පුංචි කාලේ ඉඳන්ම යාළුවෝ මට කතා කළේ සේයා කියලා. ජීවිතේ ගැන කිව්වොත් හරිම සන්සුන්ව, නිදහසේ සැහැල්ලුවෙන් ගත කරපු චරිතයක් තමයි මම. කලබලකාරී, නොසන්සුන් ජීවිත, චරිත, තේරෙන කාලේ ඉඳන්ම මට හරිම ආගන්තුකයි. ඒ ඇයි කියන්න මං හේතු දන්නේ නැ. ඒත් මං ජීවත් වුණ් මගේම ලෝකෙක. ඒ ලෝකය ඇතුළේ හීන කන්දක් තිබුණා. හැබැයි එකම එක්කෙනෙක් හින්දා ඒ හීන කන්ද පොළොවට සමතලා වෙලා, මගේ ජීවිතේ පහළම වංගුවේ නතර වුණේ උඩ ඉන්න තිස් තුන් කෝටියක් දෙවියන්ගෙන් එක්කෙනෙක්ගේ හරි පිහිට මට ලැබුණු හින්දා කියලා මං තාම විශ්වාස කරනවා.
එයාගේ ඉස්සර පෙනුම නම් හරිම අහිංසකයි. අර මං කලින් කිව්වා වගේ නිවිච්ච, තැන්පත් එක්කෙනෙක්. මුලින්ම දැක්කදා මටත් ආදරේ නොහිතුණා කිව්වොත් බොරු. ඒත් පෙනුමෙන් මිනිස්සු මනින්න එපා කියනවනේ. ඒ කතාව ඇත්තක් වෙන්න මහලොකු කාලයක් ගියේ නෑ. හොඳට හිටිය මිනිහා කිසිම සාධාරණ හේතුවක් නැතුව බලයට තණ්හාවෙන් උඩ පනින සමහරක් උන් වගේ ජාතිවාදියෙක් වෙන්න පටන් ගත්තා.
කන්න බොන්න නැතුව එක වේලක් පවා අමාරුවෙන් ගැටගහගන්න, ඉස්කෝලේ යන්න මහපාන්දර නැඟිටලා කිලෝ ගානක් බර පොත් බෑග් එකත් උස්සන් හැතැක්ම ගානක් පයින් යන, දිවා රෑ තේ උගුරක් නැතිව මහන්සි වෙලා පාඩම් කරලා උසස් විභාග සමත් වුණත් ජොබ් නැතුව ගාමන්ට් යන, ඉගෙන ගන්නවාට වඩා කාලයක් කැම්පස් වහලා තියෙනකොට, දූෂණ මැරකම්, හොරකම් කරන සල්ලිකාරයන්ට නැති නීතිය දුප්පතුන්ට පමණක් ස්ථීරගත වෙනකොට, අනාථ නිවාසවල ළමයින්ට ඉස්කෝලය හීනයක් වෙනකොට, ඇමති පුත්තු මාසෙන් මාසෙට මිල ඉහළම වාහන මාරු කරනකොට, ගම හදමු රට හදමු කියන කබ්බ හොරු සුදු ජාතික ඇඳුමෙන් හොර මූණු වහගන්නකොට, රට සංවර්ධනය කරන්න පිටරටවල්වල ණය එක දිගට ගොඩගැහෙනකොට, හෙට ඉපදෙන ළමයත් මේ රටේ ණයකාරයෙක් වෙනකොට, මේ තරම් ගැටලු විසඳන්න තියෙනකොට, සමහරක් උන් වගේ එයා රඟපෑවෙත් අනිත් මිනිස්සු ගැන එකම එක තත්පරයක්වත් නොහිතා ආත්මාර්ථකාමී ජාතිවාදියකුගේ චරිතේ.
ඇත්තටම එයාට ඕනෑ වුණේ මොනවද? එයාගේ හිතේ හැංගිලා තිබ්බේ මොනවාද? ඇත්ත දැන දැනත් බලයට තණ්හාවෙන් බොරුව මත්තේම නැහෙන කාරණය දේශපාලන නූගතුන්ගේ මෙන් මොළය අවුල් වීමද කියලා මම දන්නේ නෑ. ඒත් ඒ හේතූන් මත මගේ ජීවිතය අවුල් වුණා කියන එක කියන්නම ඕන. ආදරේ පෑළ දොරින් පැන ගියේ දුකක් වගේම කලකිරීමකුත් ජිවිතේ ඉතුරු කරලයි. ඇත්තටම ලෝකෙ කොහොම වුණත් ලංකාවේ මිනිස්සුන්ගේ දෑස් අන්ධයි. හරි දේ තොරා ගන්නට, ඇත්ත දකින්නට, කෙලෙහිගුණ තබන්නට බැරි තරම් ඔවුන්ගේ සිත් කුහකයි. එකම ලේ තිබුණත් පැතිවලට බෙදී මරා ගන්නේ තමන්ගේ රටේ අනාගත බව ඔවුන්ට වැටහී නැහැ. බෝම්බ ගහන කාලෙ හමුදා සෙබළුන්ට දේවත්වයෙන් සලකන රටක තවත් කාලයක ඉවතලන කුණු කැබැල්ලක් ගානට සම කරන්නේ කළගුණ නොදත් ජාතියක් බවට තව දුරටත් ඔප්පු කරමිනුයි.
කොළ, රතු, නිල්, අලි, සීනු, නෙළුම් පොහොට්ටුව කොතෙක් සංකේත කරත් අපේ ඇඟේ දුවන්නේ එකම පාට ලේ. මිනිස්සු විදියට කළ යුතු වන්නේ බලයට, තණ්හාවට ලුහුබැඳ යෑම නෙවෙයි, හරි දේ තෝරාගෙන, අනාගතේ රට දියුණු කිරීමට හා සුරක්ෂිත කිරීමට බුද්ධිමත්, යහපත්, අවංක පාලකයකුට රට බාර දීමයි. ජීවිතේ අනාගතය කුමක් වේ දැයි මම දන්නේ නැහැ.
නිරෝක්ෂි ජෑන්ස්