Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඩිජිටල් තිරයෙන් එපිට අලුත් අවුරුද්දක් සමරමු

$
0
0
අප්‍රේ 14, 2023 01:00

ලෝකයේ සෑම රටකටම උරුම ජන සංස්කෘතියක් ඇත. එය රටින් රටට විවිධය. නොයෙක් ආකාර ගනී. නූතනය වන විට ලෝකයේ පෙරදිග රටවලට ආවේණික සංස්කෘතික අංග ගෝලීය බලපෑම නිසා විච්ඡේදනයට ලක්ව තිබේ. සිංහල රට ලෙස එකම උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව වැනි රටවල්වලට එල්ලවන එවැනි බලපෑම් ද සුළු පටු නොවේ. ජන උරුමය එම රටේ ජනතාවගේය. එබැවින් එහි වගකීම ද ජනතාව සතු වේ. රජය සහ ජනතාව යන දෙපාර්ශ්වයටම එම වගකීමෙන් මිදෙන්නට බැරිය.

නූතන අධ්‍යාපනය, තාක්ෂණය ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවලින් මේ බලපෑම් කාරක හඳුනාගත හැකිය. මුළුමහත් ජාතියක් වශයෙන්ම අපට මේ සම්බන්ධව ඉටු කළ යුතු සුවිශේෂී කාර්යභාරයක් තිබේ. අපේ ජන විඥානය තුළ පෝෂණය වූ වටිනා ජන උරුම අංග ඊළඟ පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කරවීමට වහා පියවර ගත යුතුය. බටහිර සංකල්ප මත ස්වදේශීය ජන උරුමයන්ට කිසිදු බලපෑමක් සිදු නොවේ යැයි කාටවත් කිව නොහැකිය. සරළ බව සුන්දරකම අගයන ජනතාවක් රටට වෙසෙසින්ම අවැසිය. අපේ ජන රඟමඬල ජනශ්‍රැතිය පාරම්පරික අංග පෝෂණය කිරීමෙන් රටේ ජනතාව තුළ අපේකම යන හැඟීම තව තවත් ඔද වැඩේ. රටේ ජනතාව තම රටට, දේශයට සංස්කෘතියට ආදරය කරන තරමට ඔවුන්ගේ සිතුවිලි ධනාත්මක වේ.

බුදුදහම හා බද්ධ වුණු සිංහල ජන සමාජය මේ පොළව ස්පර්ශ කළේ හැම කන්නයකම අටු කොටු පුරවමිනි. එය සශ්‍රීකත්වයේ මංගල්‍යයක් වූයේ ඒ නිසයි. අතීතයේ එක් වසරකට කන්න තුනක් වගා කළ බව තෝනිගල සෙල් ලිපියෙන් සාක්ෂි ගෙන එයි. අප එවන් සමෘද්ධිමත් ජාතියක් වශයෙන් බැබළුණු රටකි. සිංහල අවුරුද්ද යනු කෘෂිකාර්මිකත්වයේ මංගල්‍යයයි. ලක් පොළොවේ රන් අස්වනු මංගල්‍යයයි. එසේ නම් එය පොළොව සහ ජන හදවත්වල බද්ධතාවයේ උපරිම ඵලයකි. එවන් රටක නූතනයේ සහල් හිඟය, බිත්තර හිඟය, පොල් මිල ඉහළ යෑම වැනි ජන කුසට පහර වදින සමාජ පරිසරයක් නිර්මාණය වූයේ කෙලෙසින්ද?

අපට වැරදුණු බව අප තේරුම් නොගන්නා තාක් මේ විනාශය තව තවත් උග්‍ර වේවි. විවෘත ආර්ථිකය, ගෝලීයකරණය වැනි ආකල්ප ඔස්සේ බටහිර සංස්කෘතිය වඩාත් ආරෝපණය වී ඇති වර්තමානයකුයි මේ අප අත්දකිනුයේ. පුරාණ ජනතාව සියලු යහපත් දේ කළේ සොබාදහමේ ශක්තිය අප වෙත උකහා ගනිමිනි. ඔවුන් පොළොව සමඟ ගනුදෙනු කළේ බුදුන්, දහම්, සඟුන් නමැද දෙවියන් සිහි කර බැතිමත් හදවතිනි. අලුත් සහල් මංගල්‍යය, ගම්මඩු ශන්ති කර්මය, මල් යහන් කවි ගැයුම්, ගොයම් කවි, නෙළුම් කවි, වැනි කවි ගායනා කරමින් අපේ පැරැන්නන් එළිදැක්වූ නිසඟ ප්‍රතිභාව අව්‍යාජ ගැමි හදවතේ මහිමය කියාපාන්නකි.

වත්මන අපේ දරුවන් වෙතින් ඈත්ව යන මේ සෞන්දර්යය පිරුණු ජන උරුම ඔවුන්ගේ හදවතේ තැන්පත් වූ දාට මේ රටේ සුන්දරත්වය සෑබෑවට තහවුරු වේ. බටහිර සිරිත් හා අනුකරණයන් නිසා ඒවා විනාශයට යා නොදී ආරක්ෂා කර ගැනීම වඩාත් කාලෝචිත බව පෙනේ. අතේ තිබෙන ඩිජිටල් තිරයෙන් අවුරුදු සිරිත් නොකියා දරුවන්ට සැබෑ පොළොව මත ඇවිද යෑමට ඉඩ දෙන්න. ගුරු දෙගුරු වැඩිහිටි සැමට ගරු කරන ආදරය කරන දරු පිරිසක් හදන්න. ගහ කොළ මල් සිප ගන්නා සොඳුරු ලෝකයක් ඔවුනට පෙන්වා දෙන්න. මහ පොළොවට ගසක් තිළිණ කරන්න මේ වත්මනට කියා දෙන්න. අපේ අවුරුද්ද කෙතරම් සුන්දර දැයි එවිට සැමට වැටහේවි.

 

නිශාන්ත පීරිස්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>