Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අද තත්ත්වය ගැන කනගාටුයි

$
0
0
මාර් 6, 2018 01:00

ලක්ෂ්මන් විජේසේකර

l ඔබ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතලිස් ගණනකට පසුවයි ඔබේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පවත්වන්නෙ. ඇයි මේ තරම් කල්ගත්තෙ?

මට ඉතිං එහෙම අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. මගේ සිංදුත් ටිකයි තිබුණෙ. ප්‍රසංගයක් කරන්න උනන්දුවක් තිබුණෙත් නෑ. මගේ දුව අමා විජේසේකරයි පුතා විහඟ විජේසේකරයි තමයි උනන්දු වෙලා මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කළේ. මටත් හිතෙනවා දැන් තමයි කාලෙ කියලා. දැන් ඉතිං අපි යන්නත් කිට්ටුයිනෙ. එහෙම හිතලා තමයි මෙහෙම වැඩක් පටන් ගත්තෙ. අනිත් කාරණාව මගේ 70 වෙනි උපන් දිනේ යෙදිලා තියෙන්නෙ මාර්තු 14 වෙනිදාට. ඒකත් එක හේතුවක් මේ ප්‍රසංගය මේ මාසෙ පවත්වන්න.

l මේ ප්‍රසංගය අනිත් ප්‍රසංගවලින් වෙනස් වෙන්නෙ කොහොමද?

එහෙම ලොකු වෙනසක් නෑ ඉතිං. අනිත් ප්‍රසංග වගේ තමයි. ඒක පුද්ගල ප්‍රසංගයක්. සිංදු ටිකක් කියලා ටිකක් වෙනස් විදිහට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ආයෙමත් දිගට ම කරන්න බලාපොරොත්තුවක් නෑ. මේ ප්‍රසංගය විතරයි කරන්න බලාපොරොත්තු. මගේ ගීත 24ක් එදාට ගායනා කරනවා. මීට කලින් මම කවදාවත් එක තැනකට ගීත 24ක් කියලා නෑ. ඒක තමයි ඉතිං මේ ප්‍රසංගයේ විශේෂත්වය. ඉතිං හැමෝටම කියන්නෙ එන්න, ඇවිත් බලන්න කියලා. මේ මගේ පළවෙනි ප්‍රසංගය. එදාට ආරාධිතයොත් ගොඩ දෙනෙක් එනවා. ප්‍රසංගය සාර්ථක වෙයි කියලා හිතනවා.

l ලංකාවෙ සුභාවිත ගීතය අද තියෙන තැන ගැන ඔබ මොකද හිතන්නෙ?

