Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඉදිරියට යන ඉදිකිරීම්

$
0
0
මැයි 22, 2018 01:00

 ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නිවාස හා කර්මාන්ත ජාත්‍යන්තර ප්‍රදර්ශනය පසුගිය සතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

ඉදිකිරීම් අංශය ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධණයේ වේගයෙන් පුළුල් වීමේ කඩ ඉමක් වූයේ යුද්ධය නිමාවී, සාමය ස්ථාපිත වීමයි. යුද්ධයෙන් විනාශ වූ උතුරු නැඟෙනහිර, නිවාස, මහා මාර්ග, වාණිජ සහ සිවිල් ගොඩනැඟිලි මෙන්ම ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයෙන් වේගවත් වූ ඉදිකිරීම් කර්මාන්තය මේ වනවිට ආර්ථික සංවර්ධනයේ එක් පැතිකඩක් පිළිබිඹු කරමින් ඉදිරියට ගමන් කරයි.

අමුද්‍රව්‍ය, ශිල්පීය ක්‍රම සහ නව ජීවන රටාවනට අනුව වෙනස්වන නව ඉදිකිරීම් කර්මාන්තයේ ස්වරූපය හඳුනාගැනීමට මෙවැනි ප්‍රදර්ශන විශාල රුකුලක් සපයයි. 2012 වසරේ සිට මෙරට ඉදිකිරීම් කර්මාන්තය වඩාත් වේගවත් වූ බවද, ඉදිරි වසර 15 – 20 දක්වා කාලයක් මේ වේගය නොකඩවා ඉදිරියට ගමන් කරන බව ද කියැවේ. මීට එරෙහිවන මතධාරිහු ද සිටිති.

කොළඹ නගරයේ උස් ගොඩලැගිල්ලක සිට නගරය දෙස බැල්මක් හෙළන විට දැනට ඉදිවන ගොඩනැගිලි සංඛ්‍යාව එකවරම නෙත ගැටේ. මේ තත්ත්වය ප්‍රාදේශීය උප නගරවල ද දක්නට ලැබේ.

අද වන විට ඉදිකිරීම් සමාගම් 2500ක් පමණ ශ්‍රී ලංකාවේ විවිධ ඉදිකිරීම්වල නිරතව සිටිති. සමාගම් කීපයක් විවිධ රටවල පවා ඉදිකිරීම කර්මාන්තයේ නිරත වෙති. ශ්‍රී ලංකාවේ මහා මාර්ග නිවාස යෝජනා ක්‍රම, වාණිජ මධ්‍යස්ථාන, ධීවර වරාය, මහල් නිවාස, සංචාරක හෝටල සෙසු යටිතල පහසුකම් ආශ්‍රිත ඉදිකිරීම් සමාගම්වලින් සැපයෙන ඍජු හා වක්‍ර රැකියා ප්‍රමාණය ලක්ෂ 7 ඉක්මවයි.

දේශීය ඉදිකිරීම් ආයතන

මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේදී කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ අධිවේගී මාර්ග ඉදිකිරීමට සමත් දේශීය ඉදිකිරීම් ආයතන දැන් බිහිවී ඇති බවයි. එසේම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙන බවද, ඉදිරි දශකයේ දි මේ කර්මාන්තය තව තවත් දියුණු වන බවද එහිදී අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට ඉදිකිරීම් අංශයට සම්බන්ධ ඇමැතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතා ද මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ද මේ විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සම්බන්ධ වූහ.

ඉතා සුළුවෙන් ආරම්භ කළ දේශීය ඉදිකිරීම් සමාගම් මේ වනවිට ආසියා සංවර්ධන බැංකුවේ අගැයීමට ලක් වෙමින්, ඔවුනගේ සංවර්ධන ව්‍යාපාර ඉදිකිරීමට පවා පෙරට පැමිණීම තුළින් මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රගතිය විදහා පෑමට සමත්ව තිබේ.

උදාහරණ වශයෙන් කිවහොත් ඉතා කුඩාවට 1984 ආරම්භ කළ මාගා සමාගමය මේ වනවිට සේවකයන් 8000කට අධික පිරිසකට ඍජු රැකියා සපයා ඇත.

මාගා සමාගම 2017 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 18.8 ක් වටිනා ඉදිකිරීම් ව්‍යාපෘති ආසියානු සංවර්ධන බැංකුවෙන් හිමි කර ගෙන තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තා උපුටා දක්වන ECONOMYNEXT පවසන්නේ කේ. ඩී. ඒ. වීරසිංහ ඉදිකිරීම් සමාගමය. අමෙරිකා ඩොලර් දස ලක්ෂ 96.2 (රුපියල් බිලියන 15ක) අගය සහිත ඉදිකිරීම් හිමිකරගත් බවයි. මේ ඉදිකිරීම් අතර නාගරික යටිතල පහසුකම් සංවර්ධනය සහ ජල සම්පාදන ව්‍යාපෘතිද වන බව වාර්තාවේ.

