අමෙරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලයක් තිස්සේ ඊශ්‍රායල-පලස්තීන ගැටුම සඳහා විසඳුමක් දීමට උත්සාහ කළේය. එහෙත්, එම දෙරට අතර සහ රටවල් අභ්‍යන්තරයේ පැවති ගැඹුරු බෙදීම් සහ සාම්ප්‍රදායිකත්ව මතවාද හේතුවෙන් ඒ සඳහා වූ එක්සත් ජනපදයේ අවංක වුවමනාව බිඳ වැටිණි. එමනිසා, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාම ගිවිසුමක් ඇති වීමට තිබුණු ඉඩ කඩ ඇහිරී ගියේය.
ඊශ්‍රායල් ජනතාව සහ පලස්තීනුවන් අතර දශක ගණනාවක් තිස්සේ පවත්නා මෙම ගැටුමට මුල් වී ඇත්තේ, යෙරුසලම ශුද්ධ භූමිය සඳහා වන තරගයයි. ඊට අමතරව, දෙරට දේශ සීමා ප්‍රශ්න, යෙරුසලමේ ආරක්ෂාව සහ පලස්තීන සරණාගතයන් පිළිබඳ ගැටලු ද මෙම ගැටුමට මූලික වී තිබේ.
එක්සත් ජනපදය පෙන්වා දෙන ආකාරයට දිගු කලක් තිස්සේ ඔවුන් උත්සාහ කර ඇත්තේ රටවල් දෙකක් අතර ඇති විය හැකි ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් දීමටය. ට්‍රම්ප් පරිපාලනය විසින් මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමෙන් පසුව ලද ප්‍රතිඵල බෙහෙවින් තර්ජනයට ලක් වූ අතර, ජනාධිපති බයිඩ්න් බලයට පත් වීමෙන් පසු මේ සම්බන්ධ එක්සත් ජනපදයේ කැපවීම යළිත් තහවුරු කරමින් තිබේ.
ඊශ්‍රායල ජාතිකයන් හා පලස්තීනුවන් අතර පවත්නා මෙම ගැටුම ලොව වඩාත් දීර්ඝතම හා නොවැළැක්විය හැකි ගැටුම බවට පත්ව තිබේ. එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ප්‍රබල ආධාරකරුවකු වුව ද, සාම්ප්‍රදායිකව දෙපාර්ශ්වයේම තරගකාරී හිමිකම් සමථයකට පත් කරන රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ඉදිරිපත් කිරීමට අමෙරිකාව උත්සාහ දරා තිබේ.
එක්සත් ජනපද පරිපාලනය සාම ක්‍රියාවලියක් සඳහා විසඳුමක් මීට පෙර යෝජනා කර ඇති අතර, එමඟින් ඊශ්‍රායලය සහ පලස්තීනය යනුවෙන් රාජ්‍ය දෙකක් නිර්මාණය වේ. කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ගැටුමට මූලික වූ කරුණු සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රතිපත්ති රාශියක් ක්‍රියාත්මක කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ මෙම 'රාජ්‍ය දෙකක්'පිළිබඳ විසඳුම සම්බන්ධ අපේක්ෂාවන් ගිලිහී ඇති බවය.
ජනාධිපති ජෝ බයිඩ්න් විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති නව ප්‍රතිපත්ති මඟින් කලින් ගත් ඇතැම් තීරණ අහෝසි වන අතර, යෙරුසලමේ පවත්නා තත්ත්වය අනුව, ඒවායින් ප්‍රතිපත්ති කිහිපයක් නොවෙනස්ව පවතිනු ඇත.
කලින් සඳහන් කළ පරිදි ඊශ්‍රායල-පලස්තීන ගැටුමට මූලික වී ඇත්තේ, කිතුනුවන්ට, යුදෙව්වන්ට සහ මුස්ලිම්වරුන්ට විශාල ආගමික හා ඓතිහාසික වැදගත්කමක් ඇති මැද පෙරදිග කලාපයක් වන යෙරුසලම ශුද්ධ භූමිය පිළිබඳ සියවසක කාලයක් තිස්සේ පවත්නා භෞමික ආරවුලය.
