Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ලොක්කා හෙළුවෙන් සමාජ සේවයක්

$
0
0
දෙසැ 5, 2017 01:00

කසුන් ගමිත්‍රී මාඩිවිල

ඔහු කසුන් මාඩිවිල.නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ලොක්කා හෙළුවෙන් නිශ්පාදකවරයා ලෙස අපට අමුවන හෙතෙම නාට්‍ය නිශ්පාදනයට යොමුවන්නේ සමාජ සද්කාර අරමුණක් පිණිසයි.අපේ රටේ පතල් සේවකයන් වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීමට නාට්‍යයක් නිර්මාණය කළ ඒ අපූරු තරුණයා සමඟයි අද කතා බහ.

* කලාව සහ ඔබ අතර තිබෙන සබඳතාවය පිලිබඳ කතාබහ කරමින් සාකච්ඡාව අරඹමු.

මම පාසල් ගියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට.නුවර කියන්නෙ සියලුම කලා කටයුතු වලට කේන්ද්‍රස්ථානයක්.ඒ නිසාම කුඩා කාලෙ ඉඳන්ම මම නිතර කලා කටයුතු නරඹන්නට හුරුවෙලා හිටියා.මගේ තාත්තා මාතර.එතුමා සංචාරක ක්ශේත්‍රයට සම්බන්ධවෙලා කටයුතුකළා.ඒ වගේම මැණික් පිලිබඳ හොඳ හැදෑරීමක් ඔහුට තිබුණා.මැණික් කියන්නෙත් කලාවක්.ඒක බොහෝදෙනා නොදන්න කාරණාවක්.කලාව ඇඟේ නැත්නම් මැණික් ආශ්‍රිත කර්මාන්තවල නියැලෙන්නට අමාරුයි.උදාහරණයක් විදියට මැණිකක් ඔපදානව කියන්නෙ කලාවක්.ඒ අනුව බලද්දී මම කලාවන් කිහිපයක් එක්ක කුඩා කාලෙ ඉඳලම සම්බන්ධ වෙලා හිටියා.

ඒ වාගේම පාසල් කාලෙ ඉඳලම මම වේදිකා නාට්‍ය,සංස්කෘතික ප්‍රසංග වගේම අර්ථපූර්ණ ගීත අහන්නත් හුරුවෙලා හිටියා.පාසල් කාලයේ ක්‍රීඩාවට යොමුවෙලා හිටිය නිසා කලාව ඇසුරු කරන්නට ලැබුණෙ අඩුවෙන්.නමුත් ඉඩලැබුණු සෑම මොහොතකම කලාව ඇසුරේ ගතකිරීම මගේ ජීවන පුරුද්දක් වෙලා තිබුණා.දැනටත් එහෙමමයි.

කාලයාගේ ඇවෑමෙන් බොහෝදේ වෙනස් වෙනවා.මම ඇමරිකාවේ ජී.අයි.ඒ විශ්වවිද්‍යාලයෙන් මැණික් සම්බන්ධයෙන් උපාධිය ලබනවා.ඒක තමා මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය.අධ්‍යාපන කටයුතු අවසන් කරල මම මැණික් ව්‍යාපාරයට එක්වෙන්නෙ මැණික් විද්‍යාගාරයක් ආරම්භ කරමින්.මගේ ඉලක්කය සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව නැවත මම කලාව ඇසුරට පත්වෙනවා.ඒ මැණික් සම්බන්ධ එකම සඟරාව Tourmaline sri lanka ප්‍රකාශයට පත්කරමින්.මට උවමනාවුණේ ලෝකයට අපේ මැණික් පිලිබඳ කියන්න.ඒ කටයුත්ත සාර්ථකත්ව කරන අතරතුර තමා වේදිකා නාට්‍ය නිශ්පාදනයට එකතුවෙන්නෙ.

* ඔබ ලොක්කා හෙළුවෙන් වේදිකා නාට්‍ය නිශ්පාදනය කරන්නෙ අරමුණු කිහිපයක් හිතේ තබාගෙන.

කලා කටයුත්තක් ආරම්භකල යුතුයි කියල හිතමින් ඉන්න මොහොතක තමයි නාලක විතානගේ මට මුණගැසෙන්නෙ.ඔහු දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්.ඔහුගේ තාත්තා බන්දුල විතානගේ මහතාත් ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය ක්ශේත්‍රයට විශාල සේවාවක් කළ අයෙක්.මේ මුණගැසීම වේදිකා නාට්‍යයක් නිශ්පාදනය කිරීමට මා යොමුකළා.අපි එකතුවෙලා හදපු නාට්‍ය ලොක්කා හෙළුවෙන්.එය ප්‍රහසනයක්.ඒ වගේම බුද්ධිමත් රසවින්දනයට ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන නාට්‍යයක්.අපි හැමෝම ඒ වේදිකාවේ ජීවත්වෙන චරිත.ඒ නිසාම අපි ලොක්කා හෙළුවෙන් ඉතාමත් ආසාවෙන් නිර්මාණය කළා.ලොක්කා හෙළුවෙන් සාමුහික ප්‍රථිපලයක්.

