Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මාධ්‍ය ජයග්‍රහණය; ආයෝජන දොරටුවට යතුරක්

$
0
0
මැයි 8, 2018 01:00

 ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව පසුගිය සතියේ නැවත වරක් ගෞරවයට පාත්‍රවිය. ඒ 2018 ලෝක පුවත්පත් නිදහස පිළිබඳ 2018 දර්ශකයේ වාර්තාවෙනි. එම දර්ශකයේ සඳහන් රටවල් 180 අතරින් ශ්‍රී ලංකාව මෙවර 131 වන ස්ථානයට පැමිණියා ය. 2017 වාර්තාවට සාපේක්ෂව එය දර්ශක ඒකක 10ක් ඉදිරියට ගමන් කිරීමකි.

රටවල් 180 අතරින් අන්තිම රට උතුරු කොරියාවයි. එරිට්‍රියාව 179 වන ස්ථානයට පත් රටයි. ටර්ක්මේන්ස්තාන් රාජ්‍යය 178 වන ස්ථානයට පත් අතර සිරියාව 177 වන ස්ථානයට පත්ව ඇත. චීනය ස්ථානගතව ඇත්තේ 176 වන ස්ථානයේ ය.

නෝර්වේ රාජ්‍යය අංක 01 ටත්, ස්වීඩන් රට දෙවන ස්ථානයටත්, නෙදර්ලන්තය තුන්වන ස්ථානයට හා අමෙරිකා එක්සත් ජනපදය 45 වන ස්ථානයටත් මහා බ්‍රිතාන්‍ය 40 වන ස්ථානයට ස්ථානගතවීමත් මෙවර වාර්තාවේ විශේෂිත කරුණුය.

එම වාර්තාව පවසන අන්දමට ශ්‍රී ලංකාවේ දූෂණ ගැන සහ සෙසු සංවේදී කරුණු පිළිබඳව කිසිදු බියකින් තොරව කටයුතු කිරීමට දැන් මෙරට මාධ්‍ය‍වේදිනට අවස්ථාව සැලසී තිබේ. එසේම හමුදාව මිනිස් අයිතිවාසිකම් කඩකරන්නේ නම් ඒ ගැනද බියෙන් තොරව කටයුතු කිරීමට මාධ්‍යයට දැන් නිදහස හිමිව ඇත.

මාධ්‍ය නිදහස

ආසියා කලාපීය රටවල් අතර භූතානය 94 වන ස්ථානයටත්, ඉන්දියාව 138 වන ස්ථානයටත්, පාකිස්ථානය 139 වන ස්ථානයටත්, නේපාලය 106 වන ස්ථානයටත් ළඟා වී තිබේ.

2015 දේශපාලන පරිවර්තනය සමඟ ඇති වූ නව ආණ්ඩුව ප්‍රකාශයට පත් කෙළේ 2015 ට පෙර සිදු වූ පුවත්පත්කලාවේදීන්ගේ අබිරහස් මරණ පිළිබඳව පරීක්ෂණ අරඹන බවයි. ඒ අනුව එබඳු සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ ඇරැඹිණ. ඇතැම් සිද්ධීන් අධිකරණය හමුවේය. අද පුවත්පත් කලාවේදිනට නිදහසේ කටයුතු කළ හැකි වාතාවරණක් පහළ වී තිබේ. තොරතුරු දැනගැනීමේ පනතක් සම්මතව තිබේ. මේ අන්දමේ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට නිදහස් මාධ්‍ය දර්ශකයේ ඉදිරියට පැමිණීමට අවස්ථාව ලැබුණි.

ඉන්දියාව 2018 වාර්තාවේ එක ලකුණකින් පසුපසට තල්ලු විය. එම තල්ලුවීමට හේතු වූයේ ඉන්දියාවේ කාශ්මීරය පිළිබඳ ප්‍රතිපත්ති‍ෙය් කොටසකි. කාශ්මීරයේ රාජකාරි කරන පුවත්පත් කලාවේදීන් සඳහා ඉන්දියාව යම් යම් තහංචි පනවා තිබේ. නීතිවලට පරිභාහිරව ක්‍රියාත්මක කෙරෙන දේ ද තිබේ. එසේම මාධ්‍යවේදිනියකගේ මරණයක් ද වාර්තා විය. මේ හේතු නිසා ඉන්දියාව නිදහස් මාධ්‍ය දර්ශකයේ පසුපසට තල්ලුවීමට සිදුවීම ඉන්දියාවේ ප්‍රතිරූපයට හානි සිදුවීමක් ලෙස දැනටම අර්ථකථන ඉදිරිපත් වේ.

