Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කැලණි ගඟ වනසන ගඟබඩ යක්කු

$
0
0
ඔක්‌ 23, 2020 01:00
නුවන් මහේෂ් ජයවික්‍රම

ඇතැමකු කෙළින්ම හෝටල් අපද්‍රව්‍ය හෙළා තිබුණේ ගංගාවටය. තවත් අයකු කර්මාන්ත අපද්‍රව්‍ය එක්රැස් කරන්නේ ගං ඉවුරේය. වැසි කලට ඉවුරු පිටින්ම ඒවා කඩා වැටෙන්නේ ගං දියටය. ලෙහෙසිය පහසුව තකා ගිනි තබා වනසන්නට තැත් කරන ඒ ඇතැම් අපද්‍රව්‍ය, මිල කළ හැකිය. එය එසේ කරන්නේ නම් අදාළ කර්මාන්තකරුවාට ද අමතර ලාභයක් අත් වේ.

මේ උඩුගම් බලා යෑමකි. මෝදර කැලණි ගං මෝය අද්දරින් අප ඒ ගමන අරඹමු. අපේ ගමනාන්තය ගඟ ඉහත්තාවට හෙවත් සීතාවකපුරටය. එතෙක් මෙතෙක් විසිතුරු දසුන් අපමණකි. එහෙත් අද අපේ සෝදිසිය ඒ පිළිබඳ නොවේ. කොළොම්තොට, මෝදර පටන් සීතාවකපුර අවිස්සාවේල්ල දක්වා ඉවුරු දෑලෙන් කැලණි ගංගාව සමීපව නිරීක්ෂණය කිරීමය. ඒ අනුව රතු එළි පෙන්වන ඉසව් සොයා ඒ වෙත වැඩි අවධානයක් යොමු කරන්නටය.

සැබැවින්ම ඒ මධ්‍යම පරිසර අධිකාරියේ සමීක්ෂණ කටයුත්තකි. එහි සභාපති එස්. අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඔහුගේ සංකල්පයකට අනුව මේ මෙහෙවර සිදුවේ. එයින් ගං දෑළට වන්නට තිබෙන කර්මාන්ත ශාලා පිළිබඳ මූලික වැටහීමක් ලබා ගැනේ. ඒ පිළිබඳ සංගණනයක් කෙරේ. ඒ ඒ ආයතන පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන ඇත්ද යන වග පමණක් නොවේ. එසේ ලබාගෙන තිබෙන බලපත්‍ර කොන්දේසිවලට අනුව කටයුතු කරන්නේද යන වගද ඉදිරියේදී සොයා බැලේ. කර්මාන්ත කොටසට අයත් වන වාහන, සේවා ආයතන, හෝටල් විවිධ නිෂ්පාදන ආයතන හරහා ගං ඉවුරු ඔස්සේ මේ තබන්නේ ඒ සඳහා මූලික පියවරය.

කැලණි ගඟ කොතැනදීත් එක්වර දෙගොඩම වෙසෙන ගම්බිම්වලට සෙත සලසයි. මේ ගමනේදී ඒ දෙඉවුරම ආවරණය කෙරේ. ඒ කොළඹ දිස්ත්‍රික්කයට අයත් වන කොටසින් හා ගම්පහ දෙසින් වශයෙනි. ඒ දෙකොටසම එකවර ඉකුත් සතියේදී ආවරණය කළේ මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු පළපුරුදු නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 13ක් මඟිනි. 

කොළඹ දිස්ත්‍රික්කයෙන් ගමන් ඇරඹූ පරිසර අධිකාරියේ කණ්ඩායමට ගං ඉවුර දිගේ කිලෝමීටර 56.4 ක දුරක් ගමන් කිරීමට සිදු විය. ගම්පහ දිස්ත්‍රික්කයේ එගොඩ ගොඩෙන් ඒ කර්තව්‍යයේම නියැළි සමීක්ෂණ කණ්ඩායමට කිලෝමීටර 53.8 ක දුරක් ගමන් ගත්තේ කර්මාන්ත ශාලා, නිවාස, ලඳු කැලෑ, ගල්තලා ආදී විවිධ පරිසර පද්ධති පසුකරමිනි. ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි හර්ෂ වල්පිට ද මධ්‍යම පරිසර අධිකාරියේ උපාය මාර්ගික පරිසර ඇගයීම් අංශයේ සහකාර අධ්‍යක්ෂිකා චතුරිකා ගම්ලස්සගේ ඇතුළු බොහෝ දෙනෙක් ද ඊට එක්වූහ.