1896දී තියඩෝර් හර්ස්ල්ගේ යුදෙව් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යුදෙව්වෝ වැඩි වැඩියෙන් 'ඔටෝමාන්'පලස්තීනයට නොහොත්, අරාබි කලාපයට සංක්‍රමණය වන්නට පටන් ගත්හ. එය, යුරෝපයේදී ඔවුනට එල්ල වූ යුදෙව් විරෝධයෙන් බේරීම සඳහා වූ ඔවුන්ගේ පුරාණ නිජ බිමෙහි තෝතැන්නක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කළේය. දෙවැනි ලෝක යුද සමයේදී නාසි ජර්මනිය යුදෙව්වන් මිලියන හයක් සමූහ ඝාතනය කිරීමෙන් පසුව මෙම සංක්‍රමණ බෙහෙවින් වේගවත් විය.
ගැටුමට මුල
ඉන් පසුව, වසර ගණනාවක් පුරා පැවති අරාබි-යුදෙව් ප්‍රචණ්ඩත්වයෙන් පසු 1947දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීනයේ ප්‍රාන්ත දෙකක් පිහිටුවීම සඳහා සිය ඡන්දය දුන්නේය, ඉන් එකක් යුදෙව්වන්ටත්, අනෙක අරාබි ජාතිකයන්ටත් වශයෙනි. ඉන් ටික කලකට පසු, පලස්තීනයේ යුදෙව් ප්‍රජාව සිය ප්‍රාන්තය ඊශ්‍රායලය නමින් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළෝය. තවත් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් සංක්‍රමණය වීමට එය මහත් පෙලඹවීමක් වූ අතර, අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් දියත් කරන ලද යුද්ධය එය තව දුරටත් වේගවත් කළේය.
පලස්තීන අරාබිවරුන් පවසන්නේ යුදෙව්වන් එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළු බටහිර බලවතුන්ගේ සහාය ඇතිව ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ මව්බිම පැහැරගෙන ඇති බවය. ඔවුන් විසින් පිහිටුවා ගන්නා ලද ඊශ්‍රායලය මිත්‍ර පාක්ෂික අරාබි හමුදාවන් විසින් 1948 යුද්ධයේදී පරාජය කිරීමේදී පමණක් පලස්තීනුවන්ගේ ජීවිත හත් ලක්ෂයකට වඩා උදුරාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවල සඳහන් වේ.
එතැන් පටන් ගත වූ දශක ගණනාවක් පුරා ඊශ්‍රායල්-පලස්තීන ආරවුල දිගින් දිගටම ගැටුම්වලට තුඩු දී තිබේ. එහි එක් ප්‍රධාන සන්ධිස්ථානයක් වූයේ 1967 පැවති සය දින යුද්ධයයි. එය අවසන් වූයේ, ඊශ්‍රායලය විසින් නැඟෙනහිර යෙරුසලම, බටහිර ඉවුර සහ ගාසා තීරය අල්ලා ගැනීමෙනි. ඉන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 242 වැනි යෝජනාව සම්මත කරන ලදි. අරාබි-ඊශ්‍රායල් ගැටුම අවසන් කිරීම සඳහා අනාගත රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා පදනම බවට පත් වූයේ, එම යෝජනාවය.
අද වන විට මෙම කලාපය තුළ ගාසා තීරයේ මිලියන 2ක් සහ බටහිර ඉවුරේ මිලියන තුනක් පමණ පලස්තීනුවෝ වාසය කරති. ඊශ්‍රායලයේ මිලියන 9.2ක පදිංචිකරුවන්ගෙන් බහුතරයක් යුදෙව්වන් වුව ද, එහි අරාබි පුරවැසියෝ ද මිලියන දෙකක් පමණ සිටිති. එසේ වුව ද, දේශපාලන විසඳුමක් සඳහා වන අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් සීමිත ප්‍රගතියක් ලබා ඇත. ඉතාමත් මෑතක සිට එක්සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකත්වය මූලික කරුණු කිහිපයක් විසඳීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඉන් එකක් දේශසීමා ගැටලුවය. ද්වි-රාජ්‍ය විසඳුම ලෙස පොදුවේ හැඳින්වෙන ඊශ්‍රායලය සහ පලස්තීනය යනුවෙන් වෙනම 'රාජ්‍ය දෙකක්'පිහිටුවීමේ සංකල්පයට දශක ගණනාවක් තිස්සේ සැලකිය යුතු අන්තර්ජාතික සහයෝගයක් ලැබී ඇත.
