1956 අගෝස්තු මස 24 වැනිදා චීනයේ සංගීතඥයිනට වැදගත් දවසක් විය. එදින ජාතික සංගීත සංගමයේ නියෝජිත පිරිසකට මාඕ සේතුං සහෝදරයා හමුවීමට අවස්ථාවක් ලැබුණි. මාඕ සේතුං, එදින ඔවුන් හා දැක්වූ අදහස් අද දවසේ නැවත විමසුමට ලක්කරන විට, එහි ගැබ්ව තිබූ නූතනවාදී බව පුදුමය දනවන සුළුය. විශේෂයෙන්ම චීනය වැනි මහා සංගීත සම්ප්‍රදායක් තිබූ රටක්, බටහිරෙන් ආභාෂය ලැබීම පිළිබඳව ඔහු තුළ වූයේ නම්‍යශීලී මතයකි.
සංස්කෘතික විප්ලවය පොට වරද්දා ගත් බව පසුකාලීනව පිළිගැනුණි. එම මුග්ධ විප්ලවයේදී බටහිර කලාව, විද්‍යාව අගැයූ, ඉන් ආභාෂය ලද බොහෝ කලාකරුවන්ට නිර්දය ලෙස නින්දා අපහාස කෙරුණි. ඉන් දැඩි මානසික පීඩනයකට ලක්වූ ඇතැම්හූ දිවි තොරකර ගත්හ.
සංගීතඥයන් අමතමින්, මා ඕ සේතුං මෙසේ පැවසීය.
“කලාවන්ගේ මූලධර්ම සාර්ව භෞමිකය. එහෙත් ඒවායේ ප්‍රකාශන ආකාර විවිධ විය යුතුය. ජාතික ශෛලීන් තිබිය යුතුය. ගසක කොළ ගනිමු. බැලූ බැල්මට ඒවා බෙහෙවින්ම එක වැනිය. එහෙත් කිට්ටුවෙන් පරීක්ෂා කරන කල එක් එක් කොළය වෙනස් ය. සාර්ව භෞමිකත්වය මෙන්ම පෞද්ගලිකත්වය ද සමානාත්වය මෙන්ම අසමානාත්වය ද ඇත්තේය. මෙය සොබාදහමේ නීතියක් ද, එසේම මාක්ස්වාදයේ නීතියක් ද වේ. මෙය සංගීත රචනයටත්, ගීතයටත් රැඟුමටත් පොදුය.
සංගීත භාණ්ඩ මෙවලම්ය. මෙවලමක් හොඳ ද, නරක ද යනු තීරණය වන්නේ එය භාවිත කරන ආකාරය අනුවය. විදේශීය සංගීත භාණ්ඩවලින් අපට ප්‍රයෝජනගත හැකිය. එහෙත් අපි විදේශීය සංගීතය පිටපත් කළ නොයුතු වෙමු. බටහිර සංගීතයේ මූලධර්ම, චීන ත්ත්වයන් සමඟ ඒකීභූත කළ යුතුය. එයින් වඩාත් සාරගර්භ ප්‍රකාශන උපදිනු ඇත.
චීන බෝංචි තලප, බෝංචි අතුර, නරක් නොවන සේ සකස් කළ බිත්තර සහ බෙයිජිං තාරා මස් වැනි දේ චීන විශේෂ කෑම වර්ගය. ඒවා නිෂ්පාදනයේදී චීනය හා සැසඳෙන්නට අන් කිසිම රටකට බැරිය. කෑම පිසීම හා ඇඳුම් ඇඳීම රටින් රටට වෙනස් ය. චීන මිනිසුන් කෝටුවලින් කන අතර බටහිර මිනිස්සු පිහි ගෑරුප්පු පාවිච්චි කරති. පිහි ගෑරුප්පු පාවිච්චි කිරීම වඩා ප්‍රඥාගෝචර සහ වඩා විද්‍යාත්මකය. එහෙත් කෝටු පාවිච්චි කිරීම නොදියුණු යැයි කීම ද තේරුමක් නැති කතාවකි.“
සභාපති මා ඕ, බටහිර සංගීතය උගත් සංගීතවේදීන් සමාන කළේ බටහිර වෛද්‍යවරුන්ටය. උසස් සංගීත පාසල් පවත්වාගෙන යාම පරණ පන්නයේ ගාන්ධර්වයන්ටම නොපවරා නව සංගීතවේදීන්ගෙන්ද වැඩ ගත යුතු බව ඔහු පැවසීය. ප්‍රකාශන ආකාරයන් විවිධ වීම දේශපාලනයේදී මෙන්ම කලාවේදී ද ස්වාභාවික කාරණයක් බව මාඕ පිළිගත්තේය.