අපේ ගමන යෙදුණේ කොළඹිනි. මෝදරින් ඇරඹි ගමන ප්‍රාදේශීය සභා සහ නගර සභා බල ප්‍රදේශ ගණනාවක් පසුකරමින් සීතාවකපුරයෙන් නිම විය. ඒ අනුව ගඟ දිගේ කොළඹ මහා නගර බල ප්‍රදේශයට අයත් කිලෝමීටර 5ක පමණ දුරක් ගෙවන විට ඊට වඩා තුන් ගුණයක් පමණ වන දුරක් කඩුවෙලට මායිම් වෙයි. කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව පමණක් නොව සීතාවකපුර ප්‍රාදේශීය සභා සහ නගර සභා වශයෙන් පළාත් පාලන ආයතනික බල ප්‍රදේශ ගණනාවක් ඔස්සේම අපේ මේ ගමන යෙදුණි.

අප කොළඹින් ගමන් අරඹද්දී ගම්පහ දිස්ත්‍රික්කයට මායිම්ව කැලණි ගංගාවේ ඉවුරු බඩට වන්නට ගමනේ යෙදෙන පිරිස ද වත්තල, පෑලියගොඩ, කැලණිය, දොම්පේ, බියගම දෙසින් ගමන් කළේ කාටත් එක සේ සෙත සදන කාගේත් පැන් පවස නිවන කැලණි ගං කොමළියට ඒ ගඟ දෙපස ජනතාව කෙතරම් දුරට කෘතගුණ දක්වා තිබේ දැයි දැක ගනිමිනි. එය ඛේදනීය තත්ත්වයකි

කිසිදු කර්මාන්තශාලාවකට අපද්‍රව්‍ය ගංගාවලට හෝ ජල මූලාශ්‍රයවලට දැමීමට කිසිදු නීතිමය අවසරයක් නැත. එය කුඩා දරුවකු පවා හොඳින් දන්නා කරුණකි. එහිදී අදාළ කර්මාන්තයේ හෝ නිෂ්පාදන ආයතනයේ ස්වභාවය විශාල ද කුඩා ද යන වග ද අදාළ නැත.

සැබැවින්ම සැලකිය යුතු කර්මාන්තකරුවන් ගණනාවක් එය මායිම් නොකිරීම මධ්‍යම පරිසර අධිකාරියේ බොහෝ දෙනකු සමඟ අපට ද අත්දකින්නට සිදු වූ කනගාටුදායක සිද්ධියකි.

ඇතැමකු කෙළින්ම හෝටල් අපද්‍රව්‍ය හෙළා තිබුණේ ගංගාවටය. තවත් අයකු කර්මාන්ත අපද්‍රව්‍ය එක්රැස් කරන්නේ ගං ඉවුරේය. වැසි කලට ඉවුරු පිටින් ම ඒවා කඩා වැටෙන්නේ ගං දියටය.

ලෙහෙසිය පහසුව තකා ගිනි තබා වනසන්නට තැත් කරන ඒ ඇතැම් අපද්‍රව්‍ය, මිල කළ හැකිය. එය එසේ කරන්නේ නම් අදාළ කර්මාන්තකරුවාට ද අමතර ලාභයක් අත් වේ. ඒ පිළිබඳ හෝ නොසැලකූ බොහෝ දෙනෙක් කොළොන්නාව සහ කොටිකාවත්ත මුල්ලේරියා සහ කඩුවෙල බල ප්‍රදේශවලට අයත් වන කැලණි ගං දෑලේ දී දැක ගන්නට ලැබිණි. එහිදී දක්නට ලැබුණු බරපතළ කාරණයක් වූයේ ඉන් ඇතැමෙක් ගං ඉවුරට හෝ කෙළින්ම ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම සාධාරණීකරණය කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසර අධිකාරියේ සමීක්ෂණ කණ්ඩායම් සමඟ වාද විවාදවලට එළැඹීමය. බොහෝ දෙනෙක් තර්ක කළේ ඔවුනොවුන් අදාළ කර්මාන්ත පවත්වාගෙන යමින් රටේ දියුණුවට කටයුතු කරන බවයි. ඒ ඒ ආයතන මඟින් ලබා දී තිබෙන රක්ෂා ප්‍රමාණය සහ විවිධ බදු සහ අමුද්‍රව්‍ය දේශීය වශයෙන් ගෙන්වීමට කටයුතු කිරීම ආදී තර්ක ද ඒ අතර විය.

