Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වෙසක් ඇත බුදුන් නැත

$
0
0
මැයි 10, 2018 01:00

 බෞද්ධයන් ලෙස අපි කවදා හෝ අපේ මේ බියකරු ගොරතර සසර ගමන කෙළවර කරගත යුතුය. එසේ නොවුණහොත් සැප යැයි සිතමින් දුකම විඳින්නටත් කෙළවරක් නැති භව තෘෂ්ණාවක ඇලී සිටීමටත් සංසාර චක්‍රයේ සිරවී සිටීමටත් සිදු විය හැකිය. එහෙත් කනා මැණිකක අගය නොදන්නාක් මෙන් අප ද මැනවින් අවබෝධ කර නොගත් අති ශ්‍රේෂ්ඨ දහමක්, දර්ශනයක් මේ වන විටත් අප ඉදිරියේ පවතී. එවන් අති විශිෂ්ට දහමක් ලොවට ගෙන හැර පෑ විමුක්ති දායකයාණන්ගේ තෙමඟුල සැමරීම වෙසක් පොහොය දින දී සිදු කෙරේ. මෙහිදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙමින් තෙමඟුල සැමරීම ආදී කාලයේ සිට ම සිදු වේ. මහා පරිනිබ්බාන සූත්‍රය, වේලාම සූත්‍රය වැනි දේශනා ඇසුරින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් බව ය. සීල හා භාවනා, ප්‍රතිපත්ති පූජාවලට අයත් අතර ආමිස පූජා ලෙස දානය සැලකේ.

දන්සල් දීම හා කෑම

දන්සල් දීම ආමිසයට අයත්ය. දන්සල් සඳහා දිය යුත්තේ තමන් ධාර්මිකව උපයා සපයා ගත් දෑය. බුදුන්ගේ කාලයේ මෙන් අනේපිඬු සිටුවරු අද කාලයේ දන්සල් නොදේ. අද සිටින්නේ දන්සල් සංවිධායකයන් ය. අනුන්ගේ මුදල් හෝ ද්‍රව්‍ය ලබාගෙන තමන් දෙන්නාක් මෙන් දෙන දන්සල් සංවිධායකයන් එමට ය. ඇතැම් විට දන්සල් සංවිධානය ඔවුන්ගේ ජීවීකාවක් බවට පත් කරගෙන ඇත.

දන්සල් සංවිධාන පිහිටුවා නිලධාරී මඩුල්ලක් පත්වී නිල ඇඳුම් සකස් කොටගෙන මාස ගණනාවක සිට ආධාර පත්‍ර මඟින් මුදල් ආධාර එකතු කරනු ලබයි. නූතනයේ වෙස්සන්තර රජුන්ට අඳින්නන් දන්සල් දෙන්නේ ආදායම් බද්දෙන් නිදහස් වීමට, ජනප්‍රිය වීමට හා ප්‍රභූත්වය රැක ගැනීමට වැනි සිල්ලර කාරණා මත මිස ලෝභ චේතනාව දුරු කොට දාන පාරමිතා පිරීමට නොවන බව පෙනේ. දන්සල විවෘත කිරීම ද උත්සවාකාරයෙන් කෙරේ.

වෙසක් දිනවල දන්සල් සඳහා මහා දිගු පෝලිම් ය. පෙරදී මෙන් වෙහෙස මහන්සි වී යන එන ජනයා නොව දන්සල සඳහාම එන්නන් සුලභ ය. ඇතැම් විට නිවෙස්වල ආහාර සැකසීමක් සිදු නොවන අතර පවුල් පිටින් දන්සල් වන්දනාවේ යෙදේ. ඇතැම් විට විනෝදය සඳහා ද දන්සල් වෙත එන්නන් සිටී. දන්සල සඳහා එකතු වන මුදලින් ම සංවිධායක මඩුල්ල ද නඩත්තු විය යුතු ය. බැලූ විට දන්සල් දීම ද මහ පණ යන වැඩකි. පණ ගිහින් හෝ වැඩක් වෙනවා නම් කම් නැත. එලොවට කෙසේ වෙතත් මෙලොවට නම් වැඩක් වන බව පෙනේ. ඇතැම් විට දන් දීම ද ප්‍රාසාංගික වී ඇත. ලොකුකම ප්‍රදර්ශනයට දන් දෙන්නන් ද තරගයට දන් දෙන්නන් ද අවසානයේ නතර වන්නේ කුසල්වලට අයන්න එකතු කර ගැනීමෙනි. බොහෝ දෙනෙකු දන් දෙන්නේ යමක් බලාපොරොත්තුවෙන් බව හානා හීය පානා අඬහැරෙන් දැනෙන්නා සේ දැනේ.

