ශානුක කරුණාරත්න
l ස්වාධීන රූපවාහිනී නාලිකාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, ප්‍රවෘත්ති හා කාලීන වශයෙන්, ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිවල මොනවද ඉස්සරහට සිදු කරන්න බලාපොරොත්තු වන වෙනස්කම්?
වෙනස්කම් කිහිපයක් ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාවේ වැඩි ම ආවරණයක් තියෙන්නෙත් ලංකාවේ මිනිස්සුන්ට වැඩියෙන් ම ප්‍රවෘත්ති සපයන්න හැකියාව තියෙන්නෙත් ස්වාධීන රූපවාහිනී නාලිකාවට. අපි බලාපොරොත්තු වෙනවා, ඉතා ඉක්මනින්, නිවැරදි සහ විශ්වාසනීය තොරතුරු ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන්න. ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වය වගේ ම සමබර බව ගැනත් අපි සැලකිලිමත්. සමබරයි කියන්නේ පක්ෂ දෙකක ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා කියන එක නෙවෙයි. ඇත්ත තොරතුරු නිවැරදිවත්, පැහැදිලිවත් කිසි ම පාර්ශ්වයකට ගැති නොවී ඉදිරිපත් කරනවා. ස්වාධීන රූපවාහිනී නාලිකාව වගේ ම ඒ නාලිකාවේ දෙමළ නාලිකාව විදිහට වසන්තම් නාලිකාවත්, ඉංග්‍රීසි නාලිකාව විදිහට ප්‍රයිම් ටීවී නාලිකාවත්, ITN fm නාලිකාවත් ඔස්සේ අපි ජනතාවට ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. ශ්‍රී ලාංකිකයන්ට ප්‍රවෘත්ති සපයන්නන්ගේ අංක එක බවට පත්වෙන්නයි අපේ ඉදිරි මාස කිහිපය ඇතුළත වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ.
l මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඔබේ ගමනේ ආරම්භය සනිටුහන් වූයේ කොතැනින්ද?
1999 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කොත්මලේ ප්‍රජා ගුවන්විදුලියේ පුහුණු නිවේදකයෙක් විදිහට තමයි මම මේ ගමන ආරම්භ කළේ. ඒ වෙනකොට මම පාසල් ශිෂ්‍යයෙක්. 2003 වසරේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වුණා. නිමල් ලක්ෂපතිආරච්චි මහතා තමයි මාව තෝරාගත්තෙ. කාලයක් නවත්වලා තිබුණ සිටි එෆ් එම් නාලිකාව 2003 වසරේ දී නිමල් ලක්ෂපතිආරච්චි මහතා නැවත ආරම්භ කළාම මම ඒ මුල් ම කණ්ඩායමේ නිවේදකයෙක් විදිහට වැඩ කළා. නිවේදකයෙක් විදිහට ආසියානු මාධ්‍ය ජාලයේ ෂා එෆ් එම් නාලිකාවට සම්බන්ධ වුණේ 2004 දි. ෂා එෆ් එම් නාලිකාවේ අවුරුදු කිහිපයක් වැඩ කළා, නිවේදකයෙක් සහ ක්‍රීඩා වාර්තාකරුවෙක් විදිහට. 2007 දී ආසියානු මාධ්‍ය ජාලයේ ම හිරු ප්‍රවෘත්ති අංශයට, ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැන ඉඳන් ප්‍රවෘත්ති වාර්තා කරුවෙක්,සහකාර සංස්කාරකවරයෙක්, සංස්කාරකවරයෙක්, ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරයෙක් ආදී වශයෙන් දිගට ම ප්‍රවෘත්ති අංශයේ වැඩ කළා. 2017 වසරෙදි මම සම්බන්ධ වුණා, සියත එෆ්.එම් නාලිකාවට. සියතින් තමයි ස්වාධීන රූපවාහිනියට ආවෙ.
l ඔබේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ කවුරුන්ද?
මගේ මාධ්‍ය ජීවිතේ දී මට ගුරුහරුකම් දුන්නු අය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිමල් ලක්ෂපතිආරච්චි මහත්මයා. එතුමා තමයි මාව රේඩියෝ කලාවට සම්බන්ධ කරගත්තේ. දිගින් දිගට ම එතුමාගෙන් ගුරුහරුකම් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. අනිත් කෙනා තමයි අරවින්ද ලොකුගේ. ඔහු තමයි හැම වෙලේ ම මට අවස්ථාවන් ලබාදුන්නෙ සහ ඒ අවස්ථාවන්වලදි පාර හදාගෙන කොහොමද ඉදිරියට යන්නෙ කියන දේ ළඟින් ම ඉඳන් කියලා දුන්නෙ. ඒ දෙන්නගේ ම මඟපෙන්වීම මගේ මාධ්‍ය ජීවිතය එළිපෙහෙළි කරගන්න විශාල ශක්තියක් වුණා. ඊට අමතරව මම වැඩ කරපු මාධ්‍ය ආයතනවල ගොඩදෙනෙක් ඉන්නවා මට අද මං මේ ඉන්න තැනට එන්න උදව් කරපු. නම් වශයෙන් කියන්න බැරි වුණත් ඒ හැමෝටම හදවතින් ම ස්තූතිවන්න වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාත් මට විශාල අවස්ථාවන් ලබා දීලා තියෙනවා, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැනෙන යමක් කරන්න.
