Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පොත් කාවුන්ගේ සුරං­ගනා කතාව ‘කඩ­දහි ගෙදර’

$
0
0
මාර් 6, 2018 01:00

මම පසුගිය පොහෝදින, උරුගුවේ දේශයේ මොන්ටිවීඩියෝ වෙත ගොස්, එහි වෙසෙන කාලෝස් මාරියා ඩොමින්ගුවෙස් නමැති ලේඛකයා හමුවීමි. කාලෝස් පවසන අන්දමට, එය ගමක් වැනි නගරයකි.

‘සමහරු කියනවා, මම ආර්ජන්ටිනාවේ, බුවනෝස් අයර්ස්වල ඉපදුණු උරුගුවියන්කාරයෙක් කියලා.’

‍කාලෝස් එය පවසන්නේ උපහාසාත්මකවය. ඔහුට අනුව බොහෝ උරුගුවියානු කලාකරුවෝ, ලේඛකයෝ, සංගීතඥයෝ ආර්ජන්ටිනාව පදිංචියට තෝරා ගත්හ. එහෙත් ඔහු එහි සිට මොන්ටිවීඩියෝවට ආවේය. ඒ නිසා මේ දෙරටේදීම ලද අත්දැකීම් හා එම පරිසරයෙන්, ඔහුගේ ප්‍රබන්ධ කෘතීන් තුළ චිත්‍රනය වෙයි.

මගේ ‘මනස් චාරිකාවට’ ගමන් බලපත ලැබුණේ කාලෝස් ඩොමින්ගුවෙස්ගේ සුප්‍රකට, කෙටි නවකතාව වන ‘කඩදහි ගෙදර’ (The House of paper) තුළිනි. එය සිංහලට පරිවර්තනය කොට තිබුණේ , පළපුරුදු ලේඛිකාවක වන මාලිනී ගෝවින්නගේ විසිනි.

‘කේම්බ්‍රිජ් සරසවියේ ලතින් අමෙරිකානු සාහිත්‍ය පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරියක වන බ්ලූමා ලෙනන්, එමිලි ඕකින්සන් කිවිඳියකගේ පද්‍ය සංග්‍රහයක් කියවමින් පාර මාරුවෙමින් සිටියදී, මෝටර් රථයක හැපී මිය යයි. එම අකල් වියොවින් මාස කීපයකට පසු ඇගේ ලිපිනය සහිත පොත් පාර්සලයක් උරුගුවේ රටින් පැමිණෙයි. බ්ලූමාගේ පෙම්වතෙකුව සිටි, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු අතට එම පාර්සලය ලැබෙයි. එහි ඇත්තේ, යමෙකුට පුදන ලද, ජෝශප් කොන්රඩ්ගේ නවකතාවකි. පොත එවා ඇත්තේ කාලෝස් බටුවර් නමැත්තෙකි. ආචාර්යවරයා, ඔහු සොයා බුවනෝස් අයර්ස් නුවරට යයි. එහෙත් එම පුද්ගලයා අතුරුදන්ය.

පසුව, ඔහු උරුගුවේ රටේ පාළු වෙරළක තමන් සතු පොත්වලින් නිවසක් තනාගෙන ජීවත්වන බව දැන ගන්නට ලැබෙයි. ඔහු එහි ගියේ ඇයි? සමාජ ප්‍රහසනයක් මෙන්ම ගුප්ත රසයෙන් පිරි ප්‍රබන්ධයක්ද වන මෙය, පොත්වලට අසීමිත ලෙස ඇලුම් කරන්නන්ගේ නෙක ගති සොබා විවරණය කරයි.’ (පසුවදන)

බොහෝ දෙනෙකුට පොත් කියවීම යනු විනෝදාංශයකි. සමහරුනට එය ඇබ්බැහියකි. කියවීමේ ‘රෝගය’ වැළඳුණු අයට නම් දිවි ඇතිතුරු එය සුවපත් කර ගැනීම අපහසුය. ඔවුන්ට එම ‍රෝගයෙන් මිදීමට අවශ්‍යතාවක්ද නැත. ඔවුහු එය තුළ ජීවත්වෙති.

