Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දුකට සතුටට දෙකට කඩුවය

$
0
0
ජුනි 14, 2018 01:00

කඩුවෙන් සැනසීම හෝ වැනසීම තීරණය වන්නේ එය භාවිත කරන ආකාරය, භාවිත කරන තැනැත්තා, කඩුවේ ස්වභාවය, භාවිත කරන අවස්ථාව හා තැන ආදිය අනුව ය. මෙහි සඳහන් වන්නේ ආයුධයක් ලෙස භාවිත කරන කග හෙවත් කඩුව ගැන නොව 'කඩ්ඩ'යනුවෙන් ජනවහරේ එන ඉංග්‍රීසී බස හැසිරවීම පිළිබඳය. කඩ්ඩෙන් වැඩ ගැනීමට වඩා කඩ්ඩ පෙන්නා වැඩ ගැනීමට පුරුදු පුහුණු වූ රටක වෙන කුමක් අපේක්ෂා කළ හැකි ද? කඩුව ආභරණයක් කොටගෙන සාමාන්‍ය ජනතාව අතර විශේෂ වරප්‍රසාද ලබා ගැනීම භාවිතයක් නොව අවභාවිතයකි.

ද්වීභාෂා උගතුන්

කන්නන්ගර යුගයට පෙර ඉංගිරිසි ඉගෙනීමට බොහෝ දුරට වරම් ලැබුණේ ඇති හැකි අයට වූ අතර ඔවුන්ගේ බමුණු කුලය විසින් රට පාලනය මෙන්ම ඉහළ තානාන්තර ද හොබවමින් සුද්දන්ටත් එහා යමින් කළු සුද්දන් ලෙස ප්‍රචලිත විය. යටත් විජිත විෂම අධ්‍යාපන අවස්ථා නැති කිරීමට අපේ භාග්‍යයකට මෙන් පහළ වූ කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන එමින් වරප්‍රසාද ලත් පංතියට පමණක් හිමිව තිබූ ඉංග්‍රීසි අධ්‍යාපනය මැනවින් ලබා දීමට මධ්‍ය විද්‍යාල බිහි කළේය. එතුමා නිසා ද්විභාෂා අධ්‍යාපනයේ මල්ඵල ගැනුණු අතර මධ්‍ය විද්‍යාල සංකල්පය ද ඊටම බද්ධ වී ජාඩියට මූඩිය සේ යාවී පැවතුණි.

1956 ට පෙර බොහෝ ඉංග්‍රීසි උගතුන් ජාතිවාත්සල්‍යයෙන් යුතු වූ අතර ඉංග්‍රීසිය මෙන්ම මවු බසද හරි හරියට භාවිත කළ ඇත්තන් විය. 1956 දේශපාලන පෙරළිය මෙන්ම 1977න් පසු ඇති වූ විවෘත ආර්ථික රටාව ද ඉංගිරිස් සිංගිරිස් වීමටත් ඉංග්‍රීසි ද සිංහල ද නිවැරැදිව නොදන්නා ලුම්පන් පැළැන්තියක් බිහි වීමටත් මඟ පාදා ඇති බව නැවතිල්ලේ සිතන විට පෙනේ. කුමාරතුංග, අමරදේව, සරච්චන්ද්‍ර ආදී යුග යුග පුරුෂයන් ද්වි භාෂාවෙන්ම වැඩ පෙන්නු සමතුන් ය. එකල, මෙකල මෙන් ඉංග්‍රීසී උගෙනීමේ පහසුකම් සුලබ නොවී ය. වැර වෑයමින් උගෙන ගත් ඉංග්‍රීසිය වැඩ පහසු කර ගැනීමටත් රටට මනා සේවයක් කිරීමටත් ලෝකය පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමටත් යොදාගත් අතර රට ගැන වඩ වඩාත් ආදරයක් ගෞරවයක් ඇති කර ගැනීමට ද පිටිවහලක් වූයේ ඉංග්‍රීසි ය ඉගෙනීම බව ඔවුන්ගේ කියුම් කෙරුම්වලින් පෙනේ. ද්විභාෂා අධ්‍යාපනය 1956 න් පසු අහෝසි වී ඉංග්‍රීසිය රාජ්‍ය භාෂා තත්ත්වයෙන් පහළට වැටී මවුබස ප්‍රමුඛ වී ගිය පසු අපේ අධ්‍යාපනයෙන් බිහි වූ බොහෝ උගතුන්ගේ සෙවනෙන් ලැබෙන සිහිලෙහි රඟ අපි අද මදි නොකියන්නට අත් විඳින්නෙමු. මවුබසින් පමණක්‌ ඉගෙන ගැනීමට යාම නිසා ලොව පුරා වැඩෙන නව දැනුමේ හිමිකාරයන් වීමේ භාග්‍යය අපේ එක්‌ පරපුරකට අහිමි විය.