අද තියෙන තැන ගැන ඉතිං කනගාටුයි. කනගාටු වෙන්න ම වෙනවා. මොකද සාහිත්‍යයක් නෑනෙ. හොඳ ගීතයකට සාහිත්‍යයක් තියෙන්න ම ඕනෙ. අපි හිටියෙ හොඳ ම යුගයෙ. 70, 80 කියන්නෙ සාහිත්‍ය පැත්තෙන්, නාට්‍ය පැත්තෙන් හැම පැත්තෙන් ම ඉහළ තලයක තිබුණා. ටීවි එහෙම තිබුණෙ නෑනෙ ඒ කාලෙ. ඉස්සර හොඳ රසික පිරිසක් හිටියා. සියට අනූවක හොඳ රසිකත්වයක් තිබුණා. දැන් ඒක විසිරිලා ගිහින් තියෙන්නෙ. දැන් එක එක ක්ෂේත්‍රවල එක එක විදිහට විඳින අය ඉන්නවා. දැන් ඒ එක තැනක තිබුණ රසය විසිරිලා. ගීතත් ඉතිං හරි ඒකාකාරියි. ඒ කාලෙ එහෙම නෙවෙයිනෙ. ගායකයො ගත්තම එක එක්කෙනාට අනන්‍යතාවයක් තිබුණනෙ. අද හොඳට ගායනා කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. අපිටත් වඩා හොඳට ගායනා කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. හිටියට ඒ අය රැල්ලෙ යනවා මිසක් විශේෂයක් කරන්න උත්සාහයක් ගන්නෙ නෑ. ප්‍රසංගයක් කරගෙන කීයක් හරි හොයාගෙන යන්න හිතනවා මිසක් සාහිත්‍ය පැත්ත ගැන හිතන්නෙ නෑ. කලාව කියන්නෙ විශ්මයක් ඇති කරන්න ඕනෙ දෙයක්. ව්‍යංගයක් තියෙන්න ඕනෙ. ගීතයක් වුණත් එහෙම විඳින්න පුළුවන් එකක් වෙන්න ඕනෙනෙ. ඒත් අද එහෙම එකක් නෑ. කෙලින් ම කියන්න තියෙන දේ කියලා දානවා. ඉස්සර හිටපු ගීත රචකයන්ගෙනුත් ලොකු සේවයක් වුණා. මොකද හොඳ ගීත රචනාවක් නැතුව හොඳ ගී තනුවක් නිර්මාණය වෙන්නෙ නෑ. හොඳ ගීතයක් හම්බුණොත් තමයි හොඳ ගී තනුවක් නිර්මාණය වෙන්නෙ. අද ඒ දේවල් නෑ. අද තියෙන්නෙ ගී තනුවට වචන ටික දාලා, මොනවා හරි කියන එකක්. එහෙම අය වැඩි දෙනෙක් අතරෙ හොඳට කියන අය කිහිප දෙනෙකුත් නැත්තෙ ම නැහැ. හැම දෙයක් ගැන ම හිතලා හොඳට සිංදු කියන කසුන්ලා වගේ අය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. අදටත් යම් දෙයක් කරන්න උත්සාහයක යෙදෙන ඒ වගේ තරුණ පිරිසක් ඉන්නවා. උඩුගම් බලා යන එහෙම තරුණ පිරිසක් ඉන්නවා. නැත්තෙ නෑ. ඒ හිටියට අද ඉතිං රැල්ලෙ යන එකයි ඕනවට වඩා චැනල්වල තියෙන ඒකාධිකාරියයි මුදල් බලාගෙන සිංදු කරන එකයි තමයි වැඩිපුර දකින්න තියෙන්නෙ. අපිට ඒ කාලේ ඔය කිසි දෙයක් තිබුණෙ නෑ. අපි ඒ කාලෙ සිංදුවක් කිව්වම ගුවන් විදුලියේ නිවේදික නිවේදිකාවන් අපිට ඒ ගීතවලට හොඳ ප්‍රතිචාරයකුත් දුන්නා. හොඳ ප්‍රචාරයකුත් දුන්නා. ඒ ගීත නිතරම ගුවන්විදුලියේ ඇහුණා. ඉතිං ඒ ගීත ජනප්‍රිය වුණා. ගුවන් විදුලිය විතරනෙ අපිට ඒ කාලෙ තිබුණෙ. ඉතිං ඒක ඉතාම ඉහළයි. ඒ කාලේ තිබුණු රසිකත්වය මං කිව්වා වගේ සියට අනූවක් විතර එක තැනක තිබුණෙ. ඒක දැන් විසිරිලා. එක එක්කෙනා එක එක විදිහට දැන් රස විඳින්නෙ. ඒක එක අතකින් හානියක්, රසය එක තැනක නැති එක. රසය විවිධ වෙන්න ඕනෙ. නමුත් අපි දන්නවනෙ හැමදේකම තියෙන්න ඕනෙ නෙ පොඩි ප්‍රමිතියක්. අන්න ඒ ප්‍රමිතිය ගැනත් හිතන්න එපැයි.

l අද වෙද්දි ලංකාවේ සිංදුවක් ජනප්‍රිය වෙන්නෙ රූප රචනාවත් එක්ක. ඔබ මොකද ඒ ගැන හිතන්නෙ?

ඒක ඉතිං මම එච්චර ම අනුමත කරන්නෙ නෑ. මෙහෙමයි. හොඳට කරන රූප රචනාත් තියෙනවා. සමහර තරුණ පිරිස් ඉන්නවා මේ රූපරචනාව කියන දේ හොඳට ම කරන. සූර්යාගේ "මගේනෙ"ගීතයට තියෙන රූප රචනාව ගත්තම ඒ රූපරචනාව අපිට හරියට දැනෙනවා. ඒ වගේ දැනෙන රූප රචනා තියෙනවා. නමුත් සියට අනූවක් තියෙන්නෙ නොදැනෙන ඒවා. බහුබූත. පිස්තෝල අරන් කැරකෙන ඒවා. වෙඩි තියන ඒවා. සෞන්දර්යාත්මක, කලාත්මක ගතිය අඩුයි ඒවායේ. අනිත් එක දැන් සියට හැත්තපහක් අනූවක් ම අනුකරණය නෙ. වීඩියෝ එකක් බැලුවා... ඒක කොපි කළා. එහෙම තත්ත්වයක් නෙ තියෙන්නෙ. හිතලා කරන දේවල් අඩුයි. තියෙනවා. නැත්තෙත් නෑ. ඒත් බොහොම අතළොස්සයි ඒ විදිහට අපිට විඳින්න පුළුවන් ඒවා තියෙන්නෙ. ඒ වගේ ම ගීතවලත් ලොකු හරයක් නෑනෙ. ඒ හින්දා ඉතිං ඒවාට එන වීඩියෝ ගැන ලොකුවට හිතන්න බෑ. මොනවා හරි කරලා කාලෙ පුරවන එක තමයි කරන්නෙ.

