Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මම මගේ විදිහට ජීවත් වෙන්න කැමති

$
0
0
අගෝ 23, 2018 01:00

ඉනෝකා සත්‍යාංගනී

යමෙක් සුඛෝපභෝගී සිහින දකිද්දි ඇය නිදහස් මනසකින් ජීවත් වෙන්න හීන මවන්නීය. මේ ඇය මෙතෙක් පැමිණි ගමන් මගේ රස මුසු තැන් අප හා බෙදා ගත් මොහොතයි.. ඇය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වත්මන් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී ය.

 ඔබ හැදී වැඩෙන්නේ?

මම කොළඹ ඉපදිලා කොළඹ නාගරික පරිසරයෙම හැදුණු දැරියක්. පියා නීතිඥවරයෙක් මව ගුරුවරියක්. මම පවුලේ වැඩිමලා. කුඩා කාලේ මම හරිම හිතුවක්කාරයි. මව්පියන්ටවත් මාව මෙල්ල කරගන්න අමාරුයි. මම ගියේ කොළඹ සුජාතා විද්‍යාලයට. ඊට පස්සේ විශාකා විද්‍යාලයට ඇතුළු වෙලා උසස් අධ්‍යාපන කටයුතු කළා. පොඩි කාලේ චිත්‍ර හැර කිසිම විෂයකට දක්ෂතාවක් නෑ. පාඩම් කළෙත් නැහැ. හැබැයි බාහිර කටයුතුවලට ළැදියාව තිබුණා. නාට්‍ය හැදුවා, ගීත ගායනය කළා. පුදුමෙකට වගේ විභාගවලින් හැමදාම සමත් වූණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් සුජාතා විද්‍යයාලයේ දෙවනියට වැඩිම ළකුණු ලබා ගත්තේ මම. සමහර ගුරුවරු මගේ ප්‍රතිඵල දැකලා මගේ සාමාන්‍ය දැනීම නිසයි සමත් වුණේ කිව්වා. තව පිරිසක් කිව්වා මගේ ප්‍රශ්න පත්‍රය වෙන කෙනෙක්ට මාරු වෙලා කියලා. සාමාන්‍යයෙන් ගැහැනු ළමයි කියන්නේ යම් විනයක් එක්ක හැදෙන පිරිසක් නේ. මම ගොඩක් ගුරුවැන්ගෙන් දඬුවම් ලබපු ශිෂ්‍යාවක්. ගෙදර වැඩ කරන්නෙත් නැහැ. පන්තියෙත් නැහැ.

 ඒ කාලේ කරපු හිතුවක්කාර වැඩ බොහොමයක් ඇති?

පොඩි කාලේ වැරැද්දක් කළහම අපිව පුටුවේ හිටවනවා. ඊටත් වඩා බරපතළ දඬුවම තමයි මෙසේ උඩ හිටවන එක. දවසක් මාව පුටුවේ හිටවල බැරිම තැන මේසේ උඩ හිටෙව්වා. ඒත් මම ගුරුවරුන්ට ඕන විදියට මෙල්ල වුණේ නෑ. අපිට සමාජ අධ්‍යයනය උගන්වපු ගුරුවරිය ටිකක් සැරයි. ළමයි එක්ක ලොකුවට හිනා වෙලා කතා කරන්නේ නැහැ. ඇවිදින්නෙත් හරිම වේගයෙන්. අපි ඇයට කිව්වේ සුළි සුළං කියලා. දවසක් අපි ටීචර්ගේ පිටේ ගැහුවා සුළි සුලං කියලා. ටීචර් මේ වගක් දැනගෙන හිටියේ නැහැ. ගුරු විවේකාගාරයට ගිහින් ගුරුවරු හිනා වෙන්න ගත්තහම ඈට ගොඩක් තරහා ගියා. ඉතින් අපේ මුළු පන්තියටම ඳඩුවම් දුන්නා.

මම පොඩි කාලේ ඉඳලා අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. දවසක් අපේ ගණිත ගුරුවරිය ලකුණූ දෙනකොට යම් ශිෂ්‍යයාවකට අනුකම්පා කළා කියලා මට තේරුණා. ඊට විරුද්ධව මම ගොඩක් හඬ නැගුවා. ඔන්න ගුරුවරියටත් තරහා ගියා. ඇය මට දඬුවම් දුන්නා. ඒ කාලේ ගාමිණි ෆොන්සේකා රඟපාපු චිත්‍රපටියකතිබුණා යුක්තිය අගයන දේශයකට මා රැගෙන යන්න කියලා දෙබසක්. පහුවෙනිද ඇය පන්තියට එද්දි මම ඒක කළු ලෑල්ලේ ලොකුවට ලිව්වා.

