Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

විදෙස්ගත ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා - ආර්.පී.ඒ. විමලවීර ලේකම්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

$
0
0
සැප් 13, 2022 01:00

නිත්‍යානුකූලව මුදල් එව්වොත් වාසි රැසක්

නීති විරෝධී විදෙස් ගතවීම රටට කළු පැල්ලමක්

රටේ බොහෝ දේ දුවන්නේ විදෙස් ශ්‍රමිකයන්ගේ මුදලින්

විදේශ රැකියා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනයට ගෙන තිබෙන පියවර ගැන මෙන්ම මෑතකදී මෙම ක්ෂේත්‍රයට අදාළව සිදුවූ නීතියේ වෙනස්කම් පිළිබඳ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර සමඟ කළ සාකච්ඡාවකි.

l කොවිඩ් වසංගතය නිසා යම් පසුබෑමකට ලක්ව තිබූ විදේශ රැකියා ක්ෂේත්‍රය මේ වන විට ප්‍රගතියක් ලබා තිබෙනවා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය හා අනාගත ඉලක්ක පැහැදිලි කළ හැකිද?

මේ වන විට ලක්ෂ 8ක පමණ ශ්‍රී ලාංකික විගමනික පිරිසක් මැද පෙරදිග රටවල සේවය කරනවා. එමෙන්ම මිලියන 1.2ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කුමන හෝ විදේශ රටක රැකියාව කරනවා. ඔවුන්ගෙන් සමහර දෙනෙක් වෘත්තිකයෝ. ඒ වගේම තවත් පිරිසක් පුහුණු, අර්ධ පුහුණු, නුපුහුණු සහ ගෘහ සේවකයන් හැටියට විදෙස් රටවල සේවය කරනවා. සමස්තයක් විදිහට ගත්තම විදෙස් ශ්‍රමිකයන් අතරින් සියයට 35ක් පමණ ගෘහ සේවකයන්. ඉස්සර මේ සංඛ්‍යාව සියයට 68ක් පමණ වුණා. දැන් වැඩි ප්‍රවණතාවක් තිබෙන්නේ පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් රට යැවීමටයි.

විදේශ රැකියා සඳහා යන පිරිස වැඩි කිරීමට හා එම ක්ෂේත්‍ර විවිධාංගීකරණය කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. මේ වසර තුළ පුද්ගලයන් 3, 30,000ක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අපට ඉලක්කයක් ලැබී තිබෙනවා. අප දැනටමත් පුද්ගලයන් 2,00,000කට වැඩි සංඛ්‍යාවක් රට රැකියා සඳහා යොමුකර තිබෙනවා.

මැද පෙරදිගින් බැහැර රුමේනියාව, හංගේරියාව, පෝලන්තය වැනි රටවල රැකියා අවස්ථා වැඩිකර ගැනීමට තානාපතිවරු සමඟ ඇමැතිවරයා සාකච්ඡා ආරම්භකර තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශය මට්ටමින් දකුණු කොරියාව, මැලේසියාව, ජපානය වැනි රටවල විදේශ රැකියා අවස්ථා ගණන වැඩි කිරීමට කටයුතු කරමින් සිටිනවා.

 

l විදේශ රැකියා ප්‍රවර්ධනයට අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කිරීමට හේතුව විදේශ විනිමය හිඟය ද?

හංගන්න දෙයක් නැහැ, දැඩි විදේශ විනිමය හිඟයක් අපට තිබෙනවා. මේ තත්ත්වය කාලාන්තරයත් තිස්සේ ඇති වූ දෙයක්. විදේශ වෙළෙඳ ලැබීම්වලට වඩා ගෙවීම් වැඩිව තිබෙන නිසා වෙළෙඳ ශේෂයේ දැඩි හිඟයක් ඇතිව තිබෙනවා. වෙනත් රටවල් සමඟ කරන ගනුදෙනුවල සාරාංශයේ හැමදාම තිබුණේ හිඟයක්. ඒ නිසා අපට ද්වි පාර්ශ්වික හා බහු පාර්ශ්වික ණය ගන්න සිදු වුණා. එයට අමතරව ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් මුදල් සොයා ගැනීමට සිදු වුණා. අද වන විට මේ තත්ත්වය පාලනය කර ගැනීමට බැරි මට්ටමකට ඇවිත්. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා. ඉන්පසු තෙල් පෝලිම් හා ගෑස් පෝලිම් නිර්මාණය වුණා.

