පතීගේ කතාව 55
"එයා 'අවසන් කැමැත්ත'ලියන්න ඒ ගැන කතා බහ කරගන්න, මට ගල්කිස්සෙ ගෙදරට එන්න කීවා, ඒ වෙද්දි පතීට වයස 75යි. මගෙන් ඇහුවෙ 'හැත්තෑපහක් හිටියම ඇති නේද?'කියලා. 'තව ඉඳලා මොනව කරන්නද?'ඇහුවා. එතකොට අසනීපයේ මුල් අවස්ථාව. ඒකෙ දිග පළල එයා මිසක් වෙන කවුරුත් දැනගෙන හිටියෙ නෑ. පරීක්ෂාවකට ඉන්දියාවෙ ගිහිල්ලත් නෑ. එතකොට සුමතිත් ගෙදර හිටියේ නෑ. අමෙරිකාවෙ ගිහින්. මරණය සම්බන්ධ දේවල්, ෆිල්ම්ස්වල අයිතිය ගැන, පොත්පත්වල අයිතිය ගැන ඉස්සරලාම ඩ්‍රාෆ්ට් කළා. පතී ඒ වෙද්දි මරණයට සූදානම් වෙලා හිටියා කියලා මට හිතුණා. "මාව මැරුණම ලාභ පෙට්ටියක දාපන්'කීවා. ඒ වගේ කතා අහන්න බැරි නිසා 'මැරෙන කතා මොකටද'කියලා මං ඇහුවා. ඊට පස්සෙ අපි දෙන්නම හිනාවුණා.
ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් ලියූ කෙටිකතාවක් ජාතික පුවත්පතක පළවූයේ ඔහුගේ මරණයෙන් දින කිහිපයක් ඉකුත්ව ගිය පසුය. 'පොත් එළිදැක්වීම'නමින් පළ වූ එකී කෙටිකතාව, පතී ලෙඩ ඇඳේ සිට ඔහුගේ හඬින් කියද්දී මාලක විසින් පිටපත් කෙරුණු බවට තොරතුරු එහි පළවිය. ඒ පිළිබඳව වඩාත් නිවැරදිව දන්නේද මාලකය.
"ඒ කෙටිකතාව පතී කියද්දී මං ලීවා. ඊට පස්සේ ටයිප් සෙටිං කරලා අරන් ගිහින් පෙන්නුවා. ඇඳේ වාඩිවෙලා කණ්ණාඩි දෙක දාලා කියවලා සමහර තැන් පෑනෙන් කැපුවා. සමහර තැන් ලීවා. එඩිට් කළා. 'පොත එළිදැක්වීම'කියල පළවුණේ ඒක. එයා සිංහල කථිකාචාර්ය කෙනෙක් නිසාද, කොහෙද එක වචනයක් වත් වරදින්න බෑ. එයාට බලල හදන්න ඕන. ඒ කෙටිකතාව පළවෙද්දී හැඳින්වීමක් හැටියට ලියූ කොටසේ මං පතීගේ 'සහය අධ්‍යක්ෂවරයෙක්'හැටියට වැඩ කළ බවක් කියල තිබ්බා. එහෙම නෑ, මං එයාගෙ ශිෂ්‍යයෙක් විතරයි. ඒත් කලා ජීවිතයෙත් පුද්ගලික ජීවිතයෙත් ගොඩාක් දේවල් මාත් එක්ක කියලා තියෙනවා. මේ ඒ වගේ තවත් අත්දැකීමක්. 'ස්වරූපවලට මට ටේලර් එකක් හදන්න කීවා. ගල්කිස්සෙ කිත්සිරි මෙවන්ලගෙ ගෙදර තමා ෂූට් කළේ. හඬකැව්වෙ බිම්සරා. මං පතීට කීවෙ,'මං ඒක හදල දෙන්නම් ගෙදරට වෙලා ඉන්න'කියලයි. ඒත් එයා ආවා. ඇවිත් කොටසක් වෙනස් කළා. ඒ ආධිපත්‍යය එයා හැමදාම තියාගත්තා."