කඩුව ඕනම ද

ඉංග්‍රීසි බස පාසැලේ පළමු ශ්‍රේණියේ සිටම ඉගැන්වුවද 13 ශ්‍රේණියෙන් ඉවත්වන තුරුම බොහෝ සිසුන්ට හරිහැටි ඉංග්‍රීසි බස හැසිරවීමට නොහැකි ය. මේ ජාත්‍යන්තර භාෂාව පිළිබඳ අපි 'ආසයි බයයි'සංකල්පයෙන් හැම විටම බලා සිටියෙමු. සිටින්නෙමු. අපට කොතැන හෝ වැරැදී ඇත. අද ලොවම එක රටක් වී ඇතැයි කියා කෑමොර දුන්න ද බහුතරයකගේ ඉංග්‍රීසි හැකියාව මඳ බව පෙනේ. භාෂාවක් ඉගෙන ගැනීමට භාෂාමය පරිසරයක් තිබිය යුතු ය. ඉංග්‍රීසිය සජීවී භාෂාවකි. ඉංග්‍රීසි ඉගෙනීම මෙතරම් අසීරු වී ඇත්තේ ඇයි. එය වහ-වහා සොයා බැලිය යුතු කාරණයක් නොවෙද? අප කැමති වුවත් අකමැති වුවත් ඉංග්‍රීසි බස වැඩදායි බසකි. අධ්‍යාපන අවස්ථා පුළුල් කර ගැනීමට, පරිගණක හා අන්තර්ජාල භාවිතයට, විද්‍යුත් තැපෑල හා ගනුදෙනු කිරීමට වැනි බොහෝ සුබදායී කටයුතු සඳහා ඉංග්‍රීසි බස මැනවින් යොදාගත හැකිය.

නිදහසින් වසර 70 පමණ ගතවීත් තුන්වෙනි ලෝකයේ රටක් වන අපට අනෙකුත් රටවල සම්බන්ධතා නොමැතිව ඉදිරියට යාමට නොහැකි වී ඇත. ගෝලීයකරණයත් සමඟ මුසු වී යා යුතු මේ ගමනේ දී අනෙක් රටවල් සමඟ සන්නිවේදනය සදහා පොදු භාෂාවක් අවශ්‍ය වේ. ඉංග්‍රීසී බස මෙහි ලා ප්‍රමුඛ ජාත්‍යන්තර බසකි. ඉංග්‍රීසි බස යම් විෂයයක්, සම්ප්‍රදායක්, විලාසිතාවක් හෝ නොවන අතර ප්‍රායෝගික සන්නිවේදන මෙවලමක් ම වේ. අපේ මවුපියන් දරුවන්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා පාසැල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් අධ්‍යාපනය ලබා දුන්න ද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දත්ත විශ්ලේෂණයේදි සමස්තයක් ලෙස ඉංග්‍රීසි විෂයයේ ප්‍රතිඵල අඩුය.

