“1982 දෙසැම්බර් 15 වැනිදා වව්නියාවෙ සාන්ත අන්තෝනි පල්ලියේ දී ඒ අත්අඩංගුවට ගත් අය අතරෙ ඒ කාලෙ වවුනියා මහ රෝහලේ සේවය කළ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වූ, මුලින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටිය ගාල්ල අතුරු මැතිවරණයේ දී මා වෙනුවෙන් ඇප-කැප වී වැඩ කළ පසුකලෙක ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ වෛද්‍ය කේ. එස්. ඒ. ප්‍රනාන්දු සහෝදරයා ද හිටියා. ප්‍රනාන්දු සහෝදරයාට අත්අඩංගුවට ගත්ත වෙලාවෙත් ඊට පස්සෙත් උප පොලිස් ස්ථානාධිපති කෙනෙක් දරුණු අන්දමින් වධ හිංසා පමුණුවා සිහි නැති වෙන තුරු පහර දී තිබුණා. මේ තත්ත්වයට එරෙහිව යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ විශාල පෙළපාලියකුත් උපවාසයකුත් පැවැත්වුවා.
"1983 ජූලි දෙමළ විරෝධී කලබලවලට කලින් මාර්තු මාසෙ වගේ හමුදාව ත්‍රිකුණාමලයේ තිබුණ තවත් ගාන්ධියම් ජනාවාසයකට පහර දීලා ගාන්ධියම් සංවිධානයේ ලේකම් වෛද්‍ය එස්. රාජසුන්දරම්, ඒ සංවිධානයේ සභාපති එස්. ඒ. ඩේවිඩ් යන මහත්වරු අත්අඩංගුවට අර ගෙන වධ හිංසාවට ලක් කර තිබුණා. අත්අඩංගුවට ගන්නට පෙර ඔවුන් උතුරු නැගෙනහිර පුරාම පෙර පාසල් සිය ගණනකුත් ජංගම වෛද්‍ය සායනත් පවත්වා ගෙන ගිය අය. ඔවුන් උමා මහේස්වරන් සහ සන්දදියාර් හමු වූ බවටත්, ඒ ගැන පොලීසියට නොදැන් වූ බවටත් එරෙහිව ඔවුන්ට නඩු පැවරුවා. ඒ විතරක් නෙමෙයි ඒ දෙදෙනාට ඉන්දියාවට පැන යන්නට උදව් කළ බවටත් චෝදනා කළා. ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන අතර ඔවුන්ට හිර ගෙදර දී කිහිප වතාවක්ම සිහි නැති වෙන තුරු පහර දී තිබුණා.
"1983 අප්‍රේල් මාසෙ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් තුන් දෙනෙක් යාපනය දිස්ත්‍රික්කයේ දී ඝාතනය කෙරුණා. මැයි මාසයේ හමුදා කෝප්‍රල්වරයෙකුටත් වෙඩි තියල තිබුණා. ආණ්ඩුව හදිසි අවස්ථාවක් යළි ප්‍රකාශයට පත් කළා. ඒ අතරේ යාපනයේ නිවාස සහ වීදියක කොටසක් ගිනි තියල යාපනයේ ප්‍රධාන රෝහලටත් වෙඩි තැබූ බව දැන ගන්නට ලැබුණා. 1983 මැයි මාසේ දෙමළ සිසුන්ගේ නම් ලැයිස්තුවක් අරගෙන ආපු සිංහල ශිෂ්‍යයෝ වගයක් බාහිර මැරයින්ගේත් උදව් ඇතිව දෙමළ සිසුන්ට පහර දීලා ඔවුන්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පන්නා දමා තිබුණා.
