“විජේ අංකල් ලංකාවට ඇවිත්. අලුත් චිත්‍රපටයක් කරලා“ ආරංචිය කනේ තිබ්බෙ පොඩි එකා. අනධ්‍යයන වර්ජනය තාමත් යන නිසා පොඩි එකා තාමත් ගෙදර.
“බැලුවද?“
“එක දවසක් කොළඹ යාළුවන්ට පෙන්නලා තියෙනවා. හෙට ආයෙත් අර සංස්කෘතික වැඩ කරන පුංචි ප්ලේස් එකක මාධ්‍යවල යාළුවන්ට විතරක් පෙන්නනවලු. අප්පච්චි යනවද?“ පොඩි එකා අහනවා.
“මං ඉතිං දැන් මාධ්‍ය යාළුවෙක් නෙවෙයිනෙ?“
“ඒ වුණාට තාමත් පත්තරේකට කෑල්ලක් දෙකක් හරි ලියනවනෙ. අනික අප්පච්චිගෙ පරණ යාළුවනෙ“
අන්තිමට පොඩි එකාගෙ බලවත් ඉල්ලීමයි, පරණ යාළුවෙක් දැකීමට ඇතිවෙච්චි මොකක්දෝ ආසාවයි දෙකම කලවං වෙලා මමත් ගමන යන්න පිටත් වුණා. අන්තිමට පොඩි එකයි, මමයි දෙන්නම අදාළ වෙලාවටත් කලින් තැනට ආවා. 'විජේ'කොහේදැයි වටපිට බලද්දී එයා පරණ යාළුවෝ කණ්ඩායමක් වටකරගෙන සතුටු සාමීචියක්. මාත් එතැනට කිට්ටුවුණා.
“ හලෝ කොහොමද බණ්ඩි. මං මේ උඹට ආරාධනා කරන්න ඉන්න තැනක ඇඩ්‍රස් එකක් නොදන්නා හින්දා බැරිවුණා. කොහොම හරි ආරංචිය ඇවිත් උඹ ආව එක ගැන සතුටුයි“ විජේ කීවා.
කොහොම කොහොම හරි ආ ගිය කතා බස්වලින් පස්සේ එයා එයාගෙ චිත්‍රපටිය ගැන කතන්දරේ කියන්න පටන් ගත්තා.
“මචං මං ලංකාවෙන් ගියේ 88-89 භීෂණ කාලෙනෙ. ඒත් රට වෙනස්වෙලා නෑ. ලංකාවේ ළමයෙක් ඉස්කෝලෙට දාගන්න මෙහේ දෙමව්පියන් දඟලන දැඟලිල්ල, අධ්‍යාපනයේ අර්බුදය වගේ දේවල් තාමත් එහෙමමයි. ඒ දේවල් තමා මේකෙන් සාකච්ඡා කරන්නෙ. ලංකාවෙ සමාජය තාමත් හරි කුහකයි බන්. ඒකයි මේ“
“ කොහොමද බන් මේවට අදාළව තොරතුරු හොයාගෙන කතන්දරේ ගොතා ගත්තේ?“ මං ඇහුවා.
“ඇයි යකෝ මං යුරෝපා රටක ජීවත්වුණාට ලංකාව දිහෑ ඇහැගහගෙන ඉන්නෙ. මෙහේ පත්තර, වෙබ් සයිට් හැමදාම කියවනවා.“ විජේ කීවා. ඔය වගේ පුංචි පුංචි අදහස් හුවමාරු කර ගැනීම් කීපයකට පස්සේ අපි චිත්‍රපටය බලන්න වාඩිවුණා.