ගොඩක් හොඳ නිර්මාණ කරන්න උත්සාහ කරන අයත් ඉන්නවා. ඒ වගේ ම දැන් ගොඩක් දුරට තාක්ෂණය උපයෝගී කරගෙන තියෙන නිසා පසු නිෂ්පාදන කටයුතුවලින් වෙනම ආලෝකයකුත් එනවනේ. ඒ කාලේ මමත් ඔය වීඩියෝ ක්ෂේත්‍රයේ හිටියා. "බක් මාසේ මල් මංගල්ලේ"කියලා මං ගීත වැඩසටහනක් කළා ගොඩ දෙනෙක් කරන්න ඉස්සෙල්ලා. ඒක අසූගණන්වල දේශිය විදිහට කරපු එකක්. මම කළේ සිංහල අවුරුද්ද දවසේ වලව්වක වෙන සිදුවීමක් ගීතානුසාරයෙන් ඉදිරිපත් කිරීමක්. ඉතිං මමත් ඒ ෆීල්ඩ් එකේ හිටියා. නමුත් දැන් අපිට බැහැ . දැන් තාක්ෂණයනෙ තියෙන්නෙ. පසු නිෂ්පාදනයෙන් තමයි ගොඩක් ම නිර්මාණයක් ලස්සන කරන්නෙ. ඉතිං අපිට ඒ දේවල් ගැන අවබෝධය නෑ. ඒ නිසා අපි දැන් ඒවායෙන් ඈත් වෙලා ඉන්නවා. ඒවා කරන්න පුළුවන් හොඳ අය ඉන්නවා. මං කලින් කිව්වා වගේ සූර්යාගේ විෂුවල් එක එහෙම ගොඩක් ලස්සනයි. ඒ වගේ හොඳ හොඳ වීඩියෝසුත් නැත්තෙ නෑ දැන්. යම් කිසි දෙයක් හිතන්න තියෙන වීඩියෝසුත් තියෙනවා. නමුත් ඉතින් සියට අනූවක් ම තියෙන්නෙ අවර ගණයේ ඒවා තමයි. නමුත් හොඳට සිංදු කියන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ අය තෝරාගැනීම් වගේ දේවල් ගැන හිතන්නෙ. රැල්ලෙ යනවා මිසක් විශේෂයක් කරන්නවත් අනන්‍යතාවක් ගොඩනගාන්නවත් හිතන්නෙ නෑ.

කොහොම වුණත් අපි කරන කාලෙ අපි කළේ අපට හිතෙන දේ. දැන් වෙලා තියෙන්නෙ අනුකරණය තමයි වැඩි. හින්දි කෑල්ලක්, දෙමල කෑල්ලක් අරගෙන ඒක වැඩි දියුණු කරලා තමයි ඉතිං දැන් හුඟාක් සිංදු එන්නෙ. ඉස්සර වික්ටර් රත්නායකලා, සනත් නන්දසිරිලා, අමරදේවලා කළේ එකිනෙකට වෙනස් දේවල්. ඒ ඔස්සෙ ගිහිල්ලනෙ අපි එඩ්වඩ්ලා, රෝහණලා, ගුණදාස කපුගේලා වෙනස් වුණේ. ඒ ගොල්ලන්ගෙ ආභාසයෙන්නෙ. අද ඉතිං එහෙම ආභාසයක් නෑ. අද ඔක්කො ම යූ ටියුබ් එකෙන් තමයි ගන්නෙ. ඉස්සර එහෙම දෙයක් තිබුණෙ නෑනෙ. අපි ඉස්සර අපේ ප්‍රවීණයන්ගෙන් අහලානේ කළේ. අද ඒ වගේ ප්‍රවීණයෝ බොහොම අඩුයි කියලයි මට නම් හිතෙන්නෙ. යම්කිසි විදිහකින් ඒකත් පරිහානියට හේතුවක්. අනික සාහිත්‍ය නැතුව ඔය මුකුත් කරන්න බෑ. සාහිත්‍ය, භාෂාව, සංස්කෘතිය අහක දාලා යන්න බෑ.

l ඇයි ඔබ කාලෙකින් අලුත් සිංදු කිහිපයක් කළේ නැත්තෙ?

අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා, අපි මොන විදිහෙ සිංදුද කියන්නෙ කියන එකේ. අපි දැන් මේ රැල්ලෙ යනවද? නැද්ද කියන එකේ. අපි මේ ගොඩේ ඉන්න ඕනෙ නම් අපිටත් සිද්ධ වෙනවා රැල්ලෙ යන්න. ඉතිං මට නම් එහෙම අවශ්‍යතාවක් ඇති වුණේ නෑ. මගේ ඔය තියෙන සිංදු ටික මට විඳගෙන ඉන්න පුළුවන්. අලුත් ඒවා කරනවා කියන්නෙ ප්‍රසංගවලට යන්න වගේ නෙ. මට එහෙම ප්‍රසංගවලට යන්න අදහසකුත් නෑ. මම ලොකූ ගායකයෙක් කියලා මම හිතන්නෙත් නැහැ. ඉඳලා හිටලා බෝගොඩලා අපි කට්ටිය එකතු වෙලා නිර්මාණයක් කරනවා මිසක් මම ගොඩක් ගීත කියලා නෑ. ගීත 50ක්වත් කියලා නෑ.

l අද ඉන්න ගායකයෝ ක්ෂේත්‍රයට එනවට වඩා ඉක්මනට යනවා. ජනප්‍රියත්වය කියන දේ හරි ම අස්ථාවරයි. ඇයි එහෙම වෙන්නෙ?

ඒකට හේතු ගොඩක් තියෙනවා. අද පවතින්න හරි අමාරුයි. ගායක ගායිකාවො විතරක් නෙවෙයි නළුනිළියන්ටත් ඒකනෙ තත්ත්වෙ. ඉස්සර ගාමිණී ෆොන්සේකලා කිව්වම වගේ නෙවෙනෙ දැන්. අදත් කලාකරුවො ඉන්නවා. එනවා යනවා. හැමදේම වැඩිවෙලා. නිර්මාණ වැඩි වෙලා, නිර්මාණකරුවො වැඩි වෙලා, චැනල් වැඩි වෙලා. මොනවද බලන්නෙ කියන එක මිනිස්සුන්ට ප්‍රශ්නයක්. එහෙම වෙනකොට ඉතිං කලාකරුවන්ගෙ පවතින ගතිය අඩුයි. පොඩි කාලයයි. ඊට පස්සෙ ජනප්‍රියත්වය, පැවැත්ම නැති වෙනවා. එහෙම ස්වභාවයක් ඉතිං රටේ ම තියෙනවා. මෙහෙ විතරක් නෙවෙයි ලෝකෙ ම තියෙනවා. ඒක ලෝක ප්‍රවණතාවක්. වලක්වන්න බෑ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හොඳට වෙනස් වෙනවා නම් තමයි හොඳ.

l ඔබ ක්ෂේත්‍රය ආව දවස්වල වගේ ම අදටත් එක වගේ ජනප්‍රියයි. කොහොමද මේ තරම් කාලයක් ඒ ජනප්‍රියත්වය රඳවගත්තෙ?

ඒක ඉතිං මට එහෙම කියන්න තේරෙන්නෙ නෑ. ඒ සිංදුවල තියෙන මොකක් හරි වටිනාකමක් ඇති, තනුවෙ, වචනවල පවතින ගුණයක් ඇති මොකක් හරි. අපි තාමත් විඳිනවනෙ ආනන්ද සමරකෝන්ගෙ සිංදු. තාමත් විඳිනවනෙ සුනිල් ශාන්තගෙ සිංදු. ඉතිං එක එක නිර්මාණවල එක එක ගුණ තියෙනවනෙ. ඒ වගේ මොකක් හරි ගුණයක් ඇති ඉතිං.

කාංචනා සිරිවර්ධන
ඡායාරූප-දයාන් විතාරන


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>