සිරිලක් දිවයිනේ ආර්ථික සංවර්ධනය හා ජනතාවගේ සමෘද්ධිමත්භාවය ගොඩනැංවීමෙහිලා අද්විතීය කාර්යභාරයක් හා සේවාවක් ඉටුකරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිය දිගු ගමන් මඟෙහි අභිමානවත් පනස් වසර (50) අද 21 වන දින සපුරයි. සංස්ථාව ඒ වෙනුවෙන් සිය බල මහිමය හා අභිමානය විදහා දැක්වෙන සංවත්සර සැමරුම් සතියක් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එම සතිය පුරා දියත් කර ඇති වැඩසටහන් අතර, සංස්ථාවේ සේවකයින්ගේ සහභාගීත්වයෙන් එක් එක් අංශවල ප්‍රගතිය දැක්වෙන සංදර්ශන රථ පෙළක් සමඟින් රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා සිදුකෙරෙන පාගමන, සංස්ථාව ආරම්භ කිරීමට මුල් වූ සේවක පිරිසට සංස්ථාවේ සේවයේ යෙදී සිට මියගිය සේවක පිරිසට, රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා පිණිස හා දැනට සේවයේ යෙදී සිටින පිරිසට සෙත් පතා සංවිධානය කර ඇති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය හා පසුදින පනස් නමක් විෂයෙහි පිරිනමනු ලබන දානය, දැනට සිටින සියලුම සේවක පිරිසගේ හා සංස්ථාවේ සේවයේ යෙදී සිට දැනට විශ්‍රාම ගොස් සිටින සේවක පිරිසගේ සහභාගීත්වයෙන් පවත්වන සුහද හමුව, වෛද්‍ය සායනය, ලේ දන්දීමේ වැඩසටහන, ඇළඉවුරු දෙපස රුක් රෝපණ වැඩසටහන, සංස්ථාවේ වසර 25ක් සම්පූර්ණ කළ සේවක පිරිසට උපහාර තිළිණ ප්‍රදානය කිරීම හා මුතුරාජවෙල පෙදෙසේ ගංවතුරෙන් පීඩාවිඳින ජනතාවට සහනයක් ලෙස රුපියල් මිලියන 150ක වියදමින් මීටර් 18ක් පමණ දිගින් යුතුව ඉදිකරන ලද වැසි ජල කළමනාකරණ ගේට්ටු පද්ධතිය මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමා විසින් විවෘත කිරීම හා සංස්ථාවේ නාමය සංශෝධනය කිරීම වෙනුවෙන් අලුතින් වෙබ් පිටුවක් ආරම්භය යන කාර්යයන් ප්‍රධාන වේ.
ආරම්භය
වසර 50ක සේවා කාලය සපුරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ආරම්භ කරන ලද්දේ 1968 අංක 15 දරන පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලද “කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් ප්‍රදේශ ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය” වශයෙනි. මෙම ආයතනයේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා වී තිබූ නිසා 1976 අංක 27 දරන පනතින් ආයතනයේ කටයුතු තවදුරටත් පුළුල් කරන ලද අතර, 1982 අංක 02 දරන සංශෝධිත පනතින් මණ්ඩලයේ නම “ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව” ලෙස වෙනස්කොට එහි කටයුතු මුළු දිවයිනම ආවරණය වන පරිදි පුළුල් කරන ලදී. 2006 අංක 35 දරන පනතින් ඉහත කී පනත තවදුරටත් සංශෝධනය කර, එමඟින් අනවසර ගොඩකිරීම් හා ජල මූලාශ්‍ර දූෂණය කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සංස්ථාව වෙත බලය පවරා දී ඇත.
ක්‍රියාකාරීත්වය
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම සංස්ථාවේ ප්‍රධාන කාර්යයන් වන්නේ කොළඹ නගරයේ ඇති ප්‍රධාන ඇළමාර්ග නඩත්තු කිරීම, ජලාපවාහන සැලසුම් සහිතව ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීම, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර තර්ජනය අවමකිරීම සඳහා නිසි පියවර ගැනීම, ජල රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම, අනවසර ඉදිකිරීම්, ගොඩකිරීම් ඉවත් කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම් හා සිවිල් ඉංජිනේරු කටයුතු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ගඟේ වැලි වෙනුවට මුහුදු වැලි හඳුන්වාදීම හා අලෙවිය, වාරිමාර්ග කටයුතු හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ කුලියට සැපයීම ආදී කටයුතු ය.
