Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ගැහැනියට ගැම්මක් දෙන කතාවක්!

$
0
0
ජුලි 11, 2018 01:00

අපේ ගැමි සමාජය තුළ ස්ත්‍රිය සතු වගවීම, කාර්යභාරය හා නීති - රීති තවම වෙනස් වී නැත. ඒවා බොහෝකොට ම පුරාණ හින්දු චාරිත්‍රවලට සමාන යැයි සිතන්නට පුළුවන. ස්ත්‍රිය වැඩිහිටියන්ගේ ද, සැමියාගේ ද, දරුවන්ගේ ද අණසකට යටත්ව ජීවත් විය යුතු බව පුරාණ භාරතීයෝ විශ්වාස කළහ. එය නීතියක් හා සම්ප්‍රදායයක් ලෙස ද පැවැතිණි. මේ ලක්ෂණ ශ්‍රී ලාංකේය ගැමි සමාජය තුළ අදටත් පවතින්නේ දිළිඳුකම, නූගත්කම හා සංස්කෘතිය නිසා යැයි සිතිය හැකි ය. එහෙත්, අපේ ස්ත්‍රිය ඊට එරෙහිව කැරලි ගසන බවක් සාහිත්‍ය - කලා ආදී නිර්මාණ දෙස බලනවිට පෙනීයයි.

සිංහල ස්වතන්ත්‍ර නවකතාව දෙස බැලුවහොත්, ඉන් සැලැකිය යුතු කොටසක් ස්ත්‍රීන්ගේ ඛේදවාචකය නිරූපණය කිරීම සඳහා වෙන් වී ඇති බව පෙනෙයි. ඇතැම් නවකතාවල ඇත්තේ ස්ත්‍රීන්ගේ අ‍ඳෝනාව ම පමණි. තව නවකතාවල ඇත්තේ පුරුෂ සමාජයට එරෙහිව ස්ත්‍රීන් ගසන කැරැල්ල ගැන ය. තවත් නවකතාවල ඇත්තේ ස්ත්‍රිය දුක දිනා ජීවිතය ජයගන්නා ආකාරය ගැන ය. මේවායින් මනුෂ්‍යත්වය හරිහැටි නිරූපණය වන්නේ ද යනු ගැටලුවෙකි. මේවායින් පාඨකයාට කතා රසයක් දැනෙන්නේ ද යනු තව ගැටලුවෙකි. ප්‍රබන්ධ කතා කලාවේ ශිල්පීය ලක්ෂණ කෙතෙක් දුරට මේවායෙහි පවතින්නේ ද යනු තවත් ගැටලුවෙකි.

අප මේ පූර්විකාව ලියා තබන්නේ ‘කළු ගං ඉවුරේ දෝංකාරය’ නම් නවකතාව පිළිබඳ විචාර සටහනක් තැබීමට පසුබිමක් හැටියට ය. මේ කෘතිය 2017 මුල් කාර්තුවේ එළිදක්වා ඇති අතර, කතුවරිය රංජනී ශ්‍යාමලී පීරිස් නම් වෙයි. කතාවට පසුබිම් වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ කළු ගඟ අසබඩ පිටිසර ගම්මානයකි. ප්‍රධාන චරිතය ලොක්කී හෙවත් සුමනාවතී වෙයි. පවුල විශාල එකකි. පියා ගොවිතැනින් පවුල රක්ෂා කරන අතර මව පිට - පිට දරුවන් වදයි. ඇය සිටින්නී ලෙඩ ගණනේ ය.

මෙබඳු පවුලක වැඩිහිටි ගැහැනු දරුවාට ලැබෙන පීඩනය සුළුපටු නැත. ලොක්කී පාසල් යන්නේ නැත. ඇයට උරුමව ඇත්තේ දරුවන්ගේ වැඩ හා ගෙදර ඉවුම්-පිහුම් ය. මේ අනුව සම - වයසේ ගැහැනු දරුවන් විඳින ආස්වාදය ඇය කෙරෙන් පලා යයි.

‘කොස් ගස් අස්සෙන් සඳ මෝදු වෙමින් තිබෙනු දුටිමි. තරු කැට ද එක - දෙක දැල් වී තිබිණි. අම්මා නංගී ළඟට වී දැරූ වෙහෙස නිසා ම සුව නින්දේ ය. මම විගසින් කුස්සියට දිව ආවේ අම්මාට රෑට බත්කටක් දෙන්නට කාය ම අඹරන්නට ය.’

(පිටුව 15)

සඳ මෝදු වන විට තරුණියකට ඇතිවන හැඟීම් කෙබඳු ද? ඇයට - එනම්; ලොක්කීය සඳ දෙස බලමින් තම පරිකල්පන ලෝකය ගොඩනැඟීමට අවස්ථාවක් නැත. ඇය කායම් හොද්ද සැකසීම සඳහා වහා කුස්සියට යයි. ලොක්කීගේ ජීවිතයේ ඇති ඛේදවාචකය නවකතාකාරිය හොඳින් නිරූපණය කරයි. මේ කතාව කියවන විට ලොක්කී හෙවත් සුමනාවතී කෙරෙහි විශාල අනුකම්පාවක් හා දුකක් අප සිත්හි ජනිත වෙයි. ලොක්කීගේ කතාව හුදෙකලා එකක් නොවේ. රටේ ගැමි සමාජය තුළ මෙබඳු තරුණියෝ අනන්තවත් සිටිති.

ලොක්කීගේ භූමිකාව දෙස ආපසු හැරී බලනවිට ස්ත්‍රීහු ගණනාවක් අපට මුණ ගැසෙති.

(I) පවුලට ළැදි ආදර්ශවත්

දැරියක්

(II) සහෝදරියන්ට ළෙංගතු

අක්කා කෙනෙක්

(III) දුක - දිනා ජීවිතය

ජයගන්නා ගැහැනියක්

(IV) ජීවිතය වටහාගන්නා

වැඩිහිටි ස්ත්‍රියක්

ලොක්කී අම්මාට ආව - තේව කිරීමට හා අරපිරිමැස්මක් සහිතව ගෙදර ආර්ථිකය හැසිරවීමට පෙලඹෙන්නේ, තම ආශා බොහොමයක් යටපත් කරගෙන ය. එහෙත් ඇය පියාට වෛර කරන්නේ නැත. මවට බැණ වදින්නේ නැත.

“කල්පනාවේම සිට අම්මා බත් කන අයුරු මම බලා සිටියෙමි. මට හැ‍ඟෙන ලෙසට අම්මා කල්පනා කරන්නේ තාත්තා ගැන යැයි මට සිතිණි. තව ටික කලකින් අම්මා, අම්මාගේ අම්මා වගේම වයසට යාවියැයි මට සිතේ”

(පිටුව 55)

ලොක්කී තම මව කෙරෙහි දක්වන කරුණාව ද, පියා කෙරෙහි දක්වන ගෞරවය ද පුදුමාකාර ය. ඈ මවට හෝ පියාට හෝ එරෙහි ව කිසිදු කැරැල්ලක් ගසන්නේ නැත. මෙබඳු චරිත ගැමි සමාජය තුළ බහුල වශයෙන් දකින්නට ලැබේ. එය අපේ සංස්කෘතික ලක්ෂණයක් යැයි කියන්නටත් පුළුවන. ගැමි සමාජය නිරූපණයෙහිලා කතුවරිය දක්වන ශූරතාව ද අගය කළ හැකි ය. මෙහි එන තාත්තා පිරිමි දරුවකු නැතිකම ගැන දුක්වන බව ද, සිය බිරියට දොස් පවරන බව ද කතුවරිය කියයි. එය මේ සමාජයේ පුරුෂයා සතු පොදු ලක්ෂණක් හැටියට හැඳින්විය හැකි ය.

නූතන සමාජයේ සහෝදරියන් අතර බරපතළ ගැටුම් පවතී. එකිනෙකාගේ මතවාද හා සිතැඟි පරස්පර ය. කෙනකු වෙනුවෙන් කැපවීමක් කිරීමට අනෙකා අකැමැති ය. බොහෝවිට සහෝදරියන් අතර පවත්නේ තියුණු බල තරගයකි. එහෙත් ලොක්කී ඊට වෙනස් ය. ඇය තම සහෝදරියන්ගේ ක්‍රියාකාරකම් බලා සතුටු වෙයි. ඔවුන්ගේ අධ්‍යාපනය හා ජීවිත ගැන සොයා බලයි.

“ඇයි තාත්තේ අපි පුංචි හතර දෙනාවත් ඉස්කෝලේ යවමුකෝ”

(පිටුව 47)

කතුවරිය නිරූපණය කරන්නේ ගැමි සමාජයේ පොදු ගැහැනිය යැයි සිතන්නට පුළුවන. ගැමි සමාජයේ පොදු ගැහැනිය තම වගවීම් හා යුතුකම් අත්හරින්නේ නැත. එලෙස ම ඇය වෙත එල්ල වන පීඩනයට එරෙහි ව කැරලි ගසන්නේ ද නැත. මේ තත්ත්වය පෙරදිග සමාජයෙහි බහුල වශයෙන් දකින්නට ලැබේ. අපේ පවුලක වැඩි වගකීම් දරන්නී ස්ත්‍රීය යි. එහෙත් ගෘහනියක ලෙස ඇය ඉටු කරන කාර්යභාරය ගණනය වන්නේ නැත. එලෙස ම ඊට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ ද නැත. කතුවරිය සමාජයේ ඇති තතු හෙළිදරව් කරන බවක් ද පෙනෙයි.

ලොක්කී සිය ආර්ථික ජීවිතය ආරම්භ කරන්නේ ඇඟලුම් කම්හලක සේවයට යෑමෙන් ය. ඇය කළුගඟ අසබඩ සිට කොළඹට සේන්දු වෙයි. ශ්‍රී ලාංකේය ගැමි තරුණියන් බො‍හොමයකගේ ජීවිත යම් මට්ටමකින් උඩට ඔසොවා ඇත්තේ ඇඟලුම් කර්මාන්තය යැයි කියන්නට පුළුවන. මෙය ශ්‍රමය සූරාකනු ලබන ස්ථානයක් වන්නේ වුව තරුණ පරම්පරාවේ විරැකියාවට හොඳ විසැඳුමක් ලබා දී තිබේ. ලොක්කී හෙවත් සුමනාවතී ජීවිතය ගොඩදමා ගන්නී ද මේ කර්මාන්තය නිසා ය. ඇයට අපූරු යෙහෙළියෝ පිරිසක් මුණගැසෙති. එලෙස ම ජීවිත සහකරුවා ද මුණගැසෙයි. එතැන් සිට ඇගේ ජීවන රේඛාව ඉතා සෙමෙන් ඉහළ නඟින්නට පටන් ගනී.

දුක දිනා ජීවිත ජය ගන්නා ගැහැනුන් හා පිරිමින් යන දෙපාර්ශ්වය ම මූලිකකොට නවකතා රචනා වීම එක්තරා ප්‍රවණතාවක් බවට පත් වී ඇත. ඒවා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය යැයි කියන්නට පුළුවන. මේ නවකතාවලින් පාඨකයාගේ ජීවිතවලට යම් ගැම්මක් ලැබෙයි. ඒ අනුව සමාජයේ ජීවන අවස්ථා වැඩිවන්නේ යැයි සිතන්නට පුළුවන. ජීවිතය පිළිබඳ සුබවාදී ලෙස සිතන්නටත්, ජීවිතය පරිපූර්ණ කරගැනීමටත් මේ කතා මඟින් යම් පෙලැඹවීමක් ඇති කරනු ලැබේ. කතා කලාවේ පරමාර්ථ දෙස බලන විට එය හොඳ තත්ත්වයක් සේ සැලැකිය හැකි ය.

ලොක්කී හෙවත් සුමනාවතී අවසන් ලෙස අපට හමුවන්නේ ජීවිතය පිළිබඳ මනා වැටහීමක් සහිත පරිණත ගැහැනියක හැටියට ය. ඇය සියල්ල ඉගෙන ගන්නේ ජීවිතය හා ජීවත්වීම සඳහා පොර බැදීම යන ක්‍රමවේදය ඔස්සේ ය. එය ජීවිත සරසවිය ලෙස ද හැඳින්විය හැකි ය.

“හැදෙන දරුවන්ට අපේ ජීවන ගැටලු ගැන වගේ වගක් නැත. රටට එන නවීන බඩු භාණ්ඩවලට ප්‍රිය කරන දැරියන් අපට පඩිපත ලැබෙන දිනට පෙර දින කන් කෙඳිරිගාන්නේ අම්මේ මට මෙච්චරක් ඕනි, මට අර ඇඳුම ඕනි, මට මේ සපත්තු කුට්ටම ඕනි යැයි කියමිනි.”

(පිටුව 203)

ලොක්කී හැඳින්විය හැක්කේ තම දරුවන්ට හා වැඩිහිටියන්ට සියලු යුතුකම් ඉටු කළ අපූරු ගැහැනියක හැටියටය. තාත්තාගේ දෙවන කසාදය ගැන ලොක්කී උරණ වන්නේ නැත. සිය කුඩම්මා, නැන්දා, ආච්චී යන සියලු දෙනාටම සැලැකීමට ඇය ඉදිරිපත් වෙයි. ඥාතීන්ගේ මරණ ගැන ඇය ශෝක වෙයි.

“ජීවිතය කියන්නේ මහා දුකක් නැන්දේ”

(පිටුව 236)

කතුවරිය අපේ උරුමයට හා බෞද්ධ චින්තනයට ගැළපෙන අයුරින් ජීවිතයේ අනිත්‍යතාව හා දුක ප්‍රධාන චරිතය ඔස්සේ ඉස්මතු කරයි. එහි වරදක් නැත. කතාවට යම් දාර්ශනික පදනමක් ද ඒ මඟින් ලැබේ. පුද්ගලයන් සුපුරුදු තැන්වලටම නැවත එන බවක් ද කතුවරිය කියයි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ජීවිතය ගැන යම් හරස් කඩක් නිරූපණය කිරීමට මේ කතාව උත්සාහ දරන බව ය.

මේ නවකතාව පාඨකයාගේ ආකර්ෂණය දිනාගන්නේ තෝරාගෙන ඇති පසුබිම හා ලොක්කීගේ චරිතය නිසා යැයි කියන්නට පුළුවන. කතුවරියට කළුගඟ ආශ්‍රිත ගැමි පරිසරය ගැන හොඳ වැටහීමක් ඇති බව පෙනෙයි. එහි ගැමි වහරද ඇය හොඳින් භාවිත කරයි. එහෙත්, කතා කලාවේ ශිල්පධර්ම ගැන නොවැටහීම නිසා මේ කතාව බාල වී ඇතැ’යි සිතන්නට පුළුවන. ඇගේ අවධානයට ලක්විය යුතු ශිල්පීය ලක්ෂණ කිහිපයක් දැක්වීමට කැමැත්තෙමු.

(I) කතා වස්තු ගොඩනැඟීම

(II) නිරූපණය

(III) සංස්කරණය

ප්‍රබල කතා වස්තුවක් නැතිව, සාර්ථක කතාවක් බිහි වන්නේ නැත. මේ කතාවට ප්‍රබල කතා වස්තුවක් නැත. සිදුවීම් විසිරී ඇත. කතා වස්තු ගොඩනැඟීම යනු ප්‍රබල සිදුවීම් මනාව ගළපාගෙන, කතා ව්‍යූහයක් සකස් කර ගැනීම ය. එවැන්නක් මෙහි නැත. එබැවින් කතාව හොඳින් විකාශය වන්නේ නැත.

නිරූපණය කොටස් දෙකකින් යුතු ය. එක; චරිත නිරූපණය වන අතර දෙක සිද්ධි නිරූපණය නම් වෙයි. කතුවරිය නිරූපණය වෙනුවට කතාන්දරයක් කියාගෙන යෑමට උත්සාහ දරයි. කතාන්දරය හා නවකතාව යනු මාධ්‍ය දෙකකි. කතාන්දරයෙන් නවකතාව වෙනස් වන ප්‍රධාන සාධකය ලෙස සැලකිය හැක්කේ සජීවී නිරූපණය යි. සජීවී නිරූපණ වෙනුවට කතුවරිය ලොක්කී ලවා කතාන්දරයක් කියාගෙන යයි. නවකතාවේ විලාසය එය නොවේ.

ලොක්කී හෙවත් සුමනාවතී ජීවිතයට මුහුණ දෙන ආකාරය අනුව, ඇගේ අභ්‍යන්තර හැඟීම් කෙසේ විය යුතු ද යන්න මේ පොතේ කිසිදු තැනෙක සටහන් වන්නේ නැත. එය බලවත් දුර්වලතාවකි.

සිංහල ස්වතන්ත්‍ර නවකතාව දෙස බලනවිට පොදු දුර්වලතාවක් හැටියට නිරූපණය යන්න පවතී. බොහෝ දෙනකුගේ උත්සාහය වී ඇත්තේ, කතාන්දරයක් මනාව කියාපෑමට ය. එහෙත් එය නවකතාව නොවේ.

රන්ජන් අමරරත්න


තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

$
0
0
ජුලි 11, 2018 01:00

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

මේ වසරේ ගෙවීගිය මාස කිහිපය කාලගුණික සහ දේශගුණික වශයෙන් විවිධාකාර විපත් රට තුළ සිදු විය. අධික වර්ෂාපතනය නිසා ගොවිතැන් පාළුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික ද්‍රව්‍යයවල මිල ගණන් ඉහළ ගියේය. ජනතාවට දරාගැනීමට නොහැකි තරම් එළවළු සහ පලතුරු ආදියෙහි මිල අධික විය.

ඒ අතර රාජ්‍යතන්ත්‍රය තුළින් බදු මිල වැඩි කෙරිණි. විවිධාකාර රෝගාබාධ වැළඳී දිවයිනේ විවිධ ප්‍රදේශවල බොහෝ ජනතාව පීඩාවට පත්විය. තවද, ඉල්ලීම් දිනාගැනීම සඳහා වර්ජන රැල්ලක් ද මතුවිනි. අධ්‍යාපන තක්ෂලාවන්හි දිසාපාමොක් ආචාර්යවරු ද ලෙඩ නිවාඩු තුළින් රෝගාතුර වන්නට විය. රටේ විවිධ ප්‍රදේශවල සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ඵල සංවිධාන ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. ආන‍්දෝලනාත්මක, අතිශයින් බිහිසුණු පාතාල අපරාධ කල්ලි වේගවත් ලෙස ගොඩනැඟිණි.

රටේ නිරන්තරව වන්දනාමානයට පත්වන පූජක පක්ෂය අතර වාද භේද භින්නතාවයක් මතුවීමට පවා අවකාශ සැලසිණි. ලෝකයේ බිහිසුණු ත්‍රස්තවාදී මිනීමරුවන් ගෞරව සම්ප්‍රයුක්තභාවයට යොමු කිරීමේ අදහස් පවා ප්‍රචලිත විය. ලෝකයේ වටිනා ජාතික ආගමික අධ්‍යාත්මික හා සංස්කෘතික වශයෙන් පොදු උරුම සැමරීමේ සංකල්ප විකෘති භාවයට පත්විය.

ජ්‍යොතිෂ ශාස්ත්‍රීය සිද්ධාන්තයනට අනුකූලව මෙම සියලු සිදුවීම් බ්‍රහස්පතී ග්‍රහයාගේ වක්‍රභාවය තුළින් ඇතිවූ ඵල විපාකවේ. පසුගිය මාර්තු මස නවවැනි දින පෙරවරු 10.19ට බ්‍රහස්පති ග්‍රහයා වක්‍ර ගමනකට යොමුවිය.

ග්‍රහයකුගේ වක්‍රවීම යනු එම ග්‍රහයාගේ ගමන්මග වෙනස් කරමින් ආපසු ගමනකට යොමුවීමය. බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ අතිශයින් වැදගත් වන ග්‍රහයෙකි.

එයට හේතුවන කරුණු රාශියකි. අප ජීවත්වන මනුෂ්‍ය වාසභූමිය මත පෘථිවිය මෙන් එක්දහස් තුන්සිය ගුණයකින් පමණ විශාලත්වයකින් යුතු බ්‍රහස්පති ග්‍රහයා ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ සූර්යයාට පමණි. සූර්යයාගෙන් ‍ලෝකයට ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ ආලෝකය පමණි. එම ආලෝක ධාරාවන්ගේ ගුණය මත ලෝකයේ පැවැත්ම රඳා පවතී.

එහෙත් බ්‍රහස්පති ග්‍රහයාගෙන් මුළු ලෝකය පුරා විහිදෙන සෞම්‍ය කිරණ තුළින් මිනිසාගේ මෙලොව පරලොව දෙලොව අධ්‍යාත්මික තපස, සතිය නොහොත් සිත මගින් සංරක්ෂණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය ඥානය, ලෝකය, විද්‍යාලෝකය වැනි ප්‍රඥාලෝකය තුළින් කෙනකුගේ බැබලීම පිණිස බ්‍රහස්පති ග්‍රහයාගේ පූර්ණ සංසාර්ගික ගුණය සහ සංජීවක බලය, සංදීපනී ශක්තිය වැනි විවිධාකාර ධාතූ අඩංගු කිරණ ආකාශ ධාතුව හා සංයෝගවී විශ්වය පුරා පතිතවේ. ග්‍රහයකුගේ නිසි සුබපල ලබා ගැනීමට නම් තමාට නියමිත කාලසීමාව තුළ ඒ ඒ රාශියේ ගමන නිමාකර යුතුය.

සාමාන්‍යයෙන් බ්‍රහස්පති ග්‍රහයා වසරක පමණ කාලයක් එක රාශියක ගමන් කරයි. වක්‍රවීම යනු ඔහුගේ නියමිත ගමනාන්තයට අමතරව යෙදෙන රාජකාරියකි. 2018 මාර්තු මස 10 වැනි දින වක්‍ර භාවයට පත්වූ බ්‍රහස්පති ග්‍රහයා වක්‍ර භාවයෙන් මිදී නැවත නිවෘතභාවයට පත්වන්නේ ජූලි මස 10 වැනි දිනය. මේ අනුව මාස හතරක්ම බ්‍රහස්පතිගේ ගමන ආපස්සට හැරවීය. එහි විපාක වශයෙන් සොබාදහමේ නිශ්චල ක්‍රියාකාරිත්වය චංචල විය. නැවත ජූලි 10 වන දින විවෘතභාවයට පත්වීමෙන් පසු අමතර පසුබෑමකට ලක්වූ සාර මාසය තුළ අධිවේගී ගමනක යෙදෙමින් තම රාශියකට නියමිත කාලය තුළ රාශියේ ගමන සම්පූර්ණ කළ යුතුය. එසේ කිරීමට යාමේදී තමාගෙන් ඉටුවිය යුතු කටයුතු ක්‍රමානුකූලව නිසි ලෙස ඉටුකිරීමට නොහැකි වේ.

මේ තත්ත්වය මත අධික වේගයෙන් ගමනක් යන අයකුගෙන් අනතුරක් මිස උපකාරයක් අපේක්ෂා කළ නොහැකි ය. උපකාරයක් ලදහොත් ඒ බොහෝ කලාතුරකිනි. බ්‍රහස්පති ග්‍රහයාගේ අසුබදායක ගමනද එසේය. මෙවැනි ග්‍රහ වක්‍රවීම තුළින් නිරන්තරයෙන්ම සිදුවන්නේ අයහපත් විෂම ග්‍රහ කිරණ විශ්වය පුරා මුදාහැරීමය. පසුගිය කාලයේ සිදුවූ සියලු සිදුවීම් එහි ප්‍රතිවිපාක වේ. කෙසේ නමුදු ග්‍රහතාරකාවකින් නිකුත්වන කිරණ මුළු මහත් ලෝකයටම පොදුවේ බලපානු ලබයි.

එමෙන්ම නවග්‍රහයින් අතර විශාලත්වයෙන් රවීට පමණක් දෙවැනි වන බ්‍රහස්පතී ග්‍රහයා අන් සෑම ග්‍රහයකුටම වඩා සුබඵල ප්‍රදානය කරන්නකුද වේ. ඥානකාරක ග්‍රහයකු ලෙස හැඳින්වෙන ගුරු හෙවත් බ්‍රහස්පති සූර්යාචාර්ය, විද්‍යාධර වංගීෂ, ස්වස්ථි සිද්ධි වංගීෂ, ධීෂණ, නුතීකාරක, වේධාන්තර, ශ්‍රීමාන්, ප්‍රීතාම්බර බ්‍රහ්මසූත්‍ර, සුරගුරු, දේවාතිදේව, භාග්‍ය සූත්‍ර යනාදී වශයෙන් ශතාධික නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. එලෙස හැඳින්වෙන නාම ධර්මයන් තුළින් බ්‍රහස්පති ග්‍රහයාගේ ඇති බලය තේජස ඔපවත් වේ.

රටක රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවන නායකයින්, රජ සභාව, රටේ පවතින සියලු ජාතික ආගමික සංස්කෘතිකාංග, සදාචාරසම්පන්න ගුණගරුක පිරිස්, සියලු රාජ්‍ය ආයතන මෙහෙයවීම, මහා භාණ්ඩාගාරයේ බැංකු ආරක්ෂණ ආදී සෑම සම්පතකටම බ්‍රහස්පති ග්‍රහයාගේ ශක්තියෙන් බලවෘද්ධිය වර්ධනය වේ.

විශේෂයෙන් ධනු ලග්න හිමියාගේ ලග්නාධිපති මෙන්ම ගෘහාධිපති වශයෙන් ද, මීන ලග්නය හිමියන්ගේ ලග්නාධිපති, ආත්මාධිපති සහ කර්මාධිපති වශයෙන් ද බ්‍රහස්පති බලපැවැත්වේ.

ලග්න වශයෙන් ගත්කල මේෂ ලග්නයෙන් නවවැන්න සහ දොළොස්වැන්න ද, වෘෂභ ලග්නයෙන් අටවැන්න සහ එකොළොස්වැන්න ද අධිපතිභාවය හිමිය. සිංහ ලග්නයෙන් පස්වැන්න සහ අටවැන්න ද, කන්‍යාවෙන් හතරවැන්න සහ හත්වැන්න ද, තුලාවෙන් තෙවැනි හා හයවැනි භාවය ද බ්‍රහස්පතිගේ පාලනයට නතුවේ. එමෙන්ම මකර ලග්නයෙන් දොළොස්වැනි භාවය සහ තෙවැනි භාවයද, කුම්භ රාශියෙන් එකොළොස්වැනි සහ දෙවැනි භාවය ද, මීනයෙන් ලග්නය සහ දහවැනි භාවයද බ්‍රහස්පති ග්‍රහයාගේ පාලනයට නතුවේ.

අතිධාවන ගමනක යෙදෙන අවස්ථාවක සාමාන්‍ය පොදු ගුණාංගයන් අනුව ලැබෙන සුබඵල නොලැබුණ ද, බ්‍රහස්පතිගේ නිවෘතභාවය තුළින් යම් පමණක සුබපල ලැබිය හැකිය. තවද පොදුවේ සෑම ග්‍රහයකුටම නැකැත් තුනක ක්‍රියාකාරී බලපැවැත්මට අනුයුක්ත වේ.

මේ අනුව බ්‍රහස්පති ග්‍රහයාටම අයත් පාලන දෛව බලය සඳහා මිනිස් ආත්මයකට ප්‍රවිශ්ට වීමට නම් මීන හෝ ධනු ගෘහස්ථාන ලෙස සැලකෙන රාශි දෙකෙන් එකකට ඇතුළත්ව උපත ලැබිය යුතුය. එසේ උපත ලැබීමේදී ගෘහස්ථානයන්හි මිතුරු ලෙස සැලකෙන පුනාවස, පුවපුටුප, විසා යන නැකැත් තුනකින් එකකට අයත්ව උපත ලැබිය යුතුය. එවිට භාවාන්තරයෙහි ආත්මාධිපතියා මව ලෙසත්, කර්මාධිපතියා පියා ලෙසත්, දෛවාධිපතියා ගුරුවරයා ලෙසත් ශක්තිමත් භාග්‍ය සම්පන්න ආත්මභාවයකට හිමිකම් උරු‍මවේ.

ඒ අතර තම කළණ සුමිතුරන් වශයෙන් සැලකෙන බුධ, සිකුරු, රවි, සඳු ආදී ග්‍රහයින්ගේ සහසම්බන්ධතාවයක් දෘෂ්ඨි සංයෝග හේතුවෙන් යෙදෙන මහා පුරුෂ යෝග තුළින් බුහස්පතිගේ බලය මත පුද්ගලයකුගේ මෙලොව පරලොව දෙලොවම දියුණුව සැලසීම සිදුවේ.

මේ අනුව 2018 ජූලි මස 10 වන දින රාත්‍රී 10.34ට තුලා රාශියේ වක්‍රභාවයෙන් මිදී නැවත නිවෘත ගමනට පිවිසීම මත ඒ ඒ ලග්න හිමියන්ට බලපැවැත්වෙන පලාඵල කෙටියෙන් මෙසේය.

මේෂ, මිථුන, කටක, කන්‍යා, ධනු, මකර, කුම්භ යන රාශිවලින් උපත ලබා ඇති අයට මෙතෙක් අතපසු වූ කටයුතු නැවත සාර්ථක ලෙස ක්‍රියාකාරී බවට පත්වෙයි. ධනෝපායන මාර්ග, රැකියා කටයුතු සාර්ථක වේ

අතරමග ඇනහිටි කටයුතු නැවත ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගේ.

වෘෂභ, මීන ලග්න හිමියන්ට තරමක බාධා අවහිරතා ඇතිවීමට හේතුවේ. සිංහ ලග්න හිමියන්ට තම කටයුතු සාර්ථක කරගත හැකි වුවද බාධා අවහිරතා ඇතිකරයි.

වෘශ්චික ලග්න හිමියන්ගේ වැයපස අධික වේ. විදේශ සබඳතා ඇති අයගේ ආයෝජන මාර්ග සාර්ථක වේ. අධ්‍යාපන කටයුතු සඳහා මෙතෙක් යෙදී තිබූ බාධා අවහිරතා මගහැරෙයි.

 

සටහන
චතුමී පිටිපන

මේ සතිය ඔබට කොහොමද?

$
0
0
ජුලි 11, 2018 01:00

ජූලි මස 11 සිට ජූලි මස 17 දක්වා

මේෂ

ව්‍යාපාරවල ප්‍රගතියක්

වෘත්තීය වශයෙන් හදිසි වෙනස්කම් ඇතිවෙයි. විදේශීය සංචාර සඳහා අවස්ථා ලැබේ. පාසල් අධ්‍යාපනයට දැඩි බාධා අවහිරතා ඇත. උසස් අධ්‍යාපනයට හිතකර කාලයකි. වාසස්ථාන මාරුවීම් ඇති වියහැක. හවුල් ව්‍යාපාරවල, ස්වාධීන ව්‍යාපාරවල යම් ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට හොඳ කාලයක් නොවේ. සම්බන්ධීකරණ කටයුතුවලට සුබ වේ. කුසේ අමාරු, සෙම් රෝග ඇතිවිය හැක.

වෘෂභ

නීති ගැටලු

උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා, අවහිරතා ඇත. අපේක්ෂා කරන විදේශීය ගමන් කල්යෑම් ආදියට භාජනය වේ. ණය මුදල් ලබාගැනීමට අවස්ථාව ලබයි. ප්‍රභූවරුන්ගෙන් උදව් උපකාර ලැබීමේ වාසනාව ඇත. තම සේවා ස්ථානයේ වගකීම් සහගතව ක්‍රියාකිරීමට සිදු වේ. හදිසි දුර බැහැර ගමන් ඇතිවිය හැක. අධික මුදල් වියදම් පෙන්වයි. නීති ගැටලුවලට මුහුණපෑමට සිදුවිය හැක. සෙම් රෝග ඇති වේ.

මිථුන

යුග දිවියේ ගැටුම්

ලැබිය යුතු මුදල් කොටස් වශයෙන් ලබයි. හදිසි මුදල් වාසි ද ලැබිය හැක. යුග දිවියේ ගැටුම් ඇති වේ. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර, ආදියේ නිරත වූවන්ට වාසිදායක කාලයක්. සාහිත්‍යය, නාට්‍ය කලාව වැනි ක්ෂේත්‍රවල නිරතවූවන්ට සුබදායක වේ. ගන්නා තීරණ වාසියට හේතු වේ. ග්‍රන්ථකරණය, පුවත්පත් වැනි ක්ෂේත්‍රවල නිරතවූවන්ටද යහපත් කාලයකි. රුධිර දෝෂ ඇති විය හැක.

කටක

විදේශ සංචාර

වැඩි කාලයක් නිවසින් බැහැරව සිටී. කෙටි ගමන්, දීර්ඝ ගමන් යෙදේ. ඒ අතර විදේශ සංචාරද යා හැකිය. වාසස්ථාන වෙනස්කම්වලට හේතු කාරණා සිද්ධ වේ. මංගල කාරණාවලට එතරම් හොඳ නැත. සියලුම වර්ගයේ කලා ක්ෂේත්‍රවලට හිතරකය. ඉඩම්, නිවාස විකිණීමේ ගනුදෙනුවලට සුබය. වාහන මිලට ගැනීමට හොද කාලයකි. සෙම් රෝග ඇති වේ.

සිංහ

අපවාද ලබයි

අය පක්ෂය යහපත්ය. හදිසි රෝහල්ගතවීමක් පෙන්නුම් කරයි. යෙදූ ආයෝජනවල ප්‍රතිලාභ ලැබේ. ආයතන ප්‍රධානීන්ගෙන්, ප්‍රභූන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවලට හදිසි වියදම් පෙන්වයි. මංගල යෝජනා ආදියේදී රැවටිම්වලට ලක්විය හැක. අපේක්ෂිත විදේශ ගමන් යාමේ වාසනාව ලැබේ. ස්ත්‍රීන්ගෙන් අපවාද ලබයි. ලේ විෂවීම් ඇතිවිය හැක.