 ඔබ උසස් අධ්‍යාපන හදාරන්නේ නීති අංශයෙන්?

එතනත් මම කළේ හිතුවක්කාර වැඩක්. අවසාන වසර දක්වා ඇවිත් ක්ෂණිකව සියල්ල අතහැරලා මෙතනට ආවා.

 පොඩි කාලේ කවුරු වෙන්නද හීන දැක්කේ?

පුංචි කාලේ නීතිඥවරියක් කරන්නයි පියාට ඕනෑ වුණේ. ඔහු හිතුවා මම කටකාර නිසා අනාගතේ දී දක්ෂ නීතිඥවරියක් වෙයි කියලා. ඒත් නීති පීඨයට ඇතුළු වෙලා අධ්‍යාපනය හදාරන කොට මම තේරුම් ගත්තා කවදාවත් වැරදි කාරයෙක් වෙනුවෙන් පෙනී ඉඳලා එය නිවැරැදි කරන්න හිතට එකඟව ක්‍රියා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මම කියලා.

 කලාවට ඔබ ළැදි වෙන්නේ?

කුඩා කාලේදීම. ඒ කාලේ මට චිත්‍රපට පිළිබඳ උන්මාදයක් තිබුණා. ගාලූ පාරේ තිබුණා මැරතන් ස්ටුඩියෝ කියලා ෂෝප් එකක්. මම හැමදාම මගේ පොකට් මනීවලින් එතැනින් වීඩියෝස් අරගන ගිහින් බලනවා. සාමාන්‍ය පෙළ කරන කාලේ තමයි ඕ. සී. අයි. සී. සිනමා පාඨමාලාව ගැන පත්තරේ දැකලා හදාරන්න හිතුණේ. මම ඒ පාඨමාලාවට සහභාගි වුණේ බොරු වයසක් දාලා. ඒකට කැඳවීම ලැබිලා යන්න හදනකොට පියා ඊට විරුද්ධ වුණා. “මට මේ පාඨමාලාව කරන්න දුන්නේ නැත්නම් මම සාමාන්‍ය පෙළ ලියන්නේ නැහැ“ කියලා මම එදා ඔහුට කිව්වා. මම ගොඩක් හිතුවක්කාරයි. හොඳින් හො නරකින් මට අවශ්‍යය හැම දෙයක්ම ඉෂ්ඨ කරගන්නවා .ඳඩුවම් දීලා පිරිමහන්නත් බැහැ. ඒ ගැන ඔවුන් හොඳින් දන්නවා . අන්තිමට මම තර්ජනය කරලා තමයි කැමැත්ත ගත්තේ.

 පාසල් ප්‍රේමයේ මතකය?

එහෙම සබඳතා තිබුණා. දුරකථනයෙන් හෝ ලියුමකින් අදහස් හුවමාරු කළොත් හැරෙන්න කිසිම පෙම්වතෙක් මුණගැහෙන්න ලැබෙන්නේ නැහැ. මට මතකයි නිවාසන්තර ක්‍රීඩා උළෙලක පෙර පුහුණූවීම් තිබුණේ බ්‍රිජට් එක ඉස්සරහා පිට්ටනියේ. ඊට අල්ලපු වැට තමයි විහාරමහා දේවි උද්‍යානය. ඉතින් පුහුණු වීම් ඉවරවෙලා පළමු වතාවට පෙම්වතාව මුණගැහෙන්න ගියා. කොහොමහරි එක අවස්ථාවක දී ඔහු මාව සිපගන්න හැදුවා. මගේ ඒ පළවෙනි සිප ගැනීමට ප්‍රතිචාරය වුණේ අත දිගහැරලා කණට ගැසීම. එදායින් ඒ සම්බන්ඳේ ඉවරයි.

 ඔබට ස්ව්‍යං වාරණ තිබෙනවාද?

අපි හැමෝටම එක්තරා අන්දමක නිදහසක් වගේම අපි තුළම ස්ව්‍යං වාරණයකුත් තියෙනවා. තවත් සමාජයක් මැද ජීවත් වෙද් දී තමන් කැමති දේ ඒ අයුරින්ම කරන්න ලැබෙන්නේ නැහැ. අපි සමාජ ජීවියෙක් නිසා අපිටම කිසියම් වාරණයක් දමා ගන්නට සිදු වෙනවා. නමුත් පුද්ගලයෙක් විදියට මම වාරණ නියෝග කොන්දේසි සහ න්‍යාය පත්‍රවලින් ගැලවිලා ජීවත් වෙන්න කැමැතියි.

