Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රටම ගොඩනඟන ගම්පෙරළිය අලුත් මුහුණුවරකින්

$
0
0
ජන 22, 2019 01:00

කොළඹ කාමරවල ශීත කාමරවල සිට සකස් කොට ගුවනින් ගෙන යන සංවර්ධන යෝජනාවලින් බැහැර වී ගමේ ජනතාවගේ සහභාගිත්වය සහ ගමේ ජනතාවගේම ඉල්ලීම් ඉටුකරමින් රටපුරා මංමාවත්, වැව් අමුණු, සෞඛ්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා, වෙළෙඳ, යටිතල ඇතුළු අංශ රැසක පහසුකම් නංවාලන “ගම්පෙරළිය” ජාතික වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නවාංග රාශියක් සමඟ ලබන මස 02 වැනිදා නැවත ආරම්භ කැරේ.

ගම - නගරය අතර දුරස්ව පවතින සමීප සම්බන්ධතාවය දුරුකොට ඉක්මනින් හා පහසුවෙන් ගම් නියම් ගම් නගරය හා සම්බන්ධ කරන සංවර්ධන සංග්‍රාම පාලම ලෙස ගම්පෙරළිය යළි ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ගමේ ජනතාවගේ ආර්ථික දියුණුව සැලැසීමේ ජවසම්පන්න බලගැන්වීම ගම්පෙරළියෙන් සිදුකරන බවද ඇමැතිවරයා කීය.

ග්‍රාමීය යටිතල පහසුකම් හා ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය, ආදායම් උත්පාදනය ඉහළ නැංවීම අරමුණින් වසර 2018 දී ඇරඹි ගම්පෙරළිය වැඩසටහන සාර්ථක ප්‍රතිඵල ජනතාව වෙත ලබාදෙමින් සිටියදී ඉකුත් ඔක්තෝම්බර් 26 සිදුවූ දේශපාලන අස්ථාවරභාවය මත වහාම නතර කැරිණි.

එදා පටන් දින 52ක කාලයේ මන්දගාමී වූ ගමේ සංවර්ධනය, පෙරදාටත් වඩා වැඩි ජවයක් ශක්තියක් ගෙන බලගැන්වීම ගම්පෙරළිය නැවත ඇරඹීමෙන් සිදුකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වසර 2018 ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කරමින් එක් මැතිවරණ කොට්ඨාසයක අංශ 12 ක දියුණුවට රජය වෙන් කළ මුදල රුපියල් මිලියන 200 කි. මේ මුදල මේ වසරේ මුල් කාර්තුවෙන් පසු රුපියල් මිලියන 100 කින් වැඩි කොට, එනම් රුපියල් මිලියන 300 ක් ලෙස ලබාදීමට රජය තීරණය කොට ඇත.

එය ගම්පෙරළිය වැඩපිළිවෙළ නැවත පුළුල් කිරීමේදී සිදුකළ විශාලතම වෙනස්කම වේ.

ගම්පෙරළිය වැඩපිළිවෙළ ඇරඹීමත් සමඟ රටපුරාම ගම් නියම්ගම්වල මංමාවත් ඇළවේලී, පාසල් ක්‍රීඩාපිටි, සනීපාරක්ෂක පහසුකම්, සතිපොළ, ආගමික ස්ථානවල පහසුකම් වැඩි දියුණුවීම සිදුවිය. රුපියල් බිලියන 20 ක මුදලක් මහා භාණ්ඩාගාරය ඊට වෙන් කළේය. ඒ මුදලින් රුපියල් බිලියන 5.7 ක වැඩසටහන් සිදුවිය. මෙය මේ රටේ මහපොළොවේ ඉදිකළ සංවර්ධන වැඩ විය.

විශේෂයෙන්ම ගම්පෙරළිය පළමු වැඩපිළිවෙළ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වූයේ උතුරු නැගෙනහිරය. කිළිනොච්චිය, වව්නියාව ගම්පෙරළිය වැඩසටහන් සියයට 100 ක් ම සාර්ථකව සිදුකැරිණි.

ශ්‍රී ලංකාවේ ජනගහ‍නයෙන් සියයට 70 ක පිරිසක් තවමත් ගම්බඳ පළාත්වල ජීවත්වෙති. ගමේ ජනතාවගේ මූලික අවශ්‍යතා වැඩිදියුණු කොට, ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා ක්‍රමවත් හා කාර්යක්ෂම අයුරින් වෙළෙඳ පොළ වෙත ගෙන ඒමට පහසුකම් ඇති කළහොත් නිසැක ලෙසම ගම කේන්ද්‍රගතව පවතින දරිද්‍රතාවය අප රටෙන් තුරන් වනු ඇත.

ගමේ දිළිඳුකම පිටුදැකීමට ඇති එකම මඟ ගමේ ජනයා ව්‍යවසායකයකු බවට පත්කොට දිරියෙන් ඉදිරියට ඒමට අවශ්‍ය බලගැන්වීම සිදුකිරීමය. එය ගම්පෙරළියෙන් සිදුවේ.