ප්‍රසාද් සූරියආරච්චි, අනෝමා කුමුදිනී, තිලාන් වර්ණජිත්, උපාලි බණ්ඩාර, ඉෂාර වික්‍රමසිංහ, ලසඳුනී ජයවර්ධන, ජිවනී නිරූපමා, සචිත්‍ර යශ්මිඳු, සුනිල් දහනායක, කමිත් වනිගතුංග සහ ගයාන් විතාරණ නාට්‍යයෙහි රංගන කටයුතුවෙනුවෙන් දායකවෙනවා. වේෂනිරූපනය තරිඳු පතිරණගෙන්.චමිඳු විජේරත්න තමයි සංගීත අධ්‍යක්ෂවරයා. ඔවුන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයක ප්‍රතිඵලය තමයි ලොක්කා හෙළුවෙන් කියල වේදිකාගතවෙන්නෙ.

මෙම නාට්‍ය ප්‍රදර්ශනය කරල ලැබෙන මුදල් TGL සමාජ සද්කාරය අරමුදල වෙනුවෙන් තමයි බැරවෙන්නෙ.

* ඔබ අරමුදලක් තනන්නෙ පතල් සේවකයන් වෙනුවෙන්.එය ඉතා සුවිශේෂී කටයුත්තක්.

අපේ රටේ සමාජ සුබසාධක සංගම්,සමාජ සද්කාරය අරමුදල් ඔනෑතරම් තිබෙනවා.ඒවා විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ක්‍රියාත්මක වෙනවා.නමුත් පතල් සේවකයන් වෙනුවෙන් අරමුදලක් තවම අපේ රටේ විධිමත් ආකාරයට ක්‍රියාත්මක නැහැ.අපේ රටට විදේශ විනිමය එක්කරන ප්‍රධානතම ව්‍යාපාරය මැණික්.මැණික් ව්‍යාපාරයේ පාදම පතල් සේවකයා.අද ඔවුන් වෙනුවෙන් ඉටුවියයුතු සමාජ මෙහෙවර නිසි ආකාරයෙන් ඉටුවෙන්නෙ නැහැ.ඔවුන්ට නිසි ගෞරවය රැකවරණය ලැබෙන්නෙ නැහැ.මැණික් වටිනවාවුණාට ඔවුන්ගේ ජීවිත දවස් කුලීයට ගණනයවෙලා තිබෙනවා.ඔවුන්ගේ සහ එම පවුල් සංස්ථාවේ ජීවන රැකවරණය සැපයීම තමයි අපේ අරමුණ.ඒ වගේම මැණික් කර්මාන්තය නිසා සිදුවන ස්වභාවික පරිසරහානි අවම කරමින් පරිසරය යතා තත්ත්වයට පත්කිරීමටත් අපි වැඩසටහන් රැසක් සංවිධානය කරල තියෙනවා.

* නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමෙන් පමණක් මෙම අරමුණට යන්නට පුළුවන්ද.

බැහැ.නමුත් මේ හරහා සමාජයේ කතිකාවක් ගොඩනඟන්නට හැකියාව තිබෙනවා.ඒ වගේම අපි රසාස්වාදයක් ප්‍රේක්ෂකයාට ලබාදීමටත් කටයුතු කරනවා.මේ සියල්ල එකට එක්වුණාම දෙයක් කරන්නට හැකිවේවි කියල අපට විශ්වාසයක් තිබෙනවා.

* නොදැනුවත්වම දැන් ඔබ නිශ්පාදකයකු වී හමාරයි.ඉදිරියේදී නිශ්පාදකයකු ලෙස ගමනක් යන්න බලාපොරොත්තුවක් තිබෙනවද..

නෑ. මම මේ නාට්‍ය නිශ්පාදනය කළේ සමාජ සද්කාරය අරමුදලක් තැනීම වෙනුවෙන්.නිශ්පාදකයකු විදියට මාව හඳුන්වනවට වඩා සමාජ සද්කාරය අරමුදලක නිර්මාතෘ විදියට හඳුන්වනවට මම කැමතියි.මම නිර්මාණවලට එකතුවෙන්නෙ නෑ කියල තීරණයක් නැහැ.නිශ්පාදකවරයකු ලෙසම ඉදිරියට යාමට බලාපොරොත්තුවක් නැහැ.

* ඉදිරි කටයුතු ගැනත් කතා කරමු.

පතල් කරුවන්ගේ ජීවන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතුකිරීම තමා අපේ අරමුණ.ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරය සහ ඒ ආශිත්‍රව වාර්තා වැඩසටහන් කිහිපයක් නිර්මාණය කිරීමට මේදිනවල වැඩකටයුතු සැලසුම් කරමින් ඉන්නවා.අපේ රටේ මැණික් සම්පත් ගැන විදේශ රටවල ප්‍රදර්ශනය කිරීමට ප්‍රමිතිගත වාර්තා වැඩසටහන නැහැ.

ඊළඟ නිර්මාණ කටයුත්ත ඒ වෙනුවෙන් සිදුවේවි.ඒ වගේම ලොක්කා හෙළුවෙන් රටපුරා ගෙනයන්නට අපි සැලසුම් කරනවා.ඒ අනුව නාවික දිනයට සමගාමීව දෙසැම්බර් 6 වැනිදා විශේෂ දර්ශනයක් පැවැත්වෙන්වා.ලබන වසරේ දර්ශන කටයුතු ජනවාරි 20 වැනිදා ටවර් රඟහලෙන් ඇරඹීමට නියමිතයි.

 

චතුර
ඡායාරූප-හර්ෂ ප්‍රියංක ප්‍රනාන්දු


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>