කියැවීමට ආශක්ත වූවන් හැඳින්වෙන්නේ ‘පොත්ගුල්ලෝ’ නමැති සරදම් යෙදුමෙනි. ඉංග්‍රීසියෙන් ඔවුන් ‘ Book worms’ හෝ ‘ Bookish people’ ය.

ඩොමින්ගුවෙස් , තම කෘතියෙහි ලා පවසන අන්දමට පොත් රැස්කරන්නෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් දුර්ලභ පොත් රැස්කිරීම ඉලක්ක කොට ගත්තෝ වෙති. දුර්ලභ සුන්දර වස්තුවක් දෙස බලන්නාක් මෙන් පොත දෙස බැලීම හැර, කෙදිනක හෝ පිටු පෙරළා නොබලන පොත් ඔවුන් සතුව ඇත.

දෙවෙනි කොටසට අයත්වන්නේ, පොත් කියවන පාඨකයෝය. සිය ජීවිත කාලය තුළ ඔවුහු වැදගත් පුස්තකාල ගොඩනඟා ගනිති. ඔවුහු පොත් කියවීම සඳහා දිනකට පැය කීපයක් ගත කරන, සැලකිව යුතු මුදලක් පොතකට වැය කිරීමට හැකියාවක් ඇති අයයි.

පුස්තකාලයක් ඉදිකිරීම යනු, පොත් ගොඩගැසීමක් නොවේ. එය ජීවිතය ගොඩනැංවීමකි.

අධ්‍යාපනඥයකු මෙන්ම ගත්කතුවරයකුද වන ජෝන් පයිපර් පවසා ඇති අන්දමට, මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට සම්පූර්ණ පොතක්ම අවශ්‍ය නොවේ. සමහර විට, එක ඡේදයක් ඒ සඳහා ප්‍රමාණවත්ය. එක වැකියක් වුව ඒ සඳහා ප්‍රමාණවත්වන අවස්ථා ද ඇත.

‘කඩදාසි ගෙදර’ එක් සංවාදයක කියැවෙන පරිදි පුස්තකාලයක් යනු කාලයේ දොරටුවකි. ඒ පිළිබඳ විවාදයක් නැත. පුස්තකාලයක් යනු, එච්. ජී. වේල්ස් ‘නිර්මාණය’ කළාක් බඳු කාලයන්ත්‍රයකි. එහි පිවිසුනෙකුට අතීතයට ගමන් කළ හැකිය. අනාගතයට යා හැකිය. වර්තමානය දැක, වටහාගත හැකිය.

කියැවීම තම ජීවිතය කොටගත් මැක්සිම් ගෝර්කි, පතපොතට මහත් සේ ආදරය කළේය. අන්ත දුගියකු වූ ඔහු, ලෝක ප්‍රකට ගත්කතුවරයකු බවට පත්වූයේ, ආශාවෙන් හා කැපවීමෙන් යුතුව පොත් කියැවීමෙනි. ඒ සඳහා ඔහුට විඳින්නට සිදුවූ දුක් වේදනා, නින්දා අපහාස හා බිය සැක, අත්විඳි හාස්‍යජනක සිද්ධීන් බොහෝය. 1925 දී, ප්‍රංශ සාහිත්‍ය ග්‍රන්ථයකට ගෝර්කි විසින් ලියන ලද සංඥාපනයක මෙසේ සඳහන් වෙයි.

‘මා තුළ ඇති යහපත් වූ හැම දෙයකටම මම පොත්වලට ණයගැති වෙමි. මනුෂ්‍යයන්ට වඩා කලාව ත්‍යාගවන්ත බව මම මගේ තරුණ කාලෙය්දීම පසක් කළෙමි. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක්ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියටය.’ (පොතක මහිම, පරිවර්තක, සිරිල් සී. පෙරේරා)

ලේඛකයන් සැම දෙනා මෙන්ම, ඩොමින්ගුවෙස් ද ගෝර්කිගේ වර්ගයේම පොත් කාවෙකි.’

