Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කාබන් ඔර­ලෝ­සුවේ කාලය ගෙවී යයි

$
0
0
ඔක්‌ 12, 2020 01:00

දිගින් දිගටම පරිසරය පිළිබඳ කතා කිරීම, පරිසර විනාශය ගැන කතා කිරීම නීරස වුවත්, අපට ජීවත් වන්නට තවත් ශතකයකටත් වඩා කාලයක් ඉතිරිව ඇත්තේ මේ මිහිතලය පමණි. වෙනත් ග්‍රහලෝකයක ජීවත් වීම සමහර විට ඉතා ඈතක සැබෑ වන සිහිනයක් වුවත්, අප වැනි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක ජනතාවට එය සැබෑ නොවන සිහිනයකි.

අප මිහිතලයට මේ ව්‍යසනය සිදු වන්නට පටන් ගත්තේ පළමු කාර්මික විප්ලවයට සමගාමීව ෆොසිල ඉන්ධන සොයා ගැනීම සහ යන්ත්‍ර සූත්‍ර භාවිතය ඇරඹීමත් සමඟය. ඉවක් බවක් නැතිව භාවිත වූ ෆොසිල ඉන්ධන නිසා වායුගෝලයට සියවස් එකහමාරක් තිස්සේ එකතු වූ අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා මිහිතලය සහ වායුගෝලය ශීඝ්‍රයෙන් උණුසුම් වන්නට විය. පළමු කාර්මික විප්ලවයට පෙර, එනම් වසර 1750 සිට, ගත වූ කාලය තුළ පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.57කින් ඉහළ ගොස් ඇති බව ගණන් බලා තිබේ. මේ නිසා ග්ලැසියර, අයිස් කඳු ගිගා ටොන් 250 ක් පමණ වසරකට ලොවට අහිමි වන අතර ඒ හා සමගාමීව මුහුදු මට්ටම අඟල් 5-8 ක ප්‍රමාණයක් ඉහළ ගොස් ඇත.

 

මිහිතල උණුසුම

මේ පසුගිය වසර 150ක් පමණ කාලයක් තුළ සංවර්ධනය සහ මානව දියුණුවේ නාමයෙන් අපට ජීවත් වන්නට ඇති එකම ස්ථානයට මිනිසා විසින් කරන ලද විනාශයේ තරමයි. මේ විනාශය කෙතරම් කලක් අපට කරගෙන යා හැකිද? කෙතරම් කාලයක් අපට මිහිතලය ලබා දෙයිද යන ප්‍රශ්න බොහෝ දෙනකුගේ මනසේ හොල්මන් කරන බව අප දනී. කිසියම් හෝ ස්වාභාවික ව්‍යසනයක් සිදු වූ විට එය මිනිසා විසින් පරිසරයට කරනු ලබන විනාශය හිලව් කිරීමක් ලෙස සඳහන් වන අවස්ථා ඕනෑ තරම් අප දැක ඇත.

මේ පැනයට පිළිතුරු සැපයීම සරල කාරණාවක් නොවේ. මිහිතලය සමස්තයක් වශයෙන් ගත් කල, විවිධාකාර පරිසර පද්ධති මිලියන ගණනාවක එකතුවකි. මේ මිහිතල උණුසුම් වීම නිසා හිමාලය වැනි කඳු පන්ති ආශ්‍රිත අයිස් කඳු අඩි ගණනාවක් වර්ධනය වන අතර උත්තර සහ දක්ෂිණ ධ්‍රැව ශීඝ්‍ර දියවීමකට ද ලක් වී සමහර විට අප රට තරම් වූ අයිස් තල ඉන් ගැලවී දියවීමට ලක් වනු අපට දැකිය හැක. මේ සියල්ල ගණනය කර බැලූ විට, අප ලෝකයේ නැවත හැරවිය නොහැකි පරිසර හානියක් සිදු වීමට නම් තවත් සෙල්සියස් අංශක දෙකක් මිහිතලයේ සාමාන්‍ය උණුසුම ඉහළ යා යුතු බවට විද්‍යා‍ඥයන් ගණන් බලා තිබේ. ඒ අනුව 2015 පැරිස් දේශගුණ සම්මුතිය හරහා, මිහිතලයේ රත් වීම මේ සියවස තුළ සෙල්සියස් අංශක 2.0ක උපරිමයකට සීමා කළ යුතු බවට සියලු රටවල් විසින් එකඟතාවයකට පැමිණ තිබේ. එහෙත් ඒ සීමාවට යා නොදී පවත්වා ගැනීමට එහි උපරිම සීමාව ලෙස සෙල්සියස් අංශක 1.5 ක් ලෙස පවත්වා ගැනීමට විද්‍යාඥයන් අනතුරු හඟවා ඇත. එසේම මිහිතලය තවත් අංශක 1.5 කින් රත් වීමට අප විසින් සහ ස්වාභාවික පරිසරය විසින් දහනය කළ යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය විද්‍යාඥයන් විසින් ගණන් බලා අවසන්. එය කාබන් ගිගාටොන් 1170 ක්, එනම් කාබන් ටොන් බිලියන 1170කි. මුළු ලොවටම එය ලබා දී ඇති සීමාව එපමණය.

