Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පිළිකාවට ස්තූතියි..! මාව මිනිසකු කළාට...

$
0
0
අගෝ 24, 2018 01:00
ෆවුස් මොහොමඩ්

‘ජීවිතයේ සතුට පිළිකාව වැනි මාරක රෝගයකින් පවා ලබාගත හැකියි.‘

ඔහු ජේක් බේලි. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර පිරිමි උසස් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. 2015 නොවැම්බරයේ විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඔහුට කරන්න වැදගත් කතාවක් තිබුණා. ඒක වසර අවසානයේ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ භූමිකාවට සමුදෙන හැම ශිෂ්‍යයකුම කරන කතාවක්. එවකට 18 හැවිරිදි වියේ පසුවූ මේ හැඩකාර කොල්ලා කතාවට සූදානම් වුණේ මාසයක කාලයක සිටයි. අනික එය ඔහුගේ පාසල් ජීවිතයේ අන්තිම කතාවයි.

සිය පාසල් ජීවිතයේ විශේෂිත කඩඉමක් ගැන එසේ සිතමින් සිටි ජේක්ගේ දඟකාර ලෝකය එකවරම උඩුයටිකුරු වුණේ ඉතා දුර්ලභ පිළිකා කාරකයක් ඔහුගේ සිරුර පුරා පැතිරී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගැනීමත් සමගයි. හිටිහැටියේම ඔහුගේ ජිවන ඉරණම දෙපැත්තට දෝලනය වන්නට පටන් ගත්තා. ත්‍යාග ප්‍රදානෝත්සවයට සති කිහිපයක් තියෙද්දී ජේක් හිටියේ රෝහලේ ඇඳක වැතිරිලා ජීවිතයත්, මරණයත් අතර සටනක.

විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට කාගෙත් ආදරය දිනා සිටි මේ දිරිය සම්පන්න යෞවනයා මේ සියලු අභියෝග මැදත් කල්පනා කළේ පාසල් ජීවිතයේ අවසන් දිනය ගැනයි. කොහොමවුණත් අදාළ දිනයේ සිය දේශනය පවත්වන්න නියමිත වෙලාවටම ඔහු විදුහලට පැමිණියා. ඒ වෙද්දී මේ භයානක රෝගය ඔහුට වැළඳිලා දවස් 5යි. රෝද පුටුවක ආධාරයෙන් ආදරණීය මවගෙත්, තවත් හෙදියකගේත් සහයෙන් මේ තරුණයා බිමට නැඹුරු කරගත් මුහුණින් යුතුව උත්සව ශාලාව වෙත එද්දී රැස් වෙලා සිටි හැමෝම අසුන්වලින් නැඟිටලා අත්පොලොසන් දුන්නා. ඇත්තටම එදා ඒ කතාව පවත්වන්න ඔහු ඒවි කියලා කවුරුත් හිතුවේ නෑ.ජේක් රෝද පුටුවේ ඉඳගෙනම කතාව පටන් ගත්තා. ඒක එයා මාසයක් තිස්සේ පුරුදු වුණු කතාව නම් නෙවෙයි. රෝහල් සයනයේ වැතිරිලා ජීවිතය ගැන සුභවාදීව සිතමින් මොහොතින් මොහොත වචන එකතු කරලා හදාගත්තු සංවේදී කතාවක්. පිළිකාව නිසා අඳුරට තල්ලුවුණු තවත් එක් අවාසනාවන්ත ජීවිතයක්....ජීවිතය ගැන මෙලෝ හසරක් නොදන්න...සමනල පියාපතක් වගේ සැහැල්ලු දඟකාර තරුණ හදවතක්... හිටිහැටියේම සියල්ල අතහැර මරණය කරා ගමන් කරමින් සිටි අවස්ථාවක හරියට අන්තිම කතාව කරන්න ආවා වගෙයි හැමෝටම දැනුණේ.

පසුකාලෙක ලොව පුරා මිලියන ගණනාවක් යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ නැවත නැවතත් නැරැඹූ ජේක් බේලිගේ අනුවේදනීය දේශනය පිළිකා රෝගයෙන් පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට ගෙනාවේ අලුත් පාටක්.