 ඕනෑම ක්ෂේත්‍රයක කාන්තාවකට අයුතු බලපෑම් වැඩියි?

කාන්තාව පාවිච්චි කරන්න හදන කාරණා දෙකක් තියෙනවා. වෘතීමය වශයෙන්, ලිංගික වශයෙන්. හැබැයි මම ඒ අභියෝගය ජයගත්තේම එසේ පාවිච්චි නොවීම හා ස්වාධීන මනුෂ්‍යයෙක් හැටියට ඉන්නේ කොහොමද කියන දේට ප්‍රමුඛත්වය දී කටයුතු කරපු නිසා. මගේ පිටිපස්සේ හෙවනැලි ඉඳලා නෑ. මට තිබුණු ලොකුම ආරක්ෂාව හා ආයුධය මම මනුස්සයෙක් වෘත්තිකයෙක් හැටියට කොහොමද ශක්තිමත්ම මා මාව ගොඩනගා ගන්නේ කියන ආත්ම ශක්තිය ගැහැනියක් කිසියම් අන්දමකින් හෝ තමන් ගේ නමට කැළලක් ඇති කරගත්තොත් එය හොඳටම ප්‍රමාණවත් ඒ ගැහැනියට ජීවිත කාලය පුරාවට කිසිම තැනකදි හිස ඔසවන්නට ඉඩ නොදෙන්න.

 කලාවට ළැදි බොහෝ තරුණියෝ නිළිකමට සිහින දකිද්දි ඔබ තෝරා ගන්නේ අධ්‍යක්ෂණය?

මගේ පියා ඉතා දැඩි පුද්ගලයෙක්. දැඩි පාලකයෙක් කිව්වොත් හරි. දැඩි විනයගරුක පද්ධතියක් යටතේ අපිව ඇති දැඩි කළේ. ඒ මැඩලීම තුළ හැම වෙලේම මම නැගිටින්නට ක්‍රමවේද හොයා ගත්තා. ඒ ඔස්සේ මගේ පෞරුෂය ගොඩ නැඟෙනවා. හැමවෙලේම මම අකමැතියි තව කෙනකුගේ අණ පනතකට පාලනයකට හිස නවන්න. එය නායකත්වයට සුදුසු පෙර දැක්මක්. ඒ මගේ චර්යාව නොදැනීම මගේ වෘත්තියට පාර කැපුවා .

 කලාව වෙනුවෙන් ඔබ කළ කැප කිරීම්?

දෙයක් නැති වුණා නම් එය මට අහිමි වුණු දෙයක් විදිහට මම හිතන්නේ නැහැ. සමහර විට මගේ මව්පියන්ට පවුලේ අයට නැති වුණු දේවල් වෙන්න පුළුවන්. අදටත් මට ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැහැ. මම හොඳ සාමාන්‍යය මනුෂ්‍යයෙක් විදිහට ජීවත් වෙනවා. මගේම කියලා නිවෙසක් නෑ. මම ඒ වෙනුවෙන් අරගල කරන්නෙත් නැහැ. මගේ නිවෙස තුළ මට පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය සුඛවිහරණය තියෙනවා නම් ඒ නිවෙස මගේම ඔප්පුවකට යටත් විය යුතුයි කියලා හිතන්නේ නැහැ. දැන් වසර 18ක් තිස්සේ මම පාවිච්චි කරන්නේ එකම වාහනය. කෙනෙක් ඉතාම සුඛෝපභෝගි හීන දකිද් දී මම හීන දකින්නේ කාටත් යටත් නොවී ඉතාම නිදහස් මනසකින් ජීවත් වෙන්න.

 ඔබේ රැඩිකල් ප්‍රතිරූපේ තුළම යම් සාම්ප්‍රධායික කාන්තාවක් මා දකිනවා?

ඇත්තටම ඔබ නිවැරැදි. මම අර්ථයෙන් රැඩිකල් වෙන්න කැමති නැහැ. එහෙම වුණහම ඒ රැඩිකල් කම පවත්වා ගන්න තව ව්‍යාජයකට ගොදුරු වෙනවා. තමන්ට දැනෙන දේ දැනෙන ආකාරයට කරලා එය තව කෙනෙක් ට අනුව රැඩිකල් නම් එය වෙනම කාරණයක්. මම මගේ විදියට ජීවත් වෙන්න හරිම ප්‍රියයි. ඒ තුළ සරල කම, ආදරය, ආත්ම තෘප්තිය ගොඩ නඟා ගන්න පුළුවන්.

