Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අසාර්ථකත්වය සහ ප්‍රතික්ෂේප වීම සාර්ථකත්වයේ දොරටුවයි

$
0
0
ඔක්‌ 10, 2020 01:00

මිනිසුන් තම සිහිනයන් සැබෑ කරගත යුතු නම් එය පසුපස හඹා යා යුතුය. තමා ඉදිරියට එන අසාර්ථක වීම්, බිඳවැටීම්, ප්‍රතික්ෂේප වීම්, වේදනාත්මක කම්පනයන්ගේ පරීක්ෂාවන්ට නොබියව මුහුණදිය යුතු ය. අප ජීවිතයේ යමක් ලුහුබැඳීමට තීරණය කළ විට අප ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කයක දී අසාර්ථකත්වය සහ එයින් ඇති වන බිය සැබවින්ම වැළැක්විය නොහැකිය. එබැවින් ප්‍රවේශයන් දෙකක් ගත හැකිය. එකක් නම් ඔබට අසාර්ථක වීම, බිය බවට පත් කර ඔබේ ඉලක්ක කරා යෑම වළක්වා ගත හැකිය. නැතහොත් අභිප්‍රේරණය සඳහා මෙවලමක් ලෙස එම අසාර්ථකත්වය ප්‍රයෝජනයට ගත හැකිය.

වර්තමාන තරුණ පරපුර අතර දක්නට ලැබෙන සුලබ කරුණක් වන්නේ දෛනික ජීවිතයේ මුහුණ දීමට සිදු වන අපහසුතා හේතුවෙන් ඉක්මනින් බලාපොරොත්තු සුන්කර ගැනීම සහ සෘණාත්මක සිතිවිලි නිසා මානසික ආතතියට පත්වීමයි. ආතතිය හේතුවෙන් දරාගැනීමේ ශක්තිය හීන වී යෑමට පටන් ගන්නා අතර ජීවිතයේ සිහින කරා ළඟා විය හැකි උද්‍යෝගය, සතුට මියගොස් පරාජිත මානසිකත්වයට පත් වී ඒකාකාරී ඇල්මැරුණු ස්වභාවයකට පත් වේ. ජීවිතය නිවැරදි තැනින් අල්ලා ගත යුතු නම් වාර කිහිපයක් වැරදී යා යුතුය. වැරදී යන හැම අවස්ථාවකදීම තමා පිළිබඳ විශ්වාසය අත්නොහැරිය යුතු ය. උත්සහයට ආදරය කළ යුතුය. වේදනාත්මක කම්පන අතරින් ජීවිතයේ නිවැරදි තැනින් අල්ලාගත් මිනිසුන්ගේ ජීවිත කතාන්දර ඇතුළත අපූරුය. මෙයත් එවැනි ධෛර්යය උපදවාගත හැකි කතාවකි.

1972 ඔක්තෝම්බර් මස 17 වන දින ‘මාෂල් බෲස් මැදර්ස්’ නමින් පිරිමි දරුවෙක් උපත ලැබුවේය. ඔහු උපදින විට ඔහුගේ මවගේ වයස අවුරුදු 15කි. ඒ දරුවකු රැකබලා ගැනීමට හෝ නොදන්නා වයසකි. මාෂල්ට මාස තුනක් ගත වන විට ඔහුගේ පියා ඔවුන් දෙදෙනා හැරදමා ගියේය. මාෂල්ට උරුම වී තිබුණේ ඉතා කම්පන සහගත ළමා වියකි.

ජීවත් වීම සඳහා මුදල් උපයාගැනීමට ස්ථිර ‍රැකියාවක් මාෂල්ගේ මවට නොතිබුණේ එකල අවුරුදු 18ට අඩු දරුවන්ට රැකියා කිරීම එරට රජයෙන් තහනම්ව තිබූ හෙයිනි. ඒ හේතුවෙන් ඔහුගේ මව සුළු රැකියා සොයා නිතර නිතර තැනින් තැනට යෑම නිසා ඔහුට පාසල් කිහිපයකම අධ්‍යාපනය හැදෑරීමට සිදු විය. එමනිසා බොහෝ හිරිහැරවලට මුහුණපෑමට සිදු වූ අතර මෙම සංචාරක ජීවිතය හේතුවෙන් ඔහුගේ පෞරුෂත්වයට විශාල බලපෑමක් ඇති විය.