ළමයෙක් ඉස්කෝලෙකින් තවත් ඉස්කෝලෙකට දාගන්න මව්පියන් විඳින දුක, රැකියාවල ප්‍රශ්න, මුදලින් හෝ ලිංගික අල්ලස් දෙන්න සිදුවීම, පාසල් වෑන් රථවල යන සිසු-සිසුවියන්ට ඒවායේ රියදුරන්නේ සිදුවන අඩන්තේට්ටම් මේකෙ එක පෙළට සිද්ධවෙනවා. මේ චිත්‍රපටයේ රටේ පොදු ප්‍රශ්නයක් කතා කරනවා. ඒත් රටේ පත්තර, ඕප දූප වෙබ් විසින් කතා කරන එදිනෙදා සිදුවීම්වලට එහා ගිය කිසිවක් මේකෙ නෑ. චිත්‍රපටයෙන් එහා සමාජ ලෝකය තුළ මීට වඩා නිර්මාණාත්මක දේවල් සිද්ධවෙනවා. එක පෙළට එකම කතන්දරය අමුනන, හරිම ඒකාකාරී, ඕලාරික රූප පෙළක් ඔහේ වැනෙනවා. තේමාවක් හැටියටත් වැඩේ පරණයි. අමුයි. චිත්‍රපටයක් හැටියට නම් ගත යුතු කිසිවක්ම නෑ. ඒ හින්දාම වැඩේ ඉවර වුණු ගමන් යාළුවට මුහුණ නොදී ඉක්මනින්ම එතැනින් පැන ගැනීම මගේ එකම අරමුණ වුණා. මං සෙනඟ අතරින් ඈත් මෑත් වෙලා එද්දි පොඩි එකත් මගේ පස්සෙන්ම ඇවිත්.
“ඇයි අප්පච්චි විජේ අංකල්ලා වගේ අයට මෙහෙම වෙන්නේ?“ පොඩි එකා අහනවා.
“ලංකාවෙන් එළියට ගිහින් ලංකාවෙ පළවෙන පත්තර ටිකයි, ඕපදූප වෙබ්වල යන දේවල් ටිකයි විතරක් කියවලා ලංකාව මෙහෙමයි කියලා හිතන කාටත් වෙන්නෙ ඔය ටික තමයි“ මං කීවෙ එච්චරයි.
පොඩි එකා තව දේවල් මොකුත් අහන්න ආවෙත් නෑ. ගොඩක් වෙලාවට අපි දෙන්නා අතර පරම්පරා ගැටුමත්, ඒකත් එක්ක බැඳිච්චි මතවාදී ගැටුමකුත් තියෙනවා. ඒත් මේ කාරණයට අදාළව එහෙම වුණේ නෑ. අපි දෙන්නා අතර ගෙදරට එනකල්ම ආයෙමත් මොකුත් කතා බහක් වුණේම නෑ.
“අද අප්පච්චිලා පුතණ්ඩිලා සමගිව ගමනක් ගිහින්“ මායියා ගෙට ගොඩවෙද්දිම එහෙම කීවා. මමයි, පොඩි එකයි අතර නිතර දෙවේලෙ මත ගැටුම් ඇතිවෙන හින්දා මායියට මේ වැඩේ ගැන සතුටුයි. ඒත් බලන්න ගියේ 'චිත්‍රපටියක්'කියලා ඇත්තම කීවම වැඩේ ටිකක් අවුල්.
“කතා කරොත් ස්ත්‍රීවාදයයි, මානව විමුක්තියයි, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් දිනාදීම ගැනයි ටොන් ගාණට තියරි දෙසනවා. ඒත් 'ගෙදර ගෑනිව'චිත්‍රපටියක් බලන්නවත් එක්කරගෙන යන්නෙ නෑ. ඒකෙදි අප්පොලා, පුතාලා හරිම සමගියි. පුරාෂාධිපත්‍යය', මිසක් වෙන මොකක්ද? අද රෑට උයන්නෙ නෑ. ඔය විදිහටම බඩවල් දෙක පුරවගන්න සමගි සන්ධානවෙලා වැඩපිළිවෙළක් හදාගත්තොත් හොඳයි“ එහෙම කියලා මායියා කාමරයට වැදිලා දොර වහගත්තා. මං පොඩි එකා දිහා බැලුවා. පොඩි එකා මං දිහා බැලුවා. අපි දෙන්නම ටික වෙලාවක් මූණෙන් මූණ බලාගෙන ඉඳලා කුස්සියට වැදුණා.
“කුස්සියේ අර්බුදය, අධ්‍යාපන අර්බුදය වගේ නෙවෙයි නේද අප්පච්චි“ පොඩි එකා හෙමිහිට එහෙම කීවා.
බණ්ඩි රාල