මඟ හැරුණු මිනිසා 45
රටේ වැඩ කරන ජනතාව අතර ඇතිව තිබුණ ආර්ථික ප්‍රශ්නත්, රජයේ මර්දනකාරී පිළිවෙතටත් විරෝධය දක්වන්නට ලංකා ගුරු සංගමයත් ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව තීරණය කර තිබුණා. මේ වාතාවරණය යටතේ, එක් වරම මහා වැඩ වර්ජනයකට යන්නේ නැතිව, මුලින් එක් එක් ආයතනවල මතුවී තිබුණු ප්‍රශ්න මත පදනම්වෙලා, එම ආයතන තුළ සිටින වැඩ කරන ජන කොටස් බහුතරයක සහභාගිත්වයෙන් යුතුව මෙම වැඩ වර්ජනය රැල්ලක් ලෙස දියත් කළ යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ තීරණය වුණේ.
“පිකටිං කරපු පිරිසකට අගලවත්ත මන්ත්‍රී මෙරිල් කාරියවසම් මහතා මෙහෙයවපු රාජ්‍ය අනුග්‍රහය ලත් මැර කණ්ඩායමක් පහර දුන්නා. මේ මැර ප්‍රහාරයේදි වෙඩි වැදිල සෝමපාල සහෝදරයා මරු මුවට පත් වුණා. ඔහුගේ අවමඟුල් පෙරහැරට සහභාගි වෙන්නට පැමිණි රත්මලාන දුම්රිය සේවකයන්ගේ වැඩ තහනම් කළා. මේ ප්‍රශ්නය ගැන පාලකයො සාකච්ඡාවක්වත් දුන්නෙ නැහැ.
“1980 ජූනි විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ දඬුවම් ඉවත් කරන්නත් සෑම සේවකයකුගේම මාසික වැටුප රු. 300 කින් වැඩි කරන්නත් 1977 ජූලිවල සිට වැඩි වූ සෑම ජීවන අංකයකටම රුපියල් පහ බැගින් දීමනාවක් ගෙවන්නත් මේවාට විසඳුමක් නොලැබුණොත් ජුලි 18 මහා වැඩ වර්ජනයක් දියත් කරන බවට ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව ආණ්ඩුවට දැනුම් දීල තිබුණා. ඒ ඉල්ලීම ගණන් නොගත් ආණ්ඩුව සාකච්ඡා කරන්න එකඟ වුණේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ මේ වැඩ වර්ජන යෝජනාවට කෙරෙහිව දැක්වූයේ නම්‍යශීලී ආකල්පයක්. එසේ කරන්නට නොයෙක් හේතු තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව යටතේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් 1970 මැද භාගයේ පමණ සිට සංවිධානය කරන ලද ජාතික සේවක සංගමය සම්ප්‍රදායික වෘත්තීය සමිතිවල සාමාජික සාමාජිකාවන්ට තර්ජනය කොට ඔවුන් ජාතික සේවක සංගමයට බඳවා ගැනීමෙන් ඒ සමිති දුර්වල කොට බොහෝ වැඩපළවල් තුළ ප්‍රබල තත්ත්වයක් ඇති කර ගෙන සිටියා. ජාතික සේවක සංගමය තුළ සංවිධානය කරන ලද මැර කණ්ඩායම් සමහර විට පොලිසියේ ඇතැම් කොටස්වලත් ආධාරය ඇතිව වැඩ වර්ජන, විරෝධතා සහ උද්ඝෝෂණ ප්‍රචණ්ඩත්වය යොදා ගෙන කඩාකප්පල් කළා. ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට, මානව අයිතීන් සුරැකීමට ක්‍රියා කරන අයට විරුද්ධව අඩන්තේට්ටම් කරන්න දාමරිකකම් කරන්න යොදා ගත්තා.
“සිරිල් මැතිව් මහතා වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ දේශපාලනඥයෝ නිත්‍ය මැර කණ්ඩායම් පඩි ගෙවා නඩත්තු කළා. රජයේ සේවකයන් ස්වාධීනව වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අනුගමනය කරන එක වළක්වන්නට පැරාමිලිටරි වැනි කණ්ඩායම් පවත්වා ගෙන ගියා. ඒ වෙන කොට නිදහස් වෙළඳ ආර්ථිකය තහවුරු කරන්න අවශ්‍ය සියලු මර්දනකාරී බලය කේන්ද්‍ර ගත කර තිබුණා. 1978 ව්‍යවස්ථාව අනුව ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිවරයා, රජයේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වගේම සන්නද්ධ සේවා ප්‍රධානියා ද වුණා. මේ කරුණු ගැන අපේ අවධානය යොමුව තිබුණා. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නැඟී එමින් තිබුණු කාලයක්. ඒ වැඩ කටයුතු අඩාල කරන්න එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවටත්, පැරණි වමටත්, ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සමිතිවලටත් අවශ්‍යව තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් වෘත්තීය සමිති ලංකා ගුරු සංගමය තරම් ප්‍රබල තත්ත්වයක තිබුණේ නැහැ. අනෙක් අතට, මහා වැඩ වර්ජනයක් කරන්නට තරම් විෂය මූලික හෝ මනෝ මූලික තත්ත්වයක් රටේ නොතිබුණ බවයි අපේ අදහස වුණේ.
