Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

යහපාලනයට යහපත් පුරවැසියන්

$
0
0
මැයි 23, 2018 01:00

කර්තෘ - සරත්චන්ද්‍ර ජයවර්ධන
ප්‍රකාශනය - කොළඹ සීමාසහිත එස්. ගොඩගේ සහ සහෝදරයෝ (පිටු 112)

පාසල් අධ්‍යාපනයේ එක් ප්‍රතිමානීය අරමුණක් වන්නේ, “පුරවැසි අධ්‍යාපනයයි”. පුරවැසි අධ්‍යාපනය යනු නිශ්චිත අර්ථයක් ඇති සංකල්පයකි. එයින් අදහස් කරන්නේ, අධ්‍යාපනය මඟින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකය පිළිබඳ “දැනුම” ලබා දීම නොවේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩිහිටියන් වන එම දරු දැරියෝ, අනාගතයේදී රටේත්, තමන් ද අයත් වන ප්‍රජා කණ්ඩායම්වලත් සාමාජිකයන් බවට පත් වෙති. එම සාමුහික ජීවිතය තුළ ඔවුන් ජීවත් වන්නේ තනි තනි පුද්ගලයන් හැටියට නොවේ. විවිධ සමාජ සම්බන්ධතා තුළ තමන් අයත්වන ප්‍රජාවගේත්, රටේත්, ලෝකයේත් ජීවත්වීමේදී අවශ්‍ය වන සාධනීය වටිනාකම් පද්ධති තිබේ. “පුරවැසි අධ්‍යාපනය” යන සංකල්පයෙන් ආමන්ත්‍රණය කරන්නේ එම වටිනාකම සහ ඇගැයීම්, අනාගත පුරවැසියන්ගේ ආත්මාවබෝධය සහ ස්වයං විඥානය වෙතට ගෙන ඒමේ අභියෝගයට ය. “පුරවැසි අධ්‍යාපනය” යන්න අධ්‍යාපනඥයන් පමණක් නොව, ප්‍රතිපත්ති සම්පාදකයන් හමුවේ ඇති සංකීර්ණ කාර්යයක් වන්නේ ද එබැවිනි.

ශ්‍රී ලංකාවේ ද පාසල් අධ්‍යාපනය තුළ “පුරවැසි අධ්‍යාපනය” පිළිබඳ උනන්දුවක් තිබේ. එය පාසල් විෂයයක් ද වී තිබේ. ශ්‍රී ලංකාවේ පසුගිය දශක කිහිපය තුළ සිවිල් යුද්ධය සහ දේශපාලන ප්‍රචණ්ඩතා පිළිබඳ පසුබිම තුළ , පුරවැසි අධ්‍යාපනය පිළිබඳ න්‍යාය පත්‍රයක තිබෙන බැරෑරුම්කම පිළිබඳ ගැටලුව ද අවධාරණය විය. පුරවැසියන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය සහ සහ‍යෝගිතාව යන තේමාවලට පාසල් අධ්‍යාපනය ක්‍රියාවලිය මඟින් කවර වැදගත්කමක් දිය යුතු ද යන්න නිරන්තරයෙන් මතු වූ ප්‍රශ්නයක් විය. සමාජයේ අපරාධ වැඩිවීම, මනුෂ්‍ය සම්බන්ධතා අතරට වෛරය සහ ප්‍රචණ්ඩත්වය මැදිහත්වීම, අල්ලස, දූෂණය අන්‍යයන්ගේ මත නොඉවසීම යනාදී නි‍ෂේධනීය වටිනාකම් සමාජයේ සාමාන්‍ය දේ බවට පත් වනවිට, අධ්‍යාපනයේ සමාජමය කාර්යභාරය කුමක්ද? යන ප්‍රශ්නය අප ඉදිරියේ නිරන්තරයෙන් මතු වේ. එම ප්‍රශ්නය මතු කිරීමට අප රටේ ආගමික බලවේග දක්වා ඇති අසමත්වීම ගැන සාමාන්‍යයෙන් සාකච්ඡා වන්නේ ද නැත.

පාසල් අධ්‍යාපනය මඟින් පුරවැසි චර්යා ධර්ම අනාගත පුරවැසියන් වෙත ලබා දීම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් අප රටේ ඇතිවිය යුත්තේ ද මේ නිසා ය. මෙහිදී මතුවන ප්‍රශ්න කිහිපයක් තිබේ. එසේ ලබාදිය යුතු පුරවැසි චර්යාධර්ම කවරේද? ඒවා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සමාජමය දැනුම ලෙස ලබාදීමේ වඩාත් විද්‍යාත්මක සහ ඵලදායි විධික්‍රම මොනවාද? අප රටේම ඇති අත්දැකීම් පසුබිම් කරගෙන ප්‍රමුඛත්වය දිය යුතු හර පද්ධති සහ ප්‍රතිමානීය ඉලක්ක මොනවාද? පාසල් දරු දැරියන් අප රටේ පමණක් නොව, ලෝකයේ ද පුරවැසියන් බවට පත් වීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙන්නේ කෙසේද?