වෙසක් සැරසිලිවල අරමුණ බුද්ධ ගෞරවය පළ කිරීම ය. ගහකොළ, සතා සීපාවාට මෙන්ම කිසිදු මිනිස් වර්ගයකට හිරිහැර නොකොට තෙමඟුල සැමරිය යුතු ය. තම තමන්ගේ ශීලය, සදාචාරය වැඩි දියුණු වන ආකාරයට සිදු කළ යුතු ය. දාන, ශීල, භාවනා ආදී වශයෙන් ආමිසයෙන් ප්‍රතිපත්තියට ගමන් ගන්නා ලෙස සියලු ප්‍රතිපදාවන් සකස් විය යුතු ය. නිදහසේ කතා කරන්නට, කන්නට බොන්නට, නාන්නටවත් සරිලන කාලයක් නොගෙන පිම්මේ කොහේදෝ නොපෙනෙන අන්තයක් සොයා දිව යන හා යවන අපේ ඇත්තන්ගේ මේ අසාමාන්‍ය චර්යාව වෙසක් උළෙලට ද පැමිණ ඇත. අපි සතුටු විය යුතු නොවෙ ද?

දැන් ඇත්තේ දඩිබිඩි වෙසක් ය. හිටි හැටියේ පළාත් ආණ්ඩුකාර හෝ දේශපාලන අධිකාරිය මඟින් පාර දෙපස එල්ලීමට වෙසක් කූඩු ලබා දෙන ලෙස පාසල් සිසුන් ට නියෝග නිකුත් කෙරේ. වයසට හෝ කයට නොතරම් වන විෂය නිර්දේශයක් පසුපස පාසලේ දී මෙන්ම ටියුෂන් අධිරාජ්‍ය තුළ ද දුවමින් වංකගිරියක තමන් මෙන්ම මවුපියන්ව ද අතරමං කරවන අපේ අසරණ පොඩිත්තන්ට පාරමිතා පුරමින් බුදු බැතිය දල්වාගෙන වෙසක් කූඩු සාදන්නට සරිලන කාලයක් කෝ? නිවසේ ගුණදායකව කෑම සාදන්නට හෝ කාලයක් මිඩංගු කළ නොහැකි අපේ කාලයේ අම්මලාට තාත්තලාට වෛවාරණ කෑම කඩ තිබීම සහනයක් වූ කාලයක වෙසක් කූඩු මුදල් දී ලබා ගැනීම හැර විකල්පයක් කෝ? දේශපාලන හා පාසල් අධිකාරිය මඟින් මෙවර පාසලට ලබා දිය යුතු වෙසක් කූඩුවලට ප්‍රමිතියක් ද පනවා තිබුණි.

වංකගිරියක පැටළුණු වෙසක් සැරසිලි

අඟල් 8 කොටු, අඩි 3 දිග රැල්, සුදු පැහැය ආදී ලෙස පැනවූ ප්‍රමිතිය, අසරණ සිසුන් කෙරෙහි උණු වු සිත ඇතිව සැදැහැ සිතින් ගත් වෙළෙන්ඳන් වෙසක් කූඩුවක් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් රුපියල් 350 සිට ඉහළ වූ අපේ ඇඟටවත් නොදැනෙන මිලකට විකුණා අප්‍රමාණ වූ පින් කන්දක් රැස් කරගත්තේ දේශපාලන හා පාසල් අධිකාරිය උදා කර දුන් අවස්ථාව නිසාය. අපි ද ඔවුන් සියලු දෙනා පමණක් නොව ඔවුන්ගේ පවුලේ අයද තවමත් සිහිපත් කරන්නෙමු. දඩිබිඩියේ නියෝග කර ගෙන්වා ගත් කූඩු කඩිමුඩියේ මහමඟ දිගට එල්ලුවත් රාත්‍රියේ දී අඳුරේ ගිලී පැවතුණේ අනිත්‍යය මෙනෙහි වීමට ද නැතහොත් අඳුරේ ඇති විට අමුතු ලස්සනක් ඇති නිසා ද වෙසක් කූඩු එළිය කිරීමට වැඩපිළිවෙළක් යොදා නොතිබූ නිසා දැයි දන්නේ දෙවියන් පමණි. මෙසේ මඟ දිගට වෙසක් කූඩු එල්ලීමෙන් බුදු තෙමඟුලට අත්වූ සෙත දන්නේ ද නැත. මෙලෙස කරන්නන් වාලේ වැඩ කිරීමෙන් වෙළෙන්දන්ට හැර අපට අත්වූ සුගතියක් නැත. අවුරුද්ද සැමරීමට මවුපියන්, වැඩිහිටියන් හැර අවශ්‍ය අන් සියල්ලම වෙළෙන්දන්ගෙන් ගත හැකිවාක් මෙන්ම වෙසක් සැමරීමට අවශ්‍ය සියල්ල ද කඩසාප්පුවල මෙන්ම ඇස ගැටෙනා සෑම තැනකම දැකිය හැකි ය. හැකි නම් බුදු බැතිය ද විකිණීමට උත්සාහ දරනු ඇත.