ඒ කෙසේ වුවද, කර්මාන්ත රැක ගත යුතු බව සැබෑවකි. එසේම ඒ නිසා පරිසරය වැනසීම සිදු නොවිය යුතු බව ඒ සෑම අවස්ථාවකදීම පරිසර අධිකාරිය මඟින් අවධාරණය කළේය.

කඩුවෙල මංසන්ධියට යාබදව නිරීක්ෂණය කෙරුණු එක් මෝටර් රථ අලුත්වැඩියා හා සේවා ආයතනයකින් ඉවත ලන හිස් ලිහිසි තෙල් බඳුන් පවා ගොඩ ගසා ගිනි තබා තිබුණේ ගංඉවුරේය. ඊට පහළින් ගං දියේ ඉවතලන රථ වාහන ආසන පවා රඳවමින් කරන පරිසර විනාශය පිළිබඳ එහි හිමිකරු දැනුම්වත් කළ විටද ඊට ඔහු එතරම් ඇහුම්කන් දුන් වගක් දක්නට නොලැබිණි.

මල අපවහන පද්ධති ගඟට හරවා බස්නාහිර පළාතේ ජනතාවගේ පවස නිවන කැලණි ගංගාවට මිනිසුන් කළ ගුණ සලකන අයුරුයි ඒ.

එය එයින් නිම නොවේ. මෝදර සිට හංවැල්ල තෙක් කැලණි ගඟ දිගේ ඉහළට ගමන් කරන විට හමු වන ප්‍රදේශය ගංගාශ්‍රිතව ද දැඩිව දූෂණය වන පෙදෙසකි. ඒ ඒ ප්‍රදේශවල තැනින් තැන ජීවත් වන සැලකිය යුතු පිරිසක් වැසිකිළි පද්ධතිවල නළ හරවා ඇත්තේ ගඟටය. එය එකවර පිටතට නොපෙනෙන අයුරින් රහසිගතව සිදු කරන්නක් වන වග පරිසර අධිකාරියේ සමීක්ෂණ නිලධාරීහු කලෙක පටන් දැන සිටියහ.

පිරිසුදු කිරීම සඳහා නළ මාර්ග ඔස්සේ ග‍ඟෙන් ජලය මේ අවටින් ජල පවිත්‍රාගාරවලටද ලබා ගැනේ. කොහොමටත් ජලය පිරිසුදු කිරීම අධික පිරිවැයක් දරමින් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සිදු කරයි. එය තවත් තීව්‍ර කරන ගංගාවට මල පද්ධති හැරවීම් වැනි වැරැදිවලට වඩා තදින් නීති සකස් කළ යුතු බවද ඒ නීති ක්‍රියාවට නැංවීමට වඩාත් විධිමත් යන්ත්‍රණයක් රටේ ඇති කළ යුතු බවද පරිසරවේදීන් කලෙක පටන් පෙන්වා දෙන්නකි.

එසේම, මධ්‍යම පරිසර අධිකාරි‍ය කිසිම ව්‍යාපාරිකයකු අපහසුවට පත් කිරීමේ අරමුණින්ම කටයුතු නොකරන බව එහි බස්නාහිර පළාත භාර අධ්‍යක්ෂ එස්. එස්. ප්‍රේමචන්ද්‍ර මහතා අවධාරණය කළේය. පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නීත්‍යනුකූලව පරිසර හිතකාමීව කර්මාන්ත පවත්වා ගැනීමේ වැදගත්කම එමඟින් ඔවුහු පෙන්වා දෙති. එසේම දැනට එකී කොන්දේසි කඩකරමින් කටයුතු කරන ආයතනවලට වැරදි නිවැරදි කරගෙන නැවත පෙන්වීමට සහන කාලසීමාවක් ද පරිසර අධිකාරියෙන් ලැබේ. ඒ අනුව වැඩිදුර නොසිතා පරිසරයට යම් අවැඩක් කළ අයකුට වුවද වහා එම වරද නිවැරදි කරගත හැකිය. එහෙත් දිගින් දිගටම පරිසරයට කර්මාන්ත අපද්‍රව්‍ය එක් කරමින් එය සාමාන්‍යකරණය කිරීමට උත්සාහ ගන්නා ඇතැමුන්ට ඉදිරියේදී නීතිය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.

