Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වහා ගිනිගන්නාසුලු අවිශ්වාසය

$
0
0
ජුලි 3, 2019 01:00
මදාරා මුද­ලිගේ

රටේ උද්ගතව පවතින ගැටලුකාරී තත්ත්වය නීතීමය රාමුවක් තුළ විසඳීම වෙනුවට ආගමික බලවේග මැදිහත් වී ගැටලු වීසඳීමට යෑම නොකළ යුතු ය. ලංකාව බුදුදහමින් පෝෂණය වුණු රටක් බව සැබෑ නමුත්, සෑම අවස්ථාවකදීම ආගමික බලවේගවලට හසුව ගැටලු විසඳීමට යාම මඟින් නිසි විසදුම් ලබා ගැනීමට අපහසු වේ.

අප්‍රේල් විසි එක ත්‍රස්ත ප්‍රහාරය අනපේක්ෂිත සිදුවීමක් ලෙස අර්ථ දැක්වීමට පුළුවන. ජනවාර්ගික යුද්ධය අවසන් වීමෙන් වසර දහයක් ගත වූ පසු, කිසිවකු බලාපො­‍ෙරාත්තු නොවූ අවස්ථාවක සිදු වූ මෙම සිදුවීම් මාලාව හේතුවෙන් සිවිල් ප්‍රජාව මානසික ආතතියකට බදුන් විය. එමගින් සාමාන්‍ය ජනයාට තමන්ගේ එදිනෙදා කාර්යයන් නිසි පරිදි සිදු කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදා විය. මෙම සිදුවීම්වලට පෙර ද ශ්‍රී ලංකාවේ යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගතව පැවතිය ද , කිසිදු විටක “ ත්‍රස්ත ප්‍රහාර “ වැනි භයානක තත්ත්වයක් උද්ගත වේ යැයි සිවිල් ප්‍රජාව සිතුවේ නැත.

යම් කිසි ගැටලුකාරී තත්ත්වයකින් පසු ලංකාවේ සෑම පාර්ශ්වයක් ම සත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමට උත්සාහ ගත යුතු වේ. සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන කුමන හෝ කරුණක් නිවැරදි යැයි සිතා, ජනතාව කටයුතු කරති. මෙමගින් සිදු වන්නේ රටේ පවතින ගැටලුකාරී තත්ත්වයන් තවත් උග්‍ර අතට පත් වීම ය. ඇතැම් මාධ්‍ය මගින් මිනිසුන්ගේ ආකල්ප සෘණාත්මක ලෙස වෙනස් කරයි. එවිට මිනිසුන් ඔවුනොවුන් සමඟ ගැටලුකාරී තත්ත්වයක් ඇති කර ගනී. ත්‍රස්ත ක්‍රියාකාරකම් හෝ වෙනයම් තත්ත්වයන් හේතුවෙන් සමාජ මාධ්‍ය අවහිර කිරීම නුසුදුසු ක්‍රියාවකි. සත්‍ය තොරතුරු නිසි පරිදි ප්‍රචාරය නොවන විට මිනිසුන් සමාජ මාධ්‍ය විශ්වාස කිරීමට හුරු වේ. සත්‍ය කරුණු මගින් මිනිසුන්ව දැනුවත් කිරීමට කටයුතු සකස් කළ විට ඔවුන් කිසිදු දිනක සමාජ මාධ්‍ය පසුපස හඹා නොයනු ඇත.

