Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

නිර්මාණකරණ අයිතියට අත තියන්න බැහැ

$
0
0
ජුනි 19, 2019 01:00
දිලීප ජයකොඩි

නවකතා පරිවර්තන ක්‍ෂේත්‍රයට අලුත් අරුතක් එක් කළ දිලීප ජයකොඩි, සිය නවතම පරිවර්තනය '105'නමින් පාඨකයාට තිළිණ කර තිබේ. හින්දු පෙම්වතකු සහ මුස්ලිම් පෙම්වතියක අතර ආදර අන්දරය සහ වියෝව, මෙන්ම වසර ගණනක් පුරා දිවෙන කාශ්මීර ගැටුම ද මෙහි ඇතුළත්ය. ප්‍රේම කතාවකුත් නොවන එහෙත් ප්‍රේම කතාවක්ද වන '105'පිළිබඳ දිලීප ජයකොඩි සමඟ කළ සංවාදයකි මේ.

105 සුපුරුදු ප්‍රේම කතාව නොවූවත් ප්‍රේම කතාවක්ම තමයි නේද?

ඉන්දියාවේ ජනප්‍රියම ලේඛකයා ලෙසයි චේතන් භගත් හැඳින්වෙන්නේ. විශේෂයෙන්ම තරුණ පරපුර අතරේ ජනප්‍රියම ලේඛකයා ඔහුයි. ඔහුගේ සෑම පොතක්ම ආදර කතාවක් වුණත් ඒ තුළ ඉන්දියානු තරුණ පරපුර මුහුණ දෙන සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු සාකච්ඡා වෙනවා. එහෙත් ආදරය තමයි මතුපිටින් දක්නට ලැබෙන්නේ. The Girl In Room 105 ලෙස ඔහු ලියන අලුත්ම පොත යම්කිසි විදියකින් රහස් පරීක්ෂක පැත්තට යොමු වෙලා තිබෙන බව කිව්වොත් නිවැරදියි. නමුත් ඒ තුළත් ආදර කතාවක් තිබෙනවා. හින්දු පෙම්වතෙක් සහ මුස්ලිම් පෙම්වතියක් අතර ඇතිව තිබූ ආදරය, ඉන්පසු ඔවුන් අතර වන සිදුවීම්, සහ පසුව ඇයගේ මරණය සොයා යන විදිය තමයි මේ පොතේ තිබෙන්නේ.

මේ තුළත් සුපුරුදු පරිදි ඔහු දේශපාලනික ගැටලුවක් කතා කරනවා. ඒ තමයි වසර ගණනක් පුරා දිවෙන කාශ්මීර ගැටුම. එහිදී දෙපාර්ශවයම අනාවරණය කරමින් මානුෂීය මුහුණුවරකින් මේ ප්‍රශ්නය ගැන චේතන් කතා කරනවා. මෙය ප්‍රේම කතාවක් නෙවෙයි තමයි. නමුත් ප්‍රේම කතාවකුත් තමයි.

ඔබ පරිවර්තනවලට වැඩියෙන් යොමු වන්නේ පාඨක ප්‍රතිචාර මත ද?

පාඨක ප්‍රතිචාර මතම නෙවෙයි. නමුත් ඉන් දිරියක් ලැබෙනවා. මාව බොහෝ දෙනා හඳුන ගත්තේ චේතන් භගත් ගේ පොත් පරිවර්තනය හරහායි. ඒ ගෞරවය පාඨකයාට හිමි විය යුතුයි. නමුත් දැන් මම හිතනවා පරිවර්තන හා සමානවම ස්වතන්ත්‍ර නිර්මාණවලටත් යොමු විය යුතු බව. මේ දිනවල ඒ කටයුත්ත සිදු වෙනවා. තව මාස කිහිපයකින් එය පාඨකයින් අතට පත් වේවි.

ලිවීමට පෙර මටත් පාඨකයෙක් ඉංග්‍රීසි පොතක් කියෙව්වාම මට එය අනෙක් අයත් සමඟ බෙදා ගත්තොත් හොඳයි කියන සිතිවිල්ල නිසා තමයි පරිවර්තනයට යොමු වන්නේ.

එහිදී කාන්තාවන්, දරුවන් වගේම තරුණ ප්‍රජාව කියන විවිධ කොටස්වලින් ප්‍රතිචාර ලැබෙනවා. ස්වභාෂාවෙන් ලියවෙන්නේ නැති ආගන්තුක සංස්කෘතියක්, සමීප කිරීමේ අරමුණත් පරිවර්තනයට එක් හේතුවක්. පාඨක ප්‍රතිචාර ලැබීම එයට දිරියක් වෙනවා. මූලිකම දේ මා ලබන අත්දැකීම බෙදා හදා ගැනීමයි.

පර්වර්තන කාර්යයේදී ඔබ චේතන් භගත් ළඟ නතර වෙලාද?