තවත් දේශීය සමාගමක් වන සියෙරා කන්ස්ට්‍රක්ෂන් සමාගමය ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂ 77.4ක් අගය සහිත ඉදිකිරීම් ද, කේ. ඩී. ඊබට් සහ පුත්‍ර ඉදිකිරීම් සමාගමය. ඇමෙරිකා ඩොලර් දස ලක්ෂ 76.30ක් අගය සහිත ඉදිකිරීම් ද ආසියා සංවර්ධන බැංකුව වෙතින් හිමි කර ගෙන තිබේ. මේ ව්‍යාපාරික අවස්ථා උදාකරගත්තේ අන්තර්ජාතික ඉදිකිරීම් සමාගම් සමඟ තරග වැදීමෙනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ආයතන ජාලයක් ද ක්‍රියාත්මක වන අතර සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් ව්‍යාපාරිකයෝ ද වෙති. එසේම ජාත්‍යන්තර සමාගම් ද මෙරට ඉදිකිරීම් සඳහා ඉදිරිපත්ව සිටිති.

මහල් නිවාස, මහාමාර්ග, සංචාරක හෝටල, ධීවර වරාය, ජල සම්පාදන යෝජනා ක්‍රම, වාරිමාර්ග ව්‍යාපෘති, විදුලිබල හා බලශක්ති අංශයන්හි දැවැන්ත සමාගම් මෙන්ම ග්‍රාමීය කුඩා ඉදිකිරීම් හා නිවාස ඉදිකිරීම් අංශය ද එකසේ මුහුණ දෙන ප්‍රශ්න රාශියකි. ඒඅතර ප්‍රධාන වන්නේ ශ්‍රම හිඟයයි. එසේම අමුද්‍රව්‍ය හිඟයක් ද ඇතැම් අවස්ථාවන් හිදී පැන නැගේ. ඉදිකිරීම් ආයතන මේ පිළිබඳව ආණ්ඩුව දැනුවත් කළ අවස්ථා ද දක්නට ලැබුණි. විදේශයන්ගෙන් ශ්‍රමිකයන් ගෙන්වීමේ යෝජනා පවා රජයට ඉදිරිපත් කළ අවස්ථා තිබුණි.

නේපාලය සහ බංගලිදේශයෙන්, ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ පෙනී ගියේ මාසිකව රුපියල් 30000 – 40000 අතර වැටුපකට ඔවුනගේ සේවය ලබා ගත හැකි බවයි. එසේම ඔවුනගේ ශ්‍රම පලදායකත්වය ද ඉහළ මට්ටමක පවතින බව ද කියැවුණි.

ශ්‍රමික පුහුණුව

මේ ප්‍රශ්නයට විසැඳුමක් ලෙස දේශීය ශ්‍රමිකයන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙළ රාශියක් දැන් ඉදිකිරීම් සමාගම් විසින් ද අරඹා ඇත. මාගා සමාගමය නිපුණතා සංවර්ධන සමාගමය සමඟ එක්ව ශ්‍රමිකයන් පුහුණු කර ඔවුනට රැකියා අවස්ථා හිමිකර දීමේ ව්‍යාපෘතියක් අරඹා ඇත. මේ සඳහා ලෝක බැංකුවේ ආධාර හිමි වේ. එසේම ආසියා සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමය ද ශ්‍රමික පුහුණුවට ආධාර සපයා ඇත.

නිපුණතා සංවර්ධන අමාත්‍යංශය 2014 2020 දක්වා වන කාලයට අනුගතවන සැලැස්මක් අනුව පුහුණු ශ්‍රමිකයන් පුහුණු වැඩ සටහනක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියද තවත් ආයතන රාශියක් ද ශ්‍රමිකයන් පුහුණු කිරීමේ නිරත වෙති.

ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා එක් අවස්ථාවක දී පවසා සිටියේ ඉදිකිරීම් අංශයේ රැකියාවනට ඉදිරිපත්වීමට ඇතැම් තරුණ පිරිස් අකමැති බවයි. පළාත් සභා මඟින් ද ශ්‍රමිකයන් පුහුණු කිරීමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කර තිබේ. මෙම මධ්‍යස්ථානයන් හි පුහුණුව සඳහා අවශ්‍ය තරුණ පිරිස් නොමැතිවීම නිසා ඇතැම් මධ්‍යස්ථාන වසා දැමුනු අවස්ථා ද වාර්තා විය. ශ්‍රමික හිඟය ඉදිකිරීම් අංශයට පමණක් නොව වෙනත් අංශයන්ටද බලපා තිබේ. කටුනායක වෙළෙඳකලාපය ද මේ ප්‍රශ්නයට මුහුණ දී තිබේ.

