චරිත ගොඩනඟන ආකාරය හා සිද්ධි ගළපන ආකාරය ප්‍රබන්ධ කතාකරුවන්ගේ අධ්‍යයනයට ලක්වන්නේ නම් වැදගත් ය. පරිච්ඡේද දහතුනකින් සමන්විත එම කතාව අවසානයේ මන්මෝහන් සිං පිළිබඳ අපූරු චිත්‍රයක් අප හමුවේ මැවෙයි. සුජිත් ප්‍රසංග මහතාගේ නවකතාවෙහි නිෙෂ්ධනීය ලක්ෂණවලට වඩා සාධනීය ලක්ෂණ වැඩි බව කිව යුතු ය.
වසරකට සිංහල ස්වතන්ත්‍ර නවකතා දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ජනගත වෙයි. සිංහල පාඨක සමාජයේ ප්‍රමාණය සලකන විට එය ඉදිරිගාමී පියවරකි. නූතන සිංහල නවකතාවේ දක්නට ලැබෙන එක් ප්‍රවණතාවක් වන්නේ ආධුනික රචකයන් සැලැකිය යුතු ප්‍රමාණයක් වාර්ෂිකව ප්‍රබන්ධකරණයට එකතුවීම ය. මේ අතරින් කෙනෙක් පළමු නවකතාවෙන් ම සම්මානයට හා කතාබහට ලක්වෙති. තව කෙනෙක් පළමු නවකතාවෙන් ම වළපල්ලට යති. තවත් කෙනෙක් සම්මාන නොලැබුව ද, කතාබහට ලක් නොවූව ද සාධනීය ලක්ෂණ සහිත නවකතා ලියති.
සම්මානයට හා කතාබහට ලක්වන ප්‍රබන්ධ නිරීක්ෂණය කරන කළ පෙනී යන සාධකයන් වන්නේ එම ප්‍රබන්ධකරණය සඳහා සැලකිය යුතු පරිශ්‍රමයක් සේ ම සැලැකිය යුතු කාලයක් ද මිඩංගු කර ඇති බව ය. වළපල්ලට ගිය හෙවත් පළමු නවකතාව ම අසාර්ථක වූ රචකයන් දෙස බලන විට පෙනී යන්නේ කිසිදු අභ්‍යාසයක්, පුහුණුවක් හා සංස්කරණයකින් තොරව අදාළ කෘති රචනා වී ඇති බව ය. කතාබහට ලක්නොවන කෘති දෙස බලන විට පෙනීයන්නේ අදාළ රචකයන් ප්‍රබන්ධකරණය පිළිබඳ අභ්‍යාසයක හා හැදෑරීමක නිරත වන්නේ නම්; ඔවුන් වෙතින් ගුණාත්මක කෘති අපේක්ෂා කළ හැකි බව ය.
අද අපගේ අවධානයට ලක්වන්නේ ඉහත කී වර්ග තුනෙන් - තුන්වන ගණයට අයත් වන ප්‍රබන්ධ කතාවකි. එය “මැදියම අග” ලෙසින් හඳුන්වා ඇත. නවකතාකරුවා සුජිත් ප්‍රසංග මහතා ය. ශ්‍රී ලංකාවේ ධනපති දේශපාලනය හා එම දේශපාලනයට දර දිය ඇද ජීවිත විනාශ කරගන්නා පුංචි මිනිසුන් විෂය කොට කතාව රචනා වී ඇත. මේ ප්‍රබන්ධය සාධනීය ලක්ෂණවලින් මෙන් ම නිෂේධනීය ලක්ෂණවලින් ද සමන්විත එහෙත් ආකර්ෂණයක් සහිත නවකතාවකි. අපගේ වැටහීමට අනුව නවකතාවෙන් මතුවන සාධනීය ලක්ෂණ පහක් හඳුනාගත හැකි ය.