සි ශී නමැති අධිරාජිනියක කළාක් මෙන් ‘පිටරට යකුන්‘ට බියවීමේ තේරුමක් නැතැයි කියූ මා ඕ, පිටරටින් උගත යුතු බවත්, ඒ උගන්නා දෙය ඇසුරින් චීන දේ නිර්මාණය කළ යුතු බවත් කියා සිටියේය.
“විදේශීය සංගීතය ටිකක් ගයන්නට වයන්නට බය වෙන්න එපා“ ඔහු සංගීතඥයන්ට පැවසුවේය.
“සුයි සහ තාං රජ පෙළපත් කාලයන්ට අයත් සංගීතයේ ප්‍රභේදයන් බොහෝමයක් අසව් මධ්‍යම ආසියාවෙන්. එසේම කොරියාවෙන් හෝ ඉන්දියාවෙන්. එහෙත් ඉන් දේශීය සංගීතය නැතිවුණේ නැහැ. අප කළ යුත්තේ විදේශීය සංගීතයේ ප්‍රබල අංගයන් උකහා ගැනීමයි. එසේ නොමැතිව, කිසිදු වග විභාගයකින් තොරව බටහිර සංස්කෘතීන් ඉවත දැමීමත්, තොග පිටින් උරා ගැනීමත් දෙකම වැරදියි.“
සිද්ධාන්තවාදය පරිශෝධනය කළ යුතු බව මා ඕගේ අදහස විය. එහෙත් එය සිදු කළ යුත්තේ “මඳ පවනක හා මුදු වැස්සක“ ආකාරයෙනි.
ස්වීයත්වයේ අගය පහදා දෙමින් කතා කළ මාඕ නිදසුනක් ලෙස, ප්‍රකට ලේඛක ලූ ෂුං දැක්විය. “ලූෂුංගේ නවකතා විදේශීය නවකතා හා සමාන නැත. එසේම පැරණි චීන නවකතා සම්ප්‍රදායෙහිද නොවේ. එහෙත් ඒවා සමකාලීන චීන නවකතාය. ‘මළ මිනිස්සු‘ (ගොගොල්ගේ ඩෙඩ් සෝලිස්) අපට අවශ්‍යය. එහෙත් ලූෂුංගේ ‘ආ කියුගේ කතාවත්‘ අපට වැදගත්ය. ලූ ෂුං ‘මළ මිනිස්සු‘ වැනි නවකතා චීන බසට පරිවර්තනය කළත්, ඔහුගේ දීප්තිය රැඳී තිබුණේ, ස්වීය නිර්මාණ තුළය.“
චීන නවකතාව, බටහිර නවකතාව හා සැසඳීමේදී පසුපසින් සිටින බව මාඕගේ අදහස විය.
ලූෂුං චීන සංස්කෘතිය හා සම්ප්‍රදාය දෙස අවඥාවෙන් බැලුවකු නොවුණද, චීන වෙදකම හා බෙයිජිං ඔපෙරාව ගැන ඔහු තුළ වූයේ නොපැහැදීමකි. මා ඕ, එය දුටුවේ චීන වෙදකමට ලූෂුංගේ රෝගී පියා සුවපත් කිරීමට නොහැකි වීමත්, ඔහු චීන නාට්‍ය ලෝලියෙකු වීමත් නිසා සිදුවූවක් ලෙසිනි.
උගත්කම චීන හෝ විදේශීය වශයෙන් ප්‍රභේද නොකළ යුතු යැයි මා ඕ අගෝස්තු 24 දා හමුවේදී කියා සිටියේය. එහෙත් අභාග්‍යයකට මෙන් සංස්කෘතික විප්ලවයේදී බටහිරට නැඹුරු වූ උගතුන්ට, ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදු විය. නිර්ධන පංති ආඥාදායකත්වයේ නාමයෙන් සිදුව තිබුණේ මාඕ සේතුංගේ නූතනවාදී චින්තනයට පටහැනි ක්‍රියාදාමයකි. ඊට තුඩු දුන් දේශපාලනික හා සමාජයික හේතූන් පිළිබඳ විවිධ විග්‍රහයන් ඇත. කෙසේ වෙතත්, ඉස්තාලය වසනවිට අශ්වයා පැන ගොසින් හමාරය!