වෙසක් කූඩු ඇතුළු සියලු සැරසිලි ප්‍රාසාංගික වී ඇත. දොරණ තෙල්, කැකුණ තෙල් තබා පොල් තෙල් පහන්වත් දැකීම දුර්ලභ ය. මග දෙපස එකල දු‍ටු පහන් වැටවල් ද කෙසෙල් බොඩ පහන් සැරසිලි ද අද ඇත්තේම නැති තරම් ය. තෙල් පහන් ආලෝකය ඉවත් වෙමින් පිළිකාවක් සේ විදුලි එළි පහන් සැරසිලි පැතිරෙයි. මහේශාඛ්‍ය බව පෙන්නීමට තෙල් පහන්වලට වඩා විදුලි පහන් එළි ගැලපේ. විච්චූර්ණ විප්‍රකාර මැද චාම් දේ සරල දේ කැපී පෙනේ. කේක් ගෙඩියක් විවිධාකාරයෙන් සැරසූ විට දැකීමටත් අප්‍රිය වේ. වෙසක් සැරසිලි ද එසේ ය. අඳුරේ දිලෙමින් නිවී යන තෙල් පහන් වැලක ඇති ශාන්ත සුවය, අනිත්‍ය බව විදුලි පහන් වැලක දැකිය නොහැක.

වෙසක් කූඩු සෑදීමට විශේෂ කුසලතා අවශ්‍ය වේ. චින්තනය, නිරීක්ෂණය, අනුකරණය, කැපීම, ඇලවීම, සිත එකඟ කර ගැනීම හා ඉවසීම වැනි විවිධ කුසලතා මුදල් වැයකර ගෙනෙනා වෙසක් සැරසිල්ලකින් දරුවනට නොලැබේ. ඔට්ටපාළු, බෙලි පට්ට යොදාගෙන ඇතුළත පොල් තෙල් පහනක් තැබිය හැකි වන ලෙස සති කීපයක් තිස්සේ සෑදූ වෙසක් කූඩු අද නැත. පරිසරය සමඟ බද්ධ වෙමින් බුදු බැතියෙන් කරන ලද සැරසිලි වාණිජමය රූපයක් ගෙන ඇත්තේ අද වන විට අවිවේකය හා පරිසරය සමඟ තිබූ අවිච්ඡින්න සම්බන්ධය බිඳ වැටීම නිසා විය යුතු ය. වෙසක් සැරසිලි සියල්ල වාණිජකරණය වූ නිසාම මවුපියන්ගේ අය-වැය ලැයිස්තුවට අමතර බරක් එක්වී ඇත. එකී බර ද කරපිට පැටවීම නිසා වැඩියෙන් මුදල් පසුපස හඹා යා යුතුය. මේ සංසාර චක්‍රයෙන් ගැලවීමක් නැත. යා දෙක නොරත රත මෙන් අප මේ ගෙවන ජීවීතය බුදු හිමියන් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨ දර්ශනය සමඟ නොපෑහේ. ඇයි අපි වෙසක් සැරසිලි කළ යුත්තේ යන පැනයට නිවැරදි පිළිතුරු දිය හැක්කේ කීයෙන් කී දෙනාට ද?