“1983 ජූලි කලබල දිනවලම වැලිකඩ හිර ගෙදර හිටි සිංහල හිරකරුවෝ 400 ක් විතර යකඩ සහ ලී පොලු, මන්නා, පිහි, පොරෝ, යකඩ කූරු අර ගෙන දෙමළ හිරකරුවෝ රඳවල හිටපු මැදිරිවලට කඩා වැදී තිබුණා. සිංහල සිරකරු මැරයන් පිරිසක් කුට්ටිමනී හා තංගතුරේ ඇතුළු දෙමළ සිරකරුවන් 35 දෙනෙක් ඝාතනය කොට පසුව ඒ මළ සිරුරු හිර ගෙදර බුදු පිළිමය ඉදිරිපිට ගොඩ ගසා තියෙනවා. මේ ඝාතනවල දෙවන වටය සිදු කරන්නෙ ඊට දින දෙකකට විතර පස්සෙ. සිංහල හිරකරුවන් කණ්ඩායමක්. වෛද්‍ය රාජසුන්දරම් ඇතුළු 17 දෙනෙක් එදා ඝාතනය කරලා තිබුණා. මේ ඝාතනය මෙහෙයවල තිබුණේ, ඉතාලි අලිතාලියා ගුවන් සේවයේ ගුවන් යානයක් පැහැර ගත් වරදට හිරේ හිටපු සේපාල ඒකනායක බවට රාවයක් තිබුණා.
“මෙම සිද්ධිවල දී දකින්න තියෙන පොදු ලක්ෂණයක් තමයි, බන්ධනාගාර නිලධාරීන් සහ හමුදාවල සමහරෙකුත් කොළඹ මහ රෝහලේ සිංහල වෛද්‍යවරු ඇතුළු හෙද හෙදියන්ගෙන් වැඩි දෙනෙකුත් මෙම පහර දීම්වලට ලක්වෙලා හිටපු දෙමළ හිරකරුවන් බේරා ගන්නට හෝ ප්‍රතිකාර කරන්නට උනන්දුවක් නොදැක්වීම. බන්ධනාගාරයේ සමහර නිලධාරීන්ගේ උදව් නැතුව මෙවැනි ඝාතනයක් කරන්නට පුළුවන්ද? බන්ධනාගාරය ඇතුළත කෙරුණු මේ මිනීමැරුම් ගැන මෙතෙක් බලයට පත්වුණු කිසිම ආණ්ඩුවක් පරීක්ෂණයක් නොකළේ ඇයි? ඒ මිනීමරුවන්ට මෙතෙක් කිසිදු දඬුවමක් ලබා දී නැත්තේ ඇයි? දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙක් හිර ගෙදර දී මරා දැමීම ගැන විපක්ෂය අගමැති ආර්. ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කළාම ඔහු දී තිබුණ උත්තරය වුණේ ඒ සිද්ධියේ දී එක සිංහල සිර කාරයෙක් ද මැරුණු බවයි.
“මේ ආකාරයට මිනීමැරුම්, අතුරුදහන් කිරීම්, වධ හිංසා පැමිණවීම් දෙපාර්ශ්වයෙන් ම සිද්ධ වුණා. තව සඳහන් නොකරපු සිද්ධි රාශියක් මැද්දෙයි 1983 ජූලි 23 රාත්‍රිය ආරම්භ වෙන්නෙ. ජේ. ආර්. ජයවර්ධන රජය දෙමළ ජන කොටස්වලට එරෙහිව විශාල අන්දමේ ප්‍රචණ්ඩකාරී බලපෑමක් කරන්න කටයුතු සූදානම් කරමින් ඉන්න බව ඒ කාලෙ ප්‍රසිද්ධ රහසක්ව තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තුළත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කළා. ඒත්, ඒක මොන වගේ ප්‍රචණ්ඩත්වයක් වෙයිද මොන වගේ වෙලාවක ඒ ප්‍රචණ්ඩත්වය දියත් කරයිද කියන එක අපි කවුරුත් දැන ගෙන හිටියෙ නැහැ.
“මේ වෙන කොටත් සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක වැනි ඇමතිවරු, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ වගේ අය රජයේ මුද්‍රණාලය පාවිච්චි කරමින් නොයෙක් ආකාරයේ ජාතිවාදී ප්‍රචාරක පත්‍රිකා මුද්‍රණය කොට සිංහල ජන කොටස් අතරෙ, විශේෂයෙන්ම නාගරිකව පාසැල් ළමයි ඇතුළු වෙනත් කොටස් අතරෙ බෙදා හරින බව අපට දැන ගන්නට ලැබිලා තිබුණා. ඒ වෙන කොට, විශේෂයෙන් 1982 ජනාධිපතිවරණයෙන් පස්සෙ, ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලැබූ දුර්වල ප්‍රතිඵල ගැන නොයෙක් ආකාරයේ සාකච්ඡා පක්ෂය ඇතුළත සිදු වෙමින් පැවතුණා.