ගම්පෙරළිය ජාතික වැඩපිළිවෙළ යටතේ වැවක් හා අමුණක් ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාදේ. මුලින් මේ සඳහා ලබාදුන්නේ රුපියල් ලක්ෂ 35 උපරිමයකි. මාර්ග අංශයේ යටිතල පහසුකම් දියුණු කිරීම යටතේ ග්‍රාමීය මාර්ග, නාගරික අංශයේ පටු වීදි සංවර්ධනයට ලක්ෂ 20 මුදලක් ලබාදේ. කුඩා පරිමාණ පාලම් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 30 ක් ලබාදේ.

පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනයට රුපියල් ලක්ෂයත් - රුපියල් ලක්ෂ 10 ත් අතර මුදලක් ලබාදේ. පාසල් ක්‍රීඩා පිටි ඇතුළු ක්‍රීඩාපිටි සංවර්ධනයට රුපියල් ලක්ෂ 20 ක් ලබාදේ. නාගරික කානු පද්ධති දියුණුවට රුපියල් ලක්ෂ 15 ක් ලබා දේ.

සතිපොළ සංවර්ධනයට රුපියල් ලක්ෂ 20 ක් ළමා උද්‍යාන ඉදිකිරීමට රුපියල් ලක්ෂ 30 ක්, ලබාදෙනු ඇත. විශේෂයෙන් විදුලිය නැති සෑම ගෙදරකටම විදුලිය ලබාගැනීමට රුපියල් 30000 ක මුදලක් ප්‍රදානයක් ලෙස ලබාදේ. අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුල්වල ජනතාවට නිවසක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 03 ක මුදලක් ලබාදේ.

අප රටේ වාරි පද්ධතිය අතීතයේ දී ඉතා සක්‍රීයව පැවතුණි. යල මහ දෙකන්නයේ වගාවට අවශ්‍ය ජලය නොපිරිහෙලා සැපැයීමට සමත් අයුරින් වාරි පද්ධතිය නංවාලිය යුතුය. ඒ අරමුණින් මෙවර සුළු වාරිමාර්ග වැව් අමුණු සකස් කිරීමට ලබාදෙන මුදල වැඩිකොට ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිකොට ඒවා රටපුරා නිසි අයුරින් බෙදාහැරීමට වැඩපිළිවෙළ සකස් කිරීමට නම් ගමේ කුඩා මාර්ග පද්ධතිය දියුණු කළ යුතුමය. නගරයේ වාහන තදබදය, කානු පද්ධති නංවාලිය යුතුය. ඒ අරමුණින් මෙවර ගම්පෙරළිය ඊට වැඩි අවධානයක් යොමුකොට ඇත.

අස්වැන්න වැඩි කාලයේ කුණු කොල්ලයට ඒවා අලෙවි කිරීමට සිදුවීම ගොවියා මුහුණදෙන ගැටලුවකි. එම ගැටලුවට විසඳුම් ලෙස ආහාර සැකසුම් කර්මාන්තය දියුණුකොට, අතිරික්ත අස්වැන්න පිටරටට යොමුකොට රටේ අපනයන ආදායම් ඉහළ නංවාගැනීමට ක්‍රියා කළ යුතුය. ඒ අනුව අපේ ගොවියාගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමුවන තැනට මුල සිට දියුණු කිරීමට ඇරඹීම ගම්පෙරළියෙන් සිදුකැරේ.

මෙවර ගම්පෙරළිය වැඩසටහනට මුදල් ලබාදීම, එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මඟපෙන්වීම්, උපදෙස් සහිතව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කළේය. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ගම්පෙරළිය වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ක්‍රියාත්මක කළ යුතුය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලැබෙන සියලුම ව්‍යාපෘති යෝජනා යොමුකිරීම සඳහා ඔබ යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් කමිටුවක් ස්ථාපනය කළ යුතුය. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබීම තහවුරු කරමින් එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රමුඛ අවශ්‍යතා පිළිබිඹු කරන ව්‍යාපෘති හඳුනා ගත යුතුය.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉහත වගුවේ දක්වා ඇති පුළුල් ක්ෂේත්‍රයන් මඟින් දක්වා ඇති ව්‍යාපෘති තෝරාගැනීමේදී පහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ප්‍රජාවගේ කැමැත්ත හා පිළිගැනීම, දිළිඳුබව තුරන් කිරීමට අවධානය යොමුකිරීම, නිෂ්පාදන හා ආදායම් වැඩිදියුණු කිරීම, ප්‍රදේශයේ ඇති සම්පත් ප්‍රශස්තව භාවිතය, ව්‍යාපෘතියේ තිරසාරත්වය, ප්‍රදේශයේ ප්‍රජා සහභාගිත්වය.