"රටේ වැඩ කරන ජනතාව අතර ඇතිව තිබුණ ආර්ථික ප්‍රශ්නත්, රජයේ මර්දනකාරී පිළිවෙතටත් විරෝධය දක්වන්නට ලංකා ගුරු සංගමයත් ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව තීරණය කර තිබුණා. මේ වාතාවරණය යටතේ, එක් වරම මහා වැඩ වර්ජනයකට යන්නේ නැතිව, මුලින් එක් එක් ආයතනවල මතුවී තිබුණු ප්‍රශ්න මත පදනම්වෙලා, එම ආයතන තුළ සිටින වැඩ කරන ජන කොටස් බහුතරයක සහභාගිත්වයෙන් යුතුව මෙම වැඩ වර්ජනය රැල්ලක් ලෙස දියත් කළ යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ තීරණය වුණේ. සමාජවාදී කම්කරු සංගමය අද වගේම එදාත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ කොටසක්. ඒ අනුව සංගමයේ ලේකම් ගමනායක සහෝදරයා ලංකා ගුරු සංගමයෙ සහෝදරවරු සමඟ මේ පිළිබඳව දිගටම සාකච්ඡා කළා. මෙම අදහස ප්‍රතික්‍ෂේප කරපු ගුරු සංගමය ඔවුන් බලා පොරොත්තු වූ අන්දමට මහා වැඩ වර්ජනය දියත් කරන්නට සැලසුම් කළා.
“එක්සත් ජාතික පක්‍ෂයේ නායකයෝ බලයෙන් උද්දාම වෙලා හිටියෙ. සමහරු කිව්වා වර්ජකයන් කනත්තට දක්කන බව. එ ජා ප ආණ්ඩුව වැඩ වර්ජනය තහනම් කළා. වර්ජකයන්ට රැස්වීම් තැබීමත් තහනම් කළා. වෘත්තීය සමිති කාර්යාලවලට සීල් තිබ්බා. රජය වැඩ වර්ජනයට පෙරම ලංකාව පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කළා. රජයේ සහ පෞද්ගලික අංශයේ සෑම සේවාවක් ම ‘අත්‍යවශ්‍ය සේවා’ බවට පත් කළා. හමුදාවට සහ පොලිසියට විශේෂ මර්දන බලතල ලබා දුන්නා. බලධාරියෙක් පත් කොට ප්‍රවෘත්ති වාරණයට ලක් කළා. ”
තම ගැටලුව මහජනයාට දැනුම් දීමට ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව ජූලි 18 වැනිදා රැස්වීමක් පවත්වන බවට නිවේදනය කළේය. ආණ්ඩුව මෙම රැස්වීම තහනම් කරමින් තමන්ගේම රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළේය. එහි දී ජනාධිපතිවරයා එම රැස්වීම අමතමින් උක්ත දිනයේ සේවයට නොපැමිණෙන අය සේවය අතහැර ගියා සේ සලකන බවත් නැවත සේවයට පැමිණීම අනවශ්‍ය බවත් දන්වා සිටියේය. රජය විසින් එහි මුළු වෙර යොදා වැඩ වර්ජනය මර්දනය කරන ලදි.
එම වැඩ වර්ජනයට සහභාගී වුණු 60, 000 කට අධික සංඛ්‍යාවක් වහාම රැකියාවලින් නෙරපා දමන ලද අතර, ඇතැම් තැන්වල වැඩ වර්ජනයේ යෙදුණු අයට එරෙහිව අමානුෂික බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා එල්ල කරන ලදී. වැඩවර්ජනය කඩාකප්පල් කර දැමීමෙන් දෙසතියකට පසු අලුතෙන් සේවකයන් බඳවා ගෙන වර්ජනය නොකළ සේවකයන්ට වැටුප් වැඩි වීම් ද ලබා දුන්නේය. රැකියාවෙන් නෙරපන ලද සේවකයන්ට නැවත රැකියා ලබා දෙන ලෙස කරන ලද උද්ඝෝෂණ ද මර්දනය කර දමන ලදී. වර්ජනය සම්පූර්ණයෙන් මැඩ පවත්වන්නට හැකි වූ නිසා 1980 අගෝස්තු මාසයේදි හදිසි නීතියත් පුවත්පත් වාරණයත් ඉවත් කෙරුණි.