මේ වන විට රට ටිකින් ටික නැඟිටින පසුබිමක් ඇතිව තිබෙනවා. පෝලිම්, ක්‍රමයෙන් අඩු වෙලා. ගෑස් ටික ලැබෙනවා. ප්‍රමුඛතා තීරණයකර ඒ වෙනුවෙන් විදේශ විනිමය වැය කිරීමට ආණ්ඩුව තීරණයකර තිබෙනවා. තෙල් හා ගෑස් ගෙන්වන්න, බෙහෙත් ටික දෙන්න අවම වශයෙන් මසකට ඩොලර් මිලියන 500ක් වුවමනායි. මේ සඳහා වැඩිපුරම දායකත්වයක් දෙන්නේ විගමනික සේවකයන් මේ රටට එවන මුදල්. නිත්‍යානුකූල මාර්ග ඔස්සේ ඔවුන් රටට මුදල් එව්වොත් මේ අර්බුදය කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ සඳහා ඔවුන් පෙළඹවීම අපේ අරමුණයි.

2017–2019 කාලේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක‍ට ආසන්න අගයක් විදේශ ප්‍රේෂණ විදියට රටට ලැබුණා. ඒ මුදල ඩොලර් මිලියන 600ක් පමණ වෙනවා. එහෙත් පසුගිය කාලේ මේ මුදල ඩොලර් මිලියන 200 දක්වා අඩු වුණා. කොවිඩ් වසංගතය හෝ ආර්ථික බිඳවැටීම නිසා විදේශගත වන සංඛ්‍යාවේ අඩු වීමක් වුණේ නැහැ. ඒ පිරිස වැඩි වුණා. ඒ වගේම විදේශගත වන්නන්ගේ දිශාවේ වෙනසක් සිදුව තිබෙනවා. මෙතෙක් කලක් ගල්ෆ් කලාපයේ විදේශ රැකියා වෙළෙඳපොළට තිබුණ අවධානය දැන් කොරියාව, මැලේසියාවට හා හංගේරියාව, රුමේනියාව වැනි නැඟෙනහිර යුරෝපා රටවලට යොමුව තිබෙනවා.

 

l රැකියා සඳහා පිටරට යන පිරිසේ අඩුවක් දක්නට නැති වුණත් ඔවුන් රටට එවන මුදල අඩුව තිබෙනවා. මෙයට හේතුව කුමක්ද? මේ මුදල වැඩි කරගන්න ගෙන තිබෙන පියවර මොනවාද?

කලින් මාසෙකට ඩොලර් මිලියන 600ක් පමණ ලැබුණා. ඒ මුදල පසුව ඩොලර් මිලියන 200 දක්වා අඩු වුණා. එහෙත් පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ප්‍රමාණය මෑතක සිට වැඩිව තිබෙනවා. පසුගිය ජූලි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 279ක් වූ විදේශීය ලැබීම් අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 325 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ජූලි මසට සාපේක්ෂව සියයට 16.4ක වර්ධනයක්.

කෙසේ වෙතත් විදේශ ප්‍රේෂණ එහෙමත් නැත්නම් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ප්‍රමාණය අඩකින් පමණ අඩුව තිබෙන බව පැහැදිලියි. එයට හේතුව නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රටට මුදල් එවීමයි. ප්‍රකාශිත විනිමය අනුපාතය හා කළු කඩයේ ඩොලරය විකිණෙන මුදල අතර වෙනසක් දකින්න ලැබෙනවා. වර්තමානය වන විට මහ බැංකුවේ අධීක්ෂණය යටතේ මේ තත්ත්වය යම් තරමකට පාලනය කර තිබෙනවා.

