Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කොව්ඩ් සමඟ දෙවැනි සටන නොසැලකිලිමත් වුණොත් පරාදයි

$
0
0
ඔක්‌ 15, 2020 01:00

මේ වන විට සෞඛ්‍ය අංශ මඟින් තහවුරු කරගෙන ඇති තොරතුරු අනුව, කිසිදු පුද්ගලයකු ආශ්‍රිතයකු නොමැතිව කෙරෝනා ආසාදනයට ලක්වී නැත. එමෙන්ම, බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වුණු රෝගීන් වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනමුත්, ඉන් පරිබාහිර ප්‍රදේශවලට අවදානමක් නොමැති බවට මින් අදහස් නොකෙරේ. ගෙවෙන සතියේ මේ තත්ත්වය වෙනස් වීමට බැරිකමක් නැත.

මුළු ලෝකයම කොවිඩ් 19 වසංගතය හමුවේ දණ නමා ඇති මොහොතක, කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කළ රටවල් අතරින් ශ්‍රි ලංකාව දෙවැනි ස්ථානයට පත් වීමට හේතු කාරණා ගණනාවක් බලපා තිබේ. ඒ අතරින් වඩාත් වැදගත්ම කාරණය වන්නේ, වසංගතය මැඬපැවැත්වීම සඳහා ගන්නා ලද සියලු තීන්දු තිරණ ගනු ලැබුයේ, සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස්වලට යටත්ව වීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය රටට බලපාන තීරණ ගැනිමේදී සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අවනතව කටයුතු කිරීමම, අන් කිසිදු ජාතියක් මේ ව්‍යසනය හමුවේ ක්‍රියා නොකළ ආකාරයට අප ක්‍රියා කළ බව පෙන්විමට ඇති හොඳම සාක්ෂ්‍යයයි.

රටේ ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දෙමින්, එය සුවිශේෂ වගකීමක් සේ සලකමින් රජය කටයුතු කළ අතර, ඉදිරියේදීත් එලෙසම කටයුතු කෙරේ.

මේ වන විට බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මතුවුණු කෙරෝනා ආසාධිතයා සමඟ, වයිරසය වැලඳුණු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනාගෙන පී.සී.ආර් පරික්ෂණවලට භාජනය කර ඇත. එසේම, බ්‍රැන්ඩික්ස් සාමාජිකයන් සියලු දෙනාත්, ඔවුන්ගේ සමීපතමයන් සියලු දෙනාත් මේ වන විට රෝහල්ගත කර හෝ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර හෝ ඇත. එහෙත්, ඒ මත පිහිටා තත්ත්වය මුළුමනින්ම පාලනය කර ඇති බව අදහස් නොවන අතර, රටේ විවිධ ප්‍රදේශවලින් බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මතුවූ අසාධිතයන් හමුවීම නිසා, ඉදිරි දින කිහිපය තුළ වයිරසයේ හැසිරීම සහ රෝගීන් වාර්තා වීම මත සියයට සියයක්ම තත්ත්වය අප අතට ගැනීමට ඇති හැකියාව තීරණය කරනු ඇත.

මේ වන විට සෞඛ්‍ය අංශ මඟින් තහවුරු කරගෙන ඇති තොරතුරු අනුව, කිසිදු පුද්ගලයෙක් ආශ්‍රිතයකු නොමැතිව කෙරෝනා ආසාදනයට ලක් වී නැත. එමෙන්ම, බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වුණු රෝගීන් වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනමුත්, ඉන් පරිබාහිර ප්‍රදේශවලට අවදානමක් නොමැති බවට මින් අදහස් නොකරයි. ගෙවෙන සතිය තුළ තත්ත්වය වෙනස් වීමට බැරිකමක් නැත. මේ නිසා අවදානමට පෙර සුදානමට මුල් තැන දෙමින්, සියලු දෙනාම වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සිහි තබා ගත යුතුය.

අවදානම් කලාප

කොවීඩ් 19 ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින නිසා, බොහෝ පිරිසක් එකට එකතු වන, ගැටෙන ස්ථාන අවදානම් කලාප බවට පත්ව තිබේ. කර්මාන්ත ශාලා, එසේම, සමූහයක් නවාතැන් ගන්නා නේවාසිකාගාර මේ අතර ප්‍රධාන වෙයි. එවැනි තැන්වලට විවෘත වුණු පිරිස් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.