බොහෝ දෙනෙක් ධර්මසේන පතිරාජ හඳුනාගනු ලැබුවේ සිනමාකරුවෙක් ලෙස වුවද, ඔහු කෙටි කතා ගණනාවක්ද ලියා පළකර තිබේ. දිවියේ අවසාන භාගයේ වුවද, පතී, ලිවීම අරමුණු කොටගෙන සිටි බැව් මාලක කියයි.
"තව කෙටිකතා 3ක් ලියන්න වස්තු බීජ එයාගෙ ඔළුවෙ තිබ්බා. පතී හිටපු මහනුවර ප්‍රීම්රෝස් ගාඩ්න්වල විශාල නුග ගහක් කැපුවා. ඒක ආශ්‍රයෙන් සංකල්පයක් තිබුණා. ඒ ගැන මට කීවා. මීමුරේ පර්යේෂණය කරන්න ගිය ගමනේ අත්දැකීම් පදනම් කරගෙන කෙටිකතා දෙකක් ලියන්න හිටියා. "
එහෙත් එකී කෙටිකතා ලියා පළකරන්නට තරම් කාලයක් පතීට නොතිබිණි. මරණය ඉක්මන් වීම නිසාම එකී නිර්මාණවල වස්තු බීජ ද, කැටුව සොබාදහම සමඟ යළි එකතුවන්නට ඔහුට සිදුවිය. පතීගේ නිර්මාණ දිවියේ අවසාන කාලයේ නිර්මාණවලට වැඩියෙන් මුල් කාලීන නිර්මාණ කතාබහට ලක්වූ බව අවිවාදිතය. ඒවා නිර්මාණාත්මක බවින් කෙතරම් පොහොසත්ද යත්, අද දවසේද පතීගේ විශිෂ්ට කෘති ලෙස හැඳින්වෙන්නේ 'අහස්ගව්ව, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහේ, පොන්මනී වැනි චිත්‍රපට ය. එහෙම වූයේ ඇයි? පතී කළ කී දෑ ඇසුරින් මාලක දේවප්‍රියටද, ඒ ගැන යමක් කියන්නට තිබේ.
පතී නිතර දෙවේලේ කීව දේවල් එක්ක මං උපකල්පනය කරන්නේ 'මුල් කාලෙ වැඩ කරද්දි කට්ට කාලා ඒවා ගොඩදාන්න ජවසම්පන්න, හයි හත්තිය තියෙන මිනිස්සු ටිකක් පතී වටේ හිටියා. 'බඹරු ඇවිත්'කරද්දි විජය කුමාරතුංග, සූදු ගහලා සල්ලි අරන් ඇවිත් තියෙනවා. විජය කියන්නෙ 'සූදු කප්පිත්තෙක්'කියලා පතී මට කියලා තියෙනවා. මාලිනිත් කොළඹ ඇවිත් එයාගෙ පුද්ගලික සල්ලි අරන් ඇවිත් තියෙනවා. එහෙම හයිය දෙන අය එදා හිටියා. 'පාරදිගේ'කරද්දි බලන්න ආව අයටත් අසෝක වීදුරුවෙ දාලා කසිප්පු බොන්න දුන්නු බව පතී මට කියලා තියෙනවා. ඒ විදිහට කමින් බොමින් සැහැල්ලුවෙන් තමා ඒ කාලෙ වැඩකරලා තියෙන්නෙ. කාලයත් එක්ක ක්‍රමයෙන් එහෙම හිටිය අය නැතිවුණා. සමහර අය ඈත්වුණා. මට හම්බවෙන කාලය වෙද්දී එයා වටේ ගොඩක් අය හිටියේ නෑ. සමහර අය පතී විසින් ඈත් කරලා. නිදසුනක් විදිහට පතී එයාට හිටපු හොඳම සහය අධ්‍යක්ෂවරයෙක්, ඈත් කළා. ඒ ගැන මට කීවේ 'මං එක්ක වැඩකරලා මං හදාගත්තු කෙනා. මං වැඩක් කීවම මගෙන් මෙච්චර ගාණක් ඉල්ලුවා. ඒ නිසා මං එයාව ඈත් කළා'කියලයි."හෙතෙම පෙන්වාදෙයි.