‘හැමෝම කියනවා මං ජීවත්වෙන්නේ සති දෙකයි කියලා. සමහරු කිව්වා මට මේ කතාව කරන්න බැරිවේවි කියලා. ඒත් මං ආවා. ඒත් මේක මම මාසයක් තිස්සේ පුරුදු වුණු කතාව නෙවෙයි. රෝහලේ ඇඳක වැතිරිලා ගැහෙන ඇඟිලිතුඩුවලින් ලියාගත්තු අලුත් කතාවක්.‘ ජේක් එහෙමයි කතාව පටන් ගත්තේ. ඔහුගේ හඬ හොඳටම බිඳිලයි තිබුණේ. වෙනදා වගේ ශාලාව දෙදරන්න කතා කරන්න ඔහුට ශක්තියක් තිබුණේ නෑ. ඒත් හැමෝම නිහඬව ජේක්ගේ කතාව අහන්න බලාගෙනයි හිටියේ. ඒක දිග කතාවක්. ඒ වගේම කවුරුත් ආසාවෙන් අහගෙන හිටපු කතාවක්.

‘හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම ජේකොබ් රෝස් බේලි. මේ වසරේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා.‘ ඔහු එහෙමයි කතාව ආරම්භ කළේ.

‘මට කළින් මේ තනතුරේ ඉඳලා ගිය තරුණයන්ටත්, මාත් එක්ක එකට කටයුතු කළ අනිත් නියෝජ්‍ය ශිෂ්‍ය නායකයන්ටත් ස්තූතියි ඔයාලගේ සහයෝගයට. මුලින්ම කියන්න ඕනා මම පහුගිය සති කිහිපයේ නොපැමිණීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා කියලා. කවුරුත් දන්න විදිහට මට එන්න හැකියාවක් තිබුණේම නෑ. ඒකට සමාවෙන්න.‘

ජේක් සිය කතාවේදී ශිෂ්‍ය නායක තනතුරක වැදගත්කම ගැන කිව්වා. විදුහලේ ගුරුවරුන්ගෙන් ලැබුණු සහාය, දිරිගැන්වීම ගැන කිව්වා. ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට තමන්ට පැවරුණු වගකීම් අකුරටම ඉටු කළා නේද කියලා ගුරුවරුන්ගෙන් ඇහුවා. තමන්ගේ සමකාලීන සගයන්ට ස්තූති කළා. ඒත් හැමෝම ඇස්වලින් උණු කඳුළු කඩාවැටෙද්දී ජේක් දිහා බලාගෙන තම තමන්ගේ ලෝකවල වෙනම සිතුවිලි ගොන්නක් මවන්න ගත්තා. සමහරු මේ කඩවසම් හාදයාගේ ජිවිතය ගැන දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගත්තා. තවත් සමහර මාපියන් හෙට අනිද්දා දෙවියන් තුරුළට යන්න බලා ඉන්න මේ දිරිය සම්පන්න තරුණයාගේ කතාවෙන් අන්දමන්ද වෙලයි හිටියේ. මේ හාදයා ගැන උපන් අසීමිත ප්‍රේමයෙන් හිත් පුරවා ගත්තු බවක් ඒ මොහොතේ එතැනට රැස්වෙලා සිටි සුන්දර බාලිකාවන් දිහා බැලූ අයට පෙනුණා. පාසලේ ගුරුවරුන්ට හැම වසර අවසානයකම මේ වගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන්ගේ සමුගැනීමේ කතා අහන්න ලැබුණත් ජේක්ගේ කතාව නම් ඔවුන්ගේ හිත් එහෙම පිටින්ම බිඳ දැමූ එකක් වුණා.

ජේක්ගේ කතාවේ වචනයක් වචනයක් පාසාම හැමෝටම දැනුණේ පුදුමාකාර වේදනාවක්. වචනයක් වචනයක් පාසා ඒ වේදනාව තව තවත් අලුත් වුණා.

‘මගේ පාසල මට ගොඩාක් දේවල් ලබාදුන්නා. මට අලුත් ජීවිතයක් ලබාදුන්නා. ජීවිතය දිරිමත් එකක් බවට පත්කළා. මම මගේ ජීවිතය කඩා වැටෙන හැම මොහොතකදීම ශක්තිමත් කරගත්තේ ඒ නිසයි.‘ජේක් එහෙමත් කිව්වා.

