මෑතකාලීන ඓතිහාසික - අභිරහස් ගණයේ නවකතා රචිකාවන් අතර, ඇනා ලෝන් විල්සේ ප්‍රකට ය. මේ, ඇය විසින් රචිත A LACK OFTEMPERANCE කෘතිය පිළිබඳ writersdigest.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි.
මේ නවකතාව, කුමන කාණ්ඩයට අයත් වන්නක්ද?
ඓතිහාසික-අභිරහස් කාණ්ඩයට අයත් නවකතාවක්.
මෙහි එන කතාව කෙටියෙන් විස්තර කළොත්?
මේ කතාවට පාදක වෙන්නේ, Hattie Davish නමැති කාන්තාවයි. ඇය ජනාධිපතිවරයකුගේ පෞද්ගලික ලේකම් තනතුරක් දැරූ කෙනෙක්. 1892 වසරේදී ජනාධිපතිවරණ කාල සීමාව තුළ වෙනත් කාන්තාවකට සිදු වුණ අසාධාරණයක් වෙනුවෙන් පෙනී සිටින ඇය, ඒ වෙනුවෙන් කරන කැපවීම, මේ කතාව පුරා ගලාගෙන යනවා. මෙය සත්‍ය කතාවක් නෙමෙයි. ඒත්, එම අවධියේ සිදුවුණ සිද්ධි සහ පුද්ගලයන් අනුසාරයෙන් මෙය නිර්මාණය වී තිබෙනවා.
මේ ග්‍රන්ථයෙහි තිබෙන විශේෂත්වය ගැන කතා කළොත්?
මේ කතාව බොහොමයක් ඓතිහාසික සිද්ධි පදනම් කරගෙන ගොඩනැගී තිබීම, මෙහි ඇති විශේෂත්වයක්. එම අතීත මතිමතාන්තරවලට කිසිදු හානියක් නොවන ආකාරයට, මේ කතාව ගොඩනැගීමට සමත් වුණා. ඒකට හේතුව, බොහෝවිට කතුවරයන් අතින්, එම පැරැණි සිදුවීම් වෙනස් කරලා, අලුත් සිදුවීම් ඇතුළත් කර කතාව ගොඩනැගීමයි. මං හිතන්නේ එතකොට ඒකෙ රසය අඩු වෙනවා. ඒ සිදුවීම් ඒ විධිහට ම අරගෙන, විකෘති නොකර කතාව ගොඩනගනවා නම් තමා, වඩාත් හොඳ. පාඨකයා බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේම තමයි. ඇතැම්විට පාඨකයා මීට පෙර එම අතීත සිදුවීම කියවා හෝ අසා තිබෙනවා හෝ විය හැකියි. එවැනි අවස්ථාවක, පොත ලියූ කතුවරයා වංචනිකයකු වෙනවා.
මේ ග්‍රන්ථය සුවිශේෂී පර්යේෂණවල ප්‍රතිඵලයක් කියා ඔබ පවසනවා. ඒ ගැන කතා කළොත්?
මේ ග්‍රන්ථය මගේ අනෙකුත් ග්‍රන්ථ සමඟ සසඳා බැලුවහම, සුවිශේෂී වීමට බලපෑ කරුණු දෙකක් තිබෙනවා. එකක්, මං ඉහතින් සඳහන් කළ අතීත මතිමතාන්තරවලට කිසිදු හානියක් නොවන ආකාරයට මේ කතාව ගොඩනැගීම. අනෙක් කරුණ, මෙය පර්යේෂණාත්මක ග්‍රන්ථයක් වීම. අතීත සිදුවීම් යොදා ගැනීමට පෙර, මං ඒ ප්‍රදේශවලට ගිහින් විස්තර ලබා ගත්තා. එක් සිදුවීමක් පිළිබඳ කිහිප වාරයක් අධ්‍යයනය කළා. විවිධ පුද්ගලයන් රැසකගෙන් තොරතුරු ලබා ගත්තා. ඒවා එකින් එක සංසන්දනය කළා. මේ ආකාරයට තමා මේ ග්‍රන්ථය බිහි වුණේ.
ඔබ සාමාන්‍යයෙන් ලියන්නේ කොහේ ඉඳන්ද?
මම ජීවත් වෙන්නේ වික්ටෝරියානු ගොවි නිවෙසක, මගේ ස්වාමියා සමඟයි. ඒ නිවෙසේ නිදන කාමරයක් සම්පුර්ණයෙන්ම අපි පුස්තකාලයක් බවට පරිවර්තනය කරලයි තියෙන්නේ. මම එය මගේ කාර්යාල කාමරය විධිහටත් භාවිත කරනවා. මම ලියන්නේ මගේ ඩෙස්ක්ටොප් පරිගණකයෙන්. අපේ නිවෙස නවීන පන්නයේ එකක් නෙමෙයි. මට සිසිල් සුළඟ විඳ ගන්න අවශ්‍ය වුණොත්, ගෙදරින් පොඩ්ඩක් එළියට බහින්න විතරයි තියෙන්නේ. මට අවශ්‍ය වෙන්නෙත් ඒ දේම තමයි.
මේ නිර්මාණය කෙරෙහි ඔබ පෙලඹ වූ හේතුව මොකක්ද?