I. ආකර්ෂණීය ආරම්භය
II. කාලීන විෂයයක් සංවාදයට ගැනීම
III. සමාජ යථාර්ථය නිරූපණය කිරීම
IV. විවිධ චරිත කරලියට ගෙන ඒම
V. මානුෂීය සබඳතා නිරූපණය
ඕනෑ ම නවකතාවක ආරම්භය අතිශය වැදගත් ය. පාඨකයා කිසියම් ප්‍රබන්ධයක් පිළිබඳ පළමු තීන්දුව ගනු ලබන්නේ එහි ආරම්භක ඡේදයෙන් ය. එය එක අතෙකින් නවකතාවේ හරය හා රටාව පිළිබඳ ඡායාවක් අප වෙත ගෙන එයි. තව අතෙකින් රචකයාගේ පෞරුෂය කිරා මැන බැලිය හැකි සංකේතයක් ලෙස පවතී. බොහෝ නවකතා ආරම්භ වන්නේ ප්‍රධාන චරිතය හෝ චරිතයට අදාළ පසුබිම හෝ නිරූපණය කිරීමෙන් ය. දහනම වන සියවසේ ඉංග්‍රීසි කතාකාරයන්ගේ එක්තරා රීතියක් ලෙස එය පැවැතිණි. තවත් සමහර නවකතා ආරම්භ වන්නේ ගැටුමක උච්ඡතම අවස්ථාව නිරූපණය කරමින්ය සංවාදයකින් ආරම්භ වන නවකතා ද තිබේ. සුජිත් ප්‍රසංග මහතා සිය ප්‍රබන්ධය ආරම්භ කරන්නේ සමස්ත කතාවේම හරය සංකේතානුසාරයෙන් නිරූපණය කරමින් ය.
“රෑ දෙගොඩහරියක් තිස්සේ ඇද හැලුණු මහ වරුසාව හමාර වී පැය දෙකක් පමණ ගත වූව ද හීන් පොද වැස්සක් ඇද වැටේ. ගහකොළ ද, මහ පොළොව ද සොම්නසින් ඉපිලී යන්නේ ඒ සා විසල් වරුසාවකින් පමණි. ඉටි කොළයෙන් ආවරණය වූ ජනේලයෙන් ඇදී එන හිරිකඩ කියාපාන්නේ වැස්ස හමාර වුව ද විටින් විට තද සුළඟක් හමා යන බවයි.”
(පිටුව - 09)
ආකර්ෂණීය ආරම්භයකි. එලෙස ම එහි යටි පෙළක් තිබේ. කතාවේ ප්‍රධාන චරිතය වන ගෝතමීට මුහුණදීමට සිදුවන අනාගත අභියෝග පිළිබඳ ඉඟියක් එහි ඇත. මිනිසාගේ කරදරවලට නිමාවක් හෝ කෙළවරක් හෝ නැති බව කතුවරයා සංකේතානුසාරයෙන් දක්වයි. එක පීඩනයක් නිමාවට පත්වන්නේ යැයි බැලු බැල්මට පෙනුණ ද ඊළඟට කඩාපාත්වන පීඩනය ඊට වඩා රුදුරු විය හැකි ය. ජීවිතයේ ස්වභාවය එය බව පළමු ඡේදයෙන් ම විවරණය කෙරේ.
නවකතාව පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක දී දේශපාලන නවකතා යනුවෙන් වෙන ම ශානරයක් දැකගත නො හැකි වුව දේශපාලන සාධකවලින් තොරව නවකතා රචනා කිරීම අපහසු ය. සමාජ ජීවිතයට දේශපාලනය අදාළ බැවිනි. එහෙත් දේශපාලන චරිත කේන්ද්‍ර කොට නවකතා රචනා කිරීම ලෝකයේ එක් ප්‍රවණතාවක් බවට පත් වී ඇත. මෙලෙස රචනා වන කතාවලට බහුල වශයෙන් පාදක වන්නේ ප්‍රධාන දේශපාලන චරිතවල කතා මිස දේශපාලනයට අදාළ පුංචි මිනිසුන්ගේ කතා නොවේ. සුජිත් ප්‍රසංග ඒ සම්ප්‍රදාය වෙනස් කොට හෙංචයියා චරිත සහිත කතාවක් අප වෙත ගෙන එයි. එය අලුත් ගවේෂණයක් සේ සැලැකිය හැකි ය.
