ජපමාලයේ ආරම්භය සිදු වූයේ අකුරු නොදත් අයගේ ප්‍රයෝජනය සඳහා වුවද, පසුව එය මහා වියතුන් අතරද, කතෝලික සභා නායකයාගේ සිට අන්තිමයා දක්වාද ජනප්‍රිය යාච්ඤා ක්‍රමයක් බවට පත් වූ සැටි විස්මයජනකය!
අප කුඩා අවධියේ එදිනෙදා සවස ඉවුම්-පිහුම් කටයුතු හමාර කළ අම්මා කෙනකු දරුවන් අමතා කියන කරුණාබර වචන පේළියකි ඒ. සවස 6.30ට ගමේ පල්ලියේ සීනුවෙන්, ‘තිරින්දාදිය’ (ශුද්ධ වු ත්‍රීත්වයේ මහා අභිරහස, එනම් පුත්‍රවන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන් මඟින් කන්‍යාවකගේ කුසෙහි මනුෂ්‍යාකාරයෙන් බිහිවීමට මුල පිරීම සිහිපත් කරන ආරාධනය) නද දෙන විට තම තමන් ඉන්නා තැනින් නැගිට, නියමිත යාච්ඤාවක් කීමටත් නිවෙස් බලා පා නැගීමටත්, හුරුපුරුදුව සිටි කාලයකි ඒ. දූ දරුවන් රැස්කර ගෙන සුරුවම් කූඩුව ළඟ පොල්තෙල් පහනක් දල්වා දුං කබලට කට්ටුකුමංජල් කැට හෝ කුඩු ටිකක් දමා බිම පැදුරක් එළාගෙන, ඒ මත දණ ගසාගෙන ජපමාලය උච්චාරණය කිරීම එකල දිනපතා පුරුද්දක් විය. ඒ සොඳුරු වදන් හා දසුන දැන් රූපවාහිනී යමදූතයා විසින් ගිල හමාරය.
ඒ නිවෙස්වල ජපමාලය කියන්නට එකතු වීමට නොහැකි වන විට ඔවුන් ජපමාලයක් රැගෙන ගියේ මඟ තොටේදී, බසයේ හෝ දුම්රියේ දී ඒ ණය යුක්තිය ඉටුකිරීමේ අදිටනින්ය. අද ජපමාලයක් අතැතිව එවැනි භක්ති අභ්‍යාසයක් කරන්නකු දුටුවොත් සමහරකු, ඔහු හෝ ඇය දෙස විමතියෙන් යුතුව බලනු ඇත.
මෙතැනදී මට අපූරු සිද්ධියක් මතකයට නැගේ. මෙය සිදුවූයේ 19 වන සියවස අග භාගයේ දී ප්‍රංශයේය. පැරිස් නුවර බලා දිව යන දුම්රියකට හොඳට හැඳ පැලඳ සිටි කඩවසම් පෙනුමැති තරුණයෙක් ගොඩ විය. ඉඳගැනීමට තැනක් සොයමින් ගිය ඔහුට, සාමාන්‍ය ගැමියකුගේ පෙනුමැති වයස්ගත පුද්ගලයකු ඉදිරිපස හිස් අසුනක් දැක එහි වාඩි විය. වයස් ගත මිනිසාගේ වයසට ඇදී ගිය මුහුණේ වූ ශාන්ත පෙනුම කෙරෙහි ඔහුගේ සිත ඇදී ගිය මුත්, ඔහුගේ නිහැඬියාව බිඳීමට ඔහු තරමක් පසුබට විය. මහල්ලා අඩවන් දැසකින් යුතුව තනිවම යමක් මුමුණමින් සිටින බවත්, අතැඟිලි අතුරින් ඇට වැලක් එල්ලෙමින් තිබුණ අතර, ක්‍රමයෙන් එකින් එක ඇටය බැගින් බේරෙමින් පහළට යන සැටිත් දුටු තරුණයාට සිය ආච්චිගේ කොන්තය මතක් විය. නිහඬතාව තවත් ඉවසා සිටිය නොහැකි තැන ඒ කොලු ගැටයා සිය හඬ අවධි කරවමින් මහල්ලා අමතා “ඔබ තවමත් ඔය මධ්‍යතන යුගයේ මෝඩ පූජකවරු දෙසා බෑ මිථ්‍යා කතා අදහනවා දැ” යි පිළිකුලින් මෙන් ඇසීය.
