුප්‍රාප්තිකයා කවුරුන්දැයි යන්න තෝරා ගැනීමය. අවසානයේ බණ්ඩාරනායක මැතිනිය ‍තෝරා ගත්තේ ඥාතිත්වයෙන් ඇයගේ මාමා කෙනකු වූ විලියම් ගොපල්ලව මහතාය. එවකට ඔහු සේවය කරමින් සිටියේ අමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙසිනි.

ඒ අනුව ගොපල්ලව මහතා මෙරටට ඉක්මනින් ගෙන්වා ගැනීම සඳහා කේබල් පණිවිඩයක් යැවිණි. අනතුරුව අගමැතිනියගේ නිර්දේශයට අනුව අග්‍රාණ්ඩුකාර ධුරයෙන් සර් ඔලිවර් ගුණතිලක මහතා ඉවත් කිරීමටත්, ඒ වෙනුවට විලියම් ගොපල්ලව මහතා පත් කරන ලෙසත් දන්වා මහ රැජිනට ලිපියක් සකස් කෙරිණි.

එම ලිපිය රැගෙන කටුනායක ගුවන් තොටුපළින් එංගලන්තයේ බකිංහැම් මාළිගය බලා යාමට නියම කෙරුණේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාටය. ඔහු එංගලන්තය බලා ගොස් එම ලිපිය මහ රැ‍ජිනට ඉදිරිපත් කළ පසු මහ රැජින ඒ අනුව කටයුතු කළාය. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා සිය මෙහෙවර ඉටුකර යළි මෙරටට එනවිට ඔලිවර් ගුණතිලක මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටියේය.

ගුණතිලක මහතා 1962 පෙබරවාරි 26 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබිණි. එදිනම එනම් 1962 පෙබරවාරි 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ විශේෂ නිවේදනයක් ජනතාවට නිකුත් කිරීමට කෙටුම්පත් කෙරෙමින් පැවතිණි. ඒ හේතුවෙන් එදින ගුවන්විදුලි විකාශය මධ්‍යම රාත්‍රිය දක්වා නොකඩවා දීර්ඝ කර තිබිණි.

එදින මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් විකාශය කෙරුණු නිවේදනය මෙසේය.

“ජී.සී.ඇම්.ජී.කේ.සී, වී.ඕ, කේ.බී.ඊ.නාමධාරි සර් ඔලිවර් ගුණතිලක උතුමාණන්ගෙන් පසු ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට එම්.බී.ඊ.නාමධාරි විලියම් ගොපල්ලව උතුමාණන් පත් කිරීමට ලංකාවේ පිහිටි මහ රාජිනියගේ ආණ්ඩුව මගින් කරන ලද යෝජනාව මහ රාජිනිය විසින් කරුණා පෙරදැරිව අනුමත කර ඇති බව මෙයින් නිවේදනය කරමි. මෙම පත්වීම 1962 මාර්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.”

එංගලන්තයේ බකිංහැම් මාලිගයෙන් ද මෙම නිවේදනයට සමාන නිවේදනයක් එදින එම වේලාවටම නිකුත් කෙරිණි. පසුදින මෙරට පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය වූයේ ‘ඔලිවර් යයි - ගොපල්ලව එයි’ යන පුවතය.

 බන්ධුල ගුණරත්න

ඉන්දියාවේදී ගෝවින්දන් වූ ලංකාවේ කොල්වින්

$
0
0
මැයි 27, 2022 01:00

1972 වර්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයකි. 1947 සිට පැවති ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට ගැති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර ශ්‍රී ලංකාව පූර්ණ නිදහස්, ස්වෛරී ජන රජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වැනිදාය. මේ ඉතිහාසගත කාර්යය සිදු වූයේ එවකට ව්‍යවස්ථා සම්පාදන අමාත්‍ය ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ පුරෝගාමිත්වයෙනි. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රථම සභාපතිවරයා වූ හෙතෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අධිකරණ හා විශ්ව නීතිය පිළිබඳ අන්තර්ජාතික කීර්තියට පත් විශාරදයෙකි. කෘතහස්ත දේශපාලනඥයෙකි.

1920 – 30 ගණන්වලදී මෙරට යළිත් ගොඩනැඟීගෙන ආ අධිරාජ්‍යවාදී බලපෑම්වලට විරුද්ධත්වය දැක්වීමට එදා සූරිය මල් ව්‍යාපාරය, ප්‍රබල මහජන මතයක් ගොඩනැඟුවේය. ඒ සඳහා මූලික වූයේ පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, බී. ජේ. ප්‍රනාන්දු, වර්නන් ගුණසේකර, රොබට් ගුණවර්ධන සහ කොල්වින් ආර්. ද සිල්වා යන 7 දෙනාය.

1932 දී එක්රැස් වූ මෙම කණ්ඩායමේ මූලිකත්වයෙන් ඇරඹුණු සූරිය මල් ව්‍යාපාරය පුළුල් ජනතා සංවිධානයක් ලෙස ව්‍යාප්ත වී ගියේය. මේ හත්දෙනා නිතර හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස 1935 දෙසැම්බර් 18 වැනිදා පක්ෂයක් ගොඩනැඟුණේය. ඒ, ලංකා සමසමාජ පක්ෂයයි.

පක්ෂයේ පරමාර්ථයන්ට එකඟ වී ශත 25ක් ගෙවා පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත හැකි විය. එදා පැවති මුල්ම රැස්වීමේදී සභාපති ධුරයට පත්වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. පක්ෂය ගොඩනඟා වසරක් ගතවීමට පෙර 1936 දී මහ මැතිවරණයක් පැවැත්විණි.

ඉන් අනතුරුව සමසමාජ පක්ෂය ගෙන ආ කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන ද ඉංග්‍රීසි ආණ්ඩුවට හිසරදයක් වී තිබිණි. ඉංග්‍රීසීන්ට අයත් වතුවල “ලංකා වතු කම්කරු සමිතිය” යටතේ වැඩ වර්ජන ව්‍යාපාර මෙහෙයවීම නිසා ලංකා සමසමාජ පක්ෂය 1940 දී තහනමට ලක් කෙරිණි. කොල්වින් අත්අඩංගුවට ගැනිණි. අනතුරුව පිලිප්, ඇන්. ඇම්. සහ එඩ්මන්ඩ් සමරක්කොඩි ද අත්අඩංගුවට ගැනිණි. ඔවුන් රිමාන්ඩ් කරන ලද්දේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේය. ඒ වන විට කොල්වින්ගේ වයස අවුරුදු 33කි.

ඔහු උපන්නේ 1907 පෙබරවාරි 16 වැනිදා බළපිටියේදීය. ඔහුගේ පියා දොස්තර ඒ. ද සිල්වාය. බළපිටිය ක්‍රිස්තියානි මිෂනාරි පාසලට ගිය ඔහු පසුව පානදුර ශා. ජෝන් විදුහලට ඇතුළත් කෙරිණි. අනතුරුව කොළඹ රාජකීය විදුහලින් උගත් කොල්වින් ශිෂ්‍යයා ශිෂ්‍යත්වයක් දිනා 1924 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් පසු හෙතෙම ලන්ඩනයේ කිංස් කොලීජියට ඇතුළු වී 1932 දී පී. එච්. ඩී. උපාධිය ලැබ අනතුරුව නීති උපාධිය ද සමත් වූයේය. එහිදී ඔහුට ඩකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේ පීඨාධිපති සහ දකුණු අප්‍රිකාවේ විශ්වවිද්‍යාලයක පීඨාධිපති තනතුරක් හිමි වුව ද ඔහු ඒවා ප්‍රතික්ෂේප කර යළි මවුබිමට ආවේය.

ඒ වන විට මෙරට ජනතාව මැලේරියා වසංගතයට ගොදුරු වී තිබිණි. ඔහු සූරිය මල් ව්‍යාපාරය සමඟ එකතුවී රෝගී ජනතාව බේරා ගැනීමට එක් වූයේය. තමන් විසින් සාදා ගත් ලුණු කැඳත්, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා නියම කළ බෙහෙත් වර්ගත් රැගෙන එදා ගෙන් ගෙට යමින් ඒවා අසාධ්‍ය රෝගීන්ට පෙවීමට කොල්වින්ද, ඇන්. ඇම්ලා සමඟ එක් වූයේය.

1935 දී ලංකා සමසමාජ පක්ෂය බිහි කිරීමෙන් පසු 1940 ජූනි 17 වැනිදා කොළඹ උසාවියේදී නඩුවකට පෙනී සිට යළි එද්දී ඔහු අත්අඩංගුවට පත්වූයේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයක් බව ප්‍රකාශ කළ නිසාය.

පිලිප්, ඇන්. ඇම්, එඩ්මන්ඩ් සමඟ කොල්වින් බන්ධනාගාරයෙන් මුදාගනු ලැබුවේ 1941 අප්‍රේල් 7 වැනිදා රාත්‍රියේ රොබට් ගුණවර්ධන ඇතුළු කිහිපදෙනෙක් තම දිවි නොතකා කළ රහස් වැඩපිළිවෙළකිනි.

ඉන් මාස තුනකට පමණ පසු වැල්වැටිතුරේ නීති ශිෂ්‍යයකුව සිටි කනගරත්නම්ගේ උදව් ඇතිව ඔරුවක නැඟී ඔවුහු ඉන්දියාවට පැන ගත්හ.