හවාල හා උන්ඩියල් ක්‍රමය නිසා රටට මුදල් එවන ප්‍රමාණය අඩුව තිබෙනවා. නිත්‍යානුකූල මාර්ග ඔස්සේ රටට මුදල් එවන්නන් දිරිමත් කිරීමට අමාත්‍යාංශ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා. ඒ අනුව එතෙර රැකියාවක නියුතු ශ්‍රී ලාංකිකයන් නැවත මව්බිමට එනවිට දෙන තීරු බදු සහනය වැඩි කරන්න කටයුතුකර තිබෙනවා. ඒ වගේම යම් යම් කොන්දේසිවලට යටත්ව ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීමට කැබිනට් අවසරය දී තිබෙනවා. මේ සහනය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය චක්‍ර ලේඛය සකස්කර අප එය මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ එකඟතාවට යවා තිබෙනවා. එම අවසරය ලැබුණු පසු කොන්දේසි සම්පූර්ණ කරන අයට වාහනය ගෙන්වීමට හැකියාව තිබෙනවා.

l රාජ්‍යයකින් රාජ්‍යයකට විදේශ ශ්‍රමිකයන් යැවීමේ වැඩසටහන නිසා වැඩි පිරිසකට විදේශ රැකියා වරම හිමිව තිබෙනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කෙසේද?

රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ශ්‍රමිකයන් යවන වැඩසටහන් කිහිපයකට අප දායකව සිටිනවා. මේ වැඩසටහන මඟින් දකුණු කොරියාවට හා ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවිය හැකියි. එහෙත් මේ වැඩසටහන යටතේ වුවත් තොග ගණනේ ශ්‍රමිකයන් යවන්න හැකියාවක් නැහැ. රැකියා අපේක්ෂිතයන්ට භාෂා හැකියාව තිබිය යුතුයි. ඔවුන් අවශ්‍ය nvq මට්ටමට ළඟා විය යුතුයි. මේ සුදුසුකම් සම්පූර්ණ කළ අය අප පුහුණු වැඩසටහනකට සම්බන්ධ කරනවා. අදාළ පිරිස තෝරා ගැනීම කරන්නේ රැකියාව දෙන රාජ්‍යය විසින්. ඔවුන් ඒ රටේ තිබෙන රැකියා අවස්ථා ගණන අතරින් අප රටට දෙන්න පුළුවන් කෝටාව මෙපමණ යයි, දන්වනවා.

මේ පංගුව වැඩිකර ගන්න රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අප නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඒ වගේම මේ ආකාරයේ වැඩසටහන් වෙනත් රටවල් සමඟ ඇතිකර ගැනීමට අප උත්සාහ කරනවා.

එහෙත් රුමේනියාව වැනි රටවල විදෙස් රැකියා රජයෙන් මෙහෙය වන්නේ නැහැ. ඒ නිසා ඒ රටවල තිබෙන රැකියා අවස්ථා අපේ රටට ගන්න ප්‍රවර්ධන වැඩසටහන් කරන්න ඕනෑ.

 

l සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යැවීමේ මිනිස් ජාවාරම වැළැක්වීම ගැන පියවරක් ගෙන තිබේද?