මෙහි එන ප්‍රධාන චරිතය වන ගෝතමී දේශපාලකයාගේ වේදිකාවේ ගීත ගායනා කළ පුංචි කෙල්ලකි. ඇයගේ පියා දේශපාලකයා වෙනුවෙන් පෝස්ටර් මිටියත්, පාප්ප බාල්දියත් අතට ගත් මිනිසෙකි. එහෙත් අදාළ දේශපාලකයාට ම ඔවුන්ගේ ජීවිත වළපල්ලට දක්කයි.
කතුවරයා සංවාදයට ලක් කරන්නේ කාලීන මාතෘකාවකි. අද වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත සමාජය එකිනෙක දේශපාලන පක්ෂවලට බෙදී ඒවායෙහි ජයග්‍රහණය වෙනුවෙන් සටනක නියැලී සිටිති. තමන්ගේ අපේක්ෂකයාගේ බලය වෙනුවෙන් ඕනෑ ම පරිත්‍යාගයක් කිරීමට සූදානම් අය සිටිති. මෙලෙස දේශපාලකයන් වෙනුවෙන් දර දිය අදින මිනිස්සු බොහෝ දේවල් අපේක්ෂා කරති. සිහින දකිති. ඒවා නොලැබෙන විට ඔවුන්ගේ ජීවිත කඩා වැටේ. මෙය අප අත්දකින සම්පූර්ණ සත්‍යයෙකි.
ගෝතමී යනු ඉහත සත්‍යයට එරෙහි ව සටන් වදින උන්නතිකාමී ගැහැනියකි. ඇය පෙරළා ලබා ගැනීමට උත්සාහ දරන්නේ දේශපාලකයාගේ ම තත්ත්වය වුව ගෝතමීගේ සටන අප කුල්මත් කරයි. ඇය ජයකණුව වෙත සේන්දු වන ආකාරයත්, දේශපාලකයාගෙන් පෙරළා පළිගන්නා ආකාරයත් නැරඹීමට අපි කැමැත්තෙන් සිටිමු. ඒ කැමැත්ත ඇතිවන ආකාරයෙන් කතාව ගොතා ඇත.
නවකතාකරුවාගේ එක් පරමාර්ථයක් විය යුත්තේ සමාජ සත්‍යය හෙළිදරව් කිරීම යැයි කියති. ඒ මඟින් පාඨකයාගේ බුද්ධිය මුවහත් කළ හැකි ය. ධනපති දේශපාලනයේ ස්වාභාවය හා හෙංචයියන්ගේ ඉරණම පිළිබඳ විශ්වාසනීය සිදුවීම් මාලාවක් “මැදියම අග” කෘතියට අඩංගු කර තිබේ. දේශපාලකයාගේ පවුල් ජීවිතය මෙන් ම ඔහුගේ රහස් ජීවිතය ද හෙළිදරව් කිරීමට කතුවරයා සමත් වෙයි. නූතන දේශපාලකයන්ගේ චර්යා - රටා පිළිබඳ හරස්කඩක් ද ඉන් උකහා ගත හැකි ය. “තියරි ඔෆ් ලිට්රච” නම් අගනා විචාර කෘතිය පළවන්නේ 1949 දී ය. එහි නම වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ සාහිත්‍ය හා සමාජය අතර සම්බන්ධය විග්‍රහ කිරීමට ය. සමකාලීන සමාජයට බලපාන පොදු ගැටලු නිරූපණය ඔස්සේ කතාකරුවකුට සාහිත්‍ය යුතුකමක් ඉටුකළ හැකි බව එහිලා සඳහන් ය. සුජීව ප්‍රසංග මහතා ද එය ඉටුකරන බවක් පෙනෙයි.