‘මොරාල් එක කියන්නේ කෙනෙක් තමන්ගේ ජීවිතයේ කවදාවත් අත්හරින්නේ නෑ කියලා හිතාගෙන ඉන්න දේවල් රැකගන්න කරන උත්සාහවන්ත අධිෂ්ඨානයක්. ඒක කියන්න ලේසියි. ඒත් කරන්න අමාරුයි. හරියට මට වගේ. අමෙරිකාවේ හිටපු කීර්තිමත් ව්‍යවසායකයා, අභිප්‍රේරණ දේශකයා ජිම් රෝන් නම් කිව්වේ,

අනිත් අය සුපුරුදු විදිහට ජීවත් වුණත් ඔබ නම් වෙනස් විය යුතුයි කියලයි. අනිත් අයට පුංචි පුංචි දේවල්වලට වාද කරන්න ඉඩ දෙන්න නමුත් ඔබ නොවෙයි කියලයි. අනිත් අය පුංචි පුංචි දේවල්වලට හිත් රිදවා ගත්තුදෙන්. ඒත් ඔබ කරන්න එපා කියලයි. එයාලාගේ අනාගතය තවත් කාගෙවත් කර මත තිබුණාට ඔබ එහෙම වෙන්න එපා.‘ කියලයි. ඒක මගේ හිතට තදින්ම කාවැදිලයි තිබුණේ.‘

‘අදින් පස්සේ මට ඔයාලා හැමෝම මඟ හැරේවි. ඒත් මම හැමදාමත් මේ විදුහලේ කීර්තිය රැකගෙන හොඳ පුරවැසියෙක් විදිහට ජිවත් වෙන්නම්. ඇත්තටම අනාගතය තියෙන්නේ අපේ අතේමයි. දිගු හීන දැකීම අමතක කරන්න. කෙටිකාලීන අරමුණු ඉටු කරගැනීමට වඩ වඩාත් පුරුදු වෙන්න. අපේ අවසානය කවදා කොහොම සිදුවේවිද කියලා කවුරුවත් දන්නේ නෑ. අපි මෙතැනින් එහාට කොහාටද යන්නේ කියලා මට කළින් හැම අවුරුද්දෙම මේ කතාව කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයන් දැනගෙන ඉන්න නැතිව ඇති. ඒත් එයාලා දැන් හොඳ තැනක ඉන්නවා. ඒත් මම මෙතැනින් පස්සේ ආපහු යන්නේ රෝහලේ මට වෙන් කර ඇති ඇඳ වෙතයි. එතැනින් තමයි මගේ අනාගතය, ජීවිතය තීරණය වෙන්නේ. මං ඔයාලා හැමෝටම සුබ පතනවා. ඒ වගේම දෙවියන්ගෙන් අයදිනවා මට වඩා වාසනාවන්ත, දීප්තිමත් අනාගතයක් උදාකර දෙන්න කියලා. ‘ ඔහු ඒ ටික කිව්වේ ඇස්වලින් කඳුළු කඩා වැටෙද්දියි. කතාව අන්තිමට හැමෝම අසුන්වලින් නැගිටලා අත්පොලොසන් හඬ දුන්නා. ඒ වගේ කතාවක් ක්‍රයිස්චර්ච් පිරිමි උසස් පාසලේ ඉතිහාසයේ තිබුණේම නෑ.

ජීවිතය අඳුරට තල්ලුවී ගියත් ජේක්ගේ නිල් පැහැති දෑස් නම් දීප්තියෙන් බබලන්නට වුණා. ඔහු ජීවිතය ගැන අලුතින් සිතන්නට පටන් ගත්තා. නැවුම් බලාපොරොත්තුවලින් සිත පුරවාගත්තා. අවුරුදු දෙකක් ඒ කියන්නේ මාස 24ක් පුරා පිළිකාවත් එක්ක සටන් කළ මේ ශක්ති සම්පන්න තරුණයා අන්තිමේදී හාස්කමකින් වාගේ ජීවත් වෙන්න වාසනාව අත්කරගත්තා. වෛද්‍යවරුන් නම් කිව්වේ ඕනෑම රෝගයක් සනීප වෙන්න මනස ශක්තිමත්ව තිබීමේ සාධකය ජේක්ට ඇති තරම් තිබුණා කියලයි. වෛද්‍යවරු මේ සුබ පණිවුඩය ජේක්ටත්, ඔහුගේ මවත් දන්වා සිටිද්දී කවුරුවත් ඒක විශ්වාස කළේත් නෑ.

