හරිහැටි අව්වක් නැතත් වැස්සට තෙමි තෙමී වුවත් වැලි අනෝදා ගස පලබරය. කෙමෙන් රෝස පැහැයට හැරෙන වැලි අනෝදා ගෙඩි එල්ලාගත් අතු ඉතිත් එක්ක ඒ වඩා නො උස් ගස දරු බර දරන අම්මා කෙනෙක් වාගේ සිරියාවන්තය.
‘අයියෝ අම්මා ලොකුම ගෙඩියක් බාගයක්ම කාලනේ’
හැම දිනකම පාහේ වැලි අනෝදා ගෙඩි ගැන හොයා බලන නිවුන් පුත්තු මැසිවිලි නඟති. ඉදුනු වැලි අනෝදා ගෙඩියේ ප්‍රණිත රසය හොඳින් දන්නා කොල්ලෝ දඬුලේනාට දොස් පවරති.
‘අනේ කමක් නෑ අනේ .... අපිට තව ගෙඩි පහක් හයක්ම තියෙනවනේ ... එක ගෙඩියක් කෑවහම මොකද ... මේ කාලෙ සත්තුන්ට කන්න දේකුත් නෑනෙ ගස්වල ....’යි මම ඒ පියකරු හා කෑදර සතා වෙනුවෙන් පෙනී සිටිමි.
‘සීනි කෙහෙල් කැනෙන් ඇවරියක්ම කාලා තිබ්වා’ යි බඩපිස්සා චෝදනා කරයි.
‘ඒ වුණාට අපිට ඇවරි කීයක් ඉතුරු වෙලා තිබ්බද කියලා ඔයා ගණන් කාළේ නෑනේ චූටියෝ. එයා කාපු ඇවරිය විතරනෙ ඔයා ගණන් කරල තියෙන්නේ ....’
කොල්ලෝ මා දෙස බලන්නේ ඇස් අයා ගනිමිනි.
‘නැන්දා නං දඬුලේන්නුන්ට හරියට බනිනවා. ගහක ගෙඩියක් තියාගන්ඩ දෙන්නෑ කියලා.
පුංචි පුතා නොකීවද අල්ලපු ගෙදර නැන්දා දවසකට දෙතුන්වතාවක්ම දඬුලේන්නුන්ට බැන අඬ ගහන හඬ මටද ඇසෙයි. අලින්, දඬුලේනුන්, හාවුන් , රිලවුන්, මොනරුන් ආදී සතුන්ගෙන් වගාවන්ට හානි සිදුවන බව සැබෑවකි. එහෙත් නිසි ක්‍රමවේදයකින් තොරව එම සතුන් සමූල ඝාතනය කිරීමේ ඉඩ ප්‍රස්ථා ලබාදිය යුතු නැත. කෘෂිකර්මාන්තයද, ගොවියාද මෙන්ම වනසතුන්ද රැකගත යුතුව තිබේ. ගංගොඩේ වුව දැන් ඉබ්බෙකු, හාවෙකු , මී මින්නෙකු, ඉත්තෑවෙකු දැක ගැන්ම අසීරුය. දඩ මසට ලොල්වූවෝ ඉවක් බවක් නැතිව එම සතුන් මරාගෙන කන්නට පුරුදු වූහ. මිනිසා මස් මාංශ ආහාරයට ගැනීම හෙළා දැකිය යුතු නැත. ප්‍රෝටීන් ඌණතාවය ශාරීරික නිරෝගීතාවයට මෙන්ම අපේ කාර්යක්ෂමතාවයටද බලපාන බව පෝෂණවේදීහු පවසති.
ආගමික හේතුන් මත මස් මාංස කෑමෙන් වැළකී සිටීම මෙන්ම ඇතැම් මව්පියන් කුඩා දරුවන්ට පවා එබඳු තහංචි වාරණ පැනවීම කිසිසේත් අනුමත කළ නොහැක.
මිනිසාගේ ශරීරය හැඩ ගැසී තිබෙන්නේ ශාකමය ආහාර සඳහා පමණක් නොවේ. සර්ව භක්ෂකයකු වන මිනිසා එළවළු, පලා වර්ග හා ධාන්‍ය පලතුරු මෙන්ම මස් මාළුද ආහාරයට ගත යුතුය. ගෙල වටා අනේකා නූල් හා යන්තර එල්ලා තිබෙනවා මදිවාට මස් මාළු හා බිත්තර ආහාරයට නොදීමෙන්ද ඇතැම් වැඩිහිටියන් දරුවන්හට කරනු ලබන්නේ මහත්ම අනාදරයකි. ළමයින්ගේ ප්‍රෝටීන් හා යකඩ අවශ්‍යතාව වැඩිය. සමබර ආහාර වේලකින් තොරව ලොකු බත් පිඟානක් කන්නට දීමෙන් දරුවන්ගේ පෝෂණය නියමාකාරයෙන් සිදුවන බව මව්පියෝ විශ්වාස කරති.