l මේ ක්ෂේත්‍රය ම තෝරගන්න ඔබට විශේෂ හේතුවක් තිබුණද?
අපි පාසලේ 6, 7 ශ්‍රේණිවල ඉගෙනගන්න කාලෙ තමයි ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආරම්භ වෙලා, රේඩියෝ සහ ටීවී ගැන මිනිස්සු අතර ලොකු කතාබහක් ඇති වෙන්න පටන් ගත්තෙ. ඒ කාලේ ඉඳන් ම අපිත් ටීවී, රේඩියෝවල යන වැඩසටහන්වලට වගේ ම ඒවා ඉදිරිපත් කරන අයටත් ගොඩක් කැමතියි. ආසාවෙන් අහන් හිටියා. ආසාවෙන් බලන් හිටියා. කවදා හරි දවසක අපිත් මේ වගේ රේඩියෝ චැනල් එකක, ටීවී චැනල් එකක වැඩ කරන්න ඕනෙ කියලා හිතුවා. පාසලේදීත් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ වැඩසටහන්වලට දායක වුණා. ඒ උනන්දුව, ආසාව තමයි අද මාව මේ තරම් දුර ගෙනාවේ.
l මේ ගමන ඔබ විශේෂ හැදෑරීමක් ඇතුව ආ ගමනක් ද? නැත්නම් ක්ෂේත්‍රය තුළින් ලද අත්දැකීම් ඇසුරෙන් ම ආ ගමනක්ද?
මම කාලයක් ගුවන් විදුලියේ පුහුණු නිවේදකයෙක් විදිහට වැඩ කළා සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන සහ ලේකකත්ව පාඨමාලාව හැදෑරුවා. ඒ වගේ ම කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ පාඨමාලාවක් හැදෑරුවා, ඩිජිටල් මාධ්‍ය සහ අනාගත මාධ්‍යකරණය සම්බන්ධයෙන්. ඒ ඒ පාඨමාලාවට කුඩා කණ්ඩායමක් තමයි ලංකාවෙන් ම බඳවා ගත්තෙ. නිමල් ලක්ෂපති ආරච්චි මහතාගේ මඟ පෙන්වීම යටතේ මටත් ඒ පාඨමාලාව හදාරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ විවිධ ආයතනවලින් මාධ්‍ය සම්බන්ධ අධ්‍යාපනයක් ලැබුවා. ඊට අමතරව ක්ෂේත්‍රය තුළින් ලැබූ අත්දැකීමුත් මගේ ගමනට විශාල ශක්තියක් වුණා.
l මේ ක්ෂේත්‍රය තුළ ඔබේ පරමාදර්ශි චරිත කවුරුන්ද?
නිමල් ලක්ෂපතිආරච්චි, සමන් අතාවුදහෙට්ටි සහ අරවින්ද ලොකුගේ.
l මේ වන විට ඔබ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි තනතුරක් දක්වා ම ඇවිත් ඉන්නවා. ක්ෂේත්‍රය තුළ ඔබේ අවසන් ඉලක්කය කුමක්ද?
දැනට අවුරුදු 20කට කලින් තිබුණ මාධ්‍ය නෙවෙයි දැන් ලංකාවේ තියෙන්නෙ, ඉලෙක්ට්‍රොනික් මීඩියා කියන දේ. ඉතිං තව ඉස්සරහට තව තවත් වෙනස් වේවි. මේ වෙද්දි ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකාවලට විශාල ම අභියෝගය වෙලා තියෙන්නේ සමාජ මාධ්‍යය. ඊළඟ දශකයේ දී ලෝකයේ සහ ලංකාවේ මාධ්‍ය කලාව තුළ ලොකු වෙනසක් සිදු වේවි. සම්ප්‍රදායික රූපවාහිනී නාලිකාවකට, ගුවන්විදුලි නාලිකාවකට පමණක් සීමා නොවී මීඩියා කියන දේ මිනිස්සුන්ගේ අතට ම යන කාලයක් තමයි ඉස්සරහට එන්නෙ. ඒ වෙනස්වීම ඇතුළෙ විප්ලවීය දෙයකට දායක වෙන එක තමයි මගේ අරමුණ.
l ක්ෂේත්‍රයේ නවකයින් ගැන ඔබේ අදහස?