මේ අයුරින් කාලයත් සමගින් ඇතැම්විට පතීට හයිය දුන් ඇතැමුන් පතී විසින් ඈත් කරන්නට යෙදී තිබේ. තවත් විටෙක පතී වටා සිටි පිරිස් සල්ලි පසුපසම හඹා යාම නිසාම ඔවුන්ට පතී මඟහැරෙන්නට ඇත. මේ කුමන අයුරින් හෝ අවසානයට සිදුව ඇත්තේ කලෙක දැවැන්තයින් පිරිසක් පිරිවරා සිටි පතී, අතළොස්සක් පමණක් සමීපව ඇසුරු කරන්නටත්, ඔවුන් සමඟ නිර්මාණ කරන්නටත් පෙළඹීමය. වෙනත් අයුරකින් කිවහොත්, මුල් අවධිය හා සසඳා බලනවිට සාපේක්ෂ වශයෙන් හුදකලාවීමය. කෙසේවෙතත් පතී, දැඩිව රෝගාතුරවීමට මත්තෙන් තමන්ගේ 'අන්තිම කැමැත්ත'ලිවීමට තීරණය කර තිබිණි. මාලක දේවප්‍රිය, ඒ ගැන සිහිපත් කරනු ලැබුවේ මේ අයුරිනි.
"එයා 'අවසන් කැමැත්ත'ලියන්න ඒ ගැන කතා බහ කරගන්න, මට ගල්කිස්සෙ ගෙදරට එන්න කීවා, ඒ වෙද්දි පතීට වයස 75යි. මගෙන් ඇහුවෙ 'හැත්තෑපහක් හිටියම ඇති නේද?'කියලා. 'තව ඉඳලා මොනව කරන්නද?'ඇහුවා. එතකොට අසනීපයේ මුල් අවස්ථාව. ඒකෙ දිග පළල එයා මිසක් වෙන කවුරුත් දැනගෙන හිටියෙ නෑ. පරීක්ෂාවකට ඉන්දියාවෙ ගිහිල්ලත් නෑ. එතකොට සුමතිත් ගෙදර හිටියේ නෑ. අමෙරිකාවෙ ගිහින්. මරණය සම්බන්ධ දේවල්, ෆිල්ම්ස්වල අයිතිය ගැන, පොත්පත්වල අයිතිය ගැන ඉස්සරලාම ඩ්‍රාෆ්ට් කළා. පතී ඒ වෙද්දි මරණයට සූදානම් වෙලා හිටියා කියලා මට හිතුණා. "මාව මැරුණම ලාභ පෙට්ටියක දාපන්'කීවා. ඒ වගේ කතා අහන්න බැරි නිසා 'මැරෙන කතා මොකටද'කියලා මං ඇහුවා. ඊට පස්සෙ අපි දෙන්නම හිනාවුණා. ඒත් එයා දිගටම කතා කළා. මැරුණම පැය හයක් ඇතුළත මෘත ශරීරය ළඟම තියෙන ශික්ෂණ රෝහලකට දෙන්න කීවා. කිසිම දේශපාලනඥයකුට කතා දෙන්න එපා කීවා. මං පුතාලට උගන්නලා තියෙනවා. දේපළ ලියලා තියනවා. කරන්න පුළුවන් හැමදේමත් මං එයාලා වෙනුවෙන් කරලා තියෙනවා, ඒ නිසා මට පසුතැවීමක් නෑ'කියලා කීවා."
ආචාර්ය ධර්මසේන පතිරාජට පුතුන් දෙදෙනෙකි. ඒ සුමේධ පතිරාජ හා මිලින්ද පතිරාජය. පියාගේ මරණයේ උණුසුම මැකී යන්නටත් ප්‍රථම වැඩිමහල් පුතු සුමේධ ද, විදෙස්ගතව සිටියදීම අවසන් ගමන් ගියේය. එය ජීවිතයේ පැවැත්ම හා නැවැත්ම පිළිබඳ වේදනාබරිත අතුරු කතාවක් පමණි. මාලක පවසන පරිදි මිලින්ද පතිරාජ යනු සිය පියාගේ අඩිපාරේ යමින් සිටින පුත්‍රයෙකි.