කන්‍යා

ප්‍රධානින්ගෙන් උපකාර

බුද්ධිය මෙහෙයවා තම කාර්යයන් ඉෂ්ට කරගැනීමට වාසනාව ඇත. අය පක්ෂය ඉදිරියෙනි. පාසල් අධ්‍යාපනයට යහපත්ය. බහුවිද ආදායම් මාර්ග කරා යා හැක. ආචාර්ය පාර්ශ්වවලින් උපකාර ලබයි. වෘත්තීමය කටයුතුවලදී ප්‍රධානීන්ගෙන් උදව් බලාපොරොත්තු විය හැක. ඉහළට යෑමට මාර්ගය පෑදේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර සතියකි. කලාවට යහපත්ය. සෙම් රෝග සෑදීමේ ප්‍රවණතාවක් ඇත.

තුලා

රැවටීම්වලට හසුවේ

වෘත්තීමය වෙනස්කම් ඇතිවිය හැක. නීතිවේදීන්ගෙන්, දේශපාලඥයන්ගෙන් උපකාර ලබයි. ඉඩකඩම් ගැටලු ඇති වේ. පෙම්වතුන් රැවටීම්වලට හසුවිය හැක. බලාපොරොත්තු වන විදේශ ගමන් යෙදේ. හවුල් ව්‍යාපාරිකයන්ට ඉඩම් විකිණීමේ ගනුදෙනුවලට යා හැකිය. උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වීමේ අවස්ථා ලැබේ. දියවැඩියාව, සෙම් රෝග ආදිය ඇති වේ.

වෘශ්චික

පෙම්වතුන්ට සුබයි

හදිසි දුර බැහැර ගමන් ඇතිවේ. විදේශීය ගමන්ද මෙයට ඇතුළත්ය. මුදල් සිරවීම් ද ඇති විය හැක. පාසල් අධ්‍යාපනයට බාධා ගෙන දේ. උසස් අධ්‍යාපනයට හිතකර කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හදිසි මුදල් වියදම් ඇතිවේ. ගමනා ගමනය සඳහා වියදම් අධිකය. සුඛෝපභෝගී දෑ සඳහා ද මුදල් වියදම් වේ. පෙම්වතුන්ට හිතකර සතියක් නොවිය හැක. උරගයන් දෂ්ට කිරීම්, රුධිර දෝෂන ඇතිවිය හැක.

ධනු

වගකීම් පැටවේ

කල්ගතවූ බොහෝ කටයුතු සාර්ථක වෙයි. මේ සඳහා වාසනාව ද බලපායි. අධ්‍යාපනයට හොඳ වටපිටාවක් සැකසේ. පාසල් අධ්‍යාපනයට සේම උසස් අධ්‍යාපනයටද හිතකර කාලයකි. අය පක්ෂය හොඳය. හදිසි මුදල් වියදම් ඇති වේ. විශේෂයෙන්ම දරුවන්ගේ කටයුතු වෙනුවෙනි. වගකීම් කරමතට පැ‍ටවේ. කලාවට හිතකර සතියකි. රුධිර දෝෂ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

මකර

මුදල් වාසි

ඉඩකඩම් ප්‍රශ්න ඇතිවේ. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. හදිසි මුදල් වාසි ලබයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර කාලයකි. එහෙත් පුවත්පත්, ග්‍රන්ථ ආශ්‍රිත රැකියා කරන්නන්ට සතුටුදායක තත්ත්යක් නොවේ. මඟුල් තුලා කටයුතුවලට බාධා, අවහිරතා ඇත. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබදායී සතියකි. සෙම් අමාරු, උදරාබාධ ඇතිවේ.

කුම්භ

ප්‍රභූන්ගේ සහයෝගය

තම හැකියාව, දක්ෂතාව පෙන්වා උසස් වීම් ලබාගත හැක. බලාපොරොත්තු වන විදේශීය ගමන් යාමට අවස්ථාව උදාවේ. ආයෝජන යොදා ඇත්නම් එහි ප්‍රතිලාභ ලබයි. වෘත්තීමය වශයෙන් යෙදෙන විදේශ ගමන් පෙන්වයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම්ලබන අයට මේ සතිය සුබ වේ. පූජ්‍ය පක්ෂයෙන් ප්‍රභූන්ගෙන් සහයෝගය ලබයි. සෙම් රෝග ඇතිවේ.

මීන

වෘත්තීමය උසස්වීම්

ගනු ලබන තීරණ අවාසියට හේතුවේ. වෘත්තීමය උසස්වීම්වලට මෙන්ම වේතන වැඩිවීමකටද කටයුතු සැලසේ. රැකියාවෙන් හිමි හිඟ මුදල්, අමතර දීමනා ලැබේ. අධ්‍යාපනයට සුබ සතියකි. පරිපාලන වගකීම් පැවරේ. කලාවට හිතකර කාලයකි. වෘත්තීමය වශයෙන් විදේශ ගමන් යා හැක. අධි රුධිර පීඩනය ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

හතර නම්

$
0
0
ජුලි 11, 2018 01:00

ඔබේ ජීවන අංකය 4 නම් ස්ථීර අදහස්වලින් ඔබගේ හදවත වෙළී පවතිනු ඇත. ඔබ පාසල් යන කාලයේදීත් බාහිර ක්‍රියාකාරකම්වලට ක්‍රීඩා කටයුතුවලට ක්‍රියාශීලී ය. ඔ‍බ‍ගේ ඇඳුම් පැළඳුම් පාසල් පොත් පත් නිසි ස්ථානවල තබමින් තමා සිටින අවට පිළිවෙළකට තබා ගැනීමට නිතරම උත්සාහ දරයි. නමුත් ඔබ තරමක් දඟකාර, හිතුවක්කාර ගති නිසාත්, ගුරුවරුන්ගෙන්ද, මව්පියන්ගෙන් ද නිරන්තර දෝෂාරෝපණයට ලක් වේ. වයසින් වැඩෙත්ම ඔබ සමාජයට ප්‍රිය ජනක පුද්ගලයකු බවට පත් වේ. ඔබ යම් යම් තනතුරු දරමින් සමාජයේ යහපත පිණිස කටයුතු කරනු ඇත. සමාජ සේවා කටයුතුවලදී ඉතා ක්‍රියාශීලීව උනන්දුවෙන් යුක්තව කටයුතු කරයි.

නිවසක් ඉදිකිරීමට සැලසුම් කරන්නේ මේ අවට පවතින නිවාසවලට වඩා වෙනස් ආකාරයෙනි එම නිවාසවලට වඩා කැපී පෙනෙන ආකාරයට නිවස ඉදිකරනු ඇත. ඔබ ස්ත්‍රියක් නම් තම යෙහෙළියන්ට වඩා ලස්සනට ඇඳීමට මෝස්තර දැමීමට පෙළෙඹෙනු ඇත. යම් කිසි හෙයකින් තමා අවට සිටින්නා වූ අය තමාට වඩා ඉහළින් සිටීමට තැත් කළහොත් ඔවුන්ට යම් යටිසිතින් හෝ එළිපිටම වෛර කරනු ඇත. ඔබ හට යම්කිසි වූ වැඩත් පැවරුණු හොත් එම කාර්ය අන් අයගේ උදවි උපකාරයෙන් හෝ කෙසේ හෝ ඉක්මණීන් ඉටු කරනු ඇත.

ඔබ ගෘහණියක් නම් තම දරුවන් මෙන්ම ස්වාමියා පිළිබඳව නිතර සොයා බලනු ඇත. තම දරුවන්ගේ‍ත් තම ස්වාමියාගෙත් තමාගෙත් ඇඳුම් නිසි ලෙස පිරිසුදු කර නිසිතැන්වල පිළිවෙළට තබයි. නිවස නිතර පිරිසුදුව ලස්සනට තබා ගැනීමට උත්සාහ දරයි. වැඩකටයුතු කාලසටහනට මෙන් පිළිවෙළකට ඉටු කරන යහපත් බිරියක් ලෙස ස්වාමියාට නිතර පෙනෙනු ඇත.

පණට පණ සේ එකම බත්පත අනුභව කරමින් වසර ගණනාවක් එකට ගමන් බිමන් යමින් තෑගි ලබාදෙමින් තමාගේ දුකට සැපට නිරන්තරයෙන්ම ළඟම සිටි පෙම්වතා හෝ පෙම්වතිය අතහැර වඩා ලස්සනින් හෝ කිසියම් ආකාරයක ධනවත් වාහන හිමියකු තමා හට ආදරය කිරීමට පෙළඹෙන්නේ නම් කලින් පැවති සම්බන්ධතාවය නවතා නව ආදර සම්බන්ධතාවයක් පටන් ගැනීමට ‍ මෙවැන්නෝ පෙළඹෙති.

රැකියාවක නිරත ඔබට පැවරෙන්නේ රාජකාරිය කුමක් වුව ද තම සිතට එකඟව ඉක්මණින් නිවැරැදිව ඉටුකිරීමට උත්සාහ ගනී. රාජකාරී ස්ථානයක හා අවටත් ඉතා පිරිසුදුවත් පිළිවෙළකටත් තබයි. නිවසින් පිටව වැඩි කාලයක් ගත කිරීමට හෝ කෙටි ගමන් යාමට ‍හෝ සිදුවුවහොත් එය ඔබ‍ගේ යහපත සඳහාත් මතු දියුණුව සඳහාකත් වේ. වැඩිහිටි අය මෙන්ම රාජකාරී ස්ථානයේ ප්‍රධානීන්ගේ උපදෙස්වලට හිස නමා ඒවා පිළිපදිමින්, ඔවුන්ගේ හොඳ හිත දිනා ගනිමින් කටයුතු කරයි. තමන් යම්කිසි උත්සවයකට සහභාගී වන්නේ ද පූජනීය ස්ථානයකට යන්නේ ද එම ස්ථානයට ගැළපෙන අයුරින් තම ඇඳුම් පැළඳුම් පිළිවෙළකට අනුව තෝරා ගනු ඇත.

එම ඇඳුම්වල කිසියම් හෝ අඩුවක් නොගැළපෙන ගතියක් පැවතිය හොත් ඉක්මණින් තමන්ට ගැළපෙන්නා වූ ඇඳුමක් තෝරා ගනී. ඉවසිලි ගතියක් ඕනෑම වැඩකට පවතින උනන්දුව හේතුවෙන් ඔබ සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු බවට නිතැතින්ම පත්වනු ඇත. තමාට වඩා ඉහළින් සිටින අයට තරමක් ඊර්ෂ්‍යා කිරීමට ද පෙළෙඹේ. ඔබට ශුභ ඵල දෙන ජය වර්ණ නිල් පාටය. ජය අංකය4 වේ. සුබ දිනය සඳුදාය.

ඔබට වඩාත් ආකර්ෂණ ශක්තිය ලබා ගැනීම සඳහා කොරල් පාෂාණය දියමන්ති පැළඳීම වඩාත් ශුභ ඵළ දායක වේ.

වයස අවුරදු 4,13 ,22,31,40,49 හා 58 යන කාලවලදී වැදගත් සිදුවීම් සිදුවනු ඇත.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
රේණුක වික්‍රමසිංහ

විශේෂ අධිකරණය ගැන විශේෂයෙනි

$
0
0
ජුලි 11, 2018 01:00

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උප සභාපතිනි
ජ්‍යෙෂ්ඨ නීතිඥ අනෝමා ගුණතිලක

බරපතළ මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නොබෝ දිනකින් ආරම්භවීමට නියමිතය.

1978 දී ව්‍යවස්ථාපිතව පිහිටු වූ මෙරට මහාධිකරණ වරින්වර කාලානුරූපීව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සරිලන ආකාරයෙන් වෙනස්කම්වලට භාජනය කර තිබේ.

78 න් පසුව 1990 දී පළාත්බද මහාධිකරණය ස්ථාපිත විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 සී වගන්තිය ප්‍රකාරවත් ස්ථාපිත මෙම පළාත්බද මහාධිකරණ 1996 දී තවදුරටත් විකාශනය වෙමින් වාණිජ මහාධිකරණ ඇතිවිය. 78 දී එක් ප්‍රවාහයකින් ආරම්භ වූ මහාධිකරණවලට නැවත 154 ව්‍යවස්ථාව අනුව සිවිල් නඩු අභියාචනා කිරීමේ අභියාචන අධිකරණ බලයද ලබාදෙන ලදී.

1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කරමින් 2018 මැයි 09 දින ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත සම්මත වූ අතර එම පනත සම්මතවීමෙන් පසු 2018 මැයි 18 දී කථානායක අත්සන් කළ පනත ප්‍රකාරව 2018 ජූලි මාසයේදී බරපතළ වංචා දුෂණ නඩු විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත විය. 2018 අංක 9 දරන අධිකරණ සංවිධාන සංශෝධන පනත මඟින් නව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ ලංකාවේ ආරම්භ කිරීමේ නීතිමය රාමුව සකසා අවසන්ය. මහාධිකරණ විනිසුරුවරුන්ද පත්ව සිටිති. භෞතික අධිකරණ ශාලා ඉදිවන බවට අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට එන ඕනෑම පුරවැසියකුට දක්නට ලැබේ.

දණ්ඩ නීති සංග්‍රහය යට‍තේ ගැනෙන වැරදි විභාග කිරීමට මහාධිකරණවලට අධිකරණ බලය තිබේ. අගවිනිසුරුතුමාගේ අභිමතය පරිදි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් වූවද පත්කළ හැකිය. නමුත් මේ විශේෂ මහාධිකරණ පනතක් මඟින් විශේෂයෙන් ස්ථාපිත කරලා අවධානය යොමුකරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දේපළ සම්බන්ධ නඩු කෙරෙහි පමණි. සරලව කිවහොත් රාජ්‍ය දේපළ, මුදල් අවභාවිතය වැනි බරපතළ ගණයේ වංචා විභාග කිරී‍ෙම් බලය මේ අධිකරණයට ලබාදී තිබේ. මේ සංශෝධනයේ ප්‍රධාන අභිප්‍රාය අරමුණ හොරු ඇල්ලීම බව අපට නිතර අසන්නට ලැබුණ වුව එකී හොරුන් අතරින් දේශපාලනය කරන හොරු ඇල්ලීම මෙහිදී ප්‍රධාන කරගෙන ත‍ිබේ.

වර්තමානය වනවිට ජනතාවට හොරු කවුද යන්න පිළිබඳ අවබෝධයක් තිබේ. අවුරුදු 3 ½ ක් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳත් වැටහීමක් තිබේ. මෙරට ස්ත්‍රි දූෂණ නඩුවකට අවම වශයෙන් අවුරුදු 10 ක් වත් ගතවේ. මේ නඩු කඩිනමින් විභාග කරලා තීන්දු දෙයි කියලා ලංකා සමාජය බලාපොරොත්තු වෙනවා. එසේ කඩිනමින් තීන්දුවක් නොලැබෙන තාක් ජනතාව තුළ යම් කුකුසක්ද පවතී. හොරු අල්ලන අධිකරණයෙන් කඩිනම් තීන්දු ලැබෙන්නේ නම් හොඳය. මේ විශේෂ මහාධිකරණ පිහිටුවන්නේ වත්මන් ආණ්ඩුව මඟින් වූවත් ඊළඟ ආණ්ඩුවකදී ‍නතර වන්නේ නැති බැවිනි. කවර ආණ්ඩුවක් ආවත් අධිකරණ ක්‍රියාවලිය නතර වෙන්නේ නැත.‍

මා දකින ආකාරයට මේ සංශෝධනය මඟින් වැඩි අවධානය යොමුවන්නේ ‘වයිට් කොලර් ක්‍රයිම්ස්’වලටය‍. රජයේ බලධාරින් කරන වැරදිවලටය. නමුත් ඇතැම් පැතිකඩ ගිලිහී ගිය බවක්ද පෙනේ. උදාහරණයක් ලෙස හොර නෝට්ටු සන්තකයේ තබාගැනීම පිළිබඳ වැරදි සම්බන්ධ නඩු විභාග කිරීමේ බලය මෙම අධිකරණයට ලබාදී තිබුණද එම නෝට්ටු මුද්‍රණය කළ පිරිස්වලට එරෙහි නඩු විභාග කිරීමේ බලයක් ඊට ලැබී නොතිබීම අඩුපාඩුවකි.

‍රට තුළ දෙපැත්තෙම හොරු සිටිති. නිසිපරිදි මේ අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වුවහොත් රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමට ඉන් මඟපෑදෙනු ඇත. කවර තත්ත්වය තුළ වුව අධිකරණය පිහිටුවීම අගය කළ යුතුය. කඩිනමින් නඩු කටයුතු කර හොරු අනාවරණය කරන්න මේ විශේෂ අධිකරණ මඟින් සිදුකළ හැකි බැවිනි.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රි දූෂණ නඩුවක් විභාග කිරීමට අවුරුදු 10 ක් 15 ක් ගතවේ. දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේද ගණනාවකි. විශේෂ පරිච්ඡේදය මිනිස් ශරීරයට සම්බන්ධ වැරදිය. ඒක බරපතළය. ස්ත්‍රි දූෂණ නඩු, මිනී මැරුම් නඩු, පාතාලය සම්බන්ධ නඩු, දරුණු අපරාධ නඩු අද සමාජයේ ප්‍රශ්න බවට පත්වී තිබේ. නමුත් මේ සංශෝධනයෙන් මේ ගැන අවධානය යොමුකර නැත.

නව දේශපාලන සංස්කෘති නිර්මාණය කිරීමට වුව හොරුන් ඇල්ලීමට වුව සංශෝධන ගෙනෙන සිරිතක් නැත. රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳ ජනතාවට අවබෝධයක් තිබේ. අද මෙරට ලොකුම ප්‍රශ්නය පාතාලයය. පාතාලය මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ නඩු විභාගය සඳහා කොළඹට පමණක් මහාධිකරණ 7 ක් ඇති බව කෙනෙකු කිව හැකිය.

මේ සංශෝධනයේ අරමුණ දිනපතා නඩු විභාග කිරීමය. බලධාරින් කරන වැරදි විභාග කිරීමය. නමුත් රජයක් විදිහට කළ යුතු වන්නේ සමස්ත සමාජයම යහමඟට ගැනීමයි. නිවැරදි කිරීමයි. ඒ සඳහා නීති සම්පාදනය කිරීමයි.

යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතු බව සැබෑ නමුත් මෙමඟින් එය කළ හැකිද යන්න ගැටලු සහගත වේ. බලු වලිගය උණ පුරුකේ දාලා ඇද අරින්න බැහැ යන කියුම මෙහිදී මට මතක් ‍ෙව්. දරුවන් යහමඟට ගැනීමට දහම් පාසල් අධ්‍යාපනය දිය යුතු යැයි ජනාධිපතිතුමා වරක් කීවේය. සමාජය නිවැරැදි කළ යුත්තේ එමඟිනි. එහිදී ජනාධිපතිතුමාගේ දර්ශනය නිවැරැදිය.

මෙම පනතට අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පත්කෙරෙන්නේ අගවිනිසුරුතුමා විසිනි. අගවිනිසුරුතුමා දේශපාලනික මතධාරියෙක් යැයි කිව නොහැකිය.

අගවිනිසුරු යනු ස්වාධීන තැනැත්තෙකි. එහෙත් දේශපාලන මත දැරූ සමහර අගවිනිසුරුවරුන් මෙරට සිටි නමුත් අගවිනිසුරුවරයාගෙන් සියයට 99 ක් ම ඉතාම ස්වාධීනව කටයුතු කළ අය වෙති. එහෙයින් අගවිනිසුරු ධුරය විසින් මහාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම වැරදි යැයි කාටවත් කිව නොහැකිය.

අවශ්‍ය උසාවි ප්‍රමාණය අගවිනිසුරුවරයාගේ අභිමතය පරිදි කරනු වෙනුවට ඇමැතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය පරිදි ගැසට් නිවේදනයක් මඟින් උසාවි කොපමණ අවශ්‍ය ද යන්න නම් කිරීමෙන් යම් බලයක් දේශපාලන අධිකාරියට එයිද කියන සැකය මතු වේ. අවසන් තීරණය අගවිනිසුරුතුමා ගත යුතු යැයි පනතේ යටින් සඳහන් වුවද ඇමැතිවරයාට බලතලයක් දීම වෙනුවට මෙපමණ අධිකරණ ප්‍රමාණයක් අවශ්‍යද යන වග අගවිනිසුරුතුමා තීරණය කළ යුතුය. අද මෙකී තීරණය හොඳ විය හැකි වුව හෙට ඇමැතිවරයෙක් ගියාම අගවිනිසුරුවරයෙක් නෑ බෑ නොකියනු ඇති බැවිනි. ව්‍යවස්ථාදායකය අධිකරණය අතර වෙනසක් තිබිය යුතුය. ව්‍යවස්ථාදායකය හා අධිකරණයට ඇඟිලි ගසන්නේ නම් ගැටලු මතුවිය හැකිය. මීට පෙර මහාධිකරණය ස්ථාපිත කළේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙනි. අධිකරණ සංවිධාන පනතට සංශෝධන එක්කර විශේෂ මහාධිකරණ පිහිටවූ පළමු අවස්ථාව මෙයයි.

රජය විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවනවා කියූ නමුත් නඩු විභාග ආරම්භ කරන්නේ එක් අධිකරණයක පමණක් වීම පිළිබඳ ද ඇතැමුන් විමසති.

සංශෝධන පනත අනුව අධිකරණ මෙපමණ යැයි ගණනක් සඳහන් වන්නේ නැත. පනත අනුව අගවිනිසුරුතුමාගේ තීරණය අනුව අධිකරණ ගණන තීරණය වනු ඇත.

ගොඩනැගිලි පහසුකම් තවම සම්පූර්ණ නොවීම වත්මන් තත්ත්වයට බලපා ඇතැයි සි‍ෙත්. එසේම මඟපෙන්වීම් ව්‍යාපෘතියක් වශයෙන් එකක් හැටියට එක් අධිකරණයකින් ආරම්භ කිරීම ඉතා යහපත්ය. එහෙත් දිනපතා නඩු විභාග කිරීමේ තීරණය එතරම් ප්‍රායෝගික නැත. මක් නිසාද යත් දිනපතා නඩු විභාග කරනවිට සාක්කිකරුවන් ලෙස සියලු රාජ්‍ය නිලධාරින් කැඳවන්නට සිදුවේ. එවිට ඔවුන් එකම කාර්යාලයක නම් එදිනට එහි වැඩ නවතී. දිනපතා අධිකරණයට පැමිණියා වුව එක් අයෙක් සාක්කි දුන්නද අනෙක් සාක්ෂිකරුවනට එළියේ බලා ඉන්නට සිදුවනු ඇත. එහෙත් ඔවුන්ට අදාළ දීමනාද ගෙවන්න සිදුවේ. අද නඩුව විභාග කළ සටහන් නීතිඥවරුන්ට හෙට දෙන්නට සිදුවේ. ලඝු ලේඛිකාවන්ට විනිසුරුවරුන්ට රාත්‍රී 8 – 10 වනතුරු රාජකාරි කරන්නට සිදුවනු ඇත. ඒ නිසා සතියට දින 3 ක් හෝ 2 ක් හෝ අධිකරණය පැවැත්වීම වඩාත් ප්‍රායෝගික වනු ඇත.

දිනපතා නඩු විභාගය කිරීම මීට පෙර දිසා අධිකරණයේ සිවිල් නඩුවලටත් යෝජනා කළා. නමුත් සාර්ථක නොවුණි. ලංකාවේ බහුලව ඇත්තේ දික්කසාද නඩු බැවින් රජය විසින් දික්කසාද නඩු අහන්න වෙනම උසාවියක් පිහිටුවනු ලැබිණ. නමුත් අදටත් එම නඩු සිතූ තරම් වේගයෙන් විභාගවන්නේ නැත. රටේ නඩු ලක්ෂ ගණන් ගොඩගැහෙද්දි අධිකරණ පිහිටුවීමට දේශපාලන අරමුණක් මත සිදුවන්නේය යන මතය සමාජයෙන් ඉවත් කළ නොහැකිය. එහෙත් මෙය දේශපාලන දඩයමක් යැයි කියන්නටද නොහැකිය. සමස්ත ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූල එකකි. එසේම නීත්‍යානුකූලය. අනෙක් අතින් මේ අධිකරණ පිහිටවූ ආණ්ඩුව සදාකාලිකව පවතින්නේද නැත. ‍ෙම් ආණ්ඩුවෙන් පසු මේ සංශෝධන පනත් නැතිවන්නේද නැත. ක්‍රමය ඉදිරියට යනු නො අනුමානය.

පළිගැනීම් කිසිවක් සිදුනොවෙතැයි කිව නොහැකි නමුත් ඊළඟ ආණ්ඩුව විසින්ද මේ ක්‍රමය පාවිච්චි කරනු ඇත. යම් ආණ්ඩුවකට තමන්ට ඕන දේවල් කරගෙන ආණ්ඩුව විසිරවීමට පෙර මේ සංශෝධන අහෝසිකරන්නට හැකියාවක් නැත. නීතිය මෙතැනින් අවසන් වෙන්නේද නැත.

කෙසේ වුව මේ ක්‍රමය දිගටම පැවතියහොත් දේශපාලකයෝ ඔක්කොම හිරගෙවල්වලට යවනු ඇත.

අදාළ නඩුවල සාක්ෂිකරුවන් සාමාන්‍ය රාජ්‍ය සේවකයන් විය හැකිය. එසේ උඩුගම් බලා පීනන මිනිස්සු මෙරට සිටී නම් ඒ සීයට එකටත් අඩුවෙනි. ඔවුනගේ ආරක්ෂාව සැලසීමට මීට වඩා හොඳ වැඩපිළිවෙළක් සමාජගත විය යුතුය. ඒ සඳහා පහසුකම් සපයන්නට ආණ්ඩුව වගබලාගත යුතු වනු ඇත.

සටහන
රෝෂන් තුෂාර

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

ප්‍රාලේ මහත්තයෝ 'පෙත්සම'කියවමු

$
0
0
ජුලි 11, 2018 01:00

'The New Land'නම් ආප්තෝපදේශාත්මක ග්‍රන්ථය රචනා කරමින් Ljupka Cvetanova පැවසූ කරුණක් වූයේ චාර්ල්ස් ඩාර්වින් වැරදි බවත්, ආණ්ඩු අස්සේ ලගින්නන්ගේ පමණක් පැවැත්ම සුරක්ෂිත වන බවත්ය (“Charles Darvin is wrong : Only the closest to the government will survive!”). ඩාර්වින් තම පරිනාමවාදයේදී දැක්වූ ''යෝග්‍යතමයාගේ න්‍යාය''හෙවත් ''දැවැන්තයන් තම පැවැත්ම තහවුරු කරගන්නේය''යන සර්වකාලීන න්‍යාය පවා මුසාවක් කරනසුලු මෙම නව ලෝක පර්යාය නම් කවරක්ද? ඉහත කතුවරිය සෝපාහාසයෙන් දක්වන පරිදි මෙලොව ඉහළම පැවැත්ම හිමි ප්‍රජාවක් වේ ද ඒ වෙන අන් කිසිවෙක් නොව දේශපාලන රැකවරණය හිමි පරපුට්ටෝය. එය ගෝතමාලාවේ සිට ස්වාසීලන්තයටත් - බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවටත් පොදු ධර්මතාවක් බවට පත්ව ඇත්තේ කලෙක පටන්ය.

නුවර කලාවියේ හරක බානත්, නියගයත් සමග අනවරත අරගලයක නිරත අහිංසක ගැමි ප්‍රජාවේ දුක දැක සසල වූ සිතින් රචිත නවකතා පෙලක් 60 දශකයේදී ප්‍රකාශයට පත් විය. ඉන් පාඨක රුචිය ඇඳ බැඳ ගත් ප්‍රකට නවකතාද්වය වූයේ පෙත්සම හා අත්සනයි. කතුවරයා ලීල් ගුණසේකරයි. මෙරටේ සිටින සෑම රජයේ මාණ්ඩලික නිලධාරියෙක්ම කවරක් නැතත් ''පෙත්සම''පමණක් හෝ කියවා සිටිය යුතුය යන්න ලියුම්කරුගේ යෝජනාවයි. පෙත්සමේ අග්ගිස්සේ සඳහන් පැදියක සඳහන් වන්නේ එකල ඒජන්ත උන්නාන්සේ ලෙසින් හැඳින් වූ මහ දිසාපතිවරයාට ඔප්පු කරන්නෙමැයි සිතා කච්චේරිය අසල වාඩිලා සිටින කුලියට ලියන්නා ලවා පෙත්සමක් ලියවා ගත් හැටිය. රටට අපමණ අගයක් දිය හැකි දේශපාලකයන් තව දුරටත් මෙරටේ නැති බව ඔවුන් විසින්ම යළි යළි සනාථ කරමිනි සිටින පසුබිමක ''ඇති හැකි නොව - කිසිවක් නැත්තන්ට''අද ද පිහිටට සිටින ඉෂ්ඨ දේවතාවා රජයේ නිලධරයා මිස වෙනකෙක් නොවේ. එහෙවු නිලධාරී සමුහයට සිදු වී ඇති වින්නැහිය කවරේදැයි නොවිමසා රටටත්, රට්ටුන්ටත් විය හැකි සුගතියක් නම් නැත.

දේශපාලකයන්ගේ අනිසි බලපෑම තුළ, රාජ්‍ය මූල්‍යයෙන් 2% ක් පමණ වු ප්‍රමාණයක් වාර්ෂිකව රටට අහිමි වන්නේයැයි නොබියව පවසමින් ඉමහත් ආන්දෝළනාත්මක වාර්තාවක් 60 දශකයේදී සම්පාදනය කිරීමට සමත් වූ මහාචාර්ය ඒ. ඩ්. වී. ඩී. එස්. ඉන්ද්‍රරත්නයන්ගේ එකී අනාවරණය පිළිබඳ මෙරටේ පරිපාලකයන් කීයෙන් කීදෙනෙක් දැනුම්වත්දැයි සැක සහිතය. දුසැරිය පිටු දැකීමේ අකලංක දැක්මක් තව දුරටත් පවතී නම් ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය (SLIDA),අංකුර පරිපාලකයන්ගේ පුහුණු මොඩියුලයට ඉහත වාර්තාවේ සොයා ගැනීම්ද ඇතුළත් කළ යුතුව ඇත.

දේශදේශාන්තරයන්හී කිතුගොස නැංවූ අධිරජ මහා ඇලෙක්සැන්ඩර් වරෙක මැසිඩෝනියාවේ ප්‍රත්‍යන්ත ජනපදයක සංචාරය කරන්නේයැයි සන්දේශකරුවකුගේ දැනුම් දීමෙන් ප්‍රමුදිත යටත් වැසියෝ මහාධිරාජයා පිළි ගැනුමට අනේකාකාරයෙන් පෙළ ගැසුනෝය. ඒ සියලු හරසර විඳිමින් වීථි සංචාරයට බට අධිරාජයා තමා දුටු දසුනින් මුසප්පු නොවුණා පමණි. යටත් වැසියෙක් තාර පීප්පයක කිසිවක් සිදු නොවුණ ගාණට වසන්නේය. තමා දුටුවන එකත්පස් වන රටවැසියන් සමුහයක් අභියස තමාගේ සම්ප්‍රාප්තිය අලුයම ලූ කෙල පිඩක් තරම හෝ ගණනකට නොගත් මොහු කවර නම් අරුමැසි මිනිස් ප්‍රාණියෙක්දැයි දැනගනු රිසින් ළංවූ අධිරාජයා තාර පීප්පය තුළ රැඳුණු තැනැත්තාගෙන් ''අධිරාජයා වන මාගෙන් ලබා ගනු රිසි යම් උපකාරයක් තිබේදැයි ඇසුවේය. තිබේ යැයි පිළිවදන් ලැබුණු බැවින් ඒ කිමෙක්දැයි පෙරලා ඇසූ අධිරාජයාට ලැබුණු පිළිතුර මෙපරිදිය. ''මදෙසට මෙතෙක් නිදහසේ වැටුණු හිරු එළිය අවහිර වී ඇත. ඒ ඔබ මා අභියස සිටගෙන ගෙන සිටින නිසාය, එබැවින් කරුණාකර පසෙකට වන්න''. ලොවක් භයින් ත්‍රස්ත කළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා මායිම් නොකළ එකී මිනිසා අන් කවරෙක් හෝ නොව අති විශිෂ්ට ලේඛන හැකියාවෙන් මැසිඩෝනියාව පොබ කළ මහා ලේඛක දිමොස්තීනස්ය. මහානාමයන්ගේ මහා පරිමාන අල්ලස පිළිබඳ වාදාභිමුඛ මොහොතේ දිමොස්තීනස්ගේ පැටිකිරිය පිළිබඳ අමන්දානන්දයට පත් වීමට හේ වූ කරුණ ඒ අන් කිසිවක් නොව මෙරටේ මාණ්ඩලික නිලධරයන්ගේ පෞරුෂය සිදීබිදී ඇති තරම වටහාගැනීමටය.

