Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මුහුණු පොතේ මඟුල් කපුකම්

$
0
0
මැයි 19, 2018 01:00
තඹරු විජේසේකර

අන්තර්ජාලය හරහා ප්‍රේමය සොයා ගැනීම සමාජය තුළ කතා බහට ලක් වන දෙයක් වුවත්, “නංගි ඇඩ්‍රස් එක දෙන්න”යුගයේ සිට, නම්බර් එක ඉල්ලීම හෝ බස් ටිකට් එකේ ලියා උකුලට විසි කිරීමේ අවධිය පසුකොට දැන් නූතන පෙම් සබඳතා බොහොමයක් ෆේස්බුක් එකේ “හායි”එකකින් ආරම්භ වෙනවා. ලංකාවේ ෆේස්බුක් එකෙන්ම හැමදේම කරගත්තාට සහ අපේ සංස්කෘතියේ ආභාෂයෙන් ඒවා අඩු තරමේ අවුරුදු කිහිපයක් තරම් දීර්ඝ කාලීන සබඳතාවක් බවට පත් වූවත් වෙනත් රටවල පෙම් සබඳතා සීමා වන්නේ එක් රැයකට පමණයි. එවන් සබඳතා සොයා ගන්නට ටින්ඩර්, match.com වැනි ඇප්ස් සහ සේවාවන් රැසක් බිහිව තිබෙන අතර සාමාන්‍ය පිළිගැනීම අනුව මෙවන් ඩේටිං සේවාවකින් බලාපොරොත්තු වන්නේ ද කෙටි කාලීන සබඳතාවයක් පමණයි.

ජීවිතය විඳින්න ඕනා , තරුණ කාලයේ උපරිම විනෝදය ලැබිය යුතුය යන පටු ආකල්පය තාරුණ්‍යයේ එල්බ ගැනීමෙන් පසු සංවිධානාත්මක පවුල් ජීවිතයක් ගෙවීම පසෙක ලා මතුවීම සුලබයි. තාරුණ්‍යය ඉක්මවා ශාරීරික වශයෙන් දුබල බව ඇතිවීම ඇරඹෙන මැදි වියට පැමිණීමෙන් පසු තමන්ගේ ජීවිතයට රුකුලක් වන්නට කෙනෙක් නොමැති වීමෙන් සිත් තැවුලට පත්වන ජීවිත ඕනෑ තරම් ලොව බිහි වෙනවා. තමන්ගේ හැකියාවකින් ඉදිරියට යෑමේ අරමුණක් නොමැතිව කෙළිලොල් ජීවිතයම ප්‍රිය කරන අය මෙලෙස විශාල වශයෙන් අතරමං වෙද්දී තමන්ගේ දැනුම, හැකියාව උපයෝගී කරගෙන ඒ ඔස්සේ අභ්‍යවකාශය ද ජය ගනිමින් නොසැලී සිටින ටෙස්ලා සහ SpaceXහි හිමිකරු වන ඉලොන් මස්ක් වැනි ධෛර්යවන්ත තනිකඩ ජීවිත ද නැතුවා නොවේ.

මනෝ විද්‍යාත්මක වශයෙන් ද ජීවිතයේ හොඳම කාලයේ වගකීමක් නොමැතිව නිදැල්ලේ යාමෙන් බිහි වන පුද්ගලයන් මානසික පීඩනය ලෝකය තුළින් පිට කිරීම සහ අවසානයේ සිය දිවි නසා ගැනීමට පවා පෙළැඹීම ගැටලුවක්ව පවතිනවා. දීර්ඝ කාලීන පෙම් සබඳතාවන් වෙත යොමු වන්නට තාරුණ්‍යය පොළඹවන්නට සෞඛ්‍ය සහ අනෙකුත් වගකිවයුතු සංවිධාන සහ සේවාවන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද මේ වෙනුවෙන් විසඳුමක් පසුගියදා ගෙන ආවා. ඒ නව වෙබ් සේවාවකින්.

