ලෝක ඕසෝන් දිනය
ඕසෝන් ස්ථරය සුරැකීමේ අන්තර්ජාතික දිනය යෙදී තිබෙන්නේ අදට ( 16) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සෑම වසරක ම සැප්තැම්බර් 16 වැනිදා ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික දිනය යැයි නම් කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි. එදින ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පසුබිම සැකසුණේ 1987 වසරේ දී මොන්ට්‍රියල් ප්‍රඥප්තියට ලෝක ජාතීන් අත්සන් කිරීමත් සමඟය. මොන්ට්‍රියල් ප්‍රඥප්තියට ලෝකයේ රටවල් 197ක් අස්සන් කිරීම සිදු වී තිබෙන්නේ 1987 සැප්තැම්බර් මාසයේ 16 වැනිදා ය.
මෙවර අන්තර්ජාතික ඕසෝන් දිනයට පෘථිවියේ ජීවය ආරක්ෂා කර ගැනීමේදී ගෝලීය සහයෝගිතාවේ වැදගත්කම අවධාරණය කෙරේ.
අනාගත පරම්පරාවල පැවැත්ම උදෙසා ඕසෝන් ස්ථරය ආරක්ෂා කළ යුතු බව මෙයින් ඉස්මතු කෙරේ.
ඕසෝන් ස්ථරය යනු?
ඕසෝන් ස්ථරය ගැන කතා කිරීමේදී නිරවුල් කරගත යුතු ගැටලු කිහිපයකි. ඕසෝන් යනු කුමක්ද?, ඕසෝන් ස්ථරය යනු කුමක් ද?, ඕසෝන් ස්ථරය ආරක්ෂා කළ යුත්තේ ඇයි? ඕසෝන් ස්ථරයට හානි සිදුවන්නේ කෙසේ ද? යනු ඉන් කිහිපයකි.
ඕසෝන් යනු ඔක්සිජන් පරමාණු ත්‍රිත්වයකින් සැදුණු වායුවකි. සමස්ත වායු පරිමාවෙන් 0.0000007%කට ආසන්න ප්‍රමාණයක් ඕසෝන් බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඕසෝන් ස්ථරය වශයෙන් හඳුන්වන්නේ ඕසෝන් ඉහළ සාන්ද්‍රණයක් සහිත කලාපයන් ය. ස්වාභාවික වායු කලාපයේ ඕසෝන් පිහිටා තිබෙන්නේ ස්ථර ගෝලයක් වශයෙනි. පොළොව මතුපිට සිට කිලෝමීටර 20ත් කිලෝමීටර 50ත් අතර දුර ප්‍රමාණයක් ඇතුළත එය පිහිටා තිබේ.
ලෝ පුරා පැතිර ඇති ඕසෝන් ස්ථරයේ ඝනකම තැනින් තැනට වෙනස් ය. සාමාන්‍යයෙන් තුනී ස්ථරයක් තිබෙන්නේ සමකය ආසන්නයේ බව සඳහන් වේ. එම ස්ථරය ධ්‍රැව ආසන්නයේදී ඝනකම් ස්වභාවයක් උසුලයි. ඕසෝන් ස්ථරයේ ඝනකම මේ අන්දමට වෙනස් වීම කෙරෙහි බලපා ඇත්තේ වායුගෝලීය සංසරණ රටා සහ සූර්ය කිරණවල තීව්‍රතාවයි.
ඕසෝන් ස්ථරය පෘථිවිය මත ජීවයේ පැවැත්මට හේතු වේ. ඒ, සූර්යයාගෙන් නිකුත් කෙරෙන අහිතකර පාරජම්බුල කිරණ පොළොවට පතිත වීම වැළැක්වීමට දායක වෙමිනි. ඕසෝන් ස්ථරයෙන් කෙරෙන එම ක්‍රියාව සමාන වන්නේ ඉහළා තැබූ කුඩයක් අපව අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කරන ක්‍රියාවට ය.