‍චේතන් භගත් ළඟ නතර වෙලා නැහැ. ඔහු මට මුණ ගැහෙන්නේ අහම්බෙන්. කොහොම වුණත් මේ වන විට මම ඔහුගේ සියලුම පොත් පරිවර්තනය කර හමාරයි. ඔහුගේ තීරු ලිපි පෙළකුත් පොත් වශයෙන් පළ කර තිබෙනවා. එයිනුත් හින්දුස්ථාන් ටයිම්ස්වලට කළ තීරු ලිපි එකතුව "ඔහෙත් එහෙමද.... මෙහෙත් එහෙමයි"ලෙස මම පරිවර්තනය කළා. නමුත් මෙය චේතන් ළඟ නතර වීමක් නෙවෙයි.

කැතී ග්ලාස් කියන ලේඛිකාව සිංහල පාඨකයාට හඳුන්වා දෙන්නේ මගේ "බිඳුණු බිළින්දා"හරහායි. ඒ වගේම ඊරා ලෙවින් ගේ "රෝස්මරීට බබෙක්", "දාස භාර්යා"හරහා ඔහුව සිංහල පාඨකයන්ට හඳුන්වා දෙනවා. මේ වගේ සිංහල පාඨකයාට මගේ පරිවර්තන හරහා හඳුන්වා දෙනු ලැබූ ලේඛක ලේඛිකාවෝ ඉන්නවා. චේතන් පොතක් ලියන්නේ අවුරුදු හතරකට විතර වරක්. නමුත් මගේ අතින් වසරට පොත් තුනක් විතර ලියවෙනවා. එතකොට ඒවා වෙනත් ලේඛක ලේඛිකාවන් ගේ පොත්.

ලියන තරමට වර්තමානයේ කියවන අය සිටින බව හිතනවද?

සතුටු විය හැකි පාඨකයන් පිරිසක් ඉන්නවා කියලා මම හිතනවා. විශේෂයෙන් අපට හැමදාමත් නිශ්චිත පාඨක පිරිසක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් පාසැල් කාලයේ සාමාන්‍ය පෙළ දක්වා කාලය ගොඩක් කියවන යුගයක්. එක කට්ටියක් එතනින් යනකොට තව කට්ටියක් එතැනට එනවා. ඒ අනුව ඒ කුලකය ස්ථාවරයි. ඊට පස්සේ සාමාන්‍ය පෙළින් පසු ප්‍රතිඵල එනකම් වගේම උසස් පෙළින් පසු ප්‍රතිඵල එනකම් සිටින පිරිස් ඉන්පසු රැකියාවට යොමු වුණාම නැවත කියවන්න පෙළඹෙනවා. මේ පිරිස ස්ථාවරයි. කොහොම වුණත් ඒ පිළිබඳ සුබවාදී දැක්මක් තිබෙන්නේ.

පරිවර්තනවලට පාඨක අවධානය වැඩි බවක් දක්නට ලැබෙනවා නේද?

වාර්ෂික පොත් ප්‍රදර්ශනයට පසුව සෑම වසරකම පොත් ප්‍රකාශකයන් පවසන්නේ වැඩියෙන්ම අලෙවි වන්නේ පරිවර්තන බවයි. ඊට අමතරව ආගමික පොත් පත් අලෙවි වන බව කියනවා. පරිවර්තනවල විවිධ ශානර තිබීම ඊට හේතුව ලෙස මම දකිනවා. සිංහල සාහිත්‍ය මා නොදකින පැත්ත එයයි. රහස් පරීක්ෂක කතා,හොල්මන් කතා වැනි ශානර සිංහල සාහිත්‍යයේ අඩුයි. අපේ සාහිත්‍යයේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ ආදර කතා, දේශපාලන පසුබිම් කරගත් ප්‍රබන්ධ.

පරිවර්තනවල විවිධ ශානරයන් තුළ පැතිරී යන කෘතීන් සංඛ්‍යාවක් වසරකට එළි දැක්වෙනවා. ඕනම කෙනෙක් විවිධත්වයට කැමතියි. විවිධ රස විඳින්න කැමතියි. පාඨක අවධානයට පරිවර්තන වැඩිපුරම ලක් වෙන්නේ ඒ නිසා විය යුතුයි. ඒ වගේම වෙනත් සමාජයක සංස්කෘතියක් තුළ සිදු වන කාරණා ස්පර්ශ කිරීමේ කැමැත්තත් මීට බලපානවා.

සාහිත්‍ය මාසයේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය ගැන යමක් සඳහන් කරනවා නම්, එය වාණිජ රැල්ලට හසු වී දියාරු ගොස් ඇති බව පිළිගන්නවාද?