 ඔබ උත්සව, සාද ප්‍රිය සම්භාෂණ වර්ජනය කරන කෙනෙක්?

එවැනි තැන්වල දී මට මා අහිමි වෙනවා. ඒ තැන්වලට ගියහම අනෙකාට ගැළපෙන්න හිනා වෙන්න ඕනේ, කතා කරන්න ඕනේ, අඳින්න ඕනේ. එහෙම වුණොත් මට මගේ ආත්මය අහිමි වෙනවා වගේ දැනෙනවා. ඊට වැඩිය මම ස්වභාවධර්මයට, සතා සිව් පාවට ඇල්මක් දක්වනවා. කුඩා කළ පටන් මට මුණගැසුණු කිසිම සතෙකුගෙන් විසඝෝර සර්පයකුගෙන් පවා අද වෙනතුරු කිසිම අනතුරක් වෙලා නැහැ. මම විශ්වාස කරනවා මේ ස්වභාවධර්මය තුළ හොඳ නරක පිළිබඳ අපිට නොතේරෙන නීතියක් තියෙනවා කියලා. ඒ තුළ අපි හොඳ නම් එය පෙරළා ලැබෙනවා. අපි කුරීරු නම් ඊට ප්‍රතිචාරයත් අත් වෙනවා .

 ජීවිතේ කරන්න අකමැති දේවල් ?

අකමැති දෙයක් විදියට මට කරන්න වෙලා තියෙන්නේ මිනිස්සු කියන විෂයේ. මම කණ්ඩායමක් හැටියට අධ්‍යකෂකවරියක් හැටියට කටයුතු කරද්දි මා සමඟ වැඩ කරන කණ්ඩායමේ හැමෝම මගේ විදියට හිතන පතන අය නෙමෙයි. ඔවුන්ගේ හිත් බොහොම සුන්දරයි කියන්න බැහැ. ඉතින් සමහර දේවල්වල දී මිනිස්සු එක්ක ගණු දෙනු කරද්දි ඉවසා වදාරගෙන බොහොම අමාරුවෙන් ඒ ගණු දෙනුව අවසන් කරන තුරු ඔවුන් සමඟ එකට කටයුතු කිරීම තමයි මගේ හිතට එකඟ නැති දෙයක් විදියට කරන්න වෙලා තියෙන්නේ.

 ඔබේ ජීවතේ ලොකුම අභියෝගය ?

මට ජීවිතේ තිබුණු ලොකුම අභියෝගය, මම ගැහැනු ශරීරයක් තුළ ඉපදිලා ඒ ගැහැනු ශරීරය තුළ ඉන්න ගැහැනු ආත්මෙට එක බිඳකින්වත් ගැහැනියක් වීම පිළිබඳ පහත් හැඟීමක් ඇති නොකරගෙන මේ ජීවතේ පුරාවටම ඒ ගැහැනු කමට ආදරය සහ ගෞරව කරමින් ජීවත් වීම.

 ඔබට අවශ්‍ය හැමදේම සපුරගෙන අහවරද?

මට තව සපුරගන්න දේවල් තියෙන්න පුළුවන්. හැබැයි මම ලැයිස්තු හදා ගෙන ඉලක්ක තියා ගෙන නැති හින්දා මට තව සපුරගන්න තියෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම හරි ආසයි මීට වඩා විශාල ජන සමාජයක් ආමන්ත්‍රණය කළ හැකි අපේ රටින් තවත් භූමිතරණය කරලා විශාල පිරිසක් එක්ක ගණු දෙනු කළ හැකි සිනමා භාෂාවක් කතා කරන්න ලැබෙන ඉඩකඩක් පාවිච්චි කරන්න .

 ඔබ නිර්මාණකරනයේ යෙදෙන්නේ ඉබි ගමනින්?