"බ්‍රිගේඩියර් බුල් වීරතුංග උතුරු නැගෙනහිර ‘ත්‍රස්තවාදී කටයුතු’ අවසන් කරපු බව ජනාධිපතිවරයාට වාර්තා කර තිබුණත් තරුණ දෙමළ ජාතිකවාදී සටන්කාමීන් ඔවුන්ගේ ප්‍රචණ්ඩ කටයුතු දිගටම කර ගෙන ගිය බවට වාර්තා වුණා. මේ නිසා අලුත් කමාන්ඩො ඒකකයකුත් එක්ක ආරක්ෂක සේනා මූලස්ථානයක් යාපනේ ගුරුනගර්වල අලුතින් පිහිටෙව්වා. ජනතා විමුක්ති පෙරමුණ උතුරේ සිදුකළ දේශපාලන වැඩ කටයුතුවලටත් ඔවුන්ගෙන් තර්ජන එල්ල වුණා. විශේෂයෙන් අලවෙඩ්ඩි ගමේ නවරත්නම් සහෝදරයාගේ ජීවිතයට එල්ල වුණු තර්ජන නිසා මම ඔහුව කාලයක් ආමර් වීදියේ පක්ෂ කාර්යාලයේ නතර කර ගෙන හිටියා. ඉන් පසු කොහිලවත්තේ පක්ෂයේ ශක්ති මුද්‍රණාලයේ වැඩ කටයුතු කරගෙන ඉන්න ඔහුව යෙදෙව්වා.
“1983 ජූලි 23දා ආයුධ ගත්ත දෙමළ අය කීප දෙනෙක් ඒ පැත්තේ ගැවසෙන බවට යාපනේ ගුරුනගර් කඳවුරට ආරංචියක් ලැබිලා තිබුණා. මේ කාලෙ වෙනකොට උතුරු - නැගෙනහිර ආරක්ෂක අංශවලට රාත්‍රි මුර සංචාරයේ යන්නට එපා කියල දැඩි නියෝග පණවලයි තිබුණේ. නමුත් මේ ආරංචිය ගැන හෙවිය යුතුව තිබුණේ, ගුරුනගර් කඳවුරේ කමාන්ඩො ඒකකයට. ඔවුන් නිරීක්ෂණ චාරිකාවක් කළත් සැක කටයුතු යමක් හමුවෙලා නෑ. මේ අතරෙ එල්. ටී. ටී. ඊ. නායකයගෙ සගයෙක්ව හිටපු චාල්ස් ලූකස් ඇන්තනිව මරපු එකට පළි ගන්නට සෙල්ලකිලි කියන කොටි නායකයා ආරක්ෂක අංශවලට පහර දෙන්න සූදානම් වෙමිනුයි ඉඳල තියෙන්නෙ. සෙල්ලකිලි මීට ඉස්සර වෙලා බස්තියන්පිල්ලේ පොලිස් ස්ථානාධිපතිවරයාව ඝාතනය කර තිබුණා. යුද්ධ හමුදාව සූදානම් වෙලා ඉඳල තියෙන්නෙ සෙල්ලකිලිට පහර දීල ඝාතනය කරන්න. මේ සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත හමුදා අනු ඛණ්ඩයක් කදවුරෙන් පිටතට ගිහින් තියෙනවා.
