Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

නිජබිම් කතිකාව

$
0
0
ඔක්‌ 15, 2020 01:00
ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකාවේ “නිජබිම්” සංකල්පය සහ ශ්‍රී ලංකා නාමය පිළිබඳව වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සමාජීය කතිකාවතක් ගොඩනැගී ඇත. මෙලෙස ගොඩනැගුණු කතිකාව තුළ නිජබිම් සංකල්ප ගැටලු නිරාකරණය කරගැනීම සඳහා යම් පිටුබලයක් ලැබෙන කාර්යයක් ඉටු කළ යුතුව තිබේ. ඒ අනුව ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කළ නාමයන්ගේ ඉතිහාසය හදාරා එය ලේඛනගතකොට සමාජයට දායාද කිරීමට අපි කල්පනා කළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස ඈත අතීතයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිතා කරන ලද නම් සංඛ්‍යාව එකසිය හැට එකක් දක්වා (161) වූ දිගු ලේඛනයක් ඉතිහාස අධ්‍යයනය තුළ සොයාගැනීමට හැකි විය.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික මානව විද්‍යාත්මක සබඳතා පිළිබඳ සහ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික හා අන්තර්ජාතික සබදතා පිළිබඳ ඉතිහාසය හදාරමින් මෙම ලේඛනය සකස් කිරීමට පෙලඹවිණි. මෙය ඉහත කී ක්ෂේත්‍ර පිළිබඳ අද නොව මතු දිනක පවා යම් හැදෑරීමක් කරන ලොකු කුඩා ඕනෑම කෙනෙකුට ඒ සඳහා වූ පහසුවක් සහ ආලෝකයක් සපයන්නක් බව කිව යුතුව තිබේ.

රටක් හැඳින්වීමට භාවිත කරන ලද නාම, ඉතිහාසය හැදෑරීම ඒ රටේ ඓතිහාසික, භූගෝලීය, දේශපාලනික, සමාජීය හා සංස්කෘතික ඉතිහාසය හැදෑරීම හා සමානය. කාලයෙන් කාලයට හා යුගයෙන් යුගයට ඒ භූමිය තුළ මුල් බැසගන්නා ජන කණ්ඩායම්වල සංස්කෘතීන් හා ඒ රටේ පාරිසරික සාධක මත ඒ භූමියට විවිධ පුද්ගල කණ්ඩායම් විසින් විවිධ නාමයන් ආරෝපණය කෙරේ.

ශ්‍රී ලංකා දිවයින සඳහා ද ඈත අතීතයේ සිට මේ දක්වා ස්වදේශික ජනයා විසින් හා විදේශීය විවිධ ජාතීන් විසින් භාවිත කරන ලද නම් 161 ක් පමණ සොයාගත හැකිය. මේ නාමයෙන් පිළිබඳ ඓතිහාසික විග්‍රහයක් ඉදිරිපත් කළ ග්‍රන්ථයක් නොමැති වීම අඩුවකි. එය සපුරාලීම සඳහා වූ කාර්යය මහත් වෙහෙසක් ගෙන ඉටු කළ අප ඒ සඳහා “ශ්‍රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය” නමින් ග්‍රන්ථයක් රචනා කරන ලදි. එහි අරමුණ අතර ප්‍රධාන තැනක් ගත්තේ ඉහත කී නාමකරණ ලේඛනයක් නොමැතිකම සපුරාලීම විය.

දේශීය ඉතිහාසය හා සංස්කෘතිය හදාරන සිසුන්ටත් සාමාන්‍ය පාඨකයාටත් මේ තොරතුරු ඒකරාශී කරදීම ඉතා ප්‍රයෝජනවත්ය. රටේ අනන්‍යතාව අනාගත පරපුරට අවබෝධ කරදීම සඳහා මෙමගින් විශාල පිටුබලයක් ලැබෙනු ඇත.

මෙම ලේඛනය පිළියෙල කිරීමේදී අප, හමු වූ නැතිනම් කරුණු එක්රැස් කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී හැකිතාක් දුරට අදාළ මූලාශ්‍රය ම සොයා භාවිත කිරීමට උත්සුක වූ බව සඳහන් කළ යුතුය.