සංස්ථාවේ සේවාවන් ප්‍රධාන වශයෙන් කොටස් 09 කට බෙදා වෙන්කර ඇත. මානව සම්පත්, සංවර්ධන, මුදල්, යන්ත්‍රෝපකරණ, පර්යේෂණ සහ සැලසුම්, ඉඩම් හා අලෙවි, ජලාපවහන සහ ගොඩකිරීම්, ඉදිකිරීම්, විශේෂ ව්‍යාපෘති හා තෙත්බිම් කළමනාකරණ වශයෙනි.
මානව සම්පත් සංවර්ධන අංශය
සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යා දර්ශකයට අනුව පවතින පුරප්පාඩුවලට සුදුසුකම් ලත් කාර්ය මණ්ඩල බඳවා ගැනීම, ඔවුනගේ වෘත්තීය හා පුද්ගල සංවර්ධනය සඳහා නවීන යුගයේ ආකර්ෂණීය වූ ක්‍රමවේද භාවිතා කරමින් දෙස් විදෙස් පුහුණුව ලබාදීම, සේවක කාර්ය සාධනය ඇගයීම, අභිප්‍රේරණය, ඔවුනගේ දුක්ගැනවිලි, වැටුප් වේතන, සුභසාධනය, සෞඛ්‍ය කටයුතු මෙන්ම විශ්‍රාම යන මේ කටයුතු සොයා බලමින් සංස්ථාව තම සේවක සේවිකාවන් වෙනුවෙන් සුබසාධන පහසුකම් රැසක් සලසා දී ඇත.
සේවකයින්ට නිවාස ඉදිකරගැනීමට හා රථවාහන මිලදී ගැනීමට ණය පහසුකම් ලබාදීම, සහන මිලට ඉඩම් සැපයීම, සේවකයින් සඳහා වෙනම වෛද්‍යාධාර, වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඇතිකිරීම, සේවකයින්ට වර්ෂාවසානයේ ප්‍රසාද දීමනා ගෙවීම, ලබානොගත් වෛද්‍ය නිවාඩු සඳහා මූල්‍ය දිරි දීමනා ලබාදීම, ක්‍රීඩා පහසුකම් සැලසීම, ආරක්ෂක, යාන්ත්‍රික අංශයේ සේවකයින් හා සුලු සේවකයින් සඳහා නිල ඇඳුම් හා පාවහන් ලබාදීම, අනෙකුත් සේවකයින් සඳහා ආහාර දීමනා, තේ දීමනා, ප්‍රවාහන දීමනා ලබාදීම, සේවක ආයෝජන සහ සමුපකාර සංවර්ධන සමිති හා සුබසාධක සමිති මඟින් වෙනත් ණය මුදල් හා සුබසාධන පහසුකම් ලබාදීමට මෙම අංශය සෑමවිටම කටයුතු කරනු ඇත. සේවකයින් තෘප්තිමත් කර ඔවුනගේ ඵලදායීතාවය වැඩි කිරීම තුළින් සංස්ථාව බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවට උපරිම සේවාවක් ලබාදීමයි.
ඇළ මාර්ග නඩත්තුව
සංස්ථාව ක්‍රියාත්මක කරන ප්‍රධානම කාර්යය වන්නේ කොළඹ නගරයේ ඇති ඇළ මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමයි. කොළඹ නගරයේ ඇති කිලෝමීටර් 40ක් පමණ වන සියලුම ඇළ මාර්ග නඩත්තු කරනු ලබන්නේ සංස්ථාවයි. මේ සඳහා මහා භාණ්ඩාගාරයෙන් සංස්ථාවට වාර්ෂිකව මුදල් වෙන්කරනු ලබන අතර, කිසිදු විදේශීය ආයතනයක ක්‍රියාකාරී සහභාගීත්වයකින් තොරව තනිවම මෙම කටයුතු කිරීමට සංස්ථාවට හැකිවී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබූ කොළඹ නගරයේ මෙම ඇළ මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු 1979 වර්ෂයේ සිට සංස්ථාව වෙත පවරන ලදී. එතැන් සිට මේ සඳහා එම ඇළ මාර්ගවල සියලු නඩත්තු කටයුතු, ඝන අපද්‍රව්‍ය, මළ අපද්‍රව්‍ය එම ඇළ මාර්ගවලට යොමු කිරීම වැළැක්වීම, ජල දූෂණය වැළැක්වීම, ඇළ මාර්ගවල ජලයේ තත්ත්වය වැඩිදියුණු කිරීම, ඇළ ඉවුරු නඩත්තු කිරීම, ඇළ දෙපස ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම, ඇළ රක්ෂිත, ජල රැඳවුම් ප්‍රදේශවල අනවසර අත්පත්කරගැනීම් වළක්වා ගංවතුරෙන් තොර පරිසර හිතකාමී හරිත පරිසරයක් ඇති කිරීම සඳහා සංස්ථාව ලබාදෙන්නේ නොමඳ සහයකි. කොළඹ නගරයේ පිහිටි මෙම ප්‍රධාන හා කුඩා ඇළ මාර්ග නඩත්තු කිරීම සඳහා සංස්ථාව කොළඹ උතුර ඔරුගොඩවත්ත කාර්යාලය, කොළඹ දකුණ කිරුළපන කාර්යාලය හා කොළඹ නැඟෙනහිර කිරිමණ්ඩල මාවත ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා ඇත.