මාඕ සේතුං කලාව සහ සාහිත්‍ය පිළිබඳව කළ දේශන පසු කලෙක කෘතීන් වශයෙන් සංගෘහිත විය. ‘කලාව සහ සාහිත්‍ය‘ මැයින්, අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විසින් ද, ‘මාඕ සේතුං, කලාව සහ සාහිත්‍ය පිළිබඳව‘ නමින් මහින්ද සෙනරත් යාපා විසින් ද (ගොඩගේ ප්‍රකාශන) එම කෘතීන් දෙකක් සිංහලට පරිවර්තනයකොට තිබේ. (මෙම ලිපියෙහි එන උධෘතයන්, චීන ප්‍රවෘත්ති - 1971/10 කලාපයෙනි)
සභාපති මා ඕ, විප්ලවවාදියෙකු වුවද සාම්ප්‍රදායික කවියකු විය. 1934 - 1936 අතර කාලයේ පැවති රතු හමුදාවේ වීරෝදාර දිගු පා ගමනේදී (Long March) ඔහු වරින් වර කවි ලියූවේය. එහෙත් පාසල් සමයේදීත් ඔහු කවි රචනා කළ බව පසුව හෙළි වුණි.
චීනයේ සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍රදාය ප්‍රිය කළ මා ඕ සේතුං, ටැන් රාජ වංශය පැවති සමයේ විසූ ‘ලී තිදෙනා‘ නමින් ප්‍රකට, ලී ඛායි, ලී ෂැංගුයින් හා ලී හී ගේ ආභාෂය ලැබීය.
චීන සාහිත්‍ය ඉංග්‍රීසියට නැඟීමේ පුරෝගාමියෙකු වූ ආතර් වේලි, මාඕගේ කවිය ගැන මෙසේ කියා ඇත.
“මාඕගේ කවි, හිට්ලර්ගේ චිත්‍ර තරමට නරක නැත. එහෙත් චර්චිල්ගේ තරමට හොඳ ද නැත.“
මාඕ සේතුං ඇතුළු චීන විප්ලවීය නායකයන් කීප දෙනකුගේ කවි, සේන තෝරදෙණිය විසින් සිංහලට පරිවර්තනය කොට, ‘සිසිර වලාකුළු‘ නමින් ප්‍රකාශයට පත් කළේය.
මාඕගේ කවි තුළ සොබාදහමෙන් ගත් සංකේත රූප මෙන් ම විප්ලවීය හැඟීම් ද සුලභය. කඳු පිළිබඳව ඔහු ලියූ කවි අතුරින් එකකි මේ.
ලියූ පැන් කන්ද
ඈත අහස් කුස
සුදු වළාකුළු
මහ තාරාවෝ පියා සළති
දකුණු දිසාවට.
මහා ප්‍රාකාරය වෙත
යා ගත නොහැකි නම්
මිනිසුන් නොවෙමු අපි.
ලියූ පැන් කන්දේ
දිගු දුරක් නැඟ සිටිමු අපි
බටහිරින් එන සුළඟේ
අපේ රතු ධජ සැළෙයි
අප අත්හි ඇති රැහැනින්
බැඳ දමනු කෙදිනද
අළු පැහැති මකරා
මාඕ ‘කඳු‘ නමින් ලියූ කෙටි කවි තුන, වඩාත් ප්‍රකටය.
1. කඳු!
සෑදලය මත හිඳ
අසුගේ ගමන ඉක්මන් කරවමි
කස පහරකින්.
හිස හරවා බැලූ කල
මවිත වීමි
අඩි තුනක් ඉහළිනි
අහස.
II
කඳු!
රළු මුහුදේ නැඟෙන රළ බඳුය
පිම්මේ දුවන දහසක් අසුන් බඳුය
රණ බිමෙහි.
III
කඳු!
නිල් පැහැ අහස් කුස විනිවිද
මුවහත නොබිඳි කඳු මුදුන්
අහස කඩා වැටුණද
ඔබේ සවිය නොබිඳේ.
(මෙම කවි, මවිසින් කළ සරලානුවාදය.)
කපිල කුමාර කාලිංග
kapilakalinga@gmail.com