“ඔව් පුතා, පල්ලියේ ස්වාමිලා අපට උගන්වන සියල්ල අදහන්ඩ අපි බැඳිලනේ. ඔබ ඒවා අදහන්නේ නැද්ද?” යි ඇසීය. ඊට පිළිතුරු දුන් තරුණයා කියා සිටියේ, “මම විශ්වවිද්‍යාලයේ දී ඕව ඔක්කොම බොරු බව ඉගෙන ගත්තා. නවීන විද්‍යාව ගැන ඔබත් උසස් අධ්‍යාපනයක් ලබා ගත්තා නම් ඔය ඇට වැල වීසි කරලා හුඟක් කල්.”
“අනේ පුතේ, මම නම් ඔය කියන තාලේ නවීන විද්‍යාවක් ගැන අහලවත් නැහැ. ඔබට හැකි නම් මටත් කියා දෙන්නැ”යි මහලු තැනැත්තා පිළිතුරු දුනි. මහල්ලාගේ බැහැපත් ඉරියව්ව ගැන අනුකම්පා සහගත වූ තරුණයා කියනුයේ; “ඔබට පොත පත කියවන්ඩ හැකි නම්, නවීන විද්‍යාව ගැන පළ වී ඇති පොත්-පත් හා පත්‍රිකා යනාදිය ඔබට එවන්නට මට හැකිය.” යි කීය. “ඔව් පුතා මට කියවන්න නම් පුළුවනි”යි මහල්ලා පිළිතුරු දුනි. “එහෙම නම් ඔබේ ලිපිනය මට දෙන්නැ”යි තරුණයා කියද්දීම දුම්රිය පැරීසියේ දුම්රිය ස්ථානයට අවුත් නතර විය. මහලු මිනිසා දුම්රියෙන් බැසීමට පෙර සිය පරණ කබායේ සාක්කුවක තිබුණ සිය ලිපිනය මුද්‍රිත කාඩ් පතක් තරුණයාට දික්කර නොපෙනී ගියේය. කාඩ්පත කියැවූ තරුණයාට සිය දෑස අදහාගත නොහැකිව පුදුමයෙන් පුදුමයට පත් විය. ඒ මහල්ලා අන් කිසිවකුත් නොව පැරිසියේ ප්‍රධානතම විද්‍යා පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ, ලුයි පාස්චර් යනුවෙන් එහි සඳහන්ව තිබුණි. අදටත් ලොව පුරා ආහාරපාන නරක් නොවී කල්තබා ගැනීමට පරිහරණය කෙරෙන ක්‍රමය (කල්කිරි = Pasturized Milk) සොයාගත්තේ මේ ලුයි පාස්චර් (1822 - 1895) නම් විද්වතා ය.
ජපමාලයේ ආරම්භය සිදු වූයේ කියවන්නට අකුරු නොදත් අයගේ ප්‍රයෝජනය සඳහා වුවද, පසුව එය මහා වියතුන් අතරද, කතෝලික සභා නායකයාගේ සිට අන්තිමයා දක්වාද ජනප්‍රිය යාච්ඤා ක්‍රමයක් බවට පත් වූ සැටි විස්මයජනකය. සාමූහික තපස් දිවිය ආරම්භක යුගයේ දී ප්‍රසිද්ධ යාච්ඤා ලෙස පොදුවේ කීමට අවසර තිබුණේ බයිබලයේ අඩංගු යාච්ඤා පමණකි. ක්‍රිස්තු පූර්ව දසවන සියවසේ විසූ දාවිත් රජු විසින් සම්පාදිත යැයි සැලකෙන තෙහිලි ගී 150 කින් සමන්විත ගීතාවලිය සහ බයිබලයේම අඩංගු වෙනත් යැදුම් පමණක් ඒ සඳහා අනුමත වී තිබිණි. එහෙත් එකල බයිබලය විවිධ භාෂාවන්ට පරිවර්තනය කිරීමට කතෝලික සභාව මැළිකමක් දැක්වූවාය. ඊට ප්‍රධාන හේතුව වූයේ විවිධ වැරදි අර්ථකථන බිහිවීමට එමඟින් ඉඩකඩ ඇති විය හැකිය යන බියය. ඒ නිසා ඒ අවධියේ තිබුණ හෙබ්‍රෙව්, ග්‍රීක්, ලතින් වැනි පරිවර්තන කිහිපයකට බයිබලය සීමා වී තිබිණ.
