Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සිලෝන් ශ්‍රී ලංකා වීමේ අතුරු ප්‍රතිඵල

$
0
0
ජුලි 18, 2018 01:00

මඟ හැරුණු මිනිසා 33

දිවයිනේ සියලුම ජනයාට ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදා ගැනීමට ඉඩ සැලසෙන පියවර රජය මගින් හඳුන්වා දුන්නේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. එය නොසලකා හැරි ඔවුහු ඇතැම් අවස්ථාවල දී තම ආධාරකරුවන් දූෂණයට සහ ගජමිතුරුවාදයට පොළඹවා ලූහ. ආර්ථිකය නමැති කේක් ගෙඩිය කුඩා වෙමින් ජනගහනය වැඩි වෙද් දී ප්‍රභූ පැලැන්තිය ධනයෙන් වැඩි කොටස දිගටම ඔවුන් අත තබා ගත්හ.

ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුරකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.

1970 සිට 1977 දක්වා කාලය තුළ සමගි පෙරමුණ යටතේ භාණ්ඩ මිල දෙගුණයකින් පමණ වැඩි විය. ආහාර සලාකයට පවා අර්බුදයෙන් ගැලවීමට නොහැකි විය. ජනතාවට ලබා දුන් ආහාර සලාකයේ ප්‍රමාණය අඩු කරන ලද අතර පාලන මිලට වඩා බොහෝ වැඩි මිලකට ඒවා විවෘත වෙළඳ පොලෙන් මිල දී ගැනීමට බල කෙරුණි.සහල් සේරුවක මිල රුපියල් හතරක් වුවද කොළඹ විවෘත වෙළඳ පොළේ සහල් සේරුවක් රුපියල් 7 ක් විය. තේ කෝප්පයක් ශත 20 සිට ශත 80 දක්වා ඉහළ නැඟුණි. බර වැඩවල නියුතු කම්කරුවන්ට දිවා ආහාරය සඳහා ව්‍යංජන සහිත බත් වේලක් හෝ පොල් සම්බෝල සමඟ පාන් කෑමට නොහැකි විය.රුපියල් දෙකකට විස්කෝතුවක්, කෙසෙල් ගෙඩියක් සහ තේ කෝප්පයක් ගෙන කුසගිනි නිවා ගැනීම දක්වා ඔවුන්ගේ භෝජන ක්‍රමය වෙනස් කර ගත් බව බෝපගේ පවසයි.

“රට මුහුණ දුන් ප්‍රධානතම ආර්ථික ප්‍රශ්නය වුණේ රාජ්‍යය තම පෞද්ගලික නින්දගමක් ලෙස භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ගේ මුසාවාදත් ධනය අසාධාරණ ලෙස බෙ දී යාමත්. සිංහල ජාතික හැඟීම්වලට ආයාචනා කළ ඔවුන්ට ජනතාවගේ අවධානය මඳ කලකට වෙනතකට යොමු කරන්නට හැකි වුණා. නමුත් එයින් වුණේ ජන වාර්ගික වෛරයකට මඟ පාදා දීම.

“රටේ ආර්ථිකය එක තැන දිගටම පල් වුණා. විරැකියාව දිගින් දිගටම ඉහළ නැංගා. සමගි පෙරමුණ තුළ ඔවුනොවුන් අතර ඇති වෙලා තිබුණ ප්‍රශ්නවලින් තත්ත්වය තවත් නරක අතට හැරුණා. 1975 අග භාගයේ දී ලංකා සම සමාජ පක්ෂය සමගි පෙරමුණේ හවුලෙන් නෙරපා දැම්මා.”

බෝපගේ පවසන අන්දමට දිවයිනේ සියලුම ජනයාට ආර්ථික ප්‍රතිලාභ සාධාරණව බෙදා ගැනීමට ඉඩ සැලසෙන පියවර රජය මගින් හඳුන්වා දුන්නේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. එය නොසලකා හැරි ඔවුහු ඇතැම් අවස්ථාවල දී තම ආධාරකරුවන් දූෂණයට සහ ගජමිතුරුවාදයට පොළඹවා ලූහ. ආර්ථිකය නමැති කේක් ගෙඩිය කුඩා වෙමින් ජනගහනය වැඩි වෙද් දී ප්‍රභූ පැලැන්තිය ධනයෙන් වැඩි කොටස දිගටම ඔවුන් අත තබා ගත්හ. සමගි පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ ලැබිය යුතුව තිබූණේ සියයට 10 ක් වූ අන්ත දිළින්දන්ට ය. එහෙත් දළ දේශීය නිෂ්පාදිතයේ ඔවුන් සතු කොටස ඉහළ නැඟුණේ සියයට 1.17 සිට සියයට 1.18 දක්වා ය. දිළිඳුතම සියයට 40 ක් දෙනා ජාතික ආදායමෙන් සියයට 15.05 ක් පමණක් ලබද් දී පොහොසත් ම සියයට 10 ක් දෙනා සියයට 30 ක් ලැබූහ.

