ඕනැම රටකට සම්බාධක පැනවීමට අවශ්‍ය වේ නම් එම රටට අවශ්‍ය ආකාරයට අදාළ රට කෙරෙහි සම්බාධක පැනවිමක් කළ හැකි වේ. මානව හිමිකම් කවුන්සිලයට සම්බාධක පැනවීම කෙරෙහි අනෙක් රටවලට ඉල්ලීම් කළ හැකි වුවත් එම රටවලට එසේ කිරීමට හෝ නොකිරීමට පුළුවන. එහි නීතීමය වශයෙන් කිසිදු බලපෑමක් කළ නොහැකිය.
ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවන් සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට ඉතා අවාසිදායක තත්ත්වයක් උද්ගත විය. මෙහිදී ශ්‍රී ලංකාවට බලපානු ලබන අංගය වන්නේ 46/L/1 යන ලේඛනයයි. එය මාර්තු මස 16 දින ඉදිරිපත් කර තිබුණු අතර රටවල් ගණනාවක් එම ලේඛනයට අත්සන් කර මෙරට තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකස් කර තිබිණි. මෙහිදී මෙම ලේඛනය සම්බන්ධව නොසලකා හැරීමක් කළ නොහැකි වන අතර මෙම ලේඛනය තුළින් ඔවුන් ඉදිරිපත් කර ඇති කාරණා පිළිබඳව අප සලකා බැලීමක් කළ යුතු වේ.
මෙය කරුණු 16කින් සමන්විත පිටු 3-4ක ලේඛනයක් වන අතර මේ සඳහා මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්ද විමසීමක් සිදු කෙරිණි. එවැනි අවස්ථාවක රටක් වශයෙන් කළ යුතු වන්නේ, එම ලේඛනයේ ඇතුළත් කරුණු පිළිගන්නා බවත් ඊට අනුගත වී කටයුතු කරන බවත් ඒ සඳහා කාලය ඉල්ලීමත්ය.
මෙරටට එරෙහි චෝදනාවක් ඉදිරිපත් කළ විට එම චෝදනාවට වැරදිකරු කිරීම සම්බන්ධව කරුණු දැක්වීමක් මෙහිදී සිදු විය යුතුය. මෙය පසුගිය සැසි වාරයේදී එවකට විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් එකඟත්වය පළ කරන ලද ලේඛනයයි. මෙසේ කිරීමෙන් මෙරට ස්වෛරීභාවයට හානි කර තත්ත්වයක් තිබෙනවා යන සිතිවිල්ල රජය මාරු වීමෙන් පසු වෙනත් රජයකදී එම රජයේ ප්‍රතිපත්ති සමඟ සලකා බැලීමේදී පෙනී ගිය බැවින් වහාම ඒ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා විදේශ ඇමැතිවරයා මානව හිමිකම් කවුන්සිලයට ගොස් තවදුරටත් එකතු වී කටයුතු නොකරන බවත් අප ඉන් ඉවත් වන බවත් පැහැදිලි කොට ඇත. මේ නිසා මෙරට ජනතාව ඊට එරෙහිව ස්ව ඡන්දය භාවිත කොට නව රජයක් පිහිටුවා ගැනිණි. මුල් අවස්ථාවේදී මංගල සමරවීර මහතා එහි ගොස් කරන ලද එම ක්‍රියාවලිය පාර්ලිමේන්තු අවසරයකින් තොරව සිදු කොට තිබේ. එය ඔහු විසින් විදේශ ඇමැතිවරයා ලෙස තනි මතයට ගත් තීරණයකි.
විදේශ ඇමැතිවරයාගේ කරුණු
පැහැදිලි කිරීම
එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වර්තමාන රජය විසින් මුල සිටම කියා සිටියේ මෙම ලේඛනයට අනුගතව ක්‍රියා කරන ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම මෙම සැසි වාරය වන විට වෙනත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට වන සූදානම පිළිබඳව දැන ගැනීමට ලැබුණු පසු වර්තමාන විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළේය.