නිදහස් මාධ්‍ය දර්ශකයේ නිර්නායක කීපයකි. පුවත්පත් කලාවේදින් ඇතුළු සෙසු මාධ්‍යවේදින්ගේ වෘත්තිය නිදහස, දූෂණ හා අක්‍රමිකතා හෙළිපෙහෙළි කිරීම, ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම, නීති රීති මඟින් නිදහස සීමා කිරීමට තැත් කිරීම එවැනි නිර්නායක කීපයකි. මේ නිර්නායක සපුරාලීම ශ්‍රී ලංකාවට ලැබුණු ‘චරිත සහතිකයට’ හේතු පාදක විය.

මාධ්‍යයේ නිදහස ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක ලක්ෂණයක් ලෙස සැලකීම අද පවතින තත්ත්වයයි. ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික සංවර්ධනයේ මුදුන් මුල් බවට සැලකෙන නිදහස් වෙළඳාම, ඍජු විදේශ ආයෝජනය, වෙළෙඳ ගිවිසුම් අස්සන් කිරීම යනාදිය සමඟ එකට එක්ව ගමන් කරයි.

එසේම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන සංස්ථා සමඟ නිදහස් මාධ්‍යද එක පෙළට සිටගනියි. 2018 ශ්‍රී ලංකාව 131 වන ස්ථානයට පත්වුවත්, 2017 එය සිටියේ 141 වන ස්ථානයේ ය. 2016 වසරේ සිටියේ ද එම ස්ථානයේ ය. එහෙත් 2015 ස්ථානගතව තිබුණේ 165 වන ස්ථානයේය. මේ අනුව බලන කල ශ්‍රී ලංකාව 165 වන ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ තිබේ. මෙය ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණයකි.

2016 ජුනි මස පුවත්පත් කලාවේදී ප්‍රෙඩී ගමගේට පහරදීමේ සිද්ධිය, වෙබ් පුවත් අඩවි ලියාපදිංචිය ද 2018 වාර්තාවේ අසතුට පළ වූ සිද්ධීන් ලෙස මේ වාර්තාවේ සඳහන් ය.

නිදහස් මාධ්‍ය සහ රටක ආර්ථික සංවර්ධනය අතර සහ සම්බන්ධතාව විවිධ විද්‍යාර්ථින් විසින් කරන ලද හැදෑරීම් රාශියක් ප්‍රසිද්ධව තිබේ. ඒවා සමහරක් අන්තර්ජාලයේ ද ඇතුළත් ය. අබ්දුල්ලා අලාම් සහ සේඩ් සුල්ෆිකාර් අලි ෂා යන පකිස්ථානු විද්‍යාර්ථින් දෙදෙනාගේ වාර්තාව රටක මාධ්‍ය නිදහස මඟින් ඒ රටේ සැබෑ තත්ත්වය හෙළිවන බව කියයි. එම කරුණ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණයට හේතුවන බවත් එය ඍජුවම සඳහන් කර තිබේ.

දූෂණ හෙළිදරව්

එසේම නිදහස් මාධ්‍ය, ජ නතාව සහ රජය අතර ඇති හිඩැස් පුරවන බවත් සඳහන් කරයි. (මේ හැදෑරීම අන්තර්ජාලයට ඇතුළත් කර ඇත.) නිදහස් මාධ්‍ය සහ ආර්ථික සංවර්ධනය එකට ගමන් කරන බව මෑත යුගයේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ අමරිකා සෙන් ද පවසයි.