මෙරටේ එක්තරා පාසලක ආදර්ශ පාඨය වන්නේ ''මඟ හරින්නෝ මඟ හැරෙන්නේය''යන්නයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට (SASA)නියමිත ආදර්ශ පාඨයක් නොමැත්තේ නම් ඉහත පාඨය යොදා ගැනීමේ වරදක් නැත. ඊට දෙස් දෙන සාධකය යම් අයිතිවාසිකමක් ගිලිහුණු විට බිලි පුජාවකට සැරසෙන කපුවකු සේ මාරාවේශයෙන් පරලව කිහිරඟුරු අතට ගන්නා ඔවුන්, තම ප්‍රබල සාමාජිකයෙක් සමස්ත දේශය ම අපකීර්තියට පත් කළ විටෙක දී කුරුබිලියට වැදී මෞන වෘතය රැකීමයි. අගතියට හුරේ දමන අපාය සහාය සගයන් ගැලවී ගියහොත් මඟ වරදින්නේ ඔවුන්ට ම බව කියා දෙන්නට සමත් එකදු අභීත පරිපාලන නිලධාරියෙක් මෙරටේ නැත. හේතුව 'අපේ එකාට''එරෙහි වන්නට ඇති මැළිකමයි. අධිරාජයා අභියස වුව තම කශේරුකාව සෘජුව තබා ගැනුමට දිමොස්තීනස්ට තිබුණු හැකියාව පරිපාලන නිලධාරී සංගමයටද තිබිය යුතුය. එවන් අනම්‍ය මගකට පිළිපන් කවර සංගමයක් හෝ තම සාමාජිකයන්ගේ දොස් පරොස් මධ්‍යයේ කිපිය යුතු නැත. වත්මන් පසුබිම පිරික්සීමේදී පැහැදිලි වන කරුණක් නම් අල්ලසටත්, දුසැරියටත් යොමු වූ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් බිහිවීමට තුඩු දී ඇති තීරණාත්මක සාධකයක් වන්නේ කොන්ද කෙලින් ඇති නිලධාරීන්ගේ අඩුව බවයි. එක්කෝ එවැනි නිලධාරීන්ගේ නිබය තීරණ පිළිබඳ වීර කතා සමාජගත නොවන්නේය. එසේත් නැත්නම් එවැන්නෝ මෙරටින් වඳ වී ගොස් අවසානය.

සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලනීකරයට ලක්ව ඇති කලෙක පරිපාලන නිලධාරීන් හට පමණක් උඩුගං බලා පිහිනිය නොහැකි යැයි යමකුට පැවසිය හැකිය. එහෙත් කවරෙකු හෝ බළලාගේ කරේ සීනුව බැඳිය යුතුය. එලෙස සීනුව කර බැඳීමට තැත් දරා දිවියේ ලද හැකි කටුකතම ඵල ලැබූ ඇත්තන් නැත්තේ නොවේ. ලලිත් අඹන්වෙල එවැන්නෙකි. සොරුන් ඇල්ලීම බලදේශපාලනයේ තවත් එක ව්‍යාපෘතියක් පමණක් වී ඇති සමයක පරිපාලන නිලධාරීන් හෝ රට ගලවා ගැනුමට පෙරට ආ යුතු නොවේද? දේශපාලකයන්ගෙන් ගිලිහී ඇති යෂ්ටිය තමන් අතට ගන්නට යැයි පරිපාලන නිලධරයන්ගෙන් අප අයදින්නේ කිසිදු ද්වේශයකින් නොවේ. තම මගුල් මුදුව උගස් කොට වැලිකන්දේ ගැමියන්ට වතුර දුන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අභිප්‍රායත්, මැතිවරණ සමයේ ගසකට නැග නීති විරෝධී බැනරයක් ගැලවීමට යද්දී ඇද වැටීම නිසා ඔත්පල වූ පොලිස් නිලධරයාගේ කැපවීමත්, අපට මහාර්ඝ දායාද වන්නේය. එහෙත් අදට වැඩි වැඩියෙන් අවැසි වන්නේ දිමොස්තීනස්ගේ භූතාත්මය වැහුණු අදීන පරිපාලකයන් සමූහයක් විනා ''දෙන දෙයක් කා -වෙන දෙයක්''දෙස බලා සිටින අපෘෂ්ඨවංශික පරිපාලකයන් රොත්තක් නොවේ.

 

මංජුල ගජනායක

මැද මාවතේ සයිටම් විසඳුම

$
0
0
ජුලි 11, 2018 01:00

අධ්‍යාපනය ආණ්ඩුවේ පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් ලබා ගන්නවාද පෞද්ගලික අංශයේ ආයතනයකින් ලබා ගන්නවාද යන ප්‍රශ්නය වර්තමාන ලෝකයේ එතරම් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ එහි අන්තර්ගත ප්‍රමිතිය යි. නැතිනම් අදාළ ආයතනවල අඩංගු නිර්ණායක කවරේ ද යන්න යි.

එසේම දරුවකුගේ ප්‍රාථමික අවධියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නොමිලේ අධ්‍යාපනය සපයනු ලබන රටවල් අද ඇත්තේම නැති ගානය. ඇතිනම් අතළොස්සක් පමණි. සමහර රටවල ප්‍රාථමික අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නත් උසස් අධ්‍යාපනයට මුදල් අය කෙරේ.

ශ්‍රී ලංකාව ඒ අතින් වාසනාවන්ත ය. ලෝකයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අසාමාන්‍ය වූ දුර්ලභ කාර්යය ශ්‍රී ලංකාවේ සිදු වේ. එනම් පළමුවැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ම අධ්‍යාපනය නොමිලයේ සැපයීම ය. එපමණක් නොව පාසල් පොත්, නිලඇඳුම් පවා සියලූම සිසු දරු දැරියනට නොමිලේ ලබාදීම සිදු වේ. මෙපමණක් නොව සමහර දුෂ්කර පාසල්වල ප්‍රාථමික පන්ති සඳහා උදෑසන ආහාරය පවා නොමිලේ ලබාදෙනු ලැබේ.

මෙසේ නොමිලේ ලැබෙන අධ්‍යාපනය අපේ රටේ දරු දැරියනට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. එහෙත් මේ වන විට ලොව පුරා සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ අධ්‍යාපනය මුදල් අය කර ලබා දෙන ප්‍රවණතාවකි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ දී විවිධ පාඨමාලා මගින් ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් උපාධි මුදලට පිරිනැමේ.

පෞද්ගලික අධ්‍යාපනය

වර්තමානයේ අපේ රටේ ද පෞද්ගලික අධ්‍යාපනයේ වර්ධනයක් දක්නට ලැබේ. ජාත්‍යන්තර පාසල් නමින් හැඳින්වෙන පෞද්ගලික අංශයේ පාඨශාලා මේ වන විට කොළඹ නගරයෙන් බැහැරව ද විවෘත වේ. 2017 ට සාපේක්‍ෂව රාජ්‍ය නොවන පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 136, 407 කි. ගුරුවරුන් සංඛ්‍යාව 6872 කි. මෙම ප්‍රමාණය ජාත්‍යන්තර පාසල්වලට අමතරව ය.

මේ නිසා පූර්ණ නිදහස් අධ්‍යාපන සංකල්පය ක්‍රියාත්මක වෙමින් පවතිද් දී ද රාජ්‍ය නොවන හා ජාත්‍යන්තර පාසල් බිහිවීම හා ඒවාට යොමු වන ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වීම ද මෙරට අධ්‍යාපනය තුළ දක්නට ලැබෙන ප්‍රවණතාවකි.

විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ට අමතරව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට අනුබද්ධව 2017 වසර අවසන් වන විට පිළිගත් විදේශ උපාධි පාඨමාලා 99 ක් පිරිනමන ආයතන 16 ක් පැවතුණි. මේ සියල්ල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සොයා බැලීමට හා අනුමැතියට යටත්වය. එසේම 2017 වසරේ උපාධිධාරීන් වීමට සුදුසුකම් ලැබූ පිරිසෙන් (අ.පො.ස උසස් පෙළ සමත්) රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සංඛ්‍යාව 18.61‍ කි. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන අයගෙන් 1000 ක් පමණ ඒවාට අයදුම්පත් ඉදිරිපත් නොවීමය. එහෙත් මේ පිරිසෙන් අති බහුතරය කිසිදු උපාධියක් ලබා නොගන්නා පිරිසක් නොවේ. මේ අය ද පෞද්ගලික විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වී උපාධියක් ලබා ගැනීමට පෙළැඹෙති. පාඨමාලා ප්‍රශ්න හා විශ්වවිද්‍යාලවල දක්නට ලැබෙන කල් මැරීම (උද්ඝෝෂණ, වැඩවර්ජන, විශ්වවිද්‍යාල වසා තැබීම ආදී කාරණා) මීට හේතු වී තිබෙන බව පෙනේ.

සාමාන්‍යයෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උසස් පෙළ සමතුන්ගෙන් විශ්වවිද්‍යාලයකට යා හැකි වන්නේ 20% ‍කටත් අඩු ප්‍රමාණයකට නම් ඉතිරි පිරිසට සිදු වන්නේ කුමක් ද? ඉතිරි පිරිසට තම සුදුසුකම් මත පෞද්ගලික අංශයෙන් උපාධියක් හෝ තෘතියික අධ්‍යාපන අවස්ථාවක් මගින් ඩිප්ලෝමාවක් හෝ ලබා ගැනීමට නොහැකි නම් මේ රටේ තරුණ පරපුර තුළ උදාවිය හැකි අසහනය කෙබඳුදැ යි තක්සේරු කළ නොහැක. විශේෂයෙන්ම මුදල් ගෙවා හෝ ඔවුනට එම අවස්ථාව සලසා ගැනීමේ මාර්ගයක් තිබිය යුතුය.

දැනටමත් පෞද්ගලික අංශය, රජයේ විශ්වවිද්‍යාල හා ඊට සමගාමීව තෘතියික අධ්‍යාපන ආයතන මගින් ඉටුකරනු ලබන කාර්යභාරය පුළුල් වී තිබේ. 2017 අවසන් වන විට රාජ්‍ය ආයතන 333 ක්, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන 486 ක් ඇතුළුව කාර්මික හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ලියාපදිංචි ආයතන 819 ක් දක්නට ලැබේ. මෙමගින් පාඨමාලා 2972 ක් පිරිනමා ඇත. ඉන් සුදුසුකම් සහතික පත් ලැබූ සංඛ්‍යාව 65, 212 කි. මේ නිසා උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ අසමත් වීම කෙනෙකුට වෘත්තිය සුදුසුකමක් ලැබීමට බාධාවක් නොවේ.

පෞද්ගලික අධ්‍යාපනයේ හෝ උපාධි පිරිනැමීමේ දී මේ කිසිදු ක්ෂේත්‍රයක දක්නට නොලැබෙන විශේෂත්වයක් පසුගිය සමයේ වෛද්‍ය ක්ෂේත්‍රයෙන් මතු විය. එය සිදු වුණේ පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා ගොඩනැගුණු, සයිටම්, ආයතනය බිහිවීමත් සමඟ ය., සයිටම්, ආයතනයට වුව ද ඉංජිනේරු වැනි වෙනත් උපාධි පිරිනැමීමේ දී ගැටලූවක් ඇති නොවුණි. ගැටලූව මතු වූයේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ දී ය.

උපාධියේ ප්‍රමිතිය

සයිටම්, ආයතනයට අනුමැතිය ලබා දෙන්නේ වත්මන් රජය මගින් නොවේ. එය පසුගිය රාජ්‍ය සමයේ විශ්වවිද්‍යාල කොමිසම මගින් ලබාදෙන ලද අනුමැතියට අනුව බිහිවූ ආයතනයකි. ඊට එරෙහිව නැගුණු උද්ඝෝෂණයට හා ගැටලූවලට කර ගැසීමට සිදු වූයේ වත්මන් රජයට යි. විදෙස් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගෙන මෙරටට පැමිණෙන අයට මෙහි දී ගැටලූවක් පැන නොනගී. ඒ අය මෙරට දී පවත්වනු ලබන විභාගයකින් සමත් වීමෙන් තොරව වෛද්‍යවරයකු ලෙසින් ලියාපදිංචි විය නොහැකි ය. එම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය වුවද මෙහි දී ගණන් නොගැනේ. නයිජීරියාවේ අප නොදන්නා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වුව ද උපාධියක් ලබා තිබීම මෙම ක්‍රමවේදය තුළ ප්‍රශ්නයක් නොවේ.

ප්‍රශ්නය පැන නැගුණේ සයිටම් ආයතනයට ලක්ෂ ගණනක් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබූ දේශීය සිසු දරු දැරියන්ට ය. ඊට එක් හේතුවක් වූයේ ඔවුන් විදේශ රටවල ඉගෙනුම ලබා මෙරටට පැමිණෙන අනෙක් වෛද්‍ය සිසුන් මුහුණ දෙන සුවිශේෂී විභාගයට වාඩි නොවී කෙළින්ම වෛද්‍ය උපාධියක් පිරිනැමීමට ගෙන තිබූ තීරණය යි. දෙවැන්න ඔවුනට විධිමත් සායනික පුහුණුවක් ලබා ගැනීමට නොහැකි වූ ගැටලූවයි. ඊට හේතුව ඒ සඳහා මුදල් ගෙවා හෝ රජයේ රෝහල්වල සක්‍රීය දායකත්වය නොලැබීම යි. ඒ සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතිවල ක්‍රියාකාරිත්වය ද හේතු විය.

මෙවන් පසුබිමක දිගින් දිගටම ඇදුණු, සයිටම්, ගැටලූව වත්මන් රජයට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතාවයක් දක්වා දුරදිග ගිය බව අමුතුවෙන් කිව යුතු නැත., සයිටම්, විරෝධතා පාර්ශ්වයන් හා අන්තර් විශ්වවිද්‍යාලයී ය බල බණ්ඩලයේ ප්‍රධාන ඉල්ලීම වූයේ, සයිටම්, අහෝසි කරන ලෙසයි.

මේ සඳහා රජයේ විවිධ පාර්ශ්වයන් අදාළ පිරිස් සමඟ සාකච්ඡා පැවැත්වුවද ඵලක් නොවීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදහත් පිළිවෙතක පිහිට, සන්සුන්ව මෙම අර්බුදය විසඳීමට මැදිහත් වන්නේ ඉන් අනතුරුව ය. ජනාධිපතිවරයා සාකච්ඡා වාර ගණනාවක්ම සියලූ පාර්ශ්වයන් සමඟ පැවැත්වූවා පමණක් නොව ඒ සියල්ලටම සාවධානව සවන් දීමට ද එතුමා තම කාලවේලාව වෙන් කරගත් බව ද කිව යුතුය.

‘’මේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් වැඩිම සාකච්ඡා වාර ගණනාවක් සඳහා අදාළ සියලූ පාර්ශ්ව කැඳවු පුද්ගලයා වූයේ මම යි, අන්තරේ සිසුන් කැඳ වූ නිසා ආණ්ඩුවේ ඇතැමුන් මට දොස් කිව්වා. නමුත් මගේ ප්‍රතිපත්තිය සාකච්ඡා කිරීම යි. කිසිම ඇමතිවරයෙක් නොව රාජ්‍ය නායකයෙක් නොව මෙතරම් අර්බුදයක් විසඳන්න මේතරම් සාකච්ඡා කර නැහැ කියලා මම දන්නවා’’ ජනාධිපතිතුමා (7/7 2018)

මෙහි දී වඩාත්ම ගැටලූකාරී සංකීර්ණ කාර්ය වූයේ, සයිටම්, ආයතනය අහෝසි කිරීම නොවේ. එය ආණ්ඩුවකට ලෙහෙසියෙන්ම කළ හැකි කාර්යයකි. එහෙත් ලක්ෂ ගණන් මුදල් ගෙවා වසර ගණනාවක් සයිටම් හි ඉගෙනුම ලැබූ දරු දැරියන්ගේ ඉරණම විසඳන්නේ කෙසේද යන්න ය.

අවසානයේ ඔවුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට සියලූ පාර්ශ්වයන් එකඟ කරවාගෙන එම කාර්ය නිම කිරීමට ජනාධිපතිවරයාට හැකි වීම රජය මෙන්ම රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. මේ සඳහා නව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් ලැබුණු සහාය ද සිහිපත් කළ යුතුය.

නිවැරදි සහතිකයක්

මෙසේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයෙන් බිහිවන, සයිටම්, වෛද්‍ය සිසුන්ගේ සහතිකයේ වරහන් ඇතුළේ, සයිටම්, යන වචනය අඩංගු කිරීමට සමහරු උත්සාහ කළ බව ද මෙහි දී සඳහන් කළ යුතුය. එය ද ජනාධිපතිවරයාගේ නියමයෙන් ඉවත්කරනු ලැබීය. දැවැන්ත ප්‍රශ්නයක් රාජ්‍ය නායකයාගේ මැදිහත් වීමෙන් අවසන් වූයේ ඒ අයුරිනි.

මේ රටේ උසස් පෙළ සමත් සිසු දරු දැරියන් සියල්ලටම විශ්වවිද්‍යාල වරම් සලසාදිය නොහැකි බව මොළේ අමාරුවක් නැති ඕනෑම කෙනෙක් පිළිගන්නා ප්‍රායෝගික සත්‍යයකි. වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් ද යථාර්ථය එයම ය. මේ නිසා රටට ඇවැසි වෛද්‍යවරු පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් ද බිහිකර ගැනීමට සිදු වේ. ආණ්ඩුව උසස් අධ්‍යාපනයට වැය කරනු ලබන මුදලට වඩා වැඩි මුදලක් තම දරු දැරියන්ගේ උසස් අධ්‍යාපනය සඳහා මේ රටේ මව්පියෝ විදේශ විනිමය ලෙසින් වැය කරති. මේවා ගැන මේ රටේ අතිවාමාංශික දේශපාලන නඩ කල්පනා කරන්නේ නැත.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයේ දී වැදගත් වන්නේ ද වෛද්‍ය උපාධිය ලබා ගන්නේ ආණ්ඩුවෙන් ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ද යන කාරණය නොවේ. අදාළ ආයතන හා සම්බන්ධ නිර්ණායකයන් සම්පූර්ණ කර තිබේ ද යන්න යි.

අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට අදාළව නිසි නිර්ණායක තවමත් ඉදිරිපත් වී නොමැත. එය ඉදිරිපත් කළ යුතු බලධාරී ආයතනය රජයේ වෛද්‍ය සභාව යි. වෛද්‍ය සභාවෙන් තවමත් එම කාර්ය ඉටුවී ඇති බවක් නොපෙනේ. එක්කෝ එය කොතැනක හෝ හිරවෙලාය. මේවා නිසි කලට නිරවුල් වී තිබුණා නම්, සයිටම්, වැනි අර්බුදයක් පැන නගින්නේ නැත. නිසි ප්‍රමිතියට නොමැති නම්, සයිටම්, පමණක් නොව රජයේ වෛද්‍ය පීඨයක් වුවද වසා දැමිය යුතුය. ඊට හේතුව රටකට දොස්තරලා කොන්දොස්තරලා මෙන් බිහිකරගත නොහැකි නිසාය.

වසන්තප්‍රිය රාමනායක

ඒක පාර්ශ්වික නඩු විභාගය

$
0
0
ජුලි 11, 2018 01:00

ප්‍රේමසිරි සිරිවර්ධන ළඟ තිබී අත්අඩංගුවට ගත් අත් බෝම්බයක් නිපදවීමේ රූප සටහන් බෝපගේ ගේ යැයි කියූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, ලයනල් බෝපගේ ගේ අත් අකුරු පිරික්සන්නැයි අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව මඟින් රජයේ පරීක්ෂකවරයා වූ සමරනායක මහතාගෙන් ඉල්ලීය. ලිපි සහ රූප සටහන් ලයනල් විසින් ලියන ලද සහ අඳින ලද ඒවා බව සමරනායක මහතා නිගමනය කළේය.

1969 මැද භාගයේ ඌරුබොක්කේ දී පවත්වන ලද රැස්වීමට සහභාගි වූ තමන්, ලයනල් බෝපගේ සහ රෝහණ විජේවීර බෝම්බ තැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කළ බව ආණ්ඩුවේ සාක්ෂි කාරයෙක් බවට පත් වූ ලොකු අතුල තහවුරු කළේය. රොකට් සෑදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ලයනල්ට චෝදනා එල්ල කොට තිබුණි.

එළිදරව් වූ කාරණා නිවැරදි වුවද ද එමගින් සම්පූර්ණ කතන්දරයම නොපැවසෙයි. ලියකියවිලිවල දී සමහර සිදුවීම් ‘රාජද්‍රෝහි’ ලෙස පෙනුණ ද ආපසු හැරී බලන විට ඒවා නොමේරූ, හාස්‍යජනක ඒවාය. රොකට් තැනීම ඒ පිළිබඳ හොඳම උදාහරණයයි. 1950 දශකයේ සෝවියට් අභ්‍යාවකාශ තරණ පිළිබඳශිෂ්‍යයකු ලෙස ලයනල් දැඩි උනන්දුවක් දැක්වීය. පාසල් කාලයේ දී ඔහු මිතුරන් සමඟ රොකට් යානා කිහිපයක් අත්හදා බලා තිබුණි. රොකට් නිපදවීම පිළිබඳ ළමා වයසේ එම උනන්දුව පක්ෂ නායකත්වයේ අවධානයට ලක් වී තිබුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහෝදරයින් කිහිප දෙනකු සමඟ එක් ව රොකට්ටුවක් නිපදවීමට බෝපගේ උත්සාහ කොට තිබුණි. ඔවුහු හන්තාන කඳු මුදුනේ පාළු පෙදෙසක රොකට් යානා කිහිපයක් පරීක්ෂාවට ලක් කළඅත් හදා බැලූහ. ඒවා ඒ අවට පුදේශයට කඩා වැටුණි. රොකට්වල ඉදිරි කොටස් පොළොවට කඩා වැටී තිබුණ අතර එක රොකට්ටුවක පිපිරුම් හඬ විශ්වවිද්‍යාල භූමියටද ඇසී තිබිණ. ඒ අන්දමට එම උත්සාහ සාර්ථක නොවීය. ගරිල්ලන් කණ්ඩායමක් හන්තානේ බෝම්බ අත්හදා බලන්නේයයි දේශපාලන කණ්ඩායමක් විසින් විශ්වවිද්‍යාලය පුරා ප්‍රචාරය කර තිබුණු බැවින් නිලධාරීන්ගේ අවධානයට ලක් නොවීම සඳහා බෝපගේ සහ අනෙක් අයට මෙම අත්හදා බැලීම් අතරමඟ නතර කර දමන්නට සිදු විය.

කැරැල්ල දියත් කිරීමට තුඩු දුන් හේතු ලෙස බෝපගේ හෝ ජ.වි.පෙ. ඉදිරිපත් කළ කාරණා පිළිබඳ කොමිසම කිසිදු අවස්ථාවක සැලකිල්ලට නොගත්තේය. රජයේ මර්දනය, 1971 අප්‍රේල් මාසයට පෙර සන්නද්ධ අංශවල මැරවරකම්, අනතුරුව සිදු වූ රාජ්‍ය ප්‍රති-ත්‍රස්තවාදය යනාදිය කිසිවිටෙක දැඩි ලෙස සලකා නොබැලූණි. එසේ සලකා බැලුවේ නම් ආණ්ඩුවේ ඇමතිවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් සහ සන්නද්ධ අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ද චෝදනා එල්ල වනු ඇත. 1970 අගෝස්තු මාසයේ දී ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ අංක එකේ සතුරා හැටියට නම් කොට එය සමූලඝාතනය කර දැමිය යුතුයයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ව සිටි පසුව බටහිර ජර්මනියේ ලංකා තානාපති ලෙස පත් කර යැවූ ආතර් රත්නවේල් මහතා, ඒ කාලයේ සභාග ආණ්ඩුවේ පක්ෂ ලේකම්වරු තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කරන ලද ප්‍රකාශ පිළිබඳ කරුණු විමසන්නට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව හමුවට සාක්ෂි දීම සඳහා කැඳවන ලෙස විත්ති පක්ෂය වෙනුවෙන් කරන ලද ඉල්ලීම කොමිසම විසින් නිෂ්ප්‍රභා කරන්නේ නැත.

අත්අඩංගුවේ සිටිය දී කොල්ලුපිටියේ MI5 ඔත්තු සේවා කාර්යාලයටත් කොටුවේ සී අයි ඩී මූලස්ථානයේ හතරවෙනි තට්ටුවටත් එතැනින් නුවර පොලිස් මූලස්ථානයටත් ගෙන ගොස් ව්‍යාපාරයේ ඇතැම් නායකයන්ට මුහුණට මුහුණ මුණ ගැස්වූ පසු සහ නායකයන් සහ ඇතැම් ප්‍රාදේශීය නායකයන් විසින් කරන ලද ප්‍රකාශ කියවීමෙන් පසු බෝපගේ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටියේය. කටඋත්තරයකට අත්සන් කරනවාට වඩා මිය යාමට මුල දී ඔහු සූදානම්ව සිටි නමුත් ආරක්ෂක අංශ පක්ෂයේ සියලු ක්‍රියාකාරකම් සහ සැලසුම් දන්නා බව ඔහුට පෙනුණි. පෑනක් සහ කොළයක් ඉල්ලා ගත් ලයනල් සිදු වූ දෑ මෙනෙහි කළේය. අනතුරුව කට උත්තරයක් ලියූ ඔහු එයට අත්සන් කළේය. නමුත් එහි කිසිදු තැනක නවක සහෝදරයින් ගැන ඉඟියක් හෝ ලබා නොදුන්නේය.

ලයනල් එය මෙසේ සිහිපත් කරයි.

“ආපසු හැරිල බලද්දි කොමිසම හමුවේ අරගලයට මගේ පැවැති සම්බන්ධය ප්‍රතික්ෂේප කොට මගේ වැඩකටයුතු දේශපාලන වශයෙන් සාධාරණය කිරීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන්නට පුළුවන්. නමුත් අරගලයට අපේ පැවැති සම්බන්ධය පිළි නොගන්නට අපි සාමූහිකව එකඟ වෙලා තිබුණු නිසා ඒ සාමූහික තීරණය අනුගමනය කරන්නට මම බැඳිල හිටියා.”

පානදුර පන්සලේ දී, අත් අඩංගුවට ගත් දින පොලිස් ස්ථානයේ දී, කොල්ලුපිටියේ MI5 ඔත්තු සේවා කාර්යාලයේ දී සහ ජූනි 2 හා 3 දිනවල සි.අයි.ඩි. කාර්යාලයේ දී බෝපගේ ට පහර දී ඇති බව ඔහුගේ උපදේශක බාලා තම්පෝ පෙන්වා දුන්නේය. පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවේ දී ජූනි 18 වැනි දින පහර දීම් සිදු වුණි. මහනුවර පොලිස් ස්ථානයේ දී මාසයක් පමණ එක දිගටම ලයනල්ව ප්‍රශ්න කිරීමට ලක් කරන ලදී.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කොමිසම පවසා තිබූ දේ මෙසේය.

“අත් අඩංගුවට පත් වූ පුද්ගලයනට පොලිසිය පහරදීම පිළිබඳ නිරන්තර නිල වාර්තා සහ විපරීත පුවත්පත් වාර්තා සලකා බැලීමේ දී බෝපගේ සහ තවත් සැකකරුවන් නඟන චෝදනා පිළිබඳ අපට සැකයක් නැහැ. ඔවුන්ට ඇත්ත වශයෙන්ම නිතර නිතර පහර දී ඇත. නමුත් මෙම පහරදීම් පිළිබඳ බෝපගේ ගේ විස්තරය අතිශයෝක්ති සහගතය.”

එහෙත් යථාර්ථය මීට වඩා බෙහෙවින් ම්ලේච්ඡ විය. ලයනල් පානදුර පොලිස් ස්ථානයට ඇතුළු වූ සැණින් පහරදීම් ඇරඹුණි. පොලිස් නිලධරයෝ අතින් ද බූට් සපත්තු පැලඳි පයින් ද පහර දුන්හ. පහරවල් වළක්වා ගන්නට ලයනල් ද අනෙක් කේඩරයෝ ද දෑත්වලින් පපුව ආවරණය කර ගෙන දෙදණ බිම තබාගෙන වාඩිවී සිටියහ. දහවල් කාලයේ දී ඔවුන්ව පිට්ටනියකට රැගෙන යන ලදි. පොලිස් නිලධාරියෝ ලයනල් සහ අනෙකුත් රැඳවියන් වටකොට ගෙන වළල්ලක හැඩයට සිට ගත්හ. අනතුරුව ඔවුහු එක් පොලිස් නිලධාරියකු වෙතින් ඔවුන් තවත් නිලධාරියකු වෙත තල්ලූ කර දමමින් ඔවුනට බැටන් පොලූවලින් සහ අත්වලින් පහර දුන්හ. සුළු වෙලාවක් ඇතුළත ලයනල් සහ අනෙක් සිරකරුවෝ දැඩි තැලුම් සීරීම්වලට ලක් වූහ.

“අපේ යටිපතුල්වලට බැටන් පොලුවලින් තැලූවා. මගේ මුළු ශරීරයම වේදනාවෙන් මිරිකුණා. මුල් පහර වදිද් දී එහි වේදනාව හිස මුදුනින් පිට වෙනවා දැනුණා. හතරවෙනි හරි පස්වෙනි හරි පහර වදින විට ඒ වේදනාව දැනෙන්නෙ නැතිව ගියා ඇඟ හිරි වැටීම නිසා. පඩිපෙළ නැග ගෙන උඩ තට්ටුවට ආපු ගොඩක් අයට ආපහු ඇවිද ගෙන යන්න හම්බ වුණේ නැහැ. අධික වේදනාව දරා ගන්න බැරිව මට හතරගාතෙන් ඇවිදින්න සිද්ධ වුණා. ඔවුන්ගේ ප්‍රියතම පහර දීමේ ක්‍රමයක් තමයි රයිෆල් බඳවල්වලින් තට්ටම්වලට පහර දීම. මේ පොලිස් නිලධාරින්ගෙන් ගොඩක් දෙනෙක් පරපීඩක ආශාවන් සහිත අය හැටියට හඳුන්වන්න පුළුවන්. පාපොච්චාරණය කළොත් හෝ සහෝදර සහෝදරයින්ව පාවා දුන්නොත් දඬුවම් නවතිනවා.”

තවත් දහස් ගණන් කේඩරයින්ට ද එබඳු දඬුවම් විඳින්නට සිදු විය. ඒ නිසා බොහෝ මිනිසුන් ශාරීරිකව පමණක් නොව මානසිකවද ජීවිත කාලය පුරාවට ආබාධිතයන් බවට පත් කෙරුණි. බොහෝ අය ‘අතුරුදහන්’ කර දැමිණි.

එහෙත් කළ වධ හිංසාවන් පිළිබඳ කොමිසම දැක්වුයේ අනුග්‍රහාත්මක ස්වරයක් සහ පොලිස් ම්ලේච්ඡත්වය අවිශ්වාස කිරීමකි. එය අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා වාර්තාව පුරා හුයක් මෙන් දිවෙයි.

රෝහණ විජේවීර, ලයනල් බෝපගේ සහ අනෙකුත් විත්තිකරුවන්ට තමන්ගේ දේශපාලන නඩුවට පුළුල් ප්‍රසිද්ධියක් ලබා දීමට අවශ්‍ය වූ තැන් පටන් ඔවුහු ‘දේශපාලන ආරක්ෂාව’ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළහ. වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1973 නොවැම්බර් 2 වැනිදා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව හමුවේ රෝහණ විජේවීර පැවැත්වූ කතාවයි.

“අනෙක් ඒවා මෙන් නොවයි රෝහණ සහෝදරයාගේ කථාව සම්පූර්ණයෙන්ම ලේඛනගතව තියෙනවා. මම අදටත් ඒ කථාවේ අන්තර්ගතයෙන් බොහෝ ප්‍රමාණයක් සමඟ එකඟයි. ඒ නිසා රෝහණ සහෝදරයාගේ කථාවේ කැපී පෙනෙන අංගයන් දැක්වීම වැදගත් වෙනවා. ඒ මුළු කතාවම කළේ රාජ්‍යයට එරෙහි කුමන්ත්‍රණ චෝදනා පිළිබඳයි.”

 

සිසිර යාපා

හෙට මල් මැළවුණා සුවඳ ඉතුරුයි


මල් මැළවුණා සුවඳ විතරයි

$
0
0
ජුලි 12, 2018 01:00

“රෝහණ සහෝදරයා මෙහෙම කිව්වා. ‘නඩුවේ නෛතික අභිප්‍රායයන් අපි සැලකිල්ලට ගෙන ඇත්තෙමු. ජරාජීර්ණ, යල් පැන ගිය මානව සමාජ සංවර්ධනයට ප්‍රතිපක්ෂ වූ ධනවාදයෙන් ඉවත් වී අලුත් සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් ස්ථාපිත කිරීම, ඒ සඳහා අදාළ අයුරින් ක්‍රියා කිරීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් නොවේ. ඉතිහාසයේ සංවර්ධන සන්දර්භය තුළ මම කුමන්ත්‍රණකාරයෙක් නොවෙමි. එසේම, සමාජ, මානව ප්‍රගමනයේ සන්දර්භය තුළ මම කුමන්ත්‍රණකාරයෙක් නොවෙමි.”