කරුණු 16කින් යුත් මානව හිමිකම් වාර්තාව කොපමණ පිරිසක් නිසි ලෙස කියවා බැලුවේ ද යන්න ගැටලුවකි. ඇතැම් පිරිසක් ඊට එරෙහිව හඬ නැඟුව ද, එම වාර්තාව දෙස බැලූ විට පෙනී යනුයේ එම වාර්තාවේ එකිනෙකට සඳහන් වන කාරණා මෙරට සිදු වන වර්තමාන ක්‍රියාවලිය බවයි. පසුගිය යුද සමයෙන් පසුව ශ්‍රී ලංකාව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් සෑහීමට පත් වෙන බවත් එම ක්‍රියාවලිය මෙතෙක් කර ගෙන පැමිණි ආකාරය පිළිබඳ ඔවුනට තෘප්තියක් තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව 2019 නොවැම්බර් මස සහ 2020 අගෝස්තු මස පැවැත්වුණු ඡන්දය සම්බන්ධව සම්පූර්ණයෙන්ම සෑහීමට පත් වෙන බවත් එහි සඳහන් වේ. මෙහිදී මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම රැකෙන පරිදි මානව හිමිකම්වලට කිසිදු හානියක් නොවන පරිදි පැවැත්වුණ බවත් මෙහිදී සැලකිල්ලට භාජනය වී තිබේ. ඒ අනුව ඔවුන් කියා සිටිනුයේ මෙලෙස තවදුරටත් ඉදිරියට යමින් පළාත් සභා ඡන්ද පැවැත්වීම කෙරෙහි වහාම කටයුතු කරන ලෙසත් ඒ පිළිබඳ වන ප්‍රමාදයට අනුගත නොවන ලෙසත්ය. පළාත් සභාවන්ගෙන් කෙරෙන සේවාවන් මෙහිදී ඉස්මතු කර ඇති අතර මින් උතුරු නැඟෙනහිර ජනතාවට විශේෂ සහන සැලසීමක් සිදු වන බව ද සඳහන් වී තිබේ. මේ නිසා මෙය 13වන සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කොට ඇති හෙයින් මේ පිළිබඳව අවධානය යොමු කොට කටයුතු කරන ලෙසත් මෙහි හුවා දක්වා තිබේ. එමෙන්ම යුද සමයෙන් පසු උතුරු නැඟෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ඇති කිරීම වෙනුවෙන් කරන ලද ක්‍රියාවලිය, බිම් බෝම්බ ඉවත් කිරීමේදි අනුගමනය කරන ලද ක්‍රියාවලිය, ඉඩම් නැවත ලබා දීම සම්බන්ධයෙන් මෙන්ම වාසස්ථාන අහිමිවූවන් නැවත පදිංචි කිරිම සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ජිවිත වැඩි දියුණු කිරිම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කොට තිබේ.
මිට අමතරව තවදුරටත් ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහය ලබා ගැනීමට විශේෂයෙන් මානව හිමිකම් කවුන්සිලයෙන්, මෙන්ම තවදුරටත් මේ අය සමඟ එකතු වි කටයුතු කිරිමට කැමති බව දිනේෂ් ගුණවර්ධන මහතාගේ කතාවේදී ප්‍රකාශ කොට තිබිණි.
මෙම වාර්තාවේ අඩංගු කරුණු 16හි 2019 අප්‍රේල් පාස්කු ඉරු දින ප්‍රහාරය මැඬ පැවැත්වීම සඳහා රජයක් ලෙස අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටියේදී මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය සිදු නොවීම සම්බන්ධයෙන් විශේෂ සඳහනක් ද වේ. මෙම ප්‍රහාරයෙන් හානියට පත් වුණු වින්දිතයන්ට ලබා දිය යුතු පහසුකම් සහ දීමනා සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කරන ලෙසත් දන්වා තිබේ. සැසි වාරයකදී පිළිගත් ආකාරයට 2009 වකවානුව තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වරින් වර එකඟත්වය ප්‍රකාශ කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධ කොමිසම, වන්දි පිරිනැමීම සම්බන්ධ කොමිසම සහ හානිපූර්ණ ක්‍රියාවලියේදී වඩාත් සක්‍රිය ලෙස ඒවා ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ ප්‍රතිඵල ඉක්මනින් ජනතාවට ලබා දීම පිළිබඳව විශේෂයෙන් ප්‍රකාශ කොට තිබේ. මෙහි හත් වැනි කරුණ ලෙස ත්‍රස්තවාදි පනත සම්බන්ධව ඉක්මනින් ක්‍රියාකාරි වී එම පනතේ සඳහන් දැඩි කොන්දේසි සහ නීති රීති ලිහිල් කොට, ජනතාවගේ මානව අයිතිවාසිකම්වලට හානි වන කාරණා ඉවත් කිරීම කෙරෙහි ඉක්මනින් ක්‍රියාත්මක වන ලෙස ද එහි සඳහන් කොට තිබේ.
20වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක විම
එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි ත්‍රස්තවාදි ක්‍රියාවල යෙදෙන සංවිධානයන්හි ත්‍රස්තවාදී කටයුතු මැඬ පැවැත්වීම කෙරෙහි කටයුතු කරන ලෙස ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
මෙම කරුණු 16ට අදාළව පසුව සඳහන් කර ඇති 7වැනි කාරණය තුළ ඇති වැදගත් කරුණ වන්නේ වර්තමාන අවුරුද්දක කාලය තුළදී 20වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක විම තුළ ඉන් හානිකර තත්ත්වයක් ඇති විය හැකිය යන්නය. එය නොමේරු කරුණක් ලෙස පෙනේ. මේ සම්බන්ධව ඇතැම් පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු මීට අදාළ වන්නට ඇත. ඒ තුළින් මිලිටරිකරණය දක්වා යන ගමනක් පෙනෙන බවත් ඒ සඳහා ඔවුන්ගේ විමතිය මෙන්ම අවධානය යොමුව ඇති බවත් මෙහි වැඩි දුරටත් සඳහන් වේ. මීට අදාළව සමාජ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාවන් මැඬ පැවැත්වීම සඳහා රජය විසින් කරනු ලබන යම් ක්‍රියාමාර්ග පිළිබඳව ද සඳහන් කොට තිබේ. ඒවායේ නිසි තොරතුරු ලබා ගැනීමකින් තොරව මෙම ඡේදය සකස් කොට ඇති බවක් මෙහි පෙනෙන්නට තිබේ.
සියලුම ආගම්වලට ගරු කළ යුතු බවක් ද මෙහි සඳහන් වේ. කොවිඩ් මරණ භූමදානය සම්බන්ධ මෙරට තුළ ඇති වුණ ගැටලුකාරි තත්ත්වය පිළිබඳව මෙම වාර්තාවේ අවධානය යොමු කොට තිබේ. මෙම කරුණු කාරණා සියල්ල එක්රැස් කොට ඒ පිළිබඳව විමසිලිමත් විමේදී පෙනී යනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ වග වීම පිළිබඳ යම් යම් කොමිෂන් සභා මඟින් දෙනු ලබන තීන්දු තීරණ සහ නිර්දේශ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වර්තමාන ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබූ කොමිෂන් සභාවෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බවයි. කෙමිෂන් සභා මඟින් දෙනු ලබන නිර්දේශයන් නිසියාකාරව ක්‍රියාත්මක විම පිළිබඳ ගැටලුසහගත තත්ත්වයක් ඇති බව මෙහි සඳහන් වේ. මේ සඳහා රටක් ලෙස තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමට මෙරට රජයට හැකියාව තිබේ.