යම් කිසි පුද්ගලයකු වැරදිකාරයකු බවට පත් කිරීමට පෙර, එම පුද්ගලයා සත්‍ය වශයෙන් ම වැරදිකරුවෙක් ද? නැද්ද ? යන්න පිළිබදව කාර්යක්ෂම ලෙස විමර්ශනය කළ යුතු වේ. උදාහරණයක් ලෙස පසුගියදා සිදු වු ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව වැරදිකරුවන් කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. රජය විසින් වැරදිකරුවන් කවුරුන් ද?, නිවැරදිකරුවන් කවුරුන්ද? යන්න ඉක්මනින් සොයා නොගැනීම ද ගැටලුකාරී තත්ත්වයක් විය. යම් කිසි සිද්ධියක් සිදුවීමෙන් පසු ,එවැනි සිද්ධියක් යළිත් නොවීමට එම සිද්ධිය සිදු වූ දිනයේ සිටම සංවිධානාත්මක අයුරින් කටයුතු කළ යුතු වේ. ඒ සදහා විශ්වාසවන්ත අයුරින් වගකීම් දැරිය හැකි පුද්ගලයින් පත් කළ යුතු ය.

කඩාකප්පල්කාරී ක්‍රියා

ත්‍රස්ත ප්‍රහාර ඇතුළු වෙනත් ගැටලුකාරී තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය අතර නොගැලපීම් සහ රජය සහ විධායකය අතර මත ගැටුම්, සහ වෙනස්වන දේශපාලනික ප්‍රතිපත්ති ද බලපා ඇත. ජනතාවගේ සුබසිද්ධිය සඳහා කටයුතු නොකර රජයේ අදාළ බලධාරීන් තම තමන්ගේ පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබේ. ඒ මගින් සිදු වන්නේ රට අරාජික තත්ත්වයට පත් වීම ය. රජය කිසිදු පක්ෂපාතීත්වයක් නොදක්වා නිවැරදි තීරණ, නිසි වේලාවට ගත යුතු වුව ද “පොසොන් පොහොය හොඳින් සමරන්න “ යැයි ආණ්ඩුව විසින් ප්‍රකාශ කිරීම නිසා ද නැවතත් ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වේද , යන්න පිළිබඳව මිනිසුන් තුළ සැකයක් ඇති විය . කිසිදු සිවිල් සංවිධානයක් මඟින් ඒ ආකාරයේ ප්‍රකාශයන් නොකර සිටීම වඩාත් වැදගත් වන්නේ එබැවිනි. ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව සමාජය යථා තත්ත්වයට පත්වීමේ දී කිසිදු සංවිධානයකට මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට ඉඩ නොතැබිය යුතු ය. උදාහරණයක් වශයෙන් දරුවන්ව පාසල් යෑවීම සම්බන්ධයෙන් විවිධ සංවිධානවල ප්‍රකාශ හේතුවෙන් මිනිසුන්ට නිසි තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීම පෙන්වා දීමට පුළුවන.

එක් මුස්ලිම් සංවිධානයක් විසින් සිදුකළ මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයන්ට සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජ්‍රජාව වැරදිකරුවන් බවට පත් නොකළ යුතු ය. විශේෂයෙන් ම මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර වර්ජනය කිරීම තුළින් රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමකට ලක් වේ. මුස්ලිම් ව්‍යාපාරවල සේවය කරන සිංහල සහ දමිළ ජනතාවට මෙමගින් සිදු වන්නේ දැඩි පීඩනයකි. ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව කවුරුන් ද? නැති අය කවුරුන් ද? යන්න විධිමත් පර්යේෂණ මඟින් තහවුරු කර ගැනීම වඩාත් වැදගත් ය .

ආගමික බලවේග

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම බුදුදහමින් පෝෂණය වී ඇත. “ නිල් ගොයමයි , කහ සිවුරයි “ යන සංකල්පයෙන් යුක්ත ශ්‍රී ලංකාවෙහි බුද්ධ පුත්‍රයින්ට සුවිශේෂී ස්ථානයක් හිමි විය. කුමන ගැටලුකාරී තත්ත්වයකදී වුව ද භික්ෂූන් වහන්සේලා මැදිහත් වී විසඳුම් ලබා දීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. සංඝයා වහන්සේ නමක් යනු ලෝකෝත්තර දැක්මක් තිබෙන පුද්ගලයෙකි . අතීතයේ සිටම ම ලංකාවේ විශ්වවිද්‍යාලවල පවත්වන උද්ඝෝෂණවලදී ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ භික්ෂූන් වහන්සේලාට ය . එමෙන් ම මහා බලවේග හමුවේ නිරන්තරයෙන්ම නැඟී සිටින ජ්‍රජාව වශයෙන් සලකනු ලබන්නේත් භික්ෂූන් වහන්සේලා ය. එසේ වුව ද ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වීමෙන් පසු රට යම්තාක් දුරකට යහපත් අතට පත්‍ වී තිබියදී රටේ ප්‍රකට සංඝයාවහන්සේ නමක් විසින් කළ උපවාසය නුසුදුසු ක්‍රියාවකි.