කොළඹ වඩා ධනවත් ප්‍රදේශවල ඉහළ ඉඩම් වටිනාකම්වලින් වර්ධනය වන ආදායම් බෙ දී යාම පිළිබිඹු විය. මිලියන 14 ක් පමණ වූ ජනගහනයෙන් සමගි පෙරමුණු පාලනය යටතේ මිලියනයකට වඩා විරැකියාවෙන් පෙළුණි. මුළු ආසියාවෙන් ම ඉහළම විරැකියා අනුපාතය දැරීමේ ගෞරවය හිමි වූයේ ශ්‍රී ලංකාවට ය. 1975 දී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව විරැකියාවෙන් පෙළුණු ජනයාගෙන් සියයට 82 ක් පමණ ජීවත් වූයේ ග්‍රාමීය ප්‍රදේශවලය.

ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රධාන වශයෙන් සිංහල රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණ අතින් සමගි පෙරමුණු ආණ්ඩුව වඩාත් සාර්ථක විය. මෙය සිදු කිරීම සඳහා ඔවුනට ප්‍රථමයෙන් ම ශ්‍රී ලාංකීය ව්‍යවස්ථාව නිරාකරණය කර ගත යුතු විය. 1944 දී කෙටුම්පත් කරන ලද මුල් ව්‍යවස්ථාවෙන්, ඕනෑම ආගමක් නිදහසේ ඇදහීම වැළැක්වීම හෝ තහනම් කිරීම, ඕනෑම ප්‍රජාවක හෝ ආගමක පුද්ගලයන් වෙනත් ප්‍රජාවන්වල හෝ ආගම්වල පුද්ගලයින් වග නොකිව යුතු බාධාවන්ට හෝ සීමා කිරීම්වලට වගකිව යුතු බවට පත් කිරීම, යම් ප්‍රජාවකට හෝ පුද්ගලයන්ට වෙනත් ප්‍රජාවන්වල හා ආගම්වල පුද්ගලයන්ට පිරිනමනු නොලබන වරප්‍රසාද හෝ වාසි හෝ පිරිනැමීම, හෝ කිසියම් ආගමික ආයතනයක පාලන අධිකාරියේ අනුමැතිය සහිතව හැර ඒ ආගමික ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම, බලාපොරොත්තු නොවුණි.

“මෙම මූලධර්ම සෝල්බරි ව්‍යවස්ථාවේ 29(2) වගන්තියට ඇතුළත් කර තිබුණා. මෙයින් ජනගහනයේ බහු සංස්කෘතික ස්වභාවය පිළිබිඹු වුණා විතරක් නෙවෙයි, රාජ්‍යය සහ ආගම අතර වෙන් කිරීමත් එයින් තහවුරු කළා. සෝල්බරි ව්‍යවස්ථාවට පළමු ප්‍රහාරය එල්ල කළේ 1948 පුරවැසි පනතින්. ඒ මගින් සිය දහස් ගණනක් කඳුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කෙරුවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙය කළේ සම්ප්‍රදායික වමේ ඡන්ද පදනම බිඳ දාන්නටයි. ඒ අනුව ජාතික ධනයේ සැලකිය යුතු කොටසක් බිහි කළ ජනතාවගේ ම අයිතීන් අහිමි කර දැම්මා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු සන්ධානය 1956 දී ‘සිංහල පමණයි’ පනත යනුවෙන් ප්‍රසිද්ධ වුණු රාජ්‍ය භාෂා පනත ඉදිරිපත් කළා. එයින් බහුතර සිංහලයන්ට ප්‍රමුඛත්වය දුන්නා. ඒක ව්‍යවස්ථාවට එල්ල කරපු නිහීන ප්‍රහාරයක්. මම එහෙම කියන්නේ එසේ කරද් දී ආණ්ඩුව දෙමළ ප්‍රජාවේ භාෂාව නොසලකා හැරිය නිසා.”

“1972 දී සමගි පෙරමුණ ජනරජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා. ‘සිලෝන්’ යන යටත් විජිත නාමය වෙනුවට රටේ නම ‘ශ්‍රී ලංකාව’ ලෙස වෙනස් කළා. බොහෝ ස්වදේශික දෙමළ ජනතාවට මෙම නම සිංහල ආධිපත්‍යයක් ලෙස හැඟී ගියා. හේතුව ඒ නම සිංහල ඉතිහාසයයි, සම්ප්‍රදායයනුයි එක්ක සමීප සම්බන්ධතාවක් තිබුණු නිසයි.