සංවර්ධනය වන රටවලට ඇති එක් ප්‍රධානම බාධාවක් නම් දූෂණයයි. බලය දූෂණයට මඟපාදයි. අසීමිත බලය අසීමිත දූෂණයට මඟපාදයි යනුවෙන් ඇක්ටන් සාමිවරයා කළ ප්‍රකාශයෙන් ද බලය හා දූෂණය අතර සබඳතාව පෙන්නුම් කරයි. දූෂණය හෙළිකිරීම ද නිදහස් මාධ්‍ය මඟින් සිදුවේ. දකුණු කොරියාව, මැලේසියාව සහ දකුණු ඇමරිකානු රාජ්‍ය නායකයන් රැසකගේ දූෂණ හෙළි කෙළේ නිදහස් මාධ්‍ය මඟිනි. ශ්‍රී ලංකාවේ මාධ්‍යද දූෂණ විරෝධී සටනට දායකත්වය සපයයි.

ශ්‍රී ලංකාව මේ ගෞරවයට පාත්‍රවන විට ආසියා සංවර්ධන බැංකුව මැනිලා නුවරදී සිය සැසිවාරයක් අරඹයි. එම සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා මුදල් ඇමැතිවරයාය. මුදල් ඇමැතිවරයා මෙන්ම ඔහු ජනමාධ්‍ය ඇමැතිවරයා ද වෙයි.

රටවල් 67ක ආර්ථික මහා මොළකාරයෝ මේ සිව්දින සමුළුවට සහභාගිව ගෝලීයකරණය හා රැකියා උත්පාදනය සංවර්ධනය වන ආසියාතික රටවලට බලපාන අන්දම ගැන සාකච්ඡා කරති. ආසියාව උතුරු ඇමරිකාව සහ යුරෝපයට අයත් බහුජාතික ආයෝජකයෝ 4000ක් පමණ ද මේ සමුළුවට සහභාගි වෙති. එසේම ජාත්‍යන්තර මාධ්‍ය නි‍යෝජිතයෝද මේ සමුළුව ආවරණය කරති.

ආසියාවේ රටවල් මුහුණදෙන බරපතළම ප්‍රශ්නයක් නම් යටිතළ පහසුකම් සපුරා ගැනීමයි. ඒ සඳහා වාර්ෂිකව ඇ.ඩොලර් ට්‍රිලියන 1.7ක් තරම් වන දැවැන්ත ආයෝජනයක් අවශ්‍ය වේ. ඒ සඳහා අන්තර්ජාතික සහයෝගය දිනාගැනීම ද සමුළුවේ තවත් අරමුණකි.

ආයෝජන සුදුසුකම්

ජාත්‍යන්තර සමුළුවලට ශ්‍රී ලංකාවේ දොර වැසුණු අවස්ථා තිබුණි. දැන් ඒ තත්ත්වය පහව ගොසිනි. වෙනදා ශ්‍රී ලංකා නියෝජිතයන් සහභාගි වූ සමුළු ඉදිරිපිට ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා පැවැත්විණ. සංවර්ධනය වන රටක් ලෙස ශ්‍රී ලංකාවට ආසියා සංවර්ධන බැංකු සමුළුව වැනි සමුළුවලට සහභාගිවීමට සුදුසු ජාත්‍යන්තර පසුබිමක් දැන් සකස්ව තිබේ.

අප්‍රිකාවේ මාධ්‍ය නිදහස අතින් 2018 පෙරමුණට පත් වූ ඝානාව පවසන්නේ දැන් තමන්ට ලෝකය ඉදිරියේ ගෞරවාන්විත පිළිගැනීමක් ලැබුණු බවයි. ශ්‍රී ලංකාවට ද ඒ කතාව සාධාරණය.

ආර්ථික සංවර්ධනයේදී ව්‍යාපාරික ප්‍රවෘත්ති ගලනය අද ඉතා වේගවත්ය. ඇමෙරිකාව සහ චීනය අතර සිදුවන වෙළෙඳ සාකච්ඡා ගැන ලෝකයම බලා සිටී. මෙතරම් වේගයෙන් ව්‍යාපාරික ඕපාදූපවලට ආර්ථික වටිනාකමක් ඇති වූ යුගයක් ද තවත් නැත.

17 වන සියවසේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ පෙරදිග ඕලන්ද වෙළෙද සමාගමට යුරෝපයේ වෙළෙඳ තොරතුරු හා දේශපාලන පෙරළි ගැන වාර්තා දැන ගැනීමට මාස 6 ක කාලයක් ගතවී යැයි වාර්තාගතව තිබේ.