මේ නවකතාවේ ඇති තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එකිනෙකාට පරස්පර චර්යා රටාද එකිනෙකාට වෙනස් චෛතසිකයන් ද සහිත විවිධ චරිත රඟමඩලට ගෙන්වීම ය. ගෝතමී, මිස්සක, භූපති, යශෝදරා, මිගෙල්, මහසෙන් (දේශපාලකයා), මධුපානී, අධ්‍යයනය කළ යුතු චරිත සේ හැඳින්විය හැකි ය. භූපති මහසෙන්ගේ දෙවන පුත්‍රයා ය. ඔහු රැකියාවක් කරන්නේ නැත. ඉහළ අධ්‍යාපනයක් ලබන්නේ ද නැත. ඔහු තම පියා අමතන්නේ ඇමැතිතුමා යනුවෙන් ය.
“උඹලා පුංචි කාලෙ විතරයි මට තාත්ත කිව්වේ දැන් ඇමැතිතුමා”
ඉස්සරහටත් දෙයියනෙ කියලා ඇමැතිතුමා කියලම කියන්න ලැබෙන්න ඕන. හැබැයි ඉතින් සරු අමාත්‍යාංශයක් වෙන්න ඕන. නේද අයියෙ”
(පිටුව 53)
මාපියන්ට සැලකීම හා වැඩිහිටියන්ට ගෞරව දැක්වීම අපේ සමාජය ඉහළින් ම අපේක්ෂා කරයි. එසේ නොකරන පුද්ගලයන් අසත්පුරුෂයන් ලෙස ගර්හාවට ලක්වෙයි. මහසෙන් ඇමැතිගේ දරුවන් ඔහුව තුට්ටුවකට මායිම් නොකරන්නේ ඇයි? ඊට අදාළ හේතුසාධක කතුවරයා විසින් මතුකරනු ලැබේ. ඒ අනුව මැදියම අග කෘතියෙහි චරිත විශ්වාසනීය හා ජීවමාන ඒවා බවට පරිවර්තනය වෙයි.
නූතක කලාව හා සාහිත්‍යය මානුෂීය සබඳතා විවරණය කිරීම සඳහා බරපතළ පරිශ්‍රමයක නිරත වෙයි. ජීවිතය හා සමාජය වටහාගැනීමට ඒ මඟින් ලැබෙන අවකාශය වැඩි ය. මානව විද්‍යාව, සමාජ විද්‍යාව යන විෂයයන් ද සාහිත්‍යයේ දී නවකතාව ද සංකීර්ණ මානුෂීය සබඳතා විශ්ලේෂණය කිරීමට සැලකිය යුතු දායකත්වයක් දරා ඇත. ඉහත නවකතාව ද එම කාර්යය ඉටුකරයි.
I. මිස්සක හා ගෝතමී අතර ප්‍රේමය
II. භූපති හා මිගෙල් අතර ලිංගික සම්බන්ධතාව
III. මහසෙන් හා දරුවන් අතර සම්බන්ධතාව
IV. යශෝදරා හා දරුවන් අතර සම්බන්ධතාව
V. භූපති හා චන්ද්‍රලතා අතර ලිංගික සම්බන්ධතාව
VI. ගෝතමී හා ජයම්පතී අතර වෛවාහික
සම්බන්ධතාව
ඉහත සබඳතා පසක් කරන්නේ මනුෂ්‍යත්වයේ සංකීර්ණ ස්වභාවයයි. එයින් ජීවිතය හා සමාජ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට උත්තේජකයක් සපයනු ලැබේ. නවකතාව පිළිබඳ එක් හැඳින්වීමක් වන්නේ එය ජීවිත විවරණයක් යන්න ය.
මැදියම අග නවකතාවේ ඇති නිශේධනීය ලක්ෂණ කිහිපයක් ද පෙන්වා දිය යුතු ය.