එවන් බසින් සාමුහිකව තෙහිලි ගී ගයමින්, යාච්ඤා කරමින්, ගොවිතැන් කරමින්, කමින් බොමින්, අසල්වැසියන් සමඟ තමන්ට ඇති දෙයක් බෙදා-හදා ගනිමින් ඉතා සතුටින් කල්ගත කරන අවිවාහක කණ්ඩායම් ගත කරන අමුතු ජීවිත ක්‍රමයට ආකර්ෂණය වූ බොහෝ පිරිස් ඒ සාමුහික දිවිපැවැත්ම පතා ඇදෙන්නට වූහ. උගත්-නූගත්, ස්ත්‍රී-පුරුෂ යනාදී කිසි භේදයකින් තොරව ඒ ජීවිත ක්‍රමයට පිළිගනු ලැබුවේ “ඇවිත් බලන්නැ” යි එදා ස්නාවක ජුවාම්ගේ ගෝලයන් දෙදෙනාට ජේසුතුමා (ජුවාම් 1:39) කළ ආරාධනාව අනුව යමිනි.
ඊළඟට මතු වූ ප්‍රශ්නය වූයේ ලතින් බස නොදත් සහෝදර සහෝදරියන් කෙසේද සාමූහික යැදුම්වලට හවුල් කර ගන්නේ යන්නය. ඊට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණේ අකුරු දන්නා අය තෙහිලි ගී 150 ගයන අතර, අකුරු නොදත් අය ජේසුස් වහන්සේ විසින් ම උගන්වා වදාළ “පරමණ්ඩලවල වැඩ සිටින අපගේ පිතාවෙනී” (මතෙව් 6:9) යන යැදුම දවසට 150 වතාවක් කීමට අවසර දෙන ලදී. ලතින් බසින් “පාතර් නෝස්තර්” යනුවෙන් ආරම්භ වන එම යැදුම කටපාඩම් කරගෙන ලතින් බසින්ම උච්චාරණය කිරීම කෙසේ වෙතත් එකසිය පනහක් ගණන් තබා ගැනීම පහසු කරුණක් නොවීය. ඊට උදව්වක් වශයෙන් තිරිවාන ගල් හෝ ඔලිව් ඇට 150ක් මල්ලක දමාගෙන 50 බැගින් වූ වරු තුනකින් එම වගකීම ඉටු කිරීමට ලැබීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් විය. ඔවුන් “පාතර් නෝස්තර්” පනහ බැගින් කී පසු ඒ ඒ වගන්තිය අලළා පැරණි පොත පතක තිබුණ විස්තරයක් ඔවුන්ට සිය මව්බසින් පහදා දෙනු ලැබිණ. ඒ කරුණ ගැන දිනකට කිහිප වතාවක් මෙනෙහි කිරීමටත් ඒ අනුව තම දවස ගත කිරීමටත් ඔවුන්ට උපදෙස් ලැබිණ.
