Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ටික ටික තටු කැපෙන වැදගත් වෘත්තියක්

$
0
0
ජුලි 18, 2018 01:00
දුමින්ද අලුත්ගෙදර

වෘත්තියේ ගරුත්වය ආරක්ෂාකර ගැනීම කාලීන අවශ්‍යතාවකි. අතීතයේ තිබූ බොහෝ පිළිගැනීම් වත්මන වන විට එකිනෙක අහිමි වෙමින් යන වෘත්තියක් බවට, ග්‍රාම සේවා තනතුර අවදානමට ලක්ව ඇත. ග්‍රාම සේවා වෘත්තිය වෙනම සේවාවක් සේම, වෙනම වැය ශිර්ෂයක් යටතේ පවත්වාගෙන යා යුතුය. ඈත අතීතයේ තිබූ ගෙවීම් ක්‍රමවේද තවමත් ක්‍රියාත්මක වන අතර, සෑම දීමනා ගෙවීමකම ප්‍රමාණවත් බවක් ද නොමැත. එය වර්තමාන නිලධාරීන්ට ප්‍රබලව දැනෙන ආර්ථික කාරණයකි. එපමණක් ද නොව, ඒ සියල්ල අභිමුව රැකියාව අහිමි වන තත්ත්වයක් ද මේ වන විට උදාවී තිබේ.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පරිපාලනයේ නායකත්වය දරන ග්‍රාම නිලධාරීතුමන්ලා ගැන කතා කරන්නේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් මෙරට ඇති ග්‍රාම සේවා වසම් 14,022 රාජකාරි කරන ඔවුන්ගේ පරිපාලන වංශ කතාව ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පාලනයට පෙර සිට පැවත එන්නකි. සමාජීය, සංස්කෘතික, දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික හා පරිපාලන වශයෙන් වැදගත් මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට වෘත්තියක් ලෙස ග්‍රාම සේවා වෘත්තිය සනිටුහන් වී තිබේ.

පෙර රජ දවස ග්‍රාම නිලධාරිවරයා හඳුන්වා ඇත්තේ රාල නමිනි. ඒ ඔවුන්ට ගෞරවාර්ථයක් දීම සඳහා ය. එදා රාලගේ නායකයා කෝරාල විය. තවද රටේ රාල නමින් නායකයකුද විය. රටේ රාලට කෝරාල කිහිපයක් පාලනය කරන්නට පැවරිණි. ඊට ඉහළින් සිංහල රජුගේ ඇමැතිවරු, සෙනෙවිවරු හා මොහොට්ටාලවරුද විය. රටේ පහළම මට්ටමේ පාලන නිලධාරියා වූ ගමරාල එදා ගමේ යමක් කර කියා ගැනීමට හැකි එකම පුද්ගලයා ද විය.

ඉංග්‍රීසි ආණ්ඩු සමයේ පළාත් බඳව ඒජන්තවරු පත්කොට පාලනය කර තිබේ. එම ඒජන්තවරු විනිශ්චකාර ධුර ද හොබවා ඇත. මේ සමයේ දී ගමරාල යන නාමය ක්‍රමයෙන් ඈත්ව යමින් ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කිට්ටුතම සේවකයා ආරච්චි වීම නිසා, ගැමියෝ ද ආරච්චිරාල ලෙස ගමරාල ගෞරවයෙන් හඳුන්වා තිබේ. ආරච්චිරාල යන නම උච්චාරණය අපහසු නිසාම පසුකාලීනව එය ආරච්චි බවට පත්ව තිබේ. අනතුරුව ගම්මුලාදෑනි යන නාමය පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආවේය.

මෙරටට නිදහස ලැබීමෙන් පසු 60 දශකය දක්වා ගම්මුලාදෑනි ක්‍රමය පැවැතිණ. එකල ගම්මුලාදෑනි තනතුර පිරිනැමූයේ ඉඩකඩම්, හරකාබාන, අලි ඇතුන්, මිල මුදල් හා වෙනත් සම්පත් හිමි පවුල්වලට ය. මේ තනතුර පරම්පරාවෙන් පරාවට පැවත ආවත් වැඩි වෙනසක් සිදු නොවිණි. එය වැඩවසම් යුගයේ ද සංකේතයක් බවට පත්වුණි. 1963 වසරේ එවකට පැවැති ශ්‍රීලනිප රජය පැරැණි වැඩවසම් ක්‍රමයේ තිබූ ක්‍රම දෙකක් නීතිගත කළ අතර, ඊට ගම්මුලාදෑනි ක්‍රමය වෙනුවට ග්‍රාමසේවක ක්‍රමය ස්ථාපිත විය.