මෙම කාරණා සියල්ල පිළිබඳව සඳහන් කරමින් ඔවුන් කියා සිටිනුයේ මේ පිළිබඳව වාචික විමර්ශනයක යෙදීමෙන්, මේ සඳහා වෙනම වාර්තා ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවට සම්බන්ධ ශාඛාවලට සහ මානව හිමිකම් කාර්යාලයට ගෙවීම් කිරිමට සිදු වූ බවත්ය. ඒ වෙනුවෙන් ඔවුන් වැය ශීර්ෂයක් ද සම්මත කර ගෙන තිබේ. එමෙන්ම ඔවුන් සඳහන් කරනුයේ 2021 අවසානයේදී පවත්වනු ලබන 48 වැනි සැසි වාරයේදී මෙහි ප්‍රගතිය වාචිකව සඳහන් කරන ලෙසත්, 2022 වර්ෂයේ මාර්තු මසදී පැවැත්වෙන 49 වැනි සැසි වාරයේදී ඊට ලිඛිතව කරුණු දක්වන ලෙසත් අනතුරුව 2022 වර්ෂයේ සැප්තැම්බර් මසදි පැවැත්වෙන 51 වැනි සැසි වාරයේදි මේ පිළිබඳව නැවත සාකච්ඡා කිරිමට කටයුතු කිරීම අවශ්‍ය බවත්ය. මින් පෙනී යනුයේ මෙම සංවිධානය දත් නැති කොටියකු බව ඔවුන් විසින්ම පිළිගෙන ඇති බවය. ශ්‍රි ලංකාවට එල්ල කොට ඇති චෝදනා සියල්ල මෙරට විසින් නිසියාකාරව සම්පූර්ණ කර ඇති බව මුල් අවස්ථාවේ පවසමින් පසුව කිසියම් පාර්ශ්ව විසින් පවසනු ලැබූ ඇතැම් කරුණු සැලකිල්ලට ගනිමින් එම පාර්ශ්වයන්ට ද කන් දීමක් ලෙස මෙම වාර්තාවේ 7වැනි කොටස සකස් කොට තිබෙන බව පැහැදිලිය.
රජයේ වගකීම
මෙහිදී මේ වන විට කර තිබෙන ක්‍රියාවලීන් පිළිබඳව ඉතා පුළුල් ලෙස ඔවුන් දැනුම්වත් කිරිමට විදේශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට සහ රජයට වගකිමක් ඇත. එමෙන්ම ඒ අය දැනුම් දෙනු ලබන ආකාරයට මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින කර්තව්‍යයන් ලෙස අතුරුදන් වූවන් සම්බන්ධ කමිටුවට නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමත්, අතුරුදන් වුවන් සම්බන්ධව වන්දි පිරිනැමීමට කටයුතු කිරිම සඳහා වෙනම කණ්ඩායම් පත් කිරිම, හානිපූර්ණ සම්බන්ධ ක්‍රියාවලිය කර ගෙන යන ආකාරය සහ ඒවායේ සිදු වන ශීඝ්‍ර ප්‍රගතිය ද දැනුම් දිය යුතුය. ඊළඟ සැසි වාරයේදී මෙරට තානාපති කාර්යාල හරහා සහ ඊට අදාළ ආයතන හරහා මෙම කාරණා සම්බන්ධ තොරතුරු නිසියාකාරව වාචිකව ලබා දීමට හැකි වේ නම් හෝ ප්‍රචාරයක් ලබා දීමට හැකි වේ නම් වැදගත් වේ. එසේ කළ නොහැකි වුව හොත් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්, ඩයස්පෝරාව හා සම්බන්ධව කටයුතු කරනු ලබන පුද්ගලයන් සහ වෙනත් පාර්ශ්වයන්ට ද විවිධ උපකාර සහ මුදල් ද ඇති බැවින් ඔවුන් මේ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දී ශ්‍රී ලංකාවට හානිකර තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ දරනු ඇත.
ඉන් ඇති වන භයානක තත්ත්වය දෙස සලකා බැලීමේදී පෙනී යනුයේ මෙරටට සම්බාධක පැනවීමට හැකි බවය. සම්බාධක පැනවීම කෙරෙහි ඉල්ලීම් ද කර තිබේ. එහෙත් එය මෙම සැසි වාරයේදී ක්‍රියාත්මක කළ හැකි නොවේ. ඕනැම රටකට සම්බාධක පැනවීමට අවශ්‍ය වේ නම් එම රටට අවශ්‍ය ආකාරයට අදාළ රට කෙරෙහි සම්බාධක පැනවිමක් කළ හැකි වේ. මානව හිමිකම් කවුන්සිලයට සම්බාධක පැනවීම කෙරෙහි අනෙක් රටවලට ඉල්ලීම් කළ හැකි වුවත් එම රටවලට එසේ කිරීමට හෝ නොකිරීමට පුළුවන. එහි නීතීමය වශයෙන් කිසිදු බලපෑමක් කළ නොහැකිය. මෙහි සඳහන් ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තෙක් මෙම ගැටලුව යෑමට තරම් තත්ත්වයක් උද්ගතව නැති අතර එසේ වන්නේ නම් 48, 49 සහ 51 සැසි වාරවලදී මේවායේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා නොදේ.