පාසලේ කඩුව

ඉංග්‍රීසි බස හොඳින් ප්‍රගුණ කිරීම සඳහා කථනය, සවන් දීම, ලිවීම, කියවීම වැනි මූලික කුසලතා අවැසි වන අතර ඒ අවැසි ඉගෙනුම් අවස්ථා සම්පාදනය පාසලින් විය යුතු ය. මෙහි දී ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කාර්යභාරය අති මහත් වේ. ඉංග්‍රීසි ගුරුභවතුන් සඳහා පුහුණුව, විෂය නිර්දේශ, ගුරු අත්පොත්, කාර්යය සැසි ආදී අවශ්‍ය අඩුම-කුඩුම සියල්ල රජයෙන් සැපයෙන අතර සිසුන්ගේ භාෂාමය කුසලතා වර්ධනය නම් අසතුටුදායක මට්ටමක පවතී. මවුබස මෙන්ම ඉංග්‍රීසි ද හොඳින් හැසිරවීමට සිසුන්ට හැකි විය යුතු අතර ඉංග්‍රීසිය අපේ වැඩ පහසු කර ගැනීමට යොදාගත හැකි මෙවලමක් පමණක් බවත් ඔවුන් දැනගත යුතු ය.

භාෂා ගුරුවරයෙකුට භාෂාවේ සියලු භාෂාමය උපාංග (ව්‍යාකරණ, ඉඟි වැකි, උපමා උපමේය, කෙටි යෙදුම්, කථනයේ දී යොදා ගන්නා බස් වහර ආදී දේ) පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු වන අතර නිරන්තර පත පොත කියවා ඉතිහාසය, සංස්කෘතිය, ආගම, රට-තොට යනාදී ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය ද වෙනත් විෂයන් උගන්වන ගුරුවරුන්ට වඩා තිබිය යුතු ය. මෙකී තත්ත්වය ඉංග්‍රීසී බස උගන්වන කථිකාචාර්ය මහත්ම මහත්මීන් අරඹයා ඉතාමත් ඉහළින් තිබිය යුතු ය. ඉංග්‍රීසි උගන්වන ගුරුවරු, මවුබස නිවැරදිව නොදන්නා විට අපේ රට, සංස්කෘතිය, ආගම, සාහිත්‍යය, ඉතිහාසය පිළිබඳ දැනුම ද මොටවන අතර ඒ පිළිබඳ ඇල්ම ද අඩුවේ. ‍ඉංග්‍රීසි උගන්වන බොහෝ ගුරුවරුන්ගේ පමණක් නොව සිංහල බස උගන්වන ගුරුවරුන්ගේ ද තත්ත්වය එසේම ය. ඉංග්‍රීසි උගන්වන බොහෝ ගුරුවරුන් ඉංග්‍රීසි තුළින් උත්සාහ ගන්නේ අපේකම දවටා දෙන්නට නොව අපට මෙන්ම ගුරුවරුන්ට ද නුහුරු ඉංග්‍රීසි සංස්කෘතියේ රස බෙදන්නට ය.

කඩුව මුවහත් කිරීම

අප දෙමළ ඉගෙන ගත්තද දෙමළ කෙනෙකු ලෙස නොසිතයි. නොහැසිරෙයි. ජපන් ඉගෙන ගත්ත ද එසේම ය. එකී භාෂා යොදා ගන්නේ සන්නිවේදනය සඳහාම ය. පුදුමයක මහත! ඉංගිරිසිය නම් පුදුමාකාරය. ඉංග්‍රීසි තොලේ ගෑවුණු විගස ඇතැමුන් අඟල් කීපයක් ඉහළ ගොස් ආපසු පොළොවට පහත් නොවී සිටීමට උත්සාහ ගනී. හැකි නම් උත්පත්තිය ද සුද්දෙකු ලෙස වෙනස් කරගනු ඇත. පෙනුම හැරෙන්නට අන් සියලු දේ අතින් සුද්දෙකු සේ හැසිරීමට බැලූව ද දැන් සුද්දන් ද ඉතා සරල වෙමින් පොළොවේ පය ගසා සිටින බව ඔවුන් නොදනී.