පෘථිවියේ ඇරැඹුම
පෘථිවිය මත ජීවය ආරම්භ වීම සහ ඕසෝන් ස්ථරය අතර ඍජු සම්බන්ධයක් ඇත. පෘථිවියේ ආරම්භ අවධියේදී ඕසෝන් නොතිබෙන්නේට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. එනිසා සූර්යයාගේ සිට පැමිණෙන අහිතකර කිරණවලින් (පාරජම්බුල කිරණවලින්) නැහැවෙමින් පෘථිවිය පවතින්නට ඇත. එකල මෙහි කිසියම් ජීවියකු වූයේ නම් එම ජීවියා සිටියේ ඉතා ගැඹුරු සාගරයේ විය හැකි ය. ඊට හේතුව පාරජම්බුල කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ දක්වා ගමන් කිරීමය. එනිසා සාගරයේ නොගැඹුරු කලාපවල ජීවය නොතිබෙන්නට ඇතැයි විශ්වාසයක් තිබේ. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ආරම්භ වූයේ මෙයට වසර 600කට පමණ ඉහතදී ය. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියෙන් අතුරුඵලයක් ලෙස ඔක්සිජන් බැහැර කෙරෙන බැවින් අනුක්‍රමයෙන් ඕසෝන් ස්ථරය නිර්මාණය වීම ආරම්භ වන්නට ඇත. ඕසෝන් ස්ථරය වර්ධනය වීමත් සමග පාරජම්බුල කිරණ පෘථිවිය මත පතිත වීම අඩු වන්නට ද ඇත. ජීවීන්ට හිතකර පරිසරයක් මෙහි නිර්මාණය වීමත් සමඟ ම ජීවය ද වර්ධනය වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.ඕසෝන් ස්තරය පිළිබඳව මුලින්ම තතු අනාවරණය කර ගත්තේ වර්ෂ 1913දී පමණ ය. ඒ සඳහා මුල් වූයේ ප්‍රංශ ජාතික භෞතික විද්‍යාඥයන් දෙපළක් වන චාර්ල්ස් ෆැබ්‍රි සහ හෙන්රි බුස්සන් ය. ඉන්පසු කාලයක දී ඕසෝන් වායුවේ ස්වභාවය, එයින් මිනිසාට ඇති ප්‍රයෝජන මෙන්ම ජීවයේ ආරම්භය සහ ඕසෝන් වායුව අතර ඇති සම්බන්ධය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නා ලදී.
තාක්ෂණික දියුණුවෙන් ඔබ්බට
මිනිසා පෘථිවිය මත පහළ වී තාක්ෂණික දියුණුව අත්පත් කරගන්නා විට ඕසෝන් ස්ථරයට හානි පැමිණෙන්නට විය. නයිට්‍රජන් ඔක්සයිඩ් නිසා ඕසෝන් ස්ථරයට හානි සිදු වන බව මුලින් ම හෙළි වූයේ 1970දී පමණ ය. ක්ලෝරෝෆ්ලූරෝකාබන (chlorofluorocarbons) නිසා ඕසෝන් ස්ථරයට සිදු වන හානි පිළිබඳ 1974දී අනාවරණය කර ගැනිණ. ශීතකරණ හා වායු සමනය භාවිතයේදී, සුවඳ විලවුන් භාවිතයේදී, තීන්ත භාවිතයේදී, පළිබෝධ නාශක ඉසින අවස්ථාවන්හිදී වායු ගෝලයට එකතුවන ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්, ඕසෝන් ස්ථරයේ පැවැත්මට හානිකර ය. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ගිනි නිවන උපකරණ භාවිතයේදී ද ද්‍රාවකයක් හා පිරිසුදු කාරකයක් ලෙස භාවිත කිරීමේදී ද වායුගෝලයට එකතු වේ. එම රසායනිකය ද ඕසෝන් ස්ථරයට හානි පමුණුවයි. පිරිසුදු කාරකයක් ලෙස භාවිතයට ගන්නා මෙතිල් ක්ලෝරෆෝම් ද ඕසෝන් ස්තරය පළුදු කරන බව විද්‍යාඥයෝ පවසති.