1963න් පසුව ග්‍රාම නිලධාරි තනතුර සඳහා වන නිලධාරීන් තරග විභාගයෙන් තෝරා ගත් අතර, එතෙක් සිටි ගම්මුලාදෑනීන් ද ග්‍රාම සේවක ලෙසට පත්විය. ග්‍රාම සේවක තම දිස්ත්‍රික්කයේ ඕනෑම තැනක රාජකාරි කළ යුතු අතර, ග්‍රාමසේවකවරුන්ට ඇතැම් බලතල බ්‍රිතාන්‍ය පාලන සමයේ සම්මත කරන ලද අනපනත්වලින් හිමිවිය. වසමේ ප්‍රබල පරිපාලන නිලධාරියා මෙන්ම සාම නිලධාරියා ද ග්‍රාමසේවක මහතා ය. තම කොට්ඨාසයේ නූපන් දරුවාගේ සිට මියැදෙන පුද්ගලයා දක්වා ඇති සියලු රාජකාරි ග්‍රාමසේවක මහතාට පැවරිණි. 1975 වර්ෂයට පසු ග්‍රාමසේවා වෘත්තියේ තිබූ අඩුපාඩු රැසක් ඉවත් කිරීමට එවක රජය පියවර ගෙන තිබේ. එසේම 1977 අංක 05 දරණ පදවි නාම සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ග්‍රාමසේවක යන නිල නාමය ග්‍රාමසේවා නිලධාරි යනුවෙන් සංශෝධනය කෙරිණි.

ඒ අයුරින්, සේවය ආරම්භ කර වසර 19ක් ගතවනතුරුම උසස්වීම් පටිපාටියක් ක්‍රියාත්මක නොවිණි. උසස් වීම් ක්‍රමයක් ස්ථාපිත කෙරුමට වී.සී.වී උනන්තැන්න කමිටුවේ නිර්දේශය අනුව 1982 වර්ෂයේ දී ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් 1 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය වශයෙන් ශ්‍රේණි දෙකක් ඇති කළේය.

ගොවිජන සේවා සඳහා එකල බඳවාගෙන සිටි කෘෂි ව්‍යාප්ති නිලධාරින්, සහකාර ග්‍රාම සංවර්ධන නිලධාරීන්, ඉඩම් සංවර්ධන ඕවසියර්වරුන් හා වෙනත් ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාම සේවා නිලධාරී තනතුරට අන්තර්ග්‍රහණය කරනු ලැබිණ. 1987 අංක 42 දරණ පළාත් සභා පනත යටතේ පළාත් රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමත් සමග 90 වර්ෂයේ සිට ග්‍රාම නිලධාරීවරුන් මධ්‍යම රජයෙන් ඉවත්කොට පළාත් රාජ්‍ය සේවයට අනුයුක්ත කෙරිණි. එපමණක් නොවන ග්‍රාම සේවා නිලධාරි ලෙස පැවැති නාමය ද ග්‍රාම නිලධාරී නමින් වෙනස් වෙමින්, ග්‍රාම නිලධාරින් සතුව තිබූ සාම නිලධාරී බලතලද අහෝසි කරනු ලැබ ඇත.

එවැනි බලපෑම්වලට ලක් වූ වෘත්තිය දේශපාලනික මුහුණුවරක් ගැනීම නිසා නැවත වරක් 95 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන පරිදි මධ්‍යම රජයේ පාලනයට යටත් කරනු ලබන ග්‍රාම නිලධාරී තනතුරේ අහෝසි කරන ලද සාම නිලධාරී බලතල නැවත පණ ගන්වන ලදී. කෙසේ වෙතත්, ග්‍රාම නිලධාරි රාජකාරියක් වූ දිළිඳු සහන රාජකාරියේ සහනාධාර මුද්දර බෙදීමේ රාජකාරිය ඉටුකිරීම සඳහා ගොවි නියාමක බැංකු සහයක හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙස වසමකට තිදෙනකු බැගින් පත්කොට තිබේ. තවද සංවර්ධන කාර්යයක් ලෙස ග්‍රාම නිලධාරින්ට තිබූ රාජකාරියට සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරීන් පත්කොට ඇත. මේ වන විට ග්‍රාම නිලධාරි සේවාවේ පැවැති පෙර රාජකාරි ඉටුකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනුබද්ධව ක්ෂේත්‍ර නිලධාරින් 37 දෙනකු පත්කොට තිබේ.

ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙකී වෘත්තියේ ගරුත්වය ආරක්ෂාකර ගැනීම කාලීන අවශ්‍යතාවයකි. අතීතයේ තිබූ බොහෝ පිළිගැනීම් වත්මන වන විට එකිනෙක අහිමි වෙමින් යන වෘත්තියක් බවට, ග්‍රාම සේවා තනතුර අවදානමට ලක්ව ඇති අතර ග්‍රාම සේවා වෘත්තිය වෙනම සේවාවක් සේම වෙනම වැය ශිර්ෂයක් යටතේ පවත්වාගෙන යා යුතුය. ඈත අතීතයේ තිබූ ගෙවීම් ක්‍රමවේද තවමත් ක්‍රියාත්මක වන අතර සෑම දීමනා ගෙවීමකම ප්‍රමාණවත් බවක් ද නොමැත. එය වර්තමාන නිලධාරීන්ට ප්‍රබලව දැනෙන ආර්ථික කාරණයකි. එපමණක් ද නොව ඒ සියල්ල අභිමුව රැකියාව අහිමි වන තත්ත්වයක් ද මේ වන විට උදාවී තිබේ.

අද වන විට සමාජ සේවා විෂය පථය ආවරණය කිරීමට ද නිලධාරීන් නව දෙනෙක් සිටිති. අතීතයේ දී එකී රාජකාරිය සඳහා සිටියේ එක් නිලධාරියකු පමණී. එය පුළුල්වීම හරහා ග්‍රාම නිලධාරි සේවයේ කොටස් අහිමි වීමේ අවදානමක් ද තිබේ. ඊට හොඳම උදාහරණය වන්නේ සංවර්ධන නිලධාරීන් ය. ඇතැම් අවස්ථාවල ග්‍රාම නිලධාරියා නොමැතිව සංවර්ධන නිලධාරීන් යොමුකරමින් රාජකාරිය ඉටුකර ගැනීමේ හැකියවක් පවතින බවටද මතයක් තිබේ. නමුත් ව්‍යවස්ථාපිත බලය තිබෙන්නේ ග්‍රාම නිලධාරිවරුන්ට ය.

ග්‍රාම නිලධාරීවරයාගේ නිල ඇඳුම ද පෙර පැවැති සම්ප්‍රදායික නිල ඇඳුමකි. එය ද යුගයට අනුව වෙනස් විය යුතුය. පිරිමි ග්‍රාම නිලධාරිවරුන් සඳහා සුදුසු නිල ඇඳුමක් ගම්පත සංවිධානය යෝජනා කර ඇති අතර, කාන්තා නිලධාරිවරියන්ට ද සුදුසු ආකාරයේ නිල ඇඳුමක් යෝජනා කර ඇත. එසේම ක්ෂේත්‍ර රාජකාරියට අවශ්‍ය උපකරණ ද ඔවුනට ලබාදිය යුතුය. විධිමත්ව හා ඵලදායීව සේවයේ යෙදීමට නම් ඔවුන්ගේ අවම අවශ්‍යතා දෙස දේශපාලන අධිකාරිය වුවමනාවෙන් බැලිය යුතු කාලවකවානුව පැමිණ ඇත.

තවදුරටත් ග්‍රාම නිලධාරියාට මහජනයා හා රාජකාරි කිරීමේ ගැටලු මතු නොවීමට මතුව ඇති ගැටලු විසඳා ගැනීමට සුදුසුම කාලය මෙයයි. ඒ ග්‍රාම නිලධාරිවරයෙක් මේ රටේ ජනාධිපතිවරයා වීම ය. ඒ නිසාම ඓතිහාසික වෘත්තියක අභිමානය රැක ගැනීමට දිවයින පුරා සිටින ග්‍රාමනිලධාරිවරුන්ගේ වෘත්තීය එකමුතුව ගොඩනඟා සවිමත් කිරීමේ අවශ්‍යතාවක් වී ඇත. ග්‍රාම නිලධාරීවරයකු වෙත නිකුත් කර ඇති උපදෙස් සංග්‍රහය යටතේ පැවරී ඇති සියලු කටයුතු කිරීම ද, ග්‍රාම නිලධාරියා නීතියෙන් බැඳී සිටී. එසේම, ග්‍රාම නිලධාරියා තම වසම තුළ රජයේ ප්‍රධාන නියෝජිතයා, වසමේ නායකයා, සම්බන්ධීකාරක, උපදේශක, විපර්ය්‍යකාරක වශයෙන් හා සංස්කෘතික කටයුතුවලදී සහ ජාතික හා ආගමික කටයුතුවලදී, තම වසමේ වගකීමකින් යුතුව කටයුතු කරන නිලධාරියා විය යුතු බව ජනතාවගේ පිළිගැනීමයි.

ඡායාරූප - කැලුම් ලියනගේ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>