ඉංග්‍රීසි ගුරු අත්පොත්වල ඇති මාර්ගෝපදේශ අනුව බොහෝ ඉංග්‍රීසි ගුරුවරුනට අදාළ පාඩම් ඉගැන්වීමට මනා අවබෝධයක් නොමැති බව පෙනී ගොස් ඇත. භාෂාව ඉගැන්වීමේ දී මුලික භාෂාමය කුසලතා වන කථනය, සවන් දීම, ලිවීම, කියවීම වැනි කුසලතා දියුණු කිරීම සඳහා යම් පාඩමක් උපයෝගී කොටගත යුතු ය. ඉංග්‍රීසි බස පණ පිහිටුවා ඉගැන්විය හැකි වුවත් උගන්වන්නේ තිබෙන පණත් නැති වන සේ වන විට අපේ කුඩා උන් ඉංග්‍රීසි උගනීද? ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම මෙන් කොතැනක හෝ අපට වැරැදී තිබේ. බොහෝ ගුරු පුහුණු වැඩසටහන් ගැන කතා කොට පලක් නොවූවත් බීරී අලින්ට ද කොයි වේලාවක හෝ ඇසේය යන විශ්වාසයෙන් කතා කළ යුතුම ය. විශාල මුදලක් වැය කර වැඩසටහන් සැලසුම් කළ ද ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි එපා වන ලෙසය. විශ්‍රාම ගිය නිලධාරීන්ගේ ඇල් මැරුණු දේශන, තාක්ෂණික උපක්‍රම යොදා නොගැනීම, මෙහෙය වන්නන්ටත් වැඩසටහන පිළිබඳ අවබෝධයක් නොවීම, ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හැකියා වර්ධන අවශ්‍යතා සොයා බැලීමට පුර්ව පරීක්ෂණයක් කර වැඩසටහන් සකස් නොකිරීම (Need analysis),වැඩසටහනේ සාර්ථකත්වය විමසා නොබැලීම වැනි දේ නිසා විධිමත් ගුරු පුහුණුවක් නොලැබේ.

විදේශවල නම් ඉතාමත් කෙටි කලකින් සාමාන්‍ය ඉංග්‍රීසි කතාව හුරු වන සේ සැකසූ විධිමත් සාර්ථක පාඨමාලා ඇත. අප රටේ ද වෛවාරණ ඩිප්ලෝමා, උපාධි, සහතික පත්‍ර පාඨමාලා හා පුහුණු වැඩසටහන් තිබුණ ද බොහෝ ඉංග්‍රීසි ගුරු භවතුන්ගේ බසෙහි ප්‍රවීණත්වය මඳ බව පෙනේ. එකල මෙන් නොව නූතන මානවක මානවිකාවන් දැන් අධ්‍යාපනය ලබන්නේ ම ඉතා ඉක්මනින් අදාළ සහතිකය ලබා රැකියාවක නිරත වීමට ය. ඉල්ලුමට සැපයුම මෙන් ප්‍රායෝගිකත්වයෙන් අඩු, විභාගය ම ඉලක්ක කොටගත් පාඨමාලා අද සුලබ ය. මෙකී පාඨමාලා තුළ ඇතැම් විට භාෂාමය පරිසරය හෝ සාධාරණ කාලයක් හෝ දැකිය නොහැක. පතපොත කියවීමෙන් තමන් උගෙනගත් විෂය කරුණුවල සත්‍යාසත්‍ය බව ද දැනුම හා අවබෝධය පුළුල් කර ගැනීම ද සිදු විය යුතු වුවත් වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ පත පොත කියවීමටවත් ඉඩක් සිසුන්ට නැති අතර ඒ පිළිබඳ හුරුවක් නැති ගුරුවරුන්ගෙන්ද ඊට පිළියමක් හෝ වැඩපිළිවෙළක් අපේක්ෂා කළ නොහැක. පාසල්වල කරන්නන් වාලේ හෝ චක්‍රලේඛ නිසාම, දඩිබිඩියේ සුදානම් කරන ඉංග්‍රීසි භාෂා දින හා තරග පැවැත්වේ. වර්ෂ ගණනාවක් තිස්සේ මේවා පැවැත්වුව ද නිසි ප්‍රමිතියක්, වැඩපිළිවෙළක් දැකිය නොහැක. කෙසේ හෝ වැඩසටහන් කිරීම අගය කළ යුතු අතර ඒ සඳහා විවිධ බාධක මැද කටයුතු කරනු ලබන අගය කළ යුතු ගුරුවරුන් ද සිටී.

මළ කෑ කඩු ප්‍රදර්ශනය

ඉංග්‍රීසි බසෙහි සැබෑ ප්‍රවීණයින් සමඟ එක් වී ජාත්‍යන්තර විශේෂඥ දැනුම ද එකතු කොට අමාත්‍යංශ මට්ටමින් නිවී සැනසිල්ලේ ස්ථිර වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් එය පින් රැස් කරගත හැකි කටයුත්තක් වනු ඇත. වර්ෂ ගණනාවක් මුළුල්ලේ අපේ නිලධාරීන් මහජන මුදල් වැය කර විදේශ සංචාරවල යෙදී ඉංග්‍රීසි බස ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් කෙතරම් නම් ආරම්භ කරන්නට ඇත් ද? විෂය මාලා, ගුරු අත්පොත් කොපමණ වෙනස්වන්නට ඇත් ද? මෙවැනි වැඩමුළු හා වැඩසටහන් කිසිවක් ගරු සේවා නොවන නිසා ම ලැබෙන දීමනාවලට ලොල් වන නුසුදුස්සන් ඊට රිංගා සුදුස්සන්ගේ ඉඩ අවුරමින් වැඩසටහනේ ඵලදායිතාවය අඩාල කරවයි. තම සේවා කාලයේ අසාර්ථක, විශ්‍රාමික නිලධාරීන් ද විශ්‍රාමයෙන් පසුව වුවද වැඩසටහන්, වැඩමුළුවලට කෙසේ හෝ රිංගා යල් පැනගිය ක්‍රමවේදම යළි යළි ඇද හෙළමින් සහභාගී වන්නන්ට අබ සරණ ගෙන දෙන්නේ ශාස්ත්‍රීය උනන්දුව නිසාද ආර්ථික උනන්දුව නිසාදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. අවාසනාව නම් මේ බව එකී නුසුදුස්සන්ට හා අදාළ බලධාරීන්ට නොවැටහීම ය. අතීතයේ සිටම මේ දක්වා පැවැත් වූ බොහෝ වැඩමුළු, වැඩසටහන්වලට අත් වූ ඉරණම මෙසේ ය. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ දොසා ලෙස මේ පිළිබඳ මනා අවබෝධයකින් සිතා බලා කටයුතු කරන නිසි බලධාරියෙකු හෝ බලවතෙකු මෙදියතෙහි පහළ වන තුරු අන්ත අසරණ වූ අපි බලා සිටිනු හැර වෙන කුමක් කරමු ද?

ඉංග්‍රීසි දන්නා අය නොදන්නා අය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මහත් උජාරුවකිනි. ඇතැම්හු කතා කරන විටදී ඉංග්‍රීසී ඌරුවට සිංහල ද හසුරවන්නේ තමන් උපතේ සිට දැන තිබූ සිංහල බස දැන් බැරි බව කියා පෑමට ය. සිංහල වචන අතරට ඉංග්‍රීසි වචන කීපයක් දමා ගෙන අඟවන්නේ තමාට ඉංග්‍රීසි හැකි බව ය. ඇතැම්හු රූපවාහිනි වැඩසටහන්වලදී තමන්ගේ නැති පාණ්ඩිත්වයක් පෙන්නීමට වැරදි ඉංග්‍රීසි වචනද ජනගත කර සැනසෙති. වැරැදි වචන ප්‍රසිද්ධ පුද්ගලයන් ජනගත කළ විට සාමාන්‍ය ජනයා ද ඒවා නිවැරැදි යයි දොහොත් මුදුණින් ගත හැකිය.