 

පළමු රැල්ල

කොවිඩ් -19 පළමු රැල්ල කාලයේ චීනයේ සහ ඉන්දියාවේ කර්මාන්තශාලාවල කටයුතු අඩාළ වීමක් දක්නට ලැබීම නිසා පරිසරයට එකතු වන කාබන් ප්‍රමාණයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණි. ඒ අනුව ඉන්දියාවේ හිමාල කඳු පන්තිය පවා අසල නගරවලට දර්ශනය වීම දක්නට ලැබුණු අතර එය පරිසරය නැවත නිර්මාණය වීමක් ලෙස අපූර්වත්වයෙන් හඳුන්වන්නට ද යෙදුණි. නමුත්, සියල්ල නැවත යථා තත්ත්වයට පත් වෙද්දී, අහිමි වූ කාලය සහ නිෂ්පාදන හිලව් කරන්නට වැඩි වැඩියෙන් නිෂ්පාදන කටයුතු ඇ‍රැඹිමත් සමඟම නැවතත් අප පැ‍රැණි විෂම චක්‍රයට ඇතුළු වී තිබේ. ඒ අනුව පෙරටත් වඩා වැඩි කාබන් ප්‍රමාණයක් දහනය කරමින් පරිසරයට එකතු කරමින් සිටිති.

මෙම තත්ත්වය දැන් පවතින ආකාරයට පවත්වාගෙන ගිය හොත් දිනකට ලොව පුරා දහනය කළ හැකි කාබන් ප්‍රමාණය විද්‍යාඥයන් විසින් ගණන් බලා, එය ඉතිරිව ඇති කාබන් ගිගා ටොන් 1170 බෙදූ විට අපට තවත් ඇත්තේ අවුරුදු 25 කුත් මාසයක් පමණයි. නමුත් අවාසනාවකට දිනෙන් දින වැඩි වන ජනගහනය සහ ඔවුන්ගේ අවශ්‍යතා පිරිමැසීමට අවශ්‍ය බලශක්තිය, ප්‍රවාහන පහසුකම්, ආහාර, ඇඳුම් පැලඳුම් ආදිය සඳහා මෙසේ වැඩි වැඩියෙන් කාබන් දහනය සිදු කරන විට මේ අවුරුදු 25 නිතැතින්ම අවුරුදු 15ක් හෝ ඊටත් වඩා අඩු විය හැකිය. එසේ නම් අපට ලෝකය නැවතත් විනාශයෙන් ආපස්සට හැරවීමට වැඩි කාලයක් ඉතිරිව නැත.

 

වන ගහණය

අවාසනාවකට අප දැනටමත් නොකළ යුතු දෑ රැසක් කරමින් පවතී. සාමාන්‍යයෙන් අප සතුව වන ගහනය අවම වශයෙන් 25%ක් වත් තිබිය යුතු නමුත්, අප දැනටමත් ඒ සීමාව පසු කර වනාන්තර එළිපෙහෙළි කිරීම සිදු කර තිබේ. එසේම ඝර්ම කලාපීය රටක් වශයෙන් වැඩි වැඩියෙන් සූර්ය බලශක්තිය භාවිත කළ යුතු වුවත් අප තවමත් ඩීසල් සහ ගල් අඟුරු බලාගාර මත යැපෙමින් කටයුතු කරනවා. එසේම ප්‍රතිචක්‍රීකරණය අතින් අප තවමත් 10%ක් වත් ප්‍රතිචක්‍රීකරණයක් සිදු නොකරයි.

මෙවැනි පරිසරයට එතරම් හිතකර නොවන ක්‍රියා සිදු කිරීම මඟින් රටක් ලෙස අපි මේ මිහිතලය උණුසුම් වීමට විශාල දායකත්වයක් දක්වන්නෙමු. එහෙත් ඒකක පුද්ගලයින් ලෙස අපට කළ හැකි දායකත්වය දක්වන්නේ නම්, ජාතියක් ලෙස මිලියන 21.8ක පුද්ගල දායකත්‍වයක් දැක්විය හැකිය. කවුරු මොනවා කළත්, තනි තනිව හෝ අප අපේ දරුවන්ගේ අනාගත ලෝකය මිය යා නොදී පවත්වා ගැනීමට දැන් දැන් ම කටයුතු කරමු.

 ආචාර්ය පියල් ආරියනන්ද


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>