වෙසක් වෙනුවෙන් තමන්ම නිර්මාණය කරගන්නා වෙසක් සැරසිලි තුළින් ලැබෙන සතුට කඩෙන් ගෙන ආ සැරසිල්ලෙන් නොලැබේ. අසල්වැසියන් අතර ද වෙසක් සැරසිලි සඳහා ඇත්තේ තරගයකි. කිසි දෙයකින් අනෙකාට නොපැරදීමට වග බලා ගන්නා සමාජයක වෙසක්වලින් ද පැරදිය නොහැක. නිවී යන පොල්තෙල් පහන්, ඇතැම් විට ගිනි ගෙන විනාශ වන වෙසක් කූඩු හා බකට් තුළින් ජීවීතයේ අනිත්‍යතාව වටහා ගත යුතු බෞද්ධ අපි විදුලි බුබුළු, ගිනිගෙන නොදැවෙන ප්ලාස්ටික් බකට් නිත්‍ය ලෙස සලකමින් වඩාත් ප්‍රාසාංගික තත්ත්වයකට තල්ලු වී යාමෙන් පෙන්වන්නේ අපේ දියුණුව ද? අධික පොල්තෙල් මිල පහන් ආලෝකය අඩු වීමට හේතුවක් වේ. පෙර දී පරිසරය සමඟ බද්ධ වී අපම නිපදවා ගත් බොහෝ දෑ අද අපට මිලට ගැනීමට සිදු වීම නුතනයේ අපිට ලැබුණු දඬුවමකි. ඉවක් බවක් නොමැතිව අලුත් දේ පසු පස අන්ධානුකරණයෙන් යාම බොහෝ දුරට මෙයට හේතුවක් වේ.

වෙසක් පත් යැවීමෙන් ආශීර්වාද කිරීම හා සුබ පතා ගැනීම කෙමෙන් මැකී යන වෙසක් සම්ප්‍රදායකි. වෙනදා සුළු මුදලකට ගත හැකිව තිබූ වෙසක් පත් වල මිල අහස උසය. වෙසක් පතින් වුවද නැති මහේශාඛ්‍ය බවක් පෙන්නීමට අපේ දරුවන් ද පුරුදු වී සිටී.

ප්‍රාසාංගික පන්සල

වෙසක් පොහොය ට පමණක් නොව අනෙක් පොහොයවලදීත් පන්සල වටා රොක්වන පිරිසේ අඩුවීමක් දිනෙන් දින සිදු වේ. දැන් දැන් පන්සල් ද විවිධ වූ උපක්‍රම යොදමින් සැදැහැවතුන් ගෙන්වාගන්නට කටයුතු යොදනු පෙනේ. කවි බණ, ගීතවත් කළ ගාථා හා පිරිත්, සිංදු මෙන් වන බුද්ධ වන්දනා හා බෝධි වන්දනා, වෙසක් කූඩු තරග, රූපවාහිනි හා ගුවන් විදුලි බණ දේශනා කරන රටේ නමගිය යතිවරුන්ගේ විහිලු සහිත කාලීන බණ මෙන්ම ඇතැම් විට තොරණ ආදියෙන් යුතු වෙසක් කලාප ද දැන් දැන් දැකිය හැක. පන්සල ක්ෂේම භූමියක් වූයේ එකලය. දැන් සන්සුන්ව භාවනා කිරීමට තබා ඇතැම් විට පන්සිල් ගැනීමට පවා නොහැකිවන ආකාරයේ නොසන්සුන් පරිසරයක් පවතී. උපාසක උපාසිකාවන් අඬවන බණ දේශනා කිරීම ද නොඅඩුව සිදු වේ. නමුත් මේ කිසිවකින් සැදැහැවතුන්ගේ බුද්ධිය දියුණු නොවේ.

අන් ආගම්වල දැකිය නොහැකි ආකාරයේ නිර්වාන සැපය සාක්ෂාත් කරගත හැකිවන ලෙස ක්‍රමානූකූල පැහැදිලි දහමක් දර්ශනයක් අයත් නියම බුදුදහම දැන් විවිධාකාරවූ ආලේපනවලින් මිලින වී ඇති සේ ය. භික්ෂුන් වහන්සේලා ද තම තමන්ට තේරෙන සේ විවිධ අර්ථකතන දෙමින් දහම ප්‍රචලිත කිරීමට උත්සාහ දරනු පෙනේ. ජනමාධ්‍ය ද බුදු දහම මාකට් කරමින් තම ගොඩ වැඩි කර ගැනීමට කැසකවනු පෙනේ. සියලු දෙනාම සිතන්නේ මේ සියලු දේ තුළින් බුදු දහමේ චිරස්ථ්තිය ඇති වන බවයි.

බුදුන් පිරිනිවන් පා දැන් කෙතරම් වෙසක් පොහොයවල් ගතවූවා ද? දිනෙන් දින අප බුදු දහමට ළං වූවා ද? ඈත් වුවා ද? නිර්මල බුද්ධ දේශනාව අපේ හදට සමීප කරන්නට හැකිවී ඇත්තේ ධර්මධර භික්ෂූන් වහන්සේලා කී නමකට ද? පන්සල් නම් දිනෙන් දින අලංකාරවනු පෙනේ. අලංකාර බුදු පිළිම වහන්සේලා, බෝධි ප්‍රාකාර, රන්වැට, නවීන අංගෝපාංග සහිත ආවාස ගෙවල් ආදී සියල්ලෙන් සම්පුර්ණ වූවද භක්තිය කරපින්නාගත් අසරණ වූ ගිහියන්ගේ සිත් අලංකාර වන්නේ කවදා ද?

ඇස් අන්ද මන්ද කරවන තොරණ

ශබ්ද පූජාවන් ද ඈත අතීතයේ සිට බුදු හිමියන් වෙත බුදු බැතිය පළ කිරීමට යොදා ගැනුණි. හේවිසි පූජා හඬ ඇසෙන විට අප සිත් හි ජනිතවන්නේ නිරාමිස ප්‍රීතීයකි. පහන් සංවේගයකි. වත්මනෙහි ඇතැම් තැන්වලදී ඇසෙන හේවිසි නාද ඇසෙන විට ඇතිවන්නේ පහන් සංවේගය නොව සංවේගය පමණි. පන්සලක සිටිය ද දෙපාවලටම උචිත නාද ඛණ්ඩ ඇසීමෙන් ඉබේම දෙපා උද්දාමයට පත්වේ. සමාජයේ සියල්ලෝම සිතාගත නොහැකි වේගයකින් උදේ සිට නින්දට යනතෙක් හෝ නින්ද ද නොමැතිව මේ දුවන්නේ සසර බිය දැනී සසරින් එතෙරවීමට නම් විය නොහැක.

අතීතයේ පෙරහැර නැරඹීමට එක් රොක්වන ජනයාට රාත්‍රි කාලයේ දී නැරඹීමට පහන් ආලෝකයෙන් ආලෝකමත් කළ බෞද්ධ චිත්‍ර විකාශය වීමෙන් වර්තමාන වෙසක් තොරණ බිහිවූ බව විද්වත් මතයයි. දැන් දැන් සාම්ප්‍රදායික තොරණ වෙනුවට ඩිජිටල් වූ තොරණ ඇති වීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් පවතී. තොරණ සංවිධායක මණ්ඩලය ද කල් ඇතිවම මෙයට සූදානම් වේ. අප කුඩා කල තොරණ දැකීමෙන් ලද ආශ්වාදය අද අපේ දරුවන් නොලබයි. අපේ අවධානය යොමු වූයේ තොරණ කතා වස්තුව වෙතයි. අද කාලයේ බොහෝ ළමුන් අවධානය යොමු කරන්නේ කතා වස්තුවට වඩා විදුලි ආලෝක රටා පිළිබඳ ය. එකල ප්‍රබල රූප රචනා ඔස්සේ අපේ සිත් තුළට යැවීමට සමත් වූ ආදර්ශමත් කතාවන් වඩා රසවත් ලෙස ළමා සිත් තුළට යැවීමට දියුණු යයි කියන්නා වූ මෙකල නොහැකි වී ඇත්තේ ඇස් අන්ද මන්ද කරවන විදුලි සැරසිලි නිසා දැයි සිතේ. අනෙක තොරණ ළඟ යම් වේලාවක් හිඳ තොරණ අසිරිය විඳ ගැනීමට සිහියක් පතක් නැති වීම ද මෙයට හේතුවක් වී ඇත. මෙකල සෑම දෙයක්ම ඉතා වේගයෙන් කරන නිසා වෙසක් සිරි නැරඹීම ද වේගයෙන්ම සිදු වේ. අනෙක තොරණ අවට ද එකම ගාලගෝට්ටියකි. ආධාර එකතුකොට කවියෙන් ඒ පිළිබඳ වර්ණනා කිරීම්, ගීත ආදී මහා ශබ්ද පූජා මැද මඳ වේලාවක් හෝ රැඳෙන එකත් පුදුමයක් ය. අලුත්ම වෙසක් ව්‍යාපාරය ජනමාධ්‍ය වෙසක් ය. වෙසක් උත්සවය කානිවල් එකක මට්ටමට ගෙනවිත් ඇත. වෙසක් උත්සවය ආමිස පූජාවන් මැදින් ප්‍රතිපත්ති පූජාවන් වෙත යොමු කරවන්නක් විය යුතු ය. බුදු දහම වූ කලී ආනන්දයෙන් ප්‍රඥාවට යන්නා වු ධර්ම මාර්ගයකි.

