පිළිකා සම්බන්ධයෙන් මෙතෙක් කෙරුණු ලොව විශාලතම අධ්‍යයනයේ වාර්තාව පසුගියදා එළි දැක්වුණි. අධ්‍යයනය සිදු කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ප්‍රමුඛ විද්වතුන් පිරිසකි. පිළිකා වර්ග 29ක් පිළිබඳ ලෝකයේ රටවල් 195ක දත්ත ඒකරාශී කර ගනිමින් පර්යේෂණය සිදු කර ඇත.
පර්යේෂකයන් සඳහන් කරන අන්දමට 2016 වසරේදී ලෝකයෙන් වාර්තා වුණු පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 17.2කට අධික ය. 2006 වසර සමඟ සසඳන විට එය 28%ක පමණ වැඩි වීමකි. පිළිකා නිසා 2016 වසරේදී මියගිය සංඛ්‍යාව මිලියන 8.9ට වඩා වැඩි බව පර්යේෂකයෝ සඳහන් කරති. බහුලව දැකිය හැකි වන්නේ ශ්වසන පද්ධතිය, අතුණුබහන්, පියයුරු, ආමාශය, අක්මාව, ගැබ්ගෙල, මුත්‍රාශය, වසා පද්ධතිය, අන්නඃශ්‍රෝතය, අග්න්‍යාශය, ගර්භාෂය, මුඛය, වකුගඩු, මොළය, ඩිම්භ කෝෂ, තයිරොයිඩ් ග්‍රන්ථි, පිත්තාශය, වෘෂණ කෝෂ, චර්මය ආශ්‍රිත පිළිකා තත්ත්ව සහ ලියුකේමියා බව අනාවරණය වී තිබේ. දත්ත විශ්ලේෂණය කර බලන විට පිළිකාවලට ගොදුරු වන පුද්ගලයන් සංඛ්‍යාවේ සමස්ත වැඩි වීමක් දක්නට පුළුවන. එසේ වුවත් පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩු වීමක් ඇතැම් රටවලින් වාර්තා වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
පිළිකා රෝගයට අලුතෙන් ගොදුරු වන පිරිස වැඩි ඔස්ට්‍රේලියාවෙහි බව පර්යේෂණයෙන් අනාවරණය වී ඇත. ඔස්ට්‍රේලියා ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට 743 දෙනෙකු පිළිකාවලට අලුතින් ගොදුරු වන බව සඳහන් වේ. පිළිකා තත්ත්වවලට අලුතින් ගොදුරු වන පිරිස මීළඟට පිළිවෙලින් නවසීලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ලක්සැම්බර්ග්, අයිස්ලන්තය, නෝර්වේ, එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ ඩෙන්මාර්කය යන රාජ්‍යයන්හි ය. පිළිකා රෝගීන් අතරට එකතුවන පිරිස ඉතාමත් අඩු සිරියාවෙහි ය. එරට ජනගහනයෙන් පුද්ගලයෝ ලක්ෂයකට 85 දෙනෙක් පිළිකා තත්ත්වවලට අලුතින් ගොදුරු වෙති. පුද්ගලයන් පිළිකාවලට ගොදුරු වීම අවම මට්ටමක පවතින රටවල් අතර පිළිවෙලින් ඇත්තේ භූතානය, ඇල්ජීරියාව, නේපාලය, ඕමානය, මාලදිවයින, ශ්‍රී ලංකාව, නයිජර්, නැගෙනහිර තිමෝරය සහ ඉන්දියාව ය.
පිළිකා තත්ත්ව නිසා වැඩිම පිරිසක් මිය යන්නේ මොන්ගෝලියාවෙහි බව සනාථව ඇත. පිළිකා නිසා එහි මිය යන සංඛ්‍යාව ලක්ෂයකට පුද්ගලයන් 272 ඉක්මවා යන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පිළිකාවලට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයන් සංඛ්‍යාව සිම්බාබ්වේ, ඩොමිනිකා, හංගේරියාව, ග්‍රෙනේඩා, උරුගුවේ, ටොන්ගා, උතුරු කොරියාව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනෙඩීස් දූපත් සහ ක්‍රොඒෂියාව යන රාජ්‍යයවල ද ඉහළ මට්ටමක පවතින බව පර්යේෂණයෙන් සනාථව ඇත. පිළිකා නිසා අඩුම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ සිරියාවෙනි. ඇල්ජිරියාව, ඕමානය, මාලදිවයින, ශ්‍රී ලංකාව, භූතානය, උස්බෙකිස්තානය, නිකරගුවා, මොරොක්කෝව සහ කටාර් යන රටවලත් පිළිකා මරණ අවම මට්ටමක පවතී. පර්යේෂකයන් පවසන්නේ සමාජ ජනවිකාස දර්ශකයේ ඉහළ මට්ටම්වල සිටින රටවල පිළිකා සුලබ බවයි. එනිසා පිළිකා මරණ වැඩි සංඛ්‍යාවක් ඒ රටවලින් වාර්තා වන බවත් ඔවුහු පෙන්වා දෙති. සංවර්ධිත රටවල සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයකුට පියයුරු පිළිකා වැළඳෙතැයි කියා තහවුරුව තිබේ. එසේ වුවත් ඌන සංවර්ධිත රටවල සෑම කාන්තාවන් පනස් දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් ඇති බව පැහැදිලි වී ඇත. එසේ වුවත් සමාජ ජනවිකාස දර්ශකයේ පහළ මට්ටම්වල ඇති රටවල කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකා වැළඳෙන්න වැඩි ඉඩක් තිබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි.
“...පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ලැබීම අවශ්‍යම දෙයක්. රෝග විනිශ්චය කිරීමේ තාක්ෂණය, සමාජ ජනවිකාස දර්ශකයේ පහළ මට්ටම්වල පවතින රටවල් තුළ ඉහළ නැංවිය යුතුයි. ...”යැයි කියා වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ක්‍රිස්ටිනා ෆිට්මව්රයිස් පවසන්නීය.
ආචාර්ය ක්‍රිස්ටිනා සඳහන් කරන අන්දමට පෙණහලු, මහා අන්ත්‍රය සහ චර්මය ආශ්‍රිත පිළිකා තත්ත්ව වැඩිවෙමින් පවතී. ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා බහුලව දක්නට ලැබෙන්නේ උතුරු කොරියාවෙහි ය. අතුණුබහන් ආශ්‍රිත පිළිකා නෙදර්ලන්තයෙහිත්, පියයුරු පිළිකා ලක්සැම්බර්ග්හිත්, ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ඩොමිනිකන්හිත්, ආමාශය ආශ්‍රිත පිළිකා දකුණු කොරියාවෙහිත්, අක්මාව ආශ්‍රිත පිළිකා මොන්ගෝලියාවෙහිත් වැඩි බැව් පර්යේෂකයෝ සඳහන් කරති. අතුණුබහන් ආශ්‍රිත පිළිකා තත්ත්වවල විශේෂ අඩුවීමක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබේ. පර්යේෂණයෙන් අනාවරණය වුණු තවත් වැදගත් කාරණයක් වන්නේ මීසොතෙලියොමා (පෙණහලු ආස්තරණයේ ඇතිවන පිළිකා තත්ත්වයක්) නැමැති පිළිකා තත්ත්වය බ්‍රිතාන්‍යය තුළ ඉතා තදින් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවයි. මීසොතෙලියොමා පිළිකා තත්ත්වය ඇති වන්නේ ඇස්බැස්ටෝස් භාවිතයෙහි ප්‍රතිඵලයක් හැටියට බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති.
mail online ඇසුරෙනි