දේශපාලනය යනු මිනිසුන් අතර පාලම් සැදීමයි Then in the left - We are bridging people පොඩ්ඩ බැරිවෙද්දි ඉඩෝරයට අසුවී වේලී යන ලංකා දූපතේ පොලොව මත හිට ගත් මිනිසුන් දෙස 1908 දී Leonard Woolf බලා සිටී. ඔහු මෙසේ ලියයි.
'උන් එකෙක් අනෙකකු දෙස බලන්නේ මී හරකෙකුගේ ඇස්වල දකින්න හැකි ඉවසිලිමත් දොම්නස් ජඩ බැල්මෙන් හෝ නරියෙකු කෙරෙහි ඇති කපට බැල්මකින් යුතුවය. වනයේදී ඇතිවන අන්ධ සාහසිකත්වයද දිවියකුගේ මෙන් රෟද්‍රභාවය හා වලසකුගේ මෙන් හදිසි කෝපයද මේ ගම්මුන් තුළ දක්නට ලැබේ.
Woolf ගේ මෙම අවබෝධය Lester විසින් බැද්දේගම චිත්‍රපටය තුළින් යළි සමාජයට ඉදිරිපත්කරනවා. තිර රචනය අප කියවා නැතත් පොඩ්ඩක් වැස්ස නැති වුණ ගමන් ඉඩෝරයට අහුවන පොලොව මත සිටින හොල්මන් වී ගිය ගැමියෙකු Lester ගේ සෑම screen shot එකක් තුළම අපට දැකගන්න පුළුවන්. ( චිත්‍රපටයේ අවස්ථා දැන් මතක් කරගන්න ) වියළුණු පොලොව මත සිට ගත් මිනිසා පිටුපස ( back ground එකේ ) රූපණය වීමට උත්සාහ දරන එනමුත් චිත්‍රපටය අවසන් වන තෙක්ම රූපණය නොවීම මිය ගිය කුමක් හෝ ගුප්ත දෙයක් පවතී. පිටු පස පවතින දෙයට මිනිසා බය ය. හොල්මන්වීගිය මිනිසකු පොලොව මත සිටගෙන ඉදිරිය බලාගෙන සිටගෙන සිටියි. පිටුපස නොබලන ඔවූහු දෑස් ඉදිරියට නෙරා ඉදිරියම බලා සිටියහ.
Woolf තම බැද්දේගම නවකතාව තුළින් මෙම තත්ත්වය විස්තර කරන්නේ මේ මිනිසුන් ජීවත්වන පසුබිමට ඇති ඇති බිය නිසා ඔවුන් අවිනිශ්චිත ලෙස සාහසික විය හැකි මිනිසුන් ලෙසය. නවකතාවේ පසුබිම චිත්‍රපයේ පසුබිමට එලෙසම ගැනීම Lseter ගේ අභිප්‍රායයි. පසු බිමේ ඇත්තේ රූපණය නොවුණත් මේවාය - වනාන්තරයට ඇති බිය, බඩගිනි වීම සම්බන්ධව ඇති බිය, උණ සන්නිපාත සැදී වෙව්ලා මිය යාමට ඇති බිය, හේන් පාළුවී යතැයි ඇති බිය. වාමාංශිකයනට අනුව මෙය සරලවම නිෂ්පාදන යාන්ත්‍රණයේ අක්‍රමවත් බවකි. Woolf මතු කරන්නේද එම අදහසමය. එනම් පසු බිමේ කැරකෙන්නේ ආර්ථික ප්‍රශ්නයකි.
Mrs Dalloway නවකතාව ලියන්නේ Woolf ගේ බිරිද වන Virginia Woolf විසිනි. මිනිසෙකු සිය දිවි නසාගන්නා අන්තිම මොහොතේ ලියා තැබූ ලියුමක් සාහිත්‍යය කෘතියක් සේ විශ්වවිද්‍යාල විසින් සලකා එහි රසය පන්තිකාමර තුළ විකිණීම කාලයක සිට කෙරෙන නිසා Virginia විසින් Leonard Woolf ට ලියු සිය දිවි නසාගත් ලියුමේ කොටසක් මෙසේය,
මගේ ආදරවන්තය ,
මට නැවත එක එක ශබ්ද ඇසෙන්නට පටන්ගෙන. මට සිත පිහිටුවාගත නොහැකියි. එනිසා මම කරන්නට තියෙන හොඳම දෙය කරනවා. ඔබ මට දිය හැකි උපරිම සතුට දුන්නා. මට සියලුදේම ඔබම වුණා. දරුණු අසනීපය නැවත පැමිණීමෙන් පසුව තවදුරටත් දෙදෙනෙකුට සතුටින් සිටීමට හැකි යැයි මම නොසිතමි. මට තවදුරටත් රෝගය සමග සටන් කළ නොහැක. මම ඔබගෙ ජීවිතය කාලකණ්හි කරමින් සිටිමි. මුළු ජීවිතය පුරා ඔබ මා කෙරෙහි පුදුම ඉවසිලිවන්ත සහ බොහෝ යහපත් වුණා. මාව බේරගන්නව නම් ඒ කව්රුත් නොව ඔබම පමණයි. ඔබගේ යහපත්කම හැර සියලුම දේ මගෙන් ඈත් වෙනව. තවදුරටත් මට ඔබේ ජීවිතය කාලකණ්ණි කළ නොහැකියි.
