Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මඩුවන්ගේ පියාසැරිය

$
0
0
ඔක්‌ 12, 2020 01:00

වැස්ස සුළඟත් එක්ක පෙරළීගෙන ඇවිත් වාහනේ වීදුරු තෙමාගෙන යන්න පටන් ගන්නකොට කැට් හිටියේ එයාගේ දුව එක්ක වීඩියෝ කෝල් එකක. අවුරුදු පහක ගෑනු ළමයා කඳුළු පුරෝගෙන අඬනවා, ඉස්කෝලේ යන්න බෑලු, උදේට සීරියල් කන්න බෑලු. "තාත්තා කියන දේ අහන්න. ඔයා ඉස්කෝලේ ගියොත් ඔයාට ග්‍රීෂ්ම නිවාඩුව හම්බෙනවා. එතකොට අපි හවායි යනවා. එහෙම හොඳ නැද්ද?"කැට් කිව්වා. "තාත්තා මෝඩයෙක්,"උත්තරේ එච්චරයි. කැට් ට හිනා ගියා.

වැඩිවෙලා කෝල් එකේ ඉන්න පුළුවන් වුණේ නෑ, වැස්ස නිසා හරි දුර නිසා හරි දුරකතන සංඥාවල අඩුවක් නිසා හරි තව දුරටත් සංවාදය කරගෙන යන්න බෑ. කැට් හිතේ බරක් එක්ක දුරකතනය ආපසු බෑගයට දැම්මා. තමා දැන් සිටිය යුත්තේ දියණිය සමඟ නේද?

වාහනය ගමනාන්තයට ළඟා වෙනකොට බාහිර ලෝකය ගොම්මන් අඳුරෙන් පිරෙන්න පටන් අරගෙන. දේවා වාහනේ දොර ඇරලා ගේට්ටුවක් තල්ලු කරල ඇරියා. වතුර ගස ගස වාහනේට ගොඩ වුණා. වාහනේ බොරලු පාර දිගේ වැහි දියට නටන සූරියකාන්ත උද්‍යානයක් මැදින් ඉදිරියට ගිහින් පරණ, ප්‍රෞඩ විනාශයක සාක්ෂි දරන දෙමහල් නිවාසයේ පෝටිකෝව යට නතර වුණා. දේවා වාහනෙන් බැහැලා දොර ළඟට ගියා. ඔහුගේ පුහුණු ඇස් බිම රබර් පාපිස්ස, දොරේ පහළ දාරය අසළ බිම දුහුවිලි සහ වැලි කැට, දොර බෝලය ආදි හැම දෙයක් ම ග්‍රහණය කර ගත්තා. මේ ගෙදර නම් කවුරුත් නැති වෙන්න බෑ, ඔහුට විශ්වාසයි. ඒත් දොර අගුලු දාලා. වැඩි බලාපොරොත්තුවකින් තොරව උනත් ඔහු දොරට තට්ටු කළා. හතරවැනි වාරයේ ඔහු දොරට විතරක් නෙවෙයි ජනේලෙටත් මහ හඬින් පහර දුන්නා. පිළිතුරක් නෑ. ඔහු කල්පනා කළා. තීරණ ගත යුත්තේ ඔහුයි, සුදු ගැහැනිය, වෛද්‍යවරිය හෝ රියැදුරා නොවෙයි.

දේවාට අගුළු ගැලවීමේ උපකරණ කට්ටලයෙන් දොර විවර කරන්න විනාඩි පහක්වත් ගියෙ නෑ. ඒ වෙනකොට රූපට් ජයසිංහගේ ගෙදර පාළුවට ගිහින් තිබුණා, අවම තරමේ පොළෝ මට්ටමින් උඩ හෝ.

සුචරිත ඉහේ ඉඳන් කපු රෙද්දක් පොරවගෙන තවත් කෝපි කෝප්පයක් ළඟට ඇදල ගත්තා. භූ තල ආකෘතිය සහ චලනය පිළිබඳ මොඩලයන්ට පුරෝකථනය කළ නොහැකි ලොව පුරා රැල්ලක් මෙන් සිදු වූ භූමිකම්පා. ඒක පළවෙනි කාරණය. සුචරිත සටහන් පොතේ පිටු අතර එක එක පැත්තට කටු ගාලා තිබුණ සටහන් කියෙව්වා. භූ පැළුම්; ඒත් එවන් කුඩා භූමිකම්පා සහ පැලුම් අතර සහසම්බන්ධයක් තිබිය හැකිද? නැත. විද්‍යාව අමතක කළොත් ඇති එකම තාර්කික පැහැදිලි කිරීම; භූ විද්‍යාත්මක නොවන සංසිද්ධියකින් පැළුම් ඇතිවෙනවා, පැළුම් ඇතිවීමේ ක්‍රියාවලිය භූ කම්පන ලෙස දැනෙනවා. හරි, ඒ පැළුම්වලින් මඩුවො නිදහස් වෙනවා. සුචරිත ඔළුවෙ අත ගහගෙන කල්පනා කළා, මේක නම් කාගේ හරි විහිළුවක්. නැත්නම් දෙවි කෙනෙක් ඉන්නවා, එයාට හදිසියේම එහෙම කෙනෙක් ඉන්නව කියල පෙන්නන්න ඕනෙ වෙලා තියෙනවා.

සුචරිත පොරෝනය ඇඟේ ඔතාගෙන බැල්කනිය දිහාට ගියා. ගුවන් හමුදා කඳවුර කානිවල් බිමක් වගේ. පාට-පාට විදුලි බල්බ රාත්‍රියට බොහොම සුන්දර විදියට තර්ජනය කර කර හිටියා. ඉඳහිට ඒවා චලනය වන ගුවන් යානෙක තටු උඩ නැගල විනෝද චාරිකා ගියා.