තවද, මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව වඩාත් සක්‍රිය කළ යුතු යැයි විශේෂ ඉල්ලීමක් සිදු කොට තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා රජය ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.
මෙරට 20වන ව්‍යවස්ථාවත් සමඟ අධිකරණ සේවයට කිසියම් හානියක් වූයේ ද යන්න, එනම් ජනාධිපතිවරයා විසින් සිය තනි මතයට අනුව අධිකරණය මෙහෙයවනවාය යන වැරදි චිත්‍රයක් ඔවුන් වෙත ගොස් තිබේ. එහෙත් 20 වන ව්‍යවස්ථාව තුළ එවැනි තත්ත්වයක් මේ වන විටත් මෙරට තුළ දැක ගැනීමට නොහැකි ආකාරය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම සිදු විය යුතුය.
මිත්‍රශීලි රටවල සහයෝගය
කිසියම් රාජ්‍යයක් විසින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව ඉල්ලා සිටීම මෙම කවුන්සිලය තුළදි අවශ්‍ය වූ බැවින් චීනය ඉදිරිපත් වී ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව සෑහිමට පත් වෙන බව කියා සිටිමින් මේ පිළිබඳව ඡන්ද විමසීමක් අවශ්‍ය යැයි ඉල්ලා සිටියේය. මේ අනුව රාජ්‍යයන් අතර ඡන්ද විමසීමක් සිදු විණි. මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවට කැමැත්ත, අකමැත්ත හෝ ඒ පිළිබඳ කිසිදු මතයක් ප්‍රකාශ නොකර සිටිය හැකි වේ. මෙහිදී බහුතරය පිළිබඳ සලකා බැලීමේදී පෙනී යනුයේ වැඩි පිරිසක් මෙම යෝජනාවට එකඟ වී නොමැති බවයි. මින් අප ඉගෙන ගත යුතු පාඩම් තිබේ. එනම් ශ්‍රී ලංකාවට මිත්‍රශීලී රටවල සිත දිනා ගත යුතු විමය. එමෙන්ම මෙහිදී ඉන්දියාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය පළ කර නොමැති විම කනගාටුවට කරුණකි. ඉන්දියාව, ජපානය වැනි රටවල් මෙරට සමඟ මතභේදාත්මක තත්ත්වයක සිටිනවා යන්න සහ ඔවුන්ගේ සිත් තුළ කිසියම් කුකුසක් තිබෙන බව ද මින් හැඟී යයි.
13වන ව්‍යවස්ථාව ඉන්දියාවේ වුවමනාවට සකස් වී ඇති බැවින් ඔවුන් කියා සිටිනුයේ 13වැනි ව්‍යවස්ථාව අනිවාර්යයෙන් ගෙන ආ යුතු බවයි. ඒ සමඟම පසුගිය රජය මඟින් ඉන්දියාව සමඟ ඇති කර ගන්නා ලද නැඟෙනහිර ජැටිය සම්බන්ධ ගිවිසුම අවලංගු වීම ද ඔවුන්ගේ විරසකයට හේතු වන්නට ඇත. මෙරට මාර්ග පද්ධතිය සම්බන්ධව ජපානය සමඟ ද අස්සන් කරන ලද ගිවිසුමක් තිබුණ අතර එම ගිවිසුම ද අවලංගු වීම තුළ ඔවුන්ගේ සිත් කලකිරීමකට හේතු වී ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින්නට ඇත.
මෙම කාරණා සියල්ල සලකා බැලිමේදී පෙනී යනුයේ මෙරට කුඩා රාජ්‍යයක් ලෙස විදේශ රටවල් සමඟ එකතු වී කටයුතු නොකරන තාක් ඔවුනට මෙරටට අත පොවන්නට හැකියාවක් ඇති බවය. මේ නිසා කළ යුතු වන්නේ තව රජයක් පත් වෙන තුරු ඒ පිළිබඳ කල් මැරීමක් සිදු නොකොට පවතින රජයේ ක්‍රියාකාරීන් විසින් මේ සඳහා පිළිතුරු ලබා දීමය.
චතුමී පිටිපන