කොවිඩ් 19 වසංගතය මුළුමනින්ම ලෝකයෙන් තුරන් වීමට තවත් කාලයක් ගතවනු ඇත. මේ නිසා, ඉදිරියටත් අප කටයුතු කළ යුත්තේ කොවීඩ් 19 සමඟ බවට සෞඛ්‍ය අංශ විටින් විට සිහි කැඳවා තිබේ. කෙසේ වෙතත්, මාර්තු මස11 වැනි දින පළමු වන රෝගියා මෙරටින් වාර්තා වීමෙන් පසු අවස්ථා 33කදී පමණ මතුවූ සිදුවීම් සාර්ථකව පාලනය කර, දිගු නිහැඬියාවක් ගත කළ එකම රට ද අපේ රටයි. මෙය එක් අතකින් අපේ ජනතාවගේ කැපවීම සහ සෞඛ්‍ය උපදෙස් කෙරෙහි පවතින අවනත බව පෙන්වන කරුණක් වන නමුත්, එම නිදහසින් යම් අයුතු ප්‍රයෝජනයක් ගත්තේ ද යන ප්‍රශ්නාර්ථය ද පැන නගී. රට යළි විවෘත කිරීමෙන් පසු යම් ප්‍රමාණයකට සෞඛ්‍ය අංශ ලබාදී තිබුණු උපදෙස්වලින් ඈත්ව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත්, කොරෝනා වසංගතය පාලනය කිරීම ජනතාවගේ හැසිරීම මත තීරණය වන කාරණයකි. රජයක් සෞඛ්‍ය විධි විධාන පනවමින් කොපමණ කටයුතු කළත්, තමන් කොවිඩ් ආසාදිතයකු නොවී සහ කොවිඩ් පතුරවන්නකු නොවී කටයුතු කරන්නේ යැයි තමන් තුළ පවතින සහතිකය මත, මුළු රටක්, ජාතියක් මේ ව්‍යසනයෙන් බේරා ගැනීමට ඉහහල් වන ප්‍රබලතම සාධකය වනු ඇත.

කෙරෝනා වසංගතය ජය ගැනීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියා මාර්ග බෙහෝය. ඒ අතරින් සුදුසු ම අවස්ථාවේදී සැක සහිත පුද්ගලයන් පී.සී .ආර්. පරික්ෂණවලට යොමු කිරීමට කටයුතු කර තිබේ. එය දිනකට අවම වශයෙන් 5000-7000ක් වැනි ප්‍රමාණයකි. එමෙන්ම කොරෝනා පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත්වීමෙන් පසුව ද සියලුම රෝහල්වලට යොමු කරන රෝගීන්ගෙන් අවම වශයෙන් දිනකට දස දෙනෙක්වත් පි.සී.ආර් සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබීණි. මේ නිසා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියා ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට හැකියාව ලැබිණි. ඒ වගේම, වයිරසයේ හැසිරීම ද මේ වන විට යම් තාක් දුරට තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. මීට පෙර වාර්තා වුණු තත්ත්වයට වඩා එක් ආසාදිතයකුගේ වැඩි වයිරස් ප්‍රමාණයක් අන්තර්ගත බව එම පරීක්ෂණවලදී තහවුරු වී ඇත. එය මෙතෙක් අපේ රටින් හමු නොවූ කොරෝනාවල වෙනත් ප්‍රභේදයක් ලෙස සෞඛ්‍ය අංශ සැක පළ කරන බවත්, මෙය ප්‍රථම වතාවට වඩා ආක්‍රමණශීලිත්වයෙන් වැඩි බවත්, එය පාලනය කිරීම සඳහා අප ද ඊට වඩා ආක්‍රමණශීලිත්වයෙන් කටයුතු කළ යුතු බවත් වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා මෙහිදී අවධාරණය කළේය.

කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවැති මොහොතේ, රජය ඒ සඳහා ගත් පෙර සුදානම ඉතා වැදගත්ය. විශේෂයෙන් වයිරසය ශීඝ්‍රයෙන් පැතීරීමේ අවදානමක් මතු වුවහොත්, රෝගීන් සහ පහසුකම් කළමනාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය පහුසකම් තර කර ගැනීමට ගත් වඩාත් ප්‍රශස්ත වැඩපිළිවෙළ මේ කාර්තව්‍යයේදී මනා පිටුබලයක් වූ බැව්, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අදහසය. විශේෂයෙන් නිරෝධායන මධ්‍යස්ථාන 96ක් පවත්වාගෙන යමින්, විදෙස් රටවලින් පැමිණි 8000ක් පමණ නිරෝධායනය කළ බවත්, ඒ සියලු දෙනාට උපරිම පහසුකම් ලබා දුන් බවත්, රට තුළින් වාර්තා වුණු සියලුම ආසාධිතයන් ජීවිත අවදානමින් ගලවා ගෙන, සෞඛ්‍යාරක්ෂිතව සමාජයට මුදා හැරීමට ක්‍රියා කළ බවත්, ‘කළ නොහැක්කක් නොමැත‘ යන තේමාවේ පිහිටා, කොපමණ අභියෝග මතු වුව ද ඉදිරියටත් කොරොනා මැඬලීමට උපරිම ශක්තිය මුදා හරින බවත් කියා සිටියේය. එමෙන්ම, මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන තවත් 2000ක පමණ පිරිසක් එකවර නිරෝධායනය කිරීමට ද පහසුකම් සුදානම් කර ඇති බව, යුද හමුදා පතිවරයා පැවසුවේය.

කොරෝනා මැඬලීමට රජය ගත් වැදගත්ම ක්‍රියාමාර්ගය, සුදුසු මොහොතේ සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමය. ඒ අනුව, වසංගතය මැඬපැවැත්වීම සඳහා කොරෝනා නීතිවලට අවනත නොවී කටයුතු කරන්නන්ගෙන්, රටේ සෙසු ජනතාවට විය හැකි අවදානම මුලිනුපුටා දැමීම සඳහා කොරෝනා නව නීති මාලාවක් ඉදිරි දින කිහිපයේදී ගැසට් කිරීමට කටයුතු කරන බවත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඒ සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. එනයින් වගකීම් විරහිතව කටයුතු කරමින්, වසංගතය ව්‍යාප්තියට කටයුතු කරන අයකුට මාස 6ක සිරදඬුවමක් ලබා දීම, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට නීති ප්‍රතිපාදන තහවුරු කිරීම , ජනතාව බොහෝ සෙයින් ගැවසෙන ස්ථානවල මීටරයක දුර අනිවාර්ය වීම මෙන්ම, ආයතනයක් පවත්වාගෙන යනවිට, එම ආයතන ප්‍රධානීන් සේවකයන්ගේ සහ සේවාලාභීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම අනිවාර්ය කිරිම වැනි කාරණා පවා නීතිගත කිරීමට එමඟින් බලාපෙරොත්තුවේ. යමෙකුගේ අත්වැරැදීමකින්වත් මේ වයිරසය සමාජ ගතවීම වැළැක්වීම සඳහා ජනතාවගේ උපරිම සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ අරමුණින්ම මේ නීති ඉදිරියේදී රටේ නීති පද්ධතියට එකතු කිරීමට රජය බලාපොරොත්තුවේ.

එමෙන්ම මේ වන විට මුළු රටටම බලපවත්වන ඇඳිරි නීතියක් පනවා නොතිබුණ ද, සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි ලෙස ජනතාව ඒකරාශී විම වැළැක්විම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව බස් රථවල ගමන් කළ හැකි ප්‍රමාණය 50% කට සිමා කිරීම, ආගමික ස්ථානවලට ඒකරාශී වීම 50%කට සීමා කිරීම, සිනමා ශාලා, කානිවල් තහනම් කිරිම, මත් පැන් අලෙවිසැල් විවෘත කිරීම සියයට 50ක් සීමා කිරීම, හෝටල්, ලැගුම්හල් විවෘත කිරීම සියයට 50කට සීමා කිරීම වැනි අත්‍යවශ්‍ය යැයි හැඟෙන ස්ථානවලට සියලු ආරක්ෂක විධිවිධාන තර කර ඇති අතර, රෝගය තව දුරටත් පැතිරෙන්නේ නම්, එය ජනතාව වගකීම් විරහිතව කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න මත තීරණය වේ.