දේශ සීමා ක්‍රමවේදයක්
රාජ්‍යයන් දෙකක් පිළිබඳ විසඳුමක් ප්‍රවර්ධනය කරන බොහෝ අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හේතුවෙන් 1967ට පෙර පැවති දේශ සීමා ක්‍රමවේදයකට ආපසු ගමන් කරන්නට ඊශ්‍රායලය කැමැත්තක් දක්වයි. එහෙත්, එසේ කිරීමෙන් එම දේශසීමා තුළ සිටින පලස්තීනුවන්ට සහ ඉන් ඔබ්බට ජීවත් වන යුදෙව් ඊශ්‍රායලිකයන්ට එය කෙසේ බලපානු ඇති ද යන්න පිළිබඳ එහි සම්මුතියක් නැත.
2019 මාර්තු මාසයේදී එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ස්වෛරීභාවය පිළි ගත් අතර, 2020 ජුනි වන තෙක්ම එසේ කළ එකම රට බවට පත්ව සිටියේ එක්සත් ජනපදයයි.
ගැටලුවට මූලික වී තිබෙන මතභේදාත්මක නගරය වන යෙරුසලම, ඊශ්‍රායලයේ හා බටහිර ඉවුරේ මායිම හරහා වැටී තිබේ. ඊශ්‍රායලය මුළු යෙරුසලම් නගරයම එහි අගනුවර ලෙස සලකන අතර, පලස්තීනුවන් තම රාජ්‍යයේ අගනුවර ලෙස සලකන්නේ නැඟෙනහිර යෙරුසලමය. 'රාජ්‍ය දෙකක'විසඳුම සඳහා පලස්තීන අගනුවරක් නැඟෙනහිර යෙරුසලමේ පිහිටා තිබීම අත්‍යවශ්‍ය වේ.
1948 සහ 1967 යුද්ධවලින් පලස්තීන සරණාගතයෝ මිලියනයක් පමණ බිහි වූහ. එහිදී දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගෙන් පැවත එන්නන් වන ඔවුන්ගෙන් වැඩි දෙනකු ජෝර්දානය, ලෙබනනය සහ සිරියාව යන රටවල වාසය කරන අතර, 1948 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවක සහායෙන් ඊශ්‍රායලයට නැවත පැමිණීමේ අයිතිය ඔවුහු ඉල්ලා සිටිති.
යුද්ධයෙන් දිවි ගලවා ගත් අයගෙන් පැවතෙන්නන් ද, එම අයිතිය ඇති සරණාගතයන් ලෙස සැලකිය යුතු ද යන්න පිළිබඳ විවාදය දිගටම පවතී. ඔවුන්ට නැවත ඊශ්‍රායලයට පැමිණීමේ අයිතිය දීම යුදෙව් රාජ්‍යයක් ලෙස තම පැවැත්මට තර්ජනයක් ලෙස ඊශ්‍රායලය දකී. සරණාගතයන් පලස්තීන රාජ්‍යයට යා යුතු යැයි ඔවුන් විශ්වාස කරන හෙයින්, එය රාජ්‍ය දෙකක විසඳුමක කොටසක් ලෙස නිර්මාණය වනු ඇත.
පොලිස් බළකායක්
සමහර පලස්තීන සටන්කාමී කණ්ඩායම් තම පැවැත්මට තර්ජනයක් ලෙස ඊශ්‍රායලය සලකයි. විශේෂයෙන්ම ඊශ්‍රායලය විනාශ කිරීමට ප්‍රතිඥා දී ඇති, ගාසා තීරය පාලනය කරන 'හමාස් සංවිධානය'සහ 'ඉස්ලාමීය සංවිධානය'මේ අතර ප්‍රධාන වේ. ඔවුන්ගේ මරාගෙන මැරෙන බෝම්බ සහ රොකට් ප්‍රහාර සාමාන්‍යයෙන් ඉලක්ක කරන්නේ ඊශ්‍රායල සිවිල් වැසියන්ය. ඊශ්‍රායලයට අවශ්‍ය වන්නේ මෙම කණ්ඩායම් නිරායුධ කර පලස්තීන රාජ්‍යය හමුදාකරණයට ලක් කිරීමටය.