ඉන් මාස කිහිපයකට පසු ඉන්දියාවේදී බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය පිහිටුවා කොල්වින් එහි නායකත්වය දරමින් සමසමාජ ව්‍යාපාරයත්, ඉන්දීය නිදහස් සටනටත් සහාය දැක්වීමට මහත් උනන්දුවෙන් කටයුතු කළේය. එහිදී පිලිප් සහ ඇන්. ඇම්. යළිත් පොලිස් අත්අඩංගුවට පත්වුවත් කොල්වින් උපක්‍රමශීලීව කල්කටාවට පැන ගත්තේය.

එහිදී ඔහු පුවත්පත් සඳහා ලිපි ලියුවේ එස්. ගෝවින්දන් යන නමිනි. 1943 නොවැම්බරයේදී කොල්වින් ඇතුළු පිරිස යළි මෙරටට ආවේ යුද්ධය නිමවී ඔවුනට නඟා තිබූ වරෙන්තු ද ඉවත් කර ගැනීමෙන් පසුවය.

එහෙත් ලංකා සමසමාජ පක්ෂය වශයෙනුත්, ඉන්දියාවේදී බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය වශයෙනුත් එකට සිටි ඔවුහු යළි මෙරටට එන විට දෙපිලකට බෙදී සිටියහ. පිලිප්, ඇන්. එම්. ප්‍රමුඛ පිරිසක් ලංකා සමසමාජ පක්ෂයේම සිටි අතර කොල්වින්, ලෙස්ලි, චම්ලි, ඩොරික් ද සූසා, එඩ්මන්ඩ්, බර්නාඩ් සොයිසා ඇතුළු පිරිසක් බොල්ෂවික් පක්ෂයට එකතු වූහ.

1947 මහ මැතිවරණයට බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂයෙන් මුලින්ම වැල්ලවත්ත - ගල්කිස්ස අසුනට ඡන්දය ඉල්ලූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඡන්ද 11606ක් ලබා ගනිමින් ජය ගත්තේය. එනමුත් ඔහු ඇතුළු සියලු දෙනා 1952 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ යළිත් ලංකා සමසමාජ පක්ෂයෙනි. එවර කොල්වින් ආර්. ද සිල්වා මහතාට ජය ගැනීමට නොහැකි විය.

එනමුත් 1956 මහ මැතිවරණයෙන් ඔහු ජය ගත්තේ එජාපයේ එස්. ද එස්. ජයසිංහ මහතා පරදවමිනි. යළිත් ඔහු ඊළඟ 1960 මාර්තු මහ මැතිවරණයෙන් පරාජය වුවත් එම ජූලි මැතිවරණයෙන් ජය ගත්තේය. 1965 මහ ඡන්දයෙන් ඔහු යළි පරාජය වූ අතර 1967 මැයි 17දා අගලවත්ත අසුන වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයට ඉදිරිපත්වී ඉන් ජයගෙන නැවත පාර්ලිමේන්තුවට ආවේය.

ඔහු එක් මැතිවරණයකින් පරාජය වීමට බලපෑවේ සතාසිවම් මිනීමැරුම් නඩුවේදී ඔහු ඉන් බේරා ගැනීමට විත්ති පාර්ශ්වය වෙනුවෙන් නඩුවට කතා කිරීම බව පැවසිණි.

ඩඩ්ලි සේනානායක ආණ්ඩුව සමයේ ජීවන වියදම් අංකය ඉහළ ගිය අතර විරැකියාව ද වර්ධනය විය. මේනිසා විපක්ෂයේ සිටි සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමඟ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

ඒ හේතුවෙන් ශ්‍රී.ල.නි.ප. සහ ල.ස.ස.පයත්, කොමියුනිස්ට් පක්ෂයත් එකතුවී රජයක් පිහිටුවීම සඳහා 1968 ජූනි 5 වැනිදා පොදු සම්මුතියකට අත්සන් තැබූහ. අනතුරුව 1970 පැවති මහමැතිවරණයට අගලවත්ත අසුනට ඉදිරිපත් වූ සිල්වා මහතා ඉන් ජය ගත්තේය.

සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ජය ගත් සමගි පෙරමුණ ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත හා ව්‍යවස්ථා සම්පාදන ඇමැති ධුරය හිමි වූයේ සිල්වා මහතාටය.

1970 ජූලි 19දා මැතිනියගේ ආරාධනයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් ලෙස රැස් වූහ.

ඇමැති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ප්‍රමුඛව විවිධ කාරක සභාවලින් ලැබී ඇති යෝජනා හා කෙටුම්පත් විශ්ලේෂණය කෙරිණි. ඒ අනුව සකස් කළ “ජනරජ ව්‍යවස්ථාව” 1972 මැයි 22 වැනිදා සම්මත කොට ක්‍රියාත්මක කරනු ලැබීය. ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟම එතෙක් ‘ලංකාව’ යනුවෙන් භාවිත කළ නාමය “ශ්‍රී ලංකාව” බවට පත් විය.

1975 දී සමඟි පෙරමුණ ආණ්ඩුව කඩා වැටීම ඇරඹිණි. ඒ ශ්‍රීලනිපය හා ලසසපය අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙනි. ඒ හේතුවෙන් ආචාර්ය කොල්වින්, ආචාර්ය ඇන්. එම්. පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන යන ඇමැතිවරුන් ඉවත් කෙරිණි.

කෙසේ වුවද 1977 මහ මැතිවරණයෙන් ඔහු ඇතුළු වාමාංශික පක්ෂවල මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පරාජයට පත් විය.

1953 හර්තාලයේදී විත්තිකරුවන් 450ක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඔවුන් නිදහස් කර ගත්තේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. 1960 මැතිනියගේ ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණ නඩුවේදී හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් වෙනුවෙන් පෙනී සිට උන්වහන්සේ නිදහස් කර ගත්තේ ද ඔහුය. මෙරට ප්‍රකට නඩු කීපයකම විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. සුප්‍රකට හාරලක්ෂ මංකොල්ලය, වයිට්හවුස් මිනීමැරුම් නඩුව, ගාල්ලේ කුලරත්න නඩුව, සතාසිවම් මිනීමැරුම් නඩුව ඉන් කිහිපයකි. මෙරට අන් කිසිදු දේශපාලනඥයකු සතු නොවූ අන් අය කතාවෙන් ඇද බැඳ ගන්නට සමත් කතා විලාසයක් ඔහු සතුව තිබිණි.

දේශපාලනයෙන් හරිහම්බ කර නොගත්, අවංක, දූෂණ හා වංචාවලින් තොර දිවියක් ගෙවූ ඒ මහතා 1972 ජනරජ ව්‍යවස්ථාව නිසා ලංකාව, ශ්‍රී ලංකාවක් වීම ගැන කම්පාවෙමින් එදා අගලවත්ත ප්‍රාදේශීය ආදායම් නිලධාරි වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතාට මෙසේ පවසා තිබිණි.

“මේ රට ඉදිරියේදී ශ්‍රී ලංකාව බවට පත් වෙනවා. ලංකාව සිලෝන් කළේ ඉංග්‍රීසීන්. 1815 දී ඉංග්‍රීසීන්ට උඩරට ගිවිසුමෙන් බාර දුන්නෙ ලංකාව නෙවෙයි. ගිවිසුමේ තියෙන්නෙ ‘සිංහලේ’ කියලයි.

ඉඩමක් බදු දුන්නත් ඒක ආපහු බාර දෙන කොට වෙනස්කම් නොකර ඒ තත්ත්වයෙන්ම බාර දිය යුතුයි. සිංහල රජ සිරිත්, චාරිත්‍ර ඒ විධිහටම කරන්නයි ඉංග්‍රීසීන් ගිවිසුමෙන් පොරොන්දු වුණේ.

ඒත් ඒක එහෙම වුණේ නෑ. සිංහලේ සිලෝන් කරලා ආපහු දුන්නා. මේ රට ආයෙත් නම් කරන්නට වුණේ මේ නිසයි. රටක් කියන්නෙ විශාල ඉඩමක්. ඒකෙ කාලයක් තිස්සෙ ජීවත්වෙච්ච ජාතියකුත් ඉන්නවා. එනිසයි රටත්, ජාතියත් හැමවිටම සම්බන්ධ වෙන්නෙ.

රටකට හා ජාතියකට නම ලැබීමේදීත් මේ සම්බන්ධය පැහැදිලිව පේනවා. එක්කෝ ජාතියේ නම ඒ රට ලැබෙනවා. නැත්නම් රටේ නම ජාතියට ලැබෙනවා. මේක තමයි පිළිගත් සම්ප්‍රදායන් දෙක. අපිට ඒ දෙකම ලැබෙන්නෙ නෑ.

උදාහරණ හැටියට චීන ජාතිකයන්ගෙ රට චීනය. ජපන් ජාතිකයන්ගෙ රට ජපානය. ස්පාඤ්ඤවරුන්ගේ රට ස්පාඤ්ඤය. ඇංග්ලෝවරුන්ගෙ රට ඇංග්ලෝලෑන්ඩ් එහෙමත් නැත්නම් ඉංග්ලන්ඩ්. තායිවරුන්ගේ රට තායිලන්ඩ්.

ශිෂ්ටාචාරයක් නොතිබුණු හා ජාතීන් නොසිටි රටවල්වල නම් හැදුනෙ මෙහෙමයි. ඩේවිඩ් ලිවිංග්ස්ටන්, සිසිල් රොඩ්ස්, චැඩ්ලා වගේ අය අප්‍රිකාවට යන කොට මිනිස්සුයි වඳුරොයි අතරෙ වෙනසක් තිබිලා නෑ. මිෂනාරීන් තමයි ඒ අයගෙ වල්ගෙ කපලා කලිසම් ඇන්දුවෙ. මොනවද මේ රටවලට දැම්ම නම්?

සිසිල් රොඩ්ගෙ පතල් තිබුණු රට රොඩේෂියාව වුණා. මස් හා තිරිඟු නිපදවූ චැඩ්ගෙ රට චැඩ් වුණා. සුද්දො රත්තරන් පටවපු රට ගෝල්ඩ්කෝස්ට් වුණා. ඔවුන් ඇත් දත් පටවපු රට අයිවරිකෝස්ට් වුණා. නයිජර්ගෙ රට නයිජර් වුණා. අන්තිමට වුණේ රටේ නමින් ජාතිය නම් වීමයි. චැඩ් රටේ ජාතිය චැඩ්යන්. රොඩේෂියාවෙ ජාතිය රොඩේෂියන්. නයිජීරියාවෙ ජාතිය නයිජීරියන්.

අප්‍රිකාවෙ වගේම තමයි ලතින් ඇමෙරිකාවෙත්. 19 වැනි සියවසේ තමයි රටවල් ඇති වුණේ. යුරෝපයෙන් ගිය සුද්දො තමයි මේ රටවල් බෙදීම කළේ. ඒබ්‍රහම් ලින්කන් 19 සියවසේදීම මේක දැක්කා. ඒ නිසා තමයි ඔහු කීවෙ “වහලා කල් යෑමේදි සිය වහල් බැමිවලට ඇලුම් කරයි” කියලා. අපි වහල් බැමි තුළ හිටියා වැඩියි. ඒකයි දැන් ඒවාට ඇලුම් කරන්නේ. පැරණි ජාතීන්ගේ ගොඩට වැටෙන්න ඕන ලංකාව දඟලන්නේ අලුත් ජාතීන්ගේ ගොඩට වැටෙන්නයි.

ලංකාවට ශ්‍රී ලංකාව කියලා නම දාලා ජාතිය ශ්‍රී ලන්කන් කර ගත්තෙ අපිමයි. ඉංග්‍රීසිකාරයො වනචාරීන් විදිහට ගල්ගුහාවල ඉන්න කොට අපි මහමුහුද වගෙ විශාල වැව්, දාගැබ් හදාගෙන වැජඹෙච්ච ජාතියක්...

 බන්ධු මිත්‍ර

අතුරු මැතිවරණවලට රාජ්‍ය බලය යෙදූ හැටි

$
0
0
මැයි 27, 2022 01:00

දේශපාලනය යනු බුද්ධියෙන් කළ යුතු ක්‍රීඩාවකි. වාසනාව ද එයට එක් වූ කළ දේශපාලනය වඩාත් සාර්ථක කර ගත හැකිය. එසේ බුද්ධියෙන් තොරව දේශපාලනය කළ හැකි නමුදු එයින් ලබන ජයග්‍රහණ එතරම් කල් පවතින ඒවා නොවේ. මෙරට දේශපාලන ඉතිහාසය තුළ බුද්ධියෙන් දේශපාලනය කළ සටකපටකමින් කෙළ පැමිණි අය අතර ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රකටය. ජේ. ආර්. තරම් “මුට්ටිය දමා බැලීම” හෙවත් “ලිට්මස් පරීක්ෂණ” මඟින් බිම් මට්ටමේ දේශපාලන වාතාවරණය සොයා බැලූ කෙනකු නැති තරම්ය.

දේශපාලන ලිට්මස් පරීක්ෂණ යනු ප්‍රධාන මැතිවරණයකට පෙර තිබෙන අතුරු මැතිවරණය. එවැනි අතුරු මැතිවරණ අතර 1976 ජා ඇළ අතුරු මැතිවරණය, අසූව දසකයේ කලා වැව, මහර අතුරු මැතිවරණ මෙන්ම 1988 ජනාධිපතිවරණය කටේ පැවැති රත්නපුර අතුරු මැතිවරණය ප්‍රකටය.

යළිත් එවැනි අතුරු මැතිවරණ ලෙස සැලකිය හැකි අවස්ථා කිහිපයක් ද එළඹුණි. ඒ 1994 මාර්තුවේ ෆ්‍රැන්සිස්කු සිද්ධියෙන් පසු පැවැති පළාත් සභා මැතිවරණය, 2015 ජනාධිපතිවරණය මුවවිට පැවැත්වූ ඌව පළාත් සභා මැතිවරණය සහ 2019 ජනාධිපතිවරණයට සති හතරකට පෙර පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයයි. ජා ඇළ අතුරු මැතිවරණයේදී ජය ගත්තේ ජෝසප් මයිකල් පෙරේරා මහතාය. ඔහුගේ ජය 1977 එජාපය ලබන විශාල ජයග්‍රහණය පිළිබඳ මූලික ඉඟියක් විය. ඉන්පසුව පැවැති අතුරු මැතිවරණ ජයගත් පාර්ශ්වය ඊළඟ ජාතික මැතිවරණය ජය ගත් අතර එය වෙනස් වූයේ 1988 රත්නපුර අතුරු මැතිවරණයේදී සහ 2014 ඌව පළාත් සභා මැතිවරණයේදී පමණි.

1988 රත්නපුර ආසනය නන්ද එල්ලාවල මහතා ශ්‍රීලනිප ය නියෝජනය කරමින් පහසුවෙන් ජයගත් අතර ඌව පළාත් සභාව ළඟ සටනකින් පසු එවක පාලක පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තේය. එහෙත් ඉන්පසු පැවැති ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය ද එම සන්ධානය ට ජය ගැනීමට නොහැකි විය. රත්නපුර දී ජය ගත් ශ්‍රීලනිපය ට 1988 ජනාධිපතිවරණය මෙන්ම 1989 මහ මැතිවරණය ද ජය ගැනීමට අවස්ථාව නොලැබුණි. පූර්ව නිගමන මෙන්ම පුරෝකථන දේශපාලනය තුළ බොහෝ විට සාර්ථක වුවද එය එසේ නොවන අවස්ථා ද නැතුවා නොවේ.

1988 වන විට රටේ තිබුණේ යහපත් වාතාවරණයක් නොවේ. සැම තැනම තිබුණේ ආරවුල් ම පමණි. මතු පිටින් බැලූ විට පෙනෙන්නට තිබුණේ කැකෑරෙන ආණ්ඩු විරෝධයකි. “ජේ. ආර්. මරමු” කියන තරමටම ඒ විරෝධය උග්‍ර වී තිබුණි. ඒ වන විට 1988 ජනාධිපතිවරණයට තිබුණේ ද සුළු කාලයකි. ඒ කාලයේ දී පළාත් සභා මැතිවරණ පවත්වා තිබුණ ද ප්‍රධාන විපක්ෂය ඒ මැතිවරණය වර්ජනය කිරීම සහ ජවිපෙ ද එයට සහාය දීම තුළ ඇත්ත වාතාවරණය දැන ගැනීමට ජේ. ආර්. ජයවර්ධන මහතාට අවශ්‍යව තිබුණි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ වමට මදක් බර රත්නපුර ආසනයය.

ඒ අනුව රත්නපුර ආසනයේ අතුරු මැතිවණය සඳහා ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා සමඟ විපක්ෂයෙන් තරග කළේ බණ්ඩාරනායක මැතිනිය සමඟ නෑදෑ සබඳකමක් තිබූ නිර්භීත පුද්ගලයකු ලෙස ප්‍රකට නන්ද එල්ලාවල මහතාය.

නන්ද එල්ලාවල මහතා ශ්‍රීලනිපය නියෝජනය කළ ද ඒවන විට රහසිගත දේශපාලනයක නියැළි ජනතා විමුක්ති පෙරමුණ සමඟද ළඟ ගනුදෙනුවක් තිබුණි. මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වූ බණ්ඩාරනායක මැතිනිය, අනුර, රුක්මන්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මුළුමහත් විපක්ෂයේම සහාය ලැබුණේ එල්ලාවල මහතාටය.

භීෂණය උතුරා ගිය රත්නපුර ප්‍රදේශය ගැන ජේ. ආර්. බැලුවේ ජනමතය මැනිය හැකි මීටරයක් ලෙසය. මැතිවරණ කොමිෂන් සභා නැති ඒ කාලයේ ක්‍රියාත්මක වූයේ මැතිවරණ දෙපාර්තමේන්තුවකි. එදා ආණ්ඩු බලය ඉසිලූ අය මැතිවරණය මෙහෙය වූයේ උපරිම රාජ්‍ය බලය යොදවමිනි. ප්‍රධාන මාධ්‍ය ආයතන තුනම පැවැතියේ ආණ්ඩුව සතුවය. විපක්ෂයට යම් ඉඩක් ලැබුණේ එක් ජාතික පුවත්පතකින් පමණි. ඒ සියල්ල මැද මැතිවරණයක් ජය ගැනීම නොව මැතිවරණ ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමද ඉතාමත් දුෂ්කර වැඩකි.

ආණ්ඩුවේ මේ මර්දනයට තරුණ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වීම පහසුවක් විය. ඒ ආකාරයේ දුෂ්කර වාතාවරණයක මැතිවරණයක් ජය ගැනීම අපහසු දෙයකි. ඊට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප බලකොටුවක් වන මහර ආසනය ජය ගැනීමට ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාට හැකියාව නොලැබුණි. එවන් තත්ත්වයක් තුළ ශ්‍රීලනිප බළකොටුවක් නොවන රත්නපුර ආසනය ජය ගැනීමට උත්සාහ කිරීම නිශ්ඵල දෙයක් වීමට බොහෝ විට ඉඩ තිබුණි.

එහෙත් රත්නපුර දී සිදු වූයේ නොසිතූ දෙයකි. ජේ. ආර්. ගේ හයෙන් පහේ ආණ්ඩුවට අභියෝග කිරීමට පමණක් නොව රත්නපුර පාර්ලිමේන්තු ආසනය ජය ගැනීමට ද ශ්‍රීලනිප අපේක්ෂක නන්ද එල්ලාවල මහතාට හැකි විය. එක රැයකින් නන්ද එල්ලාවල ආණ්ඩු විරෝධීන්ගේ වීරයා බවට පත්විය.

මේ ජය සමඟ බණ්ඩාරනායක මැතිනිය සිතුවේ ජනාධිපතිවරණය දිනන එක කජු කනවාටත් වඩා පහසු බවය. මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ලෙස දිනේෂ්, රුක්මන්, කුමාර් පොන්නම්බලම්, අෂ්රොෆ් ඇතුළු කණ්ඩායම් ද ජවිපෙ සමඟ අවබෝධයක් සහිතව ජනාධිපති අපේක්ෂිකාව ලෙස තරග කරන්නට සිටි මැතිනිය තීරණය කර තිබුණේ පොදු ලකුණක් යටතේ පොදු අපේක්ෂිකාව ලෙස තරග කිරීමටය. එහෙත් අවසානයේ ඇය තීරණය කළේ ශ්‍රීලනිප අපේක්ෂිකාව ලෙස අත ලකුණෙන් තරග කිරීමටය.

අවසානයේදී සිදු වූයේ මවුබිම සුරැකීමේ ව්‍යාපාරය කෙමෙන් විසිර යාමය. ජවිපෙ ද මැතිවරණය වර්ජනය කරන ස්ථාවරයට එළඹීමය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රත්නපුර ජයග්‍රහණය ලබා ගත්ත ද, එය ජාතික ජයග්‍රහණයක් වෙත තල්ලු කර ගෙන යාමට හැකියාවක් නොලැබීමය. සාමාන්‍ය ලෙස ජාතික මැතිවරණයකට පෙර පවත්වන අතුරු මැතිවරණයකින් ජය ගන්නා කණ්ඩායම සාමාන්‍ය ලෙස ජාතික මැතිවරණය ද ජය ගන්නා රැල්ලක් තිබුණ ද එය රත්නපුර අතුරු මැතිවරණයෙන් පසු වෙනස් විය.

බණ්ඩාරනායක - ප්‍රේමදාස සටනින් ප්‍රේමදාස මහතා ජය ගත් අතර ජනාධිපතිවරණයේදී ද රත්නපුර මැතිවරණ කොට්ඨාසය ජය ගැනීමට බණ්ඩාරනායක මැතිනියට හැකියාව ලැබුණි. එහෙත් ජනාධිපතිවරණය මෙන්ම ඉන්පසු පැවැති මහමැතිවරණය ද ජය ගැනීමට හැකියාව නොලැබුණි.

ඉන්පසු මෙවැනිම දෙයක් වූයේ 2014 වසරේදීය.එනම් ඌව පළාත් මැතිවරණය පාලක නිදහස් සන්ධානය ජය ගත්ත ද ජනාධිපතිවරණයේදි බදුල්ල දිස්ත්‍රික්කය පවා නිදහස් සන්ධානය ට දිනා ගැනීමට හැකියාව නොලැබුණි.

දේශපාලනයේ ලිට්මස් පරීක්ෂණ, පුරෝකථන කළ හැකි මෙවැනි අතුරු මැතිවරණ ජය ගත්ත ද ඒ ලිට්මස් පරීක්ෂණ සමහර වෙලාවට වෙනස් වීමට පුළුවන. රත්නපුර දී සහ ඌව පළාතේදී මේ නිගමන සහ නියාමන වැරදුනි.

 උදිත ගුණවර්ධන

අරගල කළ පමණින් පොදු සමාජ අවශ්‍යතා ඉටු වේ ද?

$
0
0
මැයි 27, 2022 01:00

රට තුළ පවතින විවිධ ආර්ථික, දේශපාලන ගැටලු මුල් කර ගෙන ජනතාව අරගල කිරීමට පටන් ගත්හ. ජන අරගල හේතුවෙන් දේශපාලන මෙන්ම ආර්ථික ක්ෂේත්‍රවල යම් ආකාරයක වෙනස්කම් රැසක් සිදු විය. ඕනෑම ක්ෂේත්‍රයක වෙනස්කම් සිදු කළ යුත්තේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය තුළ හිඳිමින්මය. එය එක්තරා අන්දමකින් අභියෝගයකි. අරගලයේ සමාජ බලපෑම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මුවඇටගම ඤාණානන්ද නාහිමියෝ මෙසේ අදහස් දක්වති.

මේ වන විට සමස්ත සමාජයම කතා කරමින් සිටින්නේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලනික ක්‍රියාවලිය කඩිනමින් වෙනස් විය යුතු බවය. ‘සිස්ටම් චේන්ජ්’ සංකල්පය ඔස්සේ මෙය කරළියට පැමිණ තිබේ. මේ තුළ අපට මතු වන ප්‍රශ්නයක් ඇත. එය නම්, සමාජයක් ලෙස අප මෙතෙක් වෙනසක් කළේ නැද්ද? යන්නය. අප සිටියේ වෙනසක් සිදු කරමිනි. එම වෙනස සඳහා සියලු දෙනා කොටස්කරුවන්ව සිටියත්, අපගේ අපේක්ෂා සඵල වන ආකාරයෙන් ඒ වෙනස සිදු නොවුණි. ඒ නිසා දැන් අපේක්ෂා සඵල වන ආකාරයේ වෙනසක් අපට අවශ්‍යව තිබේ. එම වෙනස අපේක්ෂාවෙන් අරගලද ක්‍රියාත්මක වෙමින් ඇත. අරගල දැඩි කළ පමණින් පොදු සමාජ අවශ්‍යතා සඵල වන ආකාරයේ වෙනසක් සිදු කළ හැකි ද? යන්න සම්බන්ධයෙන් පවතින්නේ ප්‍රශ්නාර්ථයකි. මෙහිදී අප විශේෂ අවධානය යොමු කළ යුතු හා තේරුම් ගත යුතු කරුණු දෙකකි. සමස්ත ක්‍රියාවලියම උඩු යටිකුරු කිරීමෙන් අප අපේක්ෂා කරන වෙනස සිදු කළ නොහැකිය. අප උත්සාහ කරමින් සිටින්නේ පවත්නා සමාජයේ ආර්ථික හා දේශපාලන අංශවල චින්තනමය වෙනසක් කිරීමටය.

පොදු අපේක්ෂා

එහිදී වත්මන් සමාජය මේ වන විට ක්‍රියාත්මක වන ස්වභාවය තේරුම් ගෙන, අදාළ වෙනසට මුලපිරීම වැදගත්ය. මේ වෙනස සිදු කිරීමට උත්සාහ කරන්නේ අප අනුමත නොකරන දේශපාලනික හා ආර්ථික ක්‍රියාවලිය තුළ සිට බව මුලින්ම අවබෝධ කර ගත යුතුය. හිටි හැටියේ අත්තනෝමතික ලෙස සමාජයක් වෙනස් කිරීම පහසුවෙන් කළ නොහැකිය. මේ වෙනස ක්‍රමානුකූලව කළ යුත්තක් හා සිදු විය යුත්තක් වන්නේ ඒ නිසාය. පවත්නා ක්‍රමය උඩු යටිකුරු කිරීමක් කරන්න යෑමෙන් සිදු වන්නේ අපේක්ෂිත වෙනසට වඩා බරපතළ කඩා වැටීමක් කරා සමාජයේ සෑම ක්ෂේත්‍රයකම ගමන් ගැනීමය. මෙතැනදී වඩා වැදගත් වන්නේ ප්‍රතිසංස්කරණය නම් කාරණයය. සමාජයේ සිදු විය යුත්තේ ඉක්මන් ප්‍රතිසංස්කරණයකි. දෙවැන්න නම් එක් අයකුගේ හෝ කණ්ඩායමක හෝ අපේක්ෂා අනුව නොව, මේ වෙනස පොදු මහත් සමාජයේ අපේක්ෂා අනුව සිදු කිරීම හා එසේ කිරීමට පියවර ගැනීමය.

අප මේ මොහොතේ අත්විඳින සමාජ ගැටලුවලට එක් හේතුවක් ලෙස තාවකාලික අභිලාෂය මත සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය වෙනස්කම් කිරීම දැක්විය හැකිය. එසේ නම් යළිත් එවැනි තත්ත්වයකට තල්ලු වීමට වඩා වැදගත්වන්නේ පොදු සමාජයේ වුවමනාව මත අදාළ වෙනස්කම් කිරීමය.