එය වාණිජ රැල්ලක් වී අවසානයි. ඇත්ටම මෙය සමාජයේ අනෙක් දේවල් වලට සාපේක්ෂවයි මේ දෙස බැලිය යුත්තේ. සමාජයේ සියලුම දේ වාණිජකරණය වී තියෙද්දී මේක විතරක් බේරෙන්නේ නැහැ. බේරිලා යන්න විධිහකුත් නැහැ. පොත් ප්‍රදර්ශනය ගත්තොත් ඒ සඳහා සංවිධායකයෝ සෑහෙන වියදමක් කරන්න ඕන. මුල් කාලයේ තිබුණේ පොත් විතරමයි. මේ වන විට ඊට බොහෝ දේවල් එකතු වෙලා. ගියවර 'ෆුට් මාසාජ්'කුටියකුත් තිබුණා. ඊළඟ වාරයේදී මීට වඩා දේවල් එකතු වේවි. අවශ්‍යතාවයක් තිබෙනවා නම් සංවිධායකයන්ට මෙය පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඇත්තටම එහි වටිනාකම දියාරු වෙලා කියන දේට එකඟ වෙන්න සිදු වෙනවා.

අපේ රටේ වෘත්තීය ලේඛකයකු ලෙස පැවැත්මක් හෝ ස්ථාවරත්වයක් තිබෙනවා ද?

කනගාටුවෙන් වුවත් කිව යුතුයි එවන් අවස්ථාවක් නැහැ. හැබැයි ඒකට කාටවත් චෝදනා කරලා වැඩකුත් නැහැ. පොඩි දූපතක් වන අපේ රටේ බටහිර යුරෝපයේ වගේ විශාල පාඨක පිරිසක් නැහැ. ඒ නිසා පොත් අලෙවිය පිළිබඳ සීමාවක් තිබෙනවා. පවතින ආර්ථික ක්‍රමයත් එක්ක ලේඛකයකු ලෙස ස්ථාවර වීමට ඇති හැකියාව නම් අවමයි.

වෘත්තීය ලේඛකයකු ලෙස ස්ථාවරයක් හදා ගැනීම දුෂ්කර කාර්යයක්. අපට ලොව පුරා පාඨක පිරිසක් හදා ගන්න නම් ජාත්‍යන්තරට යා යුතුයි. එහිදී අනිවාර්යයෙන්ම ඒ ලිවීම පරිපූර්ණ විය යුතුමයි. කිසිම අඩුපාඩුවක් තියෙන්න බැහැ. උදාහරණයක් ලෙස කිව්වොත් ඩෑන් බ්‍රවුන් වැනි ලේඛකයින් ලියන සෑම ස්ථානයකටම ගිහින් තිබෙනවා. නිරීක්ෂණය කරලා ලත් අත්දැකීම් තමයි බෙදා ගන්නේ. මිනිසුන්, දේවස්ථාන, සොහොන් භූමි වැනි හැම ස්ථානයකටම යනවා. කෞතුකාගාරයක නම් එහි ඇති ප්‍රතිමාවක ඉතිහාසය පවා අධ්‍යයනය කරනවා. ඒ අනුව තමයි පාඨකයා විශ්මයට පත් කරමින්, පාඨකයාත් එම ස්ථානයට ගෙන යන පරිපූර්ණ කෘතියක් බිහි කරන්නේ. ඒ සඳහා ලොකු කාලයකුත් ගත වෙනවා.

ලංකාවේ ලේඛකයකු එහෙම දෙයක් කරනවා නම් අර අපි මුලින් කිව්වා ස්ථාවරත්වය තියෙන්න ඕන. ආදර කතා වගේ දේවලට කල් ගත කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසයි සිංහල සාහිත්‍යයේ විවිධ ශානරයන්ගෙන් කෘති බිහි නොවන්නේ. නැත්නම් අපේ ඉතිහාසය බැලුවොත් වෙනත් රටකට වැඩිය විශාල ප්‍රමාණයක් තිබෙනවා පරිශීලනය කරන්න. දහස් ගානක් හොලිවුඩ් චිත්‍රපටි නිර්මාණය කරන්න පුළුවන් කතන්දර තියෙන්නෙ. කාලය, ශ්‍රමය කැපකිරීම් අඩුව තිබෙන්නෙත් එකම ප්‍රශ්නයක තමයි. ඒ සඳහා පරිසරයයි නැත්තේ. එහෙම නැතුව කරන්න බැරි කම නෙවෙයි.

මේ වන විට ප්‍රකාශනයේ නිදහසට යම් තර්ජනයක් එල්ල වී තිබෙනවා නේද?

නිර්මාණකරුවකු ලියන දේ පිළිබඳ යම්කිසි ප්‍රශ්න මතුවිය හැකියි. නමුත් ලේඛකයකුට නිර්මාණය කිරීමට තිබෙන නිදහස අනිවාර්යයෙන් තිබිය යුතුයි. ලියන දේ පිළිබඳ සීමා ලේඛකයා සතු වගකීමක්. ලේඛකයකුගේ නිර්මාණකරනයට තිබෙන අයිතියට කාටවත් අත තියන්න බැහැ.

ක්‍රිසන්ති විතාරණ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>