රජය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආදී ආයතන හරහා මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කරයි.

ජලසම්පාදන මණ්ඩලය මඟින් පිරිසුදු නළ ජලය සැපයීම පමණක්ම සැලකිල්ලට ගත්තද එහි බැරෑරුම්කම වැටහේ.

කැලණි ගඟෙන් කොළඹ ජීවත් වන වැඩි පිරිසක් දිය පවස නිවා ගනිති. ආහාරපාන සකස් කරගැනීමට, සනීපාරක්ෂාව සලසා ගැනීමට වශයෙන් කෙළවරක් නැතිව ජලයේ අගය කුඩා දරුවකු වුවද සඳහන් කරනු ඇත.

එසේම, ජලසම්පාදන මණ්ඩලය මඟින් නළ ජලය සැපයෙන, රටේ වැඩිම පිරිසක් ජීවත් වන්නේද කොළඹ ඇතුළත් වන බස්නාහිර පළාතේය. ඒ සියල්ලන් වෙනුවෙන් එක් ජල ඒකකයක් හෙවත් ලීටර 1000ක් පිරිසුදු කිරීමට ජලසම්පාදන මණ්ඩලය රුපියල් 47ක් වැය කරයි. එහෙත් ඒ සඳහා මණ්ඩලය පාරිභෝගිකයාගෙන් අය කරන්නේ රුපියල් 21ක් පමණි. ඉතිරිය මහජන සුබසෙත වෙනුවෙන් රජය දරයි.

මේ අනුව මසකට ජල ඒකක 15ක් පමණ එක් පවුලක් පරිභෝජනය කරයි. ඊට සැබැවින්ම ඔවුන් ගෙවිය යුතු ප්‍රමාණයට වඩා 43%ක් පමණ අඩුවෙනි, මහජනතාව ගෙවන්නේ. සැබැවින්ම එක් පවුලක් එක් දිනක් ජලය පාවිච්චිය සඳහා දැන් ඒ අනුව ගෙවිය යුතුව වන්නේ රුපියල් 10ක් පමණ සුළු ගාස්තුවකි.

මහජනයා වෙනුවෙන් පවතින මේ සීමිත ජල සම්පත රජයේ මැදිහත් වීමෙන් අරපිරිමැස්මෙන් යුතුව යොදවනු ලබයි. එතරම් අධික පිරිවැයක් දරමින් ලබා දෙන ජල සම්පත උපකාර කරගෙන විවිධ කර්මාන්ත කරන සමහරු ඒ අපජලය නිසි පරිදි බැහැර කිරීමට වගබලා ගත යුතු වේ. විශේෂයෙන් ගංගා ද්‍රෝණි 103කින් සැදුම්ලත් අපේ රටේ, ඒ අවට ජීවත්වන කාටත් මේ වගකීමෙන් මිදිය නොහැකි වනු ඇත.

ඉදින්, අප මෙතෙක් යෙදුණේ අපූරු චාරිකාවකි. ඒ නිලට නිලේ ගලා බසින කැලණි ගංගා රාජිනිය වනසන ඇතැමුන්ගේ කැරැට්ටුව දැක බලා ගැනීමටය.

කර්මාන්ත ශාලා මඟින් අපරීක්ෂාකාරිව ගඟට විස රසායනික ආදිය මුසු කිරීම සම්බන්ධයෙන් මින් පෙරද තරාතිරම නොබලා විවිධ කර්මාන්තකරුවන්ට එරෙහිව පියවරගෙන තිබිණි. ඉදිරියට ද එය ‍එසේම වන නමුත් මෙහිදී වඩාත් වැදගත් වනුයේ මනුෂ්‍යයන් වශයෙන් සියලු දෙනාම ජල සම්පතේ අගය වටහාගෙන එය මතු පරපුරට ද ඉතිරි කිරීම පිණිස ඇප කැප වී කටයුතු කිරීමය. නොඑසේ නම් නුදුරු දිනකදීම මහපොළොවෙන් රතු බිලක් මනුෂ්‍යයන්ට පමණක් නොව, අහිංසක සතාසිවුපාවුන්ට ද පරිසරයට ද ලැබෙනු ඇත.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න


Viewing all articles
Browse latest Browse all 10762

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>