දිවයින සඳහා භාවිත කරන ලද නාම කුමන කාලයක ආරම්භ කරන ලද්දේදැයි සොයාගැනීම අසීරුය. ඒ නිසා ඒ නාමය භාවිත වූ කාලය සඳහන් කිරීමේ දී එය සඳහන් මූලාශ්‍රය බිහි වුණු කාලය පාදක කරගෙන ඇත. ලංකාව හැඳින්වීම සඳහා කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලාගේ සමයවල ඕජදීප, වරදීප, මණ්ඩදීප ලෙස හඳුන්වන ලද බව සඳහන් වුවත් ඒ කාලය පිළිබඳ ව සඳහන් වන මූලාශ්‍ර සොයාගත නොහැකි හෙයින් ඒ වංශ කථා හා සාහිත්‍ය ග්‍රන්ථ රචනා කළ කාලයට ඒ නම් ඇතුළත් කිරීමට සිදුවීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

මෙහි පළමුවන පරිච්ඡේදය නාමයන්ගේ සම්භවය පිළිබඳ කරන විග්‍රහයකට වෙන් කර ඇත. දෙවන පරිච්ඡේදය ක්‍රි.පූර්ව 6 සියවසේ සිට ක්‍රි.ව. 9 සියවස අවසානය දක්වා ඇති මූලාශ්‍ර සඳහා වෙන් කරන ලදි. තෙවන පරිච්ඡේදයේ ක්‍රි.ව. 10 සියවසේ සිට ක්‍රි.ව. 14 සියවස අවසානය දක්වා ඇති කාල පරාසයත් සිව්වන පරිච්ඡේදයේ ක්‍රි.ව. 15 සියවසේ සිට වර්තමානය දක්වා කාලයත් අන්තර්ගත කොට ඇත.

ලංකාව පිළිබඳ භාවිත කළ බොහෝ නාමයන් සඳහන් වන්නේ විදේශීය ලේඛකයන්ගේ වාර්තා හා මූලාශ්‍රය ග්‍රන්ථවලය. එනිසා ඒ ලේඛකයන් පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම සඳහා ඔවුන් පිළිබඳ වතගොත සඳහන් කරමින් කෙටි සටහනක් ලේඛක වගතුග යටතේ දක්වා ඇත.

ලෝකයේ ඕනෑම රටක නම් තැබීමට බලපෑ සාධක ප්‍රධාන වශයෙන් හතරක් තිබේ. භූගෝලීය පිහිටීම, ස්වභාවික සම්පත් හා සොබාදහමේ අසිරිය, වාසය කරන ජනතාව සහ වෙනත් සාධක ඒවායි. අප රටේ භූගෝලීය පිහිටීම පාදක කරගෙන මේ දිවයින හැඳින්වීම සඳහා නම් රාශියක් නිර්මාණය වී ඇත. ලිඛිත සාක්කි අනුව දැනට ශේෂ වී ඇති පැරණිම නාමය ලංකා (Lanka) යන්නය.

දේශීය වශයෙන් අප රට හැඳින්වීමට ලංකා, ලංකාද්වීපය, ලංකාව , ශ්‍රී ලංකාව, ලක්බිම, ලක්පොළොව, ලක, ලක්දිව,ලක්දිව්, සිරිලක, හෙළබිම, හෙළදිව, හෙළය භාවිතාකොට ඇත. චීන භාෂාවෙන් ලංයා, ලංයා සිවු, ලං කියා, ලංයා සෙවු, ලෙන්ග් කියා, ලෙන්ග් කා-ලා යන නම් භාවිතාකොට තිබේ. දෙමළ බසින් ඊලාම්, ඉලංකායි ලෙස නම් කර ඇත.

මෙලෙස අප රට හැඳින්වීමට විවිධ නම් භාවිතා කළ අතර වාසය කරන ජනතාව කේන්ද්‍රකොට නාමකරණය වී සිංහල නම් ජනතාව වාසය කරන ආදිකාලීන භාරතීය ලේඛනවල පවා සඳහන් වී තිබීම සැලකිය යුතු විශේෂත්වයකි. ලංකාව ආර්යයන් විසින් ජනාවාස කිරීමට පෙර ලක්දිව වාසය කළේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් බව වංශ කථා පෙන්වා දේ. මෙයද අපට නාමකරණයේ දී සැලකිල්ලට ගතයුතු කරුණකි. ඊටත් පෙර ශ්‍රී ලංකාව හැඳින්වීමට භාවිත කළ නම් පිළිබඳව සොයාගැනීමට හැකියාව ඇත. එහිදී ද අප රට මහත් සම්පත්වලින් පිරි සුන්දර දිවයිනක් ලෙස නම් කිරීමට පැරැන්නෝ ක්‍රියාකොට තිබුණු බව කරුණු අධ්‍යයනයේ දී මනාව වැටහිණි. එය කිසිවකුටත් තර්ක කළ නොහැකි තරමට සත්‍ය බව ද මේ අධ්‍යනයේදීම වැටහුණු තවත් කරුණක් බව සඳහන් කළ හැකිය.

වජිර නාරම්පනාව 
හිටපු ලේකම් 
රාජ්‍ය භාෂා, ජනමාධ්‍ය, පරිසර හා 
සුළු අපනයන භෝග සංවර්ධන අමාත්‍යාංශ


Viewing all articles
Browse latest Browse all 10762

Latest Images

Trending Articles