“ප්‍රභාකරන්, කිට්ටු, සෙල්ලකිලි ඇතුළු 25 ක කණ්ඩායමක් පලාලි-යාපනය පාරෙ තිරුනෙල්වේලිවල දුරකතන කුලුනක් ඉදිකරන්න බිම හාරලා තිබුණ තැනක බිම් බෝම්බ වළලලා ඒවා පුපුරවලා දෙන්න අවශ්‍ය මැෂින් තුවක්කුත් අත් බෝම්බත් ළඟ තියා ගෙන මඟ රැක ගෙන හිටියා. කුලුනට බිම හාරලා තිබුණ තැන පහු කරනවාත් එක්ක බිම් බෝම්බ පුපුරවල, මැෂින් තුවක්කුවලින් වෙඩි තියල හමුදා අනු ඛණ්ඩයෙන් 13 දෙනෙක් ඝාතනය කළා. හමුදාවේ 13 දෙනෙක් එකම තැනක මීට කලින් ඝාතනය වී තිබුණේ නැති නිසා මේ සිද්ධියෙන් මුළු රටම කම්පනයට පත් වුණා. මේ ඝාතනයට පළිගැනීමක් විදිහට පහුවදා ආරක්ෂක අංශ විසින් දෙමළ සිවිල් වැසියන් පිරිසක්; සමහරු ගෙවල්වල හිටපු සාමාන්‍ය වැසියො, සමහරු බස් එකක් එන තෙක් පාර බලා ගෙන හිටපු අය හැටකට ආසන්න ගණනක් මරා දැමූ බවට වාර්තා වුණා.
“සොල්දාදුවන් 13 දෙනාගේ ඝාතනය පිළිබඳ ප්‍රවෘත්තිය පස්සෙ දවසේ, ඒ කියන්නේ ජුලි 24 දවල් වෙන කොට කොළඹ සාමාන්‍ය ජනතාව අතරටත් ආවා. මට මතක අන්දමට මුලින් තීරණය කරල තිබිලා තියෙන්නෙ හමුදා භටයන්ගේ සිරුරු යාපනේ හරි වව්නියාවෙ හරි භූමදානය කරන්න. නමුත් තිස්ස වීරතුංග ඒ වෙන කොට හිටපු හමුදාපතිවරයා ඊට තදින් විරුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම හමුදා භටයන්ගේ සිරුරු ඔවුන්ගේ පවුල්වලට භාර දුන්නොත් නොයෙක් තැන්වල කලබල ඇතිවෙයි කියල එහෙම බාර දෙනවාටත් විරුද්ධ වෙලා තියෙනවා. අවසානෙදි ආණ්ඩුව ඒ 13 දෙනා පූර්ණ හමුදා ගෞරව සහිතව බොරැල්ල කනත්තේ මිහිදන් කරන්නට අවමඟුල් උත්සවයක් සූදානම් කළා.හවස් වෙන කොට දහස් ගණනින් මිනිස්සු බොරැල්ල කනත්තට රැස් වෙන්න පටන් ගත්තා. එත්, මළ සිරුරු කොළඹට ගෙන එන්න කලින් කියපු වෙලාවට වඩා පරක්කු වුණා.
"කනත්තට එක් රොක් වෙලා හිටපු සෙනඟ ඇවිස්සිලා ඉන්න අතරෙ වනාතමුල්ලෙන් පැමිණි ලොකු කණ්ඩායමකුත් ඒ අයට එකතු වෙලා, කොළඹ වෝර්ඩ් ප්ලේස්වල තිබුණ ජයවර්ධන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස පැත්තට පා ගමනින්ම පෙළපාලියක් වගේ ගියා. ඒ ගිය මිනිස්සු හමුදා භටයන්ගේ සිරුරු ඔවුන්ගේ ගම්වලට යවන්න කියලා ඉල්ලුවා. අතර මග දී පොලිසියයි, හමුදාවයි කඳුළු ගෑස් ගහලා බැටන් ප්‍රහාර එල්ල කරලා ඒ අයව පන්නලා දැම්මා. වෝඩ් ප්ලේස් සිදුවීම් අවසන් වෙනවාත් සමඟ වාගේ ඒ හමුදා මළ සිරුරු බොරැල්ල කනත්තට ගෙනාවා. දවස පුරා ක්‍රෝධයෙන් උමතු වෙලා හිටපු, කදුළු ගෑස් කාපු ජනයාගෙන් කොටසක් බොරැල්ල හන්දිය අවට තිබුණු නාගලිංගම් ස්ටෝර්ස් වගේ දෙමළ කඩ සාප්පුවලටයි තට්ටු නිවාස වගේ තැන්වල තිබුණු දෙමළ අයගෙ ගේ දොරවලටයි පහර දෙන්න පටන් ගත්තා.”
සිසිර යාපා
හෙට - කළු ජූලි ගින්දර ඇසින් දුටු හැටි