ක්ෂේත්‍රය තුළ අලුත් පරම්පරාවේ මම දැකපු දෙයක් තමයි, ඒ අය වැඩ කරන්නෙ සීමා සහිතවයි. තමන්ට අදාළ කොටසේ විතරක් වැඩ කරන්නයි පුරුදු වෙලා ඉන්නෙ. රාමුවෙන් පිට හිතන්නෙ නෑ. නමුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරනවා නම් රාමුවෙන් පිට හිතන්න බය වෙන්න හොඳ නෑ. තරුණ කාලේ තමයි අපිට කිසිම බාධාවකින් තොර ව ඕන ම දෙයක් හිතන්නත්, විප්ලවීය දේවල් කරන්නත් හැකියාව තියෙන්නෙ. ඉතිං ඒ කාලේ ඒ විදිහට වැඩ කරන්න ඕනෙ. අනිත් කාරණය තමයි මේ වෙද්දි නව පරපුර අතර දැනුම හොයාගෙන යෑම කියන දේ අඩු වෙලා තියෙනවා. අපි නම් ඉස්සර පොත් බැලුවා, චිත්‍රපටි බැලුවා. වේදිකා නාට්‍ය බැලුවා. අපේ ක්ෂේත්‍රයට අදාළ වුණත් නැතත්, අහුවෙන අහුවෙන හැමදේකම දැනුම අපි එකතු කරගත්තා. ඒ එකතු කරගත්ත දේවල් තමයි අද අපි මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දි උපයෝගි කරගන්නෙ. නමුත් අලුත් පරම්පාරවේ අය දැනුම එකතු කරගන්නේ බොහොම අඩුවෙන්. තමන්ට අදාළ ක්ෂේත්‍රයේ පමණක් වැඩ කරනවා. තමන්ට අදාළ ක්ෂේත්‍රය ගැන පමණක් හදාරනවා. අන්න ඒ දේ වෙනස් වෙන්න ඕනෙ. අපි ඒකට උදව් කරනවා. නමුත් අපිට කරන්න පුළුවන් උදව් කරන එක විතරයි. ඔවුන් තනිවමයි ගොඩනැගෙන්න ඕනෙ.
l ක්ෂේත්‍රය තුළ දක්ෂ නව පරපුරක් බිහිකිරීම වෙනුවෙන් මොන වගේ දායකත්වයක් ද ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නෙ?
අපිත් එක්ක සහ අපි යටතේ වැඩ කරන්න එන අලුත් පරම්පරාවේ අයට ඕනෑම මොහොතක ගුරු මුෂ්ටියක් නැතුව ම, අපි ලබාගත් දැනුම, අපි ලබාගත් අත්දැකීම් බෙදාදෙන්න සූදානම්. ඒ වගේ ම අපි හැමවෙලේ ම පරිපාලකයින්ට මතක් කරනවා මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වෘත්තීය මට්ටමෙන් හදාරන්න නිශ්චිත තැනක් සහ ක්‍රමවේදයක් නැති බව. ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් යෙදුවොත් නවකයින්ට ඒක වටිනා අවස්ථාවක් වේවි. ඉතිං අපි යටතේ වැඩ කරන, අපිත් එක්ක වැඩ කරන අලුත් පරම්පරාවට උපකාර කරනවා වගේ ම ඊළඟට මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න පරම්පරාවට මේක හරියට ඉගෙන ගන්න පුළුවන් විදිහේ තැනක් හදලා දෙන්නත් කටයුතු කරනවා.
l වෘත්තීය ජීවිතයෙන් එහාට ගිහින්, ඔබේ ආදරණීයයන් ගැනත් ටිකක් කතා කරමුද?
මම විවාහකයි. බිරිඳ මනෝජා. ඇය ප්‍රධාන පෙළේ බැංකුවක බැංකු නිළධාරිනියක් විදිහට සේවය කරනවා. පුතාගෙ නම බිනෝයි. එයාට අවුරුදු දෙකයි. මගේ දුව සුමිහිරි මන්දෝදරීට තාම වයස අවුරුද්දයි. එයාලත් එක්ක ගෙවෙන කාලේ හරි ම සුන්දරයි. රැකියාවත් එක්ක කාර්යබහුල වුණත් පවුලේ අය වෙනුවෙනුත් කාලය වෙන්කරගෙන සතුටින් ඉන්නවා.
කාංචනා සිරිවර්ධන