අදාළ ව්‍යාපෘති ලැයිස්තුව දිස්ත්‍රික් ලේකම්වරු විසින් නිර්දේශ කළ පසු, එය අනුමැතිය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති “ගම්පෙරළිය ලේකම් කාර්යාලයට” ඉදිරිපත් කළ යුතුය.

දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් 2019.08.31 දිනට පෙර ව්‍යාපෘති සම්පූර්ණ කිරීම තහවුරු කළ යුතුය.

හඳුනාගනු ලැබූ සියලු ව්‍යාපෘතිවල පිරිවැය, ඉංජිනේරු ඇස්තමේන්තුවකට අනුව සකස් විය යුතුය. කෙසේවුවද, අවසාන ඇස්තමේන්තුගත පිරිවැය උපරිම පිරිවැය සීමාව නොඉක්මවිය යුතුය. එක් එක් ව්‍යාපෘති සඳහා පිරිවැය ඇස්තමේන්තුව සකස් කිරීමේදී එක් එක් දිස්ත්‍රික් ලේකම් විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් හා තාක්ෂණික මට්ටමේ නිලධාරින් සමඟ සම්බන්ධීකරණය කළ යුතුය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ සිටින කාර්මික නිලධාරින්ගේ සේවා ලබාගත යුතුය. අවශ්‍ය වන්නේ නම් විශ්‍රාමික කාර්මික නිලධාරින්ගේ / ඉංජිනේරුවන්ගේ සේවය ලබාගත හැකිය.

ව්‍යාපෘතිවල පරිපාලන වියදම් ආවරණය කරගැනීම සඳහා සම්පූර්ණ පිරිවැය ඇස්තමේන්තුවෙන් 3% ක ප්‍රතිශතයක් නොඉක්මවන මුදලක් පරිපාලන වියදම් ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ලබාගත හැකිය. එම පරිපාලන වියදම්වලට ඉන්ධන, අතිකාල ගෙවීම්, වෙනත් දීමනා, ලිපිද්‍රව්‍ය ආදිය ඇතුලත් විය යුතුය. කෙසේ වුවද පරිපාලන වියදම්, අවසාන ව්‍යාපෘති පිරිවැය සඳහා වෙන්කර ඇති උපරිම වියදම් සීමාව නොඉක්මවිය යුතුය.

වැඩසටහන් අධීක්ෂණය කිරීම හා ඇගයීම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ගම්පෙරළිය ලේකම් කාර්යාලය මඟින් සිදුකළ යුතුය. දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ගම්පෙරළිය ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වෙත ප්‍රගතිය සමාලෝචනය කිරීම හා වාර්තා කිරීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පසුවිපරම් ක්‍රමවේදයක් ස්ථාපනය කළ යුතුය.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්විය යුතු අතර ඊළඟ මාසයේ 10 වන දිනට පෙර ව්‍යාපෘතියේ ප්‍රගතිය ව්‍යාපෘති අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය. ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් වාර්තා කරන ව්‍යාපෘතිවල කිසියම් අපගමනයක් සිදුවන්නේ නම් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සුදුසු නිවැරැදි කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතුය.

ගම්පෙරළිය වැඩසටහන සඳහා අයවැය ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ, උතුරු පළාත් සංවර්ධනය, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධනය හා තරුණ කටයුතු අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදෙනු ඇත. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පදනම් කරගෙන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් අක්මුදල් ඉල්ලා සිටිය යුතුය. ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විසින් මුදල් නිදහස් කිරීම සඳහා පහසුකම් සැලසිය යුතුය.

දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කර ගම්පෙරළිය වැඩසටහනට අදාළ සියලු වියදම් 2019.09.30 දිනට පෙර පියවීමට වගබලා ගත යුතුය.

ගමේ මූලික යටිතල පහසුකම් දියුණු කිරීමත් සමඟ පෙරදාට වඩා සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, විදුලිබල අංශවල වෙනසක් සිදුවේ. ජනතාව බලගැන්වීම ඇරඹේ. ඒ අනුව වසර 2025 වනවිට දැනට වඩා ඒකපුද්ගල ආදායම වැඩි, සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් ඉහළ ජාතියක් බිහිවේ.

රටේ ගුණගරුක, යහපත් පුරවැසියන් පිරිසක් බිහිකිරීමට සර්ව ආගමික ස්ථානවල පහසුකම් දියුණු කෙරේ. සියලු ආගමික ස්ථානවලට නොමිලේ සූර්යබල ශක්තියෙන් විදුලිය ලබාගැනීමට රුපියල් ලක්ෂ 05 ක මුදලක් නොමිලේ ලබාදේ. මේවා තුළින් රටේ සමාජ, ආර්ථික හා ආගමික ප්‍රබෝධයක් ඇතිකොට රට නැංවීම රජයේ අරමුණ වී ඇත. එම අරමුණ ගම්පෙරළිය ඉටුකරනු ඇත.

 

ජයසිරි මුණසිංහ 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>