එසේ වුව ද, පලස්තීනුවන්ට ශක්තිමත් පොලිස් බළකායක් තිබිය යුතු බව ඊශ්‍රායලය පිළිගනී. ඊශ්‍රායලයේ මිලිටරි මැදිහත්වීම් අවසන් කිරීමට පලස්තීනුවන් උත්සාහ දරන අතර, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ තමන්ගේම පූර්ණ පාලනයක් අවශ්‍ය බව පිළිගනී. ඒ අතර, පලස්තීන භූමියේ ආරක්ෂාවට ඇති තර්ජනයන්ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව දිගින් දිගටම පවත්වා ගැනීමට ඊශ්‍රායලයට අවශ්‍යව තිබේ.
සෑම පාර්ශ්වයක්ම තම රාජ්‍යය අනෙකා විසින් මෙන්ම, අන්තර්ජාතික ප්‍රජාව විසින් ද පිළිගත යුතු යැයි දෙපාර්ශ්වයම විශ්වාස කරයි. බොහෝ ඊශ්‍රායල් යුදෙව්වන්ට ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය වී ඇති අතර, පලස්තීනුවන්ට අවශ්‍ය වන්නේ කිසියම් ව්‍යසනයකින් ඊශ්‍රායලය විනාශ වනු දැකීමය.
පලස්තීනය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශ්වයම මෙම ගැටුම් අවසන් කර එක්-එක් පාර්ශ්වවල ප්‍රකාශයන්ට ගරු කරන සාම ගිවිසුමක් අපේක්ෂා කරති. එවිට අරාබි ලීගයේ අරාබි සාම මුලපිරුමෙහි දක්වා ඇති පරිදි සියලු අරාබි රාජ්‍යයන් සමඟ වන ඊශ්‍රායල සබඳතා සාමකාමී වී සාමාන්‍යකරණයට මඟ පාදනු ඇත.
දෙරට පවත්නා මෙම ආරවුලේ එක්සත් ජනපද අවශ්‍යතා අතර අත්‍යවශ්‍ය බලශක්ති සම්පත් සුරක්ෂිත කිරීම, සෝවියට් හා ඉරාන බලපෑම් වළක්වා ගැනීම, ඊශ්‍රායලයේ හා අරාබි සහචරයන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම යන කාරණා ප්‍රධාන වෙයි. මෙම අන්තර් සම්බන්ධිත අරමුණු රැසක් අනුගමනය කිරීම සඳහා එක්සත් ජනපදයට මැද පෙරදිග බොහෝ සෙයින් වැදගත් වෙයි.
එසේම, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ සරණාගතයන් අඩු කිරීම මෙන්ම, ඊට අනුරූපව, කලාපීය ගතිකත්වයේ ප්‍රධාන ගාමක බලවේගයක් වන ඊස්ශ්‍රායල්-පලස්තීන ගැටුම නිරාකරණය කිරීමට එක්සත් ජනපදය උත්සාහ කරමින් සිටී. මෙම උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ගනිමින් එක්සත් ජනපදය ඊශ්‍රායලයට දක්වන සහයෝගය සමතුලිත කරගැනීම පුළුල් කලාපීය ස්ථාවරත්වයක් සඳහා මඟ පාදයි.
‘ආසියාවට හැරීම’
ඔබාමා පාලනාධිකාරියේ “ආසියාවට හැරීම” මඟින් ඉස්මතු කර දැක්වෙන පරිදි ලොව අනෙකුත් කලාපවලට ප්‍රමුඛතාව ලැබීමත් සමඟ විශාල මැද පෙරදිග කලාපය කෙරෙහි එක්සත් ජනපදයේ උනන්දුව මැකී ගියේය. එහි සැලකිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සමඟ ට්‍රම්ප් පරිපාලනය අරමුණු කළේ ඊශ්‍රායලයට පක්ෂව ගැටුම නිරාකරණය කර පලස්තීනුවන්ට විසඳුමක් දීමටය.
එක්සත් ජනපදය අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර තිබේ. සමූල ඝාතනයකින් දිවි ගලවා ගත් එක් ලක්ෂයක් පලස්තීනුවන්ට යුදෙව් හෝ අරාබි නොවූ රාජ්‍යයක නැවත පදිංචියට යෑම නිර්දේශ කළ 1946 එක්සත් රාජධානිය ආරම්භ කළ විමර්ශනයට ද අමෙරිකාව මැදිහත් වූවේය. ඊශ්‍රායලය ස්වෛරී ජාතියක් ලෙස පිළිගත් පළමු රට බවට පත්වූයේ ද එක්සත් ජනපදයයි. ඒ 1948 දීය.