“ක්‍රමයට එරෙහිව කැරලි ගැසීමට ඇති අයිතිය ස්ථාපිත කළ ඔහු සිය කථාවේ දී තමාට විරුද්ධ ව නඟා ඇති චෝදනා දෙසට යොමු වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ, විශේෂයෙන්ම විප්ලවයේ වගකීම ලංකා සමසමාජ පක්ෂයේ උර මත වැටී තිබූ 30-40 දශකවල අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැගුණු කැරලි පිළිබඳව ඔහු ව්‍යක්ත ලෙස කරුණු ගෙන හැර පෑවා. රෝහණ සහෝදරයා මෙම අවධිය දෙවැනි අධිරාජ්‍යවාදී යුද්ධය යනුවෙන් නම් කළා. මෙම කාලයේ දී වාමාංශයට සිරගත වන්නටත්, අඩන්තේට්ටම් විඳින්නටත් සිදු වුණ බව ඔහු කිව්වා. ලැබූ නිදහස පුස්සක් වූ අතර ධනවාදී සංවර්ධනයේ බංකොලොත් මාවත ඉවසා සිටින්නට රටට බල කෙරුණ බව රෝහණ සහෝදරයා පැහැදිලි කළා. අපේ පරම්පරාව වැඩී ආවේ මෙම භෞතික සන්දර්භය තුළ බවත් අනතුරුව තමන් මාක්ස්වාදී මාවතට පිළිපන් අයුරුත් ඔහු පැහැදිලි කළා.කොමියුනිස්ට් පක්ෂයේ පීකිං සහ මොස්කව් දෙපිලම ශ්‍රී ලාංකික භෞතික යථාර්ථයට නොගැලපෙන බව තමා සහ තමා වැනි අනෙකුත් ක්‍රියාකාරිකයින් වටහා ගත් බව ඔහු විස්තර කළා.”

මාක්ස්-ලෙනින්වාදීන් ලෙස තමන් මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ ධනවාදයෙන් සංක්‍රමණය වීම සාමකාමීව නැතහොත් ප්‍රචණ්ඩ අයුරින් සිදු වී තිබෙනවාද, සිදු කළ හැකිද යන්නයි. මෙම විවාදාපන්න ප්‍රශ්නයට සම්බන්ධ මාක්ස් සහ එංගල්ස්ගේ ලේඛනවලට රෝහණ විජේවීර වක්‍රව පැමිණියේය. ජ.වි.පෙ. හි බලාපොරොත්තුව වූයේ දුෂ්ඨ ක්‍රමය වෙනස් කිරීමයි. එය කරනුයේ ‘වැට උඩ සිටිමින්’ නොවන බව ඔහු පැවසීය. පවත්නා ක්‍රමය ප්‍රභූන්ගේ වාසිය පතා මහජනයාව, විශේෂයෙන්ම ගම්බද ගැමි ගොවීන්ට කිව නොහැකි තරම් දුක්ඛ දෝමනස්සයන් විඳින්නට සලස්වා ඇත. මෙම පීඩනය සහ රාජ්‍යයේ ප්‍රති-විප්ලවකාරී බලය යන දෙකටම එරෙහිව නැ‍ඟී සිටීමට ජනයා සංවිධානය කිරීම පක්ෂයේ කාර්යභාරය විය. ඉදින් සන්නද්ධ වීම සහ සූදානම් වීම ඉතිහාසයට අනුව අත්‍යවශ්‍ය විය යුතු යැයි ඔහු පැවසිය.

“සමාජයේ අනෙකුත් පීඩිත කොටස් සමඟ එක්ව නිර්ධන පංතිය තම අයිතිවාසිකම් රැක ගැනීමටත් පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමටත් සාමකාමී පියවර ගනිද් දී සමාජයේ සුළුතරයක් නියෝජනය කරන සූරාකන පංති නිතරම තම දේපල ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා නිර්ධන පංතියේ සාමකාමී අරගලය සම්පූර්ණයෙන්ම නිශේධනය කරමින්, නිෂ්ප්‍රභා කරමින් ප්‍රචණ්ඩත්වය යොදවන බව රෝහණ සහෝදරයා පෙන්නා දුන්නා”

“රෝහණ සහෝදරයා ප්‍රචණ්ඩත්වය පිළිබඳව කරුණ සාකච්ඡා කරද් දී විනිශ්චයකාරවරුන් සහ රෝහණ සහෝදරයා අතර පවතින දේශපාලනික සහ පංති බෙදීම පැහැදිලිව ප්‍රකට වුණා. ඔහුට බාධා කළ ප්‍රධාන විනිසුරු ෆර්නැන්ඩු මහතා, ගෙවල් හිමියා ආයුධ සන්නද්ධව සිටින නිසා පිස්තෝලයකින් සන්නද්ධ වී ගෙයක් බිඳින්නට සැරසුණු සොරෙක් පිළිබඳව කතාව ගෙන හැර පෑවා. එම සොරාගේ ක්‍රියාව නීති විරෝධී බව විනිසුරු ගේ මතය වුණා. රෝහණ සහෝදරයා විනීත ලෙස එම අපවාදාත්මක සම කිරීමේ කතාව බැහැර කළේ විනිසුරුවරුන් සහ තමන් හුදෙක් වෙනස් විශේෂඥ ගනයන්ට අයත් බව දක්වමින්.”

ශ්‍රී ලංකාවට විප්ලවකාරී පක්ෂයක අවශ්‍යතාව, එහි අත්‍යවශ්‍ය කාර්යභාරයන් සහ ශ්‍රී ලාංකික සන්දර්භය පිළිබඳව කරන ලද විශ්ලේෂණය සම්බන්ධයෙන් රෝහණ විජේවීර කරුණු විස්තර කළ බව බෝපගේ පවසයි.

“පීඩක රජයන්ට එරෙහිව තම අයිතීන් වෙනුවෙන් පීඩිත ජනතාව ලෝකය පුරා කැරලි ගසා ඇති බව රෝහණ සහෝදරයා කොමිසමට පැවසුවා. දුෂ්ඨ පාලකයින්ට එරෙහිව කැරලි ගැසූ ප්‍රකට අරගලකරුවන් පිළිබඳ වාර්තා ඇතුළත් පැරණි සිංහල පොත් පත් ගැන ද ඔහු විනිසුරන්ට මතක් කර දුන්නා. අරගලයෙහි වගකීම භාර නොගත් රෝහණ සහෝදරයා රජය විසින් අපේ පක්ෂය සන්නද්ධ අරගලයකට බලහත්කාරයෙන් ඇද දැමූ බව කිව්වා.”

“ රෝහණ සහෝදරයා කිව්වේ දරාගත නොහැකි පීඩනයකට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණ එම පීඩනයට එරෙහිව අරගලය තෝරා ගත්ත බවයි.”

රජය ජයග්‍රහණය කර ඇති බවත් වම අන්ත පරාජයක් අත් කරගෙන ඇති බවත් රෝහණ විජේවීර තම කතාව අවසානයේ සඳහන් කළේය. නමුත් මෙයින් තමන් සහ තම සහෝදරයින් අනුදත් මාක්ස්වාදී මූලධර්මයන් නිෂේධනය කිරීමට හැකි නොවන බවත් ඉදිරියේ සිදුවීමට තිබෙන දෑ පිළිබඳවත් රෝහණ විජේවීර විනිසුරන්ට මතක් කර දුන්නේය.

“විප්ලවයේ මල් පිපුණා, දැන් ඒව මැරිලා මැලවිලා ගිහින්. නමුත් ඒවයෙ සුවඳ තවමත් මැකිලා නැහැ. ඒ සුවඳ වැඩියෙන් පැතිරවීමේ අරමුණ ඇතිව තවත් මල් පොහොට්ටු පිපෙනවා. සැබැවින්ම, මහත්වරුනි, ධනවාදී ක්‍රමයට එහි ජයග්‍රහණය සමරන්න සැබෑ හේතුවක් නැහැ. පංති අරගලය අවසාන ජයග්‍රහණය ලෙස නිර්ධන පංති ජයග්‍රහණය අත් කර ගන්නා තෙක් උස් පහත් වන සී-සෝවක්. ඒක තමයි අපේ විශ්වාසය. මම මගේ සාක්ෂි දීම අවසන් කරනවා’ කියලා රෝහණ සහෝදරයා තමන්ගේ කතාව අවසන් කළා.”

අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ තීන්දුව දෙනු ලැබූයේ වෙනස් පංති දෘෂ්ටියකින් යුතුවය. සාක්ෂිවල ගැට‍ලු, නීතිය සහ නීතිමය විග්‍රහයන් එහි පදනම විය. පොලිස් සාක්ෂි අවිචාරවත් ව භාර ගත් කොමිසමට, කෙනෙක් රජයට විරුද්ධව කැරලි ගසන්නේ මන්දැයි සිතා ගැනීමට නොහැකි වූ බවයි බෝපගේ ගේ අදහස වන්නේ.

අභියාචනා අයිතිය, හබයාස් කෝපුස් නියෝග නිශේධ කිරීමේ අයිතිය යනාදිය පිළිබඳව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතේ අඩංගු අතිරේක-නෛතික විධිවිධාන රජයට සාධාරණීකරණය කළ හැකි ද, සාක්ෂි ලබා ගැනීම සඳහා හිංසනය යොදා ගත්තේ ද යන්න විනිසුරුවෝ පළමුව විමසා බැලූහ. කොමිසමේ පැවැත්මට ප්‍රධාන හේතුව වූයේ කැරැල්ලට වගකිව යුතු පුද්ගලයින්ගේ වැරදි ඔප්පු කිරීමයි. මේ සඳහා සංක්ෂිප්ත ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයේ විග්‍රහය කොමිසම ප්‍රයෝජනයට ගත්තේය.

‘කැරැල්ල යනු ස්ථාපිත අධිකාරි බලයට එරෙහි විවෘත ප්‍රතිවිරෝධයයි. කැරැල්ල යනු ස්ථාපිත ආණ්ඩුවට එරෙහි සංවිධිත සන්නද්ධ ප්‍රතිවිරෝධය’ යයි කොමිසම කිව්වා.”

“ආයුධ එකතු කිරීම සහ ඒවා රාජ්‍යයට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි අනුව රජයට විරුද්ධ ආයුධ සන්නද්ධ නැ‍ඟීටීමක් හෝ කැරැල්ලක් පිළිබඳව හැ‌‌ඟෙන බවට විනිසුරුවරු තර්ක කළා. පාපොච්චාරණ ලබා ගැනීමට හිංසනය යොදවා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයේ දී කොමිසම ආරක්ෂක අංශවල පැත්ත ගත්තා. කැරැල්ලට සම්බන්ධ වූවන් යටත් වුවහොත් ඔවුන්ට හිංසා නොකරන බවට 1971 මැයි මාසයේ දී අගමැතිනිය පොරොන්දු වී තිබුණු බවට විනිශ්චයකරුවන් තර්ක කළා. බොහෝ කට උත්තර ගත් රාජ්‍ය නිලධාරීන් - ඒ අයට කිව්වේ මහජන සේවකයින් කීයලා - ලබා ගත්ත කට උත්තර සම්බන්ධයෙන් ඔවුන් ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරීමට හේතුවක් නොමැති බව කොමිසම විශ්වාස කළා. පොලිස් නිලධාරීන් ද රාජකාරිය ස්වාධීනව ඉටු කළ අතර තමන් ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ කවුරුන් ද යන්න ඔවුහු දැන නොසිටිය බව කොමිසමේ විශ්වාසය වුණා. පොලිසිය ‘දුරාචාරයන්’ සිදු කර තිබුණත් ඒ ‘ස්වල්ප වශයෙන්’ බව කොමිසම දිගටම තර්ක කළා. ‘බොහෝ අවස්ථාවල විත්තිකරුවෝ තමන්ට කරන ලද පහර දීම් සහ ඒ නිසා ලද තුවාල පිළිබඳව අතිශයෝක්තියෙන් පවසා ඇත’ යනුවෙනුයි කොමිසම ප්‍රකාශ කළේ.”

බෝපගේ ගේ අදහසට අනුව මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් තොරව මළ සිරුරු වළලා දැමීමේ තීරණාත්මක ප්‍රශ්නයේ දී දහස් ගණන් ජවිපෙ කේඩරයන් නීතියට පරිබාහිර ලෙස ඝාතනය කිරීම ආවරණය කිරීමට රජය එම නීතිය භාවිත කළ හැකි බව සිතීමට පවා කොමිසම සූදානම් නොවීය. කොමිසමට ප්‍රතිපක්ෂව කරන ලද කථෝපකථන සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන්ගේ නොරිස්සීම ලයනල් බෝපගේ ගේ නීති උපදේශක වූ බාලා තම්පෝ කෙරෙහි ඔවුන් දැක්වූ කෝප සහගත බව තුළින් පිළිබිඹු කර තිබුණි.

“තම්පෝ සහෝදරයා තම විරෝධාකල්පික හඩින් ‘ශාරීරික සහ මානසික හිංසනය’ යන යෙදුම පිළිකුලෙන් භාවිත කළා. මරණ පරීක්ෂණ නොපවත්වා මළ සිරුරු වළ දැමීමට හදිසි අවස්ථා රෙගුලාසි මගින් අවසර ලැබුණේ පොලිසියේ දාමරිකකම් වසා ගැනීමේ අභිප්‍රායෙන් බවට ඔහු වක්‍රෝක්තියෙන් වරද පැටවූවා. එම අවසරය ලෙසම 1940 ගණන්වල ඒ හා සමාන රෙගුලාසි එංගලන්තයේ සහ ලංකාවේ ද පැනවුණු බව කොමිසමේ සභාපතිතුමා මතක් කර දුන්නා.”

“සමහර විට තමන් කියූ දෙය කොමිසමේ විනිශ්චයකාරවරුන්ට නෑසෙන්නට ඇතැයි බාලා තම්පෝ සහෝදරයාට හිතෙන්න ඇති. මොකද ඒ තරමටම ඒ අය තම්පෝ සහෝදරයාගේ නීති තර්ක නොසලකා හිටියා”

හෙට - ක්ෂමා සංවිධානයෙන් කොමිසමට විරෝධතාවයක්

සිසිර යාපා

 

හිට්ලර්ලා සහ ප්‍රභාකරන්ලා

$
0
0
ජුලි 12, 2018 01:00

දකුණේ කතාව හිට්ලර් කෙනෙකු ගෙනෙන්නටය. උතුරේ කතාව එල්.ටී.ටී.ඊ.ය නැවත අවශ්‍ය බවටය. කතා දෙකේම හරය එකකි. එනම් මේ සමාජය පාලනය කරන්නට මර්දනකාරි බලයක් නැතහොත් ප්‍රචණ්ඩ බලයක් අවශ්‍ය බවයි. කියැවෙන්නේ එහෙම නැතිව මේ සමාජය හදන්න බැරි බවකි. ප්‍රශ්න විසඳන්නට බැරි බවකි.

මේ කතා දෙකටම උතුරෙනුත් දකුණෙනුත් බරපතළ විරෝධතා එල්ලවීම සැනසිල්ලට කාරණයකි. එම ඇතැම් විරෝධයක් පැන නැඟුණේ දේශපාලන හේතු නිසාය. නැතහොත් ජාතිවාදී පදනමිනි. එසේ වුවද එලෙස විරෝධය ගොඩනැඟීමට පදනම වූයේ අපේ සමාජයේ බහුතරය දැන් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සිටීමය. කාලයක් තිස්සේ ප්‍රචණ්ඩත්වයෙන් බැටකා ඇති සමාජයට තවත් එබඳු කාලයක් ගෙවන්නට අවශ්‍ය වන්නේ නැත.

දකුණේ හිට්ලර් කතාව හා උතුරේ එල්.ටී.ටී.ඊ. කතාව එක් අතකට එකම පදනමකින් මතුවුවද ඒ දෙකෙහි වෙනසක්ද ඇති බව පෙනෙන්නට තිබිණි. දකුණේ හිට්ලර් කතාව නිකම්ම කට වැරදීමක් නොවේ. එය හොඳින් හිතාමතා කළ කතාවකි. ඇතැම්විට කරුණේ බරපතළකම තේරුම් ගෙන නොතිබුණද කීවේ දරදඬු ඒකාධිපති පාලනයක් අවශ්‍ය බවයි. රට හදන්න එසේ කිරීම වරදක් නොවන බවයි.

උතුරේ එල්.ටී.ටී.ඊ. කතාව එවැන්නක් නොවේ. එම කතාව තුළ වූයේ උතුරේ ජනයාගේ අසරණභාවයයි. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීමයි. එමෙන්ම දැන් එම ප්‍රදේශයේ තිබෙන අනාරක්ෂිතභාවය පිළිබඳ තත්ත්වයයි. එම නිසා එල්.ටී.ටී.ඊ.ය අවශ්‍ය වී ඇතැයි කීවද එවැන්නක් ගොඩනැගීමේ අරමුණක් හෝ එයට සහයදීමේ අදහසක් කතාව තුළ දක්නට නැත. ඇය කීවේ ආණ්ඩුව පිහිටුවීමට සහය දුන් උදවියට සාධාරණය ඉටුවී නැති බවයි. විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය අවසන් වශයෙන් කියන්නේ තනි එජාප ආණ්ඩුවක් පිහිටුවාගත යුතු බවයි. එය ඇ‍ෙග් ඇත්ත ස්ථාවරයයි.

කෙසේ වෙතත් කුමන අදහසකින් කීවත් එල්.ටී.ටී.ඊ.ය යළි අවශ්‍ය යැයි කීම ගිනි ගෙඩියකි. විපක්ෂය එය වහාම අල්ලා ගත්තේ මහා සම්පතක් වශයෙනි. චීනයෙන් අල්ලස් ගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්වේ පුවත යට යන්නට එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය ඔසවා පෙන්වන්නට විපක්ෂයේ උදවිය උත්සාහ දැරූහ.

 

හානිය අවම කරගැනීම

කතාවේ බරපතළකම මෙන්ම එමගින් සිදුවන දේශපාලන අවාසියද අවම කරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළේ විජයකලා මහේෂ්වරන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමයි. එමෙන්ම පක්ෂයෙන් ඇය ගැන විනය පරීක්ෂණයක්ද කිරීමට කටයුතු යොදා ඇත. විනය කමිටුවට පත්කර ඇත්තේ පක්ෂයේ ලේකම්, සභාපති ඇතුළු තිදෙනෙකි.

අනෙක් අතට එම කතාවේ නීතිමය තත්ත්වය නීතිපතිවරයාගෙන් විමසීමට කතානායක කරු ජයසූරිය මහතා ක්‍රියා කළේය. ඒ මෙම ප්‍රශ්නයේ සංවේදී බව නිසාය.

මේ මොහොතේ අප මතකයට නගා ගත යුත්තේ දකුණේද ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වූ අතීතයක් තිබුණු බවයි. භීෂණය රජකළ යුගයක් තිබුණු බවයි. එකල එක් අවස්ථාවක රාජ්‍ය බලය තිබුණේ කෙස් ගහෙන් එල්ලෙමින් යැයි කිවහොත් වරදක් නැත. එසේ වුවද එම ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ උදවියට පසුව ජනතා අනුකම්පාව හිමිවිය. එම සංවිධානයට නැවත ප්‍රතිසංවිධානය වී දේශපාලනයට එන්නටද ඉඩ ලැබිණි. දකුණේ එසේ වෙද්දී උතුරේ ත්‍රස්තවාදය ගැන ජනමතය වෙනස් වෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැනද කල්පනාවට ගත යුතුව ඇත.

විජයකලා ප්‍රකාශ කළ ඇතැම් ප්‍රශ්න දකුණටද එකසේ වලංගුය. එසේ වුවද උතුරේදී එය පෙනෙන හැටි වෙනස් ය. විජයකලා කියන්නේ උතුරේ රැකියාවලට දකුණේ තරුණයන් පත්කර එවන බවයි. එසේ වුවද ඇත්තටම වන්නේ ඇමැතිවරුන් තමන්ගේ ප්‍රදේශවල තම හිතවතුන් තනතුරුවලට පත්කර එවීමයි. අනුරාධපුරයේ ඇති ඇතැම් ප්‍රධාන ව්‍යාපෘතිවලට පත්වීම් ලැබ ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උදවියයි. ඔවුන්ට පැමිණීමට දැන් වෙනම බස් රථ සේවාද ආරම්භ වී ඇත. එසේ වුවද අනුරාධපුරයේ ජනයාට දැනෙන දේ යාපනයේ ජනයාට දැනෙන්නේ වෙනත් ආකාරයෙනි. ඒ යාපනයට පිටතින් පත්වීම් ලැබ එන්නේ වෙනත් ජනවාර්ගික පිරිස් වීම නිසාය. මෙවැනි සංවේදී ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් නොදුන්නොත් එය නම් යළිත් එල්.ටී.ටී.ඊ.යකට පාර කැපීමක් විය හැකිය.

 

අපරාධ අඩුවෙලා ?

අනාරක්ෂිතභාවය හා අපරාධ පිළිබඳ ප්‍රශ්නයද උතුරට මෙන්ම දකුණටද එකසේ වලංගුය. එයට හේතුව ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිතර නිතර වාර්තාවීමය. එම ඇතැම් සිදුවීම්වලදී පෙනෙන්නට තිබෙන කුරිරු බව අධිකය. කෙසේ වෙතත් පොලිසියේ නිල සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නට තිබෙන්නේ බරපතළ ලෙස සලකන අපරාධවල අඩුවීමකි. 2013 දී එබඳු සිදුවීම් 55349 ක් වාර්තා වී ඇති අතර 2014 දී 50962 ක් ද, 2015 දී 40188 ක් ද, 2016 දී 36937 ක් ද, 2017 දී 35975 ක් ද ආදී වශයෙන් බරපතළ අපරාධවල දකින්නට ලැබෙන්නේ ක්‍රමානුකූල අඩුවීමකි.

සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඇතැම්විට අපරාධ පිළිබඳ වාර්තාවීම, විස්තරාත්මක වාර්තා පළවීම වැඩිවී තිබෙනවා විය හැකිය. අනෙක් අතට සමාජය මෙම ප්‍රශ්න ගැන අවධානය ‍දැක්වීම වැඩිවී තිබෙනවාද විය හැකිය. එය සොයා බැලිය යුතු පර්යේෂණ කළ යුතු ප්‍රශ්නයකි.

අප ප්‍රශ්න කළ යුතු වන්නේ මෙම ප්‍රශ්නවලට සොයාගන්නා විසඳුම් පිළිබඳවය. දකුණේ යෝජනාව හිට්ලර් කෙනෙකු ගෙන ඒමය. එයට ගැළපෙනම චරිතයක්ද ‍එසේ කියන උදවිය විසින් තෝරාගෙන ඇත. දකුණේ සිදුවූ ඝාතනවලට අතුරුදහන් කිරිම්වලට අණ දුන් හා ඒවා මෙහෙය වූ බවට චෝදනා එල්ල වී ඇති චරිතයකි. ඒ කාලයේ සිදුවූ එක් විර ක්‍රියාවක් නම් අපරාධකරුවන් ‘ආයුධ පෙන්වන්නට’ රැගෙන ගොස් මරා දැමීමයි. එවැනි දෑ මෙහෙය වූ අයකු හිට්ලර් කෙනෙකු වීමට සුදුස්සෙකි. වඩාත් නිවැරදිව කිවහොත් එවැන්නකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ හිට්ලර් කෙනෙකු පමණකි.

උතුරේ කියන්නේ එල්.ටී.ටී.ඊ.ය අවශ්‍ය බවයි. එල්.ටී.ටී.ඊ. තිබියදී මෙවැනි දෑ සිදුනොවු බවයි. මතුපිටින් එය ඇත්තක් විය හැකිය. එසේ වුවද වඩා හොඳින් කල්පනා කරන්නේ නම් තේරුම්ගත යුතු වන්නේ අද පවතින ප්‍රශ්නයේ මුල එල්.ටී.ටී.ඊ.යම වන බවයි.

අප‍ෙග් සමාජය ප්‍රචණ්ඩත්වය වෙත යොමුකිරීමට අපි බොහෝ දෙනා වගකිව යුත්තෙමු. අපි බොහෝ දෙනා අපගේ ජීවිතවල එක අවධියක නැතහොත් එක මොහොතක හෝ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදය ලෙස ප්‍රචණ්ඩත්වය හා භීෂණය පිළිගෙන ඇත්නම් මේ බොහෝ වැරදිවලට අපගේද දායකත්වයක් ඇති බව පිළිගැනීමට අපට සිදුවෙයි.

දකුණේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ උදවිය මෙන්ම උතුරේ එල්.ටී.ටී.ඊ.යද කල්පනා කළේ ප්‍රචණ්ඩත්වය හා භීෂණය ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමයක් වන බවයි. ඔවුන්ගේ එම ප්‍රචණ්ඩත්වය සමාජය පුරා පැතිර ගියේය. ඒ සමඟම මිනිස් ජිවිතයක වටිනාකමද තුට්ටුවට වැටිණි.

 

සමාජය හිරි වැට්ටවීම

මිනිසුන්ගේ ඔළු කපා නගර මධ්‍යයේ ප්‍රදර්ශනය කරන විට අපි අහක බලාගෙන ගියෙමු. මිනිසුන් මරා මහමග පුළුස්සනවිට අපට හැසිරෙන්න වී තිබුනේ එවැන්නක් සිදුනොවුණ ගාණටය. ස්ත්‍රි දූෂණයකදී මිනීමැරුමකදී අද අපට දැනෙන කම්පනය, වේදනාව, දුක එදා අපට දැනුනේ නැත. නැතහොත් නොදැනුනා සේ සිටින්නට පුරුදුවීමු. සමාජය හිරිවැටී තිබුණේ යැයි කියන්නේ ඒකටය. ඇතැම්විට අද මේ අපරාධ ගැන අප කම්පනයට පත්වන්නේ සමාජය එම හිරිවැටීමෙන් මිදෙමින් වඩා සංවේදී වන්නට පටන්ගෙන ඇති නිසා විය හැකිය.

තම ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රචණ්ඩ මාවත තෝරා ගැනීමෙන් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව තවත් ප්‍රචණ්ඩත්වයක් සරණ යාමත් රටත් සමාජයත් අද දැමුවේ එබඳු අගාධයකටය. දැන් තිබෙන්නේ එයින් ගොඩයන මං සෙවීමය. මෙය අප රටට පමණක් විශේෂ වූ ප්‍රශ්නයක් නොවන බවද කියති. පශ්චාත් යුද තත්ත්වයක් පැවැති බොහෝ රටවල මෙම ප්‍රචණ්ඩත්වය විවිධාකාරයෙන් කලක් පැවැති බව කියති.

ප්‍රචණ්ඩත්වය හෝ අපරාධ සිදුවනවිට ඒවා මැඩපැවැත්වීමට තාවකාලික වශයෙන් නීතියේ ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට අපට සිදුවනු ඇත. එසේ වුවද ප්‍රචණ්ඩත්වයට විසඳුම ප්‍රචණ්ඩත්වයම යැයි විශ්වාස කළහොත් වැටෙන්නේ අමාරුවකය. එමගින් කිසිදිනක දිගුකාලීන වශයෙන් සාර්ථක බවක් ලබාගත හැකිවන්නේ නැත. කළ යුතු වන්නේ සමාජයක් ලෙස ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට ක්‍රියාකිරීමයි.

 

හිට්ලර්ලා විසඳුමක්ද?

හිට්ලර්ලා නිර්මාණය කිරීමත්, එල්.ටී.ටී.ඊ.යට පනදෙන්න හැදීමත් ප්‍රශ්නයේ විසඳුම් වන්නේ නැත. ඒ සියල්ල ප්‍රශ්නයේම කොටස්ය. ප්‍රශ්නයේ උල්පත්ය. සමාජයට අද අවශ්‍ය වන්නේ ප්‍රචණ්ඩත්වය පිටුදකින මාවත්ය.

අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ අපේ සමාජය ප්‍රශ්න විසඳීමේ මාවතක් ලෙස දිගුකලක් තිස්සේ ප්‍රචණ්ඩත්වයේ මාවත තෝරාගෙන තිබීමයි. අපගේ පාසල්වලත්, නිවෙස් තුළත් ප්‍රශ්න විසඳන්නට, දරුවන් විනය ගත කරන්නට හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන් බව අපි විශ්වාස කළෙමු. විදුහල්පතිවරයා දිගු වේවැලක් රැගෙන පාසල වටා යා යුත්තේ විනය රකින්නටය. නිවසේදී තාත්තා අතේ වේවැල තිබිය යුතු විය.

පාසලේදීත් නිවසේදීත් විනය හදන්නට හෝ ප්‍රශ්න විසඳන්නට වේවැල නැතහොත් ප්‍රචණ්ඩත්වය භාවිත කරනවිට අපි අපේ දරුවන්ට වෙනත් පාඩමක්ද කියාදෙන බව අපි නොදැන සිටියෙමු. ඒ දෙවැනි පාඩම නම් ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමයක් බවයි. දරුවන් එම පාඩම ඉගෙන ගෙන යම් දිනෙක ක්‍රියාවට නංවනවිට අපි කම්පනයට පත්වෙමු. මේ අර අපි හැදු විනයගරුක දරුවාදැයි අපි අසමු. එහෙත් දරුවාට ප්‍රචණ්ඩත්වය ඉගැන්නුවේ අපිම බව අපි නොදැන සිටියෙමු.

ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් ලෙස පිළිගෙන සිටින මේ සමාජයෙන් එය ඉවත්කිරීම පහසු කටයුත්තක් නොවේ. පාසල්වලින් වේවැල ඉවත්කරන්නට අපට දශක දෙකක් පමණ කාලයක් ගතවිය. එසේ වුවද තවමත් පාසල් තුළ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන අවස්ථා ඇත.

පාසල් ළමයින්ට ප්‍රචණ්ඩ දඬුවම් නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය නියම කරනවිට ඇතැම් මව්වරු පියවරු ගුරු දෙගුරු රැස්වීම්වලට ගොස් කීවේ “අපේ ළමයින්ට ගහන්න. අපි මොකුක් කියන්නේ නෑ” කියාය. එබඳු අවස්ථාවල නිහඬව ඉවසා සිටින්නට මෙම ලියුම්කරුවාටද සිදුවී ඇත.

පාසලේ ප්‍රචණ්ඩත්වය ඉහළ බලධාරින්ගේ මැදිහත්වීමෙන් බොහෝදුරට පාලනය වී ඇතත් නිවෙස් තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම වඩාත් දුෂ්කර වී ඇති බව පෙනෙන්නට තිබේ. ඒවා ගැන වාර්තා වන්නේද අඩුවෙනි. ‍මේවා දිගුකාලීන වශයෙන් ක්‍රියාකරමින් විසඳාගත යුතු ප්‍රශ්න ලෙස පවතියි.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලන්නේ මෙලෙස ප්‍රචණ්ඩත්වයෙන්ම ප්‍රචණ්ඩත්වය පාලනය කළ හැකිය සිතන උදවියයි. ආයුධ පෙන්වන්නට ගෙන ගොස් මරා දමන විට හුරේ දමන්නේද එම පිරිසමයි. දකුණට හිට්ලර් කෙනෙකුත් උතුරට තවත් ප්‍රභාකරන් කෙනෙකුත් ඉල්ලීමද එවැනිම පිරිසකගේ ක්‍රියාවකි.

වසර තිහ හතළිහක දරුණු ප්‍රචණ්ඩත්වයකින් බැට කා ගොඩ ආ මෙම සමාජය යළිත් වරක් තවත් ප්‍රචණ්ඩත්වයක අගාදයකට රැගෙන යාමට කිසිවකු ඉඩදිය යුතු නැත. සමාජයක් වශයෙන් රටක් වශයෙන් ඉදිරියට යාමට අපට හැකිවන්නේ ප්‍රචණ්ඩත්වය සෑම මට්ටමකදීම පරාජය කිරිම තුළින් පමණකි. ඒ සඳහා බුද්ධිමත් ජනයා ඉදිරියට පැමිණීම අවශ්‍යය.

ඩී.ජේ. අමරතුංග

බිග් බෑඩ් වෘකයා සහ සුන්දර හිවල්ලු

$
0
0
ජුලි 12, 2018 01:00

බිග් බෑඩ් වුල්ෆ්ලාගේ දෙවැනි ලංකාගමනයෙන් පසුව මදක් නැවතිල්ලේ සිතන්නට වීමි. සියයට 60 සිට සියයට 80 තෙක් වට්ටම් දී පොත් විකුණන්නට හැකි වීම එක්තරා ආශ්චර්‍යකි. හාපර් කොලින්ස්, ලේඩිබර්ඩ්, පෙන්ගුවින්, හාපර් වොයේජර් ආදී ප්‍රකට සන්නාම සහිත ප්‍රකාශන ආයතනවල පොත් ලංකාවේ විකිණෙන විට තරමක් ඉහළ අගයක් ගනී. එහෙත් වෘකයා නපුරු යැයි කීවාට අහිංසක සහ සාධාරණ පාටය.

ගිය වසරේ මෙන්ම පසුගිය 27 වැනිදා බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයට පෙර පිවිසුමක් සංවිධානය කර තිබිණි. පෙර පිවිසුමට ගිය වසරට වඩා ප්‍රමාණාත්මකව කියවන්නන් පැමිණියේය. පීත්ත පටි කපා නිල වශයෙන් ප්‍රදර්ශනය විවෘත කරන්නට පෙරම පෙර පිවිසුම්ලාභීන්ට දොරවල් ඇරුණි. සැණකින් එස්.එල්.ඊ.සී.සී.ය මහත් සෙනඟ කන්දරාවකින් පිරී ගියේය. එතැන් පටන් දවස මුළුල්ලේ විසල් කරත්ත පුරවමින් පොත් තේරීමේ නිරත වූ සාහිත්‍ය ලෝලීන්ගේ අභිනයෙන් පෙන්වූයේ අඩු මිලට හෝ සහනදායී මිලට පොත් මිලදී ගැනීමට ලැබීමේ සතුටය. ජූනි 28 දා සිට අඛණ්ඩව පැය 255ක් පුරා පැවැති බිග්බැඩ් පොත් මැරතනයට මිලියන 1.5ක පොත් ‍රැගෙන විත් තිබුණි. එහෙත් ඉන් පසු කුමක්ද?

මේ විශාල හිස්තැන අපට ඉතිරි කර ගිය විසල් නපුරු වෘකයා කියා දුන් පාඩම ලාංකීය පොත් වෙළෙදාමේ නපුරු සත්‍යම නොවේද?

අපේ රටේදී පොත් මිලදී ගැනීමට සිදුව ඇත්තේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් යටතේය. බොහෝ පොත්වල මිල නියම කර ඇත්තේ කුමනාකාර සූත්‍රයකටදැයි සිතා ගැනීමටවත් නොහැකිය. අලුත් පිටකවර සමඟ පැරැණි පිටු සහිත පොත් විකිණෙන්නේ ද අලුත් මිලකටය. එවිට මිලදී ගන්නාට ගෙවීමට සිදු වන්නේ කිසි විට ඉල්ලා නොසිටි අලුත් පිටකවරයටය. වාර්ෂිකව පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සිහියේ තබාගෙන වසර පුරා මුදල් ඉතිරි කළවුන්ගෙන් සුළුතරයක් හෝ වෘකයා සරණ ගිය බව සත්‍යයකි. හේතුව මිල නම් සාධකය ය. ඉතා දුර්වල පරිවර්තනවලට අධික මිලක් ගෙවීමට දෙවරක් සිතන පාඨකයාට වෘකයාගෙන් එහි මුල් පොත ඊට වඩා අඩු මිලට ලබා ගත හැකි වීම අමතර වාසියකි. ඉංග්‍රීසියෙන් කියැවීමට නොහැකි හෝ අකමැති තවත් සුළුතරයක් පමණක් එවිට පෙර කී පරිවර්තන මිලදී ගැනීමට ඉතිරි වේ. කර්තෘ භාග නිසි ලෙස නොගෙවීම, ගිවිසුම්ගත ප්‍රමාණයට වඩා පොත් මුද්‍රණය කිරීම තවමත් කුප්‍රකට ලෙස සිදු වේ. (මේ අතරම ගිවිසුම් ප්‍රකාර කතෘභාග ගෙවන ප්‍රකාශන ආයතනද තිබේ. ඒ පිළිබඳ නොකියා සිටීමද අකාරුණිකකමකි.)

එහෙත් ලේඛකයා ගොනාට ඇන්දවීමේ ක්‍රියාවලිය හරහා වාසි අත්වන සෙසු පාර්ශ්වවලට ඉතාම මායාකාරී පිළිතුරුද තිබේ. එය ලංකාවේ බහුතර ලේඛකයන් ලිවීමෙන් විශාල ඉපැයීම් කිරීමට අපහසු එක් හේතුවකැයි හැඟේ. ලේඛකයාට සහ ප්‍රකාශකයාට එකඟ විය හැකි මැද මාවතක් කොහේ හෝ තිබෙන්නේ නම් ඒ සොයා ගැනීමද යහපත්ය.

බිග් බෑඩ් වුල්ෆ් උගන්වා ගිය පාඩම් රාශිය අතර අනෙක් දෙය පහසුවෙන් පොත් තෝරා ගැනීමේ අවස්ථාවක් මිලදී ගන්නාට සපයා තිබීමයි. ඒවා ප්‍රවර්ග කර, විවිධ සන්නාම සහිතව ප්‍රකාශන ආයතන මුද්‍රණය කළ පොත් එක ගොනුවකය. එහි සේවා සපයන්නන් බහුතරයක් පොත් ගැන සහ ලේඛකයන් ගැන නොදැන සිටීම ඒ අතර කනගාටුවට කරුණකි. බොහෝ විට අදාළ ප්‍රවර්ගය පමණක් පවසා ඇග බේරා ගැනීමට ඔවුහු වග බලා ගත්හ. එය වෘකයාගේ නපුරුබව පෙන්වන්නකි. එහෙත් ඒ අනල්ප හොඳ සමඟය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹි සමයේ සියයට 40 ක වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට අවස්ථාව ලැබුණි. එහෙත් වසරින් වසර ඒ වට්ටම් ප්‍රතිශතය පුදුමාකාර ලෙස ක්ෂය වී ගියේය. දැන් එය සියයට 20 කි. සියයට විස්සක වට්ටමකට වසරක් පුරා මුදල් එකතු කර කුමකටදැයි සිතන විට මිලදී ගන්නන් පිළිබඳ කනගාටුවක් ඇති වේ. මන්දයත් සමහර ප්‍රකාශන ආයතනවල මවු ශාඛාව වෙත ගිය විට සාහිත්‍යය මාසය පුරා සියයට 30 ක වට්ටමක් ලබාගත හැකි බැවිණි. සියයට 40 ක වට්ටමක් ආරම්භක සමයේ ලබා දුන්නේ එවිටත් ලාභයක් ලබා ගෙනය. ඊළඟ තර්කය කඩදාසි මිල සහ මුද්‍රණ වියදම් ඉහළ යාමයි. නමුත් ඊට සාපේක්ෂව නව කවර සමඟ නව මිලක් සහිත ලේබල් ඇලවෙයි. පැරැණි මිල සහිත කවර උඩද අලුත් මිල සහිත ලේබල් දැකිය හැකිය. මේ සියල්ල මිලදී ගන්නා දැරිය යුත්තේ මන්ද? ඒ අතරම කුඩා ප්‍රකාශකයන් කිහිප දෙනෙකු තවමත් සියයට 20 ට වඩා වට්ටම් ලබා දිය හැකි යැයි පවසන්නේ පාඩුවට පොත් විකිණීමේ අදහසින් නොවේ. එවිටද සාධාරණ ලාභයක් ඉතිරි වන හෙයිනි.

කෙසේ නමුත් වසරින් වසර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සැණකෙළිමය ආශ්චර්‍යය නම් වර්ධනය වී ඇත. පොත් කුටි පරයා ආහාර සහ බීම හල් වැඩී වර්ධනය වී තිබේ. පොත් නරඹා ආහාර ගෙන විනෝදයෙන් පිටව යාම තෙක් මෙය දිග්ගැස්සී තිබීම කනගාටුවට කරුණකි. පොත් විකිණීම ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව තිබීමෙන් පාඨකයාට වන යහපතක් ඇත්තේ නැත. සූරාකෑමට විරුද්ධව විකල්ප සොයා යාමට තරම් දැන් මිලදී ගන්නා බුද්ධිමත් ය. සවිඥානිකය. මේ පවතින්නේ එවන් විකල්ප පොත් ප්‍රදර්ශන ඇවැසි යුගයකි. තමන්ගේ ගැනුම්කරුවන් වසරින් වසර අහිමි කර ගනිමින් සිටින කොළඹ පොත් ප්‍රදර්ශනයට බිග් බෑඩ් වුල්ෆ් උගන්වා ගියේ කුමන පාඩමක්දැයි යළිත් සිතා බැලිය යුතුය. දින 12ක් මුළුල්ලේ සපැමිණි සෙනඟ කන්දරාව සහ මිලදී ගත් පොත් ප්‍රමාණය ඊට ප්‍රමාණවත් සාක්ෂියක් යැයි හඟිමි.

මේ ඇගිල්ල දිගු කිරීම සාහිත්‍ය සහ පොතපත ජනප්‍රිය නොකිරීමටය. එය මහත්මා ව්‍යාපාරක් නොකිරීමටය. ලේඛකයන් තමන්ගේ කතෘභාග ලබා ගැනීමට අප්‍රමාණ වෙහෙසක් දරමින් රස්තියාදු කරවීම පිළිබඳය. අපේ රටේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශන පාඨකයාව ගොනාට ඇන්දවීම පිළිබඳය.

හැබෑටම මීට වඩා යහපත්ව මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකිද? කුඩා පොත් ප්‍රකාශකයන්ගේ කුටි අහුමුලුවල ස්ථානගත කර ඔවුන්ව සඟවා තැබීමද පසුගිය වසර දෙකක් මුළුල්ලේ සිදු විය. කෑම කඩ සහ සිසිල් බීම කඩ පීරාගෙන ඒවා සොයා යා යුතු විය. එය ගරිල්ලා සටනක් මෙනි. සාහිත්‍යය මිනිසුන් අතර ප්‍රකට කිරීමට වෙනත් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග බහුතරයක් නොසලකමින් වාර්ෂික සම්මාන පොරවලට මැදිහත්ව එකිනෙකාට ආඩපාලි කියා ගැනීමෙන් පාඨකයාට ලැබෙන්නේ කුමනාකාර වාසියක්ද? ඉන් සිදු වන්නේ ලේඛකයන්ගේ සීතාම්බර සළු පෙනීම නොවේද? මේ කුමන විහිළුවක්දැයි සම්මාන සමයේ ජාතික පුවත්පත් සහ විකල්ප පුවත්පත්, සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන අයට නොසිතේ යැයි අනුමාන කළ හැකිද? සැබෑ සාහිත්‍යයයේ ප්‍රගමනයට අපට දැන් ඇවැසි මේ රණ්ඩු සරුවල් සහ අවලාද පමණක්ද?

ඉදිරි වසර කිහිපය ඇතුළත නපුරු වෘකයා ලංකාවේ පොත් මිලදී ගැනීමේ සංස්කෘතිය කණපිට ගසන තෙක් බලා සිටීමට අවශ්‍යද? එසේ නම් බලා සිටින්න. ඉදිරි වසර කිහිපය ඇතුළත වෘකාගමනයෙන් අහිමි වී යන පාඨක ගොනුව කොතරම්ද කියා එවිට ගණනය කරගනු හැකිය.

සමහර විට ලාංකීය පොත් ප්‍රකාශකයන්ට ඒ රැක ගැනීමට ගැසිය හැකි තුරුම්පු බොහොමයක් තවමත් තිබේ. පොත් මිලදී ගැනීම උමතුවක් කිරීම එක තුරුම්පුවකි. එහෙත් ඒ උමතුවට මිල සාධකය පහළ හෙළීම අයත් බවද මතක තබා ගැනීමට හැකි නම් අගේය.

පොත් මිලදී ගත යුත්තේ කුමක් නිසාදැයි මතක් කිරීමටද ප්‍රකාශකයාට හැකිය. එහෙත් ඒ ඕලාරික දැන්වීම් ආදියෙන් නොවේ. අන්තර්ගතය සහ මිලදී ගැනීමේ වාසියක් පෙන්වීම මඟිනි.

ප්‍රකාශන අයිතිය නොගෙන හිතුමනාපේ පළ කෙරෙන පරිවර්තනවල අයිතිය වෙනුවෙන්ද මාරාන්තික සටන් ඇවිලීම පසුගිය කාලය මුළුල්ලේ දැකගත හැකි විය. අනවසර පරිවර්තන වෙළෙදපොළට පැමිණි පසුව අවසරලත් පරිවර්තකයා යුද ප්‍රකාශ කිරීම එහි ආරම්භයයි. එක්කෝ එවිට පාඩුව ප්‍රකාශකයා දැරිය යුතුය. නැත්නම් හොර රහසේ පොත විකුණා ගත යුතුය. ආචාරධර්ම නොරැක, අනවශ්‍ය අවධානමක් ගෙන එවන් පරිවර්තන මුද්‍රණය කර විහින් අමාරුවේ වැටීමේ උමතුව කුමක්ද? මේ පරිවර්තකයන් ඒ පරිවර්තන කාර්‍යයට කෙතරම් සුදුසුදැයි සොයා බලන්නේද? මුල් පොත හා සසඳන විට බොහෝ දෝෂ සහිත පරිවර්තන බොහොමයක් දැන් මුද්‍රණයේ පවතී. එහෙත් මුල් පොත කියැවීමට නොහැකි පාඨකයාට සිදු වන්නේ කුමක්ද? ඔවුන් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය යුතුද?

බිග් බෑඩ් වුල්ෆ්ලා පැමිණ උගන්වා ගිය පාඩම නොදැක්කා සේ සිටිය යුතුද? ඇත්තටම ඔබ දැන් කුමක් කළ යුතුද? පාඨකයා ඇගිල්ලෙන් ඇන පෙන්වා දෙන විටත් එය නොසලකා සිටිය යුතුද? දැනුම ඉතාම විවෘත සමයක, අන්තර්ජාලයෙන් බාගත කළ ඊබුක් කියවන සමයක පවා මේ ප්‍රෝඩාකාරී විජ්ජා පෙන්වීම තරම්ද? එසේම පහසු සේවා මෙන්ම ඉහළ වට්ටම් දෙන ඔන්ලයින් පොත් සාප්පු කීපයක්ද දැන් ලංකාවේ ක්‍රියාත්මකය. සුළුතරයක් පොත් සාප්පුවල ඔන්ලයින් මිලදී ගැනීමේ අවකාශයද දැන් පුළුල්ව ඇත. මේ විකල්ප අවස්ථා තව දියුණු විය යුතුය. විකල්ප අවස්ථා බොහොමයක් ඇති විට මුහුණ පාන්නට සිදුවන තරගයෙන් ලොකුම වාසිය අත් වන්නේ පාඨකයාටය.

ඒ කාරණා එසේ වී නම් අපි දැන් මේ ළිං කටින් ගොඩ ආ යුතු නොවේද? මේ කොදෙව්වෙන් එළියට පැන ඇස් පිසදා අවට නැරැඹිය යුතු නොවේද? නපුරු වෘකයන් සහ අලංකාර හිවලුන් හඳුනාගත යුතු නොවෙද? ප්‍රශ්න රාශියකි. ඒවාට පිළිතුරුද තිබිය යුතුමය. නැත්නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉදිරි අනාගතයේදී අලංකෘතව කැරකෙන මෙරිගෝ රවුමක් පමණක් වීම නොවැලැක්විය හැකිය.

කාංචනා අමිලානි

හිටපු පාලකයන්ට නඩු දාසයක් පවරල තියෙනවා

$
0
0
ජුලි 13, 2018 01:00
දුමින්ද සම්පත්
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල

බරපතළ දූෂණවංචා විමර්ශනය සඳහා පිහිටුවනු ලබන නව අධිකරණයේ කාර්යභාරය සහ එහි වත්මන් තත්ත්වය, නඩු පමාව, 2020 ජනාධිපතිවරණය, පාතාල ගැටුම්, බන්ධනාගාරවල ප්‍රශ්න ආදිය පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල මැති හමුවට එක්වේ.

* විශේෂ අධිකරණයට පහසුකම් දුන්නා
* පාතාල කල්ලි අතර ගැටුමක් ඇතිවෙලා
* අධිකරණවලට නිලධාරී හිඟයි
* පක්ෂයෙන් කවුරු ආවත් සහයෝගය දෙනවා
* 2020 ගැන මොකුත් කියන්න බැහැ
* ආණ්ඩුවට චෝදනා කරන්න එපා

යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරිය හැටියට ඔබ දිව්රුම් දෙන්නෙ අධිකරණය දුර්වලයි කියන මතවාදයක් සමාජ ගතවුණු කාලයක. ඒ තත්ත්වයෙන් අධිකරණය මුදාගන්න ඔබ ගත්තු ක්‍රියාමාර්ග මොනවද?

මම බාරගත්තෙ දුර්වල අධිකරණ පද්ධතියක් නෙවෙයි. නඩු කල්යන එක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. අධිකරණ ක්ෂේත්‍රයට අදාළව වැටුප් වැඩිවීම, අලුත් උසාවි පිහිටුවීම, නීතිපති දෙපාර්තමේන්තුවෙ නිලධාරිහිඟය, පරිගණක පද්ධති ඇතිකිරීම, නව ගොඩනැඟිලි හැදීම වැනි කරුණුගැන පාර්ලිමේන්තුවෙ අධීක්ෂණ කාරකසභාවේදී හෙළිදරව් වෙච්ච කරුණු. අපි දැන් මේවට විසඳුම් දෙමින් ඉන්නෙ.

හොරුන්ට, අපරාධකාරයින්ට දඬුවම් දෙන එක නැවතුණු නිසා තමයි අධිකරණ අමාත්‍යාංශය වෙනස් වුණේ කියලයි ඒ දවස්වල ආරංචිගියේ.

එහෙම චෝදනා කරපු අයත් ඇති. ඔය චෝදනා හැම එකක්ම ඇත්ත නෙවෙයිනෙ.

යහපාලනය ඇවිල්ල අවුරුදු තුනහමාරක් පමණ ගතවෙලත්, එදා කිව්ව හොරු අපරාධකාරයො අල්ලන්න අධිකරණයෙ මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ කියලයි කියන්නෙ.

කාටද දඬුවම් දුන්නෙ නැත්තෙ කියල ඔබ නම් කරන්න එතකොට මම කියන්නම්.

මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ල එක්සත් ජාතික පක්ෂයත්, ආණ්ඩුව ගේන්න කටයුතු කළ අයත් හොරු කියල චෝදනා කරපු අය ඉන්නවනෙ. ?

ඒ අය ගැන පරීක්ෂණ, ආරම්භ කරල තියෙන්නෙ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වෙනම මූල්‍ය අපරාධ ඒකකයක් පිහිටුවල පරීක්ෂණ කටයුතු කරල එතනින් උපදෙස් සඳහා අධිකරණයට, නීතිපතිතුමාට එවනවා. අධිකරණ පද්ධතියෙ නිලධාරී හිඟය නඩු පමාවලට හේතුවක්. බැඳුම්කර ජනාධිපති කොමිසමටත් නිලධාරීන් යවන්න වුණා. ඔය කියන කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොට නඩු 16ක් දාල තියෙනවා. එතන රාජපක්ෂ පවුලෙ අය, නාමල් රාජපක්ෂ හිටපු ඇමැතිවරු ඉන්නවා.

ඔබ ඇමැතිවරිය ලෙස දිව්රුම් දීමෙන් පස්සෙ තමයි විශේෂ මහාධිකරණය ගැන අවශ්‍ය කටයුතු කෙරෙන්නෙ. මෙහි වර්තමාන තත්ත්වය ගැන කිව්වොත්.

මේ වෙනකොට අපි ගොඩනැගිලි පහසුකම් දෙනවා. දැන් නීතිපති තුමයි, අග්‍රවිනිශ්චයකාරතුමයි අවශ්‍ය කටයුතු කළයුතුයි. අපිට තියෙන්නෙ නීතිරීති සම්පාදනය කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය දේවල් අපි ලබාදීලයි තියෙන්නෙ.

තවමත් එක් අධිකරණයකට පමණයි. විනිශ්චකාරවරු පත්කරල තියෙන්නෙ.

එකක් පටන්ගන්නත් ටිකක් කල්යනවා. උසාවිය ලැහැස්ති වුණාටම මදි. ඒ අයට නොතීසි යවන්න කල්යනවා, මේවට පත්කරන්නෙත් වෙනත් අධිකරණයක හිටපු අය. ඒ අය කරපු නඩුගැනත් ඒ අය බලන්න ඕන.

ඔබ ඔය කියන කතා එක්ක බැලුවම බරපතළ මූල්‍ය වංචා විමර්ශනය තවදුරටත් පමාවන හැඩක් තමයි තියෙන්නෙ.

නැහැ එහෙම වෙන්නේ නැහැ.

තවත් අධිකරණ දෙකකට විනිශ්චයකාරවරු පත්කරන්න තියෙනවා?

දෙකක් නොවෙයි අපිට ඕන නම් හැමතැනකම අධිකරණ දාන්න පුළුවන්. මේවට ගොඩනැගිලි පහසුකම්, යටිතල පහසුකම් තියෙන්න ඕන.

යටිතල පහසුකම් ගැන කිය කියා ආණ්ඩුව හදන්නෙ ඉතිරි අවුරුදු එකහමාරත් මේ විදියටම ගෙවා දාන්න ද?

ඔබ තුමා ආණ්ඩුවට චෝදනා කරන්න එපා. එහෙනම් මෙහෙම අහන්න නීතිපතිතුමා හදන්නෙ එහෙමද කියල. මොකද ආණ්ඩුවෙ වගකීම ඉෂ්ට කරල ඉවරයි. දැන් නීතිපති තුමාගෙ වැඩටික තියෙන්නෙ.

ඔබ එහෙම කිව්වත් චෝදනාව එල්ලවෙන්නෙ ආණ්ඩුවට. මොකද දැන් ආණ්ඩුවට අවුරුදු තුනහමාරක් ගතවෙලා ඉවරයි.

ආණ්ඩුවට අවුරුදු තුනහමාරක් වෙන්නෙ අගෝස්තු 16ට.

කොහොම වුණත් මේ ආණ්ඩු‍ව හොරු නිදොස්කරල හොරුන්ට සුජාතභාවය දුන්න කියලයි කියන්නෙ.

එහෙම නිදොස් කරපු එක නඩුවක් කියන්න. එහෙම චෝදනා කරන්න එපා ආණ්ඩුවට. ඕනම කෙනෙකුට නඩුකියල තමන්ගෙ නිදොස්බව ඔප්පුකරන්න අයිතියක් තියෙනවා. මම කිව්වෙ නඩු 16ක් යනව කියල. මේව ඉදිරියටත් යනවා. අයිතිකාරයෙක් නැතිගෙයක් හදපු එක ගැන. හිටපු ඇමැතිවරුන්ට තියෙන චෝදනා එකක්වත් නැතිවෙලා නැහැ. මේ නඩු කඩිනම් කරන්න තමයි අපි විශේෂ අධිකරණයක් පිහිටෙව්වෙ.

ඔබත් කියන විදිහට රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නඩු කටයුතු ප්‍රමාදය මේවට ගේන පිළියම් මොනවද?

ඇමැතිවරිය හැටියට මට තනිවම මේව කරන්න බැහැ. නඩු කටයුතු තියෙන්නෙ මගෙන් පරිබාහිරව. මට පුළුවන් යටිතල පහසුකම් දෙන්න විතරයි. මේව ගැන තීන්දු තීරණ ගන්න අධිකරණ‍ සේවා කොමිෂන් සභාවක් තියෙනවා. දැන් නඩු කටයුතු හොඳ තැනකට ඇවිත් තියෙනවා.

අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීති ක්ෂේත්‍රයේ වැටුප් විශාලලෙස වැඩිවීමක් වුණා නේද?

ඔය ගැන පහුගිය දවසක පුවත්පතක පළවුණා. ඒකෙ දාල තිබුණ පාර්ලිමේන්තුවෙ මැති ඇමැතිවරුන්ගේ පඩි වැඩිකරගන්න ඕන හින්දයි ඒ පඩි වැඩි කළේ කියල. මම ඒ අයට කියනව ලොකු මත හදන්න උත්සාහ කරන්න එපා. මේ වැටුප් වැඩිවීම හින්ද වෙන කිසිම අංශයක වැටුප් වැඩිවීමක් නොවෙන විදියට තමයි ඒ වැටුප් වැඩිවීමට අනුමැතිය දුන්නෙ.

අධිකරණයෙ විනිශ්චයකාරවරු කියන්නෙ තමන්ගෙ ප්‍රශ්නයක් කාටවත් කියන්න බැරි අය. නීතිය හරියට ඉෂ්ටකරන්න පැය ගණන් නඩු තීන්දු ලියන්න වෙනවා. හොඳට නඩු විභාගකරන්න හොඳ මනසකින් ඉන්න ඕන. ගෙදර ප්‍රශ්න තියෙනවනම් ඔබට හරි දෙයක් පත්තරේට ලියන්න පුළුවන්ද? අපි අපේ කාර්යය කළා. දැන් තියෙන්නෙ ඒ අයගෙ කාර්යය.

විනිසුරුවරුන්ගෙ වැටුප් වැඩිවීමත් එක්ක ඊට සාපේක්ෂව මැති ඇමැතිවරුන්ගෙ...

නැහැ කොහොමටවත් වැඩිවෙන්නෙ නැහැ. එහෙම වෙන්නෙ නැති විදියට තමයි මේ කැබිනට් පත්‍රය අනුමත කරල තියෙන්නෙ.

බන්ධනාගාර ඇතුළෙ ඉඳන් සිරකරුවො අපරාධ මෙහෙයවන තත්ත්වයක් ඇතිවෙලා. මේ තත්ත්වය නතර කරන්න මොනවගේ වැඩපිළිවෙළක්ද තියෙන්නෙ.

ඒක හිමින් කරන්න ඕන වැඩක්. මට එකපාර හැමදෙයක්ම කරන්න බැහැ. මට වගකීමක් බාරදීල තියෙනවා. ඒක මම කරනවා. ඒවට මට ප්‍රසිද්ධිය ඕන නැහැ. ඒ ගැන කාටවත් කියන්න ඕනත් නැහැ.

බන්ධනාගාර ඇතුළෙ මේ වැඩවලට බන්ධනාගාර නිලධාරීන්ටත් දෝෂාරෝපන එල්ල වෙනවා නේද?

මමත් ඒ චෝදනාව කරනවා. මැයි මාසෙ පළවෙනිද මේක බාර අරගෙන එකපාර ඕව හදන්න බැහැ. නිලධාරීන් හැමෝම නොවෙයි වැඩි දෙනෙක්මේකට වගකියන්න ඕන. බන්ධනාගාර නිලධාරීන් වැඩකරන්නෙ දුෂ්කර පරිසරයක හැබැයි ඒ අය ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. තමන්ට අයිති නැතිවිදියට මුදල් උපයනවා නම්, මම විශ්වාස කරන ධර්මයට අනුව ඔවුන් කවද හරි දවසක පසුතැවිලිවෙනවා.

බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් මානසික පීඩනයකට ලක්වෙලා කියල සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. මේ ගැන මොකද කියන්නෙ?

ඒ අය ඉන්න වට පිටාවත් එක්ක එවැනි තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. අපි ඔක්කොටම මානසික ආතතිය තියෙනවනෙ.

ඔවුන් ඉන් මුදාගන්න මොනවගේ වැඩපිළිවෙළක්ද ඔබ යෝජනා කරන්නෙ?

ඒකට මොනව හරි කරන්න ඕන.

වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් ඝාතනය ගැන විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයගෙ කාලෙ කමිටුවක් පත්කළා. ඒ පරික්ෂණවල දැන් තත්ත්වය මොකක්ද?

අපරාධ පරීක්ෂණ, දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධ වැඩ කටයුතු කරගෙන යනවා. සැකපිට කට්ටිය අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. අවශ්‍යම පුද්ගලය රටින් පැනල ගිහින්.

මේ සිද්ධිය සම්බන්ධ ඇසින් දුටු සාක්ෂි පවා තියෙද්දි පරීක්ෂණවල ප්‍රමාදයක් වෙන බව තමයි කියන්නෙ.

රස පරික්ෂණ දෙපාර්තමේන්තුවෙ වාර්තාවක් ඕන. තුවක්කු එකසිය ගානක් ඔවුන්ට බාරදීල තියෙනවා. එතනින් සොයාගත් උණ්ඩ සමඟ මේව සසදන්න ඕන. ඒකට කාලයක් අවශ්‍යයි. මේ වාර්තා එන්න තව මාස දෙක තුනක් යයි.

රටතුළ අපරාධ රැල්ලක් ගොඩනැ‍ඟෙමින් තියෙනවා. මේ කියන්නෙ රටේ නීතියෙ අඩුවක් තියෙන බව නේද?

ඔය අපරාධවලින් කොටසක් පුද්ගලික හේතු නිසා වෙච්ච දේවල්. පාතාලය 2015ට පෙර බොහොම නිදහසේ සැරි සැරුව පාතාලය ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා. ඒ අය හිතනව ඔවුන්ට විරුද්ධ කණ්ඩායම් ඔත්තු සපයනව කියල. මේ හින්ද පාතාල කණ්ඩායම් අතර ගැටුම් ඇතිවෙලා තියෙනවා. දැන් ඒ අය එළිපිටම හැප්පෙනවා. අපි කොහොම වුණත් සාමාන්‍ය ජනජීවිතය ආරක්ෂා කරනවා.

උතුරෙ ප්‍රභාකරන් කෙනෙක් ඉල්ලනවා. දකුණේ හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. මෙහෙම තත්ත්වයකට රට තල්ලුවුණේ ඇයි.

අපේ මිනිස්සුන්ට නිදහස වැඩිවෙලා.

2020 ජනාධිපතිවරණය ගැන ඔබ මොකද කියන්නෙ.

මට තාම ඒ ගැන කියන්න බැහැ. තවම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරල නැහැනෙ.

පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයට කල්තියා මේ ගැන අදහසක් තිබිය යුතුයි නේද?

පක්ෂ සංවිධාන කටයුතු අපි සුපුරුදු විදියට කරනවා. මම ජනාධිපතිවෙන්න යන්නෙ නැහැ. ඒ හින්ද කවුරු ආවත් මගේ පක්ෂයට අවශ්‍ය දේ මම කරනවා.

යහපාලන ආණ්ඩුවෙ එක්සත් ජාතික පෙරමුණේ කොටසක් නැවත පොදු අපේක්ෂකයෙක් ඕන කියල කියනවා. තව කොටසක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඕන කියලා කියනවා. ඔබ තුමියගෙ අදහස මොකක්ද?

මම එකමතයකවත් නැහැ. මම ඉන්නෙ පක්ෂයෙ මතයෙ. මම ඉපදුණෙත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදියට මැරෙන්නෙත් එහෙමයි. මගේ පක්ෂයට මම ආදරෙයි. කවුරු ආවත් පක්ෂයෙ මතය. එක්ක මම ඉන්නවා.

ඡායාරූප-කැළුම් ලියනගේ

පොහොට්ටුවට ගොස් වැඳගෙන හිටියත් ගෝඨාභයට බැට පිට බැට

$
0
0
ජුලි 13, 2018 01:00

* ජනපති පුටුවට ආ සමූපකාර සේවකයා
* සිංගප්පුරු අගමැතිට රනිල් සජිත් ගැන කියයි
* වෙල්ගම දිගටම සටනේ
* ජ වි පෙ තෙල් මිල බස්සන්න හදයි

අනූහයවැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ ජාතික උත්සවය මෙවර පැවැතියේ මඩකළපුව මේබර් ක්‍රීඩාංගණයේදීයි. සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ විද්වතුන් ක්‍රියාකාරීන් හා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ මෙම උත්සවයට ඇමැති රිෂාඩ් බදුර්දීන් , රාජ්‍ය ඇමැති ඒ. එල්. එම්. හිස්බුල්ලා නියෝජ්‍ය ඇමැතිවරුන් වන අමීර් අලි හා බුද්ධික පතිරණද සහභාගී වී සිටියා. උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කතාකළ ජනාධිපතිවරයා කීවේ මීට පෙර අවස්ථා ගණනාවකදී සමුපකාර ව්‍යාපාරයේ ජාතික සමුළුවට තමන් සහභාගි වී ඇති බවයි. පළමුවෙන් සමුපකාර සේවකයකු වශයෙන් සහභාගි වූ තමා පසුව ඇමැතිවරයකු ලෙස සහභාගි වූ බවත් මේ වනවිට රටේ ජනාධිපති ලෙසත් මෙම උත්සවයට සහභාගී වන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. රටේ ජනාධිපති තනතුරට සමුපකාර සේවකයකු පත්වූ එකම අවස්ථාව මෙය බවද ජනාධිපතිතුමා කීවා.

සමූපකාර ව්‍යාපාරයේ ගැටලු හා ප්‍රශ්න විසඳා ගැනීමට මීට වඩා ක්‍රියාශීලි වැඩ පිළිවෙළකට යායුතු බව කී ජනාධිපතිතුමා ඒ සඳහා වැඩ පිළිවෙළක් දැන් සකස් වෙමින් පවතින බවත් ඉදිරි මාස කිහිපයේදී එම වැඩපිළිවෙළ සකසා ක්‍රියාවට නගන බවත් ප්‍රකාශ කළා. තමන් ගැන විතරක් හිතන අයට සමුපකාර ව්‍යාපාරයේ රැඳී සිටීමට නොහැකි බවත්, සමාජයේ අනෙක් අයට ගරු කරන අනෙක් අයගේ ප්‍රශ්න තේරුම්ගත හැකි අයට සමුපකාර ව්‍යාපාරයේ ඉදිරියට යා හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පොළොන්නරුව ලංකාපුර අභයපුර ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ රන්කොත් චෛත්‍යයේ කොත නිරාකරණය කිරීමද ජනාධිපතිතුමා අතින් පසුගියදා සිදුවුණා. දේශමාන්‍ය දේශ බන්දු මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ හා පවුලේ උදවියගේ ධන පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකොට තිබෙනවා.

එහිදී අතීතය සිහිපත්කළ ජනාධිපතිතුමා කීවේ 1968 දී අභයපුර ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාවේ ගියේ මිත්‍රපාල මහතාගේ නිවසට බවයි. ඉන්පසු නිතර එම ප්‍රදේශයට පැමිණි තමනට ගමේ සෑම නිවසක්, පාරක්, අමුණක්ම මතක බවත්, ඇතැම්විට දැන් අලුත් පිරිස් පැමිණ සිටිය හැකි බවත් ජනාධිපතිතුමා කීවා. යහපත් සමාජයක් ගොඩනැගීමේදී මහ සඟරුවනේ අනුශාසනා ඉතාමත් වටිනා බවද ජනාධිපතිතුමා පැවසුවා.

වැලිකන්ද නව ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘතකිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මේ රටේ වැඩියෙන්ම දුක්විඳින පිරිස ගොවි ජනතාව බවයි. ගොවි ජනතාවගේ ගැටලු ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා සිදුකොට තිබෙන දැවැන්ත වැඩ පිළිවෙළ ගැන කතාකළ ජනාධිපතිතුමා ලබන අගෝස්තු 1,2,3 දිනවල සියලුම ඇමැතිවරුන් පොළොන්නරුවට පැමිණෙන බවත්, අලුත් ඉදිකිරීම් 170ක් විවෘත කිරීම එම දින තුනේ සිදුකරන බවත් කීවා. මෙබඳු දැවැන්ත සංවර්ධනයක් මීට පෙර රටේ කිසිදු ප්‍රදේශයක ක්‍රියාත්මක වී නැති බවත් ජනාධිපතිතුමා කීවා.

ලොව රටවල් 125 ක ප්‍රබල දේශපාලකයන් ව්‍යාපාරිකයන් විද්වතුන් එක්වූ ප්‍රධාන සමුළුවක ප්‍රධාන දේශනය සදහා පස්ගියදා සිංගප්පූරුවට ගිය අගමැතිවරයාට එහිදී ඉහල පිළිගැනීමක් ලැබිණා.

“ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රයක් ලෙස අප ගොඩනගනවා. ඒ හරහා මුළු ආසියාවටම ශක්තියක් වීමට නුදුරේදීම අපට පුළුවන් වේවි” යයි එහිදී ප්‍රකාශ කල අගමැතිවරයා ලංකාව ගොඩනගන වැඩ පිළිවෙළද විස්තර කළා.

දිවා හා රාත්‍රී නිල භෝජන සදහා අගමැතිවරයාට ලැබුණු ආරාධනාවල නිමක් නොමැති වුණා. ඒ අතර සිංගප්පූරු අගමැතිගේ නිල දිවා භෝජනය විශේෂ තැනක් ගත්තා.

“ රනිල් අගමැතිතුමා වැනි දැක්මක් ඇති නායකයකු අපේ මේ සමුළුවේ ප්‍රධාන දේශනයට පැමිණීම ඉතා අගය කරනවා.ඔබේ ඒ දේශනය තුළ අන්තර්ගත වූ වැඩ පිළිවෙළ සම්පූර්ණ වූ විට ලංකාව ලෝකයේම බලවත් රටක් වේවි. ” සිංගප්පූරු අගමැතිවරයා එහිදී විශේෂ ඇගයීමක්ද කළා.

සජිත් ප්‍රේමදාස ලංකාවේ අනාගතය බාර ගැනීමට සිටින නායකයෙකු ලෙස අගමැතිවරයා එහිදී සිංගප්පූරු අගමැතිට ඔහු හදුන්වා දුන්නේ හිටපු ජනාධිපති ප්‍රේමදාස ගැනද මතක් කර දෙමින්. සජිත් හා සිංගප්පූරු අගමැතිවරයා දිවා භෝජනයට එකලග අසුන් වල වාඩි වූයේ අනතුරුවය.

අගමැති රනිල්ගේ වැඩ පිළිවෙළෙ ඉදිරියටම ගෙන යාමට තමා සතු වැඩ පිළිවෙළ ගැනද සජිත් එහිදී සිංගප්පූරු අගමැතිවරයා දැනුවත් කළා.ඇමති මලික්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ආයෝජන සමුළුවක්ද පැවති අතර දෙරට අතර වන ආර්ථික ගිවිසුම ගැනද දෙරට අගමැතිවරු අතර ඉතා සුහද ලෙස අදහස් හුවමාරු වුණා.

“මේ ආරාධනාවෙන් පේන්නේ සිංගප්පූරුව අප ගැන තබා ඇති විශ්වාසය හා ගෞරවයයි. අපි කරන දේ එළි කිරීම නිසා මුළු ලෝකයටම ඒ පණිවිඩය ගියා. ඒක රටට ඉතා වාසි වේවි"අගමැතිවරයා අනතුරුව ශ්‍රීලංකා දූත පිරිසට කීවා.

යලි සියරට පැමිණි අගමැතිවරයා දකුණු ආසියාවේ කතානායක සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වූයේ කරු ජයසූරියගේ මහතාගේ ඇරයුමෙන්. බදාදා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ චම්පික රණවක හා නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ මූලිකත්වයෙන් දියත්වෙන ත්‍රිකුණාමලේ මහ සැලැස්ම එලිදැක්වේමේ උත්සවයට එක්වීමටය. චීන සමාගමක් සකස් කළ එය අගමැතිවරයාට මෙන්ම චම්පික රණවක, ආර් සම්බන්ධන් හා රෝහිත බෝගොල්ලාගමට බාර දෙනු ලැබුවා.

"මේ රටේ ආර්ථික කේන්ද්‍ර හතරක් ක්‍රියාත්මකයි. කොළඹ, හම්බන්තොට හා දකුණු තීරය, නුවර කුරුණෑගල තීරුව හා ත්‍රි මලේ මහ සැලැස්ම ඒවායි. උතුරටත් ඉක්මනින් මහ සැලැස්මක් ඇති කරනවා"අගමැතිවරයා එහිදී පැහැදිලි කළා.

අනතුරුව අගමැති හා රෝහිත බෝගොල්ලාගම අතරද කතාබහක් ඇතිවුණා.

"එදා කටුනායක කොග්ගල බියගම සීතාවක කර්මාන්තපුර ඇති කළා. ඒ අත්දැකීම් මත දැන් රට පුරා කර්මාන්ත දියත්කර රැකියා ඇති කිරීම අරමුණයි"අගමැති කීවිටබෝගොල්ලාගම ඒ සඳහා උපරිම ශක්තිය ලබාදීමට ප්‍රතිඥා දුන්නා.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ රාජකාරී ඇරැඹිමට පෙර පැමිණසිටි මැති ඇමතිවරු සමගද කතාබහ කළා.

"ලක්ෂ්මන් ලන්ඩන් ගියේ පෞද්ගලික සංචාරයකටද"ලක්ෂ්මන් කිරිඇල්ල දුටු විගස අගමැතිවරයා විමසුවා.

"නෑ.ලන්ඩන් තේම්ස් විහාරය රටේ තත්වය ගැන මට දේශනයකට ආරාධනා කළා. අද ලංකාවේ ජනතාවට පූර්ණ නිදහස තිබෙනවා. මානව හිමිකම් රැකෙනවා. රාජ්‍ය පැහැරගැනීම් හා දූෂණ නෑ. බුදු දහම අනුව ආණ්ඩුව ක්‍රියාත්මකයි. හැමදේම මුදලින් තක්සේරු කරන යුගයක අද ලංකාවේ තිබෙන නිදහස හා සුබවාදී බව මිල මුදලින් තක්සේරු කරන්න බැහැ. ආණ්ඩුවේ යම් අඩුපාඩු ඇති. ඒත් ආර්ථිකය ඉක්මනින් හැදුවාම ඒ ප්‍රශ්න නිමාවේවි. ඒ නිසා යලිත් පවුල්වාදී භීෂණකාරී යුගයට ලංකාව ගෙනියන්න ජනතාව සූදානම් නෑ කියල මම ලන්ඩන් වලදී කිව්වම අපේ මිනිස්සු සාධුකාර දුන්නා"ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

"ඉන්ධන මිල අඩු කරනවා වැඩි කරනවා. මේක විහිලු ටෙලි නාට්‍යයක් වගෙයි"පී හැරිසන් කීවා.

"මිල සූත්‍රයට යන්න කැබිනට් තීන්දුවක් තිබුණා. අපි ඡන්දයේදීත් මිල සූත්‍රයක් ගැන ජනතාවට කිව්වා. ලෝකයේ මිල අඩු වුණාම වාසිය ජනතාවට දෙන්නත් මිල වැඩි වුනාම ආණ්ඩුවේ අලාභය සමනය කරගන්නත් ඒ හරහා පුළුවන්. ඉන්දියාව හා බොහෝ රටවල දිනපතා මිළ වෙනස් කරනවා. අගමැතිතුමාත් ලංකාවේ හිටියෙ නැති වෙලාවෙ මේ වගේ ටෙලිනාට්‍ය එලිදැකීම හොද නෑ"නවීන් දිසානායක කළ විග්‍රහය කවුරුත් අනුමත කළා"

"හම්බන්තොට වරායේ දැන් තත්වය ගැන අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළත් නිව්යෝර්ක් ටයිම්ස් වල පළමු කෝටි 112ක් චීන සමාගමෙන් පගාව ගත්ත චෝදනාවට අදාළව මහින්ද ප්‍රකාශයක් නොකිරීම තුළම ඒ චෝදනාවෙන් ඔවුන් මඟ හරින බව තහවුරු වෙන තරම්"දයා ගමගේ කීවා.

"චීන සමාගමකින් බැසිල්ගෙ බිරිද පුෂ්පාත් රු: ලක්ෂ 192ක් පගාව අරන්ලු. ඒ ගැනත් ඒකාබද්දෙ අය කට හොල්ලන්නෙ නෑ"චමින්ද විජේසිරි කීය.

"ලංකාව හා රටවල් 03ක ආණ්ඩු පෙරලන්න ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 585 ක් වැය කළා කියල ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කිව්වාය කියන කතාව මොකක්ද"රන්ජන් රාමනායක ප්‍රශ්න කළේ අගමැතිගෙන්.

"අලිබොරු. එහෙනම් චෙක් පෙන්නන්න කියන්න. මහින්දට ලැබුණු සල්ලි වල චෙක් හා බැංකුවල විස්තර පවා නිව්යෝර්ක් පත්තරේ පළවුණා. ඒක වහන්න දැන් ජෝන් කෙරී කිව්වය කියල බොරුවක් මවන්න හදනවා. ඇමෙරිකාව රහසින් තමයි යටි දේශපාලන ගේමක් ගහනව නම් ගහන්නෙ. එහෙම කළානම් ජෝන් කෙරී ඕක එළිපිට කියනවද? ඔවුන්ගෙ වාර්තාවල ඒ විස්තර ඇතුල් කරනවද? මිනිස්සු මුලා කරන්න හැදුවට ඒවා හරියන්නෙ නෑ."ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා වෙනුවෙන් පිලිතුරු දුන්විට අගමැතිවරයාද එය අනුමත කළා.

“හම්බන්තොට වරාය ගැන අගමැතිතුමා වත්මන් තත්වය ගැන කතා කලාම එදා පාර්ලිමේන්තුවේදී වීරවංශ නැගිටින කොට කවුරුත් හිතුවෙ වරායේ මුල් සිදුවීම් ගැනත් එනම් වරායෙන් ගත්ත පගා ගැනත් ඔහු කියාවි කියලයි. අන්තිමට විමල් නිසා එජාපය ඒ ගැන විවාදයක් ඉල්ලුවා. විමල් මහින්දගෙන් බැනුම් අහන්න ඇති මං හිතන්නෙ” නවීන් දිසානායක කීවේ සිනා මැදය.

“ දැන් කුඩු හා පාතාලය වගේම මිනීමැරුම් වැඩි වෙලා බවයි ජනමාධ්‍ය කියන්නෙ. එත් නිල වාර්තා අනුව රාජපක්ෂලගෙ කාලෙට වඩා ඒවා අඩුයි. දැන් කුඩු එන ප්‍රමාණය පොලීසියේ වැට බැදීම නිසා අඩු වෙලාලු. ඒ නිසා කුඩු වෙළෙන්දෝ ඔවුන් ඔවුන් මරා ගන්නවා. ඔවුන්ට මරණ දඩුවම දීම ගැන එජාප ස්ථාවරය වැදගත් වෙනවා. ” විජයදාස රාජපක්ෂ කීය.

“ දැන් අලුගෝසුවොත් නෑ. මරණ දඩුවම පැනෙව්වත් ලංකාව ජේ.ආර්.යුගයේ ඉදලා ඒක ක්‍රියාත්මක නොකරන රටක්.මහින්ද කලෙත් නෑ.ජාත්‍යන්තර තත්වය හා මානව හිමිකම් ප්‍රශ්නත් බලල අපි ඉක්මන් තීන්දුවක් ගන්න ඕනෑ.කුඩු සැපයුමයි මර්දනය කරන්න ඕනෑ. ඒක වේගවත්ව කෙරෙනවා. ” අගමැතිවරයා පැහැදිලි කළා.

“ සාමාන්‍ය උසාවියේදී තමාගෙ නඩු අහන්න එපෝ කියල වාරණ නියෝග ගන්න ගෝඨාභය අලුතින් හදන මහාධිකරණ වල එයාගෙ නඩු මුලින්ම අහන්න කියල ලගදී බොරු සෝබනයක් දැම්මා. මිනිස්සු ඒකට බඩ අල්ලගෙන හිනාවෙන්නෙ. ෆේස්බුක් වල මාර ඒව ඒ ගැන යන්නෙ” චමින්ද විජේසිරි කීවේ සිනා මැදයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ආටිස්මලේ “සිතුවම්කන්ද” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා සමඟ ඇලික් අලුවිහාරේ හිටපු ඇමතිවරයාගේ පුතුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ, කෘෂිකර්මාන්ත නියෝජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නද එක්ව සිටියා. රමණීය භූමිභාගයක පිහිටා තිබූ “සිතුවම්කන්ද” උදා ගම්මානයේ ගෙවතු ඉතා සශ්‍රීක ලෙස වගා කර ඇති ආකාරය සියල්ලන්ගේම සිත් ගත්තා. උත්සවය අවසන් වී දිනකට පසුව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් ලැබුණු පුවතකින් සජිත් ‍ප්‍රේමදාස ඇමතිවරයාගේ ඉවසීමේ රතු කට්ට පැන්නා. එනම්, උත්සවයේදී නිවාස ණය, නිවාස ආධාර සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට ගලේවෙල කොට්ඨාසයෙන් පැමිණි අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගෙන් රුපියල් 2000/= බැගින් අයකර ගෙන ඇති බවයි. එසේ අයකර ගෙන ඇත්තේ ආහාර පාන සහ ප්‍රවාහන වියදම් සඳහා බව කියමින්. සජිත් වහාම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ මාතලේ දිස්ත්‍රික් කළමනාකාරවරයා අමතා කීවේ මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි. මෙය නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකළ වරදක් නොවන බව පෙනී ගිය නිසා සජිත් ඊළඟට කතා කළේ රංජිත් අලුවිහාරේටයි. “මේක බරපතළ කාරණයක්. මගේ වැඩසටහන්වලින් ප්‍රතිලාභ ලබන්න එන දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් මොනම හේතුවකටවත් සල්ලි අයකරන්න බෑ. මේ ගැන ඔයා වහාම සොයා බලන්න. අයකරගත්තු සල්ලි වහාම ආපසු දීලා මුදල් ලැබුණු බවට ඒ හැම කෙනෙක්ගෙන්ම ගත්තු රිසිට් මට බලන්න ඕනෑ බව සංවිධායකට කියන්න. එහෙම කරනතුරු ගලේවෙල කොට්ඨාසයට මගේ නිවාස සංවර්ධන වැඩසටහන් නෑ. මීට පස්සේ ගලේවෙල කොට්ඨාසයේ නිවාස වැඩසටහන් සම්බන්ධීකරණයත් මම ඔයාට පවරනවා. මට ඒ වැඩේ හරියට කරලා දෙන්න” සජිත් කීවා.

සිකුරාදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ සමග වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණේ ඊට මොහොතකට පෙර රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට පත්වීම් ලබාදීමෙන් අනතුරුවය. බියගම සංවිධායක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද මේ රැස්වීමට සහභාගී වී සිටියා.

බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළ ඇමති වජිර සෙනසුරාදා උදෑසනම පොළොන්නරුවට ගියේ පිබිදෙන පොළොන්නරුව වැඩසටහනේ ප්‍රගතිය පරීක්ෂා කිරීමටයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙවනු ලබන ව්‍යාපෘතීවලත් අනිකුත් සංවර්ධන ව්‍යාපෘතිවලත් ප්‍රගතිය සොයා බැලූ වජිර අබේවර්ධන ඇමතිවරයා සංවර්ධන කටයුතු වඩාත් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම සිදුකළා.

පසු දිනයේ ද ඇමති වජිර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර ඒ අතරින් කෑගලුගම නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සුවිශේෂි වුණා. කෑගලුගම ග්‍රාම නිලධාරීවසම යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාම නිලධාරීවරයකු ලෙස සේවය කළ ග්‍රාම නිලධාරී වසමයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් ලක්ෂ 20ක මුදලින් මේ වසම වෙනුවෙන් නිල සෙවණ කාර්යාලයක් ඉදිකර තිබිණා. මේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිතිතුමා ද සහභාගීවන බව ඇමති වජිර අබේවර්ධනට දන්වා තිබුණා. ජනාධිපතිතුමා පොළොන්නරුවේ ජනතාවට අමුත්තකු නොවූව ද රටේ ඉහළම පුරවැසියා වූ ජනාධිපතිවරයා තමන් රාජ්‍ය සේවයට එක්වූ අවස්ථාවේ ග්‍රාම නිලධාරී වරයා ලෙස කටයුතු කළ වසමේ ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලය විවෘත කිරීම ඓතිහාසික අවස්ථාවක් විය.

නිල සෙවණ විවෘත කිරීමෙන් අනතුරුව එහි සිටි ජනතාව සමග සුහඳ කතා බහක නිරත වූ ජනාධිපතිවරයා සිය මොටර් රථයට නැග ඇමති වජිරත් එහි නංවා ගත්තා.

කාරයේ යන අතරතුර යාපනයේ නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කිරීමේ සැළැස්ම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමති වජිරගෙන් විමසා තිබිණි.

''වජිර, යාපනයේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. යුද්ධය නිසා අවුරුදු 30ක් බැටකාපු ඒ මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා අපේ රජයේ නිලධාරීන්ට උපදෙස් දෙන්න මානූෂීය විදියටත් මේ තත්ත්වය තේරුම්ගෙන ඒ මිනිස්සු ඉන්න තත්ත්වයත් හිතලා ප්‍රශ්න ඉක්මනට විසඳන්න කියලා."යැයි උපදෙස් දී තිබුණා.

සඳුදා උදෑසන යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබුණේ ඇමති වජිරගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා උතුරේ සියලුම දේශපාලන නියෝජිතයන්ට ආරාධනා කර තිබුණ ද උතුරේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ විජයකලා මහේෂ්වරන් මහත්මිය සහභාගීවූයේ නැහැ.

ජනාධිපති ලේකම් ධූරයට අභිනවයෙන් පත්වූ උදය සෙනෙවිරත්න මහතා මේ රැස්විමට සහභාගී වී සිටි අතර එය සුවිශේෂී අවස්ථාවක් වූයේ සෙනෙවිරත්න මහතා තම ධූරයේ රාජකාරී බාරගැනීමෙන් පසු සහභාගී වූ පළමු නිල රැස්වීම වීම හේතුවෙනි. ඒ අවස්ථාවේ දී සියලු අමාත්‍යාංශ ලේකම්වරු හමුවීමට ද ඔහුට අනගි අවස්ථාවක් උදා වී තිබුණා. පැමිණි සියලු දෙනා නව ජනාධිපති ලේකම්වරයාට සුබ පැතීමට අමතක කළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැුස්වීමක් පසුගිය 10වැනිදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී රටේ වත්මන් දේශපාලන අර්බුදකාරීත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. මේ අතර ජාතික විද්ත්වත් සංවිධානය විසින් 14වැනිදා පවත්වන ජාතික කතිකාව පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වුණා. එම ජාතික කතිකාවේ කොටස් කරුවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණද සිය දායකත්වය ලබාදෙමින් සිටිනවා.

”අද අපේ රටට හැම අතින්ම පිරිහිලා. ආර්ථික අර්බුදය පමණක් නෙවෙයි සමාජ අර්බුදය දේශපාලන අර්බුදය දිනෙන් දිනම බරපතළ තත්වයකට පත්වෙනවා. ආණ්ඩුවට කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. විජිත හේරත් කියා සිටියා.

”රටේ ණය අර්බුදය වගේම වගේම ජනතාව විදියට විවිධ ණය උගුල්වල පැටලිලා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කර ගන්න තමන්ගෙ ලෙඩට දුකට බේතක් ගන්න ජනතාවට හැකියාවක් නැහැ. කවුරු රට පාලනය කළත් අර්බුදයට උත්තර ලැබෙන්නේ නැහැ. සමහරු හිට්ලර් ඉල්ලනවා. තවත් සමහරු ප්‍රභාකරන් ඉල්ලනවා. මේ කවුරු ආවත් යන්නේ පරණ පාරේම තමයි. ඒ නිසා ජනතාවට රෝග නිධානය හොයාගන්නම වෙනවා. ජනතාවට ඒක තනියෙන් කරන්න බැහැ. අපි මේකට අලූත් පියවරක් තියන්න ඕනෑ. ඒකට හොඳම පියවරක් තමයි 14වැනිදා ජාතික කතිකාව.” බිමල් රත්නායක කීවේය.

”ඔව්, මේ කතිකාව මිනිස්සු අපෙන් බලාපොරොත්තු වුණා. අලූත් වැඩපිළිවෙළක් රටට ඕනෑ. ඒක දේශපාලන පක්ෂයක පමණක් වැඩක් විය යුතු නැහැ. විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති, ගොවි, ධීවර සමිති නායකයින් මේ සියලූ දෙනා එක තැනකට එකතු වෙන්න ඕනෑ. අපි මේ වෙනුවෙන් සම්පූර්ණ සහායෝගය ලබාදීලා මේ වැඩපිළිවෙළ රට දිනවන වැඩපිළිවෙළක් බවට පත්කරන්න ඕනෑ. සුනිල් හඳුන්නෙත්ති කීවා. ”ඔව් අපි මේ සංවාදය 15වෙනිදා ඉඳලම ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ. ජනහමු, ගෘහස්ත සාකච්ඡුා, විද්වත් සාකච්ඡුා විදියට ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ.” ටිල්වින් සිල්වා යෝජනා කළේය. ඒ අනුව ජවිපෙ 15වැනිදා සිට රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් මැයෙන් ජනහමු දසදහසක් රට පුරා පැවැත්වීමට තීරණය වුණා.

දේශපාලන මණ්ඩල රැුස්වීම අතරතර ජවිපෙ නායකයින්ට දැනගැනීමට ලැබුණේ ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ රැුස්වීමක් එදින පස්වරුවේ පැවැත්වෙන බවත්ය. මේ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. ”පහුගිය පස්වෙනිදා තෙල් මිල වැඩිකරනවා කිවුවාම ජනාධිපතිවරයා ඒකට විරුද්ධ වුණා. දැන් දවස් දෙක තුනක් යනකොට ජනාධිපති තෙල් මිල ඉහළ දාන්න කැමතිවෙනවා. මේ මොන විගඩමක්ද?” විජිත හේරත් කීවා. ”ඇත්තටම අපේ රටේ දැන් ආණ්ඩුවක් නැහැ. තියෙන්නේ රණ්ඩුවක්. අගමැති ජනපති රණ්ඩු, ජනපති කැබිනට් මණ්ඩලය අතර රණ්ඩුවක්. මේ නිසා රටේ පාලනයක් නැහැ. රටේ නායකයාටත් දැක්මක් වැඩපිළිවෙළක් නැති බව මේ දේවල්වලින් ඔප්පු වෙනවා.” ටිල්වින් සිල්වා කීවා සිටියේය.

”මැයි මාසේ මිල වැඩි කළා ආණ්ඩුවේ බදු වැඩි කරලා. නමුත් මේ වතාවේ ආණ්ඩුව හේතුවක් කියන්නේ නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවීමක් නැහැ. ඒ නිසා ආණ්ඩුවට මේ විදියට අසාධාරණ වැඩ කරන්න දෙන්න බැහැ. අපි මේකට විරුද්ධව ලොකු විරෝධයක් පටන් ගන්න ඕනෑ.” ලාල්කාන්ත කීවා. ඒ අනුව ජවිපෙ රට පුරාම සියලූ ප්‍රධාන නගරවලදී එළඹෙන 16 සහ 17 දෙදින ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමගි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තද එම අරමුණු ඉටු වී නැති බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මෙම තත්ත්වය පෙනෙන්නට තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ උත්සාහයට එම කණ්ඩායමේ ප්‍රබල පිරිසක් ප්‍රසිද්ධියේම විරෝධය ප්‍රකාශ කිරීම නිසායි.

තත්ත්වය සමනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමකට පසුගියදා සහභාගී කර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුමකට අනුවයි. එහිදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ එකට සිට ඡායාරූපවලට පෙනී සිටියා. එම රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ ‘වියත් මග’ කියා එකක් තවදුරටත් නැති බවයි. තිබෙන්නේ මහින්ද චින්තනය පමණක් බවයි. එය ගෝඨාට ‘වියත්මග’ අතහැර දමා පොහොට්ටුවේ වැඩ පිළිවෙළට එකතුවන්නට කළ දැනුම් දීමක් බව පෙනෙන්නට තිබෙනවා.

එසේ වුවද එම සිදුවීමෙන් පසුව පසුගිය සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා කීවේ තම කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු බවයි. ජනාධිපතිවරණය ජයගත හැක්කේ ඔහුට පමණක් බව වාසු කියා සිටියා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වඩාත් බරපතළ කතාවක්. මිලිටරි ආණ්ඩුවකට තමා විරුද්ධ බවත්, එබඳු තත්ත්වයක් ඇති වුවහොත් පක්ෂයෙන් ඉවත් වී එයට එරෙහිව සටන් වදින බවත් කුමාර් වෙල්ගම මහතා කීවා. හිට්ලර් වගේ පාලකයකු වන්නැයි වෙඬරුවේ උපාලි අනු නා හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට කළ අනුශාසනාව තමන් හෙළා දකින බව වෙල්ගම මහතා කීවා. එබඳු පාලනයක් ඇති වුවහොත් නාමල් රාජපක්ෂ මහතාටද සිදුවන්නේ මැලේසියාව වැනි රටකට ගොස් රගර් ක්‍රීඩා කිරීමට බවද වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කොළඹ වරායෙන් පුෂ්පා පිපේ

$
0
0
ජුලි 13, 2018 01:00

* ලැබුණු මුදල කෝටි 114යි
* රටේ ණය බරට මුදල එකතු කරලා
* ගෙවන්න වෙන‍්නේ ජනතා බදු මුදලින්

මහින්ද රාජපක්ෂ මහතාට 2015 මැතිවරණ ආධාර වශයෙන් ඩොලර් මිලියන හතයි දශම හයක් (7.6) හෙවත් රුපියල් (76,00,000 x 150 = 1,14,00,00,000) එකසිය දාහතර කෝටියකට සමාන මුදලක් චීන සමාගමකින් දුන් බව කියන සිද්ධියක් පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (NEWYORK TIMES) පුවත්පතේ පළ වූ පුවත, කඩි ගුලකට උණු අළු දැමූ කලෙක් මෙන් විය.

හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් චීන සමාගම කොමිස් වශයෙන් ඒ මුදල දුන් බව පුවතේ නොකියා කියන එක් කතාවකි. චීන සමාගමට කොන්ත්‍රාත්තුව පවරා දීමේ ‘සන්තෝෂම්’ එක මේ බව ද තවත් කටකතාවකි. ඒ මොන දේ වුවත් චීන සමාගම මහින්ද රාජපක්ෂ මහතාට ඩොලර් මිලියන හතයි දශම හයක් දී තිබූ බව නම් ඒ පුවතේ පැහැදිලිවම කියා තිබිණි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිය විනාශ කිරීමට එවූ මඩ ගුලියක් යැයි මහින්ද රාජපක්ෂ මහතාට හිතැති කණ්ඩායම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රටට කියති. මේ මඩ ගුලියට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ අමාත්‍ය මංගල සමරවීර මහතාට හිතැති මාධ්‍යවේදීන් දෙදෙනකු බවට ද ඔවුහු චෝදනා එල්ල කරති.

“කාක්කා මොන පාට දැයි” ඇසූවිට පිළිතුරු වශයෙන් ‘කළුපාට’ යැයි නොකියා, සද්ධර්ම රත්නාවලියේ දක්වා ඇති “බුරුලු තබා අඟින් කිරි දොවන්නා” සේ යන සිද්ධාන්තයෙන් කාක්කා කා කා ගානවා. උගේ හොට උල්, ඌට උල් නිය පොතු තියනවා යැයි සිද්ධිය මුසාවක් බව කියන්නට අර අඳින පිරිස් එසේ අනම්මනම් දොඩනවා හැරෙන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩොලර් මිලියන හතයි දශම හය නො ලැබුණු බවක් නම් නො කියන්නාහුමය.

ටයිම්ස් පුවත්පතට තොරතුරු සපයා ඇතැයි කියන මාධ්‍යවේදීන් දෙදෙනාට ද මේ අතරතුරේදී තර්ජන ගර්ජන එල්ල වෙන බවට ප්‍රවෘත්ති පළ විය. තම පුවත්පතේ පළ වූ පුවත සදොස් නම්, ඒ පිළිබඳව තමන්ගෙන් කරුණු විමසන ලෙසටත්, මාධ්‍යවේදීන්ට තර්ජනය නොකරන ලෙසටත් සඳහන් කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරක මයිකල් ස්ලැක්මන් මහතා නිවේදනයක් ද නිකුත් කර ඇතැයි කියති.

මේ ලිපියේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොට වරාය ඉදිකළ සමාගමෙන් 2015දී යථෝක්ත මුදල් සම්භාරය ලැබුණා ද නැද්ද යන්න සත්‍ය යැයි හෝ අසත්‍ය යැයි හෝ කියන්නට උත්සාහ දැරීම නොවේ.

චීන සමාගම කොළඹ දකුණු වරායේ බහලුම් පර්යන්තය ඉදිකිරීමේදී ද මෙයට සමාන අන්දමින්ම කටයුතු කර තිබීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමය.

කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය ඉදිකළ චීන සමාගම වරාය සංවර්ධනය (DEVELOPMENT) කිරීමේ වියදමක් වශයෙන් දක්වා රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් (1,94,10,000)ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවුලේ ළඟම ඥාතිවරියකට අයත් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානයට 2012 මැයි 21 වැනි දින ගෙවා තිබේ. විගණකාධිපති ඩබ්ලිව්. ඇම්. ගාමිණී විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබ ඇති විශේෂ විගණන පරීක්ෂණයකින් එම තොරතුරු අනාවරණය කෙරී තිබේ.

එසේ අනාවරණය වූ විස්තර විගණකාධිපතිවරයාගේ අංක POS/A/SLPA//2016/04 දරන විගණන විමසුමෙන් දෙදහස් දාසයේ මාර්තු පළමු වැනිදා (2016.03.01) වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද පිටපතක් සහිතව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට ඉදිරිපත් කර තිබේ. එම විගණන විමසුමේ සඳහන් අන්දමට විස්තරය මෙසේ ය.

කොළඹ දකුණු වරායේ පර්යන්තය ඉදිකර බහලුම් මෙහෙයවීමේ කටයුතු ආරම්භ කර වසර තිස් පහකට (35) පසුව එම පර්යන්තය කොළඹ වරායට භාරදීමේ ක්‍රමයට (B.O.T-BUILD OPERATE TRANSFER) කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පවරා තිබේ. චීන සමාගම ඒ කාර්යභාරය ඉටුකිරීම උදෙසා ස්ථාපනය කළ සමාගම සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය සමාගම (C.I.C.T- COLOMBO INTERNATIONAL CONTAINER TERMINAIS LIMITED) නමින් හඳුන්වනු ලැබ තිබේ. එම සමාගමේ කොටස් ප්‍රමාණය සියයට අසූපහක් (85%) වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් ප්‍රමාණය සියයට පහළොවකි (15%). ගිවිසුම අනුව යථෝක්ත සමාගම පර්යන්තය ඉදිකර ග්‍රැන්ටි දොඹකර ආදිය සවිකර ‍දෙදහස් දහතුනේ ජූලි පළමු වැනි දින (2013.07.01) මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

මෙහෙයුම් කටයුතු එසේ ආරම්භ කිරීමට පෙර දිනෙක එනම් දෙදහස් දොළහේ මැයි විසිඑක්වැනි දින (2012.05.21) එම සමාගම, පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානයට රුපියල් එක්කෝටි අනූහතරලක්ෂ දසදහසක මුදලක් (1,94,10,000)ක් ගෙවා තිබේ.

චීන ආයෝජකයින් විසින් පිහිටුවා ගනු ලැබූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගම, හොංකොං ඇන්ඩ් ෂෙන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පතින් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාල‍යයේ අංක 204-1-001-5-003290 යන ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත නිකුත් කර තිබේ. එම තොරතුරු අනුව පරීක්ෂණ පැවැත්වූ විගණකාධීපතිවරයාට අනාවරණය වී ඇත්තේ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගමේ අරමුදලින් චෙක්පත ලියා නිකුත් කර ඇති බවයි.

සිද්ධියේ වැදගත් කරුණක් වන්නේ පුෂ්පා රාජපක්ෂ පදනමට එසේ ලබාදුන් මුදල දකුණු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා දැරූ වියදමක් වශයෙන් චීන සමාගම ගිණුම්ගත කර (ප්‍රාග්ධනිත කර) තිබීමය.

පුෂ්පා රාජපක්ෂ පදනමට එසේ දුන් මුදල් වරායේ ඉදිකිරීම් වියදමක් වශයෙන් ගිණුම්ගත කිරීමෙන් සිදුවන්නේ ඒ වියදම මේ රටේ මහජනතාවට ගෙවීමට සිදුවී ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කාන්ති පෙර්රා මහත්මිය කියයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව, කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අතුළු, අධ්‍යක්ෂවරුන්ගේ අවශ්‍යතාවට අනුව පමණක් පුෂ්පා රාජපක්ෂ පදනමට මුදල් දී ඇති බව විගණන පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. මුදල් ආධාර දිය යුතු ශ්‍රී ලංකාවේ අනන්ත අප්‍රමාණවත් ස්වේච්ඡා සංවිධාන තිබිය දී, චීන සමාගම පුෂ්පා රාජපක්ෂ පදනමම තෝරාගෙන ඇත්තේ කුමන කරුණක් නිසා දැයි දන්නේ දෙවියන් පමණක් බව ගිණුම් ආරංචි කියයි.

පදනමට මුදල් ගෙවිය යුතු බවට තීරණය කළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නි‍යෝජනය කරමින් මහාචාර්ය ප්‍රසන්න වෙල්ගමගේ නම් මහතකු සහභාගි වී ඇති බව ද, සමාගමේ විස්තර ලේඛනවල දැක්වේ. බහලුම් පර්යන්තය ඉදිකිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර ගිවිසුමේ කොන්දේසි අතර වසර තිස් පහකට (35) පසුව පර්යන්තය වරාය අධිකාරියට පවරනවිට ඒ වනවිට පවත්නා ස්ථාවර වත්කම් හීනවන ශේෂ ක්‍රමයට අනුව වටිනාකම අදාළ සමාගමට ගෙවිය යුතු වේ. ඒ අනුව පුෂ්පා රාජපක්ෂ පදනමට ගෙවා ඇති රුපියල් 1,94,10,000 ටද කිසියම් ප්‍රතිශතයක් නො ගෙවා සිටීමට කිසිසේත්ම නොහැකි ය.

එපමණක් නොවේ, ශ්‍රී ලංකාවේ කිසියම් කර්මාන්තයක් හෝ ඉදිකිරීමක් හෝ උදෙසා ජාත්‍යන්තර ආයතන සමඟ ගිවිසුම්වලට එළඹෙන කල්හි ඒ සම්බන්ධව මැදිහත්ව ක්‍රියාකරන තුන්වැනි පාර්ශ්වයක් ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් කටයුතු නොකරන්නේ ය යන්න කොහෙත්ම අමතක නොකළ යුතු බව ද අපට සේවය කරන්නට යනවා යැයි කියන්නන් හොර රහසේ පොදි ගසාගන්නා මහජන දේපොළ වෙනුවෙන් ගෙවන්නට ඇති ණය කන්දරාව ගෙවන්නට පරම්පරාවෙන් පරම්පරාවට දහඩිය හෙළන මේ රටේ දුප්පත් මහජනතාව දැන්වත් තේරුම්ගත යුතුව ඇත. කොළඹ දකුණු වරායේ පර්යන්තය ඉදිකිරීමේදී රුපියල් දෙකෝටියකට (2,00,00,000) ආසන්න මුදලක් මෙසේ නීත්‍යානුකූලව නොවන අන්දමින් පුෂ්පා රාජපක්ෂ පදනමට ගියේ නම්, ලබ්බට තැබූ අත පුහුලට නො තියයි දැයි යන ගැමි මතය සිහිපත් කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතක කියන අන්දමේ සිද්ධියක් කොළඹ වරායේ කර්මාන්තය කළ සමාගමම හම්බන්තොට වරාය ඉදිකිරීමේදී නොකළා යැයි කියන්නට නොහැක්කේ මොන නාථාට දැයි මේ අනුව සිතා බලත්වා.

ජනසේන මාරසිංහ

මස්කෙළියේ වැසිකිළි මාවුස්සාකැලේ !

$
0
0
ජුලි 13, 2018 01:00

* සාමිමලේ කැළිකසළත් එන්නේ ජලාශයට 
* අපද්‍රව්‍ය ටොන් ගණන් ජලාශය පතුලේ
* මසුන් මියයයි ධීවරයන් අනාථයි 
* මසුන් මියයයි ධීවරයන් අනාථයි

ශ්‍රීලංකා ඉතිහාසයේ ජල විදුලි බලාගාර වංශ කතාවත්, ලක්ෂපාන ආශ්‍රිත ප්‍රදේශයත් අතර ඇත්තේ නොබිඳුණු සබැඳියාවකි. එයට හේතුව ශ්‍රීලංකාවේ ජල විදුලියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන දිවංගත ඩී.ජේ.විමලසුරේන්ද්‍ර ශ්‍රීමතාණන්ගේ ඉංජිනේරු ඥානයෙන් 1950 වරෂයේදී කෙසෙල්ගමු ඔය හරස් කර නෝර්ටන්බ්‍රීජ් ප්‍රදේශයේදී කඳු දෙකක් අතර වේල්ලක් බැඳීමෙන් විශාල ජල කඳක් රැස් කිරීමයි. ඒ මහා ජල කඳ අඩි 9400 ක් තරම් දිග උමඟක් තුළින් “ඩබල්කඩින්” නමැති ස්ථානයට ගෙන ගොස් එතැන් සිට විශාල නළ මාර්ග 04 ක් ඔස්සේ තවත් අඩි 5000 ක් පමණ පහළට ගමන් කර මස්කෙළි ඔයේ දකුණු ඉවුරේ පිහිටි ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වේ. එය ලක්ෂපාන ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රථම අදියරයි.

මීට වසර 100 කට පමණ පෙර ශ්‍රීලාංකීය ජනතාවට සිහිනයක්ව පැවති ජල විදුලි උත්පාදනය, ඩී.ජේ.විමලසුරේන්ද්‍ර ශ්‍රීමතාණන් හෙළි පෙහෙළි කරන ලද මඟ ඔස්සේ යමින් ලක්ෂපාන ප්‍රදේශයේ ආසන්නයේ පමණක් ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය හා කැනියොන් යන පංච මහා ජලවිදුලි බලාගාර සංකීර්ණය බිහිවීම ආරම්භ වන්නේ එලෙසිනි.

අපගේ ලිපියට පසුබිම් වූ ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙක ඉදිවෙන්නේ මස්කෙළිය හා හැටන් ප්‍රදේශ ආශ්‍රිතවය.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙක ඉදිකිරීම් ආරම්භ වන්නේ, 1963 වර්ෂයේදීය. එම ජලාශවලට ජලය පුරවා අවසන් වන්නේ 1969 වසරේදීය. මාවුස්සාකැලේ ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 98000 ක වපසරියකින් සමන්විත වන අතර කාසල්රී ජලාශයේ සමස්ත ජල ධාරිතාව අඩි ලක්ෂ 19100 ක් ලෙස සඳහන් වේ. එතැන් පටන් මෙම ජලාශ දෙක ජාතික සම්පතක් ලෙස ස්ථාපිත වී ශ්‍රීලාංකීය ජනතාවගේ විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් ජල සම්පත රැස් කිරීමේ කාර්යට උර දෙන්නේ ස්භාව ධර්මයේද ආශිර්වාදය ඇතිවය.

ස්භාවධර්මයේ වෙනස්වීම් අනුව කලට වැසි නොලැබෙන විටදී මෙම ජලාශ දෙක පතුලටම සිඳී ගොස් රටේ විදුලි අර්බූද ඇතිවූ අවස්ථාවන් එමට ඇත. ජලය සිඳී යන කාලවලදී මාවුස්සාකැලේ ජලාශය පිහිටි ස්ථානයේ ජලයට යටවී තිබූ පැරණි මස්කෙළිය නඟරයේ නටඹුන් යළි මතුවන්නේ අතීත සුන්දර මතකයන් යළි සජීවීව දුෂ්‍යමාන වෙමින්ය. ජලය සිඳී රටේ විදුලි අර්බූදයක් ඇති වුවද, ජලය සිඳුණු ජලාශයේ සුන්දරත්වය නැරඹීමට එම කාලයේදී ශ්‍රීපාද වන්දනාකරුවන් ඇතුළුව දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාව සුන්ඳරත්වය විඳ නැවත ජලාශයෙන් පිටව යන්නේ, රැගෙන එන දිරා නොයන ඝණ අපද්‍රව්‍යද ජලාශයට මුදා හරිමිනි.

ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේද්‍ර හා කැනියෝන් යන ජල විදුලිබලාගාර පහ සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි. කැලණි ගඟේ ප්‍රධාන අතු ගංඟාවන් වන මස්කෙළිය ඔය මාවුස්සාකැලේ ජලාශය ප්‍රධාන වශයෙන් පෝෂණය කරන අතර කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ කැළණි ගඟේ තවත් ප්‍රධාන අතු ගංඟාවක් වන කෙසෙල්ගමු ඔයෙනි. මෙම අතු ගංඟා දෙකම ආරම්භ වන්නේ ශ්‍රීපාද අඩවියෙනි.

ජාතික සම්පත් වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙක මානව ක්‍රියාකරකම් හේතුවෙන් විනාශ වීමට පටන්ගෙන ඇත්තේ වසර කිපයක සිට. මෙම ජලාශවල සමස්ත ජල ධාරිතාව වසරින් වසර අඩුවන්නේ රොන්මඬ වලින් ජලාශ පිරෙමින් පවතින නිසාය. ජලාශ වලට මෙන්ම එහි වෙසෙන ජලජ ජීවීන් ඇතුලු මිරිදිය මත්ස්‍ය සම්පතට හා පරිසරයට මේ වන විට බරපතළ තර්ජණයක් වී ඇත්තේ, ප්‍රදේශයේ හා ජලාශ අවට පදිංචි ඇතැම් පුද්ගලයන් විසින් කිසිදු තැකීමක් නොකර දිරා නොයන ඝණ අපද්‍රව්‍ය මෙන්ම මළ අපද්‍රවයද දෛනිකව ජලාශ වලට මුදා හැරීම හේතුවෙනි. එසේ එකතුවන දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් ගණනක් ජලාශ පත්ලේ තැන්පත්ව ඇති අයුරු ජලය සිඳී යන කාල වලදී මනාව දැකගත හැකිය.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ 100 කට ආසන්න පිරිසක් නිරතව සිටිති. ජලාශවල තැන්පත්වන දිරා නොයන පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුලු ගන අපද්‍රව්‍ය නිසා ප්‍රධාන වශයෙන් පීඩාවට පත්ව සිටින්නේ මෙම ජනතාවය. ඔවුන්ගේ දුග්ගැනවිල්ල එහි ගිය අපට මුලින්ම කියා සිටියේ, මාවුස්සාකැලේ ජලාශයේ මිරිදිය ධීවර සමිතියේ සභාපති මරදපිල්ලෙයි මනෝහරන් මහතාය.

“ මම මාවුස්සාකැලේ ජලාශයේ දැනට අවුරුදු 20 කට ආසන්න කාලයක් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. මට වෙනත් රැකියාවක් නෑ. දරු පවුල ජිවත් කරන්නේ මේ රැකියාවෙන්. දැන් අපට මේ රැකියාවෙන් සමුගන්න වෙලා තියෙන්නේ ජලාශයේ තැන්පත්වෙලා තියෙන ප්ලාස්ටින් වගේම දිරන්නේ නැති පොලිතීන් නිසයි. මස්කෙළිය නගරයේ හා සාමිමලේ සිට මස්කෙළිය ඔයට, අවට අය කැළි කසළ දානවා. වර්ෂාව තියෙන වෙලාවට වැසිකිළි බට හරවලා තියෙන්නෙත් ජලාශයට ගලා ගෙන එන්නයි. මේකෙන් විශාල පරිසර හානියක් වෙලා තියෙනවා. මේ දිරා නොයන අපද්‍රව්‍ය හේතුවෙන් මාළු මැරෙනවා. උන්ගේ බෝවීම අඩු වෙනවා. ජලාශයේ පාවෙන ගන අපද්‍රව්‍ය මාළු දැල්වල පැටලීමෙන් අපේ දැල් විනාශ වෙලා. අලුත් දැල් ලබා ගන්න විශාල මුදලක් වැය කරන්න වෙලා තිබෙනවා. පොලිසිය සමග එකතුවෙලා අපි කීප වරක් ශ්‍රමදාන කරලා විශාල කසළ ගොඩක් ජලාශයෙන් අයින් කළා. නමුත් නැවත නැවතත් ජලාශයට කසළ බැහැර කිරිම නවත්තලා නෑ. මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානයට ලක්වෙන්න ඕන.”

මාවුස්සාකැලේ ජලාශයේ මිරිදිය ධීවරයකු වන, මෝකා තේ වතුයායේ පදංචි එම්.ගනේෂ් මහතා අප සමග මෙසේ කීය.

“මමත් අවුරදු ගාණක් මාළු ඇල්ලීමේ රැකියාව තමයි කරන්නේ. අපි දුප්පත් මින්ස්සු. මේ පොලිතීන් ප්‍රශ්නය නිසා අපිට මාළු අසුවන්නේ නෑ. ඒ නිසා අපේ ආදායම් තත්වයත් ගොඩක් අඩුවෙලා. මස්කෙළිය ටවුමේ කඩවල් අයිති ගොඩක් අය වහින වෙලාවට කුණු ටොන් ගණනක් ඩෑම් එකට හරවනවා. මේක ලොකු අපරාධයක්. මාළු විනාශ වෙනවා. නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසයි මිනිස්සු වැරදි වැඩ කරන්නේ.”

ධීවර සමිතියේ සියලු දෙනාටම පවතින ගැටලු ගැන මීළඟට අප සමග පැවසුවේ, මාවුස්සාකැලේ ධීවර සමිතියේ සාමාජික එන්.එම්.රාජා මහතාය.

“ මම අවුරුදු 25 ක් ධීවර රස්සාව කරනවා. මේක අමාරු රැකියාවක්. වෙන කරන්න දෙයක් නැති නිසයි පුරුදු දේම කරන්නේ. නඟරේ මින්ස්සු පොලිතීන්, කසළ දානව වගේම වටේට තියෙන සමහර තේ වතුවල ෆැක්ටරිවල අපතට යවන කලු තෙල් ජලාශයට හරවනවා. එතකොට ජලාශයේ වතුර තනිකර කළු පාට වෙනවා. මාළු මැරෙනවා. අන් ලෙඩ වෙනවා. පරිසරය දූෂණය වෙනවා. ඒ කාලෙට අපිට මාළු අහුවෙන්නේ නැති නිසා අපේ ආර්ථිකයට ඒක බලපානවා. මාළු නැති දාට ගෙදර දරුවොත් එක්ක අපි බඩගින්නේ. අවුරුදු ගානක් තියෙන මේ ප්‍රශ්නය අපි වගකිවයුත්තන්ට කිව්වත් පැහැදිළි විසඳුමක් මේ වෙන තෙක් ලැබිලා නෑ.”

මස්කෙළිය හා සාමිමලේ යන නඟරවල ගොඩ ගැසෙන කැළි කසල ඉවත් කිරීමේ නීත්‍යානුකූල වගකීම ඇත්තේ, මස්කෙළිය ප්‍රාදේශීය සභාවටය. ජනතා නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය සභාවට පත්ව සිටින එහි සභාපතිනි ගෝවින්දන් සෙම්බගවල්ලි මහත්මියට මෙම ගැටලුව අප යොමු කළ විට ඇය මෙසේ කීවාය.

“ මස්කෙළිය නගරයේ හා මස්කෙළිය ඔය දෙපස පදිංචි ඇතැම් අය මෙම වැරදී ක්‍රියාව කරන බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. අඹගමුව ප්‍රාදේශිය සභාව විදිහට අපි, කසළ ක්‍රමවත්ව බැහැර කිරීම සම්බන්ධව ජනතාව දැණුම්වත් කිරීමේ වැඩසටහන් කීපයක් කර තිබෙනවා. ඉදිරියටත් කරනවා. උපදෙස් පිලිනොපදින අයට එරෙහිව අපි නීත්‍යානුකූලව ඉදිරියට තදින් කටයුතු කරනවා. මේ වන විට සභාවේ සෞඛ්‍ය අංශය මගින් නගරවල කසල, දිරණ හා නොදිරණ ලෙස වෙන් කර ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මාවුස්සාකැලේ ජලාශයට කැළි කසල හා මළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්න මම උපදෙස් දෙනවා. ඒ වගේම නීති විරෝධී ලෙස කැළි කසළ හා දිරා නොයන ඝණ අපද්‍රව්‍ය අක්‍රමවත්ව බැහැර කරන අය හඳුනා ගැනීම සඳහා සභාව මගින් ඉදිරියේදී සී.සී.ටී.වී. කැමරා කීපයක් ස්ථානගත කිරීමට සැලසුම් කර තිබෙනවා. මාවුස්සාකැලේ ජලාශයේ තැන්පත්ව තිබෙන කැළි කසල ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පොලීසිය සමග එක්ව පැවැත්විමට කටයුතු කරනවා.”

මාවුස්සාකැලේ ජලාශය මෙන්ම කාසල්රී ජලාශයේද වසර ගණනක් තිස්සේ පවතින මෙම ගැටලුවට සම්බන්ධව එම ජලාශයේ ධීවර ප්‍රජාව හා ප්‍රදේශයේ ජනතාව පවසන්නේ, ජලාශයට කසළ බැහැර කරන ජනතාවට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි දේවල් අවම කර ගත හැකි බවයි.

මෙම ජලාශ ද්විත්වයේ භාරකාරත්වය හා ප්‍රධාන වගකීම ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටය. විදුලි බල මණ්ඩලය මගින් ජලාශ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශයක් පැය 24 පුරා සේවයේ යොදවා ඇත. එමෙන්ම විදුලිබලාගාර ජලාශ ආරක්ෂාව සඳහා යුද හමුදා අණුඛණ්ඩද දිවා රාත්‍රී සේවයේ යොදවා ඇත. ජනතාව ජලාශවලට කැළි කසළ බැහැර කිරීම සම්බන්ධව ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සී.ජී.එස්.ගුණසේකර මහතාගෙන් අප කළ විමසුමකදී හෙතෙම සඳහන් කර සිටියේ, මෙම ජලාශවල ඇති කැළි කසළ හේතුවෙන් ජල විදුලිබලාගාරවල විදුලි ජනන යන්ත්‍රවලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවය. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකට අයත් ඉඩම් හඳුනාගැනීම සම්බන්ධව මේ දිනවල මැණුම් කටයුතු කරන බවත්, කාසල්රී ජලාශයේ ඉඩම් හඳුනාගැනීම මේ වන විට අවසන්කර ඇති බවත් පවසන ඒ මහතා, ඒ අනුව විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල අණවසර පදංචිකරුවන් ඉවත් කිරීම සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවත්ය. කාසල්රී ජලාශයේ, විදුලිබල මණ්ඩලයේ ඉඩම්වල සංචාරක නිවාඩු නිකේතන පවත්වාගෙන යන ඇතැම් පිරිස්ද ජලාශයට කැළි කසළ ඇතුලු අපද්‍රව්‍ය බැහැර කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ජාතික සම්පත් මනව ක්‍රියාකරකම් හේතුවෙන් මෙසේ විනාශයට පත්වීමට ඉඩදීම ඉදිරියේදී තවත් නොනවතින විදුලි අර්භූදයකට හේතුවක් වන බව වගකිවයුත්තන්ට අවසන් වශයෙන් මතක්කළ දිය යුතුය.


මස්කෙළිය සමූහ ගාමිණී - බණ්ඩාර ඉලංගන්තිලක


ගුවන් පාලමක්ද? ට්‍රැෆික් පාලමක්ද?

$
0
0
ජුලි 13, 2018 01:00

රාගම දුම්රිය මංසන්ධිය ආසන්නයේ දුම්රිය මාර්ග 04 ක් හරහා රාගම මාර්ග 262 කොළඹ බස් නැවතුම්පොළ ආසන්නයේ සිට රාගම ශික්ෂණ රෝහල් මංසන්ධිය දක්වා ඉදිවූ කාදිනල් කුරේ ගුවන් පාලම ආරම්භයේදී තිබූ අපේක්ෂිත අරමුණු අද ඉටුනොවන තත්ත්වයක් උදාවී ඇත.

එදා මෙම ගුවන් පාලම ඉදිකරන ලද්දේ දුම්රිය හරස් මාර්ගයේ වූ ගේට්ටු යුගල දුම්රිය ධාවනය හේතුවෙන් නිතර වසා තැබීම නිසා විශේෂයෙන් රාගම රෝහලට ගිලන් රථ හා පෞද්ගලික වාහනවලින් රැගෙන එන අසාධ්‍ය රෝගීන්ගෙන් කීපදෙනෙකුම මෙකී රේල් ගේට්ටුව අසලදී මරණයට පත්වීම ඇතුළු තවත් රෝගීන් වඩාත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම මෙන්ම වාහන තදබදයට විසඳුමක් වශයෙනි.

එහෙත් අද සිදුව ඇත්තේ රෝහලට වාහනවලින් අසාධ්‍ය රෝගීන් රැගෙන එන වාහන ගුවන් පාලමේ වාහන තදබදයට හසුවීමෙන් රෝගීන් ජීවිතවලට තර්ජන එල්ලවීමකි. රෝහලට එන වෛද්‍යවරුන්ගේ වාහනවලට මෙම තත්ත්වය උදාවීම වඩාත් අනතුරුදායක වී ඇත.

මෙම රෝහල් මංසන්ධියේ වාහන හරවා යැවෙන ‘වට රවුමක්’ හෝ සුදුසු විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කලෙක බලධාරින්ගෙන් කෙරෙන ඉල්ලීම ඵල රහිත වී ඇත.

බලධාරීන්ගේ අවධානයට මේ තත්ත්වය පිළිබඳව විමර්ශනයක් කර මෙම ගුවන් පාලමේ පවතින වාහන තදබදයට විසඳුමක් වශයෙන් විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන මෙන් මෙම ගුවන් පාලම හරහා නිතර ගමනාගමනයේ යෙදෙන වාහන හිමියන් වෙනුවෙන් ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම රාගම ශික්ෂණ රෝහලට රැගෙන එන අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත ගැන සිතා මේ ගැන අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් පවතී.

ඩික්සන් කොංගනීගේ
රාගම

සල්ලි හින්ද ද මේ දුක

$
0
0
ජුලි 13, 2018 01:00

මහන්සි වෙලා ගෙදර එන්න බස් එකට නැග්ගාම තුන්වන ලෝකෙ දියුණු වෙමින් පවතින රටක් විදියට අපේ රටේ මාර්ග තදබදය කියන්නේ හරි රසවත් දෙයක්. මොකද ඒ දේවල් අස්සේ අපිට හුඟක් දේවල් පේනවා. ඇත්තටම බස්වල මුදල් බලාපොරොත්තුවෙන් පොත් පත්, විවිධාකාරයේ බඩු බාහිරාදිය විකුණන එක, අත දරුවා පෙන්නලා මුදල් ඉල්ලන එක, ආදී විවිධ ස්වරූපවලින් පැමිණ මුදල් ඉල්ලීම අනුමත කළ හැකිද? සමහර ඒ කතා ඔවුන්ගේ ඇත්තම ජීවිත කතාව වෙන්නත් පුළුවන්.

ඇත්තටම බස් රථවලට ගොඩවෙන සමහර වෙළෙන්දන් මිනිසුන්ට නැතිවම බැරිය. මොකද පිපාසය, කුසගින්න වගේ රෝග ලොකු පොඩි හැමෝටම පොදු දෙයක්. ඉතින් ඒ වගේ වෙලාවකට අර ගොඩවෙන අපේ භාෂාවෙන් අමතන බඩඉරිඟුකාරයා, කඩලකාරයා දෙවිකෙනෙක් වගේ. ඒ වගේම හඳුන්කූරු පැකට් එකක්, දින දර්ශනයක් වගේ අරන් ඇවිත් ගත්තත් නොගත්තත් “අනේ මහත්තයාට නෝනට පිං සිද්ධවේවා” කියලා පතන සමහර මනස උසස් මිනිසුන් අතර විරිඳුවකින් සතයක්වත් නොදුන්න මනුස්සයාට වස් කවියක් කියාගෙනම යන තරමට සමහර මිනිසුන් පහත්.

මේ විසමාකාර ලෝකෙ නානාප්‍රකාර මිනිස්සු මැද්දේ, අගක් මුලක් නැති ප්‍රශ්නවල පැටලිච්ච මිනිස්සු තවත් පැටලිච්ච මනුස්සයෙක්ගෙන් උදව් ඉල්ලනවා. සමාජය මේ විදියට සංකීර්ණ පරස්පර වෙන්න, ඇති නැති පරතර හැදෙන්න හේතුව මොකක්ද? ඇත්තටම මේ ප්‍රශ්න කාසි හන්දද?

එහෙනම් අන්තිමට අහන්න තියෙන්නෙ ‘කාසි මැව්වේ කවුද දෙයියනේ දෙයියෝ මේවා මැව්වේ ඇයි අනේ?”

අයි. ආර්. ටී. පාරමිතා
කැලණිය

විභාග ප්‍රතිඵලයෙන් හිස්තැන් පුරවන්න

$
0
0
ජුලි 13, 2018 01:00

ග්‍රාම නිලධාරි සේවාවේ අධි ශ්‍රේණියට සීමිත පදනම වන උසස් කිරීම සඳහා 2011 වසරේ දෙසැම්බර් 16 දිනැති ගැසට් පත්‍රය මඟින් අයදුම්පත් කැඳවන ලද නමුත් එම විභාගය මෙතෙක් පැවැත්වූයේ නැත. නමුත් එම ගැසට් පත්‍රය මඟින්ම අයදුම්පත් කැඳවා තිබූ කුසලතා මත ග්‍රාම නිලධාරි සේවාවේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය මඟින් යම් පිරිසක් බඳවා ගන්නා ලදී. නමුත් එවකට සීමිත පදනම මත වන බඳවා ගැනීමේ විභාගය නොපැවැත්වීම නිසා යම් ග්‍රාම නිලධාරින් පිරිසකට අසාධාරණයක් සිදුවිය.

එවැනි තත්ත්වයක් තිබියදී 2016.08.26 දිනැති ගැසට් පත්‍රය මඟින් 2011.12.16 දින ගැසට් පත්‍රය අවලංගු කොට නැවත අයදුම්පත් කැඳවන ලදී. එමඟින් සීමිත පදනම මත ග්‍රාම නිලධාරි සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහා විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව එකී ගැසට් නිවේදනය පරිදි 104 ක නිලධාරින් පිරිසක් බඳවා ගැනීම පිණිස විභාගයෙන් සමත්ව සුදුසුකම් ලැබූ 136 ක පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා අවසන් කොට තිබේ.

නමුත් 2016.08.26 දිනැති ගැසට් නිවේදනය මඟින් අයදුම්පත් කැඳවා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වූ පරිපාලන ග්‍රාම නිලධාරි තනතුර සඳහා කුසලතා පදනම මත බඳවා ගැනීම පිණිස වූ විභාගයේ ප්‍රතිඵල නිකුත් කොට බඳවා ගැනීමේ කටයුතු මෙතෙක් සිදුකොට නොමැත. එබැවින් මෙම විභාගයට ද 2011 දී ගැසට් නිවේදනය මඟින් අයදුම්පත් කැඳවා සීමිත පදනම මත පරිපාලන ග්‍රාම නිලධාරි තනතුරට බඳවා ගැනීමේ විභාගයට අත්වූ ඉරණම අත්වේ‍දෝයි ග්‍රාම නිලධාරින් තුළ සැකයක් ඇති වී තිබේ. කුසලතා පදනම මත පරිපාලන ග්‍රාම නිලධාරි පුරප්පාඩු 71 ක් සඳහා නිලධාරින් මෙම විභාගයෙන් බඳවා ගන්නා බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එබැවින් මෙම විභාගයන් දෙකෙහිම ප්‍රතිඵල මත පරිපාලන ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම එක්වර සිදුකරන ලෙසත් 2016.08.26 සිට මේ දක්වා පුරප්පාඩු වී ඇති පරිපාලන ග්‍රාම නිලධාරි තනතුරු සඳහා මෙම විභාගයන් දෙකෙන්ම අදාළ අනුපාතය පරිදි විභාගය සමත්ව සුදුසුකම් ලැබූ ග්‍රාම නිලධාරීන් බඳවා ගන්නා ලෙසත් ගරු ස්වදේශ කටයුතු ඇමැතිතුමාගෙන් සහ එම අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිමු.

එබැවින් ඒ සඳහා 2016.08.26 දින ගැසට් නිවේදනයේ සඳහන් සීමිත පදනම මත හා කුසලතා මත බඳවා ගැනීමේ ‍යෝජිත පුරප්පාඩු ප්‍රමාණය ස‍ංශෝධනය කොට නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසත් වගකිවයුත්තන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එමගින් නුදුරු වසර කීපය තුළදී විශ්‍රාම යෑමට නියමිත විභාගය සමත් වූ ග්‍රාම නිලධාරින්ට යම් සාධාරණයක් ඉටුවන බව ගරු ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මැතිතුමාගේ සහ අමාත්‍යාංශ නිලධාරින්ගේ අවධානයට යොමු කරවනු කැමැත්තෙමි.

ලාල් ගොඩගේ - බටපොල

 

යාපා පටුනට ගිය පරණ කාර් පෙළපාලිය

$
0
0
ජුලි 13, 2018 01:00

දිනෙන් දින ලෝකයට එකතු වන නව තාක්ෂණය නිසා සෑම දෙයක්ම නවීකරණය වී ජනතාව අතරට පැමිණියත් – රටේ නම් අපේපැරණි දේවල්වලට හොඳ ඉල්ලූමක් තියෙනවා.

අපේ රටේ ඇන්ටික් කාර්වලට ඒවා නඩත්තු කරන්න නම් හොඳ ආදායම් පරිසරයක් තියෙන්න ඕනේ.

සමහර උදවිය තමන්ගේ පරණ කාර් එක නඩත්තු කරගන්න දෙතුන් දෙනෙක්වත් තමන්ගේ සේවයට තියාගෙන ඉන්නවා.

මොකද පරණ කාර් එක බලාගන්නවා කියන්නේ - දරුවෝ දෙතුන් දෙනෙක් හදාගන්නවා වාගේ කියලයි කියන්නේ.

දැනට අපේ රටේ තියෙන්නේ මීට අවුරුදු 100 විතර ආසන්න කාලයේ දී ලංකාවට ගෙනා අළුත් කාර්. ඒවා තමයි අද අපේ රටේ ඇන්ටික් කාර් වෙලා තියෙන්නේ.

අපේ රටේ තරම් සංගම් තියෙන රටක් ලෝකයේ නැතිව ඇති. හැබැයි පරණ කාර් සංගමයේ නම් වැඩි හරියක් ඉන්නේ අපේ රටේ ආර්ථිකය හසුරවන උදවිය ඒ කියන්නේ අපේ රටේ සල්ලි තියෙන පොහොසත් උදවිය කොළඹ ජීවත් වන මේ අයගේ පරණ කාර් සංගමය ආරම්භ කරලා අවුරුදු 30ක් වෙනවලූ.

සෑම අවුරුද්දකම මේ සංගමයේ අය පරණ කාර් ටික අරගෙන යන්න පුළුවන් තරමේ ගමනක් දෙකක් යනවා. මේ අය ගමන් යන්නේ සල්ලි හොයන්න නම් නොවෙයි. අතේ සල්ලි වියදම් කරගෙන තමයි. මේ අය ජනතාවටත් පොඩි ජොලියක් ලබා දෙන්නේ. පරණ කාර් එකක් අපේ පාරවල්වල යනකොට පාරේ යන එන හැම කෙනෙක්ම සතුටු වෙනවා අපේ රටේ පරණ කාර් දැකලා. ගෙදර උදවිය වගේම සේවකයෝ කිහිප දෙනෙක්ම මේ ගමනකට එක් වෙනවා.

මොකද කාර් එක මග හිටියොත් ගෙදර නෝනා නම් කාර් තල්ලූ කරන්න එන්නෙ නැති විත්තිය දන්න නිසා අනිවාර්යයෙන් කිහිප දෙනෙක් එක්ක අතිරේක අළුත් වාහනයකුත් මේ ගමනට එක් වෙනවා.

වින්ටේජ් ක්ලබ් එකට අවුරුදු 30 පිරෙන නිසා මේ අයට ඕන උනා ලොකු වැඩක් කරන්න. මොකද මේ කල්බ් එකේ ඉන්නෙත් අපේ රටේ ලොකු ලොකු වැඩ කරන උදවිය. අවුරුද්දකට සැරයක් ගාලූ පාර දිගේ ගාල්ලට යන මේ කට්ටිය මෙදා තීරණය කළා අතුරට යන්න. යාපනයට යනවයි කියන්නේ ලේසි වැඩක් නොවෙයිනේ. මේ යෝජනාවට සමහර සාමාජිකයෝ ටිකක් අදිමදි කළා. එච්චර දුර කොහොමද යන්නේ කියලා. සාකච්ඡා වට කිහිපයක් පැවැත් වුනා. කට්ටියක් වැඩේ අත්හැරියේම නැහැ.

පැරණි කාර් ක්ලබ් එකේ 20 දෙනෙක් මේ ගමනට කැමැත්ත පළකළා. ඔන්න දැන් වැඩේ හරි. පරණ මෝටර් සයිකල් කිහිපයකුත් ගමනට ලැහැස්තියි.

අපේ රටේ මාර්ගවල පවතින වාහන තදබදයක් එක්ක මේ පරණ කාර් පාරක යනවයි කියන්නේ හො`දටම අමාරු වැඩක්.

පසුගිය පෝය දිනයක් තමයි මේ ගමනට යොදා ගත්තේ. උදේ 07.00 වෙනකොට කොලඹ යාපනය ගමනට අවශ්‍ය බඩු මුට්ටුත් අරගෙන මේ අය නිදහස් චතුරස‍්‍රය ළ`ගට ඇවිත් හිටියා.