ඉංග්‍රීසි ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රම කෙසේ වෙතත් ඉංග්‍රීසි දැනුමවත් ප්‍රමාණවත් ලෙස තිබිය යුතුය. නිවැරැදිව වචන උච්චාරණය, නිවැරදිව ව්‍යාකරණ භාවිතය, නිවැරැදිව ලේඛන ලිවීම, පතපොත කියවීම වැනි දේ හොඳින් ප්‍රගුණ කිරීම ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කාර්යය සඵල කර ගැනීමට වැදගත් වන අතර ඉගැන්වීමේ ක්‍රම ශිල්පවල අවබෝධය ද ලැබුණු විට ගුරු කාර්යයට මහා දීප්තියක් ගෙන දේ. බොහෝ ඉංග්‍රීසි වචන නිවැරදිව උච්ඡාරණයෙහි ගුරුවරු, විෂය අධ්‍යක්ෂවරුද නොසමත් වී ඇත.

කඩු හරඹ කුසලතා

අන්තර්ජාලය නිවැරැදිව භාවිත කිරීමෙන්, නිවැරැදිව වචන උච්ඡාරණය, ව්‍යාකරණ රීති, ඉංග්‍රීසි යෙදුම් ආදී බොහෝ දේ තහවුරු කරගත හැකි අතර වත්මනෙහි පොත් කියවීමට වඩා මුහුණු පොතට කොටමින් අන්තර්ජාල ඕපාදූප රස විඳින ගුරු පරම්පරාව වැඩි වී ඇත. ගුරුවරු බස වැරදි ලෙස භාවිත කිරීමෙන් වැරදි දේ ජනගත වන අතර නිවැරැදි දේ යටපත් වේ. බස නිවැරැදිව භාවිත කරනු ලබන සිසුන්ව ඇතැම් විට ගුරුවරු හමුවේ දෝෂාරෝපනයන්ට ද උසුළු විසුළුවලට ද ලක්විය හැකිය.

බසකින් වැඩ ගැනීමටත් වෙසරද වීමටත් ඒ පිළිබඳ උනන්දුව, සතතාභ්‍යාසය, භාවිතය තිබිය යුතු අතර ඒ සඳහා මඟ පාදා ගත යුත්තේ අපම ය. භාෂා විද්‍යාගාර සේවාව හා අන්තර්ජාලය තුළින් චිත්‍රපට, ගීත හා දේශනවලට සවන් දීම කළ හැකි අතර ඒ තුළින් මනා පරිචයක් ලබා ගත හැක. හැකි සෑම විටම භාෂණයේ යෙදීම, හැකි මට්ටමින් වාද විවාදවල යෙදීම, විවිධ මාතෘකා යටතේ කතා කිරීම, කතාව හොඳින් ප්‍රගුණ කර ගැනීමට උදව් වේ. ආරම්භයේ දී සරළ මට්ටමින් විවිධ දේ ලිවීම තුළින් ලේඛන කුසලතාව ද ඇති කරගත හැකිය. සිසුන් තුළ ද ඉංග්‍රීසියට ඇති බිය ඉවත් කරවමින් ආශාව වැඩි කරවමින් හැකි තරමින් නිවැරදි ක්‍රම ඔස්සේ බස නැගීමට කටයුතු කරමු.

කථිකාචාර්ය දහම් බාලසූරිය
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය උණවටුන - ගාල්ල
nenasilu@gmail.com


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>