මෙයට වසර 20කට පමණ පෙර කුඩා වැස්සක දී වුව ද කොළඹ නගරය ගංවතුරෙන් යටවන තත්ත්වයක් පැවතුනි. මෙයට පිළියමක් ලෙස සංස්ථාව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ ණය ආධාර මත මහ කොළඹ ගංවතුර පාලන හා පරිසර සංවර්ධන ව්‍යාපෘතීන් අදියර I යටතේ කොළඹ නගරයේ ඇති කිලෝමීටර් 40ක් පමණ වන සියලුම ඇළ මාර්ගවල දෙපස පදිංචිව සිටි පවුල් 5500ක් පමණ ඉවත්කොට හඳුනාගත් සංවර්ධනය කළ වෙනත් ප්‍රදේශවල ඔවුන් නැවත පදිංචිකර, සියලුම ඇළ මාර්ග හාරා ඇළ ඉවුරු දෙපස ගේබියන් ගල් පෙට්ටි හා වානේ තහඩු යොදා ආරක්ෂා කර මෝය කටවල් පුළුල් කර ඇළ මාර්ගවල ජලය මනාව බැස යන පරිදි සකස් කිරීමට කටයුතු කරන ලදී.
මෙයට අමතරව සංස්ථාව මහ කොළඹ ගංවතුර පාලනය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් අදියර II යටතේ කොළඹ නගරයේ විශේෂයෙන්ම ගංවතුරෙන් යටවන දෙමටගොඩ, ටොරින්ටන්, සර්පන්ටයින් ඇළ, යුනිටි පෙදෙස යන ප්‍රදේශ ඉන් වළක්වා ගැනීම සඳහා ලංකාවේ ප්‍රථම වරට උමං ඇළමාර්ග සකස් කිරීමට කටයුතු කර ඇත.
කොළඹ නගරය පමණක් නොව කොළඹ අවට ප්‍රදේශවල ගංවතුර තර්ජනය අවම කිරීම සඳහා සංස්ථාව මහ කොළඹ ගංවතුර පාලන හා පරිසරය වැඩිදියුණු කිරීමේ අදියර III යටතේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව යටතේ පවතින අත්තිඩිය, කවුඩාන ප්‍රදේශවල මෙන්ම මොරටුව, ලුනාව ප්‍රදේශවල වැසි ජලයෙන් යට වන ප්‍රදේශ හඳුනාගෙන නියමිත බෝක්කු හා කානු පද්ධති සකස් කර ලුනාව කලපුව ද සංවර්ධනය කර අතිරික්ත ජලය බොල්ගොඩ ඇළ මඟින් මුහුදට යොමුකිරීමට කටයුතු කර ඇත.
සංස්ථාව මෙම ව්‍යාපෘති තුළින් කොළඹ නගරයේ ඇළ මාර්ග සංවර්ධනය කිරීමට අමතරව වැසි වතුර රඳවා තබා ගැනීම සඳහා සුදුසු ප්‍රදේශ වශයෙන් හඳුනාගත් අක්කර 1000ක භූමි ප්‍රදේශයක් ජල රැඳවුම් ප්‍රදේශ වශයෙන් වෙන්කර තැබීමට ද කටයුතු කර ඇත.
කොළඹ නගරයට ලැබෙන වැසි ජලය මෙම ජල රැඳවුම් ප්‍රදේශවලින් ප්‍රධාන ඇළ මාර්ගවලට යොමුකර ඇති අතර, එම ජලය වැල්ලවත්ත ඇළ දිගේ ගලා ගොස් වැල්ලවත්ත මෝය කටින් ද, දෙහිවල ඇළ දිගේ ගලා ගොස් දෙහිවල මෝය කටින් ද, කොළඹ උතුර මෝදර උමං මාර්ගයෙන් ද මුහුදට ගලා බසී. මෙලෙස කොළඹ නගරයේ ඇති සියලු ඇළ මාර්ග ක්‍රමවත්ව සංවර්ධනය කිරීම නිසා වර්තමානයේ කොළඹ නගරය ගංවතුරෙන් යටවීම වළක්වා ගැනීමේ කාර්යයට ප්‍රධාන වශයෙන් දායකවීමට සංස්ථාවට හැකියාව ලැබී ඇති බව දන්වන්නේ ඉමහත් ආඩම්බරයෙන් යුතුවය.
කොළඹ නගරයේ ඇති ප්‍රවාහන තදබදයට පිළියමක් ලෙස ඇළ මාර්ගවලට බෝට්ටු යොදා මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි සංස්ථාව දැනට විශේෂ අවධානය යොමුකර ඇත. මෙයින් පළමු පියවර ලෙස බත්තරමුල්ල සිට වැල්ලවත්තට, කෝට්ටේ, කිරුළපන හා වැල්ලවත්ත ඇළ මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කිරීම අගය කළ යුතු වේ.
සංස්ථාව විසින් මෑතදී ආරම්භ කරන ලද කොළඹ නගර අලංකරණ වැඩසටහන යටතේ ඇළ මාර්ග ආශ්‍රිත ප්‍රදේශ දැකුම්කලු ප්‍රදේශ බවට පත් කිරීමේ වැඩසටහන මහජනතාවගේ ප්‍රසාදයට ලක්වී ඇති අතර, එම හේතුව නිසා ඔවුනට දිනපතා විනෝදාත්මක ක්‍රියාකාරකම් හා ශරීර සුවතා කටයුතුවල යෙදීමට අවස්ථාව සැලසී ඇත.
මේ යටතේ ජනතාවට ඇවිදින මංතීරු හා විවිධ ක්‍රීඩා කටයුතු කිරීම මෙන්ම ප්‍රණීත ආහාරපාන අඩු මිලට ලබාගැනීම සඳහා සුදුසු ස්ථාන ලෙස බත්තරමුල්ල දියත උයන, කඩවත සුවත උයන, තලවතුගොඩ දියසරු උයන, බොරලැස්ගමුව කෙළිමඩල මෙන්ම මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත, බෙල්ලන්විල, කිඹුලාවල ශරීර සුවතා මධ්‍යස්ථානය, ජපන් මිත්‍රත්ව පාර, ටොරින්ටන්, ආකේඩ්, කටුබැද්ද, වත්තල හා බේරේ වැව ආශ්‍රිතව ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.
කොළඹ නගරයේ පමණක් නොව කොළඹ නගරයට ආසන්න කොළොන්නාව, මීතොටමුල්ල, මුල්ලේරියාව, අංගොඩ, වත්තල, බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශවල ඇළ මාර්ගවලට යන්ත්‍ර සූත්‍ර යොදා මඩ ඉවත් කර ඇති අතර, සංචාරක අමාත්‍යාංශය සඳහා මීගමුවේ සිට මා ඔය දක්වා හැමිල්ටන් ඇළ පුනරුත්ථාපනය කිරීම ද මහනුවර වැව, නුවරඑළිය ග්‍රෙගරි වැව, බේරේ යන වැව්වල අපද්‍රව්‍ය හා රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු පමණක් නොව පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාමීය වැව් හා ජලාශ ඉදිකිරීමේ කාර්යයන්ට ද දායක වී ඇත.
කොළඹ නගරය වාණිජ වටිනාකමින් යුත් නේවාසික ප්‍රදේශයක් නිසා නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය හා සෞඛ්‍යය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නිසි ජලපවහනයකින් යුතු ඇළ මාර්ග නඩත්තු කිරීම සංස්ථාව සිය වගකීමක් මෙන්ම සමාජ මෙහෙවරක් ලෙස ද සලකා නිරන්තරව කටයුතු කරනු ඇත.