මෙය මගේ ප්‍රථම ප්‍රබන්ධ නවකතාව. පාසල් කාලයේදී නම් සාහිත්‍ය සඟරාවට කවි ඉදිරිපත් කළා. මම විද්‍යා සඟරා කිහිපයකම සහ රජයේ සඟරා කිහිපයකම සහය කර්තෘ ලෙස සේවය කර තිබෙනවා. මම හිතන්නේ එය තමා මගේ වෘත්තිමය ලිවීමේ පෙලඹවීම ඇති කිරීමට හේතුව. මට ඒ රැකියාව නැති වුණත්, මගේ ලිවීමට පෙලඹීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.
මේ නවකතාව නිර්මාණය වූ කාල සීමාව පිළිබඳ කතා කළොත්?
කටු සටහන නිර්මාණයේ ඉඳන් ම සම්පුර්ණ ප්‍රකාශනය සඳහා මට අවුරුදු පහක පමණ කාලයක් වැය වුණා. මුලදී මම ලියන්න පටන් ගත්තේ විනෝදාංශයක් විධිහටයි. ඒත් පසුව මගේ රැකියාව අහිමි වීමත් සමඟ, මට මගේ කාලය සම්පුර්ණයෙන් ම ලිවීම සඳහා යොදවන්න සිදු වුණා. යම් යම් ගැටලු මතු වුණත්, ඒ ගැටලු මගේ ලිවීමට බාධාවක් නොවන විධිහට, මගේ පවුලේ අය මට උදවු කළා. පාඨකයන් බොහෝ පිරිසක් මේ වන විට මා වටා සිටිනවා. මං දිගටම ලියනවා.
ඔබ, ප්‍රකාශන නියෝජිතයෙක් සොයා ගන්නේ කොහොමද?
මම කතාව ලියලා අවසන් වූණ විගසම, එහි පළමු පිටු පනහේ පිටපතක් නියෝජිතයකු වෙත යැවුවා. ඒත්, මට ඔහුගේ කැමැත්ත නම් ලැබුණේ නැහැ. නිවැරැදි ආකාරයට නියෝජිතයකු සම්බන්ධ කර ගන්නේ කෙසේද? යන්න පිළිබඳ තොරතුරු මට ඔහුගෙන් ලැබුණා. ඒ අනුව මං නියෝජිතයකු සොයා ගත්තා. මගේ පළමු නියෝජිතයා , ටැල්බට් ෆෝර්චූන් හි ජෝන් ටැල්බට් මහතායි . සාකච්ඡා වට කිහිපයකින් සහ සංස්කරණ කිහිපයකින් පසු, ඔහු මගේ නියෝජිතයා වීමට එකඟ වුණා.
ප්‍රකාශන ක්‍රියාවලියේදී ඔබට ලැබුණ අත්දැකීම් පිළිබඳ කතා කළොත්?
මම කතුවරියක් වුණාට, ප්‍රකාශන ක්‍රියාවලිය ගැන නම් මට අදහසක් තිබුණේ නැහැ. අපේ පිටපත ලබා දුන් පසු එහි ඇති වැරැදි අඩුපාඩු සකස් කිරීමට ඔවුන් භාවිත කරන ක්‍රියාවලිය ගැන, මම පුදුම වුණා. අපේ නිර්මාණය පරිපූර්ණ වීමට, මේ ක්‍රියාවලිය දැඩි පිටිවහලක් වන බවයි මගේ අදහස.
ඔබට නැවත උත්සාහ කරන්න අවස්ථාවක් දුන්නොත්, ඔබ වෙනස් විධිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
මම, මුල් අවධියේදි ලිවීම ගැන වැඩි තැකීමක් කළේ නැහැ කියන එක, තවමත් හිතන දෙයක්. එහි බරපතළකම ගැන මට අදහසක් තිබුණේ නැහැ. ඉදිරියට, මං ඒ පිළිබඳ වැඩිදුර හිතනවා.
ඔබ, මේ තාක් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ මොනවාද?
A Lack of Temperance, Deceptive Homecoming, A Sense of Entitlement, Anything But Civil, A March to Remember යන ග්‍රන්ථයි.
ඔබ පොත් ලිවීමට අමතරව කරන වෙනත් කාර්යයන් මොනවාද?
ජීව විද්‍යාව සම්බන්ධ විශේෂඥවරියක්, පුස්තකාලවේදිනියක් වගේ ම, තොරතුරු සම්බන්ධ විශේෂඥවරියක් විධිහට මම කටයුතු කරනවා. මගේ ග්‍රන්ථකරණ කටයුතුවලට ඒවා බොහෝ සේ ඉවහල් වෙනවා. මගේ ගෙදරත් පුස්තකාලයක් තිබෙනවා.
නවක කතුවරයන්ට ලබා දෙන්න තිබෙන උපදේශය කුමක්ද?
නොපසුබට උත්සාහයෙන් කටයුතු කරන්න. මම දන්නා වෙනත් කතුවරු සිටිනවා. ඔවුන් මට පෞද්ගලිකව ඒ උපදේශය දී තිබෙනවා. මුලින්ම ඔබේ ප්‍රථම කථාව කෙසේ හෝ ප්‍රකාශයට පත් කර ගන්න. හදවත දුර්වල කර ගන්න එපා.
යශෝදා ඉන්දීවරී