එක් එක් ආණ්ඩු වරින්වර තරගකාරීව ඉදිරිපත් කළ වැඩපිළිවෙළ හා යෝජනා මගින් පොදුජන සමාජ අපේක්ෂා ඉටු වූයේ නැත. රටේ පොදු අපේක්ෂා හා අරමුණු ඉටු කිරීමට පසුබිම සැකසෙන සේ අදාළ වෙනස කිරීමට පළමුව සැලසුම් කළ යුතුය. එසේ සැලසුම් කිරීමේදී විවිධ යෝජනා, අදහස්, පූර්ව අත්දැකීම්, පුද්ගල හැකියා විශේලේෂණය කිරීමට මෙන්ම හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. උපකල්පන මත පිහිටා අඩුපාඩු විවේචනය කිරීමට හා නිවැ‍රැදි තීන්දු ගැනීමට එමඟින් අවස්ථාව උදා කර ගත හැකිය. එමගින් සමාජය අපේක්ෂා කරන වෙනස සඳහා අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට පසුබිම සැකසේ. එය ක්‍රියාත්මක වන අතරතුර පසු විපරම මඟින් තව දුරටත් වෙනස්කම් සඳහා යොමු වීමට අවස්ථාව උදා කර ගත හැකිය. මෙයින් අප වටහා ගත යුත්තේ අපේක්ෂා කරන වෙනස ක්‍රමානුකූලව, අවබෝධයෙන් යුතුව සිදු කර ගත යුතු බවය. මෙහිදී ගෝලීය වශයෙන් අපට බලපාන සමාජ, ආර්ථික හා දේශපාලන ව්‍යුහය සඳහා හේතු වන ප්‍රබල කාරණාද පහසුවෙන් බැහැර කළ නොහැකි බව තේරුම් ගැනීම වැදගත්ය. රටේ ණය බර, විදේශ ආයෝජන හා බැඳුණු ක්ෂේත්‍ර නොතකා හැර, මේ කිසිදු වෙනසක් සිදු කළ නොහැකි බව තේරුම් ගත යුතුය. මේ වෙනස්කම් කිරීමේදී පූර්ව සැලසුම් සකස් කිරීමට විශේෂඥ දැනුම ඇති පිරිසකගේ සහාය ගැනීම වැදගත්ය. අප රටේ ඒ සඳහා ප්‍රාමාණික දැනුම ඇති සම්පත් දායකයන් සිටී. ඔවුන් මේ මොහොතේ ඊට සම්බන්ධ කර ගැනීම රාජ්‍ය පරිපාලන හා දේශපාලන අධිකාරීත්වයේ වගකීමය.

දේශපාලන ඉතිහාසය

සමාජයක් ලෙස අපේ වගකීම වන්නේ ඔවුන් එය නිවැ‍රැදිව ඉටු කරන්නේ ද? යන කාරණය පිළිබඳ විමසිල්ලෙන් සිටීමත්, ඒ සඳහා ඔවුන් පෙලඹවීම හා උනන්දු කිරීමත්ය. ජනතාව වීදි බැස, මේ වගකීම මේ වන විට සිදු කරමින් සිටින බව පෙනෙන්න තිබේ. වීදි බැස කරන අරගල මඟින් ප්‍රතිපත්ති සම්පාදනය කරන දේශාපාලන අධිකාරීත්වයත්, ඒවා ක්‍රියාත්මක කරන රාජ්‍ය පරිපාලන යන්ත්‍රණයත්, අධිකාරීත්වයත් අපගේ පොදු අරමුණ කරා කොතෙක් දුරට තල්ලු කිරීමට හැකි වනු ඇද්ද? යන්න සම්බන්ධව විමසිලිමත් වීම වැදගත්ය. උද්ඝෝෂණ හා වීදි බැසීම් මඟින් සිදු වෙමින් තිබෙන්නේ අප අපේක්ෂා කරන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා වන වැඩපිළිවෙළට යම් බාධාවක් ඇති වෙමින් තිබීමය. මහ ජනතාව ලෙස අප මේ සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතුය. නූතන දේශපාලන ඉතිහාසය පුරාම සිදු කර ඇති මේ වරද දිගින් දිගටම සිදු නොකළ යුතුය. වෙනසක් අපේක්ෂාවෙන් ඒකරාශි වී සිටින ජනතාව අතර සිටින ඇතැමුන්ගේ අදහස්, සමාජය තුළ හිංසනකාරී තත්ත්වයක් ඇති කිරීම දක්වා ගමන් කිරීම, අරගලවලට ඍණාත්මක බලපෑමක් එල්ල වීමට හේතු විය හැකි කාරණයකි. මේ වන විට ඒවා ප්‍රශ්න කරන තත්ත්වයක් මතු වෙමින් තිබේ. ඕනෑම දෙයක් ඔහේ සිද්ධ වීමට ඉඩ හැරීමත්, විචාරශීලීත්වයෙන් තොරව සියල්ල අනුමත කිරීමත් පොදු සමාජය තුළ පවත්නා අඩුපාඩුවකි.

අනාගත පරපුර

මෙයට වසර 35 - 40කට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටියදී ජ්‍යෙෂ්ඨයන් විසින් අප මෙහෙයවනු ලැබුවේද සාමකාමී අරගල වෙතය. අප බලාපොරොත්තු වූ වෙනස අපේක්ෂා කළ පරිදි සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූයේ, අප අනුගමනය කළ එම ක්‍රියාපිළිවෙතේ වරදක් නිසා මිස, අප අපේක්ෂා කළ වෙනසේ වරදක් නිසා නොවේ. අතීත අත්දැකීම් විශ්ලේෂණය කර අප අපගේ පිළිවෙත් හා අරමුණු සාධනීය කර ගැනීමට පියවර ගත යුතුව ඇත. මහජන උද්ඝෝෂණවලදී පිරිස් බලය පෙන්වූ පමණින් අරමුණු ජයග්‍රහණය කර ගත හැකි ද? යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මේ නිසාම අදාළ කාරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. සමීපතම අතීත සිදුවීම් ඔස්සේ නීතියේ ආධිපත්‍යය පිළිබඳත්, නීතිය මඟින් දිය යුතු සමාජ සුරක්ෂිතතාව සම්බන්ධවත් මතු වූ ප්‍රශ්නාර්ථය මඟින් ජන හදවත්වල විශාල කම්පනයක් හා බියක් මතුව ඇත. රාජ්‍ය ආයතනවලට හා පෞද්ගලික ස්ථානවලට කඩා වැදී සිදු කරන බියවැද්දීම්, දේපොළ විනාශ කිරීම් මේ ආකාරයෙන් සිදු වීමට ඉඩ දීමෙන්, රටක් හා ජනතාවක් ලෙස අපට අත්වන ඉරණම කුමක්ද? යන්න සම්බන්ධව සැවොම අවධානය යොමු කළ යුතුව ඇත. අනාගාමික රටක් නොවන ශ්‍රී ලංකාවේ සිදු වන මෙවැනි හිංසන, සියලු ආගම්වලට බරපතළ තර්ජනයක් මෙන්ම අපවාදයකි.

මේ ආකාර හිංසාකාරී කටයුතු වළක්වන ඊට බලපාන නීති අප රටේ නීති පද්ධතිය තුළ නැතැයි සිතිය නොහැකිය. නීති වෘත්තිකයන්ගේ සමාජ වගකීම වන්නේ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමය. නීතියට පිටින් ගොස් වැඩ කරන්නන් කරදරයට පත්ව අධිකරණය හමුවට පැමිණවූ පසු, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පමණක් නීතිවේදීන්ගේ යුතුකම හා වගකීම නොවේ. වෛද්‍යවරු රෝග සඳහා ප්‍රතිකාර දෙති. එමෙන්ම අප රෝගීන් බවට පත් කරන කාරණා සම්බන්ධව දැනුම්වත් කිරීම ඔස්සේ වෛද්‍යවරු අපට නීරෝගිව සිටීමට මඟ පෙන්වති. නීතිවේදීන්ගේ වගකීම වන්නේද ජනතාව මේ ආකාර කටයුතුවලට යොමුව, විපතට හා කරදරයට පත් වූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම යන කාරණයෙන් ඔබ්බට ගොස්, එවැනි කටයුතුවලට යොමු නොවීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමය. එය සිදු නොවුණොත් අනාගත පරපුර මෙයට වඩා බරපතළ ව්‍යසනකාරී තත්ත්වයකට පත් වනු නොඅනුමානය.

ජාතික අවශ්‍යතා

මාධ්‍ය තමන්ගේ යුතුකම හා වගකීම සමාජ යහපත වෙනුවෙන් ඉටු කරන්නේ ද? යන්න සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. විශේෂයෙන් විද්යුත් මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයෙන්ම විවේචනාත්මක අදහස් මතු වෙමින් තිබේ. සැබෑ යථාර්ථවාදී සමාජ වෙනසක් සඳහා මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතනවලින් ප්‍රශස්ත සේවාවක් ඉටුවේ යැයි විශ්වාස කළ නොහැකිය. මෙය අදාළ වන්නේ සමාජ හිංසනය හා කෘෘරත්වය පිළිබඳ ඉදිරිපත් කරන ප්‍රවෘත්තිවලට පමණක් නොවන බව තේරුම් ගත යුතුය. ජාතික ප්‍රතිපත්ති මත බිහි වූ සමාජ වෙනස්කම් අප අපේක්ෂා කරන්නේ නම්, මධ්‍යස්ථ මාධ්‍ය විචාර මඟින් එය වඩාත් තීව්‍ර කළ හැකිය. රටේ සාමාකාමීත්වය හා ජාතික අභිවෘද්ධිය පිළිබඳ මාධ්‍ය මඟින් ජනතාව හමුවට ගෙන යෑම වැදගත්ය. පහරදීම් හා හිංසනකාරී සිදුවීම්වලට උත්තේජන සැපයීම් වගකිව යුතු මාධ්‍ය ආයතනයක කාර්යභාරය නොවේ.