සරත්චන්ද්‍ර ජයවර්ධන මහතා ලියා ඇති 'යහපාලනයට යහපත් පුරවැසියන්'යන පාසල් කියවීම් පොත, ඉහත සඳහන් ප්‍රශ්න සිත්හි තබාගෙන පිළියෙළ කරන ලද්දකි. පාසල් අධ්‍යාපනය පිළිබඳ දශක ගණනාවක් අත්දැකීම් ඇති ජයවර්ධන මහතාගේ කෘතිය, පරෙස්සමෙන් තෝරාගත් බව පෙනෙන තේමා නවයක් වටා සකස් වී ඇත. එය ආරම්භ වන්නේ “මිනිසා” සහ “ගෞරවනීය මිනිසත් බව රැක ගැනීම” යන පරිච්ඡේද දෙකෙනි. සාපේක්ෂ වශයෙන් දීර්ඝ තුන්වැනි පරිච්ඡේදයේ තේමාව “යහපත් පුරවැසියකු තුළ තිබිය යුතු ගුණාංග” යි. හතර වැනි පරිච්ඡේදය “ජාතික ඒකාග්‍රතාව , එකමුතුකම , එක්සත්කම” පිළිබඳ යි. පස්වැනි පරිච්ඡේදයේ මාතෘකාව “දේශීය නිෂ්පාදනය සහ පරිභෝජනයි”. “යහපත් නායකයකු තුළ තිබිය යුතු ගුණාංග” සය වැනි පරිච්ඡේදයේ තේමාවයි. හත් වැනි පරිච්ඡේදයට මාතෘකා වන්නේ “අතීත ශ්‍රී ලංකාවේ සොබාදහම පිළිබඳ දේශීය චින්තනයයි. “ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ හායනය” යන තේමාව වටා අට වැනි පරිච්ඡේදය ලියැවී ඇත. නව වැනි පරිච්ඡේදය වර්තමානයේ අනාගත පුරවැසියන් මුහුණ දෙන අභියෝග හඳුන්වා දීම අරමුණු කර ගනියි.

මේ කුඩා කියැවීම් පොතේ විශේෂ ලක්ෂණ කිහිපයක් තිබේ. පළමුවැන්න, එය “යහපාලනය” පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති සමකාලීන කතිකාව, එහි පටු දේශපාලන රාමුවෙන් ඉවතට ගෙන, සමාජමය කතිකාවක් බවට පත් කිරීමට කතුවරයා ගෙන ඇති වෑයමයි. “යහපාලනය” යනු දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක්ම නොවන බවත්, එම සංකල්පයට ඊට වඩා පුළුල් සමාජීය අර්ථයක් තිබෙන බවත්, “යහපත් පුරවැසියන්” පිළිබඳ මූලධර්මය ද වන බවත්, ඒවා අධ්‍යාපනයේ අරමුණු සමඟ නිර්මාණාත්මක ලෙස බද්ධ කළ හැකි බවත් කතුවරයා ව්‍යංගයෙන් යෝජනා කර ඇත.

දෙවැනි වැදගත් ලක්ෂණය නම්, පාසල් පුරවැසි අධ්‍යාපනයේ අන්තර්ගතයට සමකාලීන ශ්‍රී ලංකාවේ ඇති සමාජ සහ දේශපාලන අභියෝගවලින් මතුවන තේමා, මානුෂවාදී දෘෂ්ටි කෝණයකින් හඳුන්වා දීමයි. ජාතිකානුරාග, ජාතිකාභිමානය, සමයානුරාගය, ජාතික ඒකාග්‍රතාව සහ දේශීයත්වය යන මාතෘකා සාමාන්‍යයෙන් පටු සහ ගෝත්‍රවාදී අර්ථකථනයන් ලක්විය හැකි ඒවා ය. මේ කෘතියේ ඒ මාතෘකා පාසල් දරු දැරියන්ට හඳුන්වා දෙන්නේ, මානව හිතවාදී සහ විශ්වාන්තරවාදී ප්‍රවේශයකිනි.

තුන්වැනි ලක්ෂණය නම්, පුරවැසිභාවය පිළිබඳ පුළුල් මතවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියක් මේ කෘතියේ ගැබ්වී තිබීම ය. එය අප සමාජයේ ශීඝ්‍රයෙන් බැහැරට යන ප්‍රජාතන්ත්‍රවාදී ලෞකිකවාදී සහ මනුෂ්‍යවාදී ගුණධර්ම පාසල් අධ්‍යාපනයේ ප්‍රතිමානීය න්‍යාය පත්‍රය වෙතට ගෙන ඒමේ ප්‍රශංසනීය උත්සාහයකි.

මේ ශක්තීන් තිබියදීත්, මේ කෘතියේ තිබෙන අඩුවක් ගැන කෙටියෙන් හෝ සඳහනක් කළ යුතු වේ. එය නම් ස්ත්‍රි පුරුෂ සමානතාව පිළිබඳ තේමාව නොසලකා හැරීම ය. ස්ත්‍රි - පුරුෂ සමානත්වය වනාහී,වර්තමාන ලෝකයේ මනුෂ්‍ය සම්බන්ධතා මානුෂීයකරණය සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රතිමානීය සමාජ ගුණධර්මයකි. ඉදිරි කෘතිවලදී මේ කරුණු ගැන කතුවරයාගේ නොමඳ උනන්දුව යොමුවනු ඇතැයි මම සිතමි.

ශ්‍රී ලංකාවේ පාසැල් දරු දැරියන් තම සමාජයත්, ලෝකයත් සමඟ සාධනීය ලෙස සහභාගී වන අනාගත පුරවැසියන් ලෙස, ඔවුන්ගේ විඥානය සහ චරිතය හැඩගැන්වීමට දායක වන කාර්යයකට අතගැසීම මඟින්, ලේඛකයා ඉටුකර ඇත්තේ මහත් ලෙස අගය කළ යුතු සමාජ වගකීමකි.

ජයදේව උයන්ගොඩ
සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
දේශපාලන විද්‍යා අංශය,
කොළඹ විශ්වවිද්‍යාලය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>