කිසිදු ජල සැපයුමක් නැති ආපනශාලා පිළිබඳ ඔබ අසා නොතිබෙන්නට පිළිවන. ඔබට එම අත්දැකීම ලබා දෙන්නට දුම්රියේ බලධාරීන් උත්සාහ ගෙන ඇති නමුත් මේ දක්වා ඔබට එම අත්දැකීම හිමිව නැත. ඒ අන් කිසිත් නොව ජල සැපයුමක් නොමැතිව සැලසුම් කළ ජංගම භෝජන රථ 06 ක් ද පෙර කී අමෙරිකානු ඩොලර් මිලියන විසිහතරකට වැඩි මුදලක් ගෙවා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආනයනය කළ මැදිරි 100 ට අයත්ව තිබීමය. මෙම භෝජන රථ මෙම හේතුව නිසාම ධාවනයෙන් බැහැර කර ඇති බව විශ්වාස කරන්නට ඔබට සිදුව තිබේ...! මන්දයත්; දුම්රියේ බලධාරීන් මහජන මුදල් සමඟ වෙට්ටු දාන්නේ එපරිද්දෙන් වන නිසාවෙනි.
මෙය ලියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ජන තර්ජනයක් පවතින අවස්ථාවක නොවේ, නමුත් ඔබ මෙය කියවන්නේ දුම්රිය වර්ජනයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට සැලකිය යුතු බලපෑමක් කරමින් ඇති අවස්ථාවක විය හැකිය. 'වර්ජනය'යන්න දුම්රියට එතරම්ම සමීප අත්දැකීමක් බැවිනි.
එය පොදු ප්‍රවාහන සේවයක් වශයෙන් දුම්රියෙන් ගමන් පහසුව සලසා ගන්නා ඔබට ලැබෙන අමිහිරි සහ කටුක අත්දැකීමකි.
කලක සිට දුම්රියේ ක්‍රියාත්මකව පවතින දූෂිත නිලධාරිවාදය, අවිධිමත් පරිපාලනය, මජර දේශපාලන භාවිතය සහ වෘත්තීය සමිති යැයි කියාගන්නා බඩගෝස්තරවාදී කල්ලි කිහිපයක ක්‍රියාකාරීත්වය විසින් දුම්රියට අද අත්කර දී ඇත්තේ මෙවැනි කනගාටුදායක ඉරණමකි.
සමාවන්න...!!! දුම්රියට නොවේ... පොදු ප්‍රවාහන සේවයක් වශයෙන් දුම්රියෙන් ගමන් පහසුව සලසා ගන්නා ඔබට අත්කර දී ඇත්තේ එවැනි ඉරණමකි.
මේ සියල්ල මෙහි සටහන් කළේ දුම්රියේ සිදුව ඇති තවත් මහා පරිමාණ දූෂිත සහ ඵලදායී නොවන ගනුදෙනුවක් පිළිබඳව ලියන්නට පූර්විකාවක් වනු පිණිසය.
2006 පෙබරවාරි මස 24 වන දින දුම්රිය දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ M/S China National Machinery Import & Export Corporation සමාගම අතර ගිවිසුමක් අත්සන් කරන ලද්දේ, දුම්රිය මැදිරි 100 ක් මිලදී ගැනීම සඳහාය. මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2005 නොවැම්බර් මස 09 වන දින ලැබී තිබුණි. මේ සඳහා වැය කිරීමට නියමිත වූ සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් 24,756,924.00 කි. මෙම අතිවිශාල මුදල වැය කර මෙම මිලදී ගැනීම සිදුකිරීමට හේතු ලෙස දුම්රියේ බලධාරීන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු දක්වා ඇත්තේ; විශේෂයෙන් උඩරට මාර්ගයේ ධාවනයට යොදාගත හැකි මැදිරි තොගයක් අවශ්‍යය යන්නය. මීට අදාළ SRS/F6459 දරන ගිවිසුම අනුව ද එම අවශ්‍යතාවය අවධාරණය කර දක්වා ඇත. එම ගිවිසුම අනුව ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික තත්ත්වයන්ගෙන් සමන්විත මැදිරි 100 ක් සැපයීමට පෙර කී සමාගම එකඟ වී ඇත.