වේරැස්ගඟ වර්ෂා ජලය බැසයාමේ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
නිසිලෙස සකස් වූ ඇළ මාර්ග නොමැති වීම, ඇළ මාර්ග කුඩා වීම, පවතින ඇළ මාර්ග පුළුල් නොකිරීම, බෝක්කු, පාලම් වැඩිදියුණු නොකිරීම, ඇළ ඉවුරු සංරක්ෂණය නොකිරීම, ඇළ මාර්ග හරස් කර අනවසර ඉඩම් ගොඩකිරීම වැනි දෑ හේතු කොටගෙන නුගේගොඩ, රත්තනපිටිය, බොරලැස්ගමුව, බෙල්ලන්විල හා වේරැස්ගඟ ආශ්‍රිත ප්‍රදේශ නිරන්තරයෙන් ගං වතුරෙන් යටවීම සිදු විය. මෙය වළක්වා ගැනීමට පිළියමක් ලෙස ශ්‍රී ලංකා රජය මෙන්ම චීන රජයේ චයිනා එක්සීම් බැංකුවේ මූල්‍යාධාර මත වේරැස්ගඟ හාරා රොන්මඩ ඉවත් කිරීම, බොල්ගොඩ ආශ්‍රිත වගුරු බිම්වල ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම දැනට ක්‍රියාත්මක කර ඇත.
ඉදිකිරීම් අංශය
ගොඩනැගිලි ඉදිකිරීම හා සිවිල් ඉංජිනේරුමය කටයුතු, ඉඩම් සංවර්ධනය කිරීම්, ජලාපවහන කටයුතුවලට අදාළ කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෙත ISO – 9001:2015 හා ISO – 14000:2015 තත්ත්ව සහතිකය පිරිනමා ඇත. සංස්ථාව ඉදිකිරීම් හා පුහුණු සංවර්ධනය කිරීමේ ආයතනයේ ඉදිකිරීම් සඳහා C – 1 ශ්‍රේණිය යටතේ ලියාපදිංචි වී ඇති අතර, කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය ද ලබා සිටින ආයතනයකි. සංස්ථාවට C – 1 ශ්‍රේණිය යටතේ ඕනෑම ඉදිකිරීමේ කටයුත්තක් ඉටුකිරීමට යන්ත්‍රෝපකරණ, මිනිස් බල හා මූල්‍යමය හැකියාව ඇත. රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් ගොඩනැගිලි රාශියක් මෙම වසර 50ක කාලය තුළ සංස්ථාව නියමිත කාලසීමාවට, නියමිත ප්‍රමිතියෙන් යුතුව ඉදිකර දී ඇත.
මෙම ඉදිකිරීම් අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාලය, මහවැලි කෞතුකාගාරය, මොරටුව විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරය, ප්‍රමිති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලය, පශු සම්පත් මණ්ඩල ප්‍රධාන කාර්යාලය, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ බස් නැවතුම්පළ හා සාප්පු සංකීර්ණය ද පානදුර මෝදරවිල සුනාමියෙන් අවතැන් වූ පිරිස් සඳහා ඉදිකළ නිවාස 288, ඇළ ඉවුරුවලින් ඉවත් කළ නිවැසියන් සඳහා කොළොන්නාව, සාලමුල්ලේ ඉදිකළ නිවාස 216 හා මධ්‍යම පාන්තික නිවැසියන් සඳහා වැල්ලවත්ත මයුර පෙදෙසේ ඉදිකළ නිවාස 120 සංස්ථාවේ ප්‍රධාන ඉදිකිරීම්වලින් කොටසක් ලෙස හඳුන්වාදිය හැක.
පර්යේෂණ හා සැලසුම් අංශය
රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා වැසි ජල අපවහන කටයුතු සැලසුම් කිරීම, ඒ පිළිබඳ උපදේශන කටයුතු කිරීම, ගොඩනැගිලි හා පාලම් පිළිබඳ ගෘහ නිර්මාණාත්මක සහ ව්‍යූහාත්මක සැලසුම් නිර්මාණය කිරීම, ඉදිකිරීම් අධීක්ෂණය, ඉංජිනේරුමය ද්‍රව්‍ය පරීක්ෂා කිරීම, ප්‍රමාණ සමීක්ෂණ හා ඇස්තමේන්තු පිළියෙල කිරීම, ඇළ මාර්ගවල ජලමට්ටම් හා ජලයේ ගුණත්වය පරීක්ෂා කිරීම, සංස්ථාවට හා බාහිර ආයතන සඳහා පාරිසරික බලපෑම් තක්සේරු (EIA) කිරීම, මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා (IEE) සකස් කිරීම මෙම අංශය මඟින් සිදු කරනු ලබයි.
එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉඩම් සංවර්ධනය කරගැනීම සඳහා අවසර ඉල්ලා ඉදිරිපත් කෙරෙන ලිපි අදාළ ප්‍රදේශවලට ගොස් පරීක්ෂා කර බලා ජලාපවහන සැලසුම් සහිතව අවශ්‍ය අනුමැතිය ලබාදීම, එමෙන්ම අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් පිළිබඳව මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි මත වහාම ක්‍රියාත්මක වී ඒවා නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම හා නීති මඟින් කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
මෙම කටයුතු කිරීම සඳහා සංස්ථාවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් ලැබෙන්නේ ඉමහත් පිටිවහලකි.
යන්ත්‍රෝපකරණ අංශය
සංස්ථාව සතුව නාවල කිරිමණ්ඩල මාවතේ යන්ත්‍රෝපකරණ අංශයක් පිහිටුවා ඇත. සංස්ථාවේ ඉඩම් සංවර්ධනය කිරීමට, ඇළ මාර්ගවල රොන්මඩ ඉවත් කිරීමට, අනවසර ඉදිකිරීම් ගොඩකිරීම් ඉවත් කිරීමට, විශාල ජලාශවල රොන්මඩ ඉවත් කිරීම, ගංවතුර පාලනය කිරීම සඳහා මෙහි ඇති අධික වටිනාකමින් යුතු යන්ත්‍ර සූත්‍ර සියල්ල භාවිත කරන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශවල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ කුලියට සැපයීම ද මෙම අංශයෙන් සිදුකරනු ලබයි.
ඉඩම් හා අලෙවි අංශයේ සේවාවන්
සංවර්ධනය සඳහා සුදුසු වගුරු බිම් හඳුනා ගැනීම, සංස්ථා පනතේ 2 (1) වගන්තිය යටතේ ඒවා ප්‍රකාශයට පත් කිරීම, පවරා ගැනීම, වන්දි ගෙවීම, ආරක්ෂා කිරීම, ජලාපවහනයට බාධාවක් නොවන සේ සංවර්ධනය කිරීම, එම ඉඩම් රජයේ අවශ්‍යතා, නිවාස, ඉදිකිරීම්, ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් විකිණීම හෝ දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීම, එමෙන්ම සංවර්ධිත කටයුතු සඳහා ඉවත් කරන පුද්ගලයින් වෙත ඉඩම් ලබාදී නැවත පදිංචි කිරීම හා ඔවුනට අවශ්‍ය ඉඩම් ඔප්පු ලබාදීම මෙම අංශයෙන් සිදු කරනු ඇත.
වර්තමාන පාර්ලිමේන්තු සකස් කිරීමට අවශ්‍ය භූමිය සකස් කිරීමේ කටයුත්තෙන් ඇරඹි සංස්ථාව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ වෙදමුල්ල, මුදුන් ඇළ, රාගම, හෝමාගම, වරකාපොළ, මුතුරාජවෙල පමණක් නොව දිවයිනේ විවිධ පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු, මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ ජලාපවහන සැලසුම් සහිතව ඉඩම් සංවර්ධනය කිරීම සඳහා මහා පරිමාණයෙන් දායක වී ඇත.
තෙත්බිම් සංරක්ෂණය
නාගරීකරණයත් සමඟ ස්වාභාවික සම්පත්වලට එල්ල වන තර්ජනය අවම කිරීම, වගුරු බිම්වල වෙසෙන සතුන්, පක්ෂීන්, ක්ෂීරපායින්, උරගයින් සහ විවිධ ජලජ පැළෑටි ආරක්ෂා කර ගැනීම හා නාගරික වන ජීවීන්ගේ වටිනාකම කියාදීමේ අරමුණින් මෙම තෙත්බිම් කළමනාකරණ අංශය 2013 වර්ෂයේදී ආරම්භ කර ඇත.
1970 දශකයේ පාර්ලිමේන්තු වැව නිර්මාණය කිරීමේදී හාරන ලද රොන්මඩ ඉවත් කර පාර්ලිමේන්තු භූමියට ආසන්නව තලවතුගොඩ පිහිටි අක්කර 50ක තෙත් භූමියක් තුළ ඉදිකර ඇති මෙම උද්‍යානය ප්‍රදේශයේ ගං වතුර රැඳවුම් ප්‍රදේශයක් ලෙස ද ක්‍රියාකරමින් නගරයේ ඇති උෂ්ණත්වය අඩු කිරීමට දායක වෙමින් තෙත් බිම්වල පරිසර පද්ධති හා ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීමේ හා නැරඹීමේ අරමුණින් සහභාගී වන පාසල් සිසුන්ට ද, විශ්වවිද්‍යාල සිසුන්ට ද දැනුම ලබාදෙන නියමු ව්‍යාපෘතියක් ලෙස කටයුතු කරනු ඇත.
සමාජ සත්කාරක සේවාවන්
සංස්ථාව සෑම වටිකම සිය රාජකාරි සේවාවන්ට මූලිකත්වය දී කටයුතු කරන අතර, විවිධ ආපදාවන් නිසා රටේ උදව් උපකාර අවශ්‍යව සිටින ජනතාව වෙනුවෙන් ද ආයතනයේ සියලුම වෘත්තීය සමිති හා සුබසාධක සමිතිවල ආධාරයෙන් විවිධ සමාජ සත්කාරක සේවාවන් ද ඉටුකර ඇත. සංස්ථාව වරෙක නියං රකුසාට ගොදුරු වුණ හම්බන්තොට ප්‍රදේශයේ වැසියන්ට පමණක් නොව ගංවතුරෙන් විනාශයට පත් දෙනියාය ප්‍රදේශයේ ජනතාවට මෙන්ම කොටි ත්‍රස්තවාදය හේතුකොටගෙන අවතැන් වූ රජයේ පාලනය යටතේ පැවති වවුනියාවේ සෙට්ටිකුලම්, මැණික්පුර නඩත්තු කඳවුරුවල වාසය කළ ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම්, බෙහෙත් වර්ග පමණක් නොව වෙනත් අත්‍යාවශ්‍ය දෑ වැනි අත්‍යවශ්‍ය දෑ සැපයීමේ මහා මෙහෙවරට ද දායක වී ඇත. මෙරට සුනාමි ව්‍යසනයට ගොදුරු වූ අවස්ථාවේදී කළුතර, පානදුර ප්‍රදේශයේ විනාශයට පත් වූ නිවාස, මහාමාර්ග යථා තත්ත්වයට පත්කරලීම සඳහා සංස්ථාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර පමණක් නොව සේවකයින් ද යෙද වූ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ ඉඩම් අහිමි වූ පිරිස් සඳහා නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය ඉඩම් සංවර්ධනය කරදීම ද සිදුකර ඇත.
වසර 50ක් පුරා වාරි මාර්ග, ඉඩම් සංවර්ධන හා මහවැලි, නාගරික හා ජල සම්පාදන, නාගරික හා පූජා භූමි සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක වැනි අමාත්‍යංශ යටතේ පැවති මෙම ආයතනය වර්තමානයේ මහානගර හා බස්නාහිර සංවර්ධන වැනි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. එදා සිට මෙදා දක්වා පත්කළ සභාපතිවරුන් 19 දෙනෙකු හා සාමාන්‍යාධිකාරිවරුන් 11 දෙනෙකු යටතේ මෙම සංස්ථාව පාලනය වී ඇත.
වසර 50ක කාලයක් තුළ විවිධ දේශපාලන නායකයින් හා පරිපාලකයින් යටතේ ක්‍රියාත්මක වුව ද මෙම ආයතනය සෑම වර්ෂයක් පාසාම ලාභ උපයන පඩු නොලබන ආයතනයක් බවට පත් වී ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සංස්ථාව වෙත පවරන ලද සියලු කාර්යයන් නිසි කළමනාකාරීත්වයක් යටතේ ලෝක ආර්ථිකයේ සිදුවන විවිධ වෙනස්වීම්වලට අනුව හැඩගැසෙමින් ආයතනය සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වූ නිසාය. එය සංස්ථාවේ සියලු සේවකයින්ගේ එකමුතුව, කැපවීම, උනන්දුව, ධෛර්යය හා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වාදිය හැක.
![]()
එල්. එස්. වනිගසිංහ
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා
සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක කළමනාකරු