“1971 අරගල සමයේ පැනවූ හදිසි අවස්ථා බලතල භාවිත කරමින් ආණ්ඩුවට ඒක පාර්ශ්විකව රට පාලනය කරන්නට පුළුවන් වුණා. ආණ්ඩුව මෙම බළතල නොකඩවා දීර්ඝ කළා. නව ව්‍යවස්ථාවෙන් ලංකාව බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බවත් රාජ්‍යය බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කරන බවත් ප්‍රකාශ වුණා. බොහෝ අය මෙම ව්‍යවස්ථාව දැක්කේ පනස් ගණන්වල මැද භාගයේ සිට දේශපාලන භූමියේ වැජඹුණු සිංහල බෞද්ධයින්ගේ ඉල්ලීම් මුදුන් පත් වීමක් විදියටයි. බුදු දහම සම්බන්ධයෙන් මෙම වගන්තිය පැනෙව්වාට පස්සෙ ශ්‍රී ලංකාව ලෞකික රාජ්‍යයක් වීම නතර වුණා.

“ 1972 ව්‍යවස්ථාව ගෙනෙනකම් අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රවේශය පදනම් වෙලා තිබුණේ තරග විභාග මත නිසා ජනගහනය සමඟ සසඳන විට දෙමළ සිසුන් විශාල පිරිසක් විශ්ව විද්‍යාලවලට ඇතුල් වුණා. සමගි පෙරමුණු ආණ්ඩුව මෙය වෙනස් කරල විශ්වවිද්‍යාල ප්‍රවේශය භාෂාව යොදා ගෙන ප්‍රමිතිකරණයට භාජනය කළා. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වුණේ දෙමළ සිසුවකුට වෛද්‍ය විද්‍යා, විද්‍යා සහ ඉංජිනේරු පීඨවලට ඇතුල් වෙන්නට විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට සිදුවීම.

“මෙම ප්‍රතිපත්තියෙන් දැඩි ලෙසම පීඩා විඳින්නට සිදු වුණේ උතුරු සහ නැගෙනහිර දෙමළ සිසුන්ට. නමුත් මෙම ප්‍රතිපත්තිය අන්ත-ජාතිකවාදීන් සිතූ තරමට දුරදිග ගියේ නැහැ. ඒ නිසා ඊළඟ වර්ෂයේ ම ‘දිස්ත්‍රික් කෝටා ක්‍රමය’ හඳුන්වල දුන්නා. විශ්වවිද්‍යාල ප්‍රවේශය තවත් දුෂ්කර කරල නැවත වරක් කෙනෙහිලිකම් කළේ උතුරු නැගෙනහිර ස්වදේශික දෙමළ දරුවන්ටයි. මේ දිස්ත්‍රික් කෝටා ක්‍රමයෙන් ම නැගෙනහිර දෙමළ කතා කරන මුස්ලිම් ජනයාගේත් මහනුවර කඳුකර දෙමළ ජනයාගේත් දරුවන් වැඩි ප්‍රමාණයකට විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගන්න ඉඩක් සැලසුණා. එසේ කිරීමෙන් වුණේ රට පුරා සාමූහික දෙමළ හඬක් නඟන්නට නැ‍ඟීමට තිබුණු ඉඩකඩ නැති කර දැමීම. අවසානයේ සම්පූර්ණ ප්‍රතිලාභ හිමි වුණේ බහුතර ජන වර්ගයට මයි.”

කෙසේ වෙතත් මෙමඟින් ජන කොටස් සන්සිඳුණේ නැත. සිරිමා බණ්ඩාරනායක මහත්මිය ගේ නායකත්වය යටතේ සමගි පෙරමුණු ආණ්ඩුව හදිසි නීතිය දිගින් දිගටම පවත්වා ගෙන යාමත් විරෝධතා සහ සත්‍යග්‍රහ තහනම් කිරීමත් මැතිවරණය කල් දැමීමත් ජනතා අප්‍රසාදයට පාදක වූ තවත් කරුණු විය. පසුව ඡන්දය අවස්ථාවේ දී ඔවුන්ගේ මේ නොසන්සිඳුණු බව සහ අප්‍රසාදය ප්‍රකාශයට පත් වූ බව බෝපගේ ගේ අදහසයි.

දේශපාලන ප්‍රභූ පැලැන්තිය සිංහල අධිපති බව දරන රාජ්‍යයක් නිර්මාණය කරමින් සිටිය දී සිර ගෙවල් තුළ ලයනල් බෝපගේ සිය සගයින්ගේ ද උදව් ඇතිව ජනතා විමුක්ති පෙරමුණ නව අන්තර්ග්‍රාහී දේශපාලන ප්‍රපංචයක් බවට පරිවර්තනය කරමින් සිටියේය. සිරගෙදර තුළ කරන ලද අධ්‍යයනවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ක්ෂේත්‍රය කෙරෙහි පැවැති ඉන්දියානු බලපෑම සහ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ පක්ෂයේ අදහස් බෝපගේ ඒ කාලයේ රචනා කළ ‘ජාතික ගැට‍ලුව ගැන මාක්ස්වාදී විග්‍රහයක්’ නමැති කෘතියෙහි අඩංගු විය.

සිසිර යාපා

හෙට - හිරගෙදරින් උපන් විමුක්ති ගී


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>