සියල්ල මෙසේ සිදුවෙද්දී මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ එකී තාක්ෂණික අවශ්‍යතාවයන් සනාථ කිරීම සඳහා අදාළ තාක්ෂණ ඇගයීම් කමිටුව ද ක්‍රියාත්මක වූ අතර, ඒවා නියෝජනය කරමින් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා මෙන්ම වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එම්. අබේවික්‍රම මහතා ද කටයුතු කර ඇත. ඔවුන් දුම්රිය දෙපාර්තමේන්තුවේ දීර්ඝ අත්දැකීම් සහිත යාන්ත්‍රික ඉංජිනේරුවන් වීම ද විශේෂත්වයකි. නමුත් 2007 අගෝස්තු මාසයේ සිට 2008 දෙසැම්බර් මාසය දක්වා කාණ්ඩ හතරක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට ලද මෙම මැදිරි සහිත මගී දුම්රියක් මහනුවරින් ඔබ්බට උඩරට මාර්ගයේ කිසිදු දිනක ධාවනය කර ඇත.
2007 ඔක්තෝබර් මස 22 වන දින 'රුහුණු කුමාරි'දුම්රියට යෙදවීමෙන් ධාවනයට යෙදවූ මෙම දුම්රිය මැදිරි කොළඹ - නුවර නගරාන්තර දුම්රියට යෙදවීමට ද නියමිතව තිබූ නමුත් එම දුම්රියට එම මැදිරි යොදවා මාසයක පමණ කාලයක් තුළ එය ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) විසින් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස වාර්තා කර තිබුණේ; එම මැදිරිවල තිරිංග පද්ධතිය පිළිබඳව පවතිනවා යැයි කියන සැක සහිත තත්ත්වයකි.
ඉහත කී තත්ත්වය මත මහනුවර නගරාන්තර දුම්රිය ධාවනය සඳහා යැයි අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වමින් ආනයනය කරන ලද නැරඹුම් මැදිරි තුනක් සහිත මැදිරි 14 ක් අපේක්ෂිත දුම්රියහි ධාවනයට එක්කරගත නොහැකිව ඇත.
ඔබ විමසාවි; '.... මෙම මැදිරි ලංකාවට ගේන්න ඉස්සර බැලුවේ නැද්ද? ..... කියා.
ඔව්... අපටත් අසන්නට ඇත්තේ එයමය. මෙහි ඇති විශේෂත්වය එය නොවේ. මෙම මැදිරිවල තිරිංග පද්ධතිය පිළිබඳව පවතිනවා යැයි කියන සැක සහිත තත්ත්වය මත මෙම මැදිරි ධාවනයෙන් ඉවත් කරන, දුම්රිය දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන ධාවන බල ඉංජිනේරු බී. ඒ. පී. ආරියරත්න මහතා ද මෙම මිලදී ගැනීමට අදාළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමය.
වාසනාවක තරම...!
ආරියරත්න මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී වී සිට පසුගිය වසරේ විශ්‍රාම ගිය අතර, දැනට දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ක්‍රියාකරමින් සිට මෙම මස අගදී විශ්‍රාම යන්නේ, එම තාක්ෂණික ඇගයීම් කමිටුවේ තවත් සාමාජිකයෙකු වන එස්. එම්. අබේවික්‍රම මහතාය.
අවාසනාවක තරම...!!
දුම්රියේ අවසාන පාපුවරුවේ එල්ලී, ජීවිතයත් මරණයත් අතර මාරාන්තික සටනක යෙදෙමින් ගමන් පහසුව සලසා ගන්නට සිදුව ඇත්තේ; මුලින් කී අමෙරිකානු ඩොලර් මිලියන විසිහතරට වැඩි මුදල චීනයට ගෙවන්නට බදු ගෙවන ඔබටය.
අපි විමසන්නේ, '.... වාසනාවන්ත මහත්වරුනේ, ඔබලා චීන පෙට්ටි තාක්ෂණිකව අගයන්නට චීනෙට ගියේම නැත්ද...? යනුවෙනි.
එපමණක් නොවේ.
කිසිදු ජල සැපයුමක් නැති ආපනශාලා පිළිබඳව ඔබ අසා නොතිබෙන්නට පිළිවන. ඔබට එම අත්දැකීම ලබා දෙන්නට දුම්රියේ බලධාරීන් උත්සාහ ගෙන ඇති නමුත් මේ දක්වා ඔබට එම අත්දැකීම හිමිව නැත. ඒ අන් කිසිත් නිසා නොව ජල සැපයුමක් නොමැතිව සැලසුම් කළ ජංගම භෝජන රථ 06 ක් ද පෙර කී අමෙරිකානු ඩොලර් මිලියන විසිහතරකට වැඩි මුදලක් ගෙවා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආනයනය කළ මැදිරි 100 ට අයත්ව තිබීමය. මෙම භෝජන රථ මෙම හේතුව නිසාම ධාවනයෙන් බැහැර කර ඇති බව විශ්වාස කරන්නට ඔබ සිදුව තිබේ...! මන්දයත්; දුම්රියේ බලධාරීන් මහජන මුදල් සමඟ වෙට්ටු දාන්නේ එපරිද්දෙන් වන නිසාවෙනි.