මන්ද ඔහුට කිසිදු සමීප මිතුරකු ඇති කර ගැනීමට නොහැකි වූ අතර සෑම නව පාසලකම ඔහු නෙරපා හරින ලද අයකු ලෙස සැලකීය.

මාෂල් ඉතා කෙසඟ ශරීරයක් දැරූ දරුවෙකු වූ නිසා ඔහුට සම වයස් කල්ලිවලින් නිතර මානසික සහ ශාරීරික හිංසා සිදු විය. දිනක් ඔහු මුහුණ පෑ ගැටුමක් හේතුවෙන් දින 08ක් කෝමා තත්වයකද පසුවිය. ඔහුගේ මව මත් පෙති සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් මවගෙන්ද ඔහුට මානසික සහ ශාරීරික අතවර සිදු වූූ අතර සුන්දර ළමා වියක් නොදුටු ඔහු නවය ශ්‍රෙණිය තුන්වරක් අසමත් විය. වයස අවුරුදු 17 වන විට ඔහු පාසල් දිවිය අතහැර දැමීය.

තරුණ වියට පැමිණි මාෂල් ප්‍රිය කළ එකම දෙය ඉංග්‍රීසි භාෂාව සහ හිප්-හොප් සංගීතයයි. ඔහු නිතරම ශබ්ද කෝෂයක් තමා ළඟ තබාගෙන ලැබෙන සෑම අවස්ථවකදීම වචන හැසිරවීමට තනිව පුහුණු විය. හිප්-හොප් සංගීතය එකල කළු ජාතික ඇමරිකානුවන්ගේ කලා ආකෘතියක් ලෙස ප්‍රකට වූ හෙයින් ඔහුට මුලදී බොහෝ විවේචන වලට මුහුණ දීමට සිදු විය. ඔහුගේ සුදු පැහැති සම සහ නිල් පැහැති ඇස් නිසා ඔහුව රැප් කර්මාන්තයට මුළුමුනින්ම නොගැළපෙන සේ දිස් විය. දිනක් සමාජ ශාලාවක පැවති රැප් තරගයක් සඳහා ඉදිරිපත් වීමට ගිය ඔහු වේදිකාව මතදී තමා ඉදිරියෙන් බලා සිටි ප්‍රේක්ෂකයන්ට බිය වී ඔහුට තම දක්ෂතා ඉදිරිපත් කිරීමට නොහැකි විය. එදින ප්‍රේක්ෂකයන් ඔහුට ඔවුන් සතු දේවලින් දමා ගසන්නට වූයෙන් ලැජ්ජාවෙන් වේදිකාවෙන් බැස යෑමට මාෂල්ට සිදු විය.

මේ සියලු කරදර සමඟ මෙම කාලය තුළ ඔහු රැප් තරග සදහා සහභාගී වූ අතර තමා ආදරයෙන් බැඳුණු යුවතිය සමඟ වෙනම ජීවත් විය. තම පවුල නඩත්තු කිරීම සඳහා පිඟන් සේදීම වැනි සියලුම රැකියා කිරීමට ද මාෂල්ට සිදු විය.

1995 වසරේදී ඔහුට දියණියක සිටි අතර 1996 දී ඔහු ඔහුගේ ප්‍රථම ඇල්බමය නිකුත් කළේය. එම ඇල්බමය නිකුත් කල ආයතනය මුලදී එය භාරගැනීමට අකමැති වුවද ඇල්බමය ජනප්‍රිය නොවුනහොත් තමා වන්දි ගෙවන බව මාෂල් පොරොන්දු වූ බැවින් නිශ්පාදන ආයතනය එ් සඳහා කැමති විය.