“ආණ්ඩුවේ තීරණය නිසා 1980 වැඩ වර්ජනයෙන් 80, 000-100, 000 ත් අතර ප්‍රමාණයකට රැකියා අහිමි වුණා. ඔවුන්ගෙන් ඇතමෙක් පසු කාලයේදි දිවි ගැට ගසා ගැනීමට ක්‍රමයක් නැතිව සිය දිවි හානි කර ගත්තා. සමහරු ජීවත් වීම සඳහා පුද්ගලික වෙළඳාම් කටයුතුවල යෙදුණා. තමන් වර්ජනයට සහභාගි වූණේ නැතැයි ඔප්පු කොට, අනාගතයේ කිසිදු වැඩ වර්ජනයකට යොමු නොවන්නට ගිවිසගත් වර්ජකයින්ගෙන් 40, 000 ක් පමණ නැවත සේවයේ පිහිටෙව්වා. පෞද්ගලික අංශයේත් සේවකයන් බොහෝ දෙනකුට රැකියා අහිමි වුණා.
“වර්ජනයෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වසර 14 ක් බලයේ හිටියත් සෝමපාල සහෝදරයගෙ මරණය ගැන පරීක්ෂණයක්වත් වර්ජකයන්ගේ ප්‍රශ්නය සතුටුදායක අන්දමකට විසඳන්නටවත් කිසි දෙයක් කළේ නැහැ. ඔවුන් කළ එකම දේ වර්ජනය නිසා රැකියා අහිමි කරන ලද අයගේ පුරප්පාඩු තම පාක්ෂික හිතවතුන්ගෙන් සහ මැරයන්ගෙන් පුරවන එක. ජුලි වර්ජකයෝ ඒකාබද්ධ වෘත්තීය සමිතියක් ලෙස කටයුතු කරමින් බොහෝ විට පසුව බලයට ආ ආණ්ඩුවලට සහයෝගය දීල තම තමන්ගේ රැකියාව නැවත ලබා ගන්න උත්සාහ කළා. ඇතැම් ආණ්ඩු සමහර සේවකයන් ආපහු සේවයේ පිහිටෙව්වා. ඇතැම් සේවකයෝ කිසිදු වන්දියක් නොලබාම අකාලයේ මියැදුණා.
“මම අදත් දරන අදහස තමයි මෙම වර්ජන තීන්දුව වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඇත්ත තත්ත්වය තක්සේරු කරල ගත්ත එකක් නොවේය යන්න. එක්සත් ක්‍රියාකාරී කමිටුව වුණත් මේ වර්ජනයට පැහැදිලි නායකත්වයක් දුන්නේ නැහැ. හදිසි නීතිය යටතේ වුණත් මුලින් 50, 000 කට වැඩි සේවකයෝ ප්‍රමාණයක් වැඩ වර්ජනය කරල තිබුණා. නමුත් එය පවත්වා ගෙන යෑම ඉතා දුෂ්කර කටයුත්තක් වුණා. දහස් ගණන් වර්ජකයෝ ආණ්ඩුවේ තර්ජන හමුවේ ආපහු වැඩට ගියා. වතු කම්කරුවෝ, බැංකු සේවකයෝ බොහෝ දෙනෙක්, විදුලි, සෞඛ්‍ය, වරාය වගේ අංශ වර්ජනයට සම්බන්ධ වුණේ නැහැ. මේ නිසා මහා වැඩ වර්ජනයක් ගෙන යන්නට තත්ත්වයක් පැවතුණේ නැහැ.
“වර්ජනය මෙහෙයවපු සමිති අතරත් ඒවායේ දේශපාලන නායකත්වය තුළත් වර්ජන ක්‍රියා මාර්ගය පිළිබඳව අවුල් ඇති වී තිබුණා. රජයෙන් එල්ල වෙන්නට ඇති මර්දනයේ ස්වභාවය ගැන ඔවුන්ට වැටහීමක් තිබුණු බවක් ඔවුන්ගේ කටයුතුවලින් පෙනුනෙ නැහැ. වර්ජකයන්ට තම දිවි ගැට ගසා ගන්නට තරම් උදව්වක් කරන්නට සමිතිවලට හයියක් තිබිලත් නැහැ. වර්ජනය දියත් කරපු අන්දමට රජයට ඊට එරෙහිව මර්දන කටයුතු සැලසුම් කරන්නට පුළුවන් වුණා. මර්දනය හමුවේ වැඩ වර්ජනය අඩපණ වුණා.”
සිසිර යාපා