මෙම දුම්රිය මැදිරි තොගයේ දැකිය හැකි තවත් සුවිශේෂතාවයක් වන්නේ; ඒවායෙන් වේදිකාවට බැසීමට ඇති දැඩි අපහසුවය. වියපත් මවකට - පියෙකුට තබා ජවසම්පන්න තරුණයකුට වුවද එම මැදිරිවලින් බසින්නට නොහැකි අතර, සිදුවන්නේ පනින්නටය. ඔබ එදිනෙදා දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා අයකු නම් මෙම අත්දැකීම ඔබ ද විඳ ඇතුවාට කිසිදු සැකයක් නැත.
දුම්රිය මැදිරි මෙරටට ආනයනය කිරීමෙන් පසු දුම්රියේ බලධාරීන් මෙය නිරීක්ෂණය කිරීම හේතුවෙන් දුම්රිය ස්ථානයන්හි වේදිකා උස් කිරීමට පියවර ගත් අතර, එයට ඔවුන් විසින් නම් තබා තිබුණේ 'දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ ව්‍යාපෘති'යනුවෙන්ය. නවීකරණය කෙසේ වෙතත් චීන මැදිරිවලට නැඟීමට හැකිවන ලෙස ප්‍රධාන දුම්රිය ස්ථානයන්හි වේදිකා ඉස්සීමට ද දුම්රිය බලධාරීන් විසින් මහජන මුදල් කෝටි ගණනක් වැය කළේ; කිසිම හිරිකිතයක් නොමැතිය.
මෙම දුම්රිය මැදිරි පිළිබඳ ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වැඩ වර්ජන ගණනාවක්ම සිදුවූ අතර දුම්රිය රියැදුරන් සහ දුම්රිය නියාමකයන් ඒවාට මුල් විය. එම අවස්ථා ඔවුහු මෙම මැදිරිවල පවත්නා; විශේෂයෙන් තිරිංග දෝෂ තත්ත්වයන් අවධාරණය කළහ. තිරිංග දෝෂ පවතින බව පිළිගන්නා දෙපාර්තමේන්තුව විසින් ම දුම්රිය ධාවනයේදී සිදුවන සියලු අඩුපාඩු සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පියවර ගනිමින් යටපත් කිරීමට පෙලඹෙන බව ඔවුන්ගේ චෝදනාව විය. දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් එවැනි අමනෝඥ 'විසඳුම්'ලබා දුන් අවස්ථා ද නැත්තේ නොවේ. කෙසේ වෙතත් උඩරට මාර්ගයේ ධාවනයට අවශ්‍ය යැයි පෙන්වමින් ඇණවුම් කළ මෙම චීන පෙට්ටි මේ වන විට එම ප්‍රදේශයේ ධාවනයට යොදවන්නේ ම නැත. ඔව්... ඇත්තෙන්ම එය ශල්‍යාගාරයකට ඉදිකළ ගොඩනැගිල්ලක් මෘත ශරීරාගාරයක් ලෙස භාවිතා කරනවා වැනිය. මෙම චීන මැදිරි රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ඔබ්බට ධාවනය නොකළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුවේම මෙහෙයුම් කටයුතු භාර අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් 2008-11-25 දිනැති වාර්තාවක් මඟින් නිර්දේශ කර ඇත.
එම වාර්තාවේ ඇති විශේෂත්වය වන්නේ; දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන සාමාන්‍ය තත්ත්වයන් පවා මෙම චීන පෙට්ටිවලට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබීමය.
එම වාර්තාව මඟින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ මැදිරියක බෝගි දෙකටම තිරිංග මැදිරියේ සිට තිරිංග යෙදිය හැකි ක්‍රමයක් සකසා, අවම වශයෙන් මැදිරි 05 ක් වත් බෑවුම් සහිත මාර්ගයක රඳවාගත හැකි බවට සහතික වන තත්ත්වයක් ඇතිකර ගත යුතු බවය.