2018 වර්ෂය වෙනුවෙන් පැවති F8 මෘදුකාංග සංවර්ධක සමුළුවේදී ෆේස්බුක් වෙත වසර දාහතරක්ද සපිරෙද්දී මාර්ක් සකර්බර්ග් විසින් ඔවුන් ෆේස්බුක් ඩේටිං ලෙස නව සේවාවක් අරඹන්නට බලාපොරොත්තු වන බව සඳහන් කළා. මෙහිදී කෙටි කාලීන සබඳතාවක් වෙනුවට දිගු කාලීන ආදරයක් ඇතිවන ආකාරයේ ක්‍රමවේදයන් ඔවුන් යොදා ගනු ලබනවා. පසුගිය කාලයේ සිදු වූ කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියත් සමඟ මිලියන 500ක් පමණ ඇමරිකානු ජනතාවගේ තොරතුරු ෆේස්බුක් වෙතින් පිටතට යාමෙන් ෆේස්බුක් සමාගමට විශාල කැළලක් ඇති වුණා. මේ නිසා ෆේස්බුක්හි දත්ත ආරක්ෂණය පිළිබඳ ලෝකයේම විශ්වාසය බිඳ වැටී ඇති නිසා “මේ සේවාවේ තිබෙන තොරතුරු ඉතාම ආරක්ෂිතව පවත්වා ගනිමින් පෞද්ගලිකත්වය තහවුරු කරන්නට අපි මුල සිටම කටයුතු යොදා තිබෙනවා”යි F8හිදී ෆේස්බුක් ඩේටිං හඳුන්වාදෙද්දී විශේෂ ප්‍රකාශයක් කරන්නට ද සකර්බර්ග්ට අමතක නොකළේ එහි වැඩිපුර විස්තර කියන්නටත් කලිනුයි.

මෙම සේවාව දැනට තිබෙන ෆේස්බුක් ඇප් එකේම කොටසක් ලෙසයි කරළියට පිවිසෙන්නේ. එනමුත් එය අවශ්‍ය අයට පමණක් පාවිච්චි කළ හැකි ආකාරයට සකසා තිබෙන අතර එහි ෆේස්බුක් දත්ත ම භාවිත කොට ලියාපදිංචිවූ විට විශේෂයෙන් තමන්ගේ ෆේස්බුක් මිතුරන්ට එය බලා ගැනීමට හැකි වන්නේ නැහැ. ඒ වෙනුවට සමාන රුචිකත්වයන් ඉස්මතු වන ආකාරයට සාමාන්‍යයෙන් ලොව ප්‍රේම සම්බන්ධතා ඇති වීමට බලපාන පොදු අවස්ථා වෙත සහභාගී වීමට සලසා එහිදී දෙදෙනාව මුණ ගැස්වීමයි මෙහිදී සිදු වන්නේ. මෙම සේවාවෙහි දත්ත ලෙස පාවිච්චි කරන්නේ පරිශීලකයන්ගේ මුල් නම, ඡායාරූපයක්, වයස සහ විස්තරයක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක් වන අතර මේ වෙනුවෙන් සැකසෙන ප්‍රොෆයිල් එක ෆේස්බුක් එකෙන් පරිබාහිරව පවත්වා ගනිමින් ඩේටිං සේවාව පාවිච්චි කරන අයට පමණක් දැකීමට හැකි ආකාරයට සකසා තිබෙනවා. ෆේස්බුක් ඉවෙන්ට්ස් ලෙස දැනට පවතින ආකාරයේ අවස්ථාවන්ට සහභාගී වනවා නම් එයට පැමිණෙන තවත් කෙනෙක් හා මිතුරු වී එහිදී එකිනෙකා මුණගැසී කතාබහ කිරීමට මේ නව සේවාව හරහා අවස්ථාව සලසා දෙනවා. මේ නිසාම ෆේස්බුක් මැසෙන්ජර් වෙනුවට එම සේවාව මතම චැට් කළ හැකි ආකාරයේ පරිබාහිර සේවාවක් ද ලබා දී ඇති අතර එය ෆේස්බුක් සමාගම සතු වට්ස්ඇප් සේවාවෙන් ද පරිබාහිර එකක් බවටයි සඳහන් කරන්නේ. පාසලේදී, පන්තිවලදී සහ අනෙකුත් පොදු අවස්ථාවන්ට සහභාගීවූ විට දකින අයගෙන් නව සම්බන්ධතා ඇති වන නිසා ඒ ස්වභාවික ආකාරයටම එකම රුචිකත්වයන් ඇති පිරිසක් මුණ ගැසෙන අවස්ථාවකදී දෙදෙනෙක්ට හමුවීමට මින් අවස්ථාව සැලසෙන බවයි මෙම සේවාවේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී ක්‍රිස් කොක්ස් සඳහන් කරන්නේ.