Virginia සිය දිවි නසාගත් පසුව ඇගේ පුද්ගලික වෛද්‍යවරයා ලොවට පැවසුයේ දත් අමාරුව නරක් වී මොළයට විෂබීජ ගොස් විකාර ශබ්ද සහ රූප ඇයට පෙනීමට පටන්ගත් බවය. එය තඩි කෙප්පයකි. Virginia යම් යම් රූප ඡායා දැක්කත් විවිධ ශබ්ද යළි යළි ඇසුවත් ඒවා ඇයට තේරුම් ගත නොහැකි විය. සංරචනය කරගත නොහැකි විය ඇයට. භයානක තත්ත්වයකි මෙය. මදක් සිතන්න තේරුම් ගත නොහැකි භාෂාවක් ඔබට ඇසෙනවා නම් හෝ තේරුම් ගත නොහැකි දසුන් ඔබට පෙනෙනවා නම් ඔබගේ පැවැත්ම අර්බුයට යන්නේය. ඔබගේ මිදුලේ ඇති ගස Ò ගසක්Ó ලෙස ඔබට signified(සංඥා) වී ඇති නිසා ඔබ ගසට බිය නොවන්නේය.
නැත්නම් මළ කෙළියක් වන්නේය. ඔබ කිසිදා පුටුවේ සිට ගස දෙස බලා නොසිටිනු ඇත. horizontal split එකකට වර්ජිනියා බදුන් වී ඇත. සමාජ අත්දැකීම් traumatic වීම නිසා මිනිසෙකු තුළ මෙවැනි දෙදරුම් ඇති වේ. බැද්දේගම නම් ගමේ සිලිදු පමණක් නොව සියලු මිනිසුන් ඒ විදිහට හෝ මේ විදිහට traumatic අත්දැකීම් ලැබ දෙපලු වූවන්ය. නව කතාවේ චරිතවල මෙම පැල්ම (split ) දැක ගත හැක. Lester ගේ ස්ක්‍රීන් ෂොට්වල (screen shots) වියළි පොළොව මත ඇවිද යන්නේ දෙපලු වූ මිනිසුන්ය. වර්ජිනියා වසර හයක කුඩා දැරියක්ව සිටියදී ලිංගික අතවරවලට ලක් වීම නිසා ඇය ජීවිතයේ මැදි වියේදි පැළී ගියේය.
දැන් Lester ගේ ස්ක්‍රීන් ෂොට්වල (screen shots) පසුතල දර්ශන(back ground) යේ රූපණය නොවී පවතින අමුතු දෙය ආර්ථිකයද ? Leonard Woolf පොතින් පවසන පරිදි බැද්දේගම ගමේ පොළොව මත සිටිගෙන සිටින මිනිසා පිටුපස පසුබිම ඇති ගුප්ත යාන්ත්‍රණය ආර්ථිකයද? Virginia සිය දිවි නසාගැනීම හේතුවුයේ ආර්ථිකයද?
සුද්දා ලංකාව අතහැර දමා ගියේ ශේෂපත්‍රයේ අවුල් නිසාය. ප්‍රශ්නය ආර්ථිකයයි Woolf පවසයි. Lester එයටම පසුබිම සකස් කොට රූපණය කරයි. ප්‍රශ්නය ආර්ථිකය නම් අද Jaic Hilton එකේ කාමරවලින් ටයි දා ගත් මෙවැනි ගැමියන් එළියට කඩාපැනීම සිදු විය නොහැක.