මොනතරම් මුළාවක්ද ....? අපේ බත් පිඟානේ බත් අඩුවෙන් ද මාළුපිණි වැඩියෙන්ද තිබිය යුතු බව ප්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා නිරතුරුව අවධාරණය කරයි. මුළුමනින්ම නිවැරදි ඒ කරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මඟින් හෝ මහජනතාව වෙත ගෙන යා යුතුය. මාතෘ හා ළදරු සායනවලදී ලබාදෙන උපදෙස් අතරට ආගමික විශ්වාසයන් හේතුකොටගෙන මස් මාළු බිත්තර ආහාරයට එක්කර ගන්නට නොසිතන උදවිය වෙනුවෙන්ද විශේෂ මාර්ගෝපදේශකත්වයක් එකතු විය යුත නොවේද?
රක්ත හීනතාවට කදිම පිළියමක් වන හරක්මස් නොපිසින ගෙවල් කොපමණ ඇත්දැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සොයා බැලිය යුතුව තිබේ. කිරි ගොවිතැන හා කිරි ගොවියා සම්බන්ධයෙන් උනන්දු වන්නේ නම් ගව ඝාතනයට එරෙහිවීමේ විසුළු සහගත හා නිරර්ථක මෙන්ම අවැඩදායි ප්‍රයත්නය පරාජය කළ යුතුව තිබේ. ආගමික උන්මාදයට රටක අනාගත පරපුර බිලිගන්නට ඉඩ දිය යුතු නැත. නිරෝගී දරුවන් බලාපොරොත්තු වන්නේ නම් පෝෂණ ගුණයෙන් හීන ලොකු බත් පිඟානක් ගිල්ලවීමෙන් පලක් නොවන බව වටහාගත යුතුය.
රට වට කොට මුහුද ඇතත් මාළු කැබැල්ලක් දිනපතා නොව සතියකට වරක් හෝ ආහාරයට එක්කර ගන්නා පවුල් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුත් විය යුතු යැයි සිතමි.
මන්දපෝෂණය හා නිරක්තිය ඉගෙනීමේ හැකියාවට බලපාන බව අධ්‍යාපන අමාත්‍යාංශයද වටහාගත යුතුය. අපේ සිසුවන් ගණිතයට හා විද්‍යාවට දුර්වලවීම පසුපස පෙර කී ප්‍රෝටීන් ඌණතාවය නැත්දැයි සොයා බැලිය යුතු නොවේද?
අහිංසාව පදනම් කරගත් දහමක් වන බුදු දහම ගිහියාට හා පැවිද්දාට අයත් කාර්යභාරයන් මොනවාදැයි සවිස්තරව හා විද්‍යාත්මකව දක්වා තිබේ. එහෙත් වර්තමානයේදී මෙකී දෙපිරිස සිය කර්තව්‍යයන් පටලවාගෙන සිටින හැටියක් පෙනෙන්නට තිබේ. පැවිද්දා නිර්වාණය අරමුණු කොටගෙන වෙහෙසෙනවා වෙනුවට ගිහියා ඒ කරා දක්කන්නට වෑයම් කරති.
ගිහිගෙයි කරුණු කාරණා මැනවින් ඉෂ්ට සිද්ධකොට ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳිනවා වෙනුවට අනිත්‍ය මෙනෙහි කරමින් පැවිද්දා සැපවත් කිරීම ගිහියාගේ එකම කාර්යභාරය වී තිබේ. මෙහිදී හයක් හතරක් නොවැටහෙන බාලපරපුරට වන්දි ගෙවන්නට සිදුවී තිබීම මහත්ම ඛේදවාචකයකි. සමබර ආහාර වේලක් නොලැබ පෝෂණය දුර්වල වීම හේතුකොටගෙන ළමා මහල්ලන් බිහි වී තිබීම පිළිබඳව රජයේ අවධානය වහා යොමුවිය යුතුය.
පිට්ටනියේ වටයක් දිවයාමට නොහැකි, නිතර ලෙඩරෝගවලට බඳුන්වන මේ දරුවෝ හෙට දවසේ මේ රටේ උරුමක්කරුවන් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද? ආගමික හා සංස්කෘතික පීඩාවන්ද බලහත්කාරයන්ද ඉවත් කොට නිසි පෝෂණය ලබමින් දැනුමින් ද යහගුණයෙන්ද පිරිපුන් වෙමින් පෙරට යාමට අපේ දරුවන්ට ඉඩ හසර ලබාදීම උදෙසා රජය නොපමාව වැඩ පිළිවෙළක් ඇරඹිය යුතුය.
ශාන්ති දිසානායක