ඔව්. ඉරානය වගේ සංස්කෘතික සීමා තියෙන රටවල සිනමාකාරියන්ට පවා ලංකාවට සාපේක්ෂව පුදුම නිදහසක් තියෙනවා. බංගලිදේශයෙත් ඒ නිදහස තියෙනවා. එක අවස්ථාවකදි ආචාර්ය තිස්ස අබේසේකරයන්ගෙන් ලැබුණු අවසරය මත තමයි අපිටත් මේ ගමන එන්න ලැබුණේ. නමුත් මොකක් හෝ අවාසානාවකට වර්තමානයේ පවා ඒ ශක්තිය, ධෛර්යය මේ පරිසරයෙන් අපිට ලැබෙන්නේ නැහැ. එහෙම භූමියක අපිට කරන්න පුළුවන් මේ වගේ සුළු ප්‍රමාණයක් විතරයි.

 ජීවිතේ වඩාත් සංවේ දී වු මොහොත ?

මගේ දියණීය උපන් මොහොත. මගේ පියාගේ අභාවය සහ මම ඉතාම ආදරය කරපු බලූ පැටියෙක් හිටියා පොඩි අත්වැරුද්දකින් ඒ සතා නැති වුණු මොහොත.

 ඔබට සිදු වු ලොකුම අසාධාරණය ?

අඩු වැඩි සහිතව ගොඩක් තියෙනවා. ගැහැනියකට ජයග්‍රහනයක් ලැබුණොත් වටේ ඉන්න අය බලන්නේ පුළුවන් තරම් ඒක හෑල්ලූවෙන් සලකළා ඒකට ගල් ගහන්න. මම වෘත්තිය අධ්‍යක්ෂවරියක් වීම තුළම මේ වගේ සංස්කෘතික පරිසරයක් මැද මගේ ජිවිත කතාව කීවොත් හෙළි කළ හැකි මට්ටමේ අසාධාරණ අකටයුතුකම්වලට අසීමිතව මම මුහුණ දී තියෙනවා. අනෙක් කාන්තාවනුත් තම තමන්ගේ මට්ටමෙන් මේ අසාධාරණකම් අත්විඳලා ඇති. ගැහැනු ශරීරයක් තුළ ඉපදීම ම විශාල අරගලයක්.

 කිසිදවසක හදා ගන්න බැරි වැරැද්දක් ඔබෙන් වෙලා තියෙනවාද?

වැරදි වෙලා නැහැ. නමුත් මට ආපහු මගේ ජීවතේ මුලට යන්න පුළුවන් කමක් ලැබුණොත් මීට වඩා මම බොහොම අරපරෙස්සමෙන් කාලය ගත කරයි.

 අතහරින්න අපහසුම දේ ?

සිනමාව කෙරෙහි මා තුළ පවතින ඇල්ම

 දේශපාලනයට ඔබේ තිබෙන ළැදියාව?

දේශපාලනය කියන්නේ මම අකැමැතිම මාතෘකාවක්. යම් අවස්ථාවක දී දේශපාලනයට පිවිසෙන්න ප්‍රධාන පක්ෂයකින් ඇරයුම් ලැබුණා. මම එය ඍජුවම ප්‍රතික්ෂේප කළා. මීට වඩා මිනිස්සුන්ට මිනිස්සු වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරන ගෞරවනීයව ඔවුන් පිළිගන්න සමාජයක් බිහිවෙන දවසක දේශපාලනය ඔස්සේ කළ යුතු කාර්යයක් වෙනුවෙන් මට දේශපාලනය අල්ලන්න පුළුවන් වුණත් පේන තෙක් මානෙක එහෙම භූමියක් මේ රටේ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.

 නිවෙසේ කාලය ගෙවෙන්නේ කොහොමද ?

මම උදේ 6 පමණ වන විට අවධි වෙනවා. මගේ දවස ඉවර වෙන්නේ රෑ 12ට විතර. නිදාගන්න කළින් අන්තර්ජාලය ඔස්සේ ලොකේ වෙන දේවල් ගැන හොයනවා. මම ඒ ගැන අවධියෙන් ඉන්න කෙනෙක්. මගේ සමීපතමයන් කියනවා මට ඉතා රසට උයන්න පුළුවන් කියලා. ගෙදර දී උයන පිහන කටයුතු මම උපරිම සතුටින් කරන කෙනෙක්. මගේ රැකියාවේ දැන් ස්වභාවය එක්ක සැමියා ගෙදර ඒ වගකීම් අතට අරන්. ඔහු මේ වගකීම කළ යුතුයි, මම මේ වගකීම කළ යුතුයි යැයි බෙදා ගෙන කරන්නේ නැහැ. සමාජයේ මිනිස්සු ඒවා බෙදාගෙන ඇති. අපිට ඒ න්‍යාය පත්‍ර වැඩක් නෑ. ඒ වගේ නිදහස් තැනක තමයි අපි ඉන්නේ.