අවාසනාවකට මාෂල්ගේ ජීවිතය නැවතත් බිඳ දමමින් ඇල්බමය සම්පූර්ණයෙන් අසාර්ථක විය. එය ඔහුගේ ණය බර වැඩි කළ අතර ඔහු අධික ලෙස මත් පෙති සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට ද හේතු විය. මේ අතර කාලය තුළ මාෂල්ගේ බිරිඳ ඔහු හැර ගිය අතර ඔහු සියදිවි නසා ගැනීමට පවා තැත් කළේය.

වසරකට පසු ඔහු ලොස් ඇන්ජලීස්හිදී රැප් තරග සඳහා ඉදිරිපත් වූ අතර 1997 දී රැප් ඔලිම්පික් සටනේ අනුශූරයා විය. එය ඔහුව ජනප්‍රිය චරිතයක් බවට පරිවර්තනය කිරීමට හේතුවක් විය. 1999 දී ඔහු දෙවන ඇල්බමය නිකුත් කළ අතර එය ලොව පුරා පිටපත් මිලියන තුනක් අලෙවි වී අති විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය. එහෙත් ඔහුගේ දිවිය එතැනින් නතරවූයේ නැත.

කරදරකාරී ළමා වියේ සිටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ආක්‍රමණශීලී යෞවනයකු වූ ඔහු ඔහුගේ සාර්ථකත්වයෙන් හා අධිෂ්ඨානයෙන් බොහෝ දෙනෙකුට ආස්වාදයක් ලබා දීමට සමත් වී තිබේ. ඔහු කිසි විටෙකත් තම අදහස් ප්‍රකාශ කිරීමට බිය නොවූ අතර ඔහුට වැරදි යැයි සිතන සියලු දේ ඔහු විවේචනය කරයි. ඔහු දැනටමත් ඔහුගේ දක්ෂතාවන් හා නොසැලෙන ධෛර්යයකින් පුරාවෘත්තයක තත්ත්වයට පැමිණ ඇත. වර්තමානයේ ඔහුගේ ආදායමේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 190 කට ආසන්නය. මාෂල් බෲස් මැදර්ස් ‘එමිනම්’ වූ යේ එසේ ය. වර්තමාන තරුණ පරපුර අතර එමිනම්ව හඳුන්වන්නෙ ‘Rap God’ ලෙසිනි. ඒ තම දිවියේ දරාගැනීමේ ප්‍රමාණයට ඔහු ලද ප්‍රශංසාවයි.

ඔබ ඇත්තේ ජීවිතයේ පියවරක් හෝ ඉදිරියට තබා ගත නොහැකි බිඳුණු මානසිකතවයක නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ මානසිකත්වය වෙනස් කරගැනීමයි. අතීතයේ වේදනාවන් හේතුවෙන් අතීතයට පැමිණිලි කරනවා වෙනුවට එය පිළිගන්න. අතීතය සිදුවී අවසානය. වෙනස් කළ නොහැකිය. නමුත් වර්තමානය වෙනස් කළ හැකිය. ශ්‍රේෂ්ඨත්වයට පැමිණි සෑම මිනිසකුගේම අතීතය වේදනාවෙන් පුපුරා ගිය කඩතොලු වලින් පිරුණු තැනකි. වෙනස වන්නේ ඔවුන් එම කඩතොළු මතින් අලුත් ලෝකයකට මාවතක් තනා ගැනීම පමණි. මිනිසකුට තමා ජීවිතයේ ළඟා විය හැකි දේට සීමාවන් නැත. තමාට සීමාවන් දමා ගැනීම නැවැත්වූ පුද්ගලයා තමාගේ ඇතුළත ඇති බලය සොයා ගැනීම නියතයකි. ගෙවීගිය ජීවිතයේ තමාව පහළට ඇද දමන සියළු අසාර්ථක අත්දැකීම් තුළින් ඉගෙන ගන්න. සාර්ථකත්වයේ දොරටු හැර ගත හැකි යතුර එයයි.

 හංසි පෙරේරා


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>