එසේම, ඇන්ටාක්ටිකාවට ඉහළ අහසේ ඕසෝන් ස්ථරයේ සිදුරක් නිර්මාණය වී තිබෙන බව විද්‍යාඥයන්ගේ අවධානයට පළමුවෙන්ම ලක් වූයේ 1985දී පමණ ය. මෙම සිදුර කාලයත් සමග විශාල වන බවත් 2003 වනවිට එම සිදුර ඉහළම විශාලත්වයට පැමිණ තිබෙන බවත් විද්‍යාඥයන්ට අවබෝධ විය.
බාධා
ඕසෝන් ස්ථරයට හානි පැමිණීම මිනිසාට මෙන්ම පෘථිවිය මත වසන සෙසු සත්ත්ව සහ ශාක විශේෂවල පැවැත්මට විශාල බාධාවක් ඇති කරයි. පාර ජම්බුල කිරණවලට නිරාවරණය වීම නිසා සම රැලි වැටීම, පිළිස්සීම, සමේ පිළිකා ඇතිවීම, ඇසේ සුද ඇතිවීම, ඇස් අන්ධ වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණීම, ජාන විකෘතිවීම, ජාන විකෘති වීම නිසා පිළිකා ඇතිවීම, ශ්වසන රෝග ඇතිවීම වැනි අහිතකර තත්ත්වවලට මිනිසාට මුහුණදෙන්නට සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට වසරකට මිලියන ගණනක් පුද්ගලයෝ පිරිසක් ඇසේ සුද ඇතිවීමේ රෝගී තත්ත්වයට මුහුණ දෙති. එයින් 20%ක් පමණ සිදුවන්නේ අධික සූර්යයාලෝකය ඇස මත පතිත වීම නිසා බව පර්යේෂණවලින් තහවුරුවී තිබේ.
ඕසෝන් ස්ථරයට හානි වීමෙන් පාර ජම්බුල කිරණ ගලා ඒම නිසා ශාක ප්ලවාංග විනාශ වී යයි. එමඟින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට හානි කෙරේ. මත්ස්‍ය සහ උභය ජීවී විශේෂ විනාශයට පත්වීමෙන් ජෛව විවිධත්වයට හානි සිදු වේ. ඕසෝන් ස්ථරයට හානි සිදු වීම භෝගවල ඵලදාව අඩු වීමටත්, ශාක වර්ධනය හීන වීමටත් හේතුවකි.
මෙම රසායනිකයන් මඟින් ඕසෝන් ස්ථරය මත ඇති කෙරෙන බලපෑම නවතා ගැනීමට හෝ අවම කරගැනීමට හෝ විශේෂ වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත. ඒ අතර ප්‍රධාන වන්නේ ඕසෝන් ස්ථරයට හානිකර රසායනිකයන් වෙනුවට ආදේශක හඳුන්වා දීමයි. ශීතකරණවලදී හයිඩ්‍රොෆෝලෝරෝ කාබන්, ඇමෝනියා හඳුන්වා දීම, ෆෝමින් නිෂ්පාදනයේදි හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝ කාබන් භාවිතය, ඉසින කාරක ලෙස හයිඩ්‍රොකාබන් භාවිතය, ක්ලෝරෝෆ්ලූරෝකාබන වෙනුවට හඳුන්වාදීම ඒ අතර ප්‍රධාන ය. ගිනි නිවන උපකරණවල ඇති, ඕසෝන් ස්ථරයට හානි ගෙන දෙන රසායනික ද්‍රව්‍යවලට කාබන්ඩයොක්සයිඩ්, ජලය සහ නිෂ්ක්‍රිය වායු වැනි ආදේශක හඳුන්වා දී තිබේ. මෙතිල් බ්‍රෝමයිඩ් වෙනුවට කෘෂිකාර්මික කටයුතු සඳහා සමෝධානිත පළිබෝධ පළිබෝධ කළමනාකරණය හඳුන්වාදීම, සූර්යතාපනය හඳුන්වාදීම, මෙටාම් සෝඩියමි, ඩැසෝමේට් වැනි ඕසෝන් හිතකාමී පළිබෝධ නාශක හඳුන්වාදීම ඉතා වැදගත් පියවර ය.