I. දුර්වල අවසානය
II. දුර්වල කතාවස්තුව
III. ව්‍යාකූලභාවය
නවකතාවක ආරම්භය සේ ම එහි අවසානය ද වැදගත් ය. පාඨකයා සිය ප්‍රහර්ෂයෙහි උපරිම අවස්ථාව අපේක්ෂා කරන්නේ කතාවක අවසානයෙන් ය. නවකතාවකට පැහැදිලි හා ප්‍රබල අවසානයක් තිබීම අත්‍යවශ්‍ය වෙයි. මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් “හව් ටු රයිට් අ සෙන්ටන්ස්” නම් කෘතියෙහි නමවන පරිච්ඡේදයෙන් මේ පිළිබඳ කදිම විග්‍රහයක් ඉදිරිපත් කරයි. “මැදියම අග” කෘතියෙහි අවසානය ප්‍රබල නැත. එය පාඨකයා අවුලකට දමන නිරූපණවලින් සමන්විතය. ගෝතමීට සිදුවන්නේ කුමක් ද? ඇයගේ අනාගත ඉරණම කෙබඳුද? ඊට පිළිතුරක් හෝ ඉඟියක් හෝ නැත. කතාව අතරමග නැවතී ඇත්තේ අවුලක් ද සමඟ ය.
ගෝතමීගේ චෛතසිකය හෙළිදරව් කිරීමක් ලෙස ද ඇයගේ සිහින නිරූපණයක් ලෙස ද අවසානය නිරූපණය කරන්නට කතුවරයා උත්සාහ දරා ඇති බවක් පෙනෙයි. එහෙත් පාඨකයාට එය හොඳින් දැනෙන්නේ නැත. මෙහි එන අවසානයත් සමඟ පාඨකයා අවුලකට වැටෙයි.
කතුවරයාගේ කතාවස්තු ගොඩනැගීම දුර්වල ය. කතාවස්තු ගොඩනැඟීම යනු සිද්ධි ගළපමින් ප්‍රබල කතාවක් ඉස්මතු කිරීම ය. එය “ප්ලොට් ඇන්ඩ් ස්ට්‍රක්චර්” යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වයි. සාර්ථක නවකතාවක දැකිය හැකි එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සාර්ථක කතා වස්තුවක් ගොඩනඟා ගැනීම ය. එලෙස ම ශිල්පීය අංග මනාව ගළපා ගැනීම ය. මෙබඳු ශිල්පීය අංග හතක් ගැන සඳහන් වේ. කතාවස්තුව හා ව්‍යුහය, චරිත නිරූපණය, පසුබිම, දෘෂ්ටි කෝණය, භාෂාව හා ශෛලිය, තේමාව, සංකේත හා උත්ප්‍රාසය ලෙස ඒවා හැඳින් වේ. එම ශිල්පීය අංග පිළිබඳ වැටහීමකින් “මැදියම අග” කෘතිය රචනා වී නැත. කතුවරයා අහුලාගත් සිද්ධි තැනින් තැනින් වාර්තා කරන බවක් පෙනී යයි.
ඉන්දියාවේ පළ වූ දේශපාලන නවකතාවක් අප සිහියට නැගේ. එය හඳුන්වා ඇත්තේ “දි ඇක්සිඩන්ටල් ප්‍රයිමිනිස්ටර්” යනුවෙන් ය. කතුවරයා සංජය බාරුය. හිටපු අගමැති මන්මෝහන් සිං මහතාගේ චරිතය කේන්ද්‍රකොට රචනා වී ඇති ඉහත කෘතිය චරිත ගොඩනඟන ආකාරය හා සිද්ධි ගළපන ආකාරය ප්‍රබන්ධ කතාකරුවන්ගේ අධ්‍යයනයට ලක්වන්නේ නම් වැදගත් ය. පරිච්ඡේද දහතුනකින් සමන්විත එම කතාව අවසානයේ මන්මෝහන් සිං පිළිබඳ අපූරු චිත්‍රයක් අප හමුවේ මැවෙයි.
සුජිත් ප්‍රසංග මහතාගේ නවකතාවෙහි නිෙෂ්ධනීය ලක්ෂණවලට වඩා සාධනීය ලක්ෂණ වැඩි බව කිව යුතු ය. කතා කලාව පිළිබඳ හැදෑරීම් ඔස්සේ දුර ගමනක් යා හැකි රචකයකු ලෙස ඔහු හැඳින්විය යුතු ය.