දැවැන්ත වයිරසයක් මිනිස් ජීවිත බිලි ගැනීම සඳහා හඹා එන මොහොතක, ජනතාව නිරන්තරයෙන් අවදියෙන් සිටීම අත්‍යවශ්‍යයය. ඒ සඳහා රජය දෙන උපදෙස් පිළිපදමින්, ඊට අවනතව කටයුතු කිරිම අත්‍යවශ්‍ය බව අවාධාරණය කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතිඥ අජිත් රෝහණ මහතායි. එහිදී හෙතෙම කියා සිටියේ, කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතිය රජය සහ ආරක්ෂක අංශය උපරිමයෙන් තහවුරු කර ඇති බවයි. මේ වන විට ලොව පුරා ලක්ෂ 11කගේ ජීවිත අහිමි වෙද්දී, අපේ රටේ මරණ අනුපාතය සියයට 0.3ක් බවට පත්ව ඇත්තේ ජනතාව කොවිඩ් පාලනයට ලබා දුන් අප්‍රතිහත සහාය නිසාය. බ්‍රැන්ඩික්ස් පොකුර ලංකාවේ කොරෝනා 33 වැනි පොකුර වන අතර, එම පොකුර ද සාර්ථකව නිවා දැමීමට ජනතාවගේ සහාය අවශ්‍ය බවත්, ජනතාව කුපිත කරමින්, සමාජ මාධ්‍ය හරහා ජනතාව නොමඟ යවමින් කටයුතු කර මේ ගමන ආපස්සට හැරවීමට කටයුතු නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අභියෝගය ජය ගැනීම

මේ වන විට අපො.ස උසස් පෙළ විභාගය ආරම්භවී ඇති අතර, දරුණු වයිරසයක් පැතිර යමින් පවතින මොහොතක, දරුවන්ගේ අනාගතය අපස්සට ඇද දැමීමට ඉඩ නොදී, උපරිම සෞඛ්‍ය ආරක්ෂාවක් සලසමින් ඒ සඳහා කටයුතු කරන ලෙස රජය විභාග දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම්දී තිබේ. විශේෂයෙන් විභාගයට වාඩි වන තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මව්පියන්ට බරපතළ වගකීමක් පැවරෙන බවත්, යමක් තේරුම් ගැනීමේ වයස් සීමාවක පසුවන මේ දරුවන්ට, ස්වභාව ධර්මයෙන් ලබාදී ඇති මේ අභියෝගයට මුහුණදීමට උපරිම ශක්තිය සහ බුද්ධිමත්භාවය ඇති බවත්, මුඛ ආවරණ පැලඳීම, මීටරයක දුර තබා ගැනීම, පොදු ප්‍රවාහන භාවිතයේදී සහ විභාග ශාලාවේදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම , හැකි සැම අවස්ථාවකම අත් සේදීම ආදිය මඟින්, වයිරසය පැතිරිම සියයට සියයක් පාලනය කළ හැකි බවත් මේ විද්වත් හමුවේදී අවාධාරණය කෙරිණි.

කොවිඩ් පාලනය සඳහා දැනට ලොව තහවුරු කර ගත් ඵලදායිතම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය සමාජ දුරස්ථභාවයයි. ඊට යටත්ව කටයුතු කිරීමෙන් මේ වයිරසය කෙනකුගෙන් තවත් කෙනකුට සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙයි. එමෙන්ම, අනවශ්‍ය ලෙස ගමන් බිමන් යාමෙන් වැළකී, මේ මොහොතේ ද ජනතාව සෞඛ්‍ය අංශවලට සහය දක්වන්නේ නම්, පවතින තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය කර ගැත හැකි බව මේ සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. එමෙන්ම ලෝකයේ දරුණු වසංගතයක් පැතිර යන මොහොතක ඇතැම් රටවලින් අසන්නට, දකින්නට ලැබුණු ජනතා ප්‍රතිචාර දෙස බලන විට, ඉතාමත් විනීතව, වගකීම්සහගතව සහ සාමුහිකව කටයුතු කර, මුළු ලෝකයටම ආදර්ශයක්දී තිබෙන එකම රට ශ්‍රී ලංකාව බව අසත්‍යක් නොවේ. ඒ ගෞරවය පළුදු කර ගන්නේ නැතිව, ඉදිරියටත් රට ජයග්‍රහණය සඳහා රැගෙන යාමට අත්වැල් බැඳගෙන කටයුතු කරන්නට සැවොම එක් විය යුතුය.

(2020 10.11 වැනි දින අයිටි එන් රූපවාහිනිය මඟින් විකාශය කළ කොරෝනාවලට එරෙහිව යළි නැගිටිමු වැඩසටහනට සහභාගි වු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, කොරෝනා මැඬලීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යායතනයේ වසංගත රෝග විද්‍යාඥ සුගත් සමරවීර යන මහත්ම මහත්මින් විසින් දක්වන ලද අදහස් ඇසුරෙන් මේ ලිපිය සකස් කෙරිණි.)

සකුන්තලා ජයසිංහ


Viewing all articles
Browse latest Browse all 10762

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>