ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වන ආක්‍රමණශීලි ශාකයක් ලෙස අලිමානා ශාකය උපයෝගි කර ගනිමින් කඩදාසි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකම මේ වන විට ආරම්භ වී ඇත. කඩදාසි පමණක් නොව එමඟින් බොහෝ විසිතුරු දෑ එනම් කඩදාසි විදුලි ලන්තෑරුම්, මල් බඳුන්, සුබ පැතුම්පත්, මංගල කේක් පෙට්ටි, ස්වර්ණාභරණ ඇසුරුම් පෙට්ටි හා ෆයිල් කවර ආදිය ද නිෂ්පාදනය කෙරේ. මේ අනුව අලිමානා නම් ආක්‍රමණශීලි තෘණ විශේෂය යොදාගෙන නිෂ්පාදනය කරන කඩදාසි අද වන විට ජනප්‍රිය වෙමින් පවති.
ශීඝ්‍රයෙන් බෝවන අලිමානා තෘණ විශේෂය ගොවි ජනතාවට හිරිහැරයක් බැවින් එම තෘණ ශාක යොදාගෙන කඩදාසි නිෂ්පාදනය කිරීම නිසා ග්‍රාමීය මට්ටමින් විශාල විදේශ විනිමය වෙළෙඳ පොළක් ද, ග්‍රාමීය රැකියා වියුක්තිකයන් හට නව රැකියා අවස්ථාවන් ද මෙමඟින් උත්පාදනය කර තිබේ. රජරට ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ව්‍යාප්තව ඇති අලිමානා උපයෝගි කරගෙන කඩදාසි නිපදවීමේ කර්මාන්තයේ බොහෝ පිරිසක් නිරතව සිටිති. අලිමානා නොහොත් ගිනි ග්‍රාස් ශාකය යනු විදේශිකයන්ගෙන් ගෙන මෙරටට හඳුන්වා දෙන ලද තෘණ විශේෂයක් වන අතර, එම ශාකය සත්ව ආහාරයක් ලෙස ගොවිපොළවල වගා කරනු ලැබේ. මෙය අද වන විට ලංකාවේ වැඩි භූමි ප්‍රමාණයක් වසා පැතිර ගොස් ආක්‍රමණශීලි ශාක ගණයට වැටී ඇත. මෙම ශාක වඳ කිරීමට අපහසු වන අතර, පරිසර පද්ධතියටද දැඩි තර්ජනයක් එල්ල වී ඇත.
අනුරාධපුර, කෑගල්ල, මහනුවර, පාතහේවාහැට, පදවිය යන ප්‍රදේශවල මේ කර්මාන්තය ව්‍යාප්තව පවති. ඒ අනුව සමාජයීය වශයෙන් ගත් කල්හි අඩු ආදායම්ලාභි පවුල්වලට තම ආදායම වැඩි කර ගැනීමට හැකියාව ඇත. මෙමඟින් ග්‍රාමීය ජන ආර්ථිකය යැපුම් මානසිකත්වයෙන් බැහැරව ස්ව ශක්තියෙන් නඟා සිටුවා ගන්නා ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගත හැකිය.
අලිමානාවලින් කඩදාසි නිෂ්පාදනයේ දී, පළමුව අලිමානා ශාකයේ අපද්‍රව්‍යයන් හැකි පමණ ඉවත් කළ යුතු වේ. පසුව ඒවා කුඩා කැබලිවලට කපා යකඩ බැරල් එකකට දමා පැය තුන හතරක් පමණ තැම්බිය යුතුය. එලෙස තම්බා ගත් අමුද්‍රව්‍යවල අපද්‍රව්‍ය තවදුරටත් ඉවත් වන තුරු හොඳින් සෝදා කෙඳි කොටස වෙන්කර ගැනීමෙන් පසුව එම කෙඳි කොටස අඹරා පල්පයක් සාදා ගැනීම සිදු කර ගත යුතුය. අවශ්‍ය නම් වර්ණ වෙනස් කර ගැනීම සඳහා පල්පයට විවිධ වර්ණ එකතු කිරීමේ හැකියාවද පවති. ඒ අනුව මේ සඳහා වර්ණක ඇතුළු ගම් වර්ගයක් එකතු කර ගනු ලැබේ. එම ගම් විශේෂය විදෙස් රටකින් ගෙන්වා ගත හැකි වුවත් මේ සඳහා බණ්ඩක්කා යුෂ ද ඉතා සාර්ථකව යොදා ගනිති. වර්ණ එකතු කිරීමේදී ස්වභාවික වර්ණ ගැන්වීම සහ කෘත්‍රීම වර්ණ ගැන්වීම ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර, ස්වභාවික වර්ණ ගැන්වීමේ දී අරළු, කුඹුක් වැනි ශාක කහට උපයෝගි කර ගත හැකිය. කෘත්‍රීම වර්ණ ගැන්වීමේ දී එම වර්ණක වෙළඳ පොළෙන් මිලදී ගත හැකිය. අවසානයේ එම පල්පය දැල් යොදා සාදා ගත් ලී රාමුවලට දමා අව්වේ හොඳින් වියළා ගැනීමෙන් කඩදාසි ඉතා සාර්ථක ලෙස නිෂ්පාදනය කර ගත හැකිය.
වියළා ගත් කඩදාසි මටසිලිටි කර ගැනීම සඳහා යන්ත්‍රයක් මඟින් මැදීම ද සිදු කරයි. එමෙන්ම කඩදාසිවලට විවිධ අලංකාරවත් මෝස්තර යොදා ගැනීමේ බ්ලොක් මුද්‍රණ ක්‍රමයක් ද පවති. මෙලෙස නිෂ්පාදිත කඩදාසිවල ශක්තිමත් බව වැඩි අතර, ඒ නිසාම කඩදාසිවල වටිනාකම ද ඉහළ ගොස් ඇත. විශේෂයෙන් දේශීය වෙෙළඳපොලෙහි සංචාරක හෝටල්වලින් මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවති. කේක් ඇසුරුම් පෙට්ටි, සුබ පැතුම් පත් මෙම කඩදාසි අශ්‍රයෙන් සිදු කරන ප්‍රධාන නිපැයුම් වේ.
අද වන විට රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මහනුවර පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කර්මාන්ත අංශයේ නිලධාරින්ගේ මැදිහත්වීම සහ මඟපෙන්වීම මත කඩදාසි මෙන්ම විසිතුරු ද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු වර්තමානයේ සිදුවේ. ග්‍රාමීය වශයෙන් සමිති පිහිටුවා පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් මෙහි කටයුතු සිදුවේ. මෙම නිෂ්පාදන සඳහා වෙළඳ පොළ තුළ ඉහළ ඉල්ලුමක් ද පවති. මේ හේතුවෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි ජනතාවට හොඳ ආදායමක් ලබා ගැනීමට ද හැකි වී ඇති බව සඳහන් කළ යුතුය. කර්මාන්තය අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය අද වන විට හිමි වී ඇත. මෙම කඩදාසි නිෂ්පාදනයේ වැදගත්ම ලක්ෂණය වන්නේ, පරිසර හිතකාමි කර්මාන්තයක් වශයෙන් අගය කළ හැකි වීම වන අතර, ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් කඩදාසි නිෂ්පාදනය කර ගැනීම එයට හේතු වී ඇත.
එම්. තාරික්