ගැටලුව තේරුම් ගැනීම

රටේ උද්ගතව පවතින ගැටලුකාරී තත්ත්වය නීතීමය රාමුවක් තුළ විසඳීම වෙනුවට ආගමික බලවේග මැදිහත් වී ගැටලු වීසඳීමට යෑම නොකළ යුතු ය. ලංකාව බුදුදහමින් පෝෂණය වුණු රටක් බව සැබෑ නමුත්, සෑම අවස්ථාවකදීම ආගමික බලවේගවලට හසුව ගැටලු විසඳීමට යාම මඟින් නිසි විසදුම් ලබා ගැනීමට අපහසු වේ. මුස්ලිම් ආගමික ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් සහ මුස්ලිම් අමාත්‍යවරයෙක් ඉවත් කිරීම සඳහා පසුගිය දිනක ලංකාවේ ප්‍රකට හාමුදුරුනමක් සිදු කළ උපවාසය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයට නිසි විසඳුම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා විය. විශ්වාසභංගයක් ගෙන ඒමට තිබු අවස්ථාවක සිදු කළ උපවාස මඟින් සිවිල් ජනතාවට මෙම ගැටලුකාරී තත්ත්වයේ සෑබෑ ස්වරූපය හඳුනා ගැනීමට තිබූ අවස්ථාව මග හැරීම උදාහරණයක් වශයෙන් දැක්විය හැකි ය. උපවාස, වැඩවර්ජන සහ සත්‍යග්‍රහ යනාදී වශයෙන් පවතින අරමුණු ඉටු කර ගැනීමට භාවිතා කරන ඕනෑම ක්‍රමවේදයක්, සිදු කිරීමට ප්‍රථමයෙන් රටේ පවතින වර්තමාන තත්ත්වය කුමක් ද? යන්න අවබෝධ කර ගැනීමට අවශ්‍ය ය.

පසුගිය දිනක සිදු කළ උපවාසයෙන් පසුව අපට මුස්ලිම් ආගමික දේශපාලනඥයින්ගේ එකමුතුකම හොඳින් දැක ගැනීමට හැකි විය. යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක දී සිංහල, බෞද්ධ ජ්‍රජාවට සාපේක්ෂව ඔවුන් තුළ පවතින ළබැඳියාව ලංකීය සමාජයට කදිම ආදර්ශයකි. විවිධ ආගමික ජනයා තුළ කුමන හෝ ගැටලුකාරී තත්ත්වයක් ඇත් වුවත්, ඒ සඳහා නුසුදුසු පාර්ශවයන්ට ඒ සඳහා මැදිහත් වීමට ඉඩ ලබා නොදිය යුතු ය.

ප්‍රතිපත්තිගරුක තීරණ

ශ්‍රී ලංකාව තුළ පවතින ගැටලුව වන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් නොමැති වීම ය. මෙරට තුළ පවතින්නේ පුද්ගලවාදී දේශපාලන ක්‍රමවේදයකි. එහි දී ක්‍රියාත්මක වන්නේ එක් එක් පුද්ගලයින්ගේ පෞද්ගලික අදහස් පමණි. පළමුවෙන් ම කළ යුත්තේ සිවිල් සමාජයේ පුරවැසියන් තුළ, රජය පිළිබඳව විශ්වාසයක් ඇති කර ලීම ය. රජය විසින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ ද, වර්තමානයේ සිවිල් සමාජය තුළ දේශපාලනඥයින්ගේ තීන්දු තීරණ පිළීබඳව තෘප්තිමත් බවක් ගොඩනැඟී නොමැත. සිවිල් සමාජයේ පුරවැසියන් තුළ “නැවත ත්‍රස්ත ක්‍රියාවක් සිදු නොවන බවට” විශ්වාසය ගොඩනැඟිය යුතු ය .