වසර ගණනාවක් පුරාම මේ කාර් ක්ලබ් එකත් එක්ක තිබිච්ච මගේ ෆොටෝ ගනුදෙනුව නිසා මේ ගමනට මටත් ආරාධනාවක් ලැබුණා.

හරියටම පෙ.ව 07.30 ට සුබ හෝරාවෙන් මේ කට්ටිය මේ ගමන ආරම්භ කළා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා තමයි මේ ගමනට සංඥාව නිකුත් කළේ. දැන් ඉතින් ගමනට පොලිසීයේ මහත්වරුන්ගේ සහයෝගයත් ලැබිලා. මේ අය බෞද්ධාලෝක මාවත - බේස්ලයින් පාර පෑලියගොඩ හරහා වත්තලට ළගා වුණා.

වත්තල නතර කර මේ අය උදේට ආහාර ගත්තා. වැඩි වේලාවක් නොගොස් මේ පරණ කාර් ටික කඳාන, ජාඇල, කොටුගොඩ හරහා මිනුවන්ගොඩට ළගා වුණා.

සමහර අය මිනුවන්ගොඩින් වාහනවලට තෙල් ගසා ගත්තා. මේ ගමනට එක්වෙලා හිටිය අලවත්තේගමගේ මයිනර් කාර් එක මග නතර වුනා. ගොඩදාගන්න බැලූවා. හරිගියේ නැහැ. මොනවා කරන්නද පාරේ ගිය මයිනර් එක දැන් කැරියර් එකක.

අනිත් වාහන ටික නම් මගතොටේ නතර කරමින් ඔන්න දැන් කට්ටිය නාරම්මලටත් ආවා. දැන් වේලාව 12.00 නාරම්මලින් පිටත්වෙලා මේ කට්ටිය දිවා ආහාරය සඳහා නතර කළේ කාටත් හිතවත් අවන්හලක.

මේ අය වගේම පරණ කාර් ටිකත් රත්වෙලා ටික වේලාවක විවේකයකින් පසු මේ අය නැවත පිටත් වුණා. මග දෙපස ඉන්න අයට හරි ජොලි. මොකද ජීවිතයටවත් නොදැකපු පරණ කාර් ටිකත් පේළියට එනවා.

සමහරුන් ෆෝන්වලින් ෆොටෝ ගන්නවා වීඩියෝ කරනවා වින්ටේජ් සාමාජිකයින්ටත් මේක අලුත්ම අත්දැකීමක් වුණා. මහව හරියේ දී මේ කට්ටිය සවස තේ බොන්න නතර වුණා.

කොළඹ සුවිසල් මහල්වල උදවිය මෙන්න බෝලේ ගමේ කඩේට ගිහින් ආප්ප කනවා. කඩේ මුදලාලි කෝප්ප ගෙනාවේ ගෙදර ගිහින් මොකද එක පාරටම 50ක් විතර ආවම කරගන්න දෙයක් නැති වුණා. කොහොම උනත් මේ කාර් දැකගන්න ගම්වල කට්ටිය කඩේ ළඟට පිරුණා.

පවුල් පිටින්ම ඇවිත් ෆොටෝ ගන්නවා. සමහරුන් එතන සිටම මුහුණු පොතට පරණ කාර් පින්තූර යවන හැටි දකින්න ලැබුණා.

මේ පරණ කාර් රැලිය පිළිබඳව ගුවන්විදුලි මාධ්‍ය මෙන්ම රූපවාහිනි මාධ්‍යද ප්‍රචාරයක් දී තිබුණ නිසා පාරවල් දෙපසත් ජනතාව රැ දී සිටියහ.

සවස් යාමයේ අනුරාධපුරයට ළගාවුණ මේ පරණ කාර් අනුරාධපුර පැරණි බස්නැවතුම අසල ජයවර්ධන මහතාගේ ෂෙඩ් එකේ නතර කළා.

ආපු අයට නතර වෙන්න තැන් දෙකක් වෙන්කර ගෙන තිබුණා. ආපු සියලු දෙනාම මහන්සි වී සිටිය නිසා වේලාසනින්ම තම තමන්ගේ කාමරවලට ගියා. අද අපේ‍්‍රල් 02 දා උදේ 8.00 වෙනකොට ෂෙඩ් එක ළග පරණ වාහන පේලිකර තිබුණත් යාපනය දක්වා යන ගමනේ 2 වන ආරම්භයටයි.

සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් හැටියට කටයුතු කරපු වෛද්‍ය කාලිංග ගිණිගේ මහතා මහතා ශ්‍රී ලංකා පොලිසීයට සම්බන්ධ නිලධාරියෙක් නිසා සෑම තැනකදීම පොලිසියේ සහයෝගය නොඅඩුව ලැබුනා. අනුරාධුපර දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඇතුළු නිලධාරීන් මෙම ආරම්භක අවස්ථාවට විශේෂ සහයෝගයක් ලබා දුන්නා.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද මැද පැරණ වාහන රැලිය ගමන ආරම්භ කළා. රඹෑව හන්දිය පසුකර යද් දී එක් රථයක රෝදයක් ගැල වී ගිය නිසා බලාපොරොත්තු නොවූ පරිදි සියලු දෙනාටම පැයකට ආසන්න කාලයක් අළුත්වැඩියාව වෙනුවෙන් නතර වෙන්න සිදුවුණා

".යාපනය බලා යන මේ සැට් එකේ හොඳ හොඳ බාස්ලා ඉන්නවා. කැඩිච්ච රෝදයේ එක් ඇණයක් සොයාගන්න බැරිවුනා. අපේ බාස්ලා ටික දන්න සෙල්ලම් දාලා අළුත් රෝදයක් සවිකළා. මේ ප්‍රශ්ණය නිසා ප්‍රමාදයක් සිදු වුණා. කියලා මේ අය සිතන්න නැතිව නැවත ගමන ආරම්භ කළා. ඊරට්ටපෙරියකැළුම් පොලිසීය ළ`ග දී මේ අයට තේ බොන්න නතර කළා.

ගිණිගේ මහත්තයා තමයි මේ කටයුත්ත සංවිධානය කරලා තිබුණේ. වවුනියාව නගරය මැදින් යනකොට මේ පරණ වාහනවලට ලැබුණ ප්‍රතිචාරය නම් කියලා වැඩක් නැහැ. පාර අයිනේ පාසල්වල දරුවන් පාසල් සීමාවේ එක්වෙලා ඔවුන්ගේත් සතුට තහවුරු කළා. දශක තුනකට පසු පළමු වතාවට තමයි උතුරේ දරුවන්ට මේ වගේ දෙයක් දැකගන්න ලැබුණේ. මේ අය ඒ කාලයටම කොළඹවත් දැක තිබුණේ නැහැ. කාලය ඉක්මණින් යන නිසා ම`ග තොටේ දී ඒ තරම් විවේකයක් ගැන සිතන්නැතිවම මේ අය ඉදිරියට ගියා.

මමත් පුළුවන් ආකාරයෙන් මේ සියලු සිදුවීම් ඡායාරූපවලට න`ගා ගත්තා. මටත් මේ ගමන අළුත් අත්දැකීමක් වුනා. මේ අය 02 දිනයේ දිවා ආහාරය ලබාගන්න සුදානම් කරලා තිබුනේ විශේෂ තැනක. කොළඹ යාපනය අතර ඇති සන්ධිස්ථානයක් තමයි කිලිනොච්චිය නගරය. දීර්ඝ කාලයක් පැවැති යුදමය තත්ත්වය නිසා උතුරට නොගිය අයට අද කිසිදු අවහිරයක් නොමැතිව යන්න එන්න පුළුවන් වාතාවරණයක් තියෙන නිසයි මේ වගේ රැලියක් සංවිධානය වුනේ.

කිලිනොච්චියේ දී දිවා ආහාරය ලබාගත් මෙම සාමාජික පිරිස සවස 6.00 පමණ වන විට යාපනයට ළඟා වුණා.

අලිමංකඩ දී රණවිරු හසලක ගාමිණී කුලරත්න ස්මාරකය අසල දී ටික වේලාවක් ගිමන් නිවාගනිමින් මේ අය කටයුතු කළා.

පරණ කාර් 20ක් ඇතුළු සියලු දෙනාගේ පැමිණීමත් සමගමේ පැරණි වාහන දැකබලා ගැනීමට මධ්‍යම රාත්‍රීය වන තෙක්ම යාපනයේ ජනතාව පැමිණීම හෝටලයටත් කදරයක් වී තිබුණා.

දශක තුනකට වැඩි කාලයක් දෙලොවක් අර ජීවත් වූ යාපනයේ ජනතාව මෙම පරණ වාහන ප්‍රදර්ශන රැළිය වෙනුවෙන් යාපනයේ දැනට ඇති ඉපැරණි වාහන හිමියන්ද එක් වීම සිදු වුනා.

මෙම වාහන හිමියන් යාපනය ගමනේ සිහිවටන මෙලෙස ඡායාරූපයට නගා ගත්තා. මෙම රැලිය කොළඹින් ආරම්භ කලත් මාතර මොවුන් සියලු දෙනාම නැවත කොළඹ බලා පිටත්වීමට ප්‍රථමයෙන් යාපනයේ නල්ලූර් කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගැනීමට අමතක කළේ නැහැ.

උතුරත් - දකුණත් අතර සංහිදියාව වර්ධනය කිරීම මූලික කරගෙන මෙම රැලිය සංවිධානය කළ බව කියමින් ඉපැරණි මෝටර් රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ප්‍රනාන්දු මහතා යාපනයේ දී මධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දුන්හ.

මෙදින සවස අනුරාධපුරයට ළගා වූ මෙම පිරිස ඔවුන්ගේ දරුවන් මෙන් රැකබලා ගන්නා ඉපැරණි මෝටර් රථ ආබාධවලින් තොරව නැවත කොළඹට රැගෙන ආවේ ජීවිතයටම ලැබුණ වරමක් භුක්ති වින්දා සේ මේ ගමනින් ඔවුන් ලැබූ අත්දැකීම් බොහෝය. වසර 70කට වඩා පැරණි වාහන තවමත් ඔරිජිනල් බව ඔවුන් පෙන්වා දුන්නේ අපේ රටට පමණක් නොව මුළු ලෝකයටමය.

මෙම පැරණි වාහන අපේ රටට සම්පතකි. එය ආරක්ෂා කර ගැනීමට අපි අපගේ ශක්තිය මෙලෙස පුද කරමු.

වසර ගණනාවක් පුරා පැවැති වින්ටේජ් සංගමයේ ආශාවන් මල්පල ගැන් වූ මෙම විශේෂ රැලියට සහභාගී වූ මාධ්‍යවේදියකු ලෙස අළුත් අත්දැකීම් සම්භාරයක් ලබාගෙන එය අනිකුත් අයටත් ලබා දීම සඳහා විශේෂයෙන් උදව් කළ එම සංගමයේ සභාපති නීල් ප්‍රනාන්දු මහතාටත්, භාණ්ඩාගාරික මහේන්ද්‍ර සමරසිංහ මහතාටත්, මාධ්‍ය ආවරණ වෙනුවෙන් විශේෂ සහායක් ලබාදුන් ඔටෝ මිහිරාජ් ආයතනයේ කාලිංග මහතාටත් විශේෂ ස්තූතිය පුද කරනවා.


බන්දුල අලහකෝන්

“වියත් මඟ” “හරි මඟ” සහ අතරමඟ

$
0
0
ජුලි 13, 2018 01:00

කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කර හා දයාන් ජයතිලක හරහා එළියට පනින විරෝධයේ පදනම අපට පහසුවෙන් අවබෝධ කර ගත හැකියි. එහි මතවාදී සහ සැබෑ පදනම වන්නේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රායෝගික දේශපාලනඥයන් විසින් මහත් ආයාසයෙන් නඩත්තු කළ ජන පදනම අන්තවාදීන් හා අවස්ථාවාදීන් විසින් ක්ෂණිකව ඩැහැගැනීමට ගන්නා උත්සාහයට එරෙහි විරෝධයයි. මේ විරෝධය මෝරා වැඩෙනු මිස සමහන් වී ගෝඨාගමනය තහවුරු වන බවක් අපට විශ්වාස කළ නොහැකියි.

2020 දී අපේ ජනාධිපතිතුමා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් නොවුණාට නම් ප්‍රශ්නයක් නැහැ බ්‍රෝ. ඒත් රෙද්දක් ඇඳගෙන අපේ ජනාධිපතිතුමා අමෙරිකන්කාරයෙක් කියලා කියන්නේ කොහොමද බ්‍රෝ. මේක පට්ට වැඩක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකු අධිපතිකම සිංගප්පූරු පුරවැසියෙකුට දුන්නා කියලා පට්ට කතා කියන උන් මහින්ද මහත්තයා ආරක්ෂක ලේකම්කම අමෙරිකන් පුරවැසියෙක්ට දුන්නා කියලා කටක් ඇරලා කියන්නේ නැති එකනේ බ්‍රෝ

මේ පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් වන කුමාර වෙල්ගම කළ කතාවට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන මගේ මිතුරෙක් මුහුණු පොතට එක්කළ ප්‍රතිචාරයක්. මෙහිදී ඔහු සඳහන් කළ මේ කෙටි ප්‍රතිචාරය තුළ හිතන්න බොහෝ දේ තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය සිංහල බෞද්ධ අන්තවාදීන්ට නම් ප්‍රශ්නයක්ව තිබෙන බවක් පේන්නම නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්නය (නඩු කන්ද වගේම) විසඳා ගැනීම කාලයාට භාරදීලා ගෝඨාභය රාජපක්ෂ මහතා කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට සිංහල බෞද්ධ සමාජය තුළ ඇවිළෙමින් තිබෙන ගින්න ගැන අපි අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ පසුගිය රාජපක්ෂ දශකය තුළ රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් පමණක් සිටිමින් මේ රටේ සැලකිය යුතු පිරිසකගේ ඉරණම තීරණය කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට වඩා විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත ජාතියේම ඉරණම තීරණය කරන්නා බවට වන නිසයි.

ගෝඨාභය ගැන අභ්‍යන්තර විවේචන

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් තම ඉදිරිපත් වීම ගැන අදහස එළිපිට ප්‍රකාශයට පත් කිරීම සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාට විවිධ පාර්ශ්වයන් වෙතින් දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී දැකිය හැකි වූ විශේෂත්වයක් වන්නේ එජාපය, ශ්‍රීලනිපය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව තුළින් මේ ප්‍රහාර එල්ල වීම වෙනුවට ඒකාබද්ධ විපක්ෂය, පොහොට්ටුව සහ දැඩි මහින්ද රාජපක්ෂවාදීන් වෙතින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රබල ප්‍රහාරයක් සහ විවේචනයක් එල්ලවීමයි. එහිදීත් මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් සමීපතමයන් රැසක් දැඩි ගෝඨා විරෝධයක සිටින බවක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වුණා.

“මේ රටේ ජනාධිපති වෙන්න නම් අඩුම ගානේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න ඕනෑ. එහෙම කෙනෙකුට විතරයි ජනතාවගේ ප්‍රශ්න, දුක තේරෙන්නේ” ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් වගේම කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයෙක් වන කුමාර වෙල්ගම මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී මේ ආකාරයෙන් අවධාරණය කොට තිබුණ ඒකාබද්ධ විපක්ෂයේ තවත් ප්‍රබලයෙක් වගේම දැඩි මහින්දවාදියෙක් වන වාසුදේව නානායක්කාර මහතා අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ලංකාවට හිට්ලර් කෙනෙක් ගැළපෙන්නේ නැති බවත් 2020 දී ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා විය යුත්තේ මධ්‍යස්ථ මතධාරියෙක් වන, සියලු ජන කොටස්වල සහාය ලබා ගත හැකි, දූෂණ චෝදනා නැති චමල් රාජපක්ෂ මහතා බවයි. මේ අතර තවත් දැඩි මහින්දවාදියෙක් වන ප්‍රවීණ දේශපාලන විචාරකයෙක් වන දයාන් ජයතිලක මහතා ද පසුගියදා අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතට යම්කිසි ආකාරයකින් බලය ලැබුණොත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අර්බුදයකට ලක්වන බවයි.

ඉතාම කෙටි කාලයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි දැඩි ප්‍රහාරාත්මක විවේචන රාජපක්ෂ කල්ලිය තුළින්ම එල්ලවීම දේශපාලනඥයන්ගේ පමණක් නොවෙයි පොදු ජනතාව අතර ද දැඩි විමතියක් ඇති කිරීමට හේතු වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ කම්පනය දැඩි රාජපක්ෂවාදීන්ට වඩා මධ්‍යස්ථ ජනතාව අතර දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු වෙලා තිබෙනවා.

අනුකම්පා විරහිත පුද්ගලයෙක්

ගෝඨාගමනය ගැන ප්‍රජාතන්ත්‍රවාදී හා සුළුජන සමාජය තුළ දැඩි කම්පනයක් හා භීතියක් ඇතිවීම හුදු අහඹු සිදුවීමක් වශයෙන් අපට සැලකිය නොහැකියි. මේ සඳහා බලපෑ දීර්ඝ කාලීන හේතු රැසක් පැහැදිලිව හඳුනා ගත හැකිව තිබෙනවා. ඒ අතර ප්‍රධාන වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනය හා එකී දර්ශනය පෝෂණය කිරීමට පදනම් වන කල්ලිය විසින් පසුගිය කාලය තුළ භාවිතයෙන්ම රට හමුවේ නිර්මාණය කළ භීතියයි. මේ තත්ත්වය අපට කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර සහ දයාන් ජයතිලක මහත්වරුන්ෙග් ප්‍රකාශ හරහා පැහැදිලි කරගත හැකියි.

මෙහිදී පොදුජන සමාජයේ බොහෝ දෙනකුගේ සාකච්ඡාවට ලක්වෙලා තිබෙන්නේ කුමාර වෙල්ගම මහතා කළ සංවේදී කතාවයි. කුමාර වෙල්ගම මහතා කියන්නේ දීර්ඝ කාලීනව තෘණ මූල මට්ටම (ගමේ ගොඩේ ජනතාව) සමඟ සමීපව දේශපාලනය කළ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ප්‍රායෝගික දේශපාලනඥයෙක් වීම තුළයි ඔහුගේ ප්‍රකාශයට වැඩි වටිනාකමක් හිමිවෙලා තිබෙන්නේ. කුමාර වෙල්ගම මහතා අවධාරණාත්මකව ප්‍රකාශ කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රායෝගික දේශපාලනය ගැන කිසිදු ආකාරයක අත්දැකීමක් නැහැ. ඒ නිසා ඔහුට කිසිදාක සාමාන්‍ය ජනතාවගේ ආකල්ප, දුක වටහා ගැනීමට හැකියාවක් නැහැ.

කුමාර වෙල්ගම මහතාගේ තනි පෞද්ගලික ප්‍රකාශයක් ලෙස මෙය සමාජගත වුවත් බොහෝ දෙනෙක් කියන්නේ මේ ප්‍රකාශය බැසිල් රාජපක්ෂ මහතා සමඟ දේශපාලනය කළ පාර්ශ්ව විසින් ද දරන පොදු අදහස බවයි. මේ වන විට එජාපය තුළ ද නායකත්වය සම්බන්ධ තෘණ මූල මට්ටමේ පාක්ෂිකයන් අතර සිදුවන සංවාදයට හේතු වෙලා තිබෙන කරුණම ඒකාබද්ධ විපක්ෂය තුළත් ගැටලුවක් බවට පත් නොවිය යුතු බවයි බැසිල් රාජපක්ෂ මහතාගේ වෘත්තීය දේශපාලනඥයන් වශයෙන් සැලකිය හැකි බිම් මට්ටමේ සක්‍රීය හා බලවත් කණ්ඩායමේ අදහස . ඒ බව බැසිල් රාජපක්ෂ මහතා ද ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයන්ගේ කතා සියුම්ව නිරීක්ෂණය කරන විට අපට පහසුවෙන් වටහා ගත හැකියි.

පොදු ජනතාවගේ දුක හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන චෝදනාව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වඩාත් අදාළයි. ඒ බව ඔහු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් බලයේ සිටියදී කොළඹ මුඩුක්කු හා වතු ජනතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ අනුකම්පා විරහිතභාවය තුළින් සේම රතුපස්වල, වැලිකඩ, කටුනායක, හලාවත ඇතුළු පොදුජන ගැටුම් මර්දනය කිරීමට යොදා ගත් දැඩි මර්දනකාරී පිළිවෙත මගින් මනාව පැහැදිලි කර තිබෙනවා. අද අන්තවාදීන්ගේ ප්‍රීතියට හේතු වෙලා තිබෙන මේ අනුකම්පා විරහිතභාවයෙන් වින්දිතයන් බවට පත් වුණු ජනතාවගේ නම් ප්‍රීතියට හේතු නොවුණු බව පසුගිය ජනාධිපතිවරණයේදී මනාව පැහැදිලි වුණා. අද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රාජපක්ෂ කල්ලිය තුළින්ම ක්‍රමයෙන් මෝරා එන විරෝධයට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ අනුකම්පා විරහිතභාවය ද ඇතුළත් කරුණු එකතුවයි.

ගෝඨාභයට දිනන්නම බැහැ

මීළඟට වාමංශික දේශපාලනඥයෙක්, මහින්දවාදියෙක් සේම දැඩි එජාප විරෝධියෙක් වශයෙන් ප්‍රකට වාසුදේව නානායක්කාර මහතා වෙත අපගේ අවධානය යොමු කළ යුතුයි. වාසුදේව නානායක්කාර මහතා හිට්ලර් සම්බන්ධයෙන් වන අන්තවාදී කැමැත්තට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූවා පමණක් නොව එවැනි මිලේච්ඡ පාලකයෙක් යළි බිහි නොවිය යුතු බවට ප්‍රාර්ථනයක් ද කළා. මේ ප්‍රකාශය අන්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ ප්‍රබල විවේචනයට ලක් වුණත් එම ප්‍රකාශයට ප්‍රබල සමාජ වටිනාකමක් හිමි වුණා.

ඒ අතරේ වාසුදේව නානායක්කාර මහතා පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අසාර්ථක වන අනාවැකි (නියත) තුනක් අවධාරණය කළා.

මධ්‍යස්ථ මතධාරියෙක්
සියලු ජන කොටස්වල සහාය ලබාගත හැකි පුද්ගලයෙක් දූෂණ චෝදනා නැති පුද්ගලයෙක්

කුමාර වෙල්ගම මහතාට වඩා වෙනස් දේශපාලනයක් කරන වාසුදේව නානායක්කාර මහතා හඳුනාගෙන ඇති ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉහත සඳහන් සුදුසුකම් කිසිවක් නැහැ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ හා මිලිටරි අන්තවාදීන්ගේ සහ දේශපාලන අවස්ථාවාදීන්ගේ ගොදුරක් බවට පත්ව සිටින නිසයි. මේ තත්ත්වය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැනි කණ්ඩායම් විසින් නායකත්වය දෙන බොදුබල සේනා, රාවණා බලය ඇතුළු ප්‍රසිද්ධ බෞද්ධ අන්තවාදී බලවේගවල සිට හිට්ලර් ගැන සිහින දකින වෙඬරුවේ උපාලි හිමියන් දක්වා වන බෞද්ධ අන්තවාදීන්ගේ ද මිලිටරි අන්තවාදීන්ගේ එකතුවක් වශයෙන් සැලකිය හැකි “වියත් මඟ ” “එළිය” “හරි මඟ” දක්වා පුළුල් වෙනවා.

අනෙක් අතින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයේ සිටියදී තම සහාය හා ආශිර්වාදය දැක්වූ දේශපාලනඥයන් සම්බන්ධයෙන් ද දැඩි මැසිවිල්ලක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් තුළ තිබෙනවා. ඔවුන්ට අනුව අමාත්‍යාංශ ලේකම්වරයෙකුට දේශපාලන කටයුතු සඳහා සක්‍රීය මැදිහත්වීම නීති විරෝධී තත්ත්වයක් තුළ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා, ගම්මන්පිල ආදීන්ගේ මැතිවරණ වේදිකාවලට නැඟ තිබුණා. ඒ වගේම බොදුබල සේනා ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට නොනිල හා නිල අනුග්‍රහය ලබාදී තිබුණ.

ඉහත සඳහන් කළ ආගමික හා මිලිටරි අන්තවාදි කල්ලි සමඟ පමණක් එක්ව කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට සියලු ජන කොටස්වල සහාය ලබා ගැනීම සිහිනයක් පමණක් බවයි වාසුදේව නානායක්කාර මහතාගේ අදහස්වල පොදු හරය වන්නේ. එහිදී වාසුදේව නානායක්කාර මහතා නොකියා කියන ප්‍රකාශය වන්නේ සුළුජන කොටස්වල සේම වාමාංශික පක්ෂවල සහාය ලබා ගැනීමට නොහැකි අපේක්ෂකයෙක් 2020 දී නියත පරාජයකට මුහුණ දෙන බවයි. සාමාන්‍ය දේශපාලන දැනුමක් ඇති අයෙකුට වුවත් වාසුදේව නානායක්කාර මහතා කරන මේ අනතුරු ඇගයීම සත්‍ය බව මනාව පැහැදිලි වෙනවා. ඒ යළිත් 2010 දී මෙන් තනි අශ්වයාගේ තරගයක් ලංකාවේ මැතිවරණ තුළ යළි කිසිදා උදා නොවන නිසයි.

වාසුදේව නානායක්කාර මහතා කරන අනතුරු ඇඟවීම තුළ පොදුවේ ජනමතය කෙරෙහි ප්‍රබල බලපෑමක් කළ හැකි උගත් මධ්‍යම පන්තියේ ඡන්ද කෙරෙහි වඩාත් සංවේදී වන්නේ තෙවැනි කරුණයි. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ දශකය තුළ සාමාන්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකුට කිසිදා එල්ල නොවූ තරමේ දූෂණ චෝදනා එල්ල වී තිබෙන නිසයි. ප්‍රකට මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ චෝදනා, ඩී.එම්. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම පමණක් නොවෙයි කතරගම මාළිඟාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද රාජපක්ෂ මහතාට මූල්‍ය හා බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් දැවැන්ත චෝදනා තිබෙනවා. පසුගිය කාලය පුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති ප්‍රකට චෝදනා වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වැලිකඩ රිමාන්ඩ් සිරකරුවන් ඝාතනය, රතුපස්වල, කටුනායක ආදි සිවිල් ජන ඝාතන ද ඇතුළත් කළ විට මධ්‍යස්ථ ජනතාව තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ඇති චිත්‍රය කිසිසේත් වෙඬරුවේ උපාලි හිමියන් ඇතුළු කණ්ඩායම් තුළ තිබෙන විචිත්‍ර චිත්‍රය තරම් සුන්දර නැහැ.

දයාන් ජයතිලක මහතා විසින් ද ඉදිරිපත් කර ඇති විවේචනයේ පොදු හරය ඉහත සඳහන් කළ ඒවා හා සමපාත තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොදුවේ නිර්මාණය කළ හැකි චිත්‍රය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හෝ සුළු ජාතීන්ගේ හිතසුව පිණිස නම් හේතු වන්නේ නැහැ.

පොහොට්ටුවේ සරණ යාම

මේ තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අපූරු තීන්දුවක් පසුගියදා ගත්තා. ඒ පොහොට්ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු කිහිප දෙනකු අමන්දානන්දයට පත් කරමින් පොහොට්ටු කාර්යාලයට පැමිණීමයි. ඇතැම් දේශපාලන විචාරකයන් මේ තත්ත්වය අති උත්කර්ෂවත් සිදුවීමක් ලෙස ඔසවා තැබීමට කැමැත්තක් දැක්වුවත් පොදුවේ මේ තත්ත්වය සැලකෙන්නේ දේශපාලන සටකපටකමක් නැතහොත් අවස්ථාවාදී පියවරක් ලෙසයි. ඊට හේතුව වන්නේ අන්තවාදීන් හා අවස්ථාවාදීන් සමඟ කල්ලි ගැසී ගෝඨාභය රාජපක්ෂ මහතා කාලයක් පුරා රහසේ කළ රංගනය තවදුරටත් රහසේ කළ නොහැකි තත්ත්වය පත්ව තිබීමයි. කඩිනම් තෝරා ගැනීමක් වෙත යාමට බල කරන ප්‍රායෝගික අභියෝග රැසක් දිනෙන් දින වර්ධනය වීමයි.

මේ තත්ත්වය අපට වටහා ගත හැකි වන්නේ රෙජිම මාධ්‍ය විසින් පුන පුනා අවධාරණය කරන රාජපක්ෂ පවුල් ගැටුම හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය තුළ ක්‍රමයෙන් මෝදු වෙමින් පවතින විරෝධය යටත් පත් කිරීමට ගන්නා වෑයම හඳුනා ගැනීම තුළයි.

එහිදී ප්‍රථමයෙන් හඳුනා ගැනීමට හැකි වන්නේ “එළිය” “වියත් මඟ” සහ “හරි මඟ” වැනි කල්ලි සහ කණ්ඩායම් සමඟ ජනාධිපතිවරණයක් වැනි ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීම තවදුරටත් කළ නොහැකි දෙයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා වටහාගෙන ඇති බවයි. ඊට හේතුව වන්නේ මේ කුමනාකාර නාම යටතේ තැන් තැන්වල වැඩමුළු, සංවාද පැවැත්වුව ද මේ කණ්ඩායම් ත්‍රිත්වයම නියෝජනය කරන්නේ එකම පිරිසක් පමණක් වීමයි. ඒ තුළ පසුගිය කාලය පුරාම ගොනුව සිටින්නේ අන්තවාදී විශ්‍රාමික මිලිටරි නායකයන් (ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී විවිධ වරප්‍රසාද ලැබූ) කණ්ඩායමක් සහ විද්වතුන්යැයි කියා ගන්නා, පසුගිය රාජ්‍ය පාලනය තුළ ඍජුව වරප්‍රසාදලාභීන්ව සිටි නාලක ගොඩහේවා වැනි කණ්ඩායම් ද තවත් වරප්‍රසාදලාභී භික්ෂූන් වහන්සේලා පිරිසක් ද පමණයි. මදක් අවධානයෙන් බැලූ විට අපට පැහැදිලි වන්නේ මේ කිසිදු කණ්ඩායමක් පසුගිය කාලය තුළ මතවාදීව හෝ පිරිස් බලයෙන් පුළුල්වීමක්, අලුත්වීමක් සිදු නොවූ බවයි. එකම කල්ලියක් විවිධ නම් හා තනතුරු යටතේ ප්‍රකාශ නිකුත් කිරීමට වඩා දෙයක් නොවූ බවයි. මේ තත්ත්වය තුළ තවදුරටත් වියත් මඟ සමඟ හරි මඟ ගොස් එළියක් දැකීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් නොමැති බව පැහැදිලියි.

පලා බෙදීම ජයටම

එහෙත් මේ තත්ත්වය තුළ තම පැවැත්ම හා තත්ත්වය අභියෝගයට ලක්වීම පසුගිය දශක ගණනාවක් පුරා වෘත්තීය දේශපාලනඥයන් වශයෙන් ක්‍රියා කළ හිටපු ශ්‍රීලනිප හා මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව ගනුදෙනු කළ වාමාංශික නායකයන්ගේ තෘප්තියට හේතුවී නැති බව නම් අපට පැහැදිලියි. ඔවුන් එළියෙන් පොහොට්ටුවට සිදුවන මේ ගෝඨාගමනය සලකුණු ඇත්තේ තමන් එළියට විසිවීමක් විදිහටයි. ඔවුන් හැකි සෑම අවස්ථාවක්ම නිර්මාණශීලීව යොදා ගනිමින් ගෝඨාගමනයට එරෙහිව පලා බෙදීමක් කරන්නේ මේ නිසයි.

මේ තත්ත්වය කොතරම් සංකීර්ණ වී තිබේද යන්න ගෝඨාගමනය ගැන මත මුනිවත බිඳිමින් මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය හරහා අපට වටහා ගත හැකියි. “මේ කවුරු ආවත් ක්‍රියාත්මක කරන්නේ මගේ මහින්ද චින්තනයම තමයි” කියමින් මහින්දවාදීන්ට ගෝඨාගමනය ගැන චරිත සහතික නිකුත් කිරීමට සිදුව ඇත්තේ මේ අසහනාත්මක තත්ත්වය මනාව හඳුනාගෙන ඇති නිසයි. ඒ නිසා කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කර හා දයාන් ජයතිලක හරහා එළියට පනින විරෝධයේ පදනම අපට පහසුවෙන් අවබෝධ කර ගත හැකියි. එහි මතවාදී සහ සැබෑ පදනම වන්නේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රායෝගික දේශපාලනඥයන් විසින් මහත් ආයාසයෙන් නඩත්තු කළ ජන පදනම අන්තවාදීන් හා අවස්ථාවාදීන් විසින් ක්ෂණිකව ඩැහැගැනීමට ගන්නා උත්සාහයට එරෙහි විරෝධයයි. මේ විරෝධය මෝරා වැඩෙනු මිස සමහන් වී ගෝඨාගමනය තහවුරු වන බවක් අපට විශ්වාස කළ නොහැකියි. මන්ද යුද ජයග්‍රහණයේ ගෞරවය කොල්ල කෑවා සේ දේශපාලන ජයග්‍රහණයක් කොල්ලකෑම පහසු නොවන නිසයි.

සටහන - භාතිය බරුකන්ද

Viewing all 10762 articles
Browse latest View live