‘‘හොක් හොක් හොක්.. මෙහෙමනේ... වැටිච්චි එකා කොහොම හරි නැගිටින්න ඕනෑ. බඩ ගාන එකා නැගිටින්න ඕනෑ.... දුවන එකා තව හයියෙන් දුවන්න ඕනෑ.... නැද්ද මං අහන්නේ... හොක් හොක් හොක්.. කොහොමද මගෙ පොර ටෝක්?“
ගුවන් විදුලි නාලිකාවකට සවන් දෙමින් සිටි ටොම්සන් මහත්තයා කරකරවලා අත ඇරියා වාගේ ඇඹරී ගියේය.
‘‘ මොකක්ද ටොම්සන් මහත්තයා ඒ ඇහුණේ පොර ටෝක්...?“ කියා අසමින් උන්නැහේද එතැනට දුව ගෙන ආවේය.
‘‘ උන්නැහේ මොනවා අහනවාද මන්දා... මං තාම උන් හිටි තැන් අමතක වෙච්චි ගානයි... මේක මේ නවීන ගුවන් විදුලි නාලිකාවක පොර ටෝක් නිවේදිකාවක් කතා කරනවා නේ අසන්නන්ට...“
‘‘ ඇත්තට ටොම්සන් මහත්තයා... ඔහොමත් කතා කරනවාද මේ ගුවන් විදුලි නාලිකාවලින්...“
‘‘ නැතුව... එහෙම කතා කරන්නේ නැතිනම් අපට මෙහෙම ඇහෙනවාද?“
ඒ කතාවල් අසා ඇම්බන් මහත්තයාද එතැනට පැමිණියේය.
‘‘ අර විස්ස විද්‍යාලවල උගන්නන්නේ ලොකු ඔස්තාද්ලා ජනමාධ්‍ය කියන්නේ හතරවැනි ආණ්ඩුව කියලා.. එතකොට හතරවැනි ආණ්ඩුවේ ඉන්නේ පොරටෝක් නිවේදක නිවේදිකාවෝද?“
‘‘නැතිව ඇම්බන් මහත්තයා... දැන් ඔය තුන්වැනි ආණ්ඩුවේ කතා කරන හැටි අපි ඔය දියවන්නාව පැත්තෙන් අහනවා නේ.. එහෙම බැලුවම මේ පොර ටෝක් නිවේදක නිවේදිකාවෝ ඉන්න ගුවන් විදුලි රූපවාහිනී නාලිකා හතරවැනි ආණ්ඩුවම තමයි... ඒකේ ආයේ ඇරපු අතක් නෑ...“
‘‘ අනේ ඉතින් ඔය කරුණාරත්න අබේසේකර, ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, එච්.එම්. ගුණසේකර, සරත් විමලවීර වගේ ලංකාවේ නිවේදන කලාවේ මුල් පුරුක් ගොඩ නගාපු මාධ්‍ය සංස්කෘතිය නේද මේ අමු අමුවේම කන්නේ...?“ කියා ඇම්බන් මහත්තයා කීවේය.
‘‘ මොනවාද කනවා විතරක් නෙවෙයි.. නානවා.. හත් අතේ ගා ගන්නවා... ඕක මොකට පුදුම වෙනවද ඇම්බන් මහත්තයා.. දැන් ඔය ආණ්ඩුවේම අර ස්වාධීන කියලා එකක් තියෙනවා නේ.. ඒකත් දැන් බලු මස් විකුණන ගානට වැටුණු කොට ඔය පෞද්ගලික නාලිකා ගැන කියනුම කවර කතාද? කියා ටොම්සන් මහත්තයා කීවේය.
‘‘ මට තේරෙන්නේ නෑ.. ඒ කතාව.. දැන් ඔය ස්වාධීන කාරයෝ බලු මසුත් විකුණනවාද?“ කියා උන්නැහේ පුදුමයෙන් ඇසුවේය.
‘‘නැතුව.. නැතුව.. නැත්නම් ඕවා ජනප්‍රිය කර ගන්න කියලා ඔය මාධ්‍ය බාප්පලාට දාස් ගාන් දීලා ගන්නවාද? අඩු ගණනේ ලජ්ජාවක් තියෙනවා නම්.. සල්ලි හම්බු වෙනවා නම් බලු මසුත් විකුණයි...“ කියා ටොම්සන් මහත්තයා බොහොම සන්තාපයෙන් කීවේය.