අදාළ බලධාරීන් තමන්ගේ වාසි ටික කාලයකට අමතක කර පොදුවේ ගන්නා තීරණයන්ට ගරු කර ප්‍රතිපත්තිගරුක තීරණ ගත යුතු ය. අපේ රට තුළ තවත් ජනවර්ග ජීවත්වන බව හොඳින් මතක තබා ගනිමින් කටයුතු කළ යුතු ය.

මුස්ලිම් ජනතාව සහ අනෙකුත් ආගමිකයින් අතර සංහිඳියාව ඇති කර ලීමට රජය ක්‍රමෝපායන් ගත යුතු ය. මුස්ලිම් ජනයා සහ අනෙකුත් ප්‍රජාවත් අතර කිසි විටක ඝට්ටනයක් හෝ බෙදීමක් ඇති නොකළ යුතු ය. යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් එකමුතුකම පෙරදැරි කර ගනිමින් සාමූහිකව ක්‍රියා මාර්ග ගැනීමට පුරුදු කළ යුතු ය.

කුමනාකාරයේ ඛේදනීය තත්ත්වයක් ඇති වුව ද, ශ්‍රී ලාංකිකයින්ට එම සිදුවීම ටික කලකින් අමතක වී යයි. උදාහරණයක් ලෙස ත්‍රස්ත ප්‍රහාර සිදු වීමට පෙර මුළු ලංකාවේම කථා බහට ලක් වූ “ මදූෂ්ගේ සිද්ධිය “ අද වන විට මිනිසුන්ට අමතක වී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම, ලෝක කුසලානයේ අවසන් වටයට තේරී පත් වුවහොත්, මිනිසුන්ට ඊට එහා ලෝකයක් පිළිබඳව සිතිය නොහැකි ය.එසේ වුවත් ශ්‍රී ‍ලංකාවෙහි අළු යට තිබෙන ගිනි මෙන් නැවත ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හොඳින් මතක තබා ගත යුතු ය. ත්‍රස්ත ප්‍රහාර සිදු වී අද වන විට මාස 02 ක කාලයක් ඉක්මවා ඇති මොහොතක මිනිසුන් සාමාන්‍ය පරිදි තමන්ගේ එදිනෙදා කාර්යයන් සිදු කළ ද අවට පරිසරය පිළිබඳව දැඩි විමසිල්ලකින් සිටිය යුතු බව ඔවුනට අවබෝධ කර දිය යුතු ය.

ඕනෑම රටක ජීවත්වන සෑම ජනවර්ගයකටම අවශ්‍යතා සහ වූවමනා තිබේ. තමන් පිළිබඳව අනෙකුත් ජාතිකයින් සැකයෙන් බලනවාට කිසිදු ජාතිකයකු කැමති නැත. එකෙක් අනෙකෙක් දෙස සැකයෙන් බැලීම සිදු වුවහොත් ත්‍රස්ත ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානිවලට වඩා වැඩි විනාශයක් සිදු වීමට පුළුවන. ශ්‍රී ලංකාවෙහි වෙසෙන සෑම ජනර්ගයකටම අයත් මිනිසුන් ශ්‍රී ලංකික ප්‍රජාවක් ලෙස එකට එක්ව කටයුතු කිරීම වඩාත් වැදගත් ය. ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් නිර්මාණය කිරීම තුළින් රටේ අනාගතය පිළිබඳව විශ්වසනීයත්වයක් ගොඩනඟාගත හැකි වන බැවිනි.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>