මෙවැනි පියවර අනුගමනය නොකළේ නම් ඕසෝන් ක්ෂයවීමේ මෙයට වඩා බොහෝ වැඩි වන්නට ඉඩ තිබිණ. එසේම පෘථිවිය මතට පැමිණෙන පාරජම්බුල කිරණ වැඩි වන්නටද ඉඩ තිබුණේ ය. විද්‍යාඥයන් පවසන්නේ ඇසේ සුද මතුවීමේ රෝගයෙන් පීඩා විඳින සංඛ්‍යාව අදට වඩා මිලියන 130කින් වැඩි වන්නට අවකාශය තිබුණු බවකි. චර්ම පිළිකා සහිත රෝගීන් අදට වඩා මිලියන 1.5කිනුත්, වෙනත් පිළිකා සහිත රෝගීන් අදට වඩා මිලියන 19කිනුත් ආදී වශයෙන් ඉහළ යා හැකිව තිබුණු බව ඔවුහු පෙන්වා දෙති.
මොන්ට්‍රියල් ප්‍රඥප්තිය
ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක මොන්ට්‍රියල් ප්‍රඥප්තිය මෙහිදී ඉතා වැදගත් මෙහෙයක් සිදු කරයි. එහි අඩංගු කරුණුවලට අනුව ලෝකයේ රාජ්‍ය 197කට ආසන්න සංඛ්‍යාවක් එකාවන්ව ඕසෝන් ස්ථරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ නිසා ඕසෝන් ස්ථරයට සිදුව ඇති හානිය අවම කරගන්නට හැකිව තිබේ. දැනට පළ කර ඇති අනුමාන කිරීම්වලට අනුව 2050 සහ 2070 අතර කාලයේදී ඕසෝන් ස්ථරය 1980 වසරේදී පැවැති තත්ත්වයට පත් වනු ඇත. එසේ වූවත් ඇතැම් රටවල් මොන්ට්‍රියල් ප්‍රඥප්තියට අනුව ක්‍රියා නොකිරීම අභියෝගයකි. ඕසෝන් ස්ථරයේ පැවැත්මට බාධාකාරී රසායනික සහිත ද්‍රව්‍ය අලෙවිය ලෝ පුරා තවමත් සිදු වේ. ඕසෝන් ස්ථරයට අහිතකර වන ද්‍රව්‍ය ඇතුළත් නිෂ්පාදිත, සංවර්ධිත රටවලින් ඉවත් කර සංවර්ධනය වෙමින් පවත්නා රටවලට එවීමත් අවාසනාවන්ත තත්ත්වයකි. ලොව ඇතැම් රටවල් මෙතිල් බ්‍රෝමයිඩ් තවදුරටත් පරිශීලනය කිරීම ද විශාල ගැටලුවක් වී ඇත.
ඕසෝන් වියන සුරැකීම සඳහා ශ්‍රී ලංකාවත් ඉතා වැදගත් පියවර කිහිපයක් ගෙන තිබේ. වියානා සම්මුතියට සහ මොන්ට්‍රියල් සම්මුතියට ශ්‍රී ලංකාව අස්සන් කර එයට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් පියවරක් හැටියට හැඳින්විය හැකි ය.
නුවන් මහේෂ්