සංචාරයක් සඳහා කෙනකුට රටකින් රටකට යෑම ඇති අයිතිය වළක්වන්න හැකියාවක් නැහැ. එහෙත් මේ අවස්ථාව අයථා ලෙස භාවිත කරන පිරිසක් සිටින බව රහසක් නෙමෙයි. මේ නිසා අවසානයේ ඔවුන් අමාරුවේ වැටෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචිව විදේශ රැකියාවකට යන ශ්‍රමිකයකුට ලැබෙන ආරක්ෂාව මේ යටතේ විදේශගත වන අයකුට ලැබෙන්නේ නැහැ. ඕමාන්, එමිරේට්ස් වගේ රටවලට විසිට් වීසා මඟින් ඕනෑම කෙ‍ෙනකුට යන්න පුළුවන්. අපේ ශ්‍රමිකයන් තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් ඒ රටවලට යනවා. ඉන් පස්සේ රැකියාවක් හොය ගන්න බැරිව අමාරුවෙ වැටෙන අවස්ථා තිබෙනවා.

විසිට් වීසා මඟින් විදේශ රැකියා සඳහා යන අය ගැන හඳුනාගන්න දැන් අපි වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා. ඒ අනුව හඳුනා ගන්නා අය ගුවන්තොටුපොළේදි ආපසු හරවා එවන්න කටයුතු කරනවා. මෙයින් යම් තරමකට මිනිස් ජාවාරම් වළක්වන්න පුළුවන්වේ යැයි අප අපේක්ෂා කරනවා.

මෙයට අමතරව මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන තවත් ආකාරයක් තිබෙනවා. ඒ දේශ සීමාව පැනලා වෙනත් රටවලට ඇතුළු වීම මඟින්. රුමේනියාව වගේ නැ‍ඟෙනහිර යුරෝපා රටවලට යන අපේ සමහර ශ්‍රමිකයන් ගිවිසුම් කාලය අවසන් වෙන්න කිට්ටුව රටින් පනින අවස්ථා අප දැක තිබෙනවා. ඒ වගේ සිදුවීම් නිසා ඒ රටවල අපට තිබෙන ජොබ් ඕඩර්ස් නැති වෙනවා. ඒක රටට කරන හානියක්. එය නැවැත්වීමට ඔවුන් දැනුවත් කරන්න ඕනෑ. යම්කිසි කුසලතාවක් තියෙනවා නම් විදේශගත වීම අපහසු නැහැ. ඒ නිසා අවදානමක් ගෙන නිත්‍යානුකූල නොවන මාර්ගවලින් විදේශගත වීමට උත්සාහ කළ යුතු නැහැ.

 

l සමහර රටවල වැඩිහිටි ජනගහනය ඉහළ යෑම සමඟ සත්කාරකයන්ට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමේදි මතුවන අභියෝග මොනවාද?

ජපානය වැඩිහිටි ජනගහනය බරපතළ විදියට ඉහළ යන රටක්. වැඩිහිටියන් රැකබලා ගන්නන් සඳහා ඒ රටේ විශාල ඉල්ලුමක් තිබෙනවා. එතැනදී ආසියාතික රටවල සත්කාරකයන්ට විශාල අවස්ථාවක් තිබෙනවා. ඒ වෙළෙඳපොළ දිනා ගන්න පිලිපීනය, බංග්ලාදේශය වගේ රටවල් සමඟ අපට තරග කිරීමට සිදුව තිබෙනවා.

මෙයට අමතරව, රාජ්‍යයකින් රාජ්‍යයකට ශ්‍රමිකයන් යැවීමේ වැඩසටහන යටතේ ඊශ්‍රායලයට වැඩිහිටියන් රැකබලා ගන්නන් අප යවනවා. ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන්කර තිබුණත් එහි යම් ප්‍රායෝගික ගැටලු තිබෙනවා. රාජ්‍යයකින් රාජ්‍යයකට ශ්‍රමිකයන් යවන වැඩසටහන්වල ක්‍රමවේද විවිධ වීම එයට හේතුවයි.

 

l රටට වුවමනා විදේශ විනිමය අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් එවන විදේශ සේවකයන්ගේ සුබ සාධනයට ප්‍රමාණවත් ආකාරයට පියවර ගෙන තිබෙනවාද?