පසුබිම ඇති අමුතු දේ සංරචනය කළ යුතුය. සංරචනය වීම නැත්නම් තේරුම් ගැනීම Table එකක් මත සිදුවේ. ලංකාවේ Tables තිබී නැත. සම්මුතින් සාකච්ඡා තුළ බිහි විය යුතුය. ඉතිහාසයේදී අප ගොස් රජු සමඟ කිසිදා සාකච්ඡා කොට නැත. මිනිස් පාලම් තිබී නැත. Woolf ලංකාවේ පසුබිමේ කැරකෙන දේ ආර්ථිකය ලෙස දුටුවේය. Woolf එංගලන්ත සපත්තු කුට්ටමේ සිටගෙන බැද්දේගම දුටුවා සේම Lester කොළඹ සිට බැද්දේගම දෙස බැලුවේය. පංගු ක්‍රමයට ලංකාවේ හුරුවී සිටි මිනිසා එංගලන්තයේ වෙළෙඳපොළට හසුවී හොල්මන් වී ඇති සැටි Lester නොදුටුවේය.
එය ආර්ථික ප්‍රශ්නයක් නොව දේවල් තේරුම් ගැනීම ( සංරචනය කරගැනීම ) පිළිබඳ ප්‍රශ්නයකි. කොටින්ම Henry Blake ආණ්ඩුකාරයාගේ කඹුරුපිටියේ කච්චේරිය මොන හත්ඉලව්වක්දැයි ගමේ ආරච්චිලවත් සිලිදුවත් බබුන්වත් නොදති. 1977 දී ජපාන වෙළෙඳපොළට ලංකාව නැවත වරක් අහුවන නිසා මිනිසුන් නැවතත් දෙපලු වී යයි.
මෙලෙස සිදුවන දෙපලු වීම්වලට අනුරූප වු traumatic වීම් කාලානුරූපව මිනිස් ඝාතන ( යුද්ධ / කැරලි ) ලෙස ලාංකික සමාජය තුළ ප්‍රකාශයට පත් වේ. පසුබිම කැරකෙන්නේ ආර්ථිකය නිසා බව Woolf ට පෙනුන ද වික්ටෝරියානු සදාචාරය නමැති තිරය පිටුපස Virginia සිය දිවි නසාගැනීම Woolf නොදුටුවේය. වික්ටෝරියානු සදාචාරය කඩෙන් මිලදීගත හැකි දෙයකි. වසර 1950 ගණන්වලදී කොළඹ, මොරටුව, දෙහිවල පැත්තේ කඩවලින් Lester ට එය පහසුවෙන් මිලදී ගත හැකිව තිබිණි. යහපත් bank account එක යහපත් වික්ටෝරියානු සදාචාරයයි. බැද්දේගම මිනිසා දෙස bank account එකක් හරහා බලද්දී පෙනෙන්නේ එක් පැත්තක් පමණකි.
Lester fail වන තැනින් ඉස්සරහට යන්න අශෝක හදගම පටන් ගත්තත් එය කැරකැවී ගොස් නැවතුණේ ගැහැනු යට ඇඳුම් තුළ හෝ පිරිමි ලන්කට් එක තුළය. එබැවින් දේශපාලන නිදහස අවසන් සීමාව බව අපට නොහැඟේ.
උන් එකෙක් අනිකෙක් දෙස බලන්නේ මී හරකකුගේ ඇස්වල දකින්න හැකි ඉවසිලිමත් දොම්නස් ජඩ බැල්මෙන් හෝ නරියෙකු කෙරෙහි ඇති කපටි බැල්මකින් යුතුවය.
මෙය ඔබ ද රැකියාවේදී අත් විඳිනවා නියතය. මෙහි ඇති අඩුව ආර්ථිකය නොව දේශපාලනයයි. ශරීරයෙන් පිටත ඇති දේ දේශපාලනය විසින් සකසාගත යුතුය. වතුර ගලා ගොස් sediment සැදෙන්නා සේ ජනතාව ගලාගොස් ආයතන සැදේ. ලංකාවේ සිදුවන්නේ ආයතන සාදා ඒවාට මිනිසුන් රිංගවීමකි. කඹුරුපිටියේ උසාවියේ මෙන් නීතිය කා වෙනුවෙන්දැයි වරනැගීමටය. එය දෙවියන් හෝ බඹුන් මිස වෙනත් කිසිවකු නොදනී. Lester එය දැන සිටියාද? Lester ගෙන් පසුව සිනමාව අපට ඉගැන් වූයේ චොක්ලට් කන්න දී යට සාය අස්සට අත දාන විදිය මිස වෙනකක් නොවේ. ලංකාව වැනි රටක මිනිසුන් අතර පාලම් සැදීම සිනමාව විසින් කළ යුතුව තිබිණි. එසේ තිබියදී යුද්ධයකින් පසුව උචිත යුද සාහිත්‍යක් ලංකාවේ බිහි නොවීම ගැන මැසිවිලි නගන්නෝ ලැජ්ජාවිය යුතුය.
ජනා චාර්මින්