1953 දී කරන ලද සමාජ සමීක්ෂණයදී කියැවුණේ රටේ භාවිතා වූ නිවාස අතරින් සියයට 59.5ක බිත්ති වරිච්චි හෝ මැටියෙන් නිමාව තිබූ බවයි. එසේම ගෙබිමට සිමෙන්ති භාවිතා කර තිබුණේ නිවාස සියයට 24.7ක පමණි. නිවාස අතරින් සියයට 56.7ක වහල අතු සෙවිලි කර තිබුණි. විදුලි බලය තිබුණේ නිවාස සියයට 4කට පමණි.

දැන් මේ තත්ත්වය වෙනස් ව තිබේ. බිත්ති සඳහා ගඩොල්, පෙරසව් නිෂ්පාදන සහ වෙනත් විකල්ප භාවිතා කරනු ලබයි. වහල සඳහා උළු, ඇස්බැස්ටොස් සහ වෙනත් විකල්ප තිබේ. ගෙබිමට සිමෙන්ති වෙනුවට ටයිල්, රබර් මිශ්‍රිත නිර්මාණ සහ ලී භාවිතාවේ. එදා ලීයෙන් නිම කළ වැඩ සඳහා භාවිතා වූ ලී වෙනුවට ඇළුමිනියම් භාවිතා වේ.

කොළඹ ප්‍රදර්ශනයට සහභාගි වූ ඇළුමිනියම් නිෂ්පාදක සමාගමක් සිය ප්‍රදර්ශන කුටියට පැමිණියවුනට කීවේ දැව වලට වඩා මිල අඩු, දැවයට සමාන පෙනුමැති ඇළුමිනියම් දොර ජනෙල් භාවිතා කිරීමෙන් රටේ වන සම්පත් සුරැකෙන බවයි. ඇණ භාවිතාව වෙනුවට ලී ඇලවීමේ තාක්ෂණය හඳුන්වා දුන් විදේශීය සමාගම් ද විය. ප්‍රදර්ශන කුටි රාශියක චීන නිපැයුම් දක්නට ලැබුණි.

මහල් නිවාස

උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මෙන්ම ඉදිකිරීම් කටයුතු පරීක්ෂාවට ලක් කිරීමේ ආයතන ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතු යැයි වරක් ඉදිකිරීම් සමුළුවක දී කියැවිණි. බාල අමුද්‍රව්‍ය යොදාගැනීම් හා නිසි ප්‍රමිතිය නොතිබීම නිසා දැවැන්ත ඉදිකිරීම් මෙන්ම කුඩා ඉදිකිරීම් ද කඩා වැටුණු අවස්ථා වාර්තා විය.

වැල්ලවත්තේ මහල් හයකින් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටුණු අතර කුඩා ප්‍රමාණයේ පාලම් රාශියක් කඩා වැටුණු අවස්ථා ද විය. මේ දේ ශ්‍රී ලංකාවට පමණක් සීමාව නැත. ඉදිකිරීම් කර්මාන්තය නිරීක්ෂණය සඳහා රාජ්‍ය ආයතනය (උදාහරණ CIDA) පිහිටුවා ඇත.

කළුගල්, වැලි සහ ගඩොල් හිඟය සහ ඒවායේ මිල ඉහළ යෑම අපේ ඉදිකිරීම් කර්මාන්තයේ ලොකුම මැසිවිල්ලයි. එසේම අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී පවතින නීති රීති හා ප්‍රමාදයන් මෙන්ම අනවසරයෙන් ඉදිකෙරෙන ඉදිකිරීම් ද ගැටලු ඇති කරයි.

මහල් නිවාස ඉදිකිරීම් දැන් වඩාත් වේගවත් වන අතර මහල් නිවාස පදිංචිකරුවනට මුහුණදීමට සිදුවන ගැටලු හා නීතිමය අඩුලුහුඬුකම් ගැනද වාර්තා වේ. මහල් නිවාස ආශ්‍රිත නීති රාමුව තුළ දැනට පවතින අඩුපාඩු හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවේ මහල් නිවාස සංවර්ධන කර්මාන්තයේ වර්තමාන අවශ්‍යතා සපුරා ලීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය 1973 අංක 10 දරන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි පනත හා 1999 අංක 4 දරන නිවාස හිමිකම් (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමට නියමිතයි. එය නිවාස ලාභිනට සුබදායක ආරංචියකි.

නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනයට සහභාගී වූ රත්නපුර මෙරිල් දිසානායක මහතා පවසන අන්දමට දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි තුළින් වත්මන් ඉදිකිරීම් කර්මාන්තයේ නවතම ප්‍රවණතා හා නිර්මාණ පිළිබඳ දැනුමක් ලබාගැනීමට අවස්ථාව උදා වූ බවයි. ඒ දැනුම නිවාස හා ඉදිකිරීම් කර්මාන්තයට උපයෝගීකර ගැන්මටත් ශ්‍රී ලංකා වාසිනට අවස්ථාව උදා වූ බව ඒ මහතා කියයි.

කරුණාරත්න අමරතුංග 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>