ලංකාවේ පළමුවැනි කොවිඩ් රෝගියා හඳුනාගෙන අදට අවුරුද්දකුත් මාස තුනක් ගත වෙලා. අද වන විට අපි මුහුණ දෙන්නෙ ඒකේ තුන්වැනි රැල්ලටය. මේ කාලයට කොරෝනාව අපට දෙන්න පුළුවන් ගොඩක් දේවල් දීලා ඉවරයි. මිනිස්සු වැටෙන්න පුළුවන් පල්ලෙහාම තැනට ඇදලා දාන්න කොරෝනාව ප්‍රබල වුණා. මිනිසුන්ට ඒ හින්දා අද ඕනෑ වැටුණු තැනින් නැඟිටින්නටය. ඒත් මේ අස්සෙ මිනිස්සු නැඟිටිනවා වෙනුවට තැන් තැන්වල නැඟිටින්නේ විරෝධතා නැත්නම් උද්ඝෝෂණ.
තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන්න, ඒ වෙනුවෙන් පෙනී සිටින්න, අසාධාරණයක් නම් ඒකට විරුද්ධ වෙන්න ඕනෑම අයෙකුට පූර්ණ නිදහසක් තියෙනවා. ඒ නිදහසට කවුරුත් ගරු කළ යුතුයි. අපට විරෝධතා උද්ඝෝෂණ අමුතු දෙයක් නොවේ. ලිප්ටන් වටරවුම, කොටුව දුම්රියපොළ මේ වෙනුවෙන්ම ලියවුණු තැන්. මේ තැන් කාලයක් පාළුවට ගිහිනුයි තිබුණේ. සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ බොරුවකුත් නෙවෙයි. කොවිඩ් ව්‍යසනයත් එක්ක හොඳ පැත්තට ලැබුණු ගොඩක් දේවල් අද අපට එකතු වෙලා.
මරණයක් වුණාම දවස් ගණනක් මිනිය ගෙදර තියාගෙන ඒක ප්‍රදර්ශන භාණ්ඩයක් කරපු ක්‍රමයට අද එක පැත්තකින් තිත තැබිලා. මොනවා වුණත් මිනිස්සු වෙනදට වඩා පිරිසිදුව ඉන්න උත්සාහ ගන්නවා. කිවිසුම් යන විට වෙනදා වගේ හැසිරෙන්නේ නැහැ. එහෙම පුරුදු හැමදාටම රකින්න පුළුවන් නම් කොරෝනාවෙන් ලැබුණු හොඳ පාඩම් අනාගතයට ඇත්තටම රිදී රේඛාවක් වෙයි.
අවුරුදු තිහක් අපි යුද්ධයකට මුහුණ දුන්නා. ඒකෙන් රට නැත්තටම නැති වුණා. අදට වඩා අපි ඇත්තටම එදා නැති වෙලයි හිටියේ. මරණ වරෙන්තුව අතේ තියාගෙනයි මිනිස්සු එදා ජීවත් වුණේ. ප්‍රභාකරන් එක්ක යුද්ධ කරනවට වඩා අමාරු වුණේ එන්.ජී.ඕ. කාරයන්, මානවහිමිකම්කාරයන්, වගේම තැන් තැන්වල බෝඩ් එල්ලගෙන කෑගහන ඈයන්ට මුහුණ දෙන එකයි. යුද්ධයේ අවසන් කාලයේදී පවා මේ අය හැසිරුණේ රටට හෙණ ගැහුවත් කමක් නෑ අපට හරි ගියොත් වගේය.