මෙම ප්‍රශ්නගත චීන දුම්රිය මැදිරි පිළිබඳව මෙම අධ්‍යයනයන් ඒවා ආනයනය කිරීමට පෙර සිදුකළ යුතු ඒවා වන බව වටහා ගැනීමට දුම්රියේ බලධාරීන් නොපෙලඹීම, ජාතියේ අවාසනාව යැයි පවසා නිහඬවීම ප්‍රමාණවත් ද...?
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ගේ මෙම වාර්තාව ඉදිරිපත් වන්නේ; චීන මැදිරි සියයෙන් පළමු තොගය ලැබී වසරක පමණ කාලයකිනි. මේ වන විට එය නිකුත් වී වසර දහයක් ගතවී ඇත. දෙපාර්තමේන්තුව අවම වශයෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කරමින් හෝ මෙම මැදිරි අපේක්ෂිත සේවාවන් සැපයීමට හැකි වන අයුරින් වැඩිදියුණු නොකරන්නේ අවශ්‍ය ඉංජිනේරුමය දැනුම මඳ නිසාද...?
මෙම වකවානුව තුළ දෙපාර්තමේන්තුවට අලුතින් අනුමත කරවාගෙන ඇති ඉංජිනේරු තනතුරු සංඛ්‍යාව ඵලදායී ලෙස භාවිතා නොවන චීන පෙට්ටි සංඛ්‍යාවට වැඩි මිස අඩු විය නොහැක. මෙය දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිදු වී ඇති කොටි ගණනක් වන රජයේ මුදල් අවභාවිතා කිරීම් පිළිබඳව වන එක් නිදසුනක් පමණකි. මෙවැනි සිදුවීම් මීට ඉහත දී ජනමාධ්‍ය විසින් පෙන්වා දී තිබුණ ද මෙතෙක් දැනෙන පියවරක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. යළි එවැනි දේ සිදු නොවීමට පසුබිම සැකසෙන වැඩපිළිවෙළක් හෝ සැලසුම් කරන බවක් හෝ පෙනෙන්නට නැත.
2015 සහ 2016 වසරවලදී නව තාක්ෂණයට අනුව සැකසූ දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂක පද්ධති (Bell and Light) 200 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන හත්සියයක් (700) රජය විසින් සපයා දී තිබියදී එම මුදල ප්‍රයෝජනයට නොගෙන වසර දෙකටම මාර්ග බාධක 15 ක් පමණක් ඉදිකළ 'දුම්රියේ හපනුන්'පිළිබඳව මීට පෙර අපි අසා ඇත්තෙමු. ඔවැනි හපනුන් දුම්රිය සාමාන්‍යාධිකාරී පදවියට ඉදිරි මොහොතක පත්වීම පිළිබඳව ඔබ මුව අයා පුදුමය පළ කළ යුතු නැත. ඔබට පහසුවෙන් කළ හැකිව ඇත්තේ; අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග බාධකයකදී හැපී පොඩිවන මිනිස් ජීවිත දෙස බලා 'අනේ... අපොයි...!'යනුවෙන් පැවසීම පමණකි.
මේ වන විට දැනගැනීමට ඇති තොරතුරු අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ මූලිකයන්ට වඩා ඉහළ සුදුසුකම්, ඔවුනගේ පාලනය යටතේ සේවය කරන අයට ලබාදෙමින් අදාළ බඳවා ගැනීමේ පටිපාටි සැකසී ඇත. මේ සියල්ල සිදුවන්නේ දුම්රිය යළි ගොඩනැඟිය නොහැකි අගාධයක සිරකර දැමීමේ නිලධාරීවාදී සැලසුමක් මත ද යන සාධාරණ සැකය ඇති වේ.
මෙම කටයුතු මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා පාරිපාලන සේවයේ නිලධාරීන් සිව්දෙනෙකුම සිටින තත්ත්වය තුළ මේවා අත්වැරදීම් හෝ නොමඟ යැවීම් යැයි පිළිගැනීමට එකඟ විය හැකිද...?
මේ සියල්ල සැකෙවින් පැවසුවේ ඒවා වහා නිවැරදි විය යුතුය යන්න දුම්රිය නඩත්තු කිරීමට බදු ගෙවන පුරවැසියන්ගේ ප්‍රාර්ථනාව වන බැවිනි. දුම්රියේ එවැනි වෙනසක් වනතුරු ඔබට ඇසෙනු ඇත්තේ; '.... කරුණාවෙන් සවන් දෙන්න...! ධාවනය වීමට නියමිත දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වනවා ඇත....!!'යනුවෙන් පමණි.
වසවර්ති මාර