ලතින් අමෙරිකානු සාහිත්‍යය, ශ්‍රී ලාංකික අපට තවමත්, දක්ෂිණ ධ්‍රැවයක් බඳුය. අපි ඒ ගැන යන්තම් දනිමු. තරණය කොට නැත්තෙමු.

ගාර්ෂියා මාකේස්, ජුවාන් රැල්ෆෝ, ඔක්ටාවියෝ පාස්, මාජියෝ වර්ගාස් ලෝසා, ඇලේජෝ කාර්පෙන්වියර්, ජෝර්ජ් ලූයි බොර්ගේස්, කාලෝ ෆුවාන්ටෙස් ආදිහු අපි අසා හෝ කියවා ඇත්තෙමු. එහෙත් නුදුටු ‘පොත් රාක්ක’ බොහෝය. ශ්‍රේෂ්ඨ, උරුගුවියානු ගත්කරුවෙකු වූ ජුආන් කාලෝස් ඔනෙට්ටි වැනි අය, සිංහල පාඨකයාට ආගන්තුකය. ඔහු පිළිබඳ අගනා චරිතාපදානයක්, ‘Raising up the Night’ මැයින් ඩොමින්ගුවෙස් විසින් ලියා පළකොට ඇත. එතුළින් බුවනෝර්ස් අයර්ස් හා මොන්ටිවීඩියෝ හි බොහිවියානු රාත්‍රී ජීවිතය කේන්ද්‍රකොටගත්, සංස්කෘතික පැවැත්මද විවරණය වෙයි. එසේම, උරුගුවේ ආර්ජන්ටිනා දෙරටෙහි ලේඛන සබඳතාද මතු කෙරයි. කාලෝස් ඔනෙට්ටිද, දිගු කලක් ලතින් අමෙරිකාවටම සීමාවී සිටි ලේඛයෙකි. ඔහු ලෝකයට අනාවරණය වන්නේ, ඉතාලි බසට පරිවර්තනය වූ කෘතියක් මඟිනි.

ඩොමින්ගුවෙස් ගේ ‘කඩදහි ගෙදර’ දැනට ‍භාෂා 20කට පරිවර්තනය වී ඇත. මාලිනි ගෝවින්න එය සිංහලට නැඟීමට තීරණය කිරීම (දර්ශන ප්‍රකාශකයන් සමඟ), මෙතෙක් වසා තිබූ පොත් අල්මාරියක අගුළු හැරීමක් බඳුය. එය මෙතැනින් නතර නොවිය යුතුය.

ඩොමින්ගුවෙස් ගේ, ‘Barren Seas’ කෙටිකතා සංග්‍රහය, මුහුද හා මුහුදු ගමන් පසුබිම් කර ගත්තකි. ‘ The Blind Coast’ නවකතාව, ආර්ජන්ටිනියාවේ හමුදා පාලනය පැවති සමයේ මිනිසුන් ගත කළ අවාසනාවන්ත ජීවිතය තේමා කර ගත්තකි.

ඔහුගේ අලුත්ම නවකතාව වූ ‘ language of Fragility’ දෙවන ලෝක සංග්‍රාම අවධියේ, ආර්ජන්ටියානු ස්වෙච්ඡා බළකායට බැඳී, යුරෝපයේ සටන් බිම්වලට යාමට නැව් නඟින පුද්ගලයකු ගැන කියයි. එය ලිංගිකත්වය, මරණය හා ජීවිතය ගැන කෙරෙන අපූර්ව විවරණයකි.

‘කඩදාසි ගෙදර’ කියවාගෙන යද්දී, 70 – 80 දශකයන් හි ශ්‍රී ලාංකීක අත්දැකීම්’ සිහිගන්වන තැන්ද හමුවෙයි. මේ එබඳු ජේදයකි.