"මට නම් මිලින්ද කියන්නෙ තරුණ පතීම තමා. පතීගේ දේශපාලන දර්ශනය මිලින්ද ළඟ තියෙනවා. සිනමාව, සාහිත්‍ය ගැන දැනුමක් අවබෝධයක් තියෙනවා. එයාට ගෘහ නිර්මාණ ශිල්පයට අදාළව පී.එච්.ඩී උපාධියත් තියෙනවා."මාලක අවධාරණය කරයි.
ගල්කිස්ස නිවෙසේ තනිව වෙසෙන බොහෝ දිනවල පතී මාලකට ආරාධනා කරනු ලබයි. ඒ පාළුව, කාංසිය මකා දැමීමට පමණක් නොව සාහිත්‍ය, කලාව, දේශපාලනය ගැන කතා බහ කරමින් අත්දැකීම් හුවමාරු කර ගැනීමටය. රෝගාතුරව, මහනුවර පුද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා යාමට සති දෙකකට පමණ පෙරාතුව රාත්‍රියක පතී, මාලක කැඳවා ගත්තේය.
"එදත් සුමති ලංකාවෙ හිටියෙ නෑ. මට එන්න කියලා එයාට යාළුවෙකුගෙන් ලැබුණු ඉස්තරම් වර්ගයේ මත්පැන් බෝතලයක් මේසෙ උඩ තිබ්බා. වීදුරු දෙකකුත් තිබ්බා. බෝතලය, කඩලා වීදුරු දෙකටම වත්කරලා, වීදුරු දෙකටම සෝඩා දාන්න කීවා. ඊට පස්සෙ එයාගෙ එකක් එයා බොනව කියලා හිතාගෙන මටම බොන්න කීවා. "මට විස්කි සුවඳත් ඇති. මට බොන්න හොඳ නෑ. ඩොක්ටර්ස්ලා කියල තියෙන්නෙ කටේවත් තියන්න එපා'කියලා. බීවොත් අද රෑම මොනව වෙයිද දන්නෙ නෑ'එයා තදින් කීවා"
මේ අයුරින් පතීගේ යෝජනාව අනුව විටින් විට වීදුරු දෙකම විස්කි වලින් හා සෝඩා වතුරෙන් පිරුණත් පානය කරන්නේ මාලක පමණි. සිදුවිය යුතු දේ ඒ අයුරින්ම සිදුවිය.
"මං දැන් ග්ලාස් දෙකටම දාලා බොනවා. ටික වෙලාවක් යද්දී මට හොඳටම වැදිලා. එදා රෑ දොළහ විතර වෙනකල් අපි කතා කළා. ඒ වෙද්දි මට කෙලින් හිටගන්න බැරි තරමට හොඳටම වැදිලා. මං දිහා බලලා හිනාවකුත් එක්ක පතී දිගටම කතා කරනවා. එතනින් එහාට කීව දේවල් මට මතක නෑ. ඒත් එයා සංකේතාත්මකව කීව දෙයක් මතකයේ හිටියා. එයා කීවේ එයා ඉන්නෙ පන්සල් තුනකට මැදිවෙලා කියලයි. එක පැත්තකින් බණ. තව පැත්තකින් පිරිත්. අනිත් පැත්තෙන් ආයෙම බණ. ඒ ඔක්කොම අහල නිදාගන්න යද්දි තවත් පන්සලක් පැත්තකින් බල්ලො බුරනවා කියලා කීවා. මේ කතාව කියන්න ටික වෙලාවකට කලින් කුකුළු මස් ව්‍යාංජනයක් ගේන්න කීවා. ඒක ගෙදරට අරන් ඇවිත් තිබුණේ මං ගල්කිස්ස පාර කිට්ටුවට ඇවිත්. 'කන්න හොඳ මදි. ඒත් කන්න හිතෙනවා'කියලා, එයා ඒකත් එක්ක ඉඳි ආප්ප ටිකක් කෑවා. ඊට පස්සෙ නිදාගන්න ගියා"
මාලක දේවප්‍රිය මිතුරා, තමාට මුහුණදෙන්නට සිදුවූ හෘදයාංගම අත්දැකීම සවිස්තරාත්මකව අනාවරණය කළේය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
හෙට-පතීට කරන්න බැරිවුණු දේවල් ටිකක්