දැන් ව්‍යාපාරික ලෝකය ආයෝජනය සඳහා සුදුසු රටවල් තෝරාගන්නේ විවිධ දර්ශක අනුසාරයෙනි. එම දර්ශක හැදෑරීමට ඩිජිටල් තාක්ෂණය යොදාගැනේ. චීනය සහ වියට්නාමය සිය වාණිජ කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණයට මුල් තැන දෙයි.

ව්‍යාපාර නැඟීම

ශ්‍රී ලංකාව සිය ව්‍යාපාරික දර්ශක ඉහළ නංවා ගැනීමේ සටනක නිරතව සිටී. ඊස් ටු ඩූ බිස්නස් දර්ශකයේ 70 ආසන්නයට පිවිසීම ශ්‍රී ලංකාවේ අභිප්‍රායයි. එසේම දූෂණ විරෝධී දර්ශකය, කාන්තා ව්‍යවසායකත්ව දර්ශකය ආදි දර්ශක ඔස්සේ ඉදිරියට ඒමද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවයි.

අද වනවිට ව්‍යාපාරික අංශයට සම්බන්ධ බොහෝ ආයතන යාවත්කාලිනව තිබේ. වරාය, රේගුව සහ සමාගම් ලියාපදිංචිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වේගවත්ව තිබේ. එසේද වුව ව්‍යාපාරික අංශයේ පවතින දුබලතා රැසක්ද ශ්‍රී ලංකාව ඉදිරියේ තිබේ. වියට්නාමය, බංගලිදේශය සහ මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව ව්‍යාපාරික මැරතන් තරගයකට මුහුණ දෙන බව අප සිහිතබාගත යුතුය.

රටක ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඇති බාධක දුරලීම ආර්ථික සංවර්ධනය කඩිනම් කරයි. ලෝක ආර්ථික සමුළුවේ 2016 - විධායක මත පිළිබඳ සමීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඇති බාධාවන් මොන මොනවාදැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව දූෂණයට හිමිව ඇති අගය 5.6 කි. ප්‍රතිපත්ති අස්ථාවරත්වය පිළිබඳ අගය 12.6 කි. අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරිවාදය පිළිබඳ අගය 9.1 කි.

මේ හැර තවත් කුරුණු කීපයකි. මූල්‍ය ප්‍රවේශය බදු අනුපාතික සහ බදු නියාමන, යටිතල පහසුකම්වල ප්‍රමාණවත් නොවූ සැලසුම, උද්ධමනය, ජාතික ශ්‍රම බළකායේ දුර්වල වැඩ සංස්කෘතිය, නවෝත්පාදන සඳහා ප්‍රමාණවත් නොවූ ධාරිතාව, රාජ්‍ය අස්ථාවරත්වය, විදේශ මුදල් නියාමන, ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලද ශ්‍රම බළකාය, දැඩි කම්කරු නියාමන, අපරාධ සහ සොරකම් සහ දුර්වල මහජන සෞඛ්‍යය යනුවෙන් ඒවා හඳුනාගෙන ඇත.

නව ගමනකට මුල පුරන රජය මේ අඩුපාඩු පිළිබඳව සැලකිල්ල යොමු කළ යුතුව තිබේ. විවිධ ආර්ථික සාකච්ඡා මණ්ඩපවලදී නැ‍ෙඟන අපවාදයක් නම් පොදු ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවයි.

2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 33 වන පිටුවේ මෙසේ සඳහන් වේ. “ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් පැවතීම හේතුවෙන් දියුණු සහ නැඟී එන ආර්ථිකයන් ගණනාවකටම විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කරගැනීම හා ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සැලකිය යුතු කොටසක් අත්කරගැනීම හරහා ගෝලීය වෙළෙඳ පොළ තුළ සාර්ථකව තරග කිරීමට හැකියාව ලැබී ඇත. කෙසේ වුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකීමේදී, සියලු දෙනා එකඟ වූ ජාතික සංවර්ධන ප්‍රතිපත්තියක් රටට නොමැති වන්නේ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට අනුව කලින් කලට ජාතික සංවර්ධන ප්‍රතිපත්ති වෙනස්වන බැවිනි”

කරුණාරත්න අමරතුංග


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>