‘පොතකට වඩා පහසුවෙන් මල් බඳුනක්, කෝපි පෝච්චියක් හෝ රූපවාහිනියක් කැඩී යයි. අයිතිකරු පිටු ඉරා පුලුස්සා දැමුවොත් මිසක පොතක් ලෙහෙසියෙන් කැඩී විනාශ වී නොයයි. ආර්ජන්ටිනාවේ ඉකුත් හමුදා පාලන සමයෙහිදි ජනයා ඔවුන්ගේ පොත් වැසිකිළි තුළ, නාන කාමර තුළ පිළිස්සූහ. නැතහොත් වත්තේ කොණක වළ දැමූහ. පොත් අතිශයින්ම භයානක වී තිබුණි. ජීවිතය හා පොත් අතුරින් එකක් තෝරා ගැනීමට සිදුවූ විට, ආර්ජන්ටියානුවෝ ඔවුන්ගේම පොත්වල ඝාතකයෝ වූහ.’

ඇතැම් පරිවර්තන ග්‍රන්ථ කියවන විට, මා තුළ ඇතිවන හැඟීමක්, ‘කඩදාහි ගෙදර’ නිමාවෙද්දී දැනුණි. එනම්, ‘මේ පොත මුල් බසින්ම කියවන්නට ඇත්නම්’ කියාය.

‘කඩදහි ගෙදර’ කියැවු පාඨකයකු, අන්තර්ජාලයෙහි මෙසේ සටහනක් කර තිබුණි. ‘මෙය පොත් කියවීමට ආශක්ත වූවන් සඳහා ලියැවුණු සුරංගනා කතාවකි. (fairy tale for the bookish people.)

 

මාලිනී ගෝවි­න්නගේ

කාලෝස් ඩොමින්ගුවෙස් ගේ, පිටු සියයකටත් අඩු මෙම ‘සුරංගනා - නවකතාව’ කියවා හමාරකොට පසෙකින් තබද්දී, මට මගේ මිතුරියක සිහියට නැඟුණි. ළමාවියේ සිටම පොත් කියැවීමට මහත් සේ ඇලුම් කළ ඇය ඉඳහිට කවි ලියුවාය. ඒවා පුවත්පත්වල කවි පිටුවලද පළවිය. තුරුණු වියට පා තබත්ම ඇයට විවාහ වන්නට සිදුවූයේ, ඇගේම වචනවලින් කියනවා නම් ‘මෙ‍ලෝ රහක් නැති පිරිමියකු’ සමඟය. ඔහු තම බිරිඳගේ කියවීමට හා ලිවීමට තහංචි දැමුවේ එය කාලය කා දැමීමකැයි දොස් පවරමිනි. ඇයටද ඊට අවනත වන්නට සිදුවිය. එහෙත් ඉන් දැඩි මානසික කම්පනයකට පත් ඇය, එතැන් සිට ගත කළේ දොම්නසින් කනස්සල්ලෙන් පිරි නීරස දිවියකි.

පසු කලෙක ඇය, සැමියාගෙන් වෙන්වූවාය. ඇය හමුවූ මොහොතක මම මෙසේ කීවෙමි.

‘දැන් ඔබට ආපසු පොත් කියවන්නත්, ලියන්නත් පුළුවන් නේද?’

‘ඔව්. ඒත් පහුගිය කාලෙ මට හුඟාක් පොත් මඟහැරුණා. ඒවා ආපසු කියවන්න කාලයක් ඉතිරි වෙලා නෑ.’ ඇය ශෝකී ස්වරයෙන් පිළිතුරු දුන්නාය.

‘කඩදහි ගෙදර’ ඇයට යවන්නට මම සිතා ගතිමි. එය ඇගේ සිත නිවන සුරංගනා කතාවක් වනු නිසැකය.

කපිල කුමාර කාලිංග


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>