 කලාව හැරුණු විට ඔබ වඩාත් කැමති දේ?

සතුන්ට හරි ප්‍රියයි. ඒ සතා කූඹියෙක්ද නයෙක්ද කියලා මට වැදගත් නෑ. ඕනෑම සතෙක් වෙනුවෙන් මට උපකාරයක් කරන්න වෙනවා නම් එය විශාල ආත්ම තෘප්තියක්.

 දික්කසාදය ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද?

ඕනෑම දෙයක් සමාජය හිතන කෝණෙන් හිතුවොත් ඒ න්‍යාය පත්‍ර අනුව අපේ සිස්ටම් එක හදා ගත්තොත් අපි එහි ඉත්තෙක් හෝ කොටස් කාරයෙක් වෙනවා. අපි අපිට ඕන විදියට ලොකේ දකින්න පුරුදු වුණොත් අනෙකා මොනවා හිතුවත් මොනවා කළත් ඒ දේවල් අපි බරක් කර ගන්නේ නැහැ. මගේ විවාහයට ඇතුළු වීම මම තීරණය කළා නම් ඒ විවාහයෙන් එළියට ඒමත් මම තීරණය කළා නම්, විවාහයෙන් එළියට ආවට පස්සේ ජීවත් වෙන විදිහ තීරණය කරන්න තව කාටවත් දිය යුතු නෑ.

 ඔබ ශක්තිමත් වෙන්නේ කොහොමද?

මං මට හුඟක් ආදරය කරන කෙනෙක්. මේ ලෝකේ හැම මනුෂ්‍යයෙක්ම මුලින් තමන්ට ආදරය කළ යුතුයි. තමන්ව අමතක කරලා ලෝකේ තියෙන හැමදේම එක්ක අපේ ජිවිතවල වටිනාකම් හොයන්න ගියොත්, කවදාවත් අපිව දකින්න හම්බෙන්නෙත් නැහැ.

 ප්‍රේමය විවාහයට පමණක් සීමා විය යුතුද ?

විවාහය කියන්නේ අපේ මේ සදාචාර පද්ධතියේ ගැහැනිය හා පිරිමියාට මානසිකව, භෞතිකව හා ලිංගිකව ජීවිතය බෙදා ගන්න ලබා දෙන යම්කිසි බලපත්‍රයක්. පේ‍්‍රමය කියන්නේ වෙන එකක්. ආදරයට එහෙම බල කඩදාසි අවශ්‍ය නෑ. විවාහ නොවී ආදරය කිරීම ආදී දේවල් එක එක් කෙනාගේ තෝරා ගැනීම්.

 එහෙම හිත ගිය තැන් තිබිලා තියෙනවද ?

නැහැයි කිව්වොත් ඒක බොරුවක්නේ..

 ජීවිතේ ගත් දැඩි තීරණ?

මගේ විවාහය බිඳ දමන්නට මම ගත් තීරණය. අධ්‍යාපනය ලබා අවසානය දක්වා ගිහින් ඒ සියල්ල අතහැරලා මම කැමති වෘත්තිය කරන්න ගත් තීරණය. ඉහළ පාන්තික පවුලක ඉපදීලා සාමාන්‍යය පාන්තික පවුලක පුද්ගලයකු සමඟ විවාහ වෙන්න ගත් තීරණය.. මේ සියල්ලෙන් මට කිසිම අයහපතක් වෙලා නෑ.

 හෙට දවස ගැන ඔබේ බලාපොරොත්තුව?

මම න්‍යාය පත්‍ර හදාගෙන යන කෙනෙක් නෙමෙයි. එහෙම තිබිලා ඒවා තරණය කරන්න බැරි වුණොත් අපි කඩා වැටෙනවා. පරාජය වුණා කියලා හිතෙනවා. හැබැයි මම ඒ මොහොතේ පැවරෙන වගකීම අනිවාර්යෙන්ම ජයගන්න බැඳෙන කෙනෙක්. මම හරි කලාතුරකින් දේවල් මගේ අතේ මිට මොළවා ගන්නේ. ඒ මිට මොළවා ගත් දේ තව කෙනකුට උදුර ගන්න හෝ බිමට වැටෙන්න ලේසියෙන් දෙන කෙනෙක් නෙවෙයි.

ටානියා මෝසස්
ඡායාරූප-ශෙහාන් කාවින්ද


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>