ශ්‍රමිකයන්ට විදේශගත වීමෙන් පසු ඒ රටේ සිටින කාලය තුළදී ඔවුන්ට කිසියම් කරදරයක් වුණොත් ඒවාට තානාපති කාර්යාල මැදිහත් වෙනවා. රක්ෂණ ආවරණයක් දෙනවා. ඊළඟට ඉතා අඩු පොලියකට නිවාස හෝ ව්‍යාපාරික ණයක් දෙනවා. එම ණය පොලියෙන් කොටසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙවනවා. එයට අමතරව දායකත්ව විශ්‍රාම වැටුපක් සකස් කිරීම කෙරෙහි ඇමැතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. අපේ සංවර්ධන නිලධාරීන් ඒ පවුල් රැක බලා ගන්නවා. වෙනත් සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. තීරුබදු නිදහස් කිරීමේ සහනයක් දෙනවා. මේ අකාරයට හැකි උපරිම ආකාරයෙන් ඔවුන්ගේ සුබ සාධනයට පියවර ගෙන තිබෙනවා.

 

l විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගේ අවම වයස අවු: 23 සිට 21 දක්වා අඩු කිරීම ගැන බොහෝ විවේචන එල්ලව තිබෙනවා. ඒ නිසා සමාජීය වශයෙන් අයහපත් ප්‍රතිඵල ඇති විය හැකි බවට මතයක් තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අපේ කාන්තාවන්ගෙ විවාහ වීමේ සාමාන්‍යය වයස 27 පමණ වෙනවා. ඉන් පහළ අයට පිටරට යන්න අවස්ථාව දුන් විට ඔවුන්ට පවුල් බරක් නැති දරුවන් සම්බන්ධ ප්‍රශ්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම මෙය දකින්නේ සුබදායී තීරණයක් විදියටයි.

බංග්ලාදේශය, පිලිපීනය වගේ අපේ තරගකාරී රාජ්‍යයන් වයස අවු: 18න් ගෘහ සේවිකාවන් විදේශ රැකියාවලට යොමු කරනවා. අපේ වයස 21යි. එයත් වැරැද්දක් විදියට සමහරු දකිනවා. එහෙත් වයස අවු: 16ට වැඩි කෙනකුට තමන් කැමැති රැකියාවක් යෙදෙන්න තිබෙන අයිතිය රටේ පොදු නීතියෙන් සහතික කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රීන්ට වෙනස්කොට සලකන බවට බවට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව තව පැත්තකින් අපට චෝදනා කරනවා.

අපේ සමාජය දරුවන්ගේ වගකීම මුළුමනින්ම මවට භාර දී තිබෙනවා. පියා ඒ වගකීමෙන් නිදහස් කර තිබෙනවා. අපි මේ ප්‍රශ්නය දිහා විවෘතව දකින්න ඕනෑ. තීරණය ගැනීමේ අයිතිය ඔවුන්ට දිය යුතුයි. නීති මඟින් එය වළක්වනවා නම් වැරැදියි.

මේ මතයේ විදේශ රැකියාවල නිරත ගෘහ සේවිකාවන් දෙස වපර ඇහින් බලන ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. මේ රට දුවන්න අවශ්‍ය ඉන්ධන ටික ගන්න හැකියාව ලැබී තිබෙන්නෙ ඔවුන් එවන ඩොලර් ටික නිසා. කරන්ට් කපන්නෙ නැතිව විදුලිය දෙන්න හැකියාව ලැබී තිබෙන්නෙ, බෙහෙත් ටික ගේන්නෙ ගෘහ සේවිකාවන් මේ රටට එවන විදේශ විනිමයෙන්. ඒ නිසා ඔවුන්ගෙ සුබ සාධනයට ගත යුතු පියවර වැඩි කරන ගමන් ඔවුන්ට අවශ්‍ය ගෞරවය දිය යුතුයි.

 

චන්දන ජයවීර

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>