කොරෝනාව කියන්නෙත් ලෝකයටම මුහුණ දෙන්න වෙලා තියෙන දරුණුතම යුද්ධයක්. මේක හරියට ජය ගත්තේ නැත්තන් හැමෝම කම්මුතුයි. හැමෝටම වැඩිය රට කම්මුතුයි. රට කම්මුතුයි කියන්නේ රටේ අදට නූපන් පරපුර කම්මුතුයි කියන එකයි. එදා යුද්ධය වෙලාවේ සමහරක්ට මේක තේරුණේ නෑ. එහෙම කීවොත් ඒක වැරදියි. අහිංසක මිනිස්සුන්ට මේක තේරුණා. ගොඩක් ලොකු ලොක්කෝ වැඩ කළේ ඒක තේරිලා නොතේරුණා වගෙයි.
එදා වගේම අද වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්. රටම යුද්ධයකට මුහුණ දෙන වෙලාවේ තැන් තැන්වල විරෝධතා. මේක එක පැත්තකින් ජනතාවගේ අයිතියක්. කාට කාටත් කොයි අයිතිය දිනන්නත් එක පැත්තකින් රටක් තියෙන්න ඕනෑ. තව පැත්තකින් රටට මිනිස්සු ඉතුරු වෙන්න ඕනෑ. එහෙම නැතිව මොනවා කළත් පලක් නැහැ.
පසුගිය දවස්වල රට පුරා දැඩි සංචරණ සීමා. එහෙම තියෙද්දි ප්‍රාදේශීය සභා නගර සභා ඉස්සරහා බෝඩ් අල්ලගෙන කෑ ගහනවා. අහිංසක මිනිහෙක් බෙහෙත් ටිකක් ගන්න එළියට ගියහම දාහක් ප්‍රශ්න කරන අතරේ මේවට යහමට ඉඩ දීලා තිබුණා. පසුගියදා රට විවර කරා විතරයි සමහරු හිතුවේ ඒක බෝඩ් එල්ලගෙන කෑගහන්න, පාරවල් හරස් කරගෙන පා ගමන් යන්න ඒ අයට දුන්නු අවස්ථාවක් කියලයි. මිනිසුන්ගේ අවාසනාවන්තම සිද්ධිය මරණයයි. ඒත් රටේ තත්ත්වය නිසා පහළොවකට වැඩිය මළ ගෙදරක ඉන්න බෑ. මිනිසුන්ගේ ජීවිතයේ වටිනාම අවස්ථාව මංගල දවසයි. අද එහෙම දවස් නැහැ. ලැබෙන්නේ කසාදය ලියාපදිංචියට විතරයි. ඒකටත් දහයකට වැඩිය බෑ. එහෙම තියෙන රටේ තැන් තැන්වල එක පොදියට විරෝධතා.
ආණ්ඩු වැරදි කරනවා නම් මට්ටු කරන්න ඕනෑ. ඒකෙ දෙකක් නෑ. එත් ජනතාවට වෙට්ටු දාගෙන ආණ්ඩු මට්ටු කරන්න යනකොට වෙන්නේ ආණ්ඩු මට්ටු වෙන එක නෙවෙයි ජනතාවට මට්ටු වෙන එකයි. මේ වෙලාවේ එක පැත්තකින් කොරෝනා රැළි අතරේ විරෝධතා රැළි. රටේ මිනිසුන්ට ඕනෑ තවත් රැළි නෙවෙයි මේකෙන් කොහොමහරි ගොඩ එන්නයි. මිනිස්සු මැරි මැරී ඉපදෙද්දී සමහරුන් වෙන අරමුණු වෙනුවෙන් ගොඩ එන්න දඟලනවා නම් ඒකෙන් වෙන්නේ මරණයේ වේදනාවෙන් දිව යන මිනිසුන් ප්‍රපාතයකට තල්ලු කිරීමකි.
මේ වෙලාවේ එක එක අය තැන තැන දාන විරෝධතා නවත්වලා ඔක්කොම එකතු වෙලා කොරෝනාවට විරුද්ධව නැඟිටින්න හයිය ගත්තොත් රටත්, මිනිසුනුත් දෙකම ඉතුරු වෙයි. එහෙම නැත්නම් රටයි මිනිසුනුයි දෙකම කම්මුතුයි.