ජනමාධ්‍ය අයිති කරගන්නා වෙසක්

සත්‍ය ලෙස බුදුන් දැකීම යනු උතුම් වූ ධර්ම මාර්ගය අවබෝධ කොට ගෙන ප්‍රඥාව පහළ කරගැනීම ය. දැන් ඇත්තේ වෙසක් කලාපය. දැවැන්ත ඇස්බැන්දුම් මැද ඇස, කන ආදී පංචස්කන්ධයම පිනවමින් කාමලොවක ගිල්ලවන නච්ච ගීත විසූකදස්සන සහිත සුපර්මාකට් ආදියේ සැණකෙළිය. මේවා දැක දැන් බුද්ධ ශාසනය රැකී ඇතැයි අපට සතුටු විය හැකි ද? සුපර්මාකට් එකකට වැදී සියලු දෙය එක වහලක් යටින් ගන්නාක් මෙන් ජනමාධ්‍ය කානිවල් වෙසක් කලාප තුළින් ද සියලු දේ සපුරා ගත හැක. ප්‍රාසාංගික බණ, දන්සැල්, තොරණ, භක්ති ගීත, නාට්‍ය, බුද්ධ වන්දනා, ධාතු ප්‍රදර්ශන, දැවැන්ත සැරසිලි ආදී දේ තුළින් පොහොය දින පන්සල් තුළ ආමිස, ප්‍රතිපත්ති පූජාවල යෙදෙන පිරිස අඩු වන අතර වෙසක් යනු කුමක්දැයි අමතක කරවන ආකාරයේ ජොලියක් ලබා ගත හැකි වනු ඇත. පුදුමාකාර ලෙස ධාතු ප්‍රදර්ශන පැවැත්වේ. ධාතු ප්‍රදර්ශනයන්ද සරල වී සැහැල්ලු වී හෑල්ලූ වී ගොස් ය. ජනමාධ්‍ය කරනු ලබන්නේ අහිංසක බොදු ජනතාවගේ ශ්‍රද්ධාව මාකට් කර බුදු දහම තවත් නත්තලක් කිරීමට ය.

පෙරදී රාජ්‍ය ජනමාධ්‍ය නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ අතර වැඩසටහන් හා ඒවා මෙහෙයවන්නන්, දෙස බස රැස රකින ආකාරයෙන් විය. පෞද්ගලික නාලිකාවල මුඛ්‍ය අරමුණම මුදල් නිසා බිය සැක හා ලජ්ජාවකින් තොරව මෙතුවක් අපේ අනන්‍යතා ලක්ෂණ රැකි දෙස බස රැස මොඩිෆයි කිරීමේ පින්කමට අත ගසා ඇත. පාළු ගෙයි වළං බිඳින්නා සේ ඉවක් බවක් නොමැතිව අපේ තරුණ පරපුරේ මෙන්ම අපගේ ද මොළ හෝදමින් ඔවුන් යන ගමන දැකි රාජ්‍ය මාධ්‍ය ද ඒ මග ම ගනිමින් සිටී. දැන් ඔවුන් ද වෙසක් කානිවල් කලාප දරමින් වෙසක් පමණක් නොව දේශපාලනය ද කරති. ජනමාධ්‍ය වෙසක් කලාප තුළ විවිධ උපක්‍රම යොදමින් වැඩියෙන් ජනතාව අපායගාමී කරවීමට පොරකති. අවාසනාවකට මෙන් ඔවුන් බුද්ධ ශාසනයට ද අත තබා අවසන් ය. තැනක නිසැක ධාතුන් ය. එසේ නම් සැක සහිත ධාතූන් ද තිබිය යුතු ය. මෙතරම් ධාතූන් වහන්සේලා වැඩියේ කෙලෙසක දැයි නොසිතන්නේ මොළය හිරි වැටෙන නිසා ය. මේ නම් කලියුගය විය යුතු ය. බුදුන් වදාළ මහා මුරුගසං වරුසාව ද මේ? අහෝ අපි බේරෙන්නේ කෙසේ ද?

කථිකාචාර්ය දහම් බාලසූරිය 
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය
උණවටුන - ගාල්ල
nenasilu@gmail.com 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>