‘මට හිතුණේ සැබෑ ජීවන සටන ආරම්භ වුණේ මේ දැනුයි කියලයි.‘ ජේක් පසුව එසේ කීවා. අනික පිරිමින්ට විතරක් කළාතුරකින් වැළඳෙන මේ පිළිකා විශේෂය තවත් වසර කිහිපයකින් නැවත වැළඳීමේ අවදානම 30%ක පමණ තිබීම නිසා ජේක්ගේ සිතට කොහොමටවත් සතුටක් දැනුණේ නෑ.

‘පිළිකාව නිසා මං ජීවිතය ගැන අලුත් විදිහට බලන්න පුරුදු වුණා. ක්‍රයිස්චර්ච් නුවර රෝහලේදී මම කල්පනා කරමින් සිටියේ ආපහු ජීවත් වෙන්න වාසනාව ලැබුණොත් කොයිතරම් එකක්ද කියලයි. මම කොහෙත්ම ජීවිතය අතහැර යන්න සූදානමින් සිටියේ නෑ. පිළිකාව මට හොරෙන් මගේ ජීවිතයට ඇතුළු වුණා නේද කියලා ඒ ගැන වද වුණේ නෑ. මම කල්පනා කළේ මට තව කොයිතරම් දේවල් කරන්න තියෙනවද කියලා විතරයි. තව කොයිතරම් මිනිස්සු ඇසුරු කරන්න තියෙනවද...? තව කොයිතරම් කඩඉම් පසුකරන්න තියෙනවද..? මම ජීවිතයෙන් සමුගන්නවානම් එය කළයුතු වන්නේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වගේ. ඒ සිතිවිල්ල මාව අලුත් මිනිහෙක් බවට පත් කළා. අලුත් පාටක් මගේ ජීවිතයට එකතු කළා. මේවා තමයි පිළිකාව මගෙන් ඈතට තල්ලු කර දමන්න මට උදව් වුණේ.‘

විදුහලේ අවසන් දේශනයෙන් පස්සේ මිනිස්සු මා ගැන කතා කරන්න පටන් ගත්තා. මගේ දේශනය ඇතුළත් වීඩියෝව ‘යූ ටියුබ්‘ වෙබ් අඩවිය හරහා ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අතරට ගියා. මා කී දේවල් ඒ අයගේ හිතට, විශේෂයෙන් පිළිකාව නිසා ජීවිතය අතහැර යන්නට සූදානමින් සිටි මිනිස්සුන්ට අලුත් දිරියක් වුණා. අපි කාටත්. සමහරු අවාසනාව තමා පසුපසින් හඹා එද්දි ජීවිතය අතහැර පලා යනවා. ඒත් මට එහෙම කරන්න ඕන වුණේ නෑ..

මට ඕන කළේ හැමෝටම ආදර්ශයක් වෙන්නයි. ඒක සාර්ථක වුණා. ජීවිතය විනාශ කරගත්තු බොහෝ මිනිස්සු මට මුණගැහුණා. එයාලට ජීවත් වෙන්න පාර කියා දෙන්න මට හැකිවුණා. මේ හැමදෙයක්ම මට ලැබුණේ පිළිකාව නිසයි. පිළිකාව වැළඳීම තමයි මට මගේ ජිවිතයේ ලැබුණු ලොකුම දායාදය. මොකද ඒ නිසා මම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ජීවිතය ගැන වෙන විදිහට බලන්න පුරුදු වුණා. පිළිකාව මට ගොඩාක් දේවල් ඉගැන්වුවා.‘

වසර දෙකකට පසුව එනම් පසුගිය වසරේ අවසන් භාගයේදී ඔහු ලොව පුරා පිළිකාව නිසා දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජීවිතවලට අලුත් පාටක් එකතු කරන්නට What cancer taught me නමින් පොතක් එළිදැක්වුවා. ඔහු දැන් නවසීලන්තයෙත්, ඔස්ට්‍රේලියාවෙත් අභිප්‍රේරණය ගැන දේශන පවත්වන පුංචි වීරයෙක්. ඔහුගේ එකම හීනය පිළිකාව නිසා මානසිකව දුක්විඳින ජීවිතවලට අලුත් පාටක් ලබාදීමයි.

