ආචාර්ය ධර්මසේන පතිරාජ විවිධ සමාජ තලයන් හා විවිධ ක්ෂේත්‍රයන්හි පිරිස් විවිධ ස්වරූපයෙන් ඇසුරු කළ අයෙකි. එහෙත් අවසන් කාලයේදී ඔහු ඉතාමත් සමීපව ඇසුරු කළේ ඉන් ඉතා අතළොස්සකි. මාලක දේවප්‍රිය යනු එයින් එක් අයෙකි. වඩාත් විශේෂත්වය වන්නේ එය නොවේ. පතී අයිති වූයේ සාහිත්‍ය, සිනමාව ඇතුලු පොදුවේ කලා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙන 70 දශකයට වුවත්, මාලක අයිති වන්නේ 90 දශකයේ පරම්පරාවට වීමය. දශක තුනක, පරම්පරා තුනක සමාජ වෙනස්කම් සලකුණු වුවද, පතීගේ ඇසුරට වර්ෂ සංඛ්‍යා අදාළ නොවීය. පතී, තමාට හමු වූ කෙටිකාලීන අතීතය පිළිබඳ මාලක දේවප්‍රිය සිහිපත් කරනු ලැබුවේ මේ අයුරිනි.
"මුලදී මට පතී විවිධ තැන්වලදී හමු වී තිබුණත් දැන හැඳිනගෙන සිටියෙ නෑ. උපාලි ගම්ලත්ලා මොරටුව විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ජෙම්ස් ජෝර්ජ් ශාලාවේ චිත්‍රපට උළෙලක් තිබුණා. පතීගේ ඔක්කොම චිත්‍රපට පෙන්නුවා. ඒ 1992දි විතර. ඒ කියන්නෙ මං ඉස්කෝලෙ යන කාලෙ. ඒ චිත්‍රපට උළෙලට සමගාමීව සංවාදයක් තිබ්බා. ඊට කලින් චිත්‍රපට බලලා තිබුණත් පතී දැකලා තිබුණේ නෑ. ඒ නිසා මං එයා ගැන මවාගෙන හිටියෙ ලොකු රූපයක්. ඒත් පතී එදා ඇත්තටම ආවෙ සෙරෙප්පු දෙකක් දාගෙන, ඩෙනිමක් ඇඳගෙන හරිම සැහැල්ලුවෙන්."
පාසල් වියේ සිසුවක් ලෙසින් පතී හැබැහින් දැකගැනීමට ලැබුණද, ඔහු සමග කතා බස් කිරීමටත්, ඔහුට වඩාත් සමීපවීමටත් මාලකට අවස්ථාවක් ලැබෙන්නේ තවත් වසර නවයකට පමණ පසුය. වෙනස නම් ඒ වන විට ඔහු පාසල් සිසුවෙක් වෙනුවට සරසවි සිසුවෙක් බවට පත්ව සිටීම පමණි.
"2001 අවුරුද්ද වෙද්දි මං හිටියෙ කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ. හොරණ ශ්‍රී පාලි මණ්ඩපයෙන් පතීට මාරුවක් ලැබිලා කොළඹට එනවා. එදා මං 'අපේ සංස්කෘතික මධ්‍යස්ථානය'ගාව කෙල්ලො සෙට් එකක් එක්ක කතා කර කර ඉන්නකොට පතී ත්‍රීවීල් එකකින් ඇවිත් බැස්සා. මං එයාව දුරතියාම අඳුරගත්තු නිසා දුවගෙන ළඟට ගියා. 'සර්'කියලා කතා කළා. එයත් හිනාවෙලා මගෙන් 'ජර්නලිස්ම් ඩිපාර්ට්මන්ට්'එකට යන්නෙ කොහොමද? කියලා ඇහුවා. සාමාන්‍යයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කිසිදු දෙපාර්තමේන්තුවක් පිටින් ආව කෙනෙකුට ලේසි පහසුවෙන් හොයාගන්න හැකියාවක් නෑ. ඊට පස්සෙ මං සර් එක්කම ඩිපාර්ට්මන්ට් එකට ආවා. 'අද වැඩ බාරගන්නයි ආවේ'කියලා එයා කීවා. මං ඒ හම්බවුණු පළවෙනි අවස්ථාවෙම මං ගැන කියලා දැම්මා. මං කෙටිචිත්‍රපට කරන බව. චිත්‍රපට ගැන උනන්දුයි කියන එක ඔක්කොම කීවා. පහුවදා මගේ චිත්‍රපටයේ ඩීවීඩි එකකුත් ගෙනිහින් දුන්නා."