ජනතා අරගලවල සාධනීය මෙන්ම පසුගාමී අදහස්ද නැතිවා නොවේ. 1940 දශකයේ සිට නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මකය. එමඟින් පොදු ජනතාවට ලැබුණු වාසිය සහ සහනය මිල කළ නොහැකිය. විසි එක් වැනි සියවසේ ජීවත් වන අප, නූතන සමාජයේ අනාගත අපේක්ෂා වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. එහෙත් ජනතා නැඟී සිටීම්, අරගල මඟින් නැගෙන අදහස් - උදහස් හමුවේ අධ්‍යාපනයේ සිදු විය යුතු වෙනස්කම්වලට අපට තවමත් ඉඩක් ලැබී නොමැත. ඒවා ජාතික හා අන්තර්ජාතික වශයෙන් අප ලබන පරාජයන්ය. ජාතික අවශ්‍යතා මොනවාද? යන්න මුලින් අප හඳුනා ගත යුතුය. අද අප මුහුණදී සිටින ආර්ථික අර්බුදයේ මූලබීජ රෝපණය වීමට ආරම්භ වූයේ හැත්තෑව දශකය අවසානයේදී සිදු වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟය. මේ නිසා අපේ රටේ ඒ වන විට දියුණු වෙමින් පැවැති නිෂ්පාදන ආර්ථික ක්‍රමය බිඳ වැටිණි. දේශීය කර්මාන්ත බිඳ වැටුණු අතර, අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය ඊට රුකුල් දුන්නේය. අපනයන බෝග, නිෂ්පාදන බෝග ප්‍රවර්ධනය කිරීම වෙනුවට අපනයන අංශය ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පමණක් මුල් කර ගෙන ක්‍රියාත්මක විය. මෙයින් ගොඩ ඒමට අරගල කරන අතරතුර රටේ ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා වන වැඩපිළිවෙළ ප්‍රකෘතිමත් කිරීම කෙරෙහිද අවධානය යොමු කිරීම අතිශයින් වැදගත්ය. යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වන තෙක් අපට ආර්ථික වශයෙන් දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය.

දෛනික පරිභෝජනය

අරගල භූමියේ සිටින්නන් වුවද මේ පිළිබඳ අප වහා අවධානය යොමු කළ යුතුව ඇත. මේ වෙනස අප නිවෙසින් ආරම්භ කළ යුතුය. නාගරික පරිසරයට වඩා ග්‍රාමීය පරිසරය තුළ ස්වයංපෝෂිත ආර්ථික රටාවක් බිහි කර ගැනීමට පසුබිම ඇත. දෛනික පරිභෝජනයට අවශ්‍ය ආහාර වර්ග කිහිපයක් හෝ වගා කර ගැනීම අපහසුවක් නොවේ. විශේෂයෙන් පාසල් දරුවන්ට මෙහි ඇති වැදගත්කම කියා දිය යුතුය. පසු ගිය දශක දෙක තුනේදී ඇබ්බැහි වීම් කොතරම් බරපතළ තැනකට අප රැගෙන ගොස් තිබෙන්නේ ද? යන්න සම්බන්ධව අප අපගෙන්ම විමසා බැලිය යුතුය. අද ග්‍රාමීය ජනතාව පවා ක්ෂණික ආහාර භාවිතයට පුරුදු සිටිති. අලුත් අවුරුද්දේදී නිවෙසේදීම රස කැවිලි සකස්කර ගන්නවාට වඩා, වෙළෙඳපොළෙන් මිලට ගැනීමට ග්‍රාමීය කාන්තාවෝද පුරුදුව සිටිති. මෙමඟින් ධන හානියට වඩා දැනුම හා කුසලතා වියැකී යෑම සමාජයක් ලෙස අප මුහුණ දෙන බරපතළ ඛේදවාචකයකි.

අරගල පිළිබඳ කතා කරන විට ආයතනවල වෘත්තිය සමිති මඟින් සංවිධානය කරන වැඩ වර්ජන සම්බන්ධවද කතා නොකර බැරිය. ඇතැම් වර්ජන දියත් කිරීමට සාධාරණ හේතු ඇත. වැඩ වර්ජන හා උද්ඝෝෂණ මඟින් ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකි බව ලෝකයේ කිසිදු ආර්ථික හෝ දේශපාලන න්‍යායක් මඟින් ඉදිරිපත් කර නැත. සෑම ආයතනයක්ම වාර්ෂිකව විගණනයට ලක් කළ යුතුය. එය තව දුරටත් පුළුල් කර සේවක අවශ්‍යතා හා සුභ සාධනය සම්බන්ධව වාර්ෂික ඇගැයීමක් සිදු කිරීම වැදගත්ය. ඒ ඔස්සේ සේවකයන්ට පවතින ගැටලුවලට විසඳුම් දීමට පුළුවන.

එවැනි තත්ත්වයකදී තෘප්තිමත් හා ඵලදායි සේවයක් ආයතනවල පවත්වාගෙන යෑමට අවශ්‍ය පසුබිම සැකසෙයි. එසේ නොකරන්නේ නම් රාජ්‍ය සේවය වර්තමානයේ එල්ල වන චෝදනාවලින් මුදා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙය අප අපේක්ෂා කරන සමාජ, ආර්ථික වෙනස්කම් සාක්ෂාත් කර ගැනීම සඳහා බාධාවකි.

අසේල කුරුළුවංශ

රාජ්‍ය බැංකු ස්ථාවරයි

$
0
0
මැයි 27, 2022 01:00

වාර්තාගත ලාභයක් ලැබුවා

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පීඨාධිපති, ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය වයඹ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාව විවිධ රටවලින් ගෙන ඇති ණය මේ දක්වා අඛණ්ඩව නියමිත දිනට ගෙවමින් පැමිණිය ද, කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය නිසා ඉතිහාසයේ පළමු වරට ණය ගෙවිය නොහැකි බව පසුගියදා ප්‍රකාශ කළේය. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර එහි වත්මන් තත්ත්වය හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ, ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා දිනමිණට දැක්වූ

අදහස් මෙසේය.

⋆ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? ඒ සඳහා කොපමණ කාලයක් ගත වෙන ද?

මේ විදිහෙ අත්දැකීමකට අප මුහුණ දෙන්නෙ පළමු වරටයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදි අපට කරුණු කිහිපයක් වෙනස් කරන්න පුළුවන්. ණය කොන්දේසි (terms) වෙනස් කිරීම එක් ක්‍රමයක්. ඒ අනුව පොලී අනුපාතය වෙනස් කරන්න පුළුවන්. ණය ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ණය ගෙවන්න තියෙන කාලය වෙනස් කරන්න පුළුවන්.

සමහර විට මේ තුනේ එකතුවකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ පොලිය, ගණන හා කාලයත් අඩු කරගන්න හැකියාව තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙදි ඊට බලපාන යම්කිසි නීති රාමුවක් තියෙනවා. උදාහරණයක් විදියට බහුපාර්ශ්වික (අයිඑම්එෆ් වැනි ආයතනවලින් ගත්) ණය ප්‍රායෝගිකව ප්‍රතිව්‍යුහගත කරන්න අමාරුයි. පැරිස් සම්මුතියට අයත් රටවල්වලින් ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙදි එහි අනුමැතිය ගන්න වෙනවා. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන සංකල්පය සරල වුණත්, එතැනදි ප්‍රායෝගිකව බැරෑරුම් වැඩ කොටසක් කරන්න වෙනවා.

එක රටකට එක විදියකටත්, තවත් රටකට තව විදියකටත් ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න බැහැ. ඒ නිසා මේ සියලු රටවල් එක වේදිකාවකට ගෙන්වා ගන්න වෙනවා. ඒ සඳහා විශේෂඥයන්ගේ සහාය අවශ්‍ය වෙනවා. ආණ්ඩුව ඒ සඳහා මේ වන විට නීති විශාරදවරයකු හා මූල්‍ය උපදේශකවරයකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙ සහාය ගෙන ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරන්න පුළුවන්.

මෑත කාලයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමු වු වෙනිසියුලාව වැනි රටවල අත්දැකීම් සමඟ සලකා බලන විට ඒ සඳහා ගත වන කාලය ගැන අදහසක් ගත නොහැකි ද?

අපේ තත්ත්වය අනෙක් රටවල් සමඟ සංසන්දය කරන්න බැහැ. ආර්ජන්ටිනාව, වෙනිසියුලාව වගේ රටවල් සම්පත් බහුල රාජ්‍යයන්. අපට එහෙම සම්පත් නැහැ. ඒ නිසා අපට ණය දුන් රාජ්‍යයන් එයට කොතෙක් දුරට එකඟ වෙයිද කියන කරුණ මෙතැනදි සලකා බලන්න වෙනවා.

අපි චිනයෙන් වැඩි වශයෙන් ණය ගෙන තිබෙනවා. චීනය පැරිස් සම්මුතියට අයත් රටක් නෙමෙයි. හැබැයි අපේ ණයවලින් සියයට 10ක් පමණ ජපානයෙන් ගත් ණය. ඒ රට, පැරිස් සම්මුතියට අයත් රටක්. ඒ විදියට අපි විවිධ රටවල්වලින් ණය රැගෙන තිබෙන නිසා, මේ රටවල් එක වේදිකාව ගෙන ඒම බැරෑරුම් කටයුත්තක්.

පුද්ගල උදාහරණයකින් මේ තත්ත්වය පැහැදිලි කරන්න පුළුවන්. වත්කම් තිබෙන තැනැත්තෙක් ගත් ණය මුදලක් කිසියම් ආර්ථික ගැටලුවක් නිසා ගෙවීමට නොහැකි විය හැකියි. ඔහු ඒ බව දැන්වූ විට ‘හා කමක් නැහැ, ටික කාලයක් අරන් ගෙවන්න’ කියලා ණයහිමියා කියන්න පුළුවන්. ඔහු එහෙම කියන්නේ ණයගැතියා සතුව ණය ගෙවන්න ප්‍රමාණවත් වත්කම් තිබෙන බව දන්නා නිසයි. වෙනිසියුලාව ඒ විදිහෙ ණයගැතියෙක්.

අනෙක් පැත්තෙන් තවත් ණයගැතියකු ඉන්න පුළුවන්, එයාට ණය ගෙවන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. වත්කම් ඇත්තෙත් නැහැ. එවැනි ණයගැතියකු සම්බන්ධයෙන් ණයහිමියෝ ගනුදෙනු කරන ආකාරය වෙනස්. ශ්‍රී ලංකාව ගැන ගත්තොත්, අපට එහෙම ලොකු වත්කම් නැහැ. ලොකු දළ දේශීය නිෂ්පාදිතයක් ඇත්තේත් නැහැ.

පසුගිය 18දා වන විට අපි ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හැරිය (default) රටක් වුණා. ඩොලර් මිලියන 78ක ණය වාරිකය අපි ගෙව්වෙ නැහැ. සමහර විට අපට ඉදිරියෙදි ඒ සම්බන්ධයෙන් ජගත් අධිකරණවල නඩුවලට මුහුණ දෙන්නත් සිදුවෙයි. ඒ සියලු අවදානම් අප ඉදිරියේ තිබෙනවා. ණය දුන්න අයට වුණත් අප සිටින තත්ත්වය පිළිගන්න වෙනවා. ගෙවන්න බැරි නම් වෙන කරන්න දෙයක් නැහැ.

ණය ප්‍රතිව්‍යුගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් විදේශ රටවලින් අපට ලැබෙන මානුෂික සහන ලැබෙයි ද?

කිසියම් රටක් බැරෑරුම්, දුෂ්කර තත්ත්වයකට පත් වූ විට අනෙක් රටවල් මානුෂික සහන දෙනවා. එවැනි මානුෂීය සහානාධාර අපට ලැබී තිබෙනවා. මානුෂීය සහානාධාරවලින් පමණක් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.

රටට අවශ්‍ය තෙල් ටික ගත්තෙ ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියන 1.5ක ණයක් මඟින්. දැන් ඒක අවසන්. අපි තවත් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලා තිබෙනවා. ඒ අතර බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගත්තා. ඒක තව වැඩි කරන්න කියලා ඉල්ලීමක් තිබෙනවා. මේවා දැන් උපරිම මට්ටමට ඇවිත්.

අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කරන ආයතන රටේ තත්ත්වය පහත හෙළීම කෙසේ බලපායි ද?

ණය ශ්‍රේණිගත කිරීම්වල අපි ඉන්නෙ අන්තිම ස්ථරයට ඔන්න මෙන්න. ණය පැහැර හැරිය රටක් නිසා සමහර විට මේ මස අග වන විට පහළටම දාන්න පුළුවන්. එවැනි රටකට අලුතින් ණය ගන්න අපහසුයි. දැන් තිබෙන තත්ත්වයේ හැටියට සහනාධාර ගැනීම කෙසේ වෙතත් භාණ්ඩ ආනයනය කරන්න ණයවර ලිපි විවෘත කිරීමත් ගැටලුවක් වෙලා.

අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කරන ආයතන ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 14ක තත්ත්වය පහත දැමීම (down rate) කළා. රක්ෂණ සමාගම් 8ක් පහත දැම්මා. අත්‍යවශ්‍ය භාණ්ඩ විදේශයන්ගෙන් ආනයනය කරන්න ණයවර ලිපි විවෘත කරන්න වෙනවා. රක්ෂණ සමාගම් හා බැංකු පද්ධතිය ශ්‍රේණිගත කිරීම්වලින් අවිශ්වාසනීය තත්ත්වයට පත් කළ විට අපට ණයවර ලිපියක් විවෘත කරන්න අපහසුයි. එවිට ඩොලර් තිබුණත් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතු වෙන්න පුළුවන්.

ඊට අමතරව වෙළෙඳපළ ගනුදෙනු බොහොමයක් වෙන්නෙ ණයට. අපි කලින් තෙල් ගෙනාවෙ දින 180කින් මුදල් ගෙවන පදනම යටතේ. නමුත් දැන් අපි මුදල් ගෙවන තෙක් නැවකින් තෙල් ගොඩබැම කරන්නෙ නැහැ. ඒ තත්ත්වය අනෙකුත් දේවලටත් යන්න පුළුවන්. එහෙම වුණොත් භාණ්ඩ හිඟයක අවදානම තිබෙනවා.

ආර්ථික අර්බුදය උග්‍ර වෙන්න පටන්ගත්තේ ණය ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය පහළ දැමීමට පටන් ගැනීමෙන් පසුවයි. එම තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකියාවක් තිබේ ද?

මේ වෙලාවෙ හැටියට ඒක කරන්න අමාරුයි. මේ වෙලාවෙ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීම් කරන ආයතන මූල්‍ය ආයතනවල තත්ත්වයට වැඩිය බලන්නෙ රජයෙ පැත්ත. අපට ණය ගෙවන්න විදිහක් නැහැ කියලා රජය විවෘතව පිළිගත්තා. අපේ ආදායම බිලියන 1600ක් බව හා වියදම බිලියන 4000ක් බව වත්මන් අගමැතිවරයා පැවසුවා. මේ තත්ත්වය තුළ අප ආර්ථික වශයෙන් බංකොලොත්බව ඉතාම පැහැදිලියි. බංකොලොත්බව අපම කියනවිට ණය ශ්‍රේණිගත කරන ආයතන කොහොමද, ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නංවන්නෙ.

ණය නොගෙවන බව දැන්වීම හැර වෙනත් විකල්පයක් රට හමුවෙ ඉතිරිව තිබුණේ නැහැ නේද? හිටපු මහ බැංකු අධිපතිවරයා අසීරු අවස්ථාවක නියමිත පරිදි ණය වාරික ගෙවීමට යෑමෙන් තත්ත්වය තවත් දරුණු වූ බවට විවේචනයක් තියෙනවා නේද?

අප ණය නොගෙවන බව කියන්න කලින් ඔවුන් සමඟ සාකච්ඡාවකට යන්න තිබුණා. සහන කොන්දේසිවලට යෑම ගැන හෝ ණය ගෙවීම කල් දැමීම ගැන ඔවුන් සමඟ කතා කරන්න තිබුණා. අපි ණය ගෙවන්නෙ නැහැ කියලා වේදිකාවේ සිට කීම රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් තොරයි. මේ විදිහෙ විවෘත ප්‍රකාශ නොකර වේලාසන සාකච්ඡාවකට කළා නම් ණය ප්‍රතිව්‍යුගත කිරීම මේ තරම් සංකීර්ණ වෙන්නෙ නැහැ.

ණය ගෙවිය නොහැකිබව අවංකව ප්‍රකාශ කිරීමෙන් සාකච්ඡා ඇරඹීමට මාවතක් විවර වෙනවා නේද?

ණය ගෙවන්න බැරි නම් කියන්න ඕනේ. ඒකේ ගැටලුවක් නැහැ. අප ණය ගෙවන්නේ නැහැ කියලා වේදිකාවට ගොඩව කියනවාට වඩා ණය දුන් රටවල් සමඟ රජය පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කිරීම තමයි රාජ්‍යතාන්ත්‍රික ක්‍රමය. එහෙම වුණා නම් පැරිස් සමුළුවට යෑමේ අවශ්‍යතාවක් එන්නේ නැහැ. අපට චීනය සමඟ සාකච්ඡා කර කල් ඉල්ලා ගන්න තිබුණා. එහෙම නම් මේ ප්‍රශ්නය මෙපමණ දුර යන්නේ නැහැ.

අප ණය නොගෙවන බව අප කිවුවේ අප්‍රේල් 12දා. ඊට පහුවෙනිදා අපේ තත්ත්වය පහළටම දැම්මා. මූල්‍ය කටයුතු සම්බන්ධ සමහර තොරතුරු රහස්‍ය විය යුතුයි. ණය සම්බන්ධ ගැටලුව මතු වුණේ රාජ්‍ය සම්බන්ධයෙන්. එහෙත් මෙම තොරතුරු හෙළි කිරීම නිසා විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන්ටත් ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. ඔවුන් මෙතෙක් කලක් පිටරටින් බඩු ගත්තෙ ණයට. දැන් ඔවුන්ට අත්පිට මුදලට ගන්නවෙලා. පෞද්ගලික මට්ටමින් රජය මේ ගැටලුව විසඳා ගත්තා නම් ආනයනකරුවන්ට බලපෑමක් වෙන්නෙ නැහැ.