වැඩපළ හා යාච්ඤා කිරීම තුළ දිගටම රැඳී සිටීමට කැමැත්තක් දැක්වූ අය දිළිඳුකම, අධ්‍යාත්මික ඒකාග්‍රතාවයට අවශ්‍ය වෘත ශුද්ධිය (බ්‍රහ්මචර්යාව) සහ නායකත්වයට කීකරුවීම යන කරුණු තුන දිවිහිමියෙන් සුරැකීමට පොරොන්දු වී පැවිදි වන අතර සෙස්සෝ වැඩ කිරීමටත්, “පාතර් නෝස්තර්” 150 දිනපතා යැදීමටත් අනුශාසනාවලට සවන් දී සිය දරු පවුල් ඒ අනුව හැඩ ගස්වා ගැනීමටත් යොමු වූහ. එලෙස තාපසාරාම තුළ ඔවුන් අත්දුටු සංහිඳියාව හා ලෝකෝත්තර සතුට සිය ලෞකීක ගිහි දිවිය තුළද අත්දකින්නට පුරුදු වූහ.
තාපසාරාම වතුවල වැඩ කරමින් ඔවුන් හා යදිමින් සිටි ගිහි සැඳැහැවතුන්ගෙන් ලැබුණ යෝජනා සැලකිල්ලට ගත් නායකයෝ “පාතර් නෝස්තර්” 50 එක දිගට කීමේදී ඇතිවන ඒකාකාරී බවින් මිදීමට ඒවා දහයකට වරක් දණ ගසා ත්‍රීත්ව වන්දනාවක් කිරීම සුදුසු යැයි අනුමත කළහ. එලෙස ඇට හෝ ඇට වැල, පංති පහකින් සමන්විත වන ලෙස සකස් විය.
13 වන සියවසේ මැද භාගය පසුකරන විට (ක්‍රි.ව.1268) ශු. ලුක් තුමාගේ ශුභාරංචියේ (1:28) සඳහන් “නමෝ දේව ප්‍රසාදයෙන් පූර්ණ වන්තියනී, සමිඳාණෝ ඔබ කෙරෙහි ය” යනුවෙන් ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමීට කළ ආචාරයත් එහිම 42 වැනි වගන්තියේ සඳහන් “ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දී ඔබය. ඔබගේ කුසයෙහි ඵලයද ආශිර්වාද ලද්දේ ය” යනුවෙන් එලිසබෙත් තුමිය, මරිය තුමියට කී වදන් පෙළත් බයිබලයේ ඇති නිසා එයද මරිය තුමියට කරන ආයාචනයක් ලෙස පරිහරණය කිරීමට සුදුසු නැද්දැ යි ගිහියන් කළ යෝජනාවද තාපසාරාම නායකයන් විසින් අනුමත කෙරිණ.
මරිය තුමී ගිහි දිවියක් ගත කළ කෙනෙකු වූ නිසා එතුමියට කන්නලව් කිරීම වඩා සුදුසු යැයි ගිහි සැඳැහැවතුන්ගේ අදහස වූ බැවින් “පාතර් නෝස්තර්” එකකට පසු “ආවේ හෙවත් නමෝ” දහයක් කියා ත්‍රීත්ව වන්දනාවෙන් එක් එක් කොන්ත පංතිය අවසන් කිරීමට සංශෝධනය වූවත් එම යැදුම්ද “පාතර් නෝස්තර්” යනුවෙන් ම හැඳින්වෙන්නට විය. “පාතර් නෝස්තර්” ගැන විවිධ කාලවල ධර්මධරයන් විසින් කර තිබුණ විග්‍රහ සහ විස්තර කිරීම් සියල්ලක්ම පාහේ ගිහි සැදැහැවතුන්ට ඒ වන විට පැහැදිලි කර තිබුණ නිසා ඊළඟට ඔවුන්ට මෙනෙහි කිරීමට අලුත් යමක් දිය යුතුව තිබිණ. ඒ අනුව එක් දිනක් තුළ කොන්ත පන්ති පහේ කාණ්ඩ තුනක් උච්චාරණය කිරීමේ දී මෙනෙහි කිරීමට ජේසු සමිඳුන්ගේ දිවියේ සුවිශේෂ අභිරහස්‍යමය අවස්ථා 15ක් ඉදිරිපත් කරන්නට ක්‍රි.ව.1470 දී දොමිනිකානු නිකායේ ඇලන්ද රූපේ නම් තාපසයකු විසින් පියවර ගනු ලැබීය.
ලබන සතියට...
ඩී. එෆ්. මැදගොඩ පියතුමා