සීතල! සුචරිත කල්පනා කළා. තව මඩුවො සියයක් දෙසීයක් කඳවුර ඇතුළට අරගෙන ඇවිත් ඇති. ඒකයි මේ අසාමාන්‍ය සීතල. මඩුවො විනාශ කරන්න බෑ, මොකද උන් විනාශ කරන්න යොදවන ශක්තියෙන් සිරුරේ ප්‍රමාණය වර්ධනය කරගන්නවා. සිරුරේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්න වැඩි වෙන්න තාප අවශෝෂණය ඝාතීය වර්ධනයක් දක්වනවා. මේ සියල්ලේ අවසානය කුමක්ද? මහාචාර්යවරයා හිතුවා. හෙට උදේම ගෙදර යන්න ඕනේ. අන්තිමට ඔහු ඔහුටම කියාගත්තා. සමහර විට මේ දවස් ගත වීමේ අවසානය වෙන්න පුළුවන්. එන්නට තිබෙන දවස් ප්‍රමාණය සීමාසහිත නම් ඒ ස්වල්පය බිරිය සමඟ ගත කරන්නට ඔහු සූදානම්. 'හෙට මම ගෙදර යනවා'ඔහු රාත්‍රියට ඇහෙන්න කිව්වා.

***** ***** ***** *****

යූ.එස්.එස්. බැරැක් ඔබාමා ගුවන් යානා ප්‍රවාහකය ඩිස්ට්‍රෝයර් දෙකක් සහ සබ්මැරීනයක් සමඟ ඉන්දීය සාගරය දිගේ යුරෝපය දෙසට යන්න පටන් ගත්ත හේතුව කුමක් වුවත් ඒක ඵල රහිත ව්‍යායාමයක් වෙන්න ගියේ දවස් තුනයි. දැවැන්ත මඩුවෙක් තවත් කුඩා පරිවාර මඩුවන් කිහිප දෙනකු එක්ක උතුරු දිගින් පාවෙලා එන හැටි මුලින්ම අහු වුණේ රේඩාර්වලට. ඒ වෙලේම ප්‍රහාරක යානාවලින් අඩක් අහසට නැගුණා. වලාකුළු අතරින් පිහිනා යන මඩුවා මිසයිල සහ වෙඩි උණ්ඩවලින් පුරවා දැම්මා. අහස කළු දුමින් වැහිලා ගියා. වැඩි වෙලාවක් යන්න කලින් දුම මැදින් කිමිදීගෙන පහළට ලිස්සා ආවේ මඩුවා. සන්සුන් ගමනකින්, මායාකාරී 'හ්ම්ම්'හඬක් පතුරුවමින් ආදරණීය හාදුවක් දෙනවා වගේ යාත්‍රාංගණය බදාගෙන වැතිරුණා.

නාවිකයන්ගේ අන්තිම උත්සාහය වුණේ මඩුවගේ වලිගයට ශක්තිමත් යොත් දෙකක් ගැටගහල ඒක ඩිස්ට්‍රෝයර් දෙකට සවි කරලා මඩුවා ප්‍රවාහකයෙන් ගලවා ඉවත් කරන්න. ඒත් මඩුවා දශමයක්වත් ලිස්සා ගියෙ නෑ. ඌ සැනසිල්ලේ වැතිරී හිටියා.

රාත්‍රිය වෙද්දි ප්‍රවාහකය පුරා හිම මිදෙන්න ගත්තා. ප්‍රවාහකයේ සෙබළුන් ඩිස්ට්‍රෝයර් දෙකට නංවාගන්නත් ප්‍රවාහකය අතහැර දාන්නත් ඉහළින් පණිවිඩය ලැබුණා.

තුන්වැනි දවස වෙනකොට ශීතලට සහ මිදුණ ජලයේ පීඩනයට ප්‍රවාහකයේ අභ්‍යන්තරය විකෘති වෙන්න පටන් ගත්තා.

න්‍යෂ්ටික බල ගන්වනයේ පාලන යන්ත්‍රණය බිඳ වැටෙන්න ඇති, රාත්‍රිය දහවල වගේ එළිය කළ දැවැන්ත පිපිරීමක් එක්ක ප්‍රවාහකයත් මඩුවාත් ජලයේ ගිලී ගියා. හතරවන දව‍ෙස උදෑසන හිරු එළියට පුපුරු හලන පෙණ සහ ජලය වගුරාගෙන අහසට ලිස්සා ගියේ මඩුවා. ඌ උතුරු දිහා බලාගෙන අහසේ පා වෙලා ගියා. පරිවාර මඩුවන් නැතුව, තනියම. මායාකාරී හ්ම්ම් හඬ!

දින දෙකකට පසුව බටහිර දෙසින් නැගුණු කළු පාට ඡායාව උණුසුම් දීප්තිමත් දවස මැදින් කිමිදී ඇවිත් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලුනක ඇලිල නතර වුණා. කම්මැළිකමට වල්ගය යාන්තම් දිගෑරල වීදුරු දැඩි චූෂණයෙන් අල්ලගෙන නිශ්චල වුණා.

මතු සම්බන්ධයි

විද්‍යා ප්‍රබන්ධ දිගු කාලයකට ප්‍රබන්ධ ලෙසම පමණක් නොපවතී.

- වින්ටන් සර්ෆ්


Viewing all articles
Browse latest Browse all 10762

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>