‘ජීවිතයේ සතුට පිළිකාව වැනි මාරක රෝගයකින් පවා ලබාගත හැකියි

පිළිකාවට ස්තූතියි මාව මිනිහෙක් කළාට... 

ජීවිතයට පාටක් අවශ්‍යයි. අපි හැමෝගෙම ජීවිත එක්තරා අවස්ථාවකදී නතර වෙනවා. ඒත් ජීවිතයේ කවදාහරි දවසක පාටක් හොයාගන්න... එහෙමත් නැතිනම් කළුසුදු ජීවිතයකට පාටක් දෙන්න පුළුවන් නම්...ඔබේ ජීවිතය ලෝකයටම ආදර්ශයක් වේවි. ඒ වගේ පාට කළ ජීවිත අතරමඟදී නතර වුණත් එහි සුන්දරත්වය, සුවඳ මිනිස්සුන්ගේ හදවත්වල හැමදාම ඉතිරිවේවි.

ජීවිතවලට ‘කලර්’ එකක් ඕනෙමයි. ඒක තමයි ජීවිතයට සැබෑ සතුට ගෙනෙන්නේ. අපේ ජීවිත කාලයේ සැඳෑ සමයේදී ආපහු හැරිලා බලද්දී කවදාහරි දවසක ජීවිතය පාට කළ සිදුවීමක් ඔබේ මතකයට නැගෙනවද...? එවැනි සුන්දර මතකයක් ඔබේ ජිවිතයේ තිබෙනවද..?

ඒ ‘කලර්‘ එක තමයි අපි මේ හොයන්න උත්සාහ ගන්නේ. ජිවිතය ගැටගසා ගන්න එදිනෙදා බඩ වියත රැක ගන්න කෝටි සංඛ්‍යාත ජීවිත මේ ලෝකය පුරාම පුදුමාකාර විදිහේ දුකක් විඳිනවා. ඒ ජීවිත සටනේ එක්තරා කඩඉමකදී අපි අසරණ වෙනවා. එහෙමත් නැතිනම් තනිවෙනවා. තවත් අතකින් කියනවානම් පසුබසිනවා. මානසිකව වැටෙනවා. මේ හැම වතාවකදීම ජීවිතය අලුතින් පටන්ගන්න..ජීවිතයට අලුත් පාටක් හොයාගන්න තරම් ධෛර්ය සම්පන්න හිතක් තියේනම් ඔබ දිනුම්. මුලු මානව වර්ගයාම එකම ඇට මස් ලේ නහරවලින් හැදුණු සත්ව කොටසක්. අපිට හිනාවෙන්නත් පුළුවන්. අඬන්නත් පුළුවන්. ඒත් සමහරු ජීවිත කාලය පුරාම අඬනවා. අන්න ඒ ජිවිතවලට පාටක් වෙන්න..ඒ අඳුරු ජීවිතවලට පාටක් හොයාදෙන්න ඔබට පුළුවන්ද..?

දහස් සංඛ්‍යාත හැඩතල ඔස්සේ ඔබේ ආත්මයට කතා කරන්නට පාටවලට හැකි බවට ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර ඔස්කා වයිල්ගේ අපුරු කියමනක් තිබෙනවා. මිනිස්සුන්ගේ කළුසුදු ජිවිත පාටවලින් පුරවන්න හැකි නම් ලෝකය කොයිතරම් සුන්දර වේවිද...? අපේ කළුසුදු ජීවිත ඒ වගේ අපූරු පාටවලින් හැඩ කරන්න.. අපි අහන දකින හිස් ජීවිත එවැනි පාටවලින් පුරවන්න ඔබ දිරිගන්වන්නයි ‘ජීවිත සහ පාට‘ ඉසව්ව වෙන්වෙන්නේ. මේ ඉසව්වට ලියන්න ඔබටත් ආරාධනා!

fawzdinamina@gmail.com


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>