නමුත් නූතන සමාජය ඍජුව ගොස් කෙනෙක් හා කතා කිරීමට පැකිලෙන මුත් මැසේජ් එකකින් විවෘතව කතා කරන නිසා මෙවන් සේවාවකින් එකිනෙකා මුලින් හඳුනාගෙන, ප්‍රසිද්ධ හමුවකදී මුණ ගැසී එකිනෙකා දැක ගැනීම මෙහිදී සිදුවෙනවා. එවිට ටින්ඩර් හෝ ෆේස්බුක් හරහා මෙතෙක් කෙරුණු දෙදෙනා පමණක් තනිව මුණගැසී රාත්‍රී ආහාර වේලක් ගෙන, වෙනත් රටවල සංස්කෘතිය අනුව උදෑසන විසිරී යාමක් පමණක්ම මෙහිදී සිදුවන්නේ නැහැ. පිරිසක් සිටින අවස්ථාවකදී ඔවුන්ට හුදෙකලා වීමක් නොමැති නිසා ඇති වන පරිසර තත්ත්වය යටතේ ලිංගික හැඟීම්වලට වඩා එකිනෙකා හඳුනා ගැනීම පිළිබඳ අවශ්‍යතාව උද්දීපනය කොට ඔවුන් වෙත දිගු කාලීන ගමනක් යන්නට අවශ්‍ය පසුබිම සැකසෙනවා.

මිනිසුන් සුව කළ හැකි විද්‍යාවෙන් පරමාණු බෝම්බ හෙළා මිනිසුන් නැසුවාක් සේ, මිතුරන් හඳුනා ගැනීමට සැකසූ ෆේස්බුක් එකෙන් විවිධ අපචාර, සියදිවි නසා ගැනීම් සජීවීව දර්ශනය කිරීම්, ජාතීන් අතර ගැටුම් ඇති කිරීම් වැනි නානාප්‍රකාර දේවල්වලට ලෝක ජනතාව පාවිච්චි කළ නිසා මේ නව සේවාවෙන් ද නිෂ්පාදකයන්ගේ අභිලාෂය කුමක් වුවත් මෙවන් අසුබ දෑ ද සිදුවිය හැකි බව අපේක්ෂා කරන්නට පුළුවන්. එසේම මුලදී ෆේස්බුක් එකේම චැට් එකක් ලෙස පැවති මැසෙන්ජර් එක පසුව තවත් ඇප් එකක් ලෙස වෙන් කළාක් මෙන් මේ සේවාව ද ප්‍රමාණවත් පරිශීලක සංඛ්‍යාවක් ලබා ගත්තාට පසු තවත් ඇප් එකක් සේ වෙන්වනු ඇතැයි සිතිය හැකියි.

නමුත් මාර්ක් සකර්බර්ග් මේ සේවාව ගැන හඳුන්වා දීමත් සමඟම මෙතෙක් පැවති ඩේටිං සේවාවන් වූ match.com, OkCupid වැනි සේවාවන්හි කොටස් වෙළෙඳපොළ අගය 21%කින් පමණ ක්ෂණික පහත වැටීමකට ලක්ව තිබෙනවා. “මේ කියන දේවල් හරියන්නේ ඇමරිකාවටයි, රුසියාවටයි විතරයි.” match.com හි මවු සමාගමේ අධිපති ජෝයි ලෙවින් සඳහන් කරද්දී ඩේටිං සේවාවක් වන Bumbleහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ඔවුන් ෆේස්බුක් සමඟ අත්වැල් බැඳ ගැනීමට ද කැමැත්ත පළ කර ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ, ඩේටිං වානිජ්‍යයේ පිඹුරුපත් පවා වෙනස් කරලන්නට දැනටමත් ෆේස්බුක් සමත්ව ඇති බවයි.


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>