1967 පැවති සය දින යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍යය, ප්‍රංසය, රුසියාව සහ එක්සත් ජාතීන් සමඟ අරාබි-ඊශ්‍රායල ගැටුමට පුළුල් ලෙස මැදිහත්වන්නට එක්සත් ජනපදය උත්සාහ කළේය. කෙසේ වෙතත්, 1973 පැවති යුද්ධයේදී ඊජිප්තු හා සිරියානු හමුදා ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමට මුලදී තනිව සටන් කළ ඊශ්‍රායලය, අනාගත රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා පෙරමුණ ගන්නා ලෙස එක්සත් ජනපදයෙන් බලකර ඉල්ලා සිටියේය. ඊශ්‍රායලය එම ගැටුම මිලිටරිමය වශයෙන් ජයග්‍රහණය කළ ද, එහි දී අරාබි බලවත්තු දැඩි මානසික පහරක් ඊශ්‍රායලයට එල්ල කළෝය.
යුද්ධය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූ අතර, එය අරාබි තෙල් නිෂ්පාදකයන්ට, එක්සත් ජනපදයට එරෙහිව තෙල් සම්බාධක පනවන්නට කරන ලද පෙලඹවීමක් වීය. එසේම, එය ඊශ්‍රායලයට සහාය දක්වන එක්සත් ජනපදයක් සහ ඊජිප්තුව සහ සිරියාව සන්නද්ධ කරන සෝවියට් සංගමයක් බිහි කරන ලද අතර, පසුව එය න්‍යෂ්ටික ගැටුමක් තෙක් සමීප කළේය. “පලස්තීන ජනතාවගේ එකම නීත්‍යනුකූල නියෝජිතයා” ලෙස 1974 දී අරාබි ලීගය විසින් පලස්තීන විමුක්ති සංවිධානය (PLO) පිළිගැනීමත් සමඟ පලස්තීන අරමුණු සඳහා යුද්ධය මහත් පිටුවහලක් වීය.
යුදෙව් රාජ්‍යයක් ලෙස පැවතීම සඳහා පලස්තීනුවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ හොත්, එහි අනාගතය අඩපණ වනු ඇත. මෙම තත්ත්වයන් නොසලකා, එක්-රාජ්‍ය විසඳුමක් පිළිබඳ සංකල්පය කෙරෙහි දෙපාර්ශ්වයේම වැඩි උනන්දුවක් පවතී. එය ඊශ්‍රායල ජනතාව අතර වඩාත් ජනප්‍රිය වී ඇති අතර, 2020 වසරේ පැවති පලස්තීනුවන්ගේ මත විමසුමකින් පෙනී ගියේ, තුනෙන් එකක් පමණ ඊට සහාය දෙන බවය.
වසර 03කට පමණ පසු පසුගිය දා ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද ගැටුම් උත්සන්න වූයේ, මෙවන් තත්ත්වයක් යටතේය. දින 11ක් තිස්සේ එම ගැටුම්වලින් පලස්තීනයට දැඩි අලාභ හානි සිදු වූ අතර, 200කට අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි විය. එයින් 34 දෙනෙක් කාන්තාවෝය. 66 දෙනෙකු ළමයින්ය. 1900 දෙනෙක් පමණ මෙහිදී තුවාල ලැබූහ. ඊශ්‍රායල ජාතිකයන් 12 දෙනෙකු මෙහි දී ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් ළමයි්ය.
අමෙරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව වැනි රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයට කළ දැඩි බලපෑම් හේතුවෙන් පසුගිය මැයි 21 වන දින සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වෙයි. මීට පෙර ද මෙම දෙපාර්ශ්වය අතර කිහිප වතාවක් සටන් විරාම ක්‍රියාත්මක වුව ද, විවිධ හේතු මත ඒවා බිඳ වැටිණි. මෙම සටන් විරාමය හෝ එසේ අතරමඟ බිඳ නොවැටී ඊශ්‍රායල-පලස්තීන ගැටලුවට විසඳුමක් දේ නම් එය ලෝක සාමයට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
අනුර බී. සෙනෙවිරත්න