Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

හද පාරවන ඇත් මරණ

$
0
0
දෙසැ 2, 2017 01:00

පනාමුරේ ඇත්රජ නාමයට ආදරය කළ තරමට ම ආදරය ලද තවත් ගිජිඳෙක් විය. හරිත වන පියසක් සිය වාසභවනය කරගත් මේ තේජාන්විත ඇත් පෞරුෂය ලක්වැසි අප දන්නේ ගල් ගමුවේ දළ පූට්ටුවා යන ආදරණීය ආමන්ත්‍රණයෙනි. මේ අභිමානවත් සත්වයාගේ ඡායාරූප පමණක් අප ළඟ ඉතිරි වන්නට ඉඩ තබා හීලෑ මිනිස් කල්ලියක් විසින් අහස පොළොව නුහුළන අපරාධයක් සිදු කොට ඇත. දළ යුවල ලබා ගැනීමට මිනිස් ජීවිතයකටත් වඩා වටිනා උතුම් සත්වයෙකුගේ අවසන් හුස්ම මේ හීලෑ මිනිස් කල්ලිය විසින් වා තලයට බලෙන් මුසු කෙරිණි.

යටත් විජිත පාලන සමයේ ලංකාව පාලනය කිරීමට යෙදුණු එක්තරා සුදු මහත්මයෙකි. එතුමා සෑම දිනකම උදෑසන ආහාරයට පෙර ඇතුන් එකොළහක් මරා දමා ඇත. මේ ලෙසින් ම තවත් වාර්තා වූ නොවූ අලි ඇතුන් දඩයම් කිරීමේ කතන්දර සුද්දා අපට දායාද කළ උරුමයන් ය. එදා පටන් මේ ව්‍යායාමයට බැල මෙහෙවර කළ සිරිලක් අම්මාගේ විලි ලැජ්ජාවක අංශුමාත්‍රයක් නොමැති පුත්තු ගණන ද පිළිකුල් සහගත ලෙස අධික වෙති. ඒ මග යමින් අදටත් සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසා යැයි කියාගනිමින් සුදු මහත්තුරුන්ගේ ආශාවන් සන්තර්පණය කරන ජාවාරම්කරුවන් එමට ය. දළ පූට්ටුවාගේ ජීවන ගමනේ අවසානය තීරණය කළ පාපියෝ ද එවන් අයය.

දළ පූට්ටුවාගේ වියෝවේ වේදනාබර උණුසුම පහව යන්නටත් මත්තෙන් තවත් හීලෑ මිනිස් පෝතක හස්තයකින් තබ්බෝව රක්ෂිතයේ ඇතෙකුවත් පරලොව යවා ඇත. ලවක් දෙවක් නැති මෙවන් භූමියක ඉපදීමට තරම් කර ඇති පව පිළිබඳ සිතීමත් හද පාරවන්නකි. නමුදු බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය හිමිවීම සම්බන්ධයෙන් ඇත්හු වාසනාවන්තයෝ වෙති. පෙරහැරේ කරඬුව වඩම්මන අවස්ථාවේ සාධුකාර දෙන පිරිස කරඬුවටත් එය බැතියෙන් කර පින්නාගෙන යන ඇත් රජුටත් වඳිති. පෙරහැර සම්බන්ධ කොටගෙන දළ පූට්ටුවාගේ මරණයෙනුත් තමා උත්පත්තියෙන් ම රැඩිකල් බව පෙන්වීමට අසාමාන්‍ය තැතක් දරන මානවකයෝ හමුවෙති.

සමාජයේ පවතින පිළිගත් කුමක් හෝ සුවිශේෂ සිදුවීමකට ඊට ප්‍රතිපක්ෂව අදහස් දැක්වීමෙන් තමා සාමාන්‍යය මනුෂ්‍යයකුට වඩා ඉහළ විදග්ධයෙකු යැයි සිතීමේ හීනමානය ශ්‍රී ලාංකිකයන් හට ඕනෑවටත් වඩා ඇත. පෙරහැරේ ඇතා ගැන කතා නොකර දළ පූට්ටුවාට සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් දුක්වීම මේ පණ්ඩිතයන්ට අනුව විහිලුවකි. නමුත් සැබෑම විහිලුව මෙය නොවේ. මොවුහු සැබෑ ලෙස කිසිම ප්‍රාණියෙකුට වන අකටයුත්තක් සම්බන්ධයෙන් ශෝක වන්නෝ නොවෙති. රටේ වන සංහාරයක් සිදුවෙද්දී, ගව ඝාතකාගාර දෛනිකව පවත්වාගෙන යාමේදී සත්ව කරුණාව කොහිද? අලි-මිනිස් ගැටුම්, ආහාර නොමැතිකම, දළ කපා ගැනීමට කරන ඝාතන කෙසේ වෙතත් කරඬුව ඇතු පිටින් වැඩමවීම හැරෙන්න වෙන යම් දෙයක් මේ කයිවාරුකාරයන්ට නොපෙනේ.

දළ පූට්ටුවාගේ ජීවයක් නොමැති සිරුර සොයා ගත් දින සවස් කාලයේ පටන් ස්වාභාවධර්මය හැසිරුණු ආකාරය සිය දරුවා අහිමි වීම දරාගත නොහැකිව වියරු වැටුණු මවකට සමාන ය. දිනෙන් දින අප අතින් පරිසරයට වන අකටයුතුකම් හමුවේ අකම්පිතව සිටීමට තරම් උපේක්ෂාවක් දියදම සතු වේ යැයි කාට නම් කිව හැකිද? පරිසරය හා එදිරිව සටන් කිරීමට ලෝකවාසී සියලු දෙනා එක් වුණත් අපහසු ය. නමුදු පරිසරය සුරැකීමට එක්ව කටයුතු කිරීම අපට පමණක් කළ හැකි දෙයකි. වනයට අරක්ගත් වන දේවතාවක බඳු දළ පූට්ටුවා ඔබෙත් මගෙත් වැරදිවලට පව් නොගෙවූවා නම් මේ මොහොතෙත් වනස්පති අතර ඔබමොබ සැරිසරනවා නොවේද?

තිසරණී විජයබණ්ඩාර @Thizuu


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>