‘‘ ඒ වුණාට ටොම්සන් මහත්තයා ඔය ඉස්කෝලවල මාධ්‍ය උත්සවවලටත් ඔය බාප්පලා ගෙන්නනවා නේ. ළමයින්ට මාධ්‍ය කියලා දෙන්න. ආරාධිත අමුත්තන් හැටියට. ඉතින් මං දැකලා තියෙනවා... අවර ගණයේ භාෂාව යොදා ගෙන ඉස්කෝලේ ළමයින්ට අර වාගේම පොර ජෝක් දානවා. ඉතින් නිකම් නෙවෙයි.. ඔය විදුල්පතිතුමන්ලා, තුමියන්ලා අප්පුඩි ගහ ගහ හිනා වෙනවා. ඉතින් පොර ටෝක් මොකද? පොර ජෝක් මොකද?“
‘‘ ඔව්.. ඒක නම් එහෙම තමයි.. අපි අහලා බලමුද සන්නිවේදන ඔස්තාද් කෙනෙක්ගෙන්... ඒ ගොල්ලෝ නේ දැන් මේ රටේ මාධ්‍ය කලාවේ අයිතිකාරයෝ...“ කියා ඇම්බන් මහත්තයා යෝජනා කළේය.
‘‘ අනේ වැඩක් නෑ ඇම්බන් මහත්තයා.. ඒ ගොල්ලොත් දැන් ඔය මාධ්‍යයට මොනවා හරි ලියලා කියලා නේ කීයක් හරි හොයා ගෙන ජීවත් වෙන්නේ... ඔය මාධ්‍ය ඉගෙන ගන්නා ළමයින්ට ඒ ගොල්ලොත් කියා දෙන්නේ අර නිවේදක නිවේදිකාවෝ වගේ පොර ටෝක් තමයි.. අන්තිමට රටේම මාධ්‍ය ඉවරයි... ඒත් මාධ්‍ය සමීක්ෂණ පවත්තනවා... වාර්තා ලියනවා...“
‘‘ ඔන්න ටොම්සන් මහත්තයා.. ඔය කියන කොට තමයි මට මේ මතක් වුණේ, ඊයේ පෙරේද මං ඔය මණ්ඩලේකට කතා කළා. මාධ්‍ය සමීක්ෂණයක් පවත්තනවා කියලා ඒ මණ්ඩලෙන් ලක්ෂ දහයක් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවාලු. තාමත් වාර්තාව නැල්ලු. ඔඩිට් එකෙන් අවුරුදු ගානක් ප්‍රශ්න කරනවාලු... උන්නැහේට මේ ළඟදි ලොකු තනතුරකුත් ලැබුණා මයෙ හිතේ... කියා උන්නැහේ කීවේය.
‘‘ එහෙම තමයි... ගැහිල්ල වැඩි නම් තනතුරත් ලොකුයි.. ඒ වුණාට අපි මේ පටන් ගත්ත කතාව පැත්තකට ඇදිලා ගියානේ... ඉතින් මං මේ කල්පනා කළේ මේ වගේ පොර ටෝක් දාන නිවේදක නිවේදිකාවේ තියා ගෙන මේ පච ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා මේ රටට මොනවාද දෙන්නේ කියලා... කියා ටොම්සන් මහත්තයා බොහොම බරසාර විදිහට ඇසුවේය.
‘‘මට නම් පේන්නේ ටොම්සන් මහත්තයා... ඔය පොර ටෝක් දාන නිවේදක නිවේදිකාවෝ ඉන්න පුද්ගලික ගුවන් විදුලි නාලිකා රූපවාහිනී නාලිකා විතරක් නෙවෙයි.. බාප්පලා වඩම්මවගේන එන ස්වාධීන කාරයොත් දැන් මේ රටේ පොදු ජනතාවට දෙන්නේ පුන්නක්කු...“
‘‘ එහෙම වෙන්නේ කොහොමද? පුන්නක්කු දෙන්නේ හරකුන්ට නේ...“ කියා උන්නැහේ හරස් කැපුවේය.
‘‘ ඔව්.. ඉතින් මේ රටේ ශ්‍රාවක ග්‍රාහක ජනතාව හරක් කියලා නේ මේ පොර ටෝක් මාධ්‍යකාරයෝ හිතන්නේ... හැබැයි ඒකේ වරදකුත් නෑ.. බොහොමයක් දෙනා බොහොම රස කර කර පුන්නක්කු අනුභව කරනවා නේ.. නිකම් නෙවෙයි හැඳි ගෑරුප්පුවලින්... කියා ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනාසුණේය.
බන්දුල පී දයාරත්න