යම් යම් අය දක්වන අදහස් නිසා ජනතාවට බැංකු පද්ධතිය ගැන බියක් ඇතිව තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකට ආණ්ඩුව යොමු විය හැකිද? බැංකු පද්ධතියේ තත්ත්වය කොහොම ද?

ශ්‍රී ලංකාවට තිබෙන්නෙ විදේශ විනිමය ගැන ප්‍රශ්නයක්. අප ණය සේවාකරණයෙන් ඈත්ව ඉන්නෙ ඩොලර් නැතිවීම නිසයි. දේශීය ණය සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මහ බැංකුව බොහෝ විට දේශීය වශයෙන් අරමුදල් සොයා ගන්නෙ බැඳුම්කර මගින්. එතැනදි බොහෝ විටට කරන්නෙ බැඳුම්කරවල පොලියක් පමණක් ගෙවා කාලය දීර්ඝ කරගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ජනතාව දේශීය බැංකු පද්ධතිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගතයුතු නැහැ. ඒවා ස්ථාවරයි.

රාජ්‍ය බැංකු ඔවුන්ගේ ණයවලින් සියයට 50ක වඩා දී තිබෙන්නෙ රාජ්‍ය ආයතනවලට බව කෝප් කමිටුව අනාවරණයකර තිබෙනවා. රාජ්‍ය බැංකුවක ණය කමිටු සභාපතිවරයකු ලෙස ඔබේ අත්දැකීම් අනුව මේ තත්ත්වය ගැන අදහස කුමක් ද?

රාජ්‍ය ආයතනවලට ණය දීම රාජ්‍ය බැංකුවල කාර්යයක්. වී අලෙවි මණ්ඩලය, සතොස වගේ ආයතනවලට මිලදී ගැනීම් සඳහා අප ණය දී තිබෙනවා. පෞද්ගලික අංශය වී මිල දී ගන්න ණය දෙන්නෙ නැහැ. ඒ ණයවලට නියමිත විදියට පොලිය ලැබෙනවා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවලට දී ඇති ණය, බොල් ණය හෝ අඩමාන ණය ලෙස සලකන්න බැහැ. එයට අමතරව මේ ණය දී තිබෙන්නෙ මහාභාණ්ඩාගාරයේ සහතිකයක් මතයි. එම ණය සම්බන්ධයෙන් රාජ්‍යයට වගකීමක් තියෙනවා.

පසුගිය අවුරුදු දෙකේ පමණක් කොවිඩ් තත්ත්වය යටතේ වුවත් රාජ්‍ය බැංකු දෙක අති විශාල ලාභයක් උපයා තිබෙනවා. ඒ නිසා රාජ්‍ය බැංකු ශක්තිමත්. සුළු සුළු කම්පන දැනෙන්නේ නැහැ. ඒ තරම් වත්කම් මේ බැංකු දෙකට තිබෙනවා.

සමස්තයක් විදියට ගත්විට සියලු බැංකුවල සක්‍රීය නොවන ණය ප්‍රතිශතයේ වැඩි වීමක් වර්තමානය වන විට දැකගත හැකි වීමට හේතුව කුමක් ද?

සක්‍රීය නොවන ණය (Non profitable loan - npl) වැඩිවීම සාමාන්‍ය දෙයක්. රටක ආර්ථික අර්බුදයක් තිබෙන විට ණය වාරික ගෙවීම අතපසු කරීම සාමාන්‍ය දෙයක්. උදාහරණයක් විදියට බස් ධාවනය කරන්න බැරි වන විට ලීසිං වාරිකය මඟ හැරීම සිදු විය හැකි දෙයක්. මේ තත්ත්වය තුළ සමහර ව්‍යාපාර කඩා වැටිලා. සමහර ව්‍යාපාර ව්‍යාපාරවලට ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ඒ නිසා මේ සමයේ සියලුම බැංකුවල සක්‍රීය නොවන ණය වැඩිවෙලා.

පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා නිවාස හා වාහන විශාල ප්‍රමාණයක් ගිනි තබනු ලැබුවා. එකවර විශාල වන්දියක් ගෙවීමට සිදුවීම රක්ෂණ ආයතනවල පැවැත්මට බලපාන්නේ කෙසේ ද?

වාහන විශාල ප්‍රමාණයක් ගිනි ගෙන තිබෙනවා. ඒ වගේම නිවාස 135ක් ප්‍රමාණ ගිනි තබා තිබෙනවා. බස්රට 80ක් පමණ ගිනි ගෙන තිබෙනවා. ගිනි ගැනීමට ලක්වූ නිවාසවලින් සියයට 10ක්වත් රක්ෂණය කළ ඒවා කියලා මම හිතන්නේ නැහැ. අපේ රටේ ඒතරම් නිවාස රක්ෂණයට පෙලඹීමක් නැහැ. සියල්ල රක්ෂණයකර තිබුණත් ප්‍රශ්නයක් නැහැ. එයින් එම ආයතනවලට පීඩනයක් එල්ල වෙන්නෙ නැහැ. ඔවුන් අධික ලෙස ලාභ ලබන ආයතන.

නිවාස රක්ෂණයක් කර තිබුණත් ඒ සමඟ කැරලි කෝලාහල ආවරණයක් ගෙන තිබෙන්න වුවමනායි. එහෙම වුණාත් විතරයි රක්ෂණ ආයතනයක් වන්දි ගෙවන්නෙ. ඒවගේම ඒ නිවෙස වෙළෙඳපොළ වටිනාකමට රක්ෂණය කර තියෙන්න වුවමනායි. වෙළෙඳපොළ වටිනාකමට රක්ෂණය කර නොතිබුණොත් ගෙවන්නෙ රක්ෂණය කළ වටිනාකමේ ප්‍රතිශතයක් හැටියටයි.

රක්ෂණ ආයතනයකට මේක කොහෙත්ම බරක් නෙමෙයි. 1983 කළු ජූලියෙදි විශාල දේපළ ප්‍රමාණයක් නැති වුණා. ඒ වන විට ජාතික රක්ෂණ සංස්ථාව පටන් ගෙන වසර 5ක්වත් ගතව තිබුණෙ නැහැ. එහෙත් ඔවුන් තමයි වැඩිපුරම වන්දි ගෙවුවෙ. සෑම රක්ෂණ ආයතනයක්ම අන්තර්ජාතික රක්ෂණ ආයතනවල ප්‍රතිරක්ෂණ කරන නිසා වන්දි ගෙවීම ගැටලුවක් වෙන්නෙ නැහැ. වාහන සම්බන්ධයෙන් ගත්තොත් යතුරුපැදි බොහෝවිට තෙවන පාර්ශ්ව රක්ෂණය ගත් ඒවා නම් වන්දි ගෙවන්නෙ නැහැ.

හානි වූ දේපළවලට රජයෙන් වන්දි ගෙවීමට යුක්තියුක්ත කරන්න අපහසුයි. නිවාස හා වාහන ගිනි තැබීම අනුමත කරන්න බැහැ. එ විනාශ කරපු හැම දේපළක්ම අපරාධයක්. එහෙත් ඒ වෙනුවෙන් රජයේ බදු මුදල් යොදවා ගැනීමත් අනුමත කරන්න බැහැ. එහෙත් බස් රථ සම්බන්ධයෙන් රජය යම් තීරණයක් ගන්න කල්පනා කළ යුතුයි. අනෙකුත් දේපළ සම්බන්ධයෙන් අදාළ පක්ෂ වගකීම ගතයුතුයි.

රජයට බරක්ව ඇති උෟන උපයෝගී රාජ්‍ය ආයතන පෞද්ගලීකකරණය කිරීම ගැන ඔබේ අදහස කුමක් ද?

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුවක් තිබෙනවා. එමිරේට්ස් පාලනය යටතේ එයර්ලංකා ආයතනය මිලියන 4300ක ලාභයක් ලැබුවා. රජයට පවරා ගැනීමෙන් පසු ඊලඟ අවුරුද්දේ පාඩුව මිලියන 9400කි. මෙයින් අකාර්යක්ෂමතාව හොඳින් පෙනෙනවා. ආණ්ඩුවේ වියදම්වලට අවශ්‍ය ආදායම් සොයන්නේ අපේ බදුවලින්. එහෙම නැත්නම් ලෝකයට ණය වෙලා. එක්කෝ මේ ආයතන කාර්යක්ෂම කරන්න ඕනේ. එහෙම නැත් නම් මේ ආයතන රාජ්‍ය - පෞද්ගලික සහයෝගී (ppp) ක්‍රමයකට යන්න ඕනෑ. අපට පුළුවන් නම් රජයේ වත්කම් පවරන්නේ නැතිව යම් කොටස් ප්‍රමාණයක් ඔවුන්ට දීලා, කළමනාකරණය පැත්ත කාර්යක්ෂම කරන්න පුළුවන් නම් ලාභ ලැබීම කෙසේ වෙතත් වියදම් අඩු කර ගන්න ලොකු හේතුවක්.

එකම කාර්යයයේ නිරතව සිටින අයිඕසී සමාගම ලාභ ලබන විට, සිපෙට්කෝ සමාගම පාඩු ලැබීම ගැටලුවක්. ඒ අයට ඉලක්ක දී ලාභ ලබන තත්ත්වය රැගෙන ආ යුතුයි. වත්කම් විකුණනවා කියන තැන මම නැහැ.

චන්දන ජයවීර

Viewing all 10762 articles
Browse latest View live


Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>