මාලක දේවප්‍රිය ඒ වන විට 'ලයිෆ් සර්කල්'නමින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිබිණි. ඔහුගේ චිත්‍රපට ගැන උනන්දුවත්, පරම්පරා ගැටුමකින් තොරව සිසුන්ට අතදීමේ පතීගේ නොමසුරු ගුණයත් ඔවුනොවුන් වඩා සමීපකරවීමට හේතුවන්නට ඇත. දවස් දෙකකට පමණ පසු පතී, මාලකගේ කෙටි චිත්‍රපටය නරඹා ඔහුට කතා කළේය.
"මං පහුගිය කාලෙ දවසක 'මතුයම් දවස'අරන් ඊශ්‍රායලයේ ජෙරුසලම් චිත්‍රපට උළෙලට ගියා. එහිදී මගෙන් ඇහුවා ලංකාවේ ශිෂ්‍යයින් චිත්‍රපට කරනවද කියලා? ඊට පස්සෙ මං කීවා, නෑ කියලා. මේක දාමු ෆෙස්ටිවල් එකට"පතී, යෝජනා කළේය.
"මං ඒක කරන්නෙ කොහොමද කියලා දන්නෙ නෑ. අනික මගේ ළඟ සල්ලිත් නෑ"මාලක කියා සිටියේය. ඒ ගැන වැඩි යමක් කතා බස් නොකළද, පතී වහා ක්‍රියාත්මක විය.ඒ ගැන කිව යුත්තේ මාලක මිස අප නොවේ.
"එයා මාවත් එක්කරගෙන ගිහින් ඒ.ටී.එම් එකෙන් එයාගෙ ගිණුමෙන් රුපියල් 3000 ක් අරන් දුන්නා. ඊට පස්සෙ ඒක අතට දීලා ලිබර්ටි එකෙන් බීටා කැසට් එකක් ගන්න කීවා. මගෙ ළඟ තිබ්බෙ වී.එච්.එස් අවුට් එකක් විතරයි. ඉතිං ලිබර්ටි එකෙන් ගත්තු කැසට් එක අරන් සැලෙසිනෙ එකට ගිහින් නිමල් ඒකනායක හම්බ වෙන්න කීවා. එයාට කීවම බීටා එකට ගහලා දෙයි කීවා. මං ඒක කරගෙන ආවට පස්සෙ ෆිල්ම් එකේ සිනොප්සි එකත් එයාම ලියලා මගේ ඇප්ලිකේෂන් එකත් එයාම ෆිල් කරා. එයාගෙ ඩී.එන්.ටී එකවුන්ට් එකෙන්ම කැසට් එක ෆෙස්ටිවල් එකට යැව්වා. ෆිල්ම් එක "ටෙල් අයි ලව් යූ ස්ටුඩන්ට් ෆිල්‍ම් ෆෙස්ටිවල්'එකට තෝරාගත්තා කියලා. පතී මාස දෙකකට විතර පස්සෙ කීවා."
මාලකට ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා පාර කැපෙන්නේ ඒ අයුරිනි.
මෙම කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් පැවතියේ ආචාර්ය නෙලුෆර් ඩිමෙල් අංශ ප්‍රධානත්වය දැරූ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ පමණි. ඊට හේතුව වෙනත් අධ්‍යයන අංශවල ප්‍රොජෙක්ටර්ස් හෝ නොතිබීමය. එකී තාක්ෂණික කරුණු පමණක් නොව සරසවි සිසුන්ගේ දැනුවත්භාවය මෙන්ම ආකල්පයන්ද නොසලකා හැරිය නොහැකිය.
"ඇත්තටම අපිත් එක්ක හිටපු ශිෂ්‍යයින් ධර්මසේන පතිරාජ කියන්නෙ කවුද කියලා බහුතරයක් දැනගෙන හිටියෙ නෑ. එයා ෆිල්ම් කරලා තියෙනවාද?, මොනවද ඒ? මෙහේ මොකද කරන්නෙ කියලා දන්නෙ නෑ. පතී ඇවිත් ජර්නලිසම් දෙපාර්තමේන්තුවේ ටෙලිවිෂන් සහ ෆිල්ම් කෝස් යුනිට් එකක් ඩිසයින් කළා. ඊළඟ සෙමෙස්තරයේ ඒ පාඨමාලාව පටන් ගත්තා. අපිත් ඒක කළා. කොහොම වුණත් පතීව දන්න වෙන අය හිටියෙ නැති නිසා අපට කතා කරන්න ඕන තරම් අවස්ථාව ලැබුණා. සිනමාව ගැන සාහිත්‍ය ගැන අපි නිතර කතා කළා. මේ නිසා අපට කිට්ටුවෙන්න ලැබුණා. පතී ගොඩක් දෙනෙක් හුඟක් ඈතින් තමා තියාගන්නෙ. ඒත් අපේ සම්බන්ධය කිට්ටු වුණේ ඒකයි. 'සිනමා හා සේයා රූ සංගමය'කියලා එකක් විද්‍යා අංශයේ තිබ්බා. කලා අංශය නියෝජනය කරමින් පළමු අවුරුද්ද ඉවරවෙනවත් එක්කම මං ඒකෙ සභාපති හැටියට පත් වුණා. ඊට පස්සෙ අපි ෆිල්ම් පෙන්නන්න පටන් ගත්තා. ෆිල්ම් ගොඩක් දුන්නෙ පතී සහ සත්‍යජිත් මාඉටිපේ.පතී ගාව ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. මාඉටිපේට ප්‍රෙෂර්ස් එකේ එකවුන්ට් එකක් තිබ්බා. ඒකෙන් ෆිල්ම් අරන් දුන්නා. අපි මාසෙකට දෙකකට වතාවක් ෆෙස්ටිවල් එකක් කළා. හැම සතියකටම වරක් ෆිල්ම් එකක් පෙන්නවා. ඒ කාලෙ අනුර වික්‍රමසිංහගෙ ප්‍රොජෙක්ටරය අරන් ගිහින් අතින් පෝස්ටර් ඇඳලා පෙන්නනවා. සමහරවිට අපර්ණා සෙන්ගෙ, චාලි චැප්ලින්ගෙ ෆිල්ම්ස්. ඒත් බලන්න කවුරුත් එන්නෙ නෑ. සමහරවිට මම විතරයි. සමහරදාට මමයි, පතියි විතරයි. අපට ලොකු තිරයෙ චිත්‍රපටි බලන්න අවස්ථාවක් තිබුණේ නෑ. අපේ සිනමා සංගමයේ අයවත් නෑ."මාලක කියා සිටියි.
"පතී ළඟ තිබ්බ චිත්‍රපටි එකතුවට මොකද වුණේ? මම විමසුවෙමි.
"ඒ කාලෙ තිබ්බෙ වී.එච්.එස් විතරයි. කාලයත් එක්ක පුස් බැඳිලා ඒවා අයින් කළා. ඊට පස්සෙ ටොරන්ට්ස් ආව නිසා ඒ මාදිලියට තිබ්බ වටිනාකම නැති වුණා"
ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ No more tears sisters වාර්තාමය චිත්‍රපටය නිර්මාණය කරමින් සිටියේ කැත්ලින් කඩොවොස්කිගේ මැදිහත්වීම මතය. රාජිනී තිරණාගමගේ ජීවිත කථාව ඇසුරින් නිර්මිත එකී වාර්තා චිත්‍රපටයේ ඇයගේ සිසුවකු ලෙස රංගනයෙන් දායකවීමට මාලක දේශප්‍රියටද, අවස්ථාව ලැබෙයි.
අනෙක් අතට සහය අධ්‍යක්ෂවරයකු ලෙස පතිරාජගේ පසුකාලීන චිත්‍රපටවල කටයුතු කරන ලෙස ඇරියුම් ලැබුණද, ඔහු ඊට සහභාගි නොවෙයි.
'ස්වරූප'වලට මට කතා කළා. බජට් නෑ. ඒත් ඇසිස්ට් කරන්න එන්න කියලා කීවා. මට ඇසිස්ටන්ට් වැඩ කරන්න බැරි බව මං දන්න නිසා බෑ කීවා. ඒ කාලෙ කරපු වැඩ ගැන හැම එකක් ගැනම වගේ මගෙත් එක්ක කතා කළා. 'ඉන් සර්ච් ඔෆ් ද රෝඩ්, රෝඩ් ටු සාම්පූර් වගේ දේවල් ගැන නිතර කතා කළා. 'සක්කාරං'වුණත් එහෙමයි. ඒත්, 'සක්කාරං'නම් මං කරන්නත් එපා කීවා. පතී ඒ කාලෙ සභාපති හැටියට කලා මණ්ඩලේට ගියා. මං ඒක ගැන එකඟ නෑ කීවම මට බැන්නා.'සතුරෝ'ආයෙ කරන්න හිටියා. ඒකටත් මං කැමති වුණේ නෑ. ඒත් අපි අතර දිගින් දිගටම සංවාදයක් තිබ්බා"මාලක සඳහන් කළේය.
ධර්මසේන පතිරාජ පසු කලෙක මාලක දේශප්‍රිය සමග වැඩි වශයෙන් කතා බහ කළේ නිර්මාණවලටත් වඩා නොකළ නිර්මාණ ගැනය. විශේෂයෙන්ම පතී, රෝගාතුරුව දිවි ගෙවූ අවසන් කාලය තුළද, තවදුරටත් නිර්මාණ කිරීමේ නොතිත් ආසාවෙන් බලාපොරොත්තු පෙරදැරිව සිටියේය.
'හොඳ මිනිහා'කියන කෙටිකතාවෙන් ෆිල්ම් එකක් කරන්න පතීට ඕනකමක් තිබුණා. 'උදේ විතරයි වැඩ කරන්න පුළුවන්. දවල් වෙද්දි අමාරුයි'කියලා උදේට විතරක් ෂූටිං දාලා සෙඩියුල් එකක් හදලා කරමු කියලා කීවා"ඒ වෙද්දි අසනීප තත්ත්වය වර්ධනය වෙලා තිබුණු නිසා මමත් 'අපි ඒක එහෙම කරමු'කියලා දිරිමත් කළා. මං දැක්කෙ මේ විදිහට දිගටම වැඩ කිරීමේ නොතිත් අසාවක් තිබ්බා. විෂුවල් මීඩියා එක්ක වැඩ කරන්න ඕනකමක් තිබ්බා. එයා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවම ඔබේසේකර වගේ අය සෑහෙන්න විරෝධය දැක් වූ බව පතී මට කීවා. ඒත් 'ටෙලි'කියන්නෙත් වැඩකරන්න පුළුවන් තැනක් කියලා පතී දිගින් දිගටම විශ්වාස කළා. ඒත් අන්තිම කාලෙ නම් කීවේ ඔබේසේකර කීවේ ඇත්ත තමා කියලා. 'කම්පිතවිල්'කරාට පස්සේ තමා එහෙම කීවේ 'ආයෙ ජීවිත කාලෙටම ටෙලි කරන්නෙ නෑ'කියලා කීවා. ඇත්තටම ඊට පස්සෙ ආයෙ ටෙලි කළේ නෑ"මාලක දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේය.
හෙට